Tuesday 28 March 2023

ඔබ නොදන්නා බොහෝ දේ


ලංකාව පිළිබඳව සිතීමට ලිවීමට මිඩංගු කල කාලය තුල මට තවත් පර්යේෂණ පත්‍රිකා 50ක් වත් CV එකට එක් කරගන්න තිබුණි. නමුත් ඒ ගැන මම කම්පා නොවෙමි. එහෙත් තව දුරටත් එයම කළහොත් අනාගතයේදී කම්පා වීමට සිදුවන බව මට පෙනෙයි. 

මගේ සියළු දැනුම සහ බුද්ධි තොරතුරු එකතු කර බලන විට මට පෙනෙන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේදී සිදු වූ එකම spontaneous සංසිද්ධිය අරගලයේ ඇරඹුම බවයි.  එය එවකට පැවති පාලකයාගේ සහ සහචරයන්ගේ මුග්ධ ක්‍රියාන්විතය නිසාම ජනතාව පැවති රජයට එරෙහිව අවදිවූ විරෝධයකි. එය අවබෝධකරගෙන නායකත්වය සැපයීමට නොහැකිවීම ජවිපෙ ලද දරුණුම පරාජයකි. 

අරගලය ආරම්භ වූ පසු දේශපාලන බලවේග කිහිපයක් එහි ගාමක බලය අවබෝධ කරගෙන මුදල් පොම්ප කරන්න විය. ඉන් එක පුද්ගලයෙක් ඔබ කිසිවෙක් නොසිතන එවකට පාලන තන්ත්‍රයේ ප්‍රබල චරිතයක් විය. ඔහුගේ පළමු ඉලක්කය සාර්ථක වුවත් ඉන් පසු වුයේ ඔහු කිසිසේත් නොසිතූ ප්‍රතිදානයකි. අද ඔහු නන්නත්තාර වී ඇත. 

අරගලයේ මුල් සමයේදී එය හාස්‍යට ලක් කල ලෝක බලවතුන් එහි පළමු මස ගතවන විට ඒ කෙරේ විශාල අවධානයක් යොමු කරන්න විය. බොහෝ රටවල සමාජ විද්‍යා වියතුන් ලාංකික අරගලය පිළිබඳව තම අවධානය යොමු කරන්න විය. ඒ ඇසුරින් ආචාර්ය උපාධි පවා ඇරඹෙන්න විය. මේ සමගම ලෝක බලවතෙක් මේ ගැන සෙවීම පිළිබඳව කමිටුවක් පත්කළේය. 

අරගලයට නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක්, මාර්ග සිතියමක් අවශ්‍ය බව මම පුන පුනා කියන්න වුණේ මේ අවස්ථාවේදීය. නමුත් එය ඇසීමට සවන් නොතිබුණි. ඉන් දින කිහිපයකට පසු අරගලයේ ප්‍රතිඵලය තීරණය කිරීම අදිසි හස්තයක් වෙත පැවරුණි.

රනිල් ජනපතිවීම අහම්බයක් නොවේ. එය ආරගලයේ අවසාන කාර්තුවේදී කිසියම් තානාපති කාර්යාලයකදී තීරණය විය. මේ බව දැනගත් විට මම ලිපියක් ලියමින් ලංකාවේ අනාගත නායකයා තීරණය වී ඇති බව මුහුණු පොතේ සටහන් කලෙමි. මට බොහෝ දේ ලිවීමට නොහැකිය. මා කී දේ තේරුම්  ගත්  සමහරෙක් විය.

ලෝක බලවතුන් ගෝඨාභය කෙරේ සැහෙන විශ්වාසයක් තැබුවේ ඔහු ඇමරිකන් පුරවැසියෙකු නිසාය. නමුත් ඔහු මෝඩ ගොම තැම්බක් බව වසර දෙකකදී ඔවුන්ට අවබෝධ විය. රනිල් පිළිබඳවද ඔවුන්ට විශාල බලාපොරොත්තුවක් නොවීය. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබුණි. 

රනිල් යනු සමාර්ට් පුද්ගලයෙක් නොවේ. එහෙත් ඔහුගේ ස්වාමියා ස්මාර්ට්ය. ඔහු ලෝකයේ ඉහලම බුද්ධි ජාලය සහ දැනුම් සංකීර්ණය සතුය. ගෝඨාභයට මේ ස්මාර්ට් ස්වාමියා තේරුම් ගැනීමට තරම් මොළයක් නොතිබුණි. රනිල්ට ඊට වඩා බුද්ධියක් ඇත. මේ නිසා ලාංකිකයා ඉදිරියේ රනිල් සමාර්ට් පුද්ගලයෙකි. අන්ත මුග්ධ, ග්‍රාම්‍ය පොහොට්ටුවන් 134 ඉදිරියේ ඔහු අතිශය ස්මාර්ට් පුද්ගලයෙකි. දිවි හිමියෙන් එජාපයට කැපවුවන්ටද  ඔහු ස්මාර්ට්ය. මම එහි වරදක් නොදකිමි. එහෙත් රනිල් යනු ස්මාර්ට් ස්වාමියකුගේ අණසක අනුව වැඩ කරන රෝබෝවකි.

මා සිතන ආකාරයට දැන් ලංකාව යනු ලෝක බලවතුන්ගේ පර්යේෂණ සාම්පලයකි. රටක් අන්තර් ජාතික සමාගම් කිහිපයක පාලනයට නතු වූ විට එය ලෝක බලවතුන්ට බලපාන ආකාරය පිළිබඳව පර්යේෂණ නියැදියක් බවට ලංකාව පත්ව තිබේ. විද්‍යාඥයෙකු වශයෙන් මමද මේ පර්යේෂණයට ලොබ බඳිමි. නමුත් අවාසානාවට මමද මේ නියැදියේ අවශේෂ පර්යේෂණ සාම්පලයක් වෙමි. 

ලංකාව අද පත්ව ඇති තත්වයට සම්පුර්ණයෙන් වග කිවයුත්තේ රාජපක්ෂ පවුලයි. ඔවුන් ට්‍රිලියන ගණනින් රටේ සාරය ගසා කෑවේය. තවමත් බොහෝ මුග්ධයන්ට මෙය නොතේරෙයි. ගෝඨාභය ගසා කෑවාදැයි මම නොදනිමි. නමුත් තමන්ගේ අමන, අනුවණ, උද්දච්චකම නිසාම ඔහු ගත් උම්මත්තක තීරණ නිසා ලංකාව අද පවතින තත්වයට පත්විය. 

රනිල් හා අලඟු තැබීමටවත් රාජපක්ෂලා හෝ ඔහුගේ හෙංචයියන්ට නොහැක. ඒ රනිල් ස්මාර්ට් නිසා නොව රනිල්ගේ ස්වාමියාගේ ස්මාර්ට්කම නිසාය. 

එසේම රනිල් සමග හැප්පීමට සමත් විඥානයක් ඇති පිරිසක් ලංකාවේ නොමැති සේය. ඔබ ගන්නා සියලු පියවරයන්ගෙන් සිදුවන්නේ ජනතාව ඔබගෙන් ඈත් වීමයි. වැඩවර්ජන, අන්තරේ විරෝධතා පිළිබඳව දැන් ජනතාවගේ ප්‍රතික්‍රියා විමසා බලන්න. රනිල් පියවර ගන්නේ ඔහුට ස්වාමියාගෙන් ලැබෙන අණ සහ උපදෙස් අනුවයි. මේ උපදෙස් ලැබෙන්නේ රටවල් ගණනාවක කරන ලද පර්යේෂණ ප්‍රතිඵල අනුවයි. 

රටක ජනතාව සමස්තයක් වශයෙන් ගත් කල බුද්ධි හීන භූතාර්ථයකි. එය ඇමරිකාවටද අදාළය. සමාජ විද්‍යාඥයන් සියළු රටවල් සඳහා ජන විඥානය quantify කරයි. මෙහිදී ලංකාව ඉතා පහල අගයක් ගනියි. එහි තේරුම ලාංකික ජන විඥානය ඉතා පහසුවෙන් manipulate කළහැකි බවයි. 

මා වැනි ඉතා සුළු නොවැදගත් පුද්ගලයෙකුට කල හැකි දේ ඉතා අල්ප බව මම දැන් තේරුම් ගනිමි. ලාංකික ඔබට ඔබ අදහන ආගමක සරණයි. 



Monday 27 March 2023

ලක අනාගත ඥාන හබක් කරමුද?


AI සරසවි විභාග වලට බලපාන ආකාරය පිළිබඳව ලියූ ලිපියට විවිධ සමාජ මාධ්‍ය තුල අදහස් දැක්වූ ඔබ සැමට තුති.

මට හිතෙන විදියට අපට වී ඇත්තේ දශක දෙක තුනක් අපි සිනමා තිරයේ දුටු ලෝකය එකවරම සැබෑ ලෝකය තුලට කඩා වැදීමයි. තවමත් මාද ඇතුළු බොහෝ දෙනෙක් වික්ෂිප්තය. 

මෙහිදී අදහස් කිහිපයක්ම පළවුණේ සිදුවන දේ හොඳද-නරකද යන්න පිළිබඳවයි. මා සිතන විදියට ඒ අවදිය පසුවී ඇත. අපි කැමති වුනත් අකමැති වුනත් AI සමාජය වෙලාගන්න බව නම් සහතිකයි. 

අපි මේ අවස්ථාවේදී කතා කල යුත්තේ නුදුරු අනාගතය උදෙසා අපගේ අධ්‍යාපන පද්ධතියම (සංකල්ප, ක්‍රමවේද ඇතුළු මුළු system එකම) වෙනස් කලයුතු ආකාරය පිළිබඳව බව මගේ හැඟීමයි.

ලාංකික අධ්‍යාපනයට 1960 සිට 2030ට එක්වරම පැනිය හැකිද? 

හැකිනම් ලක අනාගත ඥාන හබක් වනු ඇත (Sri Lanka will become a future knowledge hub)


Saturday 25 March 2023

ඔබගේ අදහස් අවශ්‍යව ඇත



අපේ සරසවියේ විශාල සංවාදයක් ඇරඹී ඇත.

AI වේගයෙන් ජන ජීවිතය වෙලා ගනියි. දැන් අපට ඕනෑම ගැටළුවක් AI විසඳා දෙයි. මේ වන විට ගැටළුව ඇසූ විට හෝ කෙටූ විට පිළිතුර කොලයක ලියැවෙන පෑනක් නිර්මාණය වෙමින් පවතී. ලෝකයට ඉතා සුබදායි මේ පුවත සරසවි ඇඳුරන්ට හිසරදයකි. 

"කොහොමද අපි genuine exam එකක් තියාගන්නේ?" අංශාධිපතිලා, පීඨාධිපතිලා පමණක් නොව උපකුලපතිද රැස්වීම් පිට රැස්වීම් කැඳවති.

සැමදෙනාම මේ AI තාක්ෂණය අභිබවා විභාග පැවැත්වීම පිළිබඳව ඉතා විචක්ෂණ smart අදහස් ඉදිරිපත් කරති.

වසර ගණනාවක් රටින් පිට සිටියත් මගේ විඥානය තවමත් ලංකාවේය. එබැවින් මම ඉතා ප්‍රාථමික ලෙස සිතමි. ඒ මා හුරු වූ චින්තනයයි.

"අප විභාග පවත්වන්නේ කුමකටද?"

ලංකාවේ නම් වැඩි හරියක් සිසු සිසුවියන් fail කර සරසවියට බඳවා ගත හැකි ධාරිතාවයට ආසන්න පිරිසක් filter කර ගැනීමටය. 

"සරසවියේ විභාග පවත්වන්නේ කුමටද?" ලංකාවේ නම් විභාග පැවැත්විය යුතු නිසාය. 

ඉංජිනේරු පීඨයේ රැස්වීමේදී මම ඉහත පැනය ඇසුවෙමි.

"එක හරිම සරල පැනයක්නේ. අපි විභාග පවත්වන්නේ ළමයින්ගේ දැනුම මනින්න" පීඨාධිපතිතුමාටත් පෙර විශිෂ්ඨ මහාචාර්ය පදවිය හොබවන තැනැත්තෙක් පිළිතුරු දුන්නේය.

"ඇයි අපි ළමයින්ගේ දැනුම මනින්නේ?" මගේ ප්‍රාථමික මනෝභාවයට තවමත් එය ගැටලුවකි.

"ඔවුන්ට ඉහල දැනුමක් ඇත්නම් ඔවුන් සමාජයට යහපතක් කරාවි. සරසවි ඇඳුරන් ලෙස එයයි අපගේ අභිප්‍රාය විය යුත්තේ. හිතන්න පොඩ්ඩක්, අපේ උපාධිධාරියෙක්ට හැකිනම් තම දැනුමෙන් සම්පුර්ණයෙන්ම සුර්ය බලශක්තියෙන් ක්‍රියාත්මකවන වාහනයක් නිපදවන්න, එය දකුණු අප්‍රිකාවට විශාල මෙහෙයක් සහ ආඩම්බරයක් නොවේද?" විශිෂ්ඨ මහාචාර්යවරයා තරමක උපහාසාත්මක සිනහවකින් යුතුව අසයි.

"ඔය කියන වාහනය ඇයට තමන්ගේ දැනුමෙන් තොරව වෙනත් යමක  දැනුමෙන් (මා අදහස් කලේ AI දැනුමයි) පමණක් කල හැකි නම් එහි ගැටළුවක් ඇත්ද?" මම බොහෝ අවස්ථාවල වෙනත් පුද්ගලයන් "ඔහු" යන වදන යොදන තැන්වල "ඇය" යයි භාවිතා කරන්නේ මෙහිදී පුරුෂාර්ථය යොදන්නේ කුමන හේතුවක් නිසාදැයි මට නොතේරෙන බැවිනි. ලංකාවේ කෙසේ වෙතත් මා ජිවත් වූ බොහෝ රටවල මිනිස්සු මෙය ප්‍රශ්ණ කිරීමට පැකිලෙති. 

"ඒක හරි. ඒත් එහෙනම් අපිට AI පිළිබඳව සිසුන්ගේ දැනුම පරික්ෂා කල යුතු වෙනවා"  විශිෂ්ඨ මහාචාර්යතුමා තරමක් බිඳුණු ස්වරයෙන් ප්‍රකාශ කරයි.

"ඔව්, අපි AI ඉගෙනගන්න සිසුන්ගේ දැනුම පරික්ෂා කරමු. ඒ සඳහා ඔවුන්ට projects දෙමු. අනෙකුත් විෂය හදාරන සිසු සිසුවියන්ට AI භාවිතාකරන හැටි දන්නේ දැයි පරික්ෂා කිරීමට විභාග පවත්වමු". මම කීවෙමි.

"චන්දිම කියන විදයට කලොත් කැම්පස් වහන්න වෙයි"

ඔවුන්ට විභාග මානසිකත්වයෙන් මිදීමට නොහැක. මා වැනි මෝඩයෙක් ඔවුන්ට මහත් හිසරදයකි.  



 

Wednesday 22 March 2023

සද්ධාසීල business approach

 


වෙනදා කතා නොකළ මාතෘකාවක් කතා කිරීමට සිත්විය. ඒ "sexuality & Society" නම් වැඩසටහනකට සහභාගිවීමට මට ආරාධනා ලැබුණු නිසාය. වැඩසටහනෙන් පසු උණුසුම් කෝපි කෝප්පයක් සමග ඇති වූ කතා බහක් සැතපුම් දහස් ගණනක් ඈතින් වූ ලංකාව කරා මා රැගෙන ගියේය.

"අඹු සැමියන් තම තමන්ගේ ඇඟ දකින්නේ නැතිව තමයි ළමයි හදන්න ඕනේ"

"ලිංගිකව හැසිරිය යුත්තේ ළමයි හදන්න පමණයි"

මේ ලංකාවේ පරසිඳු හාමුදුරු නමක් මෑතකදී කල ප්‍රකාශයන්ය. එය සමාජ මාධ්‍ය පුරා හාස්‍ය උත්පාදක ජවනිකාවක ලෙස viral වුවත් එය serious ගත් දහස් ගණනක් සිටින බවත් රහසක් නොවේ. මේ පිළිබඳව මම ශාස්ත්‍රීය ගවේෂණයක් කලෙමි.

පසුගිය සමයේදී බෞද්ධ භික්ෂුන් මෙන්ම ක්‍රිස්තියානි පාෂ්ටර්වරුන් කිහිපදෙනෙක්ද සාර්ථක ව්‍යවසායකයන් ලෙස ඉදිරියට පැමිණියේය. ඔවුන් ජන මාධ්‍ය තුල පවසන විලම්භීත කතා සමහරෙකුට ශ්‍රේෂ්ඨ මග පෙන්වීම් ලෙසද සමහරුන්ට "ගොන් ජෝක්ස්" ලෙසද පෙනෙන්නට ඇත. එහෙත් ඔවුන් ඉතා සුක්ෂමව සහ සාර්ථකව ආමන්ත්‍රණය කරන්නේ තමන්ගේ poetntial clientele එකට බව ඔබ කී දෙනෙක්ට වැටහුනේද? අපි ඉහත උදාහරණය පමණක් සලකා බලමු.

බොහෝ දුප්පත් රටවල, විශේෂයෙන්ම දකුණු ආසියාවේ, බහුතරයක් කාන්තාවන් විවාහ දිවියේදී ලිංගික තෘප්තියක් නොලබන බව බොහෝ සමාජ විද්‍යා පර්යේෂණ තුලින් හෙළිවී තිබේ. මීට සාමාජිය, ආර්ථික සහ පාරිසරික හේතුන් බලපායි. 

ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වෙහෙසවී වැඩකරන කෙනෙක් (නිවසේ හෝ රැකියා ස්ථානයක) සවස්යාමය වන විට දහඩිය දූවිලි වැකුණු වෙහෙසකර සිරුරකට හිමිකම් කියයි. බොහෝ විට කාන්තා පාර්ශවය රාත්‍රී ඇඟ දෝවනය කර පිරිසිඳුව සයනයට නොපැමිණේ නම් ඔවුන්ගේ පරම අභිප්‍රාය වන්නේ ඇඳට වැටුණු සැනින් නින්දට යාමයි (පසුදා උදසනින් අවදිවී දවසේ කාර්යයන් සිදුකල යුතු වීමද ඔවුන්ගේ මනසේ හොල්මන් කරයි). නමුත් බොහෝ විට ශරීරයේ ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා පුරුෂයාගේ තත්වය වෙනස්ය. ඔවුන් බොහෝ දෙනෙකුට ඇඟ පතේ වෙහෙස නිවා ගැනීමට ලිංගික කෘත්‍ය අත්‍යවශ්‍යය. මෙය බොහෝ කාන්තාවන්ට හිරිහැරයක් මිස අවශ්‍යතාවයක් නොවේ. ඔවුන් මෙය හැකි ඉක්මනින් නිම කල යුතු තවත් යුතුකමක් ලෙස  සේ සලකන අතර තමන් නොදැනීම "ලිංගික අතෘප්තිය" නැමැති මානසික පීඩන තත්ත්වයටද පත්වෙයි. මැදිවියට පා තබන මෙවන් කාන්තාවන් හැකිතාක් ලිංගික කටයුතුවලින් ඈත්වීමට උත්සහ කරයි. ඔවුන් තමන්ගේ ලිංගික අතෘප්තිය වෙනත් විදි රාශියකින් සමනය කරගැනීමට තමන්ටත් නොදැනිම යත්ත දරයි. තම නෑ හිතවතුන් සමග අඩදඹර කරගැනීම, රැකියා ස්ථානයේදී නොයෙකුත් ගැටළු ඇති කරගැනීම මේ ක්‍රියා අතර වෙයි.

ඉහත කී ජනප්‍රිය පුජ්‍ය/පූජකයන් ආමන්ත්‍රණය කරන්නේ මේ mindset එකටයි. ඔවුන් මෙම කාන්තාවන්ට තමන් ලිංගික අතෘප්තියට ලක්වීම පිළිබඳව අවබෝධය වෙනුවට තම අවුල් වූ මනස  සාධාරණීකරණය කරගැනීම සඳහා ධෛර්ය ලබා දෙයි. එසේම මැදිවියේදී ලිංගික කාර්යයෙන් ඈත්වී සිටීමට මෙම කාන්තාවන්ට සාධාරණ හේතු ලබා දෙයි. මේ නිසා එම කාන්තාවන් මේ හාමුදුරුවරුන් කෙරේ ලොබ බඳින්නා පමණක් නොව තම ස්වාමි පුරුෂයන්ද හැකිතාක් ඒ කෙරේ යොමු කිරීමට උත්සහ කරයි. 

හාමුදුරුවන්ගේ ව්‍යවසායකත්ව සාර්ථකත්වය එතනයි. 

රටේ දියුණුව සඳහා කල යුතුව ඇත්තේ වැඩිහිටි ජනතාවට ලිංගික අධ්‍යාපනය පිළිබඳව මනා දැනුමක් ලබා දී ඔවුන් සතුටින් සැහැල්ලුවෙන් සිටින තෘප්තිමත් ජනතාවක් බවට පත් කිරීමයි. නමුත් සිදුවන්නේ හාමුදුරුවන්ගේ business එක වැඩි දියුණු වීමයි. 

Saturday 11 March 2023

සමාජය හිතන හැටි

සමහර ලිපි පළකිරීමට පෙර ඊට පෙරමග වදනක් (පෝස්ට් එකක්) FB එකේ දැමීම මගේ පුරුද්දකි. එතුලින් මා ලියන ලිපිය කෙතරම් පිරිසක් ග්‍රහණය කරගනීවිද යන්න පිළිබඳව මට අදහසක් ගත හැක. උමංදාව පිළිබඳව පෝස්ට් එකට අදහස් පළකළ ඔබ සැමට තුති. 

මෙම පොස්ට් එකට පලවී තිබුණු අදහස් අති බහුතරයක් සමාජයේ වැඩි දෙනා සිතන පතන ආකාරය පිළිබිඹු කරන, මා බලාපොරොත්තු වූ ප්‍රතිචාරයන්ය. ඒ අතර පෙට්ටියෙන් එලියට විත් සිතන එක් කෙනෙකු හෝ දෙන්නෙකු විය. එය මට මේ ලිපිය සඳහා ප්‍රමාණවත්ය.

පිටිදුවේ සිරිධම්ම භික්ෂුව මට වසරක පමණ කාලයක් නිතර හමුවිය. ඒ මීට වසර 22 කට හෝ 23 කට පෙර ජාතික විද්‍යා හා තාක්ෂණික කොමිෂම (NASTEC) යටතේ වූ තරුණ විද්‍යාඥයන්ගේ සංසදයේ විධායක කමිටු සාමාජිකයෙක් ලෙසයි. ඊට වසරකට හෝ දෙකකට පසු මම එම සංසදයේ සභාපති වුනෙමි. පිටිදුවේ සිරිධම්ම භික්ෂුව කමිටුවේ සිටින සමයේ ඔහු එහි කැපී පෙනෙනම චරිතයක් විය. ඔහුගේ අදහස් සහ යෝජනා ඉතා හරවත් මෙන්ම ලාංකික සමාජය නගා සිටුවීමට ඉතා ඵලදායක ලෙස යොදා ගත හැකි සංකල්ප බව මට එදාද වැටහුණි. නමුත් මේ කිසිවක් ක්‍රියාත්මක කිරීමට තරම් අනුග්‍රහයක් පැවති ආයතනකික වාතාවරණය තුල අප සතු වුනේ නැත. මා තරුණ විද්‍යාඥයන්ගේ සංසදයේ සභාපතිධූරය දැරුවේද NASTEC ආයතනයට සභාපතිවරයෙකු හෝ විධායක අධ්‍යක්ෂකවරයෙක් පත්කරගැනීමටවත් නොහැකිව තිබූ සමයකය. මම පිටිදුවේ සිරිධම්ම භික්ෂුවගේ යම් යම් යෝජනා යම් පමණකට ක්‍රියාත්මක කිරීමට උත්සහ ගතිමි. ඒ සමහර අවස්ථා සාර්ථක විය.

නැවතත් මට මෙම  භික්ෂුව පිලිබදව හඳුනා ගැනීමක් ලැබෙන්නේ ඊට වසර කිහිපයකට පසු කලින් NASTEC හි  විධායක නිලධාරිනියක්ව සිටි අමාලි දිසානායක මහත්මිය අහම්බෙන් හමු වූ විටය. එවකට බෙල්ලන්තර ප්‍රදේශයේ වූ පන්සලක මහා කලබැගෑනියක් ඇති වී එහි සිටි භික්ෂුවක් සම්බන්ධයෙන් ඉතා අමිහිරි පුවත්පත් සිරස්තල මැවී තිබුණි. ඒ අප සමග කටයුතු කල පිරිදුවේ සිරිධම්ම භික්ෂුව බව අමාලි පවසා සිටියාය.

ඉන්පසු එළඹුණු දශක එකහමාරකට වැඩි කාල පරාසය තුල සමන්ත භද්‍ර නමින් මෙම භික්ෂුව දිගු ගමනක් ගියේය. එය සම්මත ථෙරවාදී බුදුදහමින් මෙන්ම බොහෝ යහපත් සමාජ සම්මතයන්ගෙන්ද විශාල වශයෙන් ඈත් වී තිබුණි. 

පිටිදුවේ සිරිධම්ම හෝ සමන්ත භද්‍ර යනු අහසින් කඩා පාත් වූ චරිතයක් නොව ලංකාවේ දේශපාලන-ආගමික-සමාජීය වාතාවරණය විසින් බිහි කල තවත් එක් භූතාර්ථයක්ය. රටට ලෝකයට යමක් කරන්න ජවයක් සහ උණක් ඇති පිරිස් ලංකාව වැනි රටක සොයා ගැනීම ඉතා අසීරුය. එසේ කලාතුරකින් බිහිවන පුද්ගලයන්ගේ අනාගතය තීරණය කරන්නේ පවතින සමාජ සංස්ථාව විසින්මය. සමාජ පද්ධතියෙන් හවුහරණක් නොලැබෙන කල මේ පුද්ගලයන් එක්කෝ රට හැර දමා තමන්ගේ ජවයට සුදුසු භූමියකට නික්ම යයි. සමහරුන් පවතින දුෂිත සමාජ ක්‍රමයට අනුගත වී විශාල පෙරලි සිදු කරයි. ඉන් පසු සමාජය විසින්ම මේ සියලු දෙනාටම බැන වදිමින් ආඬපාලි කියයි. නමුත් මෙම සමාජ ක්‍රමය වෙනස් කිරීමට නොහැකි නම් අවම වශයෙන් මේ ජවය-උණ ඇති අතලොස්සගෙන් තෝරා බේරා පෙරා යමක් ගැනීමට උත්සහ දරන්නන් සිටින්නේද කෙතරම් සුලුතරයක්ද යන්න අද ලංකාව වැටී ඇති තත්වයෙන් පැහැදිලි වෙයි. මා මේ කියන දේ අති බහුතරයකට නොතේරෙන බවද මම දනිමි. එය තුන් දෙනෙකුට අවබෝධ වුවහොත් මේ ලිපිය අති සාර්ථකය.  

තමා බහලුම්ගත්වූ පෙට්ටියෙන් ඉවතට පැමිණ ලෝකය දෙස එක මොහොතක් බැලිය හැකි අතලොස්සට මම මෙසේ කියමි. ඔබ කී දෙනෙකුට ඇවන්ට්ගාර්ඩ්, සයිටම්, සෙලින්කෝ ව්‍යාපාර ජාලය හෝ විශාල කැසිනෝ ව්‍යාපාරයක් බිහි කිරීමට හැකියාව හෝ ජවය ඇත්ද?  මෙම ව්‍යාපාරවල පවතින දහසක් වැරදි හෝ දූෂණ ඇති වුයේ කෙසේද? එය පවතින දේශපාලන-සාමාජික පද්ධතියේ සහ ක්‍රමවේදයේ අඩු පාඩුවක් නොවේද? අප කල යුත්තේ දේශපාලන-සමාජ ව්‍යහය වෙනස් කර මේ සද්ධන්තයන් නිවැරදි කිරීමද නැත්නම් එම ව්‍යාපාර බිඳ දැමීමද? මම එදත් අදත් ඉන්නේ එකම තැනකය. 

සද්ගුරු විසින් වසරකට ඉන්දියාවට ඍජුව හා වක්‍රව ගෙන එන විදේශ විනිමය ලංකාවේ වාර්ෂික ආදායම මෙන් තුන් ගුණයක් පමණ වේ. සමහර විට නිවැරදි දේශපාලන-සාමාජීය පද්ධතියක් තිබුණා නම් පිටිදුවේ සිරිධම්ම ලංකාවේ සද්ගුරු වන්න තිබුණි.

මා දකින සිරිධම්ම මොඩලය ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු. 


Sunday 5 March 2023

මම කවුද?


මගෙන් ස්වායත්ත වූ විශ්වයක් පවතීද? "මම" ගැනවත් දන්නේ නැතුව "මගෙන්" යන යෙදුම අර්ථාන්විතද? මම මුලින්ම තර්කනයේ පහසුව තකා "මම" යයි හැඳින්වෙන භූතාර්ථයක් පවතින  බව උපකල්පනය කරන්නම්. 

මට මගෙන් තොර විශ්වයක් ඇති බව දැනෙන්නේ කෙලෙසද? ඉතා සරලව කිවහොත් සංවේදක පංචෙන්ද්‍රියයන්ගෙන් (five sensors) ලැබෙන සංඥා ඇසුරෙනි. මෙහිදී මනස processor එකකට අමතරව sensor එකක් ලෙසද කටයුතු කරනවාදැයි මට ස්ථිරවම කිව නොහැක. මේ පිළිබඳව දන්නේ උපතේ සිටම පංචෙන්ද්‍රියම අක්‍රිය වූ පුද්ගලයෙකු පමණි. එහෙත් එවැනි අයෙකුගෙන් තම දැනීම පිටතට ලබා ගන්නේ කෙසේදැයි යන්න ගැටලුවකි. මගේ පෞද්ගලික වැටහීම නම් පංචෙන්ද්‍රියයෙන් ලැබෙන සංඥා වලින් ස්වායත්තව මනසට යම් සංවේදනයක් ලබා ගත නොහැකි බවයි. 

මෙහිදී මම "මායා" නමින් ඉදිරිපත් කල ලිපියෙහි (දිගුව පහත ඇත) ඇස-ස්නායු-මොළය ආශ්‍රිතව දෘෂ්ඨිය ඇතිවන ආකාරය පැහැදිලිව විස්තර කලෙමි. ඉතා කෙටියෙන් එය නැවත ඉදිරිපත් කළහොත් යම් වස්තුවකින් නිකුත්වන ආලෝක තරංග ඇසේ ඉදිරි කොටසින් වර්තනය වීමෙන් දෘෂ්ටි විතානය මත එම වස්තුවේ ප්‍රතිබිම්බයක් සෑදේ. මෙහි ඇති ඡායාරූප ප්‍රතිග්‍රාහක සෛල (photoreceptors) මගින් මෙම ආලෝක ස්පන්ද විද්‍යුත් සංඥා බවට පත්කර දෘශ්‍ය ස්නායු (optic nerve) දිගේ මොළය කරා ගෙන යයි. මොලයේදී මෙම සංඥා මතකයේ ගබඩා වී ඇති දත්ත සමග සංසන්දනය කර පෙර දන්නා භූතාර්ථයක් ලෙස හෝ අලුත්ම දැනුමක් ලෙස හඳුනා ගැනෙයි. 

කතාව මෙතනින් ඉවර නැත. එහෙත් මේ දක්වා සියල්ලම සිදුවන්නේ "මම" නම් භූතාර්ථයෙන් ස්වායත්තවය.

-----------------------

මම මායා ලිපියේ පෙන්වා දුන් පරිදි මෙම දැකීම නම් සංසිද්ධිය සඳහා දකින වස්තුව භෞතිකව පැවතිය යුතු නැත. ඒ වෙනුවට එම වස්තුව මගින් රෙටිනාව මත සාදන ආලෝක ස්පන්දයට සමාන රුපයක් සෑදීම පමණක් වුවද සංවේදනය සඳහා සෑහේ. මේ වන විට AR/VR උපකරණවලින් කෙරෙන්නේ මෙයයි. ඉදිරියේදී මේ සඳහා කෙලින්ම අදාළ විද්‍යුත් සංඥාව මොළයේ අදාළ ස්ථානයේ උත්පාදනය කිරීමට සමත් උපකරණ බිහිවනු ඇත. එවිට දෑස ක්‍රියා නොකරන (අන්ධ) හෝ දෘෂ්ඨි ස්නායුව පවා ක්‍රියා නොකරන පුද්ගලයෙකුට වුවද පෙනීම ලැබෙනු ඇත. 

ඉහත සංසිද්ධිය අනෙකුත් සංවේදක ඉන්ද්‍රිය 4 ටද වලංගු වේ. මේ අනුව අප තේරුම් ගත යුත්තේ පංචෙන්ද්‍රියට සංවේදී වූ පමණින් අපෙන් තොර විශ්වයක් අපිට දැනෙන ආකාරයෙන්ම පැවතිය යුතු නැති බවයි. අපට විශ්වය ලෙස හැඟෙන්නේ අපගේ මොලය විසින් විශ්ලේෂණය කර හඳුනාගන්නා දත්ත සමුහයකටය. තවත් ආකාරයකට පැවසුවහොත් අපට සංවේදනය වන මුළු විශ්වයම අප තුල ඇතිවන විද්‍යුත් ස්පන්දන රාශියකි. 

-----------------------

සංවේදක ඉන්ද්‍රියයකින් පැමිණෙන සංඥාවක් හඳුනාගත් පසු (හෝ හඳුනා නොගත් පසු) මොළය විසින් අදාළ සියළු ප්‍රතිදාන ආයතන (output institutes) වෙත විද්‍යුත් සංඥා (දත්ත ඇතුලත්) නිකුත් කරනු ලැබේ. ඇස, නාසය, කට, කණ, සම සහ මාංශ, සහ මනස මෙම ආයතන හයයි. මේ ආයතන හය සඳහා සංඥා නිකුත් කිරීමට විශේෂයෙන් වෙන් වූ අංශ මොළයේ සෙලිබ්‍රියම් (cerebrum) නම් කොටසේ ඇත. මෙතැනදී අපි ගන්න initial reactions කිසිවක් ලැබෙන්නේ මනස යන ආයතනය හරහා නොවෙයි. උදාහරණ විදියට අපි ඉදිරියට රෞද්‍ර සතෙක් පැමිණෙනවා දුටුවහොත් අපි දුවන්නේ, තිත්ත යමක් දිව ගැටුණු කල එය ඉවත් කරන්නේ, ලිස්සන විට ළඟ ඇති යමක් අල්ලා ගන්නේ හෝ ගිනි පුපුරක් මත අත තැබුණු විට වහා ඉවතට ගන්නේ සිතා මතා නොවෙයි. එය මතකයේ ඇති දත්ත (අතීත අත්දැකීම්) සමග පංචෙන්ද්‍රිය වෙතින් පැමිණෙන සංඥා සංසන්දනය කිරීම මත පමණක්  පදනම්ව මොළය විසින් ගන්නා තීරණයක ප්‍රතිඵලයකි. මෙලෙස ගන්නා ක්‍රියාමාර්ගද නැවතත් මතු භාවිතයට ගන්නා දත්ත ලෙස මතකයේ තැම්පත්වෙයි. 

හදිසි කෝපය නිසා කල වරදකට නීතිය වුවද යම් සහනයක් දෙන්නේ මේ නිසාය. ඒ "මම" එබඳු ක්‍රියාවකට මැදිහත් නොවන බැවිනි. එසේම සිරුර තුල සිදුවන බිලියන ගණනක් වූ ක්‍රියාවලින්ගෙන් අති බහුතරයක් "මම" ගෙන් ස්වායත්තව සිදුවෙයි. "මම" පවතිනවාද නැද්ද යන්න ඒ ක්‍රියාවලියන්ට අදාළ නැත. වෙනත් විදියකින් පැවසුවහොත් මෙතෙක් සාකච්චා කල කිසිම සංසිද්ධියකට "මම" සම්බන්ධ නැත. එසේම "මම" නම් භූතාර්ථයට මෙම සංසිද්ධි කිසිවක් ඍජුවම වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට නොහැක. 

-----------------------

Process වෙච්ච සංඥා celebrium එකේම කොටසක ක්‍රියාත්මක වන මනස නැමැති ආයතනයට ගිය විට ඒවා තවදුරටත් analyse වෙන්න ගනියි. මෙන්න මෙතැනදී මේ analyse කරන භූතාර්ථය හෙවත් processor එක "මම"ය කියා මම හඳුනාගනිමි. අනෙක් ආයතන පහටම අදාළ celebrium කොටස් වලදී මෙම analysis එක සිදුවුනත් එතන processor එකක් (කෙනෙක්) identify වෙන්නේ නැත.

අනෙක් ප්‍රතිදාන ආයතන පහ සඳහා විධානයන් ලබාදීමට වගේම මනස නම් සයවන ප්‍රතිදාන ආයතනය සඳහා විධානය දීමටද සංඥා celebrium හි කොටසකට ලැබෙයි. එවිට එම සංඥා ද්විතික ප්‍රතික්‍රියා ලබාදීම සඳහා තවදුරටත් process වීම ඇරඹේ. මෙහිදී මූලික processing එකට භාජනය වූ සංඥාව පරාමිති රාශියක් සමග process විය යුතුය (process වීම යනු එම පරාමිති සංඥාවට අදාළද, අදාළ නම් එය සිදුවිය යුත්තේ කෙසේද යන්න). මේ පරාමිති අපි හැඟීම් යනුවෙන් හඳුන්වමු; සතුට, ශෝකය, කෝපය, වේදනාව, ඊර්ෂ්‍යාව, වෛරය, බුද්ධිය, තර්ක ඥානය, බිය, සංකාව ආදිය. මේ සියල්ල මනසේ ඇතිවන විද්‍යුත් සංඥා හෝ යම් රසායනික ප්‍රතික්‍රියාවක් නිසා ඇතිවන chemicals මත පදනම් වේ.

-----------------------

ඉහත කතාව මම සාරාංශ කරන්නම්. 

පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංඥා මුලික විශ්ලේෂණය සිදුකර ක්‍රියාමාර්ග ගැනීමට බාහිර ප්‍රතිදාන ආයතන පහට (මනස හැර) විධාන නිකුත් කිරීමට "මම" සම්බන්ධ වන්නේ නැත. එය සම්පුර්ණයෙන්ම සිදුවන්නේ පංචෙන්ද්‍රියෙන් ලැබෙන සංඥා මතකයේ ඇති දත්ත සමග විශ්ලේෂණය කිරීමෙන් පමණි. මේ කාරණය අප ඊළඟට කතාකරන "කර්මය" නම් සංසිද්ධියට ඉතා වැදගත්ය. 

ඉන් අනතුරුව මෙම පංචෙන්ද්‍රියයෙන් ලැබී මුලික විශ්ලේෂණයට භාජනය වූ සංඥා වැඩිදුර process කර ද්විතික විධාන ලබා දීම සඳහා මනස නම් හයවන ආයතනයට යැවෙයි. මෙහිදී එම සංඥා ඉතා සංකීර්ණ විශ්ලේෂණයකට භාජනය වේ. මෙහිදී අප හැඟීම් යයි අර්ථ දක්වන පරාමිති රාශියක් සමග සංඥා විශ්ලේෂණය කෙරෙයි. මෙය සිදුකරන processor එක "මම" ලෙස මම විසින් වටහා ගැනෙයි. මේ විශ්ලේෂණයෙන් අනතුරුව වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා විධාන සලායතන වෙත නිකුත් කෙරෙයි. 

-----------------------

ඉහත කතාවේ තරමක් ගැටළුකාරී ස්වභාවයක් ඇත්තේ මනසට ඇති බහුවිද හැකියාව නිසාය. එය processor එකක් ලෙසද ප්‍රදාන ආයතනයක් (input) ලෙසද ප්‍රතිදාන ආයතනයක් (output) ලෙසද ක්‍රියාත්මක වෙයි. 

දැන් මම "මම කවුද" කියා අසන පැනයද ගැටළු සහගතය. මෙය processor එක විසින් prossesor එකෙන් processor එක කුමක්දැයි අසනවා වැනි පැනයකි. එය processor එක ව්‍යාකූල කරයි. ඒ සඳහා processor එක program කර නැති බව මගේ හැඟීමයි. 

-----------------------

මම දැන් මීට කලකට පෙර ඉදිරිපත් කල උපමේයයක් නැවත කියන්නම්. 

එක්තරා මාතෘ රෝහලක ඉපදෙන දරුවන්ගෙන් යම් ප්‍රතිශතයක් උපතේදීම මිය යයි. තවත් කොටසක් ඉපදී දින කිහිපයකින් මිය යයි. මේ ආකාරයට මේ උපදින දරුවන්ගෙන් ළමා, තරුණ, මැදි විය, මහළු ආදී අවදීන් වල මිය යන යම් යම් ප්‍රතිශතයන් ඇත. සමහර දරුවන් අංගවිකලය. සමහර දරුවන් පිරිපුන්ය. සමහර දරුවන් ඉතා ඉහල IQ අගයකට අයත් වෙති. ඉඳහිට දරුවෙක් මන්ද බුද්ධික තත්වයේය. 

මෙලෙස දරුවන් විවිධ ඉරණම් වලට ගොදුරුවීමට හේතුව මම සමාජයෙන් ඇසුවහොත් ලැබෙන ප්‍රතිචාර බොහෝ විට පිළිතුරු දෙන්නාගේ ආගමික මතවාද අනුව වෙනස් වෙයි. පෙරකළ පව්-පිං නිසා, කර්මය නිසා, දෙවියන්වහන්සේගේ කැමැත්ත නිසා ආදී පිළිතුරු කිහිපයක් එහි තිබෙනු ඇත. 

මෙම රෝහල පැවතුනේ දහ අටවන ශතවර්ෂයේ පැරිසියේදී නම් මෙම දරුවන්ගෙන් 50% වඩා ළමා විය වන විට මිය යන සම්භාවිතාවයක් තිබුණි.. එම රෝහලම අද පැරිසියේ තිබෙනවා නම් මේ ප්‍රතිශතය 0.01% වඩා අඩු අගයක් ගනු ඇත. මේ වෙනස්කම ඇතිවන්නේ කෙසේද? මිනිසුන් මෑතකදී සිට වැඩිපුර පිං කරන නිසාද? ඔවුන්ගේ නරක කර්ම නිශේධනය වන නිසාද? නැත්නම් දෙවියන්වහන්සේගේ කැමැත්ත වෙනස් වී ඇති නිසාද? ඔබ ඔබගෙන්ම තාර්කිකව අසන්න.

දැන් ඔබ පොල් මලක් සිතේ මවා ගන්න. පොල් මල විවර වද්දී එහි තිබූ මලිති විශාල ප්‍රමාණයක් බිමට වැටේ. ගෙවෙන හැම දවසකම මෙම මලිති තවත් යම් ප්‍රමාණයක් බිම වැටේ. සමහර මලිති ලොකුවී කුරුම්බැට්ටි ප්‍රමාණයේදී වැටෙයි. සමහර ඒවා ගොබළු අවස්ථාවේද, කලටි අවස්ථාවේද, සමහර විට හොඳින් පැසුණු පසුද බිමට වැටේ. සමහර ගෙඩි පුහුය. සමහර ගෙඩිවල ප්‍රමාණය කුඩාය. සමහර ඒවා හොඳින් මනාව වැඩී ඇත.

මේ පොල් මලේ ඇතිවන වෙනස්කම් වලට හේතුව කුමක්ද? පව්-පිං, කර්මය, දේව කැමැත්ත? මේ කිසිවක් ප්‍රඥා ගෝචර නැත. බොහෝ විට තාර්කික පිළිතුර මේ සංසිද්ධි අහඹු සිදුවීම් බවය. එසේ නම් දරුවන් ගැනත් කියන්න ඇත්තේ මෙයම නොවේද?

-----------------------

ලොව පැවති  ශිෂ්ඨාචාර සහ ඒවාට අනුයුක්ත වූ ආගම්-ධර්ම පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන අයෙකුට පැහැදිලිවම පෙනෙන කාරණයක් ඇත. එනම් මානව සමුහය විසින් හොඳ-නරක අර්ථ දක්වා ගන්නේ අදාළ කාල-අවකාශ රාමුවට අනුකුලව බවයි. මේ ගැන මම කලින් ලිපියක දීර්ඝව සඳහන් කලෙමි. එය සාරාංශ කල හොත් 'යම් සමාජයක හොඳ-නරක තීරණය වන්නේ එම සමාජයේ පැවැත්ම සවිමත් කරගැනීම උදෙසාය'. යම් ආගමකට අයත් පිරිස් දේශාටනය කරන විට (අවකාශය වෙනස් වීමේදී) ඒ ඒ භූ රාමුව තුල ඇති conditions මත හොඳ-නරක සකස් කරගනියි. එසේම එකම අවකාශයක වුවත් කාලයත් සමග ඇතිවන වෙනස්කම් වලට අනුරූපව ඔවුන් තම හොඳ-නරක modify කරගනියි. අද ලෝකයේ සමහර ආගම් අදහන්නන් දැඩි පීඩනයකට ලක්වන්නේ මෙන්ම ඔවුන් නිසා සෙසු පිරිස අපහසුතාවයට පත්වන්නේද මේ යථාර්තය තේරුම් නොගෙන සහශ්‍රයකටත් පෙර කාල-අවකාශ රාමුවකට අදාළ වූ හොඳ-නරක ඒ ආකාරයෙන්ම වර්තමාන කාල-අවකාශ රාමු තුලට ආදේශ කරන්න යාම නිසාය. මේ සඳහා උදාහරණ ගණනාවක් ඇත. ඒ ගැන අපි වෙනත් ලිපියකින් කතා කරමු.

හොඳ-නරක කාල-අවකාශ රාමුවකට සාපේක්ෂ නම්, අප කරන අර්ථ දක්වා ගත් හොඳ-නරක සඳහා බාහිර පාර්ශවයක් (සර්වබලධාරී දිව්‍ය භූතාර්ථයක් හෝ කර්මය නම් බලවේගයක් වැනි) විසින් විනිශ්චයක් ලබා දීම තර්ක ගෝචර නැත. නමුත් සමාජය යම් threshold බුද්ධි මට්ටමක් ඉක්මවා යන තෙක් හොඳ-නරක සඳහා විනිශ්චය ලබා දෙන බාහිර බලවේගයක් ඇතැයි යන සංකල්පය අත්‍යවශ්‍යය. නොඑසේ නම් මුළු සමාජ සංස්ථාවම වේගයෙන් කඩා වැටෙයි. යථාර්තය හැම විටම යථාවාදී නැත.

-----------------------

අපි දැන් සම්මත හොඳ-නරක විග්‍රහය පසෙක තබා යම් ක්‍රියාවක් කිරීම හෝ පංචෙන්ද්‍රියට ගෝචර වීම අනාගත ක්‍රියාවන්ට බලපාන අයුරු වටහා ගන්න උත්සහ කරමු.

උදාහරණයක් ලෙස යම් කිසි අයෙකු විසින් ගවයෙකු මරනවා අපේ පංචෙන්ද්‍රියට ගෝචර වෙන බව සිතමු. මරණය දැකීම, සතාගේ මරණීය කෑගැසීම ඇසීම, ලේ මස් සුවද දැනීම හා සමහර විට ඉතා ආසන්නයේ සිටිය හොත් මරණ සතාගේ ලේ සහ අනෙකුත් අවයව කොටස් තමාගේ ඇඟෙහි ස්පර්ශ වීම මේ සංසිද්ධිය ගෝචර වන සංවේදන මාර්ග වෙයි. 

මේ සංසිද්ධියට අදාළ සංඥා මොලය වෙත පැමිණීමෙන් අනතුරුව ඒවා කිහිප වරක් විශ්ලේෂණය භාජනය වෙයි. ජිවිතයේ ප්‍රථම වතාවට මෙවන් සතෙක් මරණ ස්ථානයක සිටින අයෙක් සතා මරණ බව දැනුනු විගසම සිය ඇස් කන් වසාගෙන එතනින් ඉවත්විය හැක. මෙය සිදුවන්නේ "මම" සම්බන්ධ නොවී ප්‍රාථමික සංඥා විශ්ලේෂණය තුලිනි. ඒ සඳහා අතීත දත්ත යොදා ගැනෙයි. 

සතා මරණ සංසිද්ධිය පංචෙන්ද්‍රියට ගෝචර වූ පසු "මම" නමැති processor එක විසින් සිදු කරන විශ්ලේෂණය කලින් පැවති දත්ත මත පදනම්ව celebrium හි විවිධ කොටස්වල ඇතිවන නොයෙකුත් සංඥා පාදක වෙයි. එහි ප්‍රතිඵල තවත් සංඥා රාශියකි. ඒවා අප තුල පහළවන හැඟීම් ලෙස අප වටහා ගමු. මෙම හැඟීම් විවිධාකාරය. ඒවා කලින් ගබඩා වී ඇති දත්ත මෙන්ම සංසිද්ධියට අදාළ පරිසරය සහ මෙම සංසිද්ධියට තමාගේ ඇති සම්බන්ධය අනුව වෙනස් වෙයි. පිළිකුල, අප්‍රසන්න බව, කෝපය, සංවේගය ආදී එක් අන්තයක සිට සතුට, ආශාව (මාංශයට දක්වන), වීරත්වය, භක්තිය ආදී අනෙක් අන්තය දක්වා මෙම හැඟීම් විවිධාකාර විය හැක. 

මෙහි වැදගත්ම කොටස පැමිණෙන්නේ මෙතනින් පසුවය. මෙම සිතේ ඇතිවන හැඟීම් දත්ත ලෙස නැවත මතකයෙහි ගබඩා වෙයි. අනාගතයේදී ඇතිවන තවත් ක්‍රියාවකදී ක්ෂණිකව ("මම" ගෙන් ස්වායත්තව) ගන්නා පියවර මෙන්ම මම විසින් ගන්න පියවර සඳහාද මෙම දත්ත බලපායි. මා දකින කර්මය මෙයයි.

-----------------------

ගැඹුරු ඉතිහාස හැදෑරීමකදී අපට පැහැදිලිව පෙනෙන කාරණයක් නම් තම නිවසේ සතුන් ඇති කර මරා මාංශ ලබා ගන්නා සමාජ සංස්ථා තුල වැඩි වශයෙන් ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් පැවතී ඇති බවය. බොහෝ රටවල මාංශ සැපයීම යම් වැසුණු සමාජ ව්‍යුහයකට සීමා වීමත් සමගම මෙම සමාජ ප්‍රචණ්ඩත්වය අඩු වූ බව පෙනෙයි (සමාජ ප්‍රචණ්ඩත්වයට තවත් කාරණා කිහිපයක් පාදක වන බව සලකන්න). වර්තමානයේ පවා පුරුද්දක් ලෙස තම නිවසේ සත්ව ඝාතනය කරන මෙන්ම මුහුදු කරයේ මසුන් මැරීමේ කර්මාන්තයෙහි යෙදී සිටින ප්‍රජාවන් තුල යම් ඉහල ප්‍රචණ්ඩත්වයක් දැකිය හැක.  

මම මෙහිදී කිසිවක් හරි-වැරදි ලෙස විනිශ්චය නොකරන බවත් මට පෙනෙන කරුණු පමණක් ඉදිරිපත් කරන බවත් නැවතත් අවධාරණය කරමි.  

-----------------------

අපට යම් සංසිද්ධියක් පංචෙන්ද්‍රිය ගෝචර නොවන තෙක් එහි කිසිඳු බලපෑමක් නැත. උදාහරණයක් ලෙස මා උදෑසන වහනය පදවද්දී බලු පැටවකු එයට හසුවී මිය යාම හෝ මටත් නොතේරී මගේ සාක්කුවෙන් වැටුණු මුදලකින් දුප්පත් දරුවෙක් ආහාරයක් ගෙන කුසගිනි නිවා ගැනීම මගේ කර්මයක් බවට පත්වන්නේ නැත. මන්ද ඒ පිළිබඳව කිසිඳු දත්ත සටහනක් මගේ මතකයේ තැන්පත් නොවීමයි. අනෙක් අතට මා කිසිඳු ආකාරයකින් සම්බන්ධ නොවන සංසිද්ධියක් චිත්‍රපටයක දැකීම, ප්‍රවෘතියක් ලෙස කියවීම හෝ කෙනෙකු විස්තර කරනවා අසා සිටීම පවා කර්මගත වෙයි. එනම් ඒ පිළිබඳව අපගේ දත්ත-ගබඩාව දැනුවත් වන අතර එම දත්ත පසුකාලීනව අපගේ සිතුවිලි සහ ක්‍රියාවන්ට බලපායි. 

මේ අනුව සියළුම ආගම් පාහේ සිදුකර ඇත්තේ යම් කාල-අවකාශ රාමුවකදී අදාළ සමාජයේ පැවැත්මට හානිකරවූ ක්‍රියාවන් අවම කිරීමටත් පැවැත්මට රුකුල් දෙන්නාවූ ක්‍රියාවන් උපරිම කිරීමටත් දායක වන පරිදි අණ පනත් සකස් කිරීමයි. මේවා පිං-පව් හෝ හොඳ-නරක ලෙස ලේබල් ගත කර ඇත. එක් සමාජ රාමුවක වූ පිං-පව් තවත් රාමුවකදී පව්-පිං බවට පත්විය හැක්කේ මේ නිසාය. 

පිං-පව් quantify කල හැක්කේ ඒ තුලින් කුමන මට්ටමකට අනාගතයට බලපෑ හැකි දත්ත මනස තුල ගබඩා වෙනවාද යන්න මතය. අපට යමෙක් සිදුකරන ප්‍රකාශයකට ඇතිවන හැඟීම විශ්ලේෂණය කර බලන්න. "ඔයාගේ මුහුණ හරිම කැතයි" කියා කාන්තාවන් පස් දෙනෙකුට පවසන්න. බොහෝ විට එම පස් දෙනාගේ ප්‍රතිචාර වෙනස් විය හැක. ඒ සියල්ල සිදුවන්නේ ඔවුන්ගේ අතීත මතක දත්ත විශ්ලේෂණයට අනුවය. කෙනෙකු එය විහිළුවක් ලෙස සලකන්නත්, තවත් අයෙකු දුක් වන්නත්, තව කෙනෙක් ඔබට දොස් නගන්නත්, තව කෙනෙකු ඔබට පහරදීමටත් හැකියාව ඇත. මෙසේ පහර දීමට පැමිණෙන කාන්තාව බොහෝ විට ඊට කලින් මෙවැනි වාතාවරණයකදී තවත් අයෙක් මේ ආකාරයටම පහර දෙනවා දැක තිබෙන්නට ඇත (සැබෑවටම නොවුණත් චිත්‍රපටයක හෝ). එසේ ඇය ඔබට පහර දුන හොත් මෙම සංසිද්ධිය ඇයගේ මෙන්ම එය පංචෙන්ද්‍රිය ගෝචර වන සියළු දෙනාගේ මතක දත්ත බවට පත්වෙයි. ඊළඟට ඇතිවන මෙවැනි සිදුවීමකදී අර කාන්තාව නැවතත් පහර දීමකට පෙළඹීමට වැඩි ඉඩකඩක් ඇත. එපමණක් නොව එම සංසිද්ධිය ගෝචර කරගන්න අන් අය තුලද එවැනි ප්‍රතිචාරයකට ඇති ඉඩකඩ වැඩි වෙයි. 

බොහෝ සමාජ රාමු තුල මෙවැනි ප්‍රවණතාවයක් එහි පැවැත්මට අහිතකරය. එබැවින් ඔබගේ ප්‍රකශය මෙන්ම ඇයගේ ප්‍රතිචාරයද සිදු නොවන ආකාරයෙන් සමාජය තුල ආගමිකව හෝ සාමාජීයව යම් වට කඩුළු නිර්මාණය කරගනියි. 

අනෙක් අතට සතුරු ආක්‍රමණ හේතුවෙන් තද බල ලෙස පාගා දැමූ ජන සමූහයක් එයට එරෙහිව නගා සිටුවීමේදී තවත් කාල-අවකාශ රාමුවක පව්-පිං ලෙස ලේබල් ගතකරන ක්‍රියා පිං-පව් ලෙස අර්ථ දැක්වීමට සිදුවෙනු ඇත. මෙවන් සමාජයක් ගොඩ නැංවීමේදී ලේ දැකීමට, වර්ගයා බෝ කිරීමට, කිසිඳු ප්‍රශ්ණ කිරීමකින් තොරව විධාන පිළිපැදීමට තම පිරිස හුරු කිරීම අත්‍යවශ්‍ය වෙයි. මේ අනුව ඒ සමාජ රාමුවේ හොඳ-නරක තීරණය වෙයි. 

-----------------------

"හොඳ-නරක සියල්ලටම මුල් වන්නේ සිතයි" යම් ආගමක මෙසේ කියා ඇත. එය දැන් වටහා ගන්න උත්සහ කරන්න. එලෙසම පිං රැස් කිරීම, පිනට දායක වීම පිං අනුමෝදනා වීම ආදී යම් දහමක ඇති යෙදුම් ගැන අලුතින් හිතන්න. 

වසර දෙදහස් පන්සියයකට පමණ පෙර නුවණැත්තෙක් මේ සංසිද්ධිය පියවර 12ට බෙදා එදා පැවති භාෂාවට සහ දැනුම් සම්භාරයට අනුකූලව විස්තර කර ඇති බව මගේ වැටහීමයි. ඔහුගේ පසුකාලීන ශ්‍රාවකයන් හතර අතට පටලවා ජංජාලයක් කර ඇති මේ නූල ඔබ හෙමින් සීරුවේ දිග හැරගන්න උත්සහ කරන්න.  



මායා සඳහා දිගුව: https://chandimagomes.blogspot.com/2020/08/blog-post_12.html