Friday 28 August 2020

රිලවුන්ට එදිරිව රිලව්


කැලේ ගහ කොළ ඉඩෝරෙට කේඩෑරි වෙලා හේබෑ වෙලා ගිහින්. වැවේ වතුර හොඳටම අඩුවෙලා. වතුර බොන්න යන සත්තුන්ව බඩගින්නේ ඉන්න කිඹුල්ලු අල්ලාගෙන කනවා. මේ නිසා අනතුරක් නැති දියකඩිති හොයාගෙන වතුර පිපාසෙන් පෙලෙන සත්තු ඒ මේ අත ඇවිදිනවා. 

ඔය අතරේ වඳුරෝ කීප දෙනෙක් එකතුවෙලා අසරණ වෙච්ච සත්තු ටික වැව අද්දර වැලිතලාවට කොහොම හරි එක් රැස් කළා. 

"කැලේ රජ කළ අලි ඇත්තු ටික කැලේම තිබුණු සරු ගස් ටික ඉවක් බවක් නැතිව කාල දැම්මා. ඒක නිසා තමයි අපිට මෙහෙම උනේ" මහ වඳුරෙක් තත්වේ පැහැදිලි කළා.

"අපි කැලේ ඉන්න නුවණක්කාර රිලව් රංචුව නායක කමට පත්කරගමු" කලින් කතා කරගෙන තිබුණු විදියට නාකි වඳුරෙක් යෝජනා කළා. 

"රිලව් නුවණක්කාරයි කියල කවුද කියන්නේ" අහිංසක හාවෙක් ඇහුවා.

"මේ මුළු කැලේම ඉන්න පොඩ්ඩක් හරි මොළයක් තියෙන ඔක්කොම සත්තු ඒක දන්නවා" කොටියා බොහොම සද්දෙන් ගොරවලා කිව්වා. වලහයි, වඳුරෝ ටිකයි ඒ කතාව අනුමත කරලා ලොකු සද්දයක් දැම්මා. එකත් කලින් ඉඳලම ගහපු සැලැස්මක්. හාවා ලජ්ජාවෙන් බිම බලා ගත්තා.

ඉතින් ඔන්න ඔහොම රිලව් රජ වුණා. 

මුලින්ම වතුර ප්‍රශ්ණේ. රිලව් යෝජනා කළා කිඹුල්ලුන්ට ගල් ගහන්න. එතකොට කිඹුල්ලු ටික වැව දාල පැනල දුවයි කියල රිලව් අනෙක් සත්තුන්ට කිව්වා. කට්ටිය හැමෝම වගේ වැඩේට කැමති වුණා.

එදා හවස සත්තු ටික ඔක්කොම වැව අද්දරට රැස්වුණා. මහ රිළවා ලොකු ගලක් අරන් ඇවිත් මුලින්ම කිඹුල්ලු ඉන්න පැත්තට ඒක වීසි කළා. දැන් ඔක්කොම සත්තු කිඹුල්ලුන්ට ගල් ගහනවා. 

කිඹුල්ලු ටිකට කවදාවත් වෙච්ච නැති මේ වැඩේ ටිකක් අමුතුයි. උන් පොඩ්ඩ පොඩ්ඩ ගල් ගහන සත්තු ඉන්න පැත්තට ඇදුනා. කිඹුල් හමට ගලක් වැදුනට දැනෙනවායෑ. සත්තු ටික හිතුවා කිඹුල්ලුන්ට හොඳටම රිදිලා තමයි මේ වැවෙන් ගොඩටත් එන්නේ කියල. වැවෙන් එලියට ආපු තඩි කිඹුලෙක් ඉස්සරහින්ම ගල් ගගහ හිටපු මුවෙක්ව ඩැහැගෙන වතුරට පැන්නා. අනෙක් කිඹුල්ලුත් උගේ පස්සෙන්ම ආයෙත් වතුරට පැන්නා. පිටිපස්සෙන් ගල් ගහමින් හිටපු සත්තු ටික හිතුවේ කිඹුල්ලු බයවෙලා දිව්වා කියලා. උන් තව ටිකක් ඉස්සරහට ඇවිල්ලා ගල් ගහන්න ගත්තා. බඩගින්නේ හිටපු තව කිඹුල්ලු ටිකක් වටෙන් ඇවිත් ගෝනෙක්වයි වල් උරෝ දෙන්නෙක්වයි අල්ලාගෙන වතුරට පැන්නා. 

ඔය කලබගෑනිය අස්සේ රිලව් ටිකයි, වඳුරෝ ටිකයි, කොටියයි, වලහයි වැවේ අනෙක් පැත්තට ගිහින් හොඳ හැටි වතුර බිව්වා. මොකද කිඹුල්ලු ටික ගල් සෙල්ලම බලන්න ගිහිල්ලනේ. 

දවස් කීපයක් මේ වැඩේ මේ විදියට සිද්ධ වුනා. කැලේ හිටපු සමහර සත්තුන්ට තේරුණා රිලව් කරන්නේ කපටි වැඩක් බව. උන් තැන තැන කියන්න ගත්තා මේ වැඩේට අහුවෙන්න එපා කියල. 

මේ කතාව රිලවුන්ටත් ආරංචි වුණා. රිලව් රංචුව රැස් වෙලා සාකච්චා කළා කලබල වෙච්ච සත්තු ටික ගොනාට අන්දගන්න විදියක්. 

පහුවදා නැට්ට කොට රිලවා කැලේ සත්තු ඉන්න තැන්වලට ගිහින් මෙහෙම කිව්වා "මම කොයිතරම් කිව්වද මහ රිලවට ඔය ගල් ගහන වැඩේ හරියන්නේ නැහැ කියල. ඇහුවේ නෑනේ. අනේ අර කිඹුල්ලු අල්ලගත්ත මුවයි, ගෝනයි, වල් උරෝ දෙන්නයි අනෙක් පොඩි සත්තු ටිකයි ගැන මට හරි දුකයි".

"එකනේ බලන්නකෝ නැට්ට කොට රිලවට කල්පනා වුන තරම් මහ රිලවට තේරිලා නැහැනේ" සමහර සත්තු කියන්න ගත්තා.

"නැට්ට කොටා කොහොමද එහෙම අපේ මහ රිලවා ගැන කියන්නේ. ඌට පිස්සු. මහ රිලවා හැමදාම වැඩක් කරන්නේ හොඳට හොයල බලල" මූණ කැත අළු රිලවා කැලේ පුරා සද්දේ දාගෙන ඇවිද්දා. 

දැන් රිලව් ටික දෙකට තුනට බෙදිලා අනෙක් සත්තු ඉස්සරහ එකාට එකා කෑගහගන්නවා. වලහයි, කොටියයි, වඳුරෝ ටිකයි මේ වාදේ මැද්දට පැනල එහෙටයි මෙහෙටයි බනිනවා. දැන් කැලේ ම ඉන්න සත්තුන්ගේ කතාව මේ වාදේ ගැන. බොහොම අය තර්ක කරනවා කොයි රිලවද හරි කියලා තීරණය කරගන්න බැරුව. 

ඔය අස්සේ තාමත් රිලවු රංචුවේ නුවණ ගැන දැඩි විශ්වාසයකින් ඉන්න මී හරක් ටිකක් එකතුවෙලා හවසට හවසට කිඹුල්ලුන්ට ගල් ගහනවා. 

- මේක මේ පොඩි දරුවන් වෙනුවෙන් ලියපු කතාවක් 



6 comments:

  1. පොඩි දරුවො තේරුම්ගත්තොත් උන්ටවත් අනාගතයක් තියෙයි.

    ReplyDelete
  2. ඒ කැලේ සත්තු (විශේෂයෙන්ම මී හරක්) කතාවුනේ නැද්ද අපිට ජීවත්වෙන්න කැලයක් තියෙන එකයි වැදගත් අපේ x (තනි අකුරෙ වචනයක්) කැලේ ආරක්ෂා කරයි කියල. එතකොට ඒ රිලවු වෙන ලොකු කැලේකත් ගස් කොලන් එහෙම අයිති පුරවැසියො නෙවෙයිද (පොඩි ලමයින්ට ලිව්වට කමක් නැහැ චන්දිම වැදගත් කෑලි හලන්න එපා)

    ReplyDelete
  3. සිංහල මිනිස්සුන්ගේ දේශපාලන දැනුමේ ඌනතාවය පෙන්වන හොඳම සිද්ධීය තමයි වාසුදේවට මනාප 62දාහක් ලැබීම.

    වාසුදේව වගේ එකෙක්ට මනාප දෙනවට වඩා කුඩු කාරයෙක්ට කසිප්පු කාරයෙක්ට මනාපය දීම වටිනවා. උන් ටිකක්හරි මනාප දීපු අයගේ මතය නියෝජනය කරනවා. නමුත්
    වාමාංශික දේශපාලනඥයන්ට ජනතා නියෝජිතයෝ වෙන්න බෑ. උන්ට පුළුවන් තම මතවාදයේ නියෝජිතයෝ වෙන්න විතරයි. වාමාංශිකයෝ මතුපිටින් හොඳ අයවගේ පෙනුනට ඇතුලෙන් දරුණු ඒකාධිපතියෝ.
    වාසුදේව ගැන සැලකුවොත් නියෝජනය කරන්නේ ඔහු දෙමළ ජාතිවාදී ප්‍රශ්ණ දෙස ගැන දරන මතයයි.
    ඔහුට චන්දේ දීපු අය දෙමළ ප්‍රශ්නය ගැන හිතන විදිය ඔහුට අදාල නෑ.

    වාසුදේවට චන්දේ දීපු සිංහලයෝ නම් අමු මී හරක් රංචුවක්.

    ReplyDelete