Saturday, 1 August 2020

මැතිවරණය ගැන වදනක්



පුර්ව මැතිවරණ සමය යනු සාමාන්‍යයෙන් දේශපාලකයා සිල් ගන්නා පුණ්‍ය කාලයයි. උපන්ගෙයි මෝඩ අමනයන් මහා ප්‍රාඥයන් සේ පඬි බස් දොඩන,  අමු බේබද්දන් අමද්‍යප සංගම් සභාපතිවරුන් සේ හැසිරෙන, මිනීමරු අපරාධකාරයන් පන්සල්වල ඇබිත්තයන් වන, හොර තක්කඩි වංචාකාරයන් මහා දානපතියන් වන මේ වකවානුව එකම නාඩගම් මඩුවකි.

එහෙත් මෙවර තත්වය ඊට වඩා සෑහෙන වෙනස්ය. බොහෝ දේශපාලුවන් පසුගිය සති කිහිපයක සිට හැසිරෙන්නේ පූර්ව මැතිවරණ සමයකට වඩා ජයග්‍රාහී පශ්චාත් මැතිවරණ මානසිකත්වයකිනි. ඔවුන් මැතිවරණ නීති රීති තියා රටේ සිවිල් හා අපරාධ නීති පිළිබඳව පවා තුට්ටුවකට මායිම් නොකරන සේයකි. මහජන මුදල්, රටේ උරුමයන් සහ පරිසරය මහජනතාව ඉදිරිපිටම විනාශ කර දමමින් මේ දේශපාළුවෝ ඒ පිළිබඳව නොයෙකුත් අමන වදන් පවසති. විරුද්ධ පාක්‍ෂිකයන්ට මඩ ගැසීමේදී ඔවුන් වැටිය හැකි පහත්ම තත්වයට වැටී ඇත. වේදිකාවේ පෙනෙන්නේ රටේ පාලනය සඳහා නියෝජිතයන් තේරීමේ ක්‍රමවේදයකට වඩා රටේ ලොකුම හොරා සහ ලොකුම බොරුකාරයා තේරීමේ තරඟයක් පැවැත්වෙන ආකාරයකි. වෙනස් නොවී ඇති එකම දර්ශනය නම් මල්වට්ටි බෞද්ධයාගේ සිට කුරුස කතෝලිකයා දක්වා සියළුම දේශපාලුවන්ගේ අත බැඳී කඹ වැනි පිරිත් නූල් ගොන්නයි. 

බොහෝ දෙනෙකුට නොපෙනෙන කටුක යතාර්ථය නම් ශ්‍රී ලංකාව මේ වන විට ඇත්තේ ආර්ථික සහ සාමාජීය ගිනි කන්දක් උඩ බවයි. මතුපිටින් පෙනෙන දුම් රොටුවලට පහලින් ලෝදිය විලක් කැකෑරෙමින් පවතී. කවුරුන් බලයට පැමිණියත් කෙටි කලකින් එය පුපුරා යාමට නියමිතය. දීර්ඝ කාලයක් තුල රට පාලනය කල සියළුම ලාංකික දේශපාලකයන්ගේ අමනකම් හේතුවෙන් මේ වන විට රටේ නය බර නාසයෙන් ඉහලට පැමිණි ජලකඳක් බවට පත්වී ඇත. ලංකාව ගෙවිය යුතු නය සහ පොලී වාරිකය සලකා බලන විට රටේ ආදායම යනු විහිළුවකි.  හෙට දින සිට රටේ ආර්ථික දුෂණය සහ නාස්තිය 100% ක් නවතා දැමුවත් රටවැසියා ඉතා දුෂ්කර දශකයක් තරණය නොකර ලංකාව ගොඩ නැගීම සිහිනයක් බව ආර්ථිකය හා ගණිතය පිළිබඳව සරල දැනුමක් ඇති අයෙකුට පහසුවෙන් ගණනය කර පෙන්විය හැක. නමුත් බොහෝ දේශපාළුවන් මේ යතාර්ථය යන්තමින් හෝ අනාවරණය කරන ආකාරයක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ආණ්ඩු පක්ෂය සුරංගනා ලෝක මවන අතර විපක්ෂයේ සමහර දේශපාලුවෝ ඇලඩින්ගේ පුදුම පහනේ භූතයාට කවට ඇඳුම් අන්දවමින් සිටිති. 

ලංකාවේ මෑත කාලයේදී සිදුවූ විශාලම විපත්තිය නම් දේශපාලුවා තම නොහැකියාවේ විලි වසා ගැනීමට ජාතිවාදී කඩතුරාව ඉවක් බවක් නැතිව භාවිතා කෙරිමයි. එහි ප්‍රතිඵල වී ඇත්තේ ජාති-ආගම් බේදයකින් තොරව මෙම වෛරී විඥානය ජනතාව තුල ජාන ගතවීමයි. තමන්ගේ නොහැකියාවට හේතුව අනෙකා බවට ස්වයං-රාමුවක් සකසා ගැනීම අනාදිමත් කාලයක සිට පවතින මිනිස් ගුණයකි. මේ මනෝ විද්‍යාව තේරුම් ගත් පාලකයන් සහ පූජකයන් එකිනෙකා අත්වැල් පටලවාගෙන ජනතාව තම අශ්වයන්, බූරුවන් හෝ කොටළුවන් කරගැනීමට ඇත්තේ දීර්ඝ අතීතයකි. ලොව පුරා ඇතිවූ යුද්ධ සහ ආක්‍රමණ සහ ඉන් මියගිය මිලියන හෝ බිලියන ගණනක් සාමාන්‍ය වැසියන් මෙම ව්‍යායාමයේ ප්‍රතිඵලයන්ය. 

යම් යම් කාල වකවානු වලදී මෙම ජාතිවාදී ජන විඥානයේ විනාශකාරී ස්වභාවය තේරුම් ගත් සමහර රටවල පාලක ප්‍රජාව අඩුම තරමේ තම පාලන ප්‍රදේශය තුල සිටින ජන සමුහ අතරවත් මෙම මනෝභාවය සමනය කිරීමට උත්සුක විය. එවිට එම රටවල් කෙටි කලකදී දියුණුවට පත්විය. පසුගිය සියවස තුල යුරෝපය සහ පසුගිය අඩ සියවස තුල සිංගප්පුරුව මීට උදාහරණ දෙකකි.  

මේ වන විට මා දකින පරිදි රටේ ඇති දුක්ඛිතම ව්‍යසනයක් නම් සමාජයේ යම් තරමක හෝ උගතුන් ලෙස නාමකරණයට ලක්වූ විශාල පිරිසක් දේශපාලුවා වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල පලකරන අදහස්ය. ප්‍රතිවාදී පිල් වලට ඉතා පහත් ලෙස මඩගැසීම සහ තම පිලේ කටයුතු මන්දබුද්ධික ආකාරයෙන් සාධාරණීකරණය කිරීම තුලින් ඔවුන් තමන්ගේ ප්‍රතිරුපයත් රටේ අනාගතයත් යන දෙකම විනාශ කර දමයි. පුර්ව-ඩිජිටල් යුගයේ සරසවි දේශපාලනය තුල කැන්ටිමේ මේසයක් මතට නැග සිදුකල වාදයකදී තරම්වත් ප්‍රතිපත්තිමය අරඟලයක් දැන් සමාජ මාධ්‍යයක දකින්නට නැත. සමාජ මාධ්‍ය පරිශීලනය කරන බහුතරයක් නොමේරු අවියත් පුද්ගලයන්, වර්තමාන ග්‍රාමය භාෂාවෙන් පවසතොත්, කඩේ යාම, කිලිටි රෙදි සේදීම, අතින් කා හරක් බැලීම හෝ ඇඟේ හලා ගැනීම මම ප්‍රශ්න නොකරමි. එය පුර්ව-ඩිජිටල් යුගයේද එකලට අදාළ සංනිවේදන මාධ්‍ය ඔස්සේ සිදුවිය. එහෙත් ඉහත සියළුම බාල වර්ගයේ ක්‍රියාවන් වියත් යයි සම්මත පිරිස අතින්ද සිදුවීම අතිශයින් ඛේදජනකය.  

ලංකාවේ යම් අවංක බුද්ධිමත් දේශපාලකයෙක් මෙම මැතිවරණය සඳහා තරඟ වැදී සිටියි නම්, ඔහුට හෝ ඇයට මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව පැවතිය හැකි එකම සංකල්පය එය ජනතාව වෙනුවෙන් තමා විසින් පැළඳිය යුතු වේදනාකාරී කටු ඔටුන්නක් බවයි. එසේ සිතන බවට තම කතාවෙන්, අභිනයෙන් සහ ක්‍රියාවෙන් හඟවන අපේක්ෂකයෙකුට ඔබේ චන්දය ලබා දීම මේ අවස්ථාවේදී ඔබට කළ හැකි එකම සත් ක්‍රියාවයි.