“ඔබ මා දකින්නේ කොතනද?” මා පිරිසකගෙන් ඇසුවහොත්, බොහෝ දෙනෙකු මා සිටින දෙසට ඇඟිල්ල දිගුකර පෙන්වනවා ඇත.
ඇත්තටම මා සිටින්නේ ඔබ තුල මිස ඔබ ඇඟිල්ල දිගුකර පෙන්වන තැන නොවේ.
අප දන්නා සරළ භෞතික විද්‍යාවට අනුව මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබගේ අක්‍ෂි කාචයෙන් වර්තනය වී දෘෂ්ටිවිතානයේ ප්‍රතිබිම්බයක් සාදයි. මෙම ප්‍රතිබිම්බයේ ආලෝක පැතිරුමට අනුරූපව ඊට සම්බන්ධ දෘෂ්ටි ස්නායු අග (අක්ෂි කෙලවර) විද්‍යුත් සංඥාවක් නැත්නම් කුඩා වෝල්ටීයතා ස්පන්දයක් ඇති වේ. මෙම විද්‍යුත් සංඥාව ප්‍රතිබිම්බය හඳුනාගැනීමට අදාළ තොරතුරු මොළයේ යම් කොටසක් වෙතට ස්නායුවක් මගින් ගෙනයයි.
විද්‍යුත් සංඥා ආකාරයෙන් මොළය වෙතට පැමිණෙන තොරතුරු එහිදී සංකීර්ණ සැකසුමකට ලක් වේ. මෙහිදී අදාළ ප්‍රතිබිම්බය ඔබගේ මතක පද්ධතියේ (memory system) ඇති තොරතුරු සමග සසඳනු ලැබේ. මා ඔබ නිතරම දකින කෙනෙක් නම් මගේ තොරතුරු ඔබගේ මතක පද්ධතියේ ඉහළ ම ස්ථරවල පවතී. එබැවින් ඉතා ඉක්මනින් සැසඳීමේ ක්‍රියාවලිය අවසන් වේ. එනම් නිමේෂයකින් ඔබ මා හඳුනා ගනී.
ඔබ මා දකින්නේ වසර 10 ට පමණ පසුව නම් කාරණා දෙකක් නිසා ඔබට මාව පහසුවෙන් හඳුනාගත නොහැකි වනු ඇත. පළමු කාරණය නම් කාලයත් සමග මා පිළිබඳව තොරතුරු මතක පද්ධතියේ පහළ ස්ථරවලට තල්ලු වී තිබීමයි. එවිට එම තොරතුරු සොයා ගැනීමට මොලයේ සැකසුම් ඒකකයට (processing unit) වැඩි කාලයක් ගත වේ. දෙවැන්න, දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් මගේ හැඩරුව වෙනස් වී තිබීමට ඉඩකඩ වැඩි වීමයි. මේ නිසා මගේ ප්‍රතිබිම්බයෙන් එන විද්‍යුත් සංඥාව මා පිළිබඳව ඔබගේ මතකයේ ඇති තොරතුරු හා නොගැලපීමට ඉඩ ඇත.
මා ඔබ ඉදිරියේ නොමැතිව වුවද යම් උපක්‍රමයක් මගින් ඔබේ දෘෂ්ඨි විතානයේ මගේ ප්‍රතිබිම්බයක් සෑදිය හැකි නම් ඔබට මා සැබෑවටම ඉන්නවා සේ පෙනෙයි. මේ වන විටත් භාවිතයේ තිබෙන උපැස් යුවලක් ලෙස පැළඳිය හැකි අත්‍ය යථාර්තික (virtual reality) උපකරණය මගින් ඔබට මේ අත්දැකීම විඳිය හැක.
දැන් අපි මෙලෙස සිතමු. යම් උපක්‍රමයක් මගින් දෘෂ්ටි ස්නායු කෙලවර මාගේ ප්‍රතිබිම්බයට අදාළ විද්‍යුත් සංඥාව සෑදිය හැකි යැයි සිතන්න. මෙය එම ස්නායුව අගට සවිකරන විද්‍යුත් ස්පන්දකයකින් හෝ විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන උපකරණයක් මගින් සිදුකිරීමට හැකියාව ඇත. දැන් ඔබට සම්පුර්ණයෙන්ම දෑස වසාගෙන සිටියත් මාව පෙනේ. මා ඔබ ඉදිරිපිට සිටීම හෝ මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබේ දෘෂ්ටි ස්නායු කෙලවර ප්‍රතිබිම්බ සෑදීමක් දැන් අවශ්‍ය නොවේ.
ඉහත විද්‍යුත් සංඥාව දෘෂ්ටි ස්නායු කෙලවර සිට ස්නායුව දිගේ මොළයේ යම් ස්ථානයකට ගමන් කරයි. දැන් දෘෂ්ටි ස්නායුවේ අක්ෂි කෙලවර වෝල්ටීයතා ස්පන්දය ඇතිකරනවා වෙනුවට එය කෙලින්ම ස්නායුවේ මොලය කෙලවර කොටසේ ස්ථානගත කළ හැකි යැයි සිතන්න. දැන් ඔබට මාද නොමැතිව, දෑසද නොමැතිව, දෘෂ්ඨි විතානයේ සිට මොලය දක්වා දිවෙන ස්නායුවද නොමැතිව මා ඔබ ඉදිරියේ සිටින බව දැකිය හැක.
සරලව පවසතොත් ඔබ දකින මුළු විශ්වයම මොලය තුල ඇතිවන විද්‍යුත් සංඥා දාමයක් බව ඔබට තේරුම් යා යුතුය.
දැකීම පමණක් නොව සියලුම සංවේදකවලට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වන්නේද ඇසේ සිදුවන ක්‍රියාකාරිත්වයට සමාන ආකාරයෙනි.
උදාහරණයක් ලෙස ඔබ මගේ අතක් අල්ලන විට එය අත ලෙස හැඟෙන්නේ ඔබේ සමේ ඇති ස්නායු මගේ අතේ ඇති දෘඩතාවය පිළිබඳව තොරතුරු ඔබගේ මොළයට සපයනු ලබන බැවිනි. මගේ අත ඔබ අල්ලන විට ඇතිවන මේ විද්‍යුත් සංඥා ඉබේටම ඇති වුවහොත් හෝ යමෙකු විසින් ඇති කරයි නම් ඔබට මගේ අත එතන නොතිබුණත් අත අල්ලනවා යන හැඟීම ඇති වේ.
අපි සැබවින්ම අතරමං වන ස්ථානයට පැමිණෙන්නේ මෙතනදීය.
මට සංවේදනය වන මුළු විශ්වයම පවතින්නේ මා තුල පමණද?
මගෙන් ස්වායත්ත විශ්වයක් ඇත්ද?
මා සංවේදනය කරන්නේ මායාවක්ද?
ඊළඟ වැදගත්ම පැනය නම් මේ මායාව සංවේදනය කරන "මම" කවුද?
සලායතනවලින් (සිත-කය) ඇති කරන චිත්‍රපටය නරඹන එම සලායතන වලින් ස්වායත්ත වූ "මම" නම් භූතාර්ථයක් ඇද්ද? ඒ කවුද?
අනෙක් අතට මුළු ලොවම මායාවක් නම් අප කතා කරන දෘෂ්ටිවිතාන, ස්නායු, මොළය, මතක පද්ධති ආදී මගේය කියන සියලු දෙයම ද මායාවන් වන්නේද?
“මම”ද ඒ මායාවේම කොටසක්ද? එසේ නොමැති නම් "මම" නිරපේක්ෂ යථාර්ථයේ කොටසක්ද?
හමුවෙමු නැවතත් ...
“The universe is a pretty big place. If it's just us, seems like an awful waste of space.”
ReplyDelete― Carl Sagan
“The Universe is not only queerer than we suppose, but queerer than we can suppose.”
Delete― J.B.S. Haldane
“The most complicated thing in this world is the human mind.”
Delete― Asif Imtious Prome
බඹයක් වූ මේ ශරීරය තුළ මම ලොව පනවමි ෴බුදු රජාණන් වහන්සේ෴
ReplyDeleteඋන් වහන්සේගේ මේ ප්‍රකාශය මීට කදිමට ගැලපෙනවා නේද?..
යම් සමාන කමක් පෙනෙනවා
Deleteඅදහස වචනයට නගා ඇති අන්දම විශ්මයජනකයි.
ReplyDeleteThanks for your kind words
Deleteචන්දිම, ඔබ out of body experience (OBE) ගැන අසා ඇති. එය සත්‍යක් දැයි කියා මා දන්නේ නෑ, නමුත් එවැනි සිදුවීම් වාර්තා වෙලා සහ යම් පමණකට හෝ පර්යේෂණ කර තිබෙනවා. මෙවැනි අත්දැකීම් ලද අය තමන්ගේ සිරුරෙන් පිටත සිට ඇසීම් දැකීම් සිදු කර තිබෙනවා සහ නැවත ඒවා මතකයට නගා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ, මොලයේ දත්ත ගබඩා වෙනවා කියන එක අභියෝගයට ලක් වෙනවා කියන එක නේද?
ReplyDeleteමා අසා ඇති පරිදි බුද්දාගමේ මෙය විස්තර වෙන්නේ මතකය තැන්පත් වන්නේ කර්ම භවයේ / විඥාන තලයේ. ඒවා තිබෙන්නේ නම ගෝත්‍ර වශයෙන් හඳුන්වන එකට බැදුණු ගොඩවල් ලෙස. (නාම ගොත්තන් නජිරති කියල කියෙන්නෙත් ඒවා විනාස නොවන නිසා කියල තමයි මම අහල තියෙන්නේ.)
එය හොඳ මොඩලයක්
Deleteපණ.. ජීවත්වෙන මිනිහයි මැරුණු මිනිහයි වෙනස.. අන්න ඕක හරියටම හොයාගන්න ඕනි. :))
ReplyDeleteඔබේ පැහැදිලි කිරීම ඉතා අගෙයි. එහෙත් "මාද නොමැතිව, දෑසද නොමැතිව ......" පාඨය යථාර්ථයෙන් ඔබ්බට යෑමක් ලෙස හැඟේ. මන්ද, බාහිර අරමුණ ද නැතිව, එවන් බාහිර අරමුණක් ඇති බවට පණිවිඩය ක් සිතට දැනෙන්නට සැලසූවත් එය හදුනාගැනීමට අපොහොසත් වෙයි. (කලින් කිසිවිට දැක නැති නවමු අරමුණක් නම්).
ReplyDeleteමෙහි මායාවක් වන්නේ බාහිර අරමුණ ඡායාවක් ලෙස හිතේ ඇතිකරවන දර්ශනය විපරිණාමය නොවන එසේම පවතින දෙයක් සේ සලකා ඊට තමාට අනුකූල අගයක් ආදේශ කර (කැමැති, අකැමැති/ රස, නීරස/ ලස්සන, කැත වැනි) ක්‍රියාත්මක වීමයි. මායාව වන්නේ මෙයයි. මන්ද විපරිණාමයට පත්වන, කැඩී බිඳී යාම උරුම කොට පවතින දෙයක් එසේ වන බව නොවැටහී, ඒ දෙය පිලිබදව ක්‍රියාත්මක වීම මායාවට හසුවීමයි.මුලාවට පත්වීමයි. බුදුදහම මායාව/මුලාව ලෙස විස්තර කරන්නේ මෙම අනවබෝධය නිසා පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධයක් බවට පත්කරගෙන ක්‍රියාත්මක වීමයි. නැතිව බාහිර ලෝකයේ විද්‍යාමාන වනදේ නැති බව නොවේ. .
ඔබගේ පිළිතුරට ස්තුතියි. මම මෙහිදී කතා කරන්නේ බුදු දහම පිළිබඳව නොවෙයි. ඔබට බුදු දහමෙන් ස්වායත්තව මෙම අදහස අල්ලා ගත හැකි නම් මා කියන දේ වැටහේවි.
Delete