Saturday 28 July 2018

නොමිලේ අධ්‍යාපනය ඇති කළ ටියුෂන් පන්තිය


ඒ 70 දශකයේ අග භාගයයි. අපේ පුංචි අම්මා තම ප්‍රථම ගුරු පත්වීම ලැබීය. ඒ කුරුණෑගල නගරයෙන් තරමක් ඈත පිහිටි තඹගල්ල ප්‍රදේශයේ පාසලකටය. ඒ වන විට කුඩා කොලු ගැටයකු වූ මට දෙමව්පියන් සමග කිහිප වතාවක් මේ පාසලට යෑමේ අවස්ථාව හිමි විය. 

එය ලංකාවේ සැබෑ තත්වය වටහා ගැනීමට කදිම අවස්ථාවක් විය. බදාම ගැලවී වැටුණු කොට තාප්පවලින් වට වූ පෞරාණික පෙනුමකින් යුත් පන්ති කාමර, කඩා වැටෙන්න ඔන්න මෙන්න වූ මේස පුටු, යටිපතුල අඩක් පොළොවේ ගැටෙන, අන්තයටම ගෙවී ගිය රබර් සෙරෙප්පු පැළැඳි සිසු සිසුවියන්. පාංකඩ වන තරමට දිය වූ ඔවුන්ගේ පාසල් නිල ඇඳුම් ආදී සියල්ල පැවසුවේ ඔවුන්ගේ ජීවන තත්වයේ ඇති කටුක බවය.

“මේ ළමයි හුඟ දෙනෙක් දවසට කන්නේ එක වේලයි. සමහර ළමයි ඉස්කෝලෙට එන්නේ විවේක කාලයේ දී දෙන බිස්කට් දෙක කන්න” පාසලේ විදුහල්පතිතුමා මගේ දෙමව්පියන් සමග පවසනු මට තාම මතකය.

පසු කාලයක මගේ පුංචි අම්මා පැවසුවේ මෙය පළාතේ ඇති හොඳ මට්ටමේ පාසලක් බවත්, මීටත් වඩා පහළ මට්ටමේ පාසල් එම ප්‍රදේශයේ තිබෙන බවත්ය.

මේ අතීත පුවත මට සිහි වූයේ මීට සති කිහිපයකට පෙර රිවිර පුවත් පතේ පළ වූ ලිපියක් කියවීමෙන් පසුව ය. එහි සඳහන් කරුණු අනුව වයඹ පළාතේ පිටිසර පාසල්වල තත්වය වසර 40කට පසුවද වෙනස් වී නැති සේයකි. කුරුණෑගල යනු ලංකාවේ අති දුෂ්කර දිස්ත්‍රික්කයක් නොවේ. එසේ නම් මොණරාගල, බදුල්ල, අම්පාර ආදී ප්‍රදේශවල පාසල්වල තත්වය කෙසේ ඇත්ද?

මගේ පාසල් දිවිය මට සිහිවෙයි. අප කිහිප දෙනෙක් අකුරු කළේ ඉතා අරපරිස්සමෙනි. ඒ අපේ දෙමව්පියන් වෙහෙසී හරි හම්බ කරගන්නා මුදලේ වටිනාකම හොඳින් දන්නා නිසාය. ඒ අතරම තඹගල්ල විදුහලේ දරුවෙක් වසර දහයකටවත් තම පාසල් කටයුතු සඳහා වියදම් නොකරන තරමේ මුදලක් ගෙවා මිළ දී ගත් පාවහන් පැළැඳ පාසල් පැමිණෙන දරුවන් අනේකවත් අප අතර විය. වරක් මගේ එක් සගයෙක් පැවසූ ආකාරයට ඔහු පළඳින මේස් යුගලක් මා පාසල් ගෙන ගිය පොත් බෑගයේ මිල මෙන් පස් ගුණයක් පමණ විය. මේ දරුවන් එක වේලකට වියදම් කරන මුදලින් දුෂ්කර ගමක පවුලක් දින තුන හතරක් යැපෙනු ඇත.

මේ අන්ත දෙකේ පන්ති දෙකම තම අධ්‍යාපනය ලබන්නේ නොමිලයේය. ඒ මීට දශක හතකට පෙර සිදු වූ වරදක ප්‍රතිඵලයක් ලෙසය. ඒ වරද “නිදහස් අධ්‍යාපනය” යන දෝෂ සහගත පරිවර්තනයෙන් අපි හඳුන්වමු. මේ වරද ගැන කතා කරන්න තබා සිතන්නවත් ලංකාවේ දේශපාලකයන් සහ වියතුන් අකමැතිය. ඒ ඔවුන් කෙරේ මහජන උදහස ඇතිවේ යැයි ඇති බිය නිසා ය. එහෙත් වරද වරදමය. එය කෙදිනක හෝ විවෘතව සාකච්ඡා කළ යුතු ය.

ඉංග්‍රීසියෙන් “freedom of education” සහ “free education” යනුවෙන් යෙදුම් දෙකක් නිතර භාවිත වෙයි. මෙහි පළමු පදයෙහි අර්ථය අධ්‍යාපනයේ නිදහසයි. අදටත් ලොව සමහර රටවල සහ සමහර සමාජ ව්‍යුහ තුළ අධ්‍යාපනයේ නිදහස සීමා වී ඇත. කාන්තාවක වීම, අඩු කුලයේ ඉපදීම, ජාතිය හෝ ආගම අනුව බාධා පැනවීම, මුදල් නොමැතිකම, අධ්‍යාපන පහසුකම් හෝ ගුරුවරුන් නොමැති වීම, විෂම දේශපාලන මත දැරීම ආදී කරුණු රාශියක් මත තමාට අවශ්‍ය හෝ තමා කැමති අධ්‍යාපනයක් ලැබීමට ඇති නිදහස අහුරා දමනු ලැබූවන් අපි දකින්නෙමු. මෙය අධ්‍යාපනයේ නිදහස මරා දැමීමකි.

ශිෂ්ට සම්පන්න සමාජ ක්‍රමයක් බිහිකිරීමට නම් අධ්‍යාපනයේ නිදහස අනිවාර්ය අංගයක් විය යුතුය.

දෙවන පදයෙන් කියැවෙන්නේ මුදලක් අය නොකර අධ්‍යාපනය ලබා දීමයි. මෙය සිංහලට පරිවර්තනය විය යුත්තේ “නොමිලයේ අධ්‍යාපනය” ලෙසටයි. ලංකාවේ රජය මගින් ක්‍රියාත්මක කරන්නේ මේ නොමිලයේ අධ්‍යාපනයයි. මෙයට නිදහස් අධ්‍යාපනය යැයි පැවසීම දේශපාලන වුවමනාවක් බව අපගේ වැටහීමයි. “නොමිලේ අධ්‍යාපනයට අත නොතබව්” යනු ලජ්ජා සහගත සටන් පාඨයකි. “නොමිලේ” යන්න “නිදහස්” වූ විට සටන් පාඨයට යම් ගැම්මක් ඇති වේ. මේ හැරෙන්නට නිදහස් අධ්‍යාපනය යනු කිසිදු අර්ථයක් නැති බොල් පාඨයකි.

වසර 70ක නොමිලයේ අධ්‍යාපන සැපයුමකින් පසු අප අත්පත් කරගෙන ඇති ජයග්‍රහණ මොනවාද? රටේ බහුතරයක් පාසල් තවමත් ඇත්තේ පහසුකම් අතින් මැලේසියාව වැනි (මීට වසර 30-40 කට පෙර අපට වඩා ඉතා පසුගාමිව සිටි) රටකට සාපේක්ෂව ඉතා ප්‍රාථමික මට්ටමකය. ඉඳහිට දුෂ්කර පළාතක පාසලකින් උගෙන ඉහළින් විභාග සමත්වන සිසුවෙකු ගැන පත්තර පිටු පුරා විස්තර පළ වුවත්, යතාර්ථය නම් මේ පළාත්වල බොහෝ දෙනෙක් ඉතා අඩු වයසින් පාසල් අධ්‍යාපනය නිමා කරන බවය. 

දුෂ්කර පැතිවල පාසල් පමණක් නොව කොළඹ අහස සිඹින යෝධ ගොඩනැගිලි පෙනෙන මානයේ වූ කොටුවිල ගාමිණි විද්‍යාලය වැනි පාසලක පවා තත්වය එතරම් වෙනස් නොවන බව අපගේ හැඟීමයි.

සිදුවිය යුතුව තිබුණේ කුමක්ද?

ක්‍රමවේදය සකස් විය යුතුව තිබුණේ ආදායම් ප්‍රමාණය මත පදනම් වූ ගාස්තු අයකිරිමකිනි. එවිට සම්පුර්ණයෙන්ම නොමිලයේ අධ්‍යාපනයේ සිට සෑහෙන ඉහළ ගාස්තුවක් දක්වා පුළුල් පරාසයක මෙම අයකිරීම ව්‍යාප්ත වන්නට තිබුණි. කළමනාකරණ පහසුව සඳහා මෙය ගාස්තු තල කිහිපයකට සීමා කළ හැකිය. ඇතුළුවීමේ විභාග පදනමකින් තොරව දිවයිනේ ඉහළ පෙළේ විදුහල් ලෙස වර්ගීකරණය කළ පාසල්වලට ඇතුළත් වූ සිසුන්ගෙන් අමතර අය කිරීමක් ලබාගැනීමෙන් ඒ පාසල්වලට ඇතිවන ඉල්ලුම අඩු කරගත හැක.

මෙහි දී සමහරුන් ආදායම් මට්ටම අඩු කර පෙන්වීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කිරීම වැළක්විය නොහැක. ඒ අප සමාජයේ ඇති වගකීම් විරහිත ස්වභාවය නිසාවෙනි. එහෙත් එම අඩුපාඩුකම් මධ්‍යයේ වුවද රජයට සැලකිය යුතු ආදායමක් මෙයින් ලැබේ. ඊළඟට කළ යුතුව තිබුණේ මෙම ආදායම භාණ්ඩාගාරයේ වෙනමම ගිණුමකට බැර කර එය අධ්‍යපනයේම උන්නතිය උදෙසා යෙදවිය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමයි.

මෙමගින් ලංකාවේ දුෂ්කර පැතිවල පාසල් බොහෝ සෙයින් ඉහළට නගා සිටුවිය හැකිව තිබුණි. එසේ නම් අද “දුෂ්කර පාසල්” යන යෙදුම අතීතයට පමණක් වලංගු පදයක් වන්නට තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත.

නොමිලයේ අධ්‍යාපනය නිසා සමාජයේ පහළම ස්ථර අන්ත අසරණ වන විට මධ්‍යම පන්තිය තුළ තවත් අනිසි විකෘති ගමනක් ආරම්භ විය.

සීමිත වූ සරසවි පිවිසුම් අවස්ථා ගණනට තරග කිරීමට නම් තම දූ දරුවන් අශ්වයන් බවට පත්කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවට දෙමාපියන් තුළ හැඟීමක් ඇති විය. බොහෝ මධ්‍යම පාන්තික දෙමව්පියන්ට පාසල් ගාස්තුවක් ගෙවීමේ හැකියාව තිබේ. එහෙත් අධ්‍යාපනය නොමිලයේය. මේ නිසා ඔවුහු තම දරුවන්ට මුදල් වියදම් කර අමතර අධ්‍යාපනයක් ලබා දී තරගය දිනවීමට හැකි බව අවබෝධ කර ගත්හ. ඒ වෙනුවෙන් ටියුෂන් ව්‍යාපාරය බිහි විය. මේ තරගයට මුහුණ දීම උදෙසා පහළ මධ්‍යම පාන්තිකයන් ද ඉතා අසීරුවෙන් කෙසේ හෝ තම දරුවන් ද ටියුෂන් රැල්ලට එකතු කරන්න විය. මෙය ඈත එපිට ගම්මාන දක්වා පැතිර ගියේය. අන්තිමේදී දුෂ්කර යයි සම්මත පැතිවල සිටිනා පොහොසතුන්ගේ දරුවන් නගරයට විත් ටියුෂන් ගෙන දුෂ්කර පළාත් වලින් විභාගයට ලියන්න විය. මෙය තවත් සමාජ විකෘතියක ඇරඹුමක් විය. 

අද වන විට තම දරුවන් ටියුෂන් පන්තිවලට නොයවන දෙමව්පියන් ඇත්නම් ඒ ඉතාම අතලොස්සකි. සමහරුන් මේ සඳහා ඉතා විශාල මුදලක් නොමසුරුව වැය කරන අතර සමහර දෙමව්පියන් මේ වෙනුවෙන් සතියට වේල් කිහිපයක් නිරාහාරව සිටින බව අපි පෞද්ගලිකව දනිමු. මේ පිරිසට නොමිලයේ අධ්‍යාපනය වෙනුවට මුදල් ගෙවා ලබන පාසල් අධ්‍යාපනයක් හඳුන්වා දීමට ගියහොත් එයට එරෙහිව රජය පෙරළෙන තරමට විශාල ජන රැල්ලක් බිහිවනු ඇත. එහෙත් තමා දැනටත් ලබන්නේ මුදල් ගෙවා ලබන අධ්‍යාපනයක් බව ඔවුන් නොසිතති. ඔවුන් මුදල් ගෙවා නොවිධිමත් ලෙස අධ්‍යාපනය ලබන්නේ ය.


ටියුෂන් ක්‍රමය තුළ නැවතත් බැට කන්නේ සමාජයේ පහළම කොටසයි. එදිනෙදා වේල සරිකර ගැනීමත් විශාල අභියෝගයක් වන මේ පන්තිය තුළ තම දරුවාට අමතර ඉගැන්වීම් සඳහා වියදම් කිරීම සිහිනයක් පමණි. පාසලේ අධ්‍යාපනයද ඉතා පහළ මට්ටමක පවතී. මේ නිසා අවසානයේ දී සමස්ත දුප්පත් පන්තියම සදා දුප්පතුන් ලෙස කාල-අවකාශයේ ඉදිරියට පිය තබයි. බොහෝ දේශපාලුවන්ගේ පැවැත්ම රඳා පවතින්නේ මේ දුප්පත් සමාජ පන්තිය දුප්පතුන් ලෙසම සිටිනා තාක් ය. එබැවින් ඔවුන් නිරන්තරයෙන් දුප්පත්කම උත්කර්ෂයට නංවයි.

ටියුෂන් ගුරුවරයා බිහිවන්නේ අධ්‍යාපනය හෝ දැනුම සිසු පරපුරට ලබාදීමට නොවේ. ඔහුගේ කාර්යභාරය විභාග තරණය කරවීමයි. දක්ෂ අසුන් පුහුණු කරන්නෙකු සේ ඔහු සිසු සිසුවියන් විභාග තරණ ක්‍රමවේදයන් කෙරේ යොමු කරවයි. මේ ක්‍රමයෙන්  බිහිවන්නේ වේගයෙන් දිවයන අසුන් සහ දිවගත නොහැකිව ඇදවැටී වෙඩි පහර කා මිය යන අසුන් යන දෙවර්ගය මිස යහපත් මනුෂ්‍යයන් නොවෙයි. 

මෙම සමාජ විකෘතියේ එක් උච්චස්ථානයක් වන්නේ මෙතෙක් කල් දුෂ්කර පළාත් ලෙස ලේබල් කල ප්‍රදේශවල සරසවි පිවිසුම් කඩයිම් ලකුණු අනෙක් ප්‍රදේශ වලට ආසන්න වීම හෝ ඊටත් වඩා වැඩිවීමයි. මෙහි ප්‍රතිඵලය දුප්පතාට කිසිම ආකාරයකින් සරසවි පිවිසුමක් ලබා ගත නොහැකි වීමයි. මෙම සමාජ විකෘතිය ඉදිරියේදී ඉතා අහිතකර ප්‍රතිඵල රටට අත් කර දෙනු ඇත.

මේ තත්වයට වග කිව යුත්තේ ටියුෂන් ගුරුවරයා නොවේ. ඔහු සිදු කරන්නේ සමාජයේ ඇති ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීමයි. ඉල්ලුම මෙන්ම සැපයුමද නීත්‍යනුකුලය (ටියුෂන් ගුරුවරයා අදායම් බදු ගෙවනවා නම්). 

කොළඹින් ආවත්, ගිරාදුරු කෝට්ටෙන් ආවත් අද රජයේ සරසවි වල නොමිලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් 99% කට වඩා මෙම ටියුෂන් ක්‍රම වේදයෙන් බිහිවූ දරුවන් බව පෙනෙයි.  ඔවුන් බොහෝ දෙනෙකු කරන කියන දෙයින් ගම්‍ය වන්නේ ඉතා සරල කාරණයකි. 

"අපි ජිවිතයේ වෙන කිසිඳු ආශ්වාදයක් නොලබා අධි වේගයෙන් දුව ගොස් ඉතා උස කඩුල්ලක් පිනූ අසුන් වෙමු. දැන් ඉතින් අපේ ජිවිතයේ ඉතිරි කාලය සමාජය විසින් නඩත්තු කල යුතුය". 

මේ සරසවි සිසුන් නිතර දැක ඇති වෘතියවේදියා අසුන් පුහුණු කරන්නාය. එබැවින් ඔවුන්ද මේ අසුන් පුහුණු කරන්නෙකු බවට පත්වෙයි.  ලංකාවේ සරසවි සිසුන්ගෙන් වැඩි පිරිසක් අමතර ආදායමක් සඳහා ටියුෂන් වෘතිය තෝරාගෙන ඇති බව නොරහසකි. 

ලෝකයේ අන් රටවල සරසවි සිසුන් ඉගෙනීමට කරන කැප කිරීම් ඔවුන් අසා වත් නැත. ඇඟ පත වෙහෙසා කරන වෙනත් අර්ධ-කාලින රැකියාවක් පිළිබඳව ඔවුන්ට සිතීමත් පිළිකුලකි. ඔවුන් ධනවතුන් ලෙස පට්ට ගහන සමාජයේ දරුවන් වෙනත් රටවල අධ්‍යාපනය සඳහා පැමිණ ආපනශාලා, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳසැල් වල සේවය කරන බව මේ සරසවි සිසුන්  අමතක කරති. 

ලොව සෑම සමාජ ක්‍රමයක මෙන්ම සරසවි පද්ධති වලද අසාධාරණකම්, අඩුපාඩුකම්  පවතී. තමන් විසින් මුදල් ගෙවා අධ්‍යාපනය ලබන ආයතන වලටද මෙය වලංගුය. එහෙත් එම මුදල් ගෙවා ඉගෙනුම ලබන සිසුන් බොහෝ දෙනෙක් මෙම තත්වයන්ට දක්වන වියත්, අර්ථවත්, නම්‍යශීලි ප්‍රතිචාරයන් ලංකාවේ දකින්නට නැත. ලංකාවේ සිසුන්ට අභිමානය ඇත්තේ තම සරසවිය ගැන නොව තම වීදි සටන් ජයග්‍රහණ පිලිබඳවය. 

ඉහත මානසික ව්‍යකුලතාවයට ප්‍රධානම හේතුව මේ සිසුන් වසර 18 ක් පමණ විභාග ජයමග ඔස්සේ හැල්මේ දිවීමයි. එම මාර්ගයේ කෙලවරවල පමණක් "අධ්‍යාපනය" යන බෝර්ඩ් ලෑලි සවිකර ඇත.  

මතක තබා ගන්න පෞද්ගලික අධ්‍යාපනය සහ මුදල් ගෙවා ලබා ගන්නා අධ්‍යාපනය යනු දෙකකි. මැලේසියාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද රජයේ පාසල් සහ සරසවිවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදලක් අය කරයි. ඉන්දියාව හා බංග්ලාදේශය වැනි රටවල ඇති සමහර පෞද්ගලික පාසල් සිසුන්ට නොමිලේ අධ්‍යාපනය ලබාදෙයි.  

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදිනවා කියා සැමට නොමිලේ අධ්‍යාපනය පවත්වාගෙන යා යුතු යැයි කෑගසන ඔබ සෑම දෙනාගෙන්ම මම මෙසේ අසමි. 

ගංවතුර නිසා පන්සලක අවතැන් වූ පිරිසකට නොමිලේ ආහාර ලබාදීම රජයේ මෙන්ම සමාජයේද අනිවාර්ය යුතු කමකි. ඔවුන්ට නොමිලේ කෑම ලබාදෙන බැවින් මුදලක් වියදම් කර කෑම වේලක් ලබා ගත හැකි ඔබත් එම නිකං දෙන ආහාර වේලට අයිතිවාසිකම් කීම කෙතරම් සාධාරණද? 

ඔබ මොහොතක් සිතන්න ඔබ පාසල් යන අවධියේ සහ උපාධිධාරියෙක් නම් සරසවි යන අවධියේ ඔබට අධ්‍යාපනය සඳහා යම් මුදලක් ගෙවීමට කිසිඳු හැකියාවක් තිබුනේ නැත්ද? ඔබ ටියුෂන් සඳහා වියදම් කලේ නැත්ද? 

දැන් ඔබම සිතන්න, ඔබ අවතැන් නොවී ගං වතුර ආධාර ලබා ගත් අයෙකුද?

අප බොහෝ දෙනෙක් වැටෙන්නේ ඒ ගොඩටය. ඒ තිබෙන ක්‍රමයේ වරද නිසාය. අඩුම ගන්නේ දැන්වත් එය වෙනස් කලයුතු යයි ඔබට නොසිතේ නම් එවිට ඔබ ලැජ්ජා විය යුතුය. 

**************************************** 

ලංකාවේ බොහෝ විට සිදුවන්නේ ගැටළුවක නැට්ටෙන් අල්ලා ඇඹරීම හෙවත් ඉලුක් පඳුරේ කොළ ටික කැපීමයි. 

අපි බොහෝ සේ වෙහෙසවී LTTE ත්‍රස්තවාදය නැති කළෙමු. එහෙත් එම ත්‍රස්තවාදයට පාදක වූ ඉලුක් මුල් ටික තවමත් පස් යට ඇත. විජයකලාලා වතුර දමන්නේ මේ මුල් ඇති බව දන්නා නිසාය. මහා වැස්සකට පසු නැවතත් ඉලුක් පඳුරු සරුවට දළු ලා වැඩෙනු ඇත. එවිට අපි නැවතත් විසි කැති සොයමින් දුවනු ඇත.

සිටින-සිටිය බොහෝ දේසපාලුවන්ගේ අධීක්ෂණයෙන් දියත්වන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මැඩීමට පාලකයන් උත්සහ කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කරවීමෙනි. මත්ද්‍රව්‍ය වරදට අසුවන්නේ හාල්මැස්සන් සහ කුනිස්සන්ය. ඉඳහිට හසුවන බලයා තෝරාද නීතියේ කුමන හෝ සිදුරකින් එලියට පනී. මෝරුන් තල්මසුන් කිසිදාක දැලකට පැටලෙන්නේ නැත. අන්තිමට හාල්මැස්සන් කුනිස්සන් මරා දමා ප්‍රශ්න විසඳෙන තෙක් අපි බලා සිටිමු.

අධ්‍යාපන ප්‍රශ්නයද එසේමය. කඩුල්ල පැන්න සරසවි සිසුන් අයාලේ යයි. කඩුල්ලේ වැදී බිම වැටුන සෙසු දරු පරපුර ත්‍රී වීලර් එලවයි. රජයට පෙනෙන පරිදි ප්‍රශ්නයට විසඳුම් දෙකකි. එකක් සරසවි උද්ඝෝෂණ කුමන ආකාරයෙන් හෝ  මැඩ පැවැත්වීමයි. අනෙක ත්‍රී වීලර් තහනම් කිරීමයි. පළමු එක දැනටමත් කෙරේ. දෙවෙනි එකත් ක්‍රියාත්මක වුවහොත් පුදුම නොවන්න.




Wednesday 25 July 2018

SL Politics: How I Feel (ලංකාවේ දේශපාලනය: මට දැනෙන හැටි)




"ලංකාවේ දේශපාලනය අන්තිම පහත් තැනකට වැටිලා. ඔබ වැනි .............. පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම ඉදිරියට පැමිණිය යුතු කාලයයි මේ".  

පසුගිය මාස කිහිපය තුල කිහිප දෙනෙක් මට නිතරම එව් පණිවිඩ වල සාරාංශයයි මේ. තිත් පේලිය සඳහා නොයෙකුත් විශේෂණ පද යෙදුනු අතර වෘතියවේදී (professional) යන පදය බහුලව භාවිතවිය. ක්‍රියාකාරී දේශපාලනය මගෙන් බොහෝ ඈත්  වූ මෙන්ම මට පත්‍ය නොවූ විෂයක් බැවින් මම ඔවුන්ගේ ආරාධනා නැවත නැවතත් කාරුණිකව ප්‍රතික්ෂේප කලෙමි. 

පසුගිය සති කිහිපයේදී චරිත දෙකක් මේ  සඳහා දේශපාලන කරලියේ ඉස්මතු විය. එනම් රොහාන් පල්ලෙවත්ත සහ නගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුන්ය. මෙයින් පළමු චරිතය මේ වන විට සමාජ ජාලා මාධ්‍ය තුල වඩාත් ඉදිරියට ගොස් ඇති බව පෙනෙයි. කියවීමට ලැබුන තොරතුරු අනුව ඔහු ඉංජිනේරු වෘතිකයෙක් මෙන්ම සාර්ථක ව්‍යාපාරිකයෙකි. 

මා මවිතයට පත් කරමින් මට දේශපාලන පොර පිටියට ආරාධනා කල එක් පුද්ගලයෙක් රොහාන් පල්ලෙවත්ත මහතාගේ පෝස්ටුවකට බලාපොරොත්තු නොවූ කොමෙන්ටුවක් යොදා තිබුණි. 

"එයාර් බෑග් සෙන්සර් හදන එකෙක් හිතනවා ඌට රටක් පාලනය කරන්න පුළුවන් කියල".  

සමාජ වෙබ් අඩවි වල පලවන පුවත් මගින් දැනගත් කරුණු හැරෙන්නට රොහාන් පල්ලෙවත්ත මහතා පිළිබඳව මම කිසිවක් නොදනිමි. නාගනන්ද කොඩිතුවක්කු මහතා පිළිබඳවද එලෙසමය. එබැවින් ඔවුන්ගේ ඉදිරි මග පිළිබඳව දැන්මම මත හෝ අනාවැකි පල කිරීම උගහටය. එහෙත් ඉහත සඳහන් කොමෙන්ටුවෙන් පිළිබිඹු වන්නේ තවමත් උගත් යයි සම්මත බොහෝ දෙනා පවා රාජ්‍ය පාලනය සඳහා සාම්ප්‍රදායික දේසපාලුවගෙන් එපිට විකල්පයක් පිළිබඳව දක්වන ආකල්පයයි. 

ගෙවීගිය වසර පුරාම අපි පවතින දේශපාලන ක්‍රමවේදය මෙන්ම සමාජ පද්ධතියද වෙනස් කිරීම පිළිබඳව කතිකාවතක් දුටුවෙමු.  සමාජ ජාලා මාධ්‍යවල මෙන්ම මුද්‍රිත / විද්‍යුත් මාධ්‍යවලද මේ සමාජ පෙරලිය පිළිබඳව අදහස් පෙරදැරි කරගත් චරිත මතුවිය. එහෙත් මේ බොහෝ දෙනාට අවශ්‍යව ඇත්තේ සමාජ පද්ධතියේ පුළුල් පරිවර්තනයක් නොව තමා ඔසවා තැබීමට උත්සහ කරන දෙවන පෙළ හෝ තුන්වන පෙළ දේශපාලකයෙක් ඉදිරියට ගෙන ඒම බව දැන් මට සිතෙයි. රොහාන් පල්ලෙවත්ත මහතා මෙන්ම නීතිවේදියෙකු වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා පිළිබඳවද පල කරන අදහස් වලින් මේ බව තහවුරු වෙයි.

2020 වන විට කිසිම ප්‍රධාන අපේක්ෂකයෙක් දේශපාලන කරලියේ නොසිටීමේ සම්භාවිතාවක් ඇති බව මෑතකදී වික්ටර් අයිවන් මහතා පවසා තිබුණි. මට මේ කියමන යම් තාක් දුරකට සත්‍ය බව වැටහෙයි. 


ඝන කැලෑවක අතරමං වී සිටින මිනිසෙකුට බොහෝ විට පෙනෙන්නේ ඉතා කෙටි දුරකි. ඒ දුර ඇතුලත ඇති දේ ඔහුට ඉතා මැනවින් පෙනෙයි. පිපාසයට දිය දෝතක් ඔහු සොයයි. අවට වන සතුන්ගෙන් හානියක් වේදැයි ඔහු කල්පනා කරයි. මිනිස් අඩි පාරක්වත් දකින්න ඔහු ප්‍රර්ථනා කරයි. 

උස් ගසකට හෝ කඳු ගැටයකට නැගුන හොත් ඔහුට අවට පරිසරය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙයි. එය අඩි කිහිපයක දුර ඇති දෙයක් දකින්නාක් මෙන් ඉතා සුපැහැදිලි දර්ශනයක් නොවේ. එහෙත් පවතින වාතාවරණයට පිළිසරණක් ඔහුගේ දර්ශන පරාසයේ පවතී.  තමා ආ මගට ටික දුරක් ඈතින් දිය පොකුණක් තිබූ බවත්, තව යාර සියයක් පමණ ආ මගම ගියා නම් තමන් කොටියෙකුගේ ගොදුරක් වන බවත්,  නැගෙනහිර දෙසට ගිය විට තව යොදුනකින් පමණ කුඩා මාර්ගයක් හමුවන බවත් ඔහු පසක් කරගනියි. 


පවතින දේශපාලන වාතාවරණයේ ගිලී සිටින අයෙකු වනයේ ගමන් කරන මිනිසා වැනිය. ඔහුට තමා අවට කෙටි දුරක් තුල තොරතුරු පැහැදිලිව පෙනෙයි. ඒ තොරතුරු ගෙන එන්නේ සැකය මුසු බියකරු හැඟීමකි. ඔහුට සිදුවිය හැකි සෑම දෙයක්ම උපකල්පනය කිරීමට සිදුවෙයි. ඒ උපකල්පනයන් බොහෝ විට අසුබවාදී විය හැක. මන්ද ඝන වනාන්තරක් තුලදී හැමවිටම ඇත්තේ අවිනිශ්චිත බවක් නිසාය. 

කඳු ගැටය මත සිටින මිනිසා මේ දේශපාලන ගොහොරුවේ බලපෑමෙන් මිදී ඒ දෙස බලන අයෙකු වැනිය. අවට ඇති තත්වය පිළිබඳව ඔහුට යම් නිවැරදි තක්සේරුවක් කල හැක.

මට සිතෙනා ආකාරයට මම කදු ගැටයක් මත හිඳිමි. 




අසංවර්ධිත බොහෝ රටවල සිදුවන්නාක් මෙන් ලාංකීය දේශපාලනයද විෂම චක්‍රයකට (vicious cycle) ඇතුළු වී පවතී. මෙය කවදා කෙලෙසක ඇරඹුණි දැයි ස්ථිරව පැවසිය නොහැක. බොහෝ විට 77 මැතිවරණයෙන් පසු පාලන සමයේ එය සිදු වුනා විය හැක. 

ජාත්‍යන්තරයෙන් උදාහරණ කිහිපයක් ගතහොත්;  ලී ක්වාන් යූ මහතා මුල සිටම දැඩි අණ පනත් යටතේ සිංගප්පුරුව මෙම චක්‍රයට ඇතුළුවීමට ඉඩ නොදී තබාගත්තේය. ඉතා මෑතකදී සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු මහතීර් මොහමඩ් මහතා මේ විෂම චක්‍රයෙන් මැලේසියාව ගලවා ගැනීමට දැඩි උත්සහයක් දරයි. ඇත්තෙන්ම මැලේසියාව මේ චක්‍රයට ඇතුල් වීම උදෙසා පසුබිම සැකසුවේද මහතීර් මහතා විසින්ම බව (ඔහුගේ මුල් පාලන සමයේදී) බොහෝ දෙනෙකුගේ මතයයි. ඉන්දියාවේ අගමැතිවරයා රට විෂම චක්‍රයෙන් මුදා ගැනීමට ප්‍රබල සටනක් දී එයින් පැරදී දැන් ඔහුත් ඊට අනුගත වී ඇති සේයකි.

ලංකාව වැටී ඇති තැනින් ගොඩ ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේ විෂම චක්‍රයෙන් පිටතට ගත යුතුය. ඒ සඳහා චක්‍රය කොතනකින් හෝ කැඩිය යුතුය. ලාංකීය සමාජ පද්ධතියෙන් බැහැරට විත් බලන විට මට පෙනෙන චිත්‍රය එයයි. 

විෂම චක්‍රයක මුල, මැද, අග ලෙසින් අර්ථ දැක්විය හැකි කොටස් නැත.  එහි ප්‍රධාන මංසන්ධි හතරක් ඇත. ඒවා යාකරන මාර්ගද හතරක් ඇත. මේ ස්ථාන අටෙන් දුර්වලම කොටස හඳුනාගෙන එය විසන්ධි කෙරීම යහපත් කල්පනා ශක්තියක් ඇති සියළු දෙනාගේම වගකීමයි.

බොහෝ දෙනා තම අවධානය යොමු කරන්නේ දේශපාලන අධිකාරිය වෙනස් කිරීමට බව පෙනෙයි. ඊට හේතුව මෙම මංසන්ධි හතරෙන් අඩුම පිරිසක් වෙනස් කිරීමෙන් චක්‍රයෙන් මිදීමේ හැකියාව ඇති ස්ථානය එය වීමයි. මීට අමතරව ආවර්ථිතව මේ වෙනස කිරීමට නිශ්චිත හැකියාවක් ඇත්තේද (මැතිවරණ මගින්) මේ මංසන්ධියේ වීමයි. අවාසනාවකට මෙන් මෙතෙක් අප කර ඇත්තේ සමාන ඇතුලතක් ඇති ඔළුගෙඩි ආවර්ථිතව මාරු කිරීම මිස ඔළුගෙඩි ඇතුලත ඇති දේ වෙනස් කිරීම හෝ වෙනස් ඇතුලතක් ඇති ඔළුගෙඩි පත් කරගැනීම නොවේ. මෙයින් පැහැදිලි වන්නේ විෂම චක්‍රය කැඩීමට සුදුසුම තැන දේශපාලන අධිකාරිය නැමැති මංසන්ධිය නොවිය හැකි බවයි.    

මට හිතෙන ආකාරයට අප කැඩිය යුත්තේ මංසන්ධියක් නොව මංසන්ධි යා කරන මාර්ගයකි. ඒ සඳහා සුදුසුම ක්‍රමය දුෂණයෙන් වාසි ලබන සුළුතරය ජනතාව නොමග යැවීම වැලක්වීමයි. 

ඔබ නොයෙකුත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් යම් දේශපාලකයෙක් ඔසවා තබයි නම් ඔබ අයිති වන්නේ අර සුළුතරය ඇතුලත් මංසන්ධියටය. ඔබට මෙම විෂම චක්‍රය කැඩීම වෙනුවෙන් කාර්යභාරයක් නැත. මන්ද ඔබට ඔබ යන ගමන පිළිබඳව පැහැදිලි අරමුණක් තිබෙන බැවිනි.

ඔබ යම් දේශපාලකයෙකු හෝ දේශපාලන පක්‍ෂයක් වෙනුවෙන් සහයෝගය දෙයි නම් හෝ කැමැත්තක් ඇත්නම්, එමෙන්ම ඒ සහයෝගය හෝ කැමැත්ත ඇත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව නම් ඔබට රට වෙනුවෙන් කල යුතු විශාල කාර්යභාරයක් ඇත. 

මදක් මානසිකව ගිමන් හැර සිතන්න. 

ඔබගේ මනාපය ඇති දේශපාලන ප්‍රපංචය මගින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඒ වෙනුවෙන් ඔහු කර ඇති කාර්ය භාරය කුමක්ද? ඔහු නොකළ කාර්ය භාරය කුමක්ද? ඔහු රට කල විනාශකාරී ක්‍රියා මොනවාද? ඒ තුලින් සිදුවී ඇති අයහපත පිළිබඳව තක්සේරුව කුමක්ද? ඔහු තමා අතින් සිදු වූ අයහපත සහ තම අතින් සිදු නොවූ යහපත පිළිබඳව අවංක ස්වයං විවේචනයක් කරනවද? නොඑසේ නම් ඔබට ඔහුගෙන් අනාගතයේදී යහපතක් බලාපොරොත්තු විය හැකිද? 

මේ ආදී කරුණු පිළිබඳව විවෘත මනසින් හිතන්න. අවට සමාජය දෙස බලන්න. සෑම දෙනෙක් සමගම හැකි පමණ විවෘත මනසින් සාකච්චා කරන්න?

හැමවිටම පහත පැනය ඔබගෙන්ම අසන්න. 

"මේ දේශපාලන ප්‍රපංචයට අනුග්‍රහය දැක්වීමෙන් මම රටට හෝ මට කරගන්නා සුගතිය කුමක්ද?"

ඉතා සරලව පවසනවා නම් "මේ යකාට හෝ මේ කෙහෙල්මලට සපෝට් එක දුන්න කියල මටවත් රටටවත් ඇති වැඩේ කුමක්ද?" යයි ඔබගෙන්ම අසන්න. 

දැන් ඔබ ව්‍යාකුල වනු ඇත. ලංකාව වැනි නොදියුණු රටවල දේශපාලනය යනු පාරම්පරිකව පැමිණ ඔබට උපතේදීම උරුම වන කරුමයකි. එය සමහර විට ආගමටත් වඩා ඔබගේ ජාන තුලට ඇතුළු වී තිබෙන්නට පුළුවන. මෙය ඉතා අසහනකාරී මෙන්ම අමිහිරි තත්වයකි. ඔබ යම් දේශපාලන ප්‍රපංචයක මානසික වහලෙකු වී සිටින තාක් කල් ඔබ ගෙවන්නේ දුක්ඛිත ජීවිතයකි. තම දේශපාලන ප්‍රපංචය විවේචනය වන විට ඔබ කෝපයට පත්වෙයි. ඒ දේශපාලන ප්‍රපංචය වැටෙන විට ඔබට විරුද්ධවාදීන්  සමග වෛරයක් ඇතිවෙයි. විරුද්ධවාදීන් වැටෙන විට ඔබට ක්‍රෝධය මුසුවූ සතුටක් ඇතිවෙයි. මේ සියළුම සිතුවිලි සමුදායන් ඔබව මානසිකව අස්ථාවර කරයි.

යථාර්තය ක්‍රමයෙන් තේරුම් ගනිද්දී ඔබ මානසිකව ස්ථාවර වෙයි. ඔබට ඉතා සැහැල්ලු නිදහස් චින්තනයක් පහලවෙයි. සමහර විට ඔබ කරගසාගෙන පැමිණි දේශපාලන ප්‍රපංචය නිවැරදි විය හැක. බොහෝ විට එය වැරදි විය හැක. දැන් ඔබට මේ ගැන කරුණු සහිත දැනීමක් (factual intelligence) ඇත. මේ නිසා ඔබට හොඳ නරක පැහැදිලිව අවබෝධ කරගැනීමටත්, ඒ පිළිබඳව සසල නොවී උපේක්ෂා සහගතව සිතීමටත් හැකියාව ලැබී තිබෙනු ඇත.

දැන් ඔබ නැවතත් සමාජය සමග අදහස් හුවමාරු කරගන්න. ඔබට දැන් හමුවන්නේ ඔබගේ මානසික ජයග්‍රහණයට පෙර සිටි ඔබවමය. ඔබ නිදහස් වී ඇත. එහෙත් සමාජයේ බොහෝ දෙනා තවමත් වහල් බැම්මෙන් බැඳී ඇත. ඔවුන්ට තම බැමි වලින් මිදීමට ධෛර්ය දෙන්න. ඔවුන් සමග වාදයට නොයන්න. උපක්‍රමශීලිව සංවාදයක් අරඹන්න. ඔබ කරන්නේ සටනක් නොවේ. එබැවින් ඔබට ආයුධ අවශ්‍ය නැත. සමාජයට සිතන්න හුරු කරන්න. ඔබේ සඟයා මානසික බැමි වලින් නිදහස් වූ පසු ඔබ සිතන ආකාරයටම ඔහුත් සිතිය යුතුය යන අමනෝඥ හැඟීමෙන් මිදෙන්න. සිදුවිය යුත්තේ ඔහු නිදහසේ විවෘත මනසකින් යුතුව සිතීමයි. සමහර විට ඔබට වඩා වැඩි පරාසයක දැක්මක් ඔහුට හිමි වනු ඇත. ඒ පිළිබඳව සතුටු වෙන්න.

රටට අවශ්‍ය රොහාන් පල්ලෙවත්තද, නාගානන්ද කොඩිතුවක්කුද එසේ නොමැති නම් දැනටත් සිටින දේශපාලකයෙකුද යන්න ඔබ තීරණය කල යුත්තේ මේ බැමි ලිහා ගත පසුවයි. එය සමාජය පුරා විසිරී යද්දී සුදුසු ඔළුගෙඩි සුදුසු තැන වලට පත්වනු ඇත. නැතහොත් පවතින ඔළුගෙඩි සුද්ද වනු ඇත. 

2020 වන විට ඔබට කරගහගෙන යාමට දේශපාලන ප්‍රපංචයක් නැතිවීමටත් පුළුවන. 




   



Thursday 12 July 2018

මරණ දඬුවම හෙවත් අතීසාරයට අමුඩේ ගැසීම (The Death Penalty)



මට මතක ඇති ආකාරයට ඒ ප්‍රේමදාස පාලන සමයයි. එවකට දාමරිකයෙකු ලෙස දිවයිනේ ප්‍රසිද්ධව සිටි සොත්ති උපාලි පිළිබඳව, පැවති රජයේ සුවිශේෂී චරිතයක් වූ සිරිසේන කුරේ මහතාගෙන්, මාධ්‍ය විමසුමක් කළේය. 

"ආ.... ඒ අපේ ළමයෙක්නේ" කියමින් සිරිසේන කුරේ කතාව මග හැර ගියේය.

එදා ලංකාවේ පොදු ග්‍රාමීය චරිතයක් වූ "ගමේ චන්ඩියා" ලංකාවට පමණක් නොව මා සංචාරය කර ඇති බොහෝ රටවල අදටත් දැකිය හැකි සංකල්පයකි. ඉංග්‍රීසි යුගයේ සරදියෙල් මෙන්ම 60-70 දශක වල ප්‍රසිද්ධ වූ මරදන් කඩවල යකඩයා, පොළොන්නරුවේ පොඩි විජේ, සිරිපාල හෙවත් මරු සිරා වැනි චරිත මෙම ගමේ චන්ඩියා ගෙන් ඔබ්බට පිය නැගූ පුද්ගලයෝය. ඔවුන් පවතින නීතියට එරෙහිව කටයුතු කළහ. මිනීමැරුම් සහ මංකොල්ල කෑම් සම්බන්ධයෙන් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවෝ විය. එහෙත් ඔවුන් පිළිබඳව ජනතාව තුල තිබුනේ "සමාජ විරෝධී දරුණු අපරාධකරුවන්" යන හැඟීම නොවේ. පසු කලෙක ඔවුන් පිළිබඳව යම් අනුකම්පා සහගත හැඟීම් දනවන ගීත සහ චිත්‍රපටි පවා නිර්මාණය වන්නේ මේ නිසාය. 

එහෙත් 77 රාජ්‍ය පෙරළියෙන් පසු බිහිවන්නේ අති බිහිසුණු සංවිධානාත්මක දාමරික කල්ලිය. එම කල්ලි වල මූලික කාර්ය භාරය වන්නේ පවතින රජයේ කටයුතු වලට එරෙහි වන්නන් මර්දනය කිරීමයි. එයට ගාස්තුව වන්නේ රටේ භිෂණය පතුරවා මුදල් ගැරීමට ඔවුන්ට ලැබුන විවෘත බලපත්‍රයයි. ගෝනවල සුනිල්, සොත්ති උපාලි, අග්ගොන චන්දරේ, නොයෙල් අමරසිංහ, නාවල නිහාල්, කඩුවෙල වසන්ත වැනි චරිත බිහිවන්නේ මෙම පසුබිම තුලයි. මොවුන් විසින් කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරීම, මත්ද්‍රව්‍ය ජාවාරම, එතනෝල් ජාවාරම, පෞද්ගලික ව්‍යාපාර වලින් කප්පම් ගැනීම, ස්ත්‍රී දුෂණය, ගණිකා මඩම් සඳහා ගණිකාවන් සැපයීම, රජයේ කොන්ත්‍රාත් අනිසි ලෙස ලබා ගැනීම, වැලි ජාවාරම ආදී අපරාධ සහ වංචා රාශියක් සමාජ ගත කෙරිණි. අදටත් දේශපාලනයේ නියැලෙන සමහර නායකාදීන් එදා මෙම අපරාධකරුවන්ට චරිත සහතික දෙන්න විය.

සොත්ති උපාලි, රටේ ප්‍රබල දේශපාලන චරිතයකට "අපේ ළමයෙක්"  වීම තුල රටකට ගිය කල පිළිබඳව නොකිව මනාය. 

රජය-ජවිපෙ ඇතුළු වෙනත් පාර්ශව කිහිපයකද පූර්ණ දායකත්වයෙන් දියත් වූ 88/89 භීෂණය මෙම අපරාධකරුවන්ට තෝතැන්නක් සකසා දුන්නේය. ගමේ චන්ඩියා සම්පුර්ණයෙන්ම පාහේ වියැකී ගිය අතර රාජ්‍ය අනුග්‍රහය ලැබූ දාමරිකයා වඩ වඩාත් ශක්තිමත් විය. බොහෝ විට ඔවුන්ට ත්‍රිවිධ හමුදාවේද ආශිර්වාදය ලැබුණු බවද නොරහසකි. 

ක්‍රමයෙන් ව්‍යාප්තවී ගිය මෙම දාමරිකවාදය 2010 පසු කරන විට මුළු සමාජයම වෙලාගත් පිළිලයක් බවට පත්විය. රට තුල තව රටක් බිහිවිය. එය පාතාලය නම් විය. එතෙක් දේශපාලුවාගේ දකුණු අත වූ අපරාධකරුවා දේශපාලුවා බවට පත්විය. ඇමතිතුමාගේ කුඩු ජාවාරම පවත්වාගෙන ගිය පාතාලයා ඇමතිතුමා විය. කලින් දේසපාලුවාට ගොට්ට ඇල්ලු කසිප්පු මුදලාලි දෙසපාලුවා බවට පත්විය. කැලණියේ එක්තරා දේශපාලකයෙක් ප්‍රදේශයේ සිටින ගණිකාවන්ගෙන් පවා කප්පම් ගැනීමට තරම් පහත් තත්වයකට ඇද වැටුණි. 

ඇමතිවරු තම ප්‍රාදේශීය ජාවාරම් වපසරිය වෙනුවෙන් මිනිමරාගන්න විය. කුඩු මාෆියාවන් අතර ප්‍රසිද්ධියේ වෙඩි හුවමාරු වන්න විය. එකම නායකයාට කප්පම් දෙන ගෝඩ් ෆාදර්ලා එකිනෙකා මරා ගන්න විය.

රටට ගෙන්වූ විශාලම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කියවුනේ අගමැති තුමාගේ නමයි. රටේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් වන චරිතයක් බඩුත් සමග කොටු වූ විට වහා දිව ගොස් ඔහුව වැළඳ ගන්නේ රටේ ජනාධිපතිවරයාය. මේ සමගම නීතියේ ආධිපත්‍ය රකින්නෝ භීතියට පත්විය. ඔවුන්ට තේරීම් දෙකක් විය. එනම් පවතින දුෂණයට සහ භීෂණයට අනුගත වී දේශපාලුවාගේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. නොඑසේ නම් රට හැර යාමයි. මේ තත්වය හමුවේ අපරාධකරුවෝ බඩ පිනුම් ගසන්න විය. ප්‍රාදේශීය දේශපාලුවෙක් තමා දැරිවියන් 100 ක් දුෂණය කිරීම සමරනු වස් උත්සව සංවිධානය කළේය.

අද මුළු සමාජයම අතීසාරයෙන් පෙලෙයි. හොඳට තද කර අමුඩය ගැසීමෙන් මෙම රෝගී තත්වය සුව කරගත හැකි බව දේශපාලුවා යෝජනා කරයි. මෙය නොදන්නා කම නොව තක්කඩි කම බව මගේ හැඟීමයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යනු පවත්නා තත්වය අති උග්‍ර අසාධ්‍ය තත්වයකට පරිවර්තනය කිරීමක් බව පැහැදිලිවම පෙනෙයි. 

මරණ දඬුවම තුලින් අපරාධකරුවා බිය වැද්දීම අසීරු බව එම දඬුවම ක්‍රියාත්මකවන ඇමරිකාව වැනි දියුණු යයි සම්මත රටවල පවා සිදුවන සහාසික ක්‍රියාවන්ගෙන් පැහැදිලිවෙයි. ලංකාව වැනි නොදියුණු රටක බොහෝ විට සිදුවන්නේ මෙම නීතිය තම දේශපාලන ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට යොදා ගැනීමයි. දේශපාලුවාගේ ආදර අනුග්‍රහය ලබන පාතාලයා හෝ දේශපාලුවෙකු වන පාතාලයා මේ දඬුවමට ඔච්චම් කරනු ඇත. තවද නිත්‍යානුකුල මිනීමැරීම තුලින් සමාජයේ මානසික සෞඛ්‍ය තවත් පිරිහීමට ඇති ඉඩකඩ බොහෝය. මේ අන්තරායකර තීරණය ගැනීම කිසිසේත්ම නොකළ යුත්තක් බව මගේ බලවත් හැඟීමයි. 

අපරාධකරුවා සිටින්නේ වෙනත් ලෝකයක හෝ නොපෙනෙන මානයක නොවේ. පාර්ලිමේන්තුවේද, උත්සව ශාලාවේද, අමාත්‍යංශ කාර්යාලයේද ඔහු සුදෝසුදු ඇඳුමින් සැරසී දත් විලිස්සාගෙන සිටියි. ඒ තල්මසුන් දෙස අන්ධ වූ දෙනෙතින් බලා, හිරේ සිටින හාල්මැස්සන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමෙන් ප්‍රශ්ණ විසඳිය හැකියැයි යමෙක් පවසනවා නම් එය ඛේදජනකය.

මගේ අදහස නම් මුළු මහත් සමාජයටම වෙදකම් කල හැකි මානසික වෛද්‍යවරයෙකුගේ සේවය අත්‍යාවශ්‍ය මෙන්ම අනිවාර්ය වන බවයි. මුළු සමාජයේම මානසික ව්‍යුහය වසර 40 කින් පමණ ආපසු හැරවිය යුතුය. ඉන්පසු එය නව මාර්ගයක් ඔස්සේ අනාගතයට යොමු කල යුතුය. මෙය කලයුතු ආකාරය පිළිබඳව ආකෘතියක් ඉදිරිපත් කිරීමට තරම් මා පරිනත නැත. සමහර විට මේ සඳහා බුද්ධි ජාලයක් අවශ්‍ය වනු ඇත. 

සමාජයක් සුව කිරීමේ පළමු මෙන්ම අත්‍යවශ්‍යම පියවර රෝගී තත්වය පිළිබඳව නිවැරදි තක්සේරුවකට පැමිණීමයි. මෙය සියළු දෙනාම මැනවින් තේරුම් ගනීවි යයි මම සිතමි.