Wednesday, 20 November 2024

තලන ගුරුවරු


මානව ශිෂ්ඨාචාරයේ එක් ලක්ෂයක් පසු කරන තෙක් පුර්ණ ළමා අධ්‍යාපනය සිදුවූයේ අවට පරිසරය හා අනුබද්ධවය. දරුවා ලෝකය පිළිබඳව ඉගෙන ගත්තේ ගහකොළ, සතා සිව්පාවා මෙන්ම නිවැසි සහ අසල්වාසී නෑදෑ හිත මිතුරන් ආශ්‍රිතවය. මේ දරුවා පරිසරයෙන් ඉවත්කර පංති කාමරයකට ගාල් කර තවමත් ගතව ඇත්තේ මුළු මානව ඉතිහාසයෙන් 0.5% ටත් වඩා අඩු කාලයකි. 

දරුවා කැලේ කොලේ පරිසරයෙන් ඉවත් කර පංති කාමරයක ගාල් කිරීම පහසු කර්තව්‍යයක් නොවීය. මේ නිසා යුරෝපයේ නම් 18 වන ශතවර්ෂයේ පමණද ලංකාවේ නම් විසිවෙනි ශතවර්ෂයේ මුල් භාගය වන විටද වේවැල හෝ කෝටුව ගුරුවරයාගෙන් වෙන් කල නොහැකි ආම්පන්නයක් විය. එය එම යුගයේ අවශ්‍යතාවයකි. ශාරීරික දඬුවම්වල අරමුණ වුයේ කැලේ කොළේ ඇලේ දොළේ අධ්‍යාපනය ලැබූ නොහික්මුණු "නරක දරුවා", බිත්ති හතරකට කොටුවූ, සපත්තු සෙරෙප්පු දමා, යුනිෆෝර්ම් එක ඇඳ, පිළිවෙලකට කොණ්ඩය පීරු "හොඳ දරුවකු" කිරීමය. මේ යුගයේදී බොහෝ දරුවන් පාසැල "වධකාගාරයක්" ලෙස දකින්නට ඇතැයි මට සිතෙයි. 

1960 දශකය වන විට යුරෝපයේ, "පාසැල" සහ "හොඳ දරුවා" ලෙස අර්ථ දැක්වූ සංකල්ප සමාජයේ ස්ථාපිත වී තිබුණි. මේ නිසා තව දුරටත් කෝටුවේ කාර්යභාරය අවශ්‍ය නොවීය. මේ නිසා දරුවන්ට ශාරීරික දඬුවම් දීම වියැකී ගොස් අවසානයේ එය නොකළ යුතු දෙයක් ලෙස නීතියෙන් තහවුරු විය. නමුත් ශාරීරික හෝමෝන ක්‍රියාකාරිත්වය මෙන්ම නිවාස-සමාජ පසුබිමෙහි අඩුපාඩු නිසාද පාසැල් සිසු සිසුවියන් මානව සමාජය අර්ථ දක්වා ගත් "හොඳ දරුවා" සම්මතයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවයක් විය. 

මෙහිදී දරුවන් යහමගට ගන්නා ආකාරය පිළිබඳව කථිකාවත් ගණනාවක් මෙම රටවල ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ළමා මනෝවිද්‍යාව (child psychology), අධ්‍යාපන විද්‍යා (pedagogical sciences), චර්යාත්මක විද්‍යාව (behavioural science) ආදී සමාජ විද්‍යා අංශ ගණනාවක් වැඩි දියුණු විය. දරුවෙකුට කිසිඳු ආකාරයක ශාරීරික හෝ මානසික අතවරයක් නොකර ඔවුන්ගේ සමාජ හිතකර නොවූ පැවතුම් වෙනස් කල හැකි ක්‍රමවේද ගණනාවක් මේ අධ්‍යයන තුලින් ඉදිරිපත්වන්නට විය. එය වර්තමානයේ පවා සිදුවන අනවරත ක්‍රියාවලියකි. මේ ක්‍රමවේදයන් පිළිබඳව ගුරුවරුන් දෙමාපියන් මෙන්ම දරුවන්ද දැනුවත් කිරීමට එම රටවල සමාජ පද්ධති උත්සුක වෙයි.

අවාසනාවකට ලංකාව මෙම කතිකාවතෙහි කොටසක් බවට පත්වුයේ නැත. ඒ වෙනුවට 70, 80 දශක වන විට ලංකාවේ ගුරු වෘත්තියේ අයහපත් වෙනස්කම් ගණනාවක් සිදුවන්න විය. මේ කාලයේදී ලංකාවේ වේගයෙන්ම දේශපාලනීකරණය වූ අංශය ගුරු වෘත්තියයි. පාලක පන්තියේ දේශපාලනයට වඩා වෙනස් මත දැරූ ගුරුවරුන් බොහෝ දෙනෙකු දඬුවම් මාරු ලැබීය. සමහරෙක් තම වෘත්තීය මට්ටමෙන් පහලට ඇද දැමුණි. "දඬුවම් මාරු" යන වදනින්ම අර්ථ දැක්වෙන්නේ ලංකාවේ රැකියාවට නොසුදුසු (පත්වීම දඬුවමක් බවට පත්වෙන) පාසැල් ඇති බවයි. ගුරුවරයාට නුසුදුසු පාසලක් දරුවෙකුට සුදුසු වන්නේ කෙසේදැයි මෙහිදී අපට ගැටළුවක් මතුවෙයි. 

ක්‍රමයෙන් පාසැල් ගුරුවරුන් අමතර රැකියාවක් ලෙස ටියුෂන් පංති පැවැත්වීම කරා යොමු වන්න විය. මේ නිසා ගුරුවරුන්ට කාලය පිලිබඳ ගැටළු මෙන්ම පන්තියක සිටින ළමුන් සියලු දෙනාටම සමානත්වයෙන් සැලකීමේ ගැටළු මතුවිය. සැලකිය යුතු අඩු මට්ටමක වූ ගුරු වැටුප ගුරුවරුන් ආර්ථික පීඩනයකට පත් කළහ. මෙය සමහර ගුරුවරුන්ට පවුල් ආරවුල් ඇතිවන තත්වයක් දක්වා වර්ධනය විය. මේ සියළු අවුල් මැද ගුරුවරයාගේ මානසිකත්වය පිරිහෙන්න විය.

මෙතෙක් පැවති කිසිඳු රජයක් ගුරු අධ්‍යාපනය, ගුරු-සිසු මානසික සෞඛ්‍යය, අධ්‍යාපන මනෝවිද්‍යාව ආදී නුතන පාසැල් අධ්‍යාපනයේ මූලික අංග පිළිබඳව පවා වැඩි අවධානයක් යොමු කලේ නැත. මා FB එකේ දැමූ පෝස්ට් එකට පළවූ සමහර අදහස්වලින් පෙනෙන්නේ ගුරුවරුන් තුල පවා ළමයෙක් යහමගට ගැනීමේ ක්‍රමවේද පිළිබඳව ඇති දැනුම ඉතා අඩු බවයි. මෙය එම ගුරුවරුන්ගේ වරදක් නොවෙයි. ඉන් ගම්‍ය වන්නේ ඔවුන්ට ඒ පිළිබඳව ලබා දී ඇති කුසලතා, අවබෝධය  සහ පුහුණුවේ රික්තයයි.

මම පසුගිය වසර තුනක පමණ කාලයක් තුල මගේ පාසැල් ජීවිතයේදී (මගේ මෙන්ම මගේ මිතුරන්ගේ) සහ මගේ දරුවන් ලංකාවේ පාසැල් ගිය කාලය තුලදී අත්දුටු සිදුවීම් ගණනාවක් එකින් එක මනෝ විද්‍යාත්මක පසුබිමක් තුල විග්‍රහ කලෙමි. මගේ දරුවන් මෙන්ම මා දන්නා වෙනත් දරුවන් විදේශ රටවලදී ලද චමත්කාරජනක පාසල් අධ්‍යාපනික අත්දැකීම්ද  මේ අධ්‍යනයට ඇතුලත් කලෙමි. මෙහි ප්‍රතිඵලය පොතක් ලෙස නිකුත් කල යුතුව ඇත. එහි කෙටි සාරාංශය නම් ලංකාවේ මුළු පාසැල් පද්ධතියම පමණක් නොව ගුරු-දෙගුරු-සිසු මනසද පුර්ණ යාවත්කිරිමකට ලක් කල යුතු බවයි. 

අපට 1920 ගණන් වල සිට 2020 ගණන් වලට සියවසක් දුර පිම්මක් පැනීමට සිදුවී ඇත. 



             


Monday, 4 November 2024

අක්කරයට උපරිම අස්වැන්නක්


ඩඩ්ලි සිරිසේනගේ බොහෝ කතා අතර යම් ගත යුත්තක් දුටුවෙමි. 

ලංකාව වැනි වගා ඉඩම් ප්‍රමාණය අඩු රටක අප අක්කරයක් සඳහා ලබා ගත හැකි පලදාව උපරිම කරගත යුතුය. ඒ සඳහා නුතන තාක්ෂණය උපරිම මට්ටමින් යොදාගත යුතුය.

ඊශ්‍රායලය එදා සිටම මේ "maximum harvest per hectare" සංකල්පයට අනුගත වී සිටින අතර මේ වන විට තායිවානය, තායිලන්තය, මැලේසියාව, වියට්නාමය මෙන්ම බංගලාදේශය සහ ඉන්දියාවද මේ පිළිබඳව තම උපරිම අවධානය යොමු කර ඇත. උදාහරණයක් ලෙස මැලේසියාවේ වසර 3-4 කින් සාර්ථක පලදාවක් ගත හැකි පොල් වර්ග වගා කරන අතර එහි පලදාව ලංකාවේ පොල් ගසක මෙන් 5-6 ගුණයකින් වැඩිය. 

වී වගාව පමණක් නොව සියලුම  වගාවන් සඳහා "අක්කරයට උපරිම අස්වැන්නක්" සංකල්පයට අප පිය නැගිය යුතුය. 

මේ සඳහා අදාළ භෝග සංවර්ධන මණ්ඩල මූලිකත්වය ගත යුතුය. මෙතෙක් තම bureaucratic කට්ට ඇතුළට වී නිදා ගෙන සිටි කෘෂි නිලධාරීන්ට අවදිවී ලෝකය දෙස බලන්න කාලය පැමිණ ඇත. 


  


Thursday, 24 October 2024

ලංකාවේ අධ්‍යාත්මික සංචාරක පුරවරයකට කාලය පැමිණ ඇත්ද?


ලංකාවේ අධ්‍යාත්මික සංචාරක ව්‍යාපාරයට දැන් කල් හරිද? මෙය මට පසුගිය වසර දහය පුරාම නැගුනු පැනයකි. ඒ හැමවිටම මගේ පිළිතුර වුයේ නැත යන්නයි. ඊට හේතුව වුයේ ලංකාවේ සිටි කාලයේදී මා ලද අත්දැකීම්ය. දේශපාලකයාගේ සිට සුළු සේවකයා දක්වා ලංකාවේ තිබුණේ ආයෝජකයාව මිරිකා කොමිස් ඉල්ලීමේ තරගයකි. දැන් එය වෙනස් වී ඇත්දැයි මම මගෙන්ම අසමි.

විසිවෙනි ශතවර්ෂයේ සහ විසි එක වෙනි ශතවර්ෂයේ සංචාරකයා අතර විශාල වෙනසක් ඇත. ලංකිකයා පවා 80-90 දශකව දක්වාම ට්‍රිප් ගියේ ස්ථාන නැරඹීමට සහ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමටය. මේ නිසා හිමිදිරි උදයේම ගමන පටන්ගන්නා දේශීය සංචාරකයා හැකිතාක් තැන්වලට දුවමින් සවස් වන විට දැඩිසේ විඩාවට පත්ව නවාතැන්පොළට පැමිණෙයි. නමුත් අද බොහෝ දෙනෙක් සංචාරයක යෙදෙන්නේ කොහේ හෝ නිස්කලංක තැනක රැඳී විවේක සුව විඳීමටයි. ඇලකින් දොළකින් නාගෙන, කයියක් ගහගෙන, සිංදුවක් කියාගෙන සිටීම අද දේශීය සංචාරයක අරමුණයි. 

අන්තර්ජාතිකව මේ තත්වය තවත් ගැඹුරට ගොස් ඇත. තම අවිවේකී වේගවත් ජීවිතයෙන් තාවකාලිකව හෝ මිදී තම අධ්‍යාත්මය සුවපත් කරගැනීම අරමුණ කරගත් සංචාරකයන් ගණන සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. මේ පිරිස බොහෝ විට ආගමකට කොටුවී සිටිනවා වෙනුවට නොයෙකුත් ආගම් දහම් ගවේෂණය කරමින් ලොව පුරා සංචාරය කරයි. මට නේපාලයේදී සහ ඉන්දියාවේදී හින්දු සහ මහායාන බෞද්ධ ආශ්‍රමවල සති ගණන් රැඳී සිටින ක්‍රිස්තියානි, බහායි ආගමිකයන් බොහෝ දෙනෙක් හමුවී ඇත. 

සංචාරක ව්‍යාපාරයේ සිදුවන මෙම වෙනස පිළිබඳව මා මුලින්ම නිරීක්ෂණ කලේ සහශ්‍රයේ මුල් වසර කිහිපයේදීය. මේ අනුව මම ඉතා විස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් ගොඩනැගුවෙමි.  එහි සඳහන් වුයේ හෙක්ටෙයාර 500 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරුණු අධ්‍යාත්මික ගම්මානයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා මගේ යෝජනාව වුයේ ලොව පුරා පැතිරුණු ආගම් දොළහක පමණ ආයතනවලට සුඛෝපභෝගී තත්වයේ නේවාසික පහසුකම් සහිතව ආගමික සිද්ධස්ථාන ගොඩනගන ලෙස ආරාධනා කිරීමයි. මේ සඳහා මම කතෝලික, ක්‍රිස්තියානි (ඇන්ග්ලිකන් හෝ ප්‍රොතෙස්තන්ත), ඉස්ලාම් (සුන්නි සහ ෂියා), හින්දු, බෞද්ධ (ථෙරවාද, මහායාන, සහ වජ්‍රයාන), බහායි, යුදෙව්, ෂික්, ජෛන, කොන්ෆියුසියසම්, සහ ටාඕයිසම් ආදී ආගම් යෝජනා කලෙමි.

සෑම ආගමික ආයතනයක්ම පවතින පරිසරයට අවම බලපෑමක් ඇතිවන පරිදි ඉදිකිරීම්වල යෙදීමට පියවර ගත යුතුය. ඒ ඒ ආගමට අයත් සංස්කෘතික අංග උපරිම ආකාරයෙන් ඒවායේ ස්ථාපිත කිරීමට අනුබල දිය හැක. සෑම දිනකම ආගමික ආයතනවල ආගමට අදාළ දේව යාතිකා, පුද පූජා, භාවනා සහ සක්මන්, ධර්ම සාකච්චා, ගීතිකා සහ නැටුම්, ආහාර වත්පිළිවෙත්, ආදී අංග පැවැත්විය හැක. බොහෝ ආගම් ජලය හා බැඳී ඇති බැවින් අධ්‍යාත්මික ගම්මානය ගංගාවක්, ඇලක් හෝ දොළක් ආශ්‍රිතව ඉදිකිරිම සුදුසුය. ගම්මානයට ඇතුළුවන ස්ථානයේදී පැමිණෙන උදවියට  තම වාහන නතරකිරීමට ඉඩ පහසුකම් සලසා එතැන් සිට ගම්මානයේ ගමන් කිරීමට විද්‍යුත් මෝටර් රථ, ස්කූටර සහ පාපැදි ලබා දීම කල හැක. 

මෙහි ව්‍යාපාරික මොඩලය මෙසේය. රජයේ ඉඩමක් මේ සඳහා ලබා දිය හැකි අතර ආගමික ස්ථානය සඳහා රජයට බද්දක් අයකළ හැක. සිද්ධස්ථානය සැදීම සඳහා ආයෝජනය 100%ම අදාළ ආගමික ආයතනය දැරිය යුතුය. නේවාසික සංචාරකයන්ගෙන් ලැබෙන ආදායමෙන් මෙන්ම පින්වතුන්ගෙන් ලැබෙන ආධාර වලින්ද යම් කොටසක් රජයට අය කරගත හැක. එසේම මෙහි සේවය කරන පිරිසෙන් 80% පමණ ස්වදේශිකයන් විය යුතු බවට නීති පැනවිය හැක. සංචාරකයන් එක් ආගමික සිද්ධස්ථානයක නේවාසික වුවත් ඔවුන්ට ඕනෑම ආගමික මධ්‍යස්ථානයකට නිදහසේ ඇතුළුවීමට ඉඩකඩ තිබිය යුතුය. එසේම සක්මන් මළු, භාවනා මළු, සාකච්චා කුටි ආදිය මෙන්ම ජල මාර්ගයේ ස්නානය කිරීම සඳහා ඉඩකඩ පහසුකම්ද සපයා දිය යුතුය.

සිද්ධස්ථානවල ඉතා විශාල ප්‍රතිමා, ආගමික සංකේත තැනීමට අනුබල දිය යුතු අතර ඒ ඒ ආගමට අදාළ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉතා විශාල ගොඩනැගිලි තැනීමට අනුග්‍රහය දිය යුතුය. මේවා සංචාරක ආකර්ෂණ වෙයි. 

මෙම ව්‍යපෘති යෝජනාවට අදාළව යම් ආයෝජකයෙකුට වැඩි දුර අධ්‍යනයක් අවශ්‍ය නම් එහි සාරාංශයක් ලබාදීමට හැකිය. 


Friday, 18 October 2024

අලුතෙන් හිතමු -ආහාර සංස්කෘතිය


ලංකාවේ ආර්ථිකයට ඍණාත්මකව බලපාන සුවිශේෂී කාරණා අතර පාන් පිටි නැත්නම් තිරිඟු පිටි පරිභෝජනය ප්‍රධාන තැනක් ගනියි. ලංකාවේ ජනගහනයෙන් 80% පමණ පාන් පිටි ආශ්‍රිත ආහාර දෛනිකව පරිභෝජනය කරන අතර එය වසරකට පිටි මෙට්‍රික් ටොන් 720,000 පමණ වේ. තිරිඟු පිටි යනු 100%ම ආනයනිත නිෂ්පාදනයක් වන අතර මේ සඳහා වසරකට ඩොලර් මිලියන 120ක් පමණ වැය  වේ.

ලංකාවේ ආර්ථික භෝගයක් ලෙස තිරිඟු වැවිය හැකිදැයි මම නොදනිමි. එසේ කල හැකි වුවත් එය ආර්ථික වශයෙන් අසාර්ථක වැවිලි කර්මාන්තයක් වනු ඇත. මේ නිසා ඒ වෙනුවට ලංකාවේ පහසුවෙන් වැවෙන බෝග මගින් ලබාගත හැකි පිටි වර්ග සඳහා ආහාර සංස්කෘතිය වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි මට සිතෙයි. 

ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන ආහාරය හෝ ආහාර සැකසීමේ පිටි වර්ග රාශියක් ඇත. මඤ්ඤොක්කා, බතල, කෙසෙල්, කුරක්කන්, මෙනේරි මින් කිහිපයකි. මේ පිටි වර්ග වලින් ප්‍රධාන ආහාරයන් සකසා ගන්නා ආකාරය පිළිබඳව අදාළ රටවල්වල ආහාර සංස්කෘතිය අධ්‍යනය කිරීමෙන් හොඳ අවබෝධයක් ලබාගත හැක. මීට අමතරව මේ වන විට  තායිලන්තය, මැලේසියාව ආදී රටවල කොස් පිටි ආශ්‍රිතවද කෑම වර්ග අත්හදා බැලෙමින් පවතී. අපේ රටේ සමහර ප්‍රදේශවල සුලබව වැවෙන රජාල, හිගුරළ, ඉන්නල, කිරි අල, කුකුළල, කටු අල, බුත්සරණ, ආදී නොයෙකුත් අල වර්ග ආශ්‍රිතවද පිටි වර්ග නිපදවීම පිළිබඳව අපට පර්යේෂණ කල හැක. අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් තිරිගු පිටි ආනයනය සීමා කල හැක. 

මේ ගැන මම පසුගිය දශක දෙකක කාලයක් තුල නැවත නැවතත් ලිපි පලකලෙමි. දැන්වත් අපි පටන්ගමු. 


Thursday, 10 October 2024

AI මගින් කෘෂි ඛේදවාචකය නවතමු

ලංකාවේ කෘෂි ආර්ථිකය ඛේදවාචකයක් කරා ගමන් කරමින් පවතී. මීට හේතු ගණනාවකි. එය ඇරඹෙන්නේ යම් කාල රාමුවක් සඳහා ගොවියා බෝග තෝරා ගැනීමේදී ගන්නා වැරදි තීරණ හේතුවෙනි. උදාහරණයක් ලෙස එක් කාල රාමුවකදී අල ඉතා අධික මිළකට විකිණෙන අතර ලූනු කුණු කොල්ලයට විකිණෙයි. මේ නිසා බහුතරයක් ගොවියන් ඊළඟ වාරයට ලූනු අතහැර අර්තාපල් වවයි. 

එය කෙලවර වන්නේ අල විකුණා ගත නොහැකිව කුණු වන අතර ලූනු මිල අහස උසට ඉහල යාමෙනි. බොහෝ බෝග වල තත්වය මෙයයි. මෙහිදී ගොවියා මෙන්ම පාරිභෝගිකයාද අවාසනාවන්ත තත්වයකට පත්වන අතර ගබඩා පහසුකම් ඇති අතරමැදියා අධික ලෙස ලාබ ලබයි.

මේ තත්වයෙන් මිදීමට හේන් ගොවියාගේ සිට මහා පරිමාණ වතු හිමියා දක්වා කෘෂි වෘත්තිකයන්ට ඊළඟ වසරට වගා කල යුතු බෝග කුමක්දැයි නිර්දේශ කිරීමට AI ඇල්ගොරිතමයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයකි. මෙම ඇල්ගොරිතමය උපරිම ආදායමක්ද අවම නාස්තියක්ද සිදුවන ආකාරයට ප්‍රාදේශීය වශයෙන් වගා කල යුතු සුදුසුම භෝගය ගොවියාට නිර්දේශ කල යුතුය. මේ සඳහා රජයේ මැදිහත්වීම සහ පර්යේෂකයන්ගේ සහයෝගය අත්‍යවශ්‍යය.   

මීට සමගාමීව ඒ ඒ භෝගයට අදාළ ගබඩා පහසුකම් ප්‍රාදේශීයව ගොඩනැගීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමද රජය සතු යුතුකමකි 

Sunday, 29 September 2024

සුද්දා සීගිරි කාශ්‍යපට ඇන්දීම


ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ මං පිළිබඳව සාකච්චා කෙරෙන closed WhatsApp මිතුරු හමුවකට මම පහත දැක්වෙන යෝජනාව කලෙමි.

ලංකාවේ පෞරාණික සහ විශේෂිත ස්ථාන නැරඹීමට දේශීය සහ විදේශීය සංචාරකයන්ගෙන් අය කෙරෙන ගාස්තුවේ විශාල පරතරයක් ඇත. මෙය බොහෝ විදේශිකයන්ගේ නොසතුටට හේතුවෙයි. මීට අමතරව මේ අය කෙරෙන ගාස්තුව සඳහා ලබා දෙන පහසුකම් ඉතා අල්පය. මේ නිසා දැනට සියළුම ස්ථාන සඳහා විදේශිකයන්ගෙන් අය කෙරෙන මුදල ඩොලර් 5 දක්වා අඩු කිරීමට මම යෝජනා කලෙමි. සාර්ක් කලාපීය සංචාරකයන් සඳහා එය ඩොලර් 3 වැනි මුදලක් දක්වා අඩු කල හැක.

බොහෝ රටවල සංචාරකයන්ගෙන් විශාල ආදායමක් ලබන්නේ නැරඹීමේ ප්‍රවේශපත් විකිණීමෙන් නොවේ. මේ සඳහා ඒ ඒ ස්ථානවලට ආවේනික වූ ව්‍යාපාරික මොඩලයන් ගණනාවක් ඇත. මේ පිළිබඳව අපි ඉදිරියේදී දීර්ඝ වශයෙන් කතා කරමු. මගේ මිතුරන්ට මම උදාහරණයක් ලෙස පහත යෝජනාව කලෙමි. 

බොහෝ රටවල පෞරාණික ස්ථාන අසල ඇති ආයතන වලින් ඔබව එම ස්ථානය හා සම්බන්ධ සුවිශේෂී පුද්ගලයන් ලෙස හැඩගන්වා එම ස්ථානයේ පසුබිමෙහි ඔබගේ චායාරූප ගැනීමට හෝ වීඩියෝ කිරීමට අවස්ථාව ලබා දෙයි. උදාහරණයක් ලෙස ඊජිප්තුවේ පිරමිඩ අසලදී ඔබට රැම්සෙස් රජු හෝ නෙඵර්ටිටි රැජින ලෙස සැරසී චායාරූප ගත හැක. මේ සඳහා මෙම ආයතන අධික මුදලක් අය කරයි. නමුත් මේ බොහෝ ස්ථානවල ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම පවා අපහසු වී ඇත.

මා යෝජනා කලේ ආරම්භයක් ලෙස අපට සීගිරිය අසලදී සුද්දන් සීගිරි කාශ්‍යප ලෙස හැඩගන්වා මුදල් ඉපයිය හැකි බවයි. බොහෝ දෙනෙකු මේ යෝජනාවට ප්‍රසාදය පලකළ අතර මේ ඉන්පසු ඇතිවූ දෙබසකි.

එක් මිතුරෙක්: චන්දිම ඒ ගමන්ම අපි සුද්දිව සීගිරි අප්සරාවට අන්දමු.

තවත් මිතුරෙක්: අන්න වැඩේ. ඊට පස්සේ අපි ලෝකල්ස්ලට ටිකට් කඩල උන් දෙන්නව පෙන්නමු. 

Sunday, 8 September 2024

ඇයි අපි මෙතන?

 


පසුගිය දෙවසර තුල ලංකාවේ මෙන්ම ලෝකයේ නොයෙකුත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතරින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය අපේක්ෂා කරන සමූහයක් ගොඩනැගුණි. ඔවුන් විසින් ඍජුවද වක්‍රවද NPPයේ ඉදිරිගමන වෙනුවෙන් විශාල සේවයක් නිහඬව කරමින් පවතී.  මේ සමූහයේ යම් විශේෂත්වයක් ඇත. ඒ මීට දශක දෙක තුනකට පෙර ඔවුන් කිසිවෙක් ජවිපෙට හෝ ඒ හා බැඳුන කිසිම පක්ෂයකට සහයෝගය දීමට සිහිනෙන්වත් නොසිතූ පිරිසක් වීමයි. එසේම බහුතරයක් ලාංකිකයන් "සමාජවාදය" ලෙස වැරදියට අර්ථ දක්වන චීන කොමියුනිස්ට්වාදය මේ සමුහය එදා මෙන්ම අදත් තරයේ පිළිකෙව් කරයි. මමද මේ සමුහයේ කුඩා අංශුවකි.

අපට ලංකාව හා සම්බන්ධ වූ බොහෝ ජිවිත අත්දැකීම් ඇත. සරසවිය තුලදී ජවිපෙ ප්‍රමුඛ වාමවාදී ව්‍යාපාර සිසුන් මත බලහත්කාරයෙන් පටවන ආධිපත්‍ය අපි අත්දැක ඇත්තෙමු. 88/89 යුගයේදී එජාප-ජවිපෙ බිහිසුණු ගැටුම් වල ප්‍රතිඵලය ලෙස අගනා ජීවිත මහමග දැවෙනු අපි දුටිමු. ප්‍රේමදාස ප්‍රමුඛ එජාප නායකයන් දියත්කල කුරිරු මර්දනකාරී පාලන තන්ත්‍රයේ අත්දැකීම් අපි වින්දෙමු. චන්ද්‍රිකා පාලන සමයේ නව මුහුණුවරකින් පැමිණි දූෂණය, භීෂණය, වංචාව මෙන්ම බියකරු වයඹ මැතිවරණයද අපි නැරඹුවෙමු. ඉන්පසු පැමිණි රාජපක්ෂ පාලන සමයේ දහ දෙළොස් ගුණයකින් වැඩිවූ ජාතික ධනය කොල්ලකෑම, දේශපාලකයා විසින් තම පැවැත්ම උදෙසා පාතාලයන් නඩත්තු කිරීම, පසු කලෙක පාතාලයා දේශපාලකයා වීම, ඝාතන වදහිංසා සාමාන්‍යකරණය වීම අපි උපේක්ෂා සහගතව බලා සිටියෙමු. කෙටි ගෝඨා සමයේදී ඉහත සියළුම දුර්භාග්‍යතාවන්ට එකතු වූ අමනකම සහ අධික නාස්තිය අපි අත්දැක්කෙමු. අද තවත් බල ලෝබී උම්මත්තකයෙක් සියළු ණය ගෙවීම් නවතා, පැවති ණය දෙගුණයකින් වැඩි කර, ජනතාව මත අධික බදු බර පටවා රටේ ගැටළු විසඳූ බව පවසනුද අපි නරඹමු.

මේ අනුව ලංකාව අද පත්ව ඇති බරපතල අර්බුදයට සියළු දෙනාම අඩු වැඩි වශයෙන් සම්මාදන් වී ඇත. අප මෙතනට රොක් වන්නේ මේ අවබෝධය සහිතවය. මේ නිසා ඔබ සමහර දෙනා එල්ල කරන සිල්ලර ප්‍රහාරයන් හාස්‍ය ජනකය.

අද ඉදිරියෙන් සිටිනා අපේක්ෂකයන් පිළිබඳව අපි නිරීක්ෂණය කරමු. 

නාමල් රාජපක්ෂ යනු ඉතා ප්‍රාථමික, අපරිණත සහ කෙටි වුවත් ඉතා දූෂිත අතීතයකට හිමිකම් කියන පුද්ගලයෙකි. ඔහු චන්දයට ඉදිරිපත්වන්නේ ඇයිද කියා ඔහුවත් නොදන්නා සේයකි. එසේම ඔහු වටා සිටින්නේද දේශපාලනය ගැන මෙලෝ දැනුමක් නැති කටවාචලයන් කිහිප දෙනෙකි.

රනිල් වික්‍රමසිංහ යනු මමත්වයේ උපරිමයේ පසුවන ඉතා අසාර්ථක නායකයෙකි. අවසානයේ ඔහු තමා නායකත්වය දුන් පක්ෂය සම්පුර්ණයෙන්ම දිය කර හැරියේය. එසේම එජාපයේ තමා වටා සිටි යම් දක්ෂතාවයකින් හෙබි සියළු දෙනාම පලවා හැර කිසිඳු පෞරුෂයක් නැති, පුස්සන් පිරිසක් ලං කරගත්තේය. අද පොහොට්ටුවෙන් ගැලවී ඔහු ලඟට පැමිණ ඇත්තේ රට බංකොලොත් කිරීමට පුර්ණ දායකත්වය දුන් දුර්දාන්ත චෞර බලමුළුවයි. මේ කම්බා හොරු රැලත් සමග රනිල් යන ගමන කුමක්දැයි ඔබ ඔබෙන්ම අසා දැනගන්න.

සජිත් ප්‍රේමදාස යනු මගේ පාසලේ සමාන්තර පන්ති සඟයෙකි. මේ නිසා මා ඔහු ගැන කුඩා කල සිටම දනිමි. ඔහු යහපත් මනුෂ්‍යයෙකි. නමුත් කුඩා කල සිටම ඔහුගෙන් කිසිඳු නායකත්ව හැකියාවක් පිළිබිඹු නොවීය. කෙටියෙන්ම පැවසුවහොත් ඔහු පවුඩර් බබෙකි. ඔහු තම කිට්ටුම කාන්තාවන් තිදෙනාගේ ග්‍රහණයට හසුවන්නේ මේ නායකත්ව පෞරුෂයේ ඇති ඌණතාවය නිසාය. එසේම ඔහුගේ කථා විලාශය මෙන්ම එහි ගැබ්ව ඇති සන්දර්භය තුලින්ද පෙනෙන්නේ ඔහුගේ ඇති අපරිණත නොමේරූ මානසික තත්වයයි. ඔහු වටා යම් දක්ෂතාවයක් සහිත දේශපාලකයන් පිරිසක් සිටියද සජිත් තුල ඔවුන් පිළිබඳව ඇති බිය ඔහුගේ නායකත්වය නැවත නැවතත් ප්‍රශ්ණ කරයි.

දිලිත් ජයවීර කුඩා පක්ෂයක් ලෙස වුවත් යම් පැසසිය යුතු මට්ටමේ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන බව නොකියාම බැරිය. එහෙත් ඔහුට ඇත්තේ චන්ද විසි-තිස් දහසක පක්ෂයකි. එසේම ඔහු සමග සිටින විමල්, ගම්මන්පිල වැනි හනුමන්තලා සමග ඔහුට යාහැකි ගමනක් නැත.

මේ කරුණු කාරණා සලකන විට අපට බලාපොරොත්තුවකට ඉතිරිවන්නේ අනුර කුමාර ප්‍රමුඛ NPPය පමණි. පසුගිය වසර 25 තුල ඔවුන් තුලින් විද්‍යමාන වූ සාමුහික හැසිරීම ප්‍රශංසනීයය. විවිධ අවස්ථාවලදී ඔවුන් ගත් දේශපාලනික තීරණ අප සමහර දෙනෙකුගේ අප්‍රසාදයට හේතු වුවත් ඒ කිසිවක් ඔවුන් පෞද්ගලික ලාබ ප්‍රයෝජන තකා නොගත් බව නම් සහතිකය. ඔවුන් අතර සිටි පෞද්ගලික සුඛ විහරණයට ලොබ බැඳි පිරිසට ඔවුන් හා විසීමට නොහැකිව ඉවත්ව ගියහ. එසේ ගියවුන් පසු කලෙක කෙතරම් නිවට නියාළු දේශපාලන ජිවිතයක් ගත කළාදැයි අපි දුටුවෙමු. 

එසේම NPPය මෙවර ඉදිරිපත්කරන වැඩපිළිවෙල ප්‍රායෝගික මෙන්ම හොඳ දැක්මකින්ද යුක්තය. ඔවුන් වටා ලොව දස දෙසින් විද්වතුන් රොඳ බඳිමින් සිටිති. මේ විද්වත් පිරිසෙන් බොහෝ දෙනෙකුට ලංකාවෙන් ගත හැකි කිසිවක් නැත. ඔවුන් දැනටත් තමන් පදිංචි රටවල ඉතා හොඳින් ස්ථාපිත වී ඇත.

මා කලිනුත් කිව්වා සේ අපට NPPය ගැන ඇත්තේ බලාපොරොත්තුවකි. NPP ජයග්‍රහණය යනු ගමනක අවසානය නොවේ. ඒ තබා එය ගමනක ආරම්භයවත් නොවේ. එය ගමන ඇරඹීමට මෙතෙක් දැවැත්ත බාධකය වූ සුවිසල් දූෂිත පවුර කඩා බිඳ දැමීමක් පමණි.

ඉන් පසු අප ගමන ඇරඹිය යුතුය. ඒ ගමනේදී අපි NPPයට උදව් කරමු. සමහර විට අපට ඔවුන්ගේ වැඩපිළිවෙලවල්වලට එදිරිව ප්‍රතිපත්තිමය වශයෙන් යුද වැදීමට සිදුවනු ඇත. විටෙක අනුරට එදිරිව හරිනි වෙනුවෙන් සටන් කිරීමට සිදුවනු ඇත. 

මෙතෙක් අප ගැටුණේ සොරුන්, මංකොල්ලකරුවන්, වංචනිකයන්, ඝාතකයින් සමගය. ඔවුන් සමග අපට සටනක් නොවීය. අප සිදු කලේ නිෂ්පල අදෝනා නැගීම්, විලාප තැබීම පමණකි. තවත් දශක කිහිපයක් මේ ලෙස දෙස් දෙවොල් තබමින් ගාටනවාද නැත්නම් අප පසුකර වේගයෙන් ඉදිරියට යන ලෝකය සමග නැවත එක්වෙනවාද? 

ඔබ ඔබේ චන්දය භාවිත කිරීමට පෙර සිතන්න, එය ඔබට පමණක් නොව ඔබගේ අසල්වාසියාගේ දරුවාටද එකසේම බලපාන බව.        





Tuesday, 27 August 2024

අඩ සියවසකින් අතීතයට



ඒ මීට වසර 50ටත් පෙර කාලයයි. අපේ ගෙදර සිකුරාදා රෑට වාද පිටියකි. අද මෙන් රූපවාහිනී, Netfix නොතිබුණු ඒ යුගයේ, ලබැඳියන් අතර කතා බහ, වාද විවාද, ගෝරනාඩු ජීවිතය අසිරිමත් කළේය. යක්කල නෑදෑ පිරිස මෙන්ම ඉඳ හිට රඹුක්කන නෑදෑයන්ද කුමක් හෝ කටයුත්තකට කොළඹ පැමිණියහොත් නවතින්නේ දෙහිවල තිබූ අපගේ නිවසේය.  

රෑ නවයට විතර ඇරඹෙන කතාබහ අවසන් වන්නේ පසුදා අළුයම එකට පමණය. මැතිවරණ සමයක නම් මේ සාකච්චා බොහෝ විට දේශපාලනය ගැනමය. කැපුවත් යූඑන්පී කාරයන් වූ අපේ නිවසේ උදවියගේ සිට කැපුවත් නිල් ශ්‍රී ලංකා කාරයන් වූ යක්කල නෑ පිරිස දක්වා විශාල පරාසයක දේශපාලන මතධාරීන් අප අතර විය. එවකට වයස අවුරුදු 6, 7 වූ මට මේ සාකච්චාව දෙවෙනි වුයේ මුවන්පැලැස්සට පමණි. 

චාල්ස් ඩිගෝල්, අයිසන්හොවර්, රිචර්ඩ් නික්සන්ලාගේ සිට ට්‍රොස්කි, ලෙනින්, මාවෝ ආදීන් දක්වා මේ සාකච්චා වලදී පැසසුමටත් ගැරහුමටත් ලක්වූ ජාත්‍යන්තර තලයේ නායකයන් බොහොමයකි. ඒකාධිපතිවාදයේ සිට, ලිබරල් ධනවාදය හරහා සමාජවාදී මෙන්ම කොමියුනිස්ට්වාදී ක්‍රමවේදද යහපත් බවට තර්ක කල අය වූ ඒ වට මේසය මතවාදී යුද්ධයකට සමාන විය. ලාංකික දේශපාලකයන්ගේ පෞද්ගලික ජීවිත රස කර කර වින්දනය කල අවස්ථාද තිබුණේ නැතුවාම නොවේ. නමුත් ඒවා priority discusions නොවීය.

කුඩා කල මගේ මනස බෙහෙවින් පෝෂණය වුයේ මේ සිකුරාදා සාදයෙනි. එය පසු කලෙක ජිවිතය ජයගැනීමට බොහෝ සෙයින් බලපෑවේය.

කාලයත් සමග වැඩිහිටි පරපුර ක්‍රමයෙන් අපෙන් සමුගත් අතර එවකට සිටි තරුණ පරපුර පවුල් පන්සල් වී කාර්යබහුල දිවිපෙවෙතකට ඇතුළු විය. සිකුරාදා සාකච්චා මණ්ඩපය ක්‍රමයෙන් වියැකී ගියේය. 

ඊට දශක දෙකහමාරකට පමණ පසු වැඩිහිටියෙකු ලෙස මට නැවතත් නෑදෑ හිත මිතුරන් සමග ඉඳහිට සංවාදවලට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. ඒ වන විට දේශපාලන සාකච්චා කරලිය සම්පුර්ණයෙන්ම වෙනස් වී තිබුණි. කතාබහෙන් 90% වඩා වෙන් වුයේ එක එකා කරන දුෂණ, භීෂණ, වංචා, සොරකම් ගැන කතා කිරීමටයි. වාද ඇතිවුණේ තමා සහයෝගය දෙන එකාට වඩා අනෙකා සොරකම් කරන බව පසක් කිරීමටයි. මේ වාද අවසානයේ ඉතිරි වුයේ සිත් අමනාපකම් පමණි. කිසිවෙකුටත් එහි ගත හැකි යමක් නොවීය. මේ නිසා මම ක්‍රමයෙන් මේ වාද විවාද වලින් ඈත්වී සිටීමට උත්සහ ගතිමි. 

මට මේ අතීත කතාව මතකයට ආවේ පසුගිය දිනෙක දුරස්ථ සන්නිවේදන වේදිකාවක දුරු ඈත රටවල් පහක සිටින ලාංකිකයන් කිහිප දෙනෙක් සමග ඇති වූ කතාබහක් නිසාය. මාතෘකා තනිකරම දේශපාලනික විය. කතාබහ පැවති පැයක පමණ කාලයකදී අප තනිකරම කතා වුයේ එවන විට ජනගතව තිබූ පක්ෂ ප්‍රතිපත්ති කිහිපයකි. ඒ  NPP එකේ IT ප්‍රතිපත්තිය සහ, විද්‍යා සහ තාක්‍ෂණ ප්‍රතිපත්තියත් මව්බිම ජනතා පක්ෂයේ උපායමාර්ගික සැලැස්මත් පිළිබඳවයි. 

කෙටි කලකින් ලංකාවේ දැවැත්තම බලවේගයක් වූ NPPයත් තවමත් කුඩා පක්ෂයක් වන මව්බිම ජනතා පක්ෂයත් ඉදිරිපත් කර තිබූ සැලසුම් අඩු වැඩි වශයෙන් අප අතර ඇගයීමට ලක්විය. ඒ සමගම විවේචන, අඩුපාඩුකම් පිලිබඳ කතාබහද ඇතිවිය. කතාව අවසානයේ මම බොහෝ දේ උගත්තෙමි. 

අඩ සියවසකට පසු ඒ සුන්දර කුඩා සන්දියට පිය නැගුවා වැනි හැඟීමක්  ඇතිවිය. 

Thursday, 22 August 2024

තලතා දේවිය නොකියූ කතාව



තලතා අතුකෝරල මහත්මියගේ පාර්ලිමේන්තුවෙන් සමුගැනීමේ කතාවේ පේලි අතර කතාව මට ඇසෙන්නේ මෙලෙසය.

එජාප-සජබ-පොහොට්ටු බේදයකින් තොරව අප බහුතරයක් දුෂණ, භීෂණ, වංචා සඳහා අධිකරණයේ නඩු ඇති අයයි. නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුව කරන තාක්ෂණික දෝෂ නිසා "නිදොස් කොට නිදහස් වූ" අයයි. එබැවින් අප තෙපලගෙන් කෙනෙක් බලයට නොපැමිණියහොත් අපට ජිවිතයේ සැඳෑ සමය එකම කූරු පෙළ දහස් වාරයක් ගණන් කරමින් සිටිය හැක. මම සජබයෙන් යන්නේ එයට දුෂිතයන් එකතු කරගත් නිසා බව කිව්වත් මගේ ගමනාන්තය රනිල් බව එකවරම කිව නොහැක. මන්ද ඔහු ලඟට ගොස් ඇත්තේ මීටත් අන්ත දුෂිතයන් බැවිනි. 

අප අතර සිටින්නන් කෙතරම් දුෂිතයන් වුවත් ලංකාවේ තවමත් සෑහෙන ප්‍රමාණයක් සිටින ඔලමොට්ටල ප්‍රජාව රැවටීමට සමත් මුඛරී බව ඔවුනට ඇත.  මගේ එකම පැතුම රනිල්-සජිත් දෙදෙනාගෙන් එක් අයෙක් ගෞරවනීයව මේ සටනින් ඉවත්වී අප සියළු දෙනාම මේ සැඩ පහරින් එතෙර කිරීමයි. 

එක්ව රජගෙට යනවාද වෙන්ව සිරගෙට යනවාද යන්න ඔබ තීරණය කරන්න. 


             


Sunday, 11 August 2024

දේසපාළුවාට නොඇසෙන ලැයිමේ විලාපය


රජ වෙන්න නම් ලැයිමේ සහය නැතිවම බැරිය. රනිල් කඩිමුඩියේම වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් 1700 කරන ලෙස අණ කරන්නේ මේ නිසා බව කුඩා දරුවෙකුට වුවත් පැහැදිලිය. 

තේ වගාවේ යථාර්තය කුමක්ද? 

අතිශයින් විචලනය වන ජාත්‍යන්තර වෙළඳපොලේ තේ මිල, පාරිසරික සහ දේශගුණික බලපෑම්, අධික පොහොර සහ රසායනික ද්‍රව්‍ය මිල, ප්‍රවාහන සහ ඉන්ධන මිල, බදු බර, දැඩි තරඟකාරී වෙළඳපොල ආදී සාධක ගණනාවක් නිසා කම්කරු වැටුප හිටිහැටියේ රුපියල් 1700 කිරීම අභව්‍ය බව තේ වගාව හා සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාව ඉතා පැහැදිලිව දන්නා කාරණයකි. එය යම් බුද්ධියක් ඇති ඇමතිවරු මෙන්ම ජනාධිපතිවරයාද නොදන්න විදියක් නැත. නමුත් ඒ හැමටම වඩා ඔහුට ජනාධිපතිවරණය ජයගැනීම වැදගත්ය. චන්දය අවසන් වනතෙක් මේ කතාව ඇදි ඇදී යනු ඇත. ඉන්පසු උසාවි තීන්දුවක් පිට දමා එයින් මිදෙනු ඇත.

සජිත්ට මේ අවස්ථාවේ දෛනික වතු වැටුප රුපියල් 1800 කරනවා කීමට නොහැක. මන්ද රුපියල් 1700ට එරෙහිවද නීතිමය උපදෙස් ලැබී ඇති බැවිනි. මේ නිසා ඔහු සුපුරුදු ආකාරයෙන් අන්ත බුද්ධිහීන කතාවක් කියයි. එනම් වතු කම්කරුවා කුඩා වතු හිමියෙක් කරන බවයි. මේ ගැන වැඩිදුර ලිවිය යුතු නැත්තේ මේ කියන දේ කළහොත් මුළු තේ ව්‍යාපාරයම බිමට සමතලාවන බව අන්ත මෝඩයෙකුට හැර අනෙක් සැමට වැටහෙන බැවිනි. ඔහු විසින් වතු කම්කරුවාව ඔසවා තබන සිහිනයද සිහිනයක්ම වනු ඇත. 

වතු කම්කරුවාගේ සත්‍ය අනාගතය කුමක්ද?

මේ වන විට ජපානය, චීනය සහ ඉන්දියාව කෘත්‍රිම බුද්ධිය ඇතුලත් (AI embeded) තේ දළු නෙලන, තේ වගාවට පොහොර සහ අනෙකුත් කෘමි-දිලීර නාශක යොදන යන්ත්‍ර ඉතා සාර්ථකව අත්හදා බලමින් තිබේ. මගේ පැත්තෙන් මම කෙන්යාවේ තේ වතු හිමියන් සමග අප සරසවිය හරහා මෙවැනි යන්ත්‍ර සුත්‍ර හඳුන්වා දීම පිළිබඳව සාකච්චා කරමින් සිටිමි. තේ දල්ලේ පැහැය, වයනය (texture), මෘදු බව, හැඩය ආදී සාධක මෙන්ම තේ ගසේ සහ පසේ ස්වභාවයට අදාළ පරාමිති කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් මෙම කාර්ය සපුරාගැනීම අසීරු නොවේ. 

මේ තාක්ෂණය පැමිණීමත් සමගම වතු කම්කරුවාගේ රැකියාව වියැකී යෑම වලක්වාලිය නොහැක. යථාර්තය එයයි. ලංකාව මෙම තාක්ෂණය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් වෙළඳපොල තරගයෙන් ඉවතට විසිවී කොහොමටත් මුළු තේ අපනයන ව්‍යාපාරයම බිඳ වැටෙයි. 

මේ තත්වයට මුහුණ දීමට වගකිව යුතු දේශපාලන අධිකාරියක් ගත යුත්තේ මේ විහිළුසහගත පියවර නොවෙයි. සියවසකට අධික කාලයක් දේශපාලන නායකත්වය විසින් අමතක කල කාරණයක් නිසා ගොඩනැගුනු දරුණු ගැටළුවක් දැන් ඉස්මතුවෙමින් පවතී. මේ පිළිබඳව වියත් සමුහයක් එකතුවී සාධාරණ වුත් ප්‍රයෝගික වුත් විසඳුමක් තීරණය කල යුතුය. 

සාකච්චාවට භාජනය කල හැකි එක් පියවරක් මම මෙහිදී ඉදිරිපත් කරමි. සාමාන්‍යයෙන් තේ වතු කම්කරුවා දිනකට වැඩකරන්නේ පැය 4-5 වැනි කාලයකි. ඉන්පසු ඔවුන් බොහෝ විට කතාබස් කරමින් නිකරුණේ කාලය කා දමයි. සවස් කාලය වන විට ඔවුන් තමා උපයන ධනයෙන් වැඩි ප්‍රමාණයක් තැබෑරුම්වලට පුද කරයි. මෙය ගැහැණු පිරිමි බේදයකින් තොරව සිදුවෙයි. ඉන්පසු ඔවුන් නිවැසියන් සමගද අසල්වැසියන් සමගද රණ්ඩු දබර වෙමින් සිට නින්දට යයි. මේ ලැයිම් ජීවිතය තුල දරුවෙකුට ජීවත්වීමට සුදුසු යහපත් පරිසරයක් නැත. මේ නිසා ඉතා කෙටි කාලයකින් අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා ඔවුහු තම දෙමව්පියන්ගේ දිවි පෙවෙතටම ඇබ්බැහි වෙන්නාහ. මේ විෂම චක්‍රය කඩා දැමුවහොත් වතු කම්කරු සමාජයේ  උන්නතිය පහසුවෙන් සාක්ෂාත් කරගත හැක. නමුත් එයට දේශපාලකයා බිය වෙයි. 

වතු කම්කරුවන් තම වැඩ මුරයෙන් පසු නොයෙකුත් රැකියා පුහුණුවීම් සඳහා අපට යොමු කල හැකිව තිබුණි. පරිඝනක සහ තොරතුරු තාක්ෂණය, මේසන්, පයිප්ප, වඩු, කාර්මික (මෝටර්රථ, විද්‍යුත් පරිපත, ඉලෙක්ට්‍රොනික උපකරණ අඩිය අලුත්වැඩියාව), වඩු කර්මාන්තය, ස්වයං ව්‍යාපාර ආදී අනන්තවත් කටයුතු සඳහා මේ ප්‍රජාව යොමු කර ඔවුන්ට අමතර අදායමක් ලැබීමේ මංපෙත් සකසන්න තිබුණි. මීට වසර 20කට පෙර මේ දේ පටන් ගත්තා නම් අද බොහෝ වතු කම්කරුවන්ගේ මූලික අදායම් මාර්ගය තේ වත්තෙන් ඈත් වන්නට තිබුණි. නමුත් දේශපාලකයා ඊට අනුබල දුන්නේ නැත. අද වුවත් අප ප්‍රමාද නැත. යහපත් දේශපාලන මගපෙන්වීමක් යටතේ ඊළඟ රොබෝ සහ ස්වයංක්රීයකරණ ශිල්පීන් සහ AI විශේෂඥයන් වතුකරයෙන් බිහිවීමට ඉඩ ඇත. 




වතු කම්කරුවා ඇන්දීම හෙවත් තේ වගාවේ අවසානය -1

දහනව වන සියවසේ අවසාන කාර්තුවේ සිට විසිවන සියවසේ මුල් කාර්තුව තෙක් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් දකුණු ඉන්දීය සම්භවයක් ඇති විශාල පිරිසක් ඔවුන්ගේ යටත් විජිතවල වතු වගාව සඳහා රැගෙන යන ලදී. මේ ඉන්දියානුවන්ට ඉහල වැටුප් සහ ඔවුන් ඉන්දියාවේ එවන විට ගත කල ජිවිතයට වඩා ඉහල තත්වයක් ලබාදීමට සුද්දා පොරොන්දු විය. මේ ඉන්දියානුවන් බොහෝ දෙනෙක් ගමනාන්තය වන තෙක් තමන් යන්නේ කොහෙටදැයි දැන නොසිටියේය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් දකුණු අප්‍රිකාවටත්, පිරිසක් මැලේසියාවටත් තවත් පිරිසක් ලංකාවටත් ගෙන යනු ලැබීය. ගමනාන්තයේදී ඔවුන් බොහෝ දෙනෙකුට ලැබුණේ පොරොන්දු වුවාට වඩා ඉතා අඩු පහසුකම්ය. 

සියවස් එකහමාරකට පසු අද දකුණු අප්‍රිකාවට ගෙන එනු ලැබූ ඉන්දියානුවන්ගේ හතරවන හෝ පස්වන පරම්පරාව අපට හමුවේ. ඔවුහු කිසිවෙක් වතු කම්කරුවෝ නොවෙති. දකුණු අප්‍රිකාවේ සිටින ඉංජිනේරුවන්ගෙන් බහුතරයක් මේ ඉන්දියානු සම්භවය ඇති පුද්ගලයන්ය. ඊට අමතරව වෛද්‍ය සහ නීති වෘත්තියේ යෙදෙන පිරිසද සෑහෙන විශාලය. තවත් සැහෙන පිරිසක් ඉතා ධනවත් වතු හිමියන්ය. 

මැලේසියාවට ගෙන එනු ලැබූ පිරිසද අද දකුණු අප්‍රිකාවේ තරම් ඉහල තැනක් නැතත් සැහෙන හොඳ ජිවන තත්වයක් හොබවයි. මැලේසියාවේ ප්‍රවාහන ව්‍යාපාරය මුළුමනින්ම පහේ මේ ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන් සතුය. රටේ සිටින නීතිවේදියන්ද විශාල ප්‍රමාණයක් ඉන්දියානුවන්ය. ඊට අමතරව රට පුරාම නොයෙකුත් වෘත්තීය ජයග්‍රහණ ලැබූ ඉන්දියානුවන් රාශියක් විසිරී ඇත.

අප අමතක නොකළ යුත්තේ මේ රටවල් දෙකම ඉන්දියානුවන්ට අතිශය අවාසිසහගත වූ ජාතිවාදී වූ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල හෝ තවමත් කරමින් පවතින රටවල් බවයි (දකුණු අප්‍රිකාවේ අපාතේඩ් සහ මැලේසියාවේ භූමිපුත්‍ර).

ගමනාන්තය ලංකාව වූ අවාසනාවන්තයෝ පාරම්පර හතර පහකට පසුවද අද තවමත් ලැයිම් කාමරවල ගාල් වී බහුතර සමාජය පහත් කොට සලකන වතු කම්කරුවන් ලෙසම ජීවත්වෙති. මේ ලැයිම් ජිවිතයට වඩා ලංකාවේ සිර ගෙවල් තුල පහසුකම් ඇති බව වරක් මහාචාර්ය තිලක් රත්නකාර මහතා පවසා තිබුණි. දශක ගණනාවක් ඔවුන් සිංහල පවුල්වල බෝයි-ආයා කමට දරුවන් සපයන යන්ත්‍ර විය. අප පොඩි කාලේ අසල්වැසි බොහෝ නිවෙස්වල පොඩියන් කෙනෙක්, ලෙච්චිමී කෙනෙක් සිටිනවා මතකය. 

ඔවුන්ගෙන් ඉතා සුළුතරයක් දේශපාලනයට සම්බන්ධ වී යස ඉසුරු ලබමින් සිටිති. වතු කම්කරුවාගේ නුගත්කම, දරිද්‍රතාවය, බීමත්කම පවතින තාක්කල් මේ දේශපාලකයන් රජුන් තනන් ලෙස යස ඉසුරින් වැජබෙනු ඇත. 

--------------

(දෙවන කොටස බලාපොරොත්තු වන්න)

Friday, 2 August 2024

හලාල්-කොෂර් සත්ව ඝාතන ක්‍රමවේදයේ විද්‍යාත්මක පස


ඉස්ලාම් ආගමෙහි සඳහන් හලාල් ක්‍රමයට සතුන් මස් පිණිස ඝාතනය කිරීම බොහෝ ලාංකිකයන්ට අමුත්තක් නොවෙයි. මාංශ භක්ෂණය පිළිබඳව දුර අතීතයක් ඇති මැදපෙරදිග ප්‍රදේශයේ බොහෝ ජන සමුහ චිරාත් කාලයක සිට (ඉස්ලාම් ආගම බිහිවීමට වසර දහස් ගණනකට පෙර සිට) මෙම ක්‍රමවේදය භාවිතා කරයි. වර්තමානය දක්වා ඉස්ලාම්, යුදෙව් (කොෂර් ක්‍රමය) සහ සමහර ක්‍රිස්තියානි සමුහ මෙම ක්‍රමවේදය ක්‍රියාවේ යොදවයි. 

මෙහිදී සිදු කෙරෙන්නේ නිරෝගී මාංශ භක්ෂණයට සුදුසු සත්වයෙකුගේ උගුරු දණ්ඩ තියුණු ආයුධයකින් එකවර කපා දැමීමයි (කශේරුකාවට හානි නොවන සේ). එවිට හෘදය වස්තුව මගින් පොම්ප කරන රුධිරය කෙටි කාලයකදී සත්වයාගේ සිරුරෙන් ඉවත්වෙයි. 

මෙතැනදී මට අතුරු කතාවක් මතක් වෙයි. ලංකාවේ බොහෝ ගරාජ් හිමියෝ මේ ක්‍රමවේදය තවත් කටයුත්තකට යොදා ගනිති. ඔබ කිසියම් අලුත්වැඩියාවකට ඔබගේ වාහනය ගරාජයකට ඇතුළු කලේ යයි සිතන්න. ඔබ ඉවත්වනු තුරු සිටින ගරාජ් හිමියා මුලින්ම කරන්නේ වාහනයේ එන්ජිම පණ ගන්වා ඉන්පසු ඉන්ධන බටය ගලවා ටැංකියේ ඇති ඉන්ධන කෑන් එකකට පුරවා ගැනීමයි. එන්ජිම ක්‍රියාත්මක වන විට ඉතා කෙටි කාලයකදී මෙම ඉන්ධන සොරකම කරගත හැක. 

සත්වයෙකු සිරුරේ ඇතිවන කැපුම් තුවාලයකින් මියගිය විට එම සත්වයාගේ සිරුරේ ඉතිරිව ඇති රුධිරය තුල ඉතා වේගයෙන් බැක්ටීරියා වර්ධනය වේ. මේ නිසා ඉතා කෙටි කලකින් සිරුර කුනුවෙයි. මෙය ශීතකරණ නොතිබුණ ඉහල උෂ්ණත්වයකින් හෙබි ප්‍රදේශවල මිනිසුන්ට විශාල ගැටළුවක් විය. සත්වයෙකු හලාල් හෝ කෝෂර් ක්‍රමයට චේදනය කල විට සිරුරෙන් රුධිරය සම්පුර්ණයෙන්ම පාහේ ඉවත්වන නිසා මාංශය සෞඛ්‍යාරක්ෂිතව වැඩි කාලයක් තබා ගත හැකි වෙයි.

මැලේසියාවේදී මා නිරීක්ෂණය කල ආකාරයට සමහර මස් වෙළෙන්දෝ හලාල් ක්‍රමයට සත්වයා ඡේදනය කර රුධිරය ඉවත් වූ පසු සත්වයාගේ සිරුර විශාල දිය බඳුනක ඔබති. එවිට හිස්වූ රුධිර නාල වලට වතුර පිරීම නිසා මාංශවල බර වැඩිවේ. නමුත් මේ නිසා ශිතකරණයෙන් ඉවතට ගත් කල මස් ඉක්මනින් නරක්වන අතර එහි රසයද අඩුවෙයි. ලංකාවේද මස් වෙළෙන්දන් මෙය කරනවාදැයි මම නොදනිමි. 



     



Tuesday, 16 July 2024

අලි එළවන ගැජට් සහ ලංකාවේ පෙරහැර


ගම් වදින සහ දුම්රිය මාර්ග වල ගමන් කරන අලි ඇතුන් එළවා දැමීම සඳහා යොදාගත හැකි ultrasound මෙන්ම infrasound නලා පිලිබඳ පර්යේෂණ දැන් දශක කිහිපයක සිට රටවල් ගණනාවක සිදුකෙරෙමින් පවතී. මේ වන විට මෙවැනි නලා රාශියක් වෙළඳපොලේ ඇත. ඒවා නිපද වූ අරමුණ සාක්ෂාත් කරගැනීමේ සාර්ථකත්වය පිළිබඳව විද්වත් මට්ටමින් නොයෙකුත් වාද විවාද පවතී. මේ ඒ පිළිබඳව නොවේ.

පසුගිය කාලය පුරාම ආගමික උත්සව සඳහා අලි ඇතුන් යොදා ගැනීම පිළිබඳව බරපතල විරෝධයක් ලාංකීය සමාජයේ යම් කොටසකින් මතුවී ඇති බව අප දැක ඇත. මේ විරෝධයට එරෙහිව අදහස් පලකරන පිරිසක්ද ඇත. මේ දෙපිරිස අතර අර්ථවත් සංවාදයක් ඇති නොවී සමාජ මාධ්‍ය අවලාදවලට පමණක් මෙම මාතෘකාව ලඝුවීම අවාසනාවන්ත තත්වයකි. 

මේ තත්වය යටතේ අලි ඇතුන් ආගමික උත්සවවලට යොදාගැනීමට විරෝධය පෑමක් ලෙස යම් අයෙක් පෙරහැරක් වැනි අවස්ථාවක මෙම නලාවක් නාද කල හොත් සිදුවිය හැකි විනාශ අසීමිතය. මෙම නලාවක් අතේ හෝ කුඩා බෑගයක ගෙනයා හැකි අතර එය නාද කරන විට (මේ සඳහා on-off බොත්තමක් ඇත) මිනිස් සවනට එය සංවේදී නොවේ. මේ නිසා එවැනි නලාවක් රැගෙන යාම හෝ නාද කිරීම කිසිවෙකුට නොදැනී කල හැක. 

නිපදවූ අරමුණ ඉටුකරගනිමේදී මෙම බොහෝ නලා උපකරණවල ඇති විශාලතම දුර්වලතාවය සත්වයාට මීටර් 20-30 පමණ ලංවන තෙක් එයින් සැලකිය යුතු බලපෑමක් නොවීමයි. ගම් වදින හෝ දුම්රිය මාර්ග හරහා ගමන් කරන අලි ඇතුන් එලවීමේදී මෙය විශාල අභියෝගයකි. නමුත් පෙරහරක් සම්බන්ධයෙන් දැනට පවතින නැරඹීමේ අවකාශය තුල මෙම දුරට  ඉතා පහසුවෙන් ළඟ විය හැක. 



Sunday, 14 July 2024

අකුණු ආරක්ෂණය: ඔබේ නිවස, කාර්යාලය, කර්මාන්තශාලාව රැකගන්න

ලොව පුරා අකුණු ආරක්ෂණ පද්ධති පිළිබඳව උපදේශන සේවා සපයන, දේශන පවත්වන මා ඒ ගැන ලාංකික ජනතාව දැනුවත් කරනවා වෙනුවට නොදන්නා විකාර ලියනවා යයි චෝදනා කරමින් ලැබෙන පණිවිඩ ගණන වැඩි වෙමින් පවතී. ඒ නිසා වසර ගණනාවකට පසු මේ පිළිබඳව කෙටි ලිපියක් සිංහලෙන් ලිවීමට සිතුවෙමු.

-----------------------------------------

මීට වසර 20ට පමණ පෙර මා ලංකාවේ අකුණු ආරක්ෂණ උපදේශකයෙකු ලෙස සේවා සපයන කාලයේ බැංකු කිහිපයක සහ රක්ෂණ සමාගමක අකුණු අනතුරු වාර්තා ආශ්‍රයෙන් සකස් කල ලංකාවේ අකුණු අනතුරු ගහණත්වය දැක්වෙන සිතියමක් රූපයේ දැක්වෙයි. මෙහිදී අප සැලකිය යුතු විශේෂ කරුණක් නම් අකුණු ඝනත්වය සහ අකුණු අනතුරු ගහණත්වය අතර වෙනසක් තිබීමට හැකි බවයි. මා සේවා සපයන කාලයේ වැඩිම අකුණු අනතුරු වාර්තා වුයේ හොරණ, පිළියන්දල, මාලබේ-අතුරුගිරිය, වැලිවේරිය, කටුනායක, ගම්පහ, රත්මලාන, සහ කොළඹ-කොටහේන ආදී ප්‍රදේශවලිනි. මේ ප්‍රදේශ ආශ්‍රිතව ඇති විශාල ආර්ථික මධ්‍යස්ථාන නිසා අනතුරු සිද්ධීන් අධික වීමට ඇති ඉඩකඩ වැඩි බව මගේ හැඟීමයි. 

අකුණක් යනුවෙන් අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ වලාකුලක සිට පොළොවට ඉතා කෙටි කාලයකදී ගලන විශාල විද්‍යුත් ධාරාවකි. එය සාමාන්‍යයෙන් ඇම්පියර් 30,000 පමණ වේ. මෙහිදී බොහෝ විට පොලව කරා ඇදී එන්නේ ඍණ ධාරාවකි. කලාතුරකින් ධන ධාරාවක් ඇදී එන අතර එහි විශාලත්වය ඍණ ධාරාවකට වඩා දස ගුණයක් පමණ විශාල විය හැක. එසේම ධාරාව ගලන කාලයද අධිකය. මේ නිසා ධන අකුණු ධාරාවකින් සිදුවිය හැකි හානිය අති විශාලය. සාමාන්‍යයෙන් වර්ෂාව පැමිණීමට පෙර හෝ වර්ෂාවෙන් පසුව පතිත වන අකුණු, ධන අකුණු වීමට ඇති ඉඩකඩ අධිකය. අපේ පැරැණ්නන් කෝප වූ විට "තොපට වැහි නැති හෙණ වදීවා" යැයි පැවසුවේ මේ පිළිබඳව යම් දැනුමක් තිබූ නිසා යයි සිතිය හැක.

අකුණක් යම් වස්තුවකට වැදීමේ වැඩි ඉඩකඩ කරුණු පහක් මත රඳා පවතී. එනම් වස්තුවේ; උස වැඩිවීම, ඉහල ප්‍රදේශයේ තියුණු තුඩු සහ දාර තිබීම, ඉහල සන්නායක අගයක් තිබීම (ලෝහ වැනි), භූගතව ඇති පෘෂ්ඨය පොළොව හා හොඳින් ස්පර්ශව තිබීම (low contact resistance); සහ අවට පසෙහි සන්නායකතාවය ඉහල අගයක තිබීම වේ. 

පුද්ගලයෙකුට අකුණකින් ආරක්ෂාවීම සඳහා කල හැක්කේ අකුණු සහිත කාලගුණයකදී හැකිතාක්, ශක්තිමත් ආවරණ සහිත ගොඩනැගිල්ලක් හෝ අකුණු ආරක්‍ෂිත සැකිල්ලක් (lightning safety shelter) තුලට වී සිටීමයි. අවාසනාවකට එවන් ආවරණයක් නැති ස්ථානයක අකුණු කුණාටුවකට කොටු වුව හොත් දෙපතුල් හැකිතාක් කිට්ටුවෙන් තබාගෙන බිමට පත්වීම (ඇන තියාගෙන ඉඳගැනීම) සම්මත ක්‍රමවේදයයි. උස ගස් යට හෝ උස් බිමක සිටීම කිසිසේත් නොකළ යුතුය. 

ගොඩනැගිල්ලකට අකුණු අනතුරු සිදුවන ආකාර දෙකකි. ඉන් පළමුවැන්න අකුණු ධාරාව කෙලින්ම ගොඩනැගිල්ල හා සම්බන්ධ වීමයි (through a direct strike or side flash). දෙවැන්න ගොඩනැගිල්ලට සම්බන්ධ වන සේවා රැහැන් පද්ධතියකට (විදුලි, දුරකථන, CCTV කේබල් වැනි) වදින හෝ ඒ අවට වදින අකුණු පහරක් මගින් ඇතිවන අධි වෝල්ටීයතා ස්පන්දයක් ගොඩනැගිල්ලට ඇතුළු වීමයි. මේ අවස්ථා දෙක සඳහා අප වෙන වෙනම ආරක්ෂණ ක්‍රමවේද යොදාගත යුතුය. පළමු ආකාරයේ අකුණු අනතුරු වලක්වා ගැනීමට අප බාහිර අකුණු ආරක්ෂණ පද්ධතියක් සවි කරගත යුතුය. මෙහිදී සිදුකෙරෙන්නේ අකුණක් ගොඩනැගිල්ල දෙසට ඇදී ආවොත් එම අකුණු ධාරාව නිරුපද්‍රිතව භූගත කිරීම සඳහා ලෝහමය පද්ධතියක් ගොඩනැගිල්ලට බාහිරින් සවි කිරීමයි. 

මෙම පද්ධතිය මූලික වශයෙන් air terminal, down conductor, earthing system යන කොටස් තුනකින් සමන්විත වේ. මෙහිදී යොදාගන්නා උපාංග වල මාන (dimensions), යොදාගන්නා ද්‍රව්‍ය, සවිකළ යුතු ස්ථාන සහ ආකාර, ස්ථාපනය කිරීමේ මූලික අවශ්‍යතා, කල යුතු මිනුම් ආදිය ජාත්‍යන්තර හෝ ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුව සිදුකල යුතුය. මේ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය IEC 62305: 1-3 (2010) වේ. මෙම කරුණු පිළිබඳව බොහෝ විට සාමාන්‍ය ඉංජිනේරුවන්ට ඇති දැනුම මදය. එබැවින් අකුණු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමේදී සහ ස්ථාපනය කිරීමේදී ඒ පිළිබඳව හසල දැනුමක් ඇති විශේෂඥකුගෙන් (හෝ ආයතනයකින්) සේවය ලබා ගැනීම වැදගත්ය. 

සේවා රැහැන් හරහා ඇදී එන අකුණු ධාරාව ගොඩනැගිල්ල තුල ඇති උපකරණ වලට හානි පැමිණීම වැලැක්වීම සඳහා surge protection device (SPD) පද්ධතියක් සේවා රැහැන් පද්ධතියේ නොයෙකුත් ස්ථානවල සවිකළ යුතුය. මෙය විදුලි රැහැන් පද්ධතියට සහ අනෙකුත් සේවා රැහැන් පද්ධති වලට වෙන වෙනම සවි කල යුතුය. මෙහිදී සැලකිය යුතු කරුණු රාශියක් ඇති බැවින් ඒ පිළිබඳව ඉතා විස්තරාත්මක කරුණු අඩංගු IEC 62305:4 (2010) ජාත්‍යන්තර ප්‍රමිතිය පිළිබඳව මනා අවබෝධයක් ඇති ඉංජිනේරුවෙක් හෝ ආයතනයක් උපදේශනය සඳහා තෝරා ගැනීම වැදගත්ය. 

අධිබලැති විදුලි රැහැන් පද්ධති (HV/MV systems), සූර්ය කෝෂ පද්ධති, සුළං බලශක්ති පද්ධති, ඉතා උස් ගොඩනැගිලි, යුද ආරක්ෂක පද්ධති (defence systems), විදුලි දුම්රිය පද්ධති සහ අධි අවදානම් ස්ථාපනයන් (ඉන්ධන සහ ගෑස්, රසායනික ගබඩා, පරමාණුක බලාගාර, පුපුරණ ද්‍රව්‍ය සැකසුම් ආයතන ආදිය) අකුණු ආරක්ෂණය කිරීම සඳහා වෙන වෙනම ජාත්‍යන්තර ප්‍රමිතීන් පවතී. 

මේ විෂය සාමාන්‍යයෙන් මම උගන්වන්නේ දින තුනක හෝ පහක වැඩමුළුවක් ලෙසයි. ඒ නිසා කෙටි ලිපියකින් සියලු කරුණු සම්පීඩනය කිරීම උගහටය. ඔබට ගැටළු ඇත්නම් මම කාල වේලා ලැබෙන විදියට ඒවාට පිළිතුරු සපයන්නම්.  




 


Sunday, 30 June 2024

බෝෆෝර් සිද්ධිය හෙවත් මෝඩයන් ඇමතීමේ යාන්ත්‍රණය


දශක ගණනාවක් ඉන්දියාව ආණ්ඩු කල, කිසිවෙකුටත් සෙලවිය නොහැකි පර්වතයක් ලෙස හැඳුන්වුන කොංග්‍රස් පක්ෂය 1989 දී භාරතීය ජනතා පක්ෂයට පරාජය විය. දශක දෙක හමාරකට පසු සිදුවුණ නරේන්ද්‍ර මෝඩිගේ සම්ප්‍රප්තියට මග සැකසෙන්නේ මේ මැතිවරණය හරහාය. ඊට පාදක වූ "මෝඩයන් ඇමතීමේ යාන්ත්‍රණය" ලෙස පසු කලෙක ලෝක දේශපාලනයේ කතාබහට ලක් වූ අප්‍රකට ක්‍රමවේදය, ඇමරිකානු දේශපාලනයේ පවා අදටත් යොදා ගැනෙන බව නොරහසකි. 

වසර 1986 දී රජීව් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය රජය හොවිට්සාර් තුවක්කු 410 මිළදී ගැනීම සඳහා ඩොලර් බිලියන 1.4ක මුදලක කොන්ත්‍රාත්තුවකට ස්වීඩනයේ බෝෆෝර් සමාගම සමග ගිවිසුම්ගත විය. මේ ගනුදෙනුවේදී රජීව් ගාන්ධි ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙක් ඩොලර් මිළියන 500ක පමණ කොමිස් මුදලක් බෝෆෝර් සමාගමෙන් ගෙන ඇති බවට ස්වීඩන් සහ ඉන්දීය මාධ්‍ය වාර්තා පළවිය. මේ සමගම රජීව් ගාන්ධිගේ "clean suit" ප්‍රතිරූපය බිඳ වැටෙන්න විය.

විපක්ෂය මෙහිදී ඉතා සුක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කළේය. ඩොලර් මිලියන ගණන්, කොමිස් මුදල් ආදිය පිළිබඳව බහුතරයක් වූ ග්‍රාමීය නූගත් ඉන්දීය ජනතාවට වැටහීමක් නැති බව ඔවුන්ට අවබෝධ විය. 

ඉන්දියාවේ ඕනෑම ප්‍රදේශයක පාරම්පරික සිටුවරුන් වන මහරජා හෝ ශාමින්දාර් වරුන්ගේ අති විශාල සුඛෝපභෝගී මන්දීර ඇත. විපක්ෂය ප්‍රාදේශීය මට්ටමින් රැස්වීම් පවත්වා ජනතාවට අපූරු ගණිත ක්‍රමවේදයක් ඉදිරිපත් කළේය. ඔවුන් ඩොලර් මිලියන 500ය ඉන්දියානු රුපියල්වලට හරවා එය එම ප්‍රදේශයේ සිටින පවුල් ගණනින් බෙදීය. එවිට පිළිතුර ඉන්දියානු රුපියල් කෝටි  ගණනක් විය. විපක්ෂය කියා සිටියේ රජීව් ගාන්ධි මෙම දුෂණය නොකළේ නම් එම ප්‍රදේශයේ සෑම පවුලකටම ලැබෙන්න තිබූ මේ මුදලින් ඒ සැමටම මහරාජා මන්දිරයක් මිළදී ගත හැකිව තිබුණු බවයි. මෙය මිනිසුන්ගේ අභ්‍යන්තරයටම වදින්න විය. තමාට හිමිවීමට තිබු මහරාජා මන්දිරය රජීව් ගාන්ධි විසින් මංකොල්ල කා ඇති බව ඔවුන්ට දැනෙන්න විය. 

1989 මැතිවරණයේදී එතෙක් දැවැත්ත පර්වතයක් සේ තිබූ ඉන්දීය කොංග්‍රස් පක්ෂය පරාජයට පත්විය. එය ඉන්දියාවේ එක් යුගයක නිමාවක් සනිටුහන් කළේය. 

මැතිවරණයකදී මෝඩයන් ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම වටහා නොගෙන එය ජයග්‍රහණය කිරීම අසීරුය, විශේෂයෙන්ම ලංකාව වැනි රටක. 


                 


Tuesday, 25 June 2024

සාගරක් මැද


රියෝ ටින්ටෝ (Rio Tinto) යනු ලෝකයේ ඇති විශාලතම සහ ධනවත්ම mining companies වලින් එකකි. එහි ගෝලීය ප්‍රතිරූපය එතරම් ධනාත්මක නැත. පතල් කර්මාන්තය වෙනුවෙන් ඔවුන් බොහෝ දේ විනාශ කර ඇත. ඒ අතර පුරාවස්තුන් සහ පාරිසරික දායාද මෙන්ම ඕස්ට්‍රේලියාවේ හා කැනඩාවේ ආදී වාසීන්ගේ සම්ප්‍රදායික භූමි භාග පරිහානියට පත්කිරීමද ඔවුන්ට එරෙහිව නැගෙන විරෝධයන්ය. 

මේ නිසාම මෑතක සිට ඔවුහු ලෝකයේ ඇති පිළිගත් සරසවි ගණනාවකටම විශාල පරිමාණයේ අරමුදල් පරිත්‍යාග කරමින් තම ප්‍රතිරූපය සකසා ගන්නට උත්සහ කරති. මෙවර ඔවුන් ඉතා විශාල අරමුදලක් සරසවි පහක් ඉදිරියේ තබා පතල් කර්මාන්තය මානුෂීකරණය කිරීමට තාක්ෂණිකව සහ සාමාජීයව කල හැකි කාර්යභාරයන් පිළිබඳව ව්‍යපෘති යෝජනා ඉදිරිපත් කරන ලෙස ආරාධනා කර තිබුණි. මේ අනුව ANU (Australia), ICL (UK), UBC (Canada), UCB (USA) සහ Wits (South Africa) යන සරසවි ව්‍යපෘති යෝජනා pitch කිරීම සඳහා එක්සත් රාජධානියේ Imperial College London හි Rio Tinto Centre for Future Materials ට රැස්විය. මම Wits සරසවිය නියෝජනය කරමින් එයට සහභාගී වුනෙමි. 

මේ එහිදී සාකච්චා වූ මාතෘකා අතරින් ලංකාවට වැදගත් වන කරුණු කිහිපයකි. 

මේ වන විට ලෝකය ඉතා වේගයෙන් හරිත බලශක්ති කරා ඇදී යයි. බහුතරයක් හරිත බලශක්ති ප්‍රභව (සූර්ය කෝෂ, සුළං බලශක්ති වැනි) ශක්තිය ජනනය කරන්නේ පරිසර ස්වභාවය අනුවය. මේ නිසා මෙම බලශක්ති ප්‍රභව තුලින් ශක්තිය ජනනය කිරීමේදී ශක්ති ගබඩාකරණය අනිවාර්ය වෙයි. 

එසේම ලෝකයේ ඇතිවෙමින් පවතින විශාලම අභියෝගයක් නම් විස්තාරණය වන ශක්ති ජාල (energy grids) සඳහා තඹ සහ ඇලුමිනියම් වැනි ලෝහ සැපයීමයි. මේ සඳහා සුදුසුම විසඳුමක් ලෙස isolated microgrids යෝජනා වෙයි. මෙම කාරණා දෙකටම බැටරි බලශක්ති ගබඩා පද්ධති (battery energy storage systems) අත්‍යවශ්‍ය අංගයක් වේ. 

මීට අමතරව මෝටර් බයිසිකලයේ සිට අභ්‍යවකාශ තරණය දක්වා ප්‍රවාහන මාධ්‍ය තව වසර කිහිපයකින් විදුලිබලය මත පමණක් පදනම් වනු ඇත. ඒ සමගම බැටරි කර්මාන්තය සඳහා එන ඉල්ලුම සිතා ගැනීමටවත් නොහැකි පරිමාවකි. 

මේ අනුව අද බැටරි ගබඩා පද්ධති හඳුන්වන්නේ ලෝකයේ බලශක්ති අනාගතය (world energy future) ලෙසටය.

අනාගත බැටරි තාක්ෂණය මුළුමනින්ම බැර ලෝහ මත ගොඩනැගෙනු ඇතැයි බොහෝ දෙනා මත පළකරති. මේ අනුව අප්‍රිකා මහාද්වීපයේ පහල කොටසේ (Southern African region) ඇති විශාල බැර ලෝහ නිධි වෙත ලෝකයේ අවධානය යොමු වී ඇත. Rio Tinto ආයතනයට ආරාධනා කල සරසවි පහ දෙස බලන විට ඔබට යම් නොපෑහෙන ගතියක් දැකිය හැක. ලෝකයේ ඉහලම ඇති සරසවි හතරක් සමග අංකනය දෙසිය ගණනක වූ අපේ සරසවිය කරන්නේ කුමක්දැයි ඔබට සිතෙනු ඇත. නමුත් අප්‍රිකා මහාද්වීපයේ ඇති භූවිද්‍යාව පිලිබඳ පැරණිම සහ විශාලතම පර්යේෂණ ආයතනය විට්ස් සරසවියයි. එසේම දකුණු අප්‍රිකානු කලාපයේ ඇති ලෝකයේ ධනවත්ම ලෝහ නිධි අයත් කොම්පැණි තාක්ෂණික සහය ලබා ගන්නේ අපේ සරසවියෙන්ය. 

දැන් අපි ලංකාව දෙසට හැරෙමු. ලෝකයේ ගොඩබිම් ප්‍රදේශ වල ඇති ඛනිජ සම්පත් මෙන් දස ගුණයකට වැඩි ප්‍රමාණයක් සාගර පතුලේ ඇති බව සාමාන්‍ය විශ්වාසයයි. බැර ලෝහ සම්බන්ධයෙන්ද මෙය සත්‍යවේ. 

සාගර පතුලෙන් අභ්‍යන්තරයේ ඇති ලෝහ පිළිබඳව අදහසක් ලබා ගැනීම සඳහා ක්‍රම වේද රාශියක් ඇත. මින් seismic surveys, electromagnetic surveys, side-scan sonar, multibeam echosounder ආදී ක්‍රමවේදයන් සඳහා මුහුදේ යාත්‍රාකරන නැවක සිට හෝ චන්ද්‍රිකා / ලයිඩර් තාක්ෂණය ඔස්සේ කටයුතු කල හැක. 

එහෙත් sediment and water column sampling, Autonomous Underwater Vehicles (AUVs) and Remotely Operated Vehicles (ROVs) වැනි තාක්ෂණයන් උපයෝගී කරගැනීමට දීර්ඝ කාලයක් යම් මුහුදු සීමාවක රැඳී සිටිය යුතුය. මෙම දෙවනුව සඳහන් කල ක්‍රමවේදයන් වඩා නිවැරදි ප්‍රමාණික දත්ත ලබා දෙයි. මේ නිසා මෙවැනි ලෝහ නිධි ගොඩ ගැනීමට ආයෝජනයන් කිරීමට පෙර දෙවැනි ක්‍රමවේදයන් ක්‍රියාවේ යෙදවීම අත්‍යවශ්‍ය වෙයි. මේ සඳහා සාගර සීමාව අයිති රටෙන් අවසර ගැනීම අනිවාර්ය වෙයි. 

මට හැඟෙන ආකාරයට මේ වන විටත් චීනය, ඉන්දියාව, ඇමරිකාව සහ විශාල පරිමාණයේ පෞද්ගලික කොම්පැණි කිහිපයක් පළමුව සඳහන් කල ක්‍රමවේදයන් ඔස්සේ යම් පමණක ගවේෂණ ලංකාවට අයත් සාගර කලාපයේ සිදුකර යම් ගුණාත්මක තක්සේරුවක් ලබා ගෙන ඇත. එහි ප්‍රතිඵල ඔවුන්ගේ ඉලක්ක සඳහා ඉතා ධනාත්මක බවද මට හැඟී යයි. එහෙත් ප්‍රමාණික දත්ත ලබා ගැනීමට නම් ලංකා මුහුදු කලාපයේ දීර්ඝ කාලයක් රැඳී සිට ගවේෂණ සිදුකිරීම අනිවාර්ය වෙයි. මේ ගැන ඉව වැටී දෝ (නැත්නම් එක් කෙනෙක් තරහා කරගැනීමට නොහැකි නිසාදේ) ලංකා රජය පසුගිය කාලයේ චීනය, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකින්ම මෙම කලාපයේ සාගර ගවේෂණයට ඉල්ලා ඇති අවසරයන් ලබා දුන්නේ නැත.

එලිසබෙත් එන්නේ මේ අල්ල පනල්ලේය. 


               



Saturday, 25 May 2024

ඔබේ නායකත්ව හැකියාව කොතැනද?

පහත දැක්වෙන්නේ අතිශයින්ම සංකීර්ණ වූ සමාජ තත්වයකි. එය මානව අතීත කතාවේ කාල-අවකාශ ලක්ෂ ගණනාවකදී මතු වුවකි. මෙහිදී සුදුසු නායකත්වයක් ලැබීමට තරම් භාග්‍යමත් වූ මානව සමූහ තම පැවැත්ම තහවුරු කරගත්හ. එසේ නොවූ අභාග්‍යවන්තයෝ ඉතා අවාසනාවන්ත විනාශයකට ගොදුරු වුහ. දැන් ඔබේ වාරය පැමිණ ඇත. 

-----------------------------------------

උපකල්පනය කරන්න ඔබ මීට සහශ්‍රයකට හෝ දෙකකට පෙර ඉතා නිසරු භූමි භාගයක ජිවත්වන දුර්වල ගෝත්‍රික සමාජයක ඉපිද හැදී වැඩෙනවා. නිරන්තරයෙන් යුද කටයුතු වල යෙදෙන්න වීම නිසා මෙම ගෝත්‍රික ප්‍රජාව තුල පිරිමි ගහනය මෙන්ම සමස්ථ ජනගහනයද වේගයෙන් අඩුවෙමින් පවතිනවා. අවට භූමිභාග වල සිටින ශක්තිමත් මිනිස් සමුහයන්ගෙන් ඔවුන් නිතරම බැට කනවා. පිටතින් පැමිණෙන පීඩනය නිසාම ඔවුන් සුරාවට සහ සූදුවට ඇබ්බැහිව තිබෙනවා. කාන්තාවන් දිවි රැකගැනුමට ගණිකා වෘත්තියට නැඹුරු වෙනවා. විනය අතින්ද පිරිහුණු මෙම සමාජය ක්‍රමයෙන් අභාවයට පත්වෙනවා. මේ අවස්ථාවේදී තාරුණ්‍යට පා තබන ඔබට මෙම සමාජය නගා සිටුවා ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වය ලැබෙනවා.


ඔබ ගන්නා පියවර සඳහන් කල හැකිද?

Thursday, 23 May 2024

ලේබල් නැති ජීවිතයකට අභිධර්මය

 


මනුෂ්‍යයා සහජයෙන්ම සමුහගත වී සුරක්ෂිත වීමට ප්‍රිය කරයි. සත්ව ලෝකයේ මෙලෙස සමුහගතව ආරක්‍ෂිත වීමට ප්‍රියකරන සතුන් ඇත. බොහෝ ශාක භක්ෂිත සතුන් සාමුහිකව දිවි ගෙවයි. ඒ තනි තනිව විසීමෙන් තවත් සතෙකුගේ ගොදුරක් වීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. සිංහයන්, කැලෑ බල්ලන්, හයිනාවන් සමූහ වාසි මාංශ භාක්ෂිකයන්ය. ඔවුන් සමුහ ගතවන්නේ ඒ එමගින් ගොදුරු සොයාගැනීමේ සාර්ථකභාවය විශාල වශයෙන් වැඩිවෙන නිසාය. තනි තනිව ගත් කල සිංහයා වුවද දුර්වලය. අනෙක් අතට බළල් පවුලේ වෙනත් බොහෝ සාමාජිකයන් තනිව වාසය කිරීමට ප්‍රියකරයි. ඒ ඔවුන්ට තමාගේ හැකියාව පිළිබඳව ඇති දැඩි ආත්ම විශ්වාසය නිසාය. ව්‍යාග්‍රයා මීට හොඳම උදාහරණයයි. 

මේ අනුව තනිව කටයුතු කිරීමට තරම් ආත්ම ශක්තියක් නැති මිනිස්සු කුමක් හෝ කුලකයකට ඇතුළත්වීමට උත්සුක වෙති. සමහරු කුලක රාශියක සාමාජිකයෝ වෙති. පාසල, ඉපදුන රට සහ නගරය, ආගම, ජාතිය, කුලය, දේශපාලන පක්ෂය ආදී වශයෙන්ද, කුලඟන සමිතිය, පන්සලේ දායක සභාව, සිංහ සමාජය ආදී වශයෙන්ද ඔවුන් කුලක ගතවෙයි. මේ බොහෝ කුලකවල මුඛ්‍ය අරමුණ පිළිබඳව එහි සාමාජිකයන් බහුතරයකට කිසිඳු හැඟීමක් නැත. ඔවුන්ගේ අවශ්‍යතාවය කුලකයට ලේබල් ගත වී  සුරක්ෂිතභාවයක් ලැබීමයි. 

පසුගිය සතියේ මම මේ පිළිබඳව කල සමාජ පර්යේෂණයේදී මේ කාරණය ඉතා හොඳින් පෙන්වා දුන්නෙමි.  මහාචාර්ය නලීන් ද සිල්වාගේ නම වටා එක් රැස් වී තමා යම් කුලකයකට අයත් බවට උදම් අනමින් සිටි පිරිස එම වේදිකාව බිඳ වැටීමේ ප්‍රවණතාවය දුටු සැණින් ඉතා තදින් කිපී හතර අතේ පහර දෙන්න විය. ඊට දින කිහිපයකට පසු මහාචාර්ය නලීන් ද සිල්වා ඉදිරිපත් කල අදහසක්ම ඔහු කියා සිටියාට වඩා තරමක් වෙනස් ස්වරුපයෙන් ඉදිරිපත් කලෙමි. නමුත් එයට මේ පිරිසෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැත. අඩුම ගණනේ "තමුසේ නලීන් සර්ගේ අදහස් කොපි කරනවා" කියන්නවත් කෙනෙක් නැත. ඒ ඔවුන්ට කවමදාකවත් නලීන් සර් කියූ දේ තේරුම් ගත නොහැකි වූ නිසා යැයි මම සිතමි. එසේ තේරුම් ගැනීමට ඔවුන්ට අවශ්‍යතාවයක්ද නැත. ඔවුන්ගේ එකම අවශ්‍යතාවය ලේබලයක් පමණි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ මේ ලේබලය රැක ගැනීමයි. 

අභිධර්මය කියවාගෙන යද්දී මට අවබෝධ වූ (තේරුම් ගියා පමණක් නොව) මූලික කාරණය නම් සැනසුම්සහගත ජිවිතයක් ගත කිරීමට ඇති ප්‍රධාන බාධකය තමන් විසින්ම තමා වෙත අලවාගෙන තිබෙන ලේබල් බවයි. සමහර විට වෙනත් අය අප මත අලවන ලේබල්ද අපි ඉතා ආදරයෙන් වැළඳ ගනිමු. ලේබලය අප කෙතරම් පීඩාවට පත් කරනවා දැයි, නලීන් සර් පිළිබඳව මා ලියන ලද ලිපිය ආශ්‍රිතව පුද්ගලයන් දැක්වූ ප්‍රතිචාරවලින් පිළිබිඹු වේ. බොහෝ දෙනෙකුට දින ගණනක් තමන්ගේ සිතේ සැනසුම, සතුට සහමුලින්ම නැති වී ගොස් ගිනි ගොඩක දැවෙන අයුරු ඔවුන්ගේ ප්‍රතිචාරයන්ගෙන් පෙන්නුම් කරණ ලදී. 

අභිධර්මයේ මූලික හරය අපගේ පංචෙන්ද්‍රිය තුලින් සංවේදනය කර අප තනා ගන්නා නාමරූප ඇතිවී නැතිවී යන විද්‍යුත් සංඥා පමණක් බවයි. මේ අනුව අපි උපාදානය කරගන්නේ මේ අනිත්‍ය විද්‍යුත් සපංදනයි. මෙය අවබෝධ කරගන්නා විට ක්‍රමයෙන් අප අප මතම අලවාගෙන සිටින ලේබල් ගැලවෙන්න ගනී. ඕනෑම දෙයක් දෙස තුන්වෙනි පාර්ශව නෙතකින් බලා විග්‍රහ කිරීමේ හැකියාව මතුවෙයි. තව කෙනෙක් ලේබල්වලට රිදෙන්න ගැහුවා කියා තමන්ට වේදනාවක් නොදැනෙන්න පටන් ගනී. මන්ද ඒවා තමා විසින් අලවාගෙන නැති බැවිනි. මෙය ඉතා අහ්ලාදජනක (blissful) මානසික domain එකක් පමණක් නොව ඉතා විනෝදජනක අත්දැකීමකි. යම් අවස්ථාවකදී ඔබට කෙනෙක් ප්‍රශංස කරන විටද අපහාස කරන විටද එක සේ විනෝදාත්මක ආශ්වාදයක් ලැබේ නම් ඔබ ලේබල් ගලවමින් සිටින බව දැනගන්න.   


           



Tuesday, 21 May 2024

නොපවතිනා පැවැත්ම හෙවත් පට්ටපල් බොරුව

බටහිර චින්තනයේ  පදනම වන්නේ ද්විකෝටික තර්කන රටාවයි. එය කෙටියෙන් ඉදිරිපත් කල හොත් "යමක් පවතින්නේය යන්න සත්‍ය නම් එය නොපවතින්නේය යන්න අසත්‍යයකි. යමක් නොපවත්තින්නේය යන්න සත්‍ය නම් එය පවතීයයි යන්න අසත්‍යයකි".  මට මේ බටහිර චින්තනය යන වදන මෙම සාකච්චාවට කෙතරම් ඔබින්නේදැයි සැක සහිතය. එබැවින් මම එයට ලෝකයේ බහුතරයක් පිළිගත් සම්මත චින්තනය (කෙටියෙන් සම්මත චින්තනය) යයි කියමු. 

ඉහත තර්කන පදනම ස්ථාපිත වන්නේ පවතින්න වූ යථාර්තයක් තුලය. එනම් අපගෙන් ස්වායත්ත වූ නිරපේක්ෂ විශ්වයක් පවතීය යන උපකල්පනය මතය. දැනට ලෝකයේ සම්මත චින්තන තුල නිරපේක්ෂව පවතින්නා වූ විශ්වයක් යන්න උපකල්පනයක් නොව පිළිගත් සාධකයකි (accepted fact). මේ නිසා මෙම චින්තනයට අනුගත වූ විට ද්විකෝටික තර්කනයෙන් ඔබ්බට වූ logic එකක් පිළිබඳව සිතීම පවා අභව්‍ය කරුණක් බවට පත්වෙයි. 

බුදු දහම සහ අද්වෛත වේදාන්ත ලෙස අප අද හැඳින්වීමට ලක් කරන භාරතීය සංකල්ප දෙකෙහිම විශ්වය යනු මායාවක් (නොපතින පැවැත්මක්) ලෙස අර්ථ දැක්වේ. වේදාන්තය තුල එක් නිරපේක්ෂ සත්‍යයක් ඇති බව පිළිගැනේ "ජගත් මිත්‍යා, බ්‍රහ්ම සත්‍යා" යන වාක්‍යයෙහි මේ සංකල්පය ගැබ් වේ. එනම් විශ්වයේ එකම "පවතිනා පැවැත්ම" බ්‍රහ්මන් යන මාන, ලිංග, හැඩ, වර්ණ ආදී වූ කිසිඳු ගුණයකින් තොර, අර්ථ දැක්විය නොහැකි භූතාර්ථයකි. ඉන් බාහිර වූ සියල්ල  මායාවකි. අභිධර්මයට අනුව එබඳු කිසිඳු නිරපේක්ෂ යථාර්තයක් නැත (මා තේරුම් ගත් පරිදි). සියල්ල මායාවන්ය. මෙය අවබෝධ කරගැනීම  (තේරුම් ගැනීම නොවේ) තුලින් ඔබට නිවීම (නිර්වාණය) අත්පත් කරගත හැක. 

යුක්ලීඩියානු ජ්‍යාමිතිය සහ නිව්ටෝනියන් යාන්ත්‍රණය තුල ද්විකෝටික තර්කනය අභියෝගයකින් තොරව පැවතුනේය. මේ සන්දර්භය තුල සම්මත චින්තනයට පාදක වූ යුදෙව්-ක්‍රිස්තියානි චින්තනයේ මූලික පිළිගැනීමක් වන ශුද්ධ වූ ත්‍රිත්වය (holly trinity) යන සංකල්පයේ පසුබිමද ඔවුන් අමතක කර ඇත. එනම් එම සංකල්පයේ පාදම ත්‍රිකෝටික තර්කනය බවයි. එනම් "යමක් යම් ආකාරයකින් පැවතීම සත්‍ය නම් එය එම අවස්ථාවේම වෙනත් ආකාරයකින්ද පැවතීම සත්‍ය බවයි". 

ඉතා කුඩා සහ/හෝ ඉතා වේගයෙන් ගමන් කරන අංශු අභිමුවේ අප දකින නිරීක්ෂණ ද්විකෝටික තර්කනයෙන් විස්තර කිරීම උගහටය. මෙහිදී භාවිතා කරන අංශු යන යෙදුමද සම්මත චින්තනයේ ආකෘතියකි. අද අප දන්නා විද්‍යාව තුල එවන් අංශු නැත. ඇත්තේ තරංගාකාර මායාවන්ය (string theorey). 

සම්මත චින්තනයේ ගැලී සිටින්නා ද්විකෝටික තර්කනය තුල මේ නිරීක්ෂණ පැහැදිලි කිරීමට නොයෙකුත් විකාරරූපී ආකෘති නිර්මාණය කරමින් ඒවා නිශේධ කරමින්, නව ආකෘති තනමින්, ඉතා වෙහෙසකර ගමනක් යයි. 

මෑතකදී කරලියට නැගුනු (එහෙත් මීට දශක ගණනාවකට පෙර සංකල්පීයව හෝ නිරීක්ෂණාත්මකව ග්‍රහණය කල) හිග්ස් බෝසෝනය, quantum entanglement වැනි සංකල්ප පවා අප පැහැදිලි කිරීමට උත්සහ ගන්නේ ද්විකෝටික තර්කනය තුලයි. අපට නිතරම "විශ්මිත ප්‍රතිඵල" ලැබෙන්නේ මේ නිසාය. රෝලර් ස්කේටින් කරන වේදිකාවක අයිස් ස්කේටින් කල නොහැකි බව අප තේරුම් ගත යුතුය. 

නොපවතිනා පැවැත්මක ත්‍රිකෝටික හෝ ද්විකෝටික තර්කන නොයෙදෙන්න හේතුවක් නැත. නොපවතින අවකාශයක එකවර සියලුම දේ පැවතීමටත් සියලුම දේ නොපැවතීමටත් ඉඩ ඇත. එය මායාවක ස්වභාවයයි. මායාවක් වන අපට මේ මායාව තේරුම් ගැනීමට නොහැකිවී ඇත්තේ අප "මම" යයි සලකන භූතාර්ථයක් අර්ථදක්වාගෙන සිටින බැවිනි. "මම" යථාර්තයක් යයි මම පිළිගත් විට මා වටා මායාවක් නොවේ යයි "මට" සිතෙන මායාවක් හටගනී. මේ මායාව තුල මට ද්විකෝටිකයෙන් ඔබ්බට තර්කනයක් නැත. ඒ "මම" සැබෑවකැයි මම සිතන නිසාය.  

සම්මත චින්තනය තුල අප ඇලී සිටින පාදම (ද්විකෝටික තර්කනය) වෙනස් කිරීම වෙනුවට එම පාදම මත සිට අප ආකෘති වෙනස් කිරීමට කෙතරම් උත්සහ ගත්තත් ඉන් ඵලක් නොවේ. තර්කන පාදම වෙනස් කල සැනෙකින් (චතුස්කෝටිකය පිළිගත් විට) දැනට පවතින සහ අනාගතයේ හමුවන නිරීක්ෂණ කිසිවක් ගැටළු නොවනු ඇත. එහෙත් මේ අවබෝධය කරා ගමන් කිරීම සම්මත චින්තකයෙකුට අතිශයින් දුෂ්කරය. ඔහුට සියල්ල අමතක කර ළදරුවෙකු සේ සිතීමට සිදුවනු ඇත. 

නලීන් සර් 80-90 දශක වලදී අසම්පුර්ණ ග'ඩල් ප්‍රමේය පිළිබඳව සංවාදයක් ගොඩ නගමින් මේ පිළිබඳව සාකච්චාවක් ගොඩ නැගීමට උත්සහ දැරීය. එහෙත් ඔහුගේ කවය තුල මෙතරම් ගැඹුරකට යාමට සමත් කිසිවෙකු සිටියේ නැතැයි මම සිතමි. මේ නිසාම මෙම සංවාදය අතරමග බිඳ වැටුණි.



මා දකින අභිධර්මය


අභිධර්මය කියවන විට මට හැමවිට ඇතිවන හැඟීමකි. මෙය ඉදිරිපත්කල පුද්ගලයා එක්කෝ අනාගතයෙන් කාල තරණය කල කෙනෙකි. නැතිනම් එසේ කාල තරණය කල කෙනෙකු හා දීර්ඝ සංනිවේදනයක් කල කෙනෙකි. සමහර විට මෙම ධර්මය එක් කෙනෙකු නොව යම් පිරිසක් විසින් ඉදිරිපත් කලාද විය හැක. කෙටියෙන් කිවහොත් මෙහි මූලික කරුණු තේරුම් ගැනීමට 20 සහ 21 වන ශතවර්ෂවල විද්‍යුත් චුම්බක විද්‍යාව (electromagnetism), ස්නායු විද්‍යාව (neurology) සහ ව්‍යුහ විද්‍යාව (anatomy) පිළිබඳව ප්‍රථම උපාධි දැනුමවත් අවශ්‍යවේ. 

සංජය ඇල්විටිගල මෙහෙයවන මනස්ගාත වැඩසටහන් කිහිපයකම මම මට තේරෙන අභිධර්මය පිළිබඳව පැහැදිලි කලෙමි. ඒ නිසා ඒ පිළිබඳව කෙටි විස්තරයක් පමණක් මෙහි ඉදිරිපත්කරමි. විසිඑක්වන වන ශතවර්ෂයේ මැද හෝ අග භාගයේ බුද්ධිය අපේ දැනුම් සම්භාරයට එකතුවන විට අභිධර්මයේ මෙතෙක් අපට පත්‍ය නොවන කරුණු නිරාකරණ කරගත හැකි වෙනු ඇතැයි මට සිතෙයි. මේ කතාව ඒ පිලිබඳවය. 

“ඔබ මා දකින්නේ කොතනද?” මා පිරිසකගෙන් ඇසුවහොත්, බොහෝ දෙනෙකු මා සිටින දෙසට ඇඟිල්ල දිගුකර පෙන්වනවා ඇත. 

ඇත්තටම මා සිටින්නේ ඔබ තුල මිස ඔබ ඇඟිල්ල දිගුකර පෙන්වන තැන නොවේ. 

අප දන්නා සරළ භෞතික විද්‍යාවට අනුව මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබගේ අක්‍ෂි කාචයෙන් වර්තනය වී දෘෂ්ටිවිතානයේ ප්‍රතිබිම්බයක් සාදයි. මෙම ප්‍රතිබිම්බයේ ආලෝක පැතිරුමට අනුරූපව ඊට සම්බන්ධ දෘෂ්ටි ස්නායු අග (අක්ෂි කෙලවර) විද්‍යුත් සංඥාවක් නැත්නම් කුඩා වෝල්ටීයතා ස්පන්දයක් ඇති වේ. මෙම විද්‍යුත් සංඥාව ප්‍රතිබිම්බය හඳුනාගැනීමට අදාළ තොරතුරු මොළයේ යම් කොටසක් වෙතට ස්නායුවක් මගින් ගෙනයයි. ඔබට අවශ්‍ය නම් මේ සංසිද්ධිය චක්කු විඥානය ලෙස හැඳින්විය හැක. 

විද්‍යුත් සංඥා ආකාරයෙන් මොළය වෙතට පැමිණෙන තොරතුරු එහිදී සංකීර්ණ සැකසුමකට ලක් වේ.  මෙහිදී අදාළ ප්‍රතිබිම්බය ඔබගේ මතක පද්ධතියේ (memory system) ඇති තොරතුරු සමග සසඳනු ලැබේ. 

මා ඔබ නිතරම දකින කෙනෙක් නම් මගේ තොරතුරු ඔබගේ මතක පද්ධතියේ ඉහළ ම ස්ථරවල පවතී. එබැවින් ඉතා ඉක්මනින් සැසඳීමේ ක්‍රියාවලිය අවසන් වේ. එනම් නිමේෂයකින් ඔබ මා හඳුනා ගනී. එනම් ඔබ තුල මා සම්බන්ධයෙන් නාමරූපයක් ඇතිවේ.

ඔබ මා දකින්නේ වසර 10 ට පමණ පසුව නම් කාරණා දෙකක් නිසා ඔබට මාව පහසුවෙන් හඳුනාගත නොහැකි වනු ඇත. පළමු කාරණය නම් කාලයත් සමග මා පිළිබඳව තොරතුරු මතක පද්ධතියේ පහළ ස්ථරවලට තල්ලු වී තිබීමයි. එවිට එම තොරතුරු සොයා ගැනීමට මොලයේ සැකසුම් ඒකකයට (processing unit) වැඩි කාලයක් ගත වේ. දෙවැන්න, දීර්ඝ කාලයක් ගත වී ඇති බැවින් මගේ හැඩරුව වෙනස් වී තිබීමට ඉඩකඩ වැඩි වීමයි. මේ නිසා මගේ ප්‍රතිබිම්බයෙන් එන විද්‍යුත් සංඥාව මා පිළිබඳව ඔබගේ මතකයේ ඇති තොරතුරු හා නොගැලපීමටද ඉඩ ඇත. 

මොළයේ ඇති processing unit එක මේ සංකීර්ණ හඳුනාගැනීමේ ක්‍රියාදාමයෙන් පසු තවත් වැදගත් ක්‍රියාවලියකට අවතීර්ණ වෙයි. 

අපට දැනෙන සතුට, භිය, කෝපය, දුක, සංකාව, වේදනාව, වෛරය, ආදරය වැනි හැඟීම් ජනිත කරවන සහ ඒවා පාලනය කරන වෙන වෙනම ස්ථාන රාශියක මොලයේ ඇත. මා මේ විෂයෙහි ප්‍රවීණයකු නොවන බැවින් ඒ පිළිබඳව වූ ChatGpt විස්තරය පහත සඳහන් කරමි. 

දැන් මේ හඳුනා ගත් නාමරූපය (විද්‍යුත් ස්පන්දයක code වූ දත්ත සමුහයක්) පිළිබඳව විද්‍යුත් සංඥා මොළයේ ඇති ඉහත සඳහන් කල නොයෙකුත් කොටස් වෙත සම්ප්‍රේෂණය කරයි. එහිදී මෙම විද්‍යුත් සංඥාවට අදාලව මොලයේ එක එක කොටසේ ඇතිවන විද්‍යුත්-රසායනික ප්‍රතික්‍රිය මගින් නාම රූපයට අදාළ හැගීම් ජනිතවෙයි. එම දත්ත නැවතත් විද්‍යුත් සංඥා ආකාරයෙන් processor එක වෙතට පැමිණෙයි. මෙම සංකීර්ණ ක්‍රියාවලිය අවසානයේ ඔබ තුල මා පිළිබඳව යම් හැඟීමක් ඇතිවෙයි. මෙය උදාසීන, කෝප සහගත, සතුට දනවන, භීතිය ඇති කරන ආදී හැඟීම් එකක් හෝ කිහිපයක් විය හැක. එනම් මා පිළිබඳව ඔබ තුල අඩු වැඩි වශයෙන් උපාදානයක් (අල්ලා ගැනීමක්) සකස් වී ඇත. 

දැන්  මේ ගොඩනැගුනු උපාදානය මත පදනම් වී processor එක මගින්, ගත යුතු ඊළඟ පියවර (ප්‍රතිදානය) සඳහා body interfaces වලට අණ දීමේ සංඥා නිකුත් කරයි. මේ අනුව ඔබ මා වෙත පියකරු සිනහවකින් මුව සරසා ගෙන සිප වැළඳගන්න එනවාද, මට භියෙන් කෑගසමින් ඉවතට දිවයනවාද, කෝපයෙන් අත් මිට මොලවාගෙන පහර දෙන්න එනවාද, මාව ගණනකට නොගෙන ඔබේ ගමන පාඩුවේ යනවාද ආදී වූ options රාශියකින් එකක් ක්‍රියාවට නැගේ. 

මෙහිදී processor එක වෙතට හැගීම් පිළිබඳව දත්ත පැමිණෙන තැන සිට ක්‍රියාන්විතය අවසාන වනතෙක් ඇතිවන සිදුවීම් ප්‍රතිපෝෂණ දත්ත (feedback data) ලෙස නැවතත් මතකයෙහි ගබඩාවෙයි. ඊළඟ වර මා දකින විට ඔබ කටයුතු කරන්නේ මේ යාවත්කාලීන වූ දත්ත මතය. මෙය අපට කර්මය ලෙස නම් කල හැක. 

මා ඔබ ඉදිරියේ නොමැතිව වුවද යම් උපක්‍රමයක් මගින් ඔබේ දෘෂ්ඨි විතානයේ මගේ ප්‍රතිබිම්බයක් සෑදිය හැකි නම් ඔබට මා සැබෑවටම ඉන්නවා සේ පෙනෙයි. මේ වන විටත් භාවිතයේ තිබෙන උපැස් යුවලක් ලෙස පැළඳිය හැකි අත්‍ය යථාර්තික (virtual reality) උපකරණය මගින් ඔබට මේ අත්දැකීම විඳිය හැක.

දැන් අපි මෙලෙස සිතමු. යම් උපක්‍රමයක් මගින් දෘෂ්ටි ස්නායු කෙලවර මාගේ ප්‍රතිබිම්බයට අදාළ විද්‍යුත් සංඥාව සෑදිය හැකි යැයි සිතන්න. මෙය එම ස්නායුව අගට සවිකරන විද්‍යුත් ස්පන්දකයකින් හෝ විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන උපකරණයක් මගින් සිදුකිරීමට හැකියාව ඇත. දැන් ඔබට සම්පුර්ණයෙන්ම දෑස වසාගෙන සිටියත්  මාව පෙනේ. මා ඔබ ඉදිරිපිට සිටීම හෝ මගේ සිරුරෙන් පරාවර්තනය වන ආලෝකය ඔබේ දෘෂ්ටි ස්නායු කෙලවර ප්‍රතිබිම්බ සෑදීමක් දැන් අවශ්‍ය නොවේ.  

ඉහත විද්‍යුත් සංඥාව දෘෂ්ටි ස්නායු කෙලවර සිට ස්නායුව දිගේ මොළයේ යම් ස්ථානයකට ගමන් කරයි. දැන් දෘෂ්ටි ස්නායුවේ අක්ෂි කෙලවර වෝල්ටීයතා ස්පන්දය ඇතිකරනවා වෙනුවට එය කෙලින්ම ස්නායුවේ මොලය කෙලවර කොටසේ ස්ථානගත කළ හැකි යැයි සිතන්න. දැන් ඔබට මාද නොමැතිව, දෑසද නොමැතිව, දෘෂ්ඨි විතානයේ සිට මොලය දක්වා දිවෙන ස්නායුවද නොමැතිව මා ඔබ ඉදිරියේ සිටින බව දැකිය හැක. 

සරලව පවසතොත් ඔබ දකින මුළු විශ්වයම මොලය තුල ඇතිවන විද්‍යුත් සංඥා දාමයක් බව ඔබට තේරුම් යා යුතුය. 

දැකීම පමණක් නොව සියලුම සංවේදකවලට අදාළ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වන්නේද ඇසේ සිදුවන ක්‍රියාකාරිත්වයට සමාන ආකාරයෙනි. 

උදාහරණයක් ලෙස ඔබ මගේ අතක් අල්ලන විට එය අත ලෙස හැඟෙන්නේ ඔබේ සමේ ඇති ස්නායු මගේ අතේ ඇති දෘඩතාවය පිළිබඳව තොරතුරු ඔබගේ මොළයට සපයනු ලබන බැවිනි. මගේ අත ඔබ අල්ලන විට ඇතිවන මේ විද්‍යුත් සංඥා ඉබේටම ඇති වුවහොත් හෝ යමෙකු විසින් ඇති කරයි නම් ඔබට මගේ අත එතන නොතිබුණත් අත අල්ලනවා යන හැඟීම ඇති වේ.

මේ ආකාරයටම ශ්‍රවණය සිදුවීමට අවශ්‍ය කම්පන තරංගය, රස සහ සුවඳ දැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අප කෘතිමව ඇති කලොත් ඒවා ඒ ආකාරයටම අපට වින්දනය කල හැක. එම පිටස්තර ඉත්තෙජක නොමැතිව ඒවායින් ඇතිවන විද්‍යුත් සන්ගනවා අපට සංයු අග හෝ මොළයේ ජනතා කල හැකි නම් මුළු විශ්වයම අපට වින්දනය කල හැක. මේ සඳහා සැබවින්ම විශ්වයක් තිබිය යුතු නැත. වෙනත් වදන් වලින් කිවහොත් මුළු විශ්වයම ඔබගේ සිරුර තුල ඇතිවී නැතිවී යන විද්‍යුත් ස්පන්ද සමුහයකි. 

----------------------------------------------------------------

අඩු වැඩි වශයෙන් මේ ඇත්තේ මා දකින අභිධර්මයයි. මෙහිදී මම උත්සහ ගත්තේ වර්තමාන විද්‍යාත්මක දැනුම මගින් අභිධර්මය තේරුම් ගැනීමට විනා නවීන විද්‍යාවෙන් අභිධර්මය ඔප්පු කිරීම වැනි විපරීත කාර්යයක් කිරීමට නොවේ.

දැනට අප තුල තිබෙන දැනුම් පරාසයේදී අභිධර්මය දේශකයාට හෝ දේශකයන්ට සිදුවී ඇති මූලික දෝෂය නම් ඉහත ක්‍රියාන්විතය සඳහා මොලයේ ඇති දායකත්වය පිළිබඳව වැටහීමක් නොවීමය. ඔහු හෝ ඔවුන් එය සිදුවන්නේ හෘදය වස්තුවෙන් බවට වරදවා වටහාගෙන ඇත. එසේම මෙහිදී සිදුවන සංනිවේදන සඳහා වූ සම්ප්‍රේෂණ ජාලය ස්නායු පද්ධතිය වෙනුවට නහර පද්ධතිය ලෙසද පැටලිල්ලක් කරගෙන ඇත. 

----------------------------------------------------------------

මෙතෙක් මා ඉදිරිපත් කල සියළු විස්තර වර්තමාන විද්‍යාත්මක දැනුමට ගෝචර වෙයි. 

එසේ නොවන අවස්ථාවකට දැන් අපි එළඹෙමු. ඒ "මම" නැමැති භූතාර්ථය කුමක්ද යන්නය. දැනට අපට ඇති දැනුම් සම්භාරය අනුව "මම" හෝ "ඔබ" යනු මොලයේ සියළු ක්‍රියාන්විත හසුරුවන processor unit එක ලෙස ආකෘති ගැන්විය හැක. මෙය ඉතා සාධාරණ සහ තර්ක ගෝචර මොඩලයකි. මේ මොඩලයට අනුව පුද්ගලයා භෞතිකව මිය යාමේදී processor unit එකද අභාවයට පත්වෙයි. "මම"ය කියා කෙනෙක් නැත යන සම්මතය පවා මීට අනුකූල වෙයි. 

මේ ප්‍රොසෙසරයට පරිබාහිරින් වූ "මම" නම් භූතාර්ථයක් ඇත්නම් එය මේ වන විට අප සතු දැනුම් සම්භාරය ඉක්මවා යන්නකි. සමහර විට විට මේ සියවසවේ මැද හෝ අග භාගය වන විට අපට මේ පිළිබඳව අදහසක් ඇතිවිය හැක. මේ සඳහා මම "මනස්ගාත" වැඩසටහනකදී quantum entanglement සංකල්පය මත පදනම් වූ මොඩලයක් (මනස්ගාතයක්) ඉදිරිපත් කලෙමි. 

----------------------------------------------------------------

දැන් මම ගැටළු කිහිපයක් ඔබට ඉතිරි කර තබා යමි.

මට සංවේදනය වන මුළු විශ්වයම පවතින්නේ මා තුල පමණද? 

මගෙන් ස්වායත්ත විශ්වයක් ඇත්ද? 

මා සංවේදනය කරන්නේ සම්පුර්ණ මායාවක්ද? 

අනෙක් අතට මුළු ලොවම මායාවක් නම් අප කතා කරන දෘෂ්ටිවිතාන, ස්නායු, මොළය, මතක පද්ධති ආදී මගේය කියන සියලු දෙයම ද මායාවන් වන්නේද? 

ඊළඟ වැදගත්ම පැනය නම් මේ මායාව සංවේදනය කරන "මම" කවුද? 

“මම”ද ඒ මායාවේම කොටසක්ද? එසේ නොමැති නම් "මම" නිරපේක්ෂ යථාර්ථයේ කොටසක්ද? 

පට්ටපල් බොරුව මෙයද?


-----------------------------

The functions of the brain

The generation and regulation of emotions involve complex neural networks and multiple brain regions. The primary areas associated with emotions such as happiness, sadness, anger, and fear include the limbic system, prefrontal cortex, amygdala, and several other interconnected regions. Here is a detailed overview of the key brain regions involved:

1. Limbic System

The limbic system is central to the regulation of emotions. Key structures within this system include:

Amygdala: Crucial for processing emotions like fear and anger. It evaluates sensory input for potential threats and generates appropriate emotional responses.

Hippocampus: Primarily involved in forming new memories and connecting emotions to these memories. It plays a role in how we recall emotional experiences.

Hypothalamus: Regulates autonomic and endocrine responses related to emotions. It controls physiological responses to emotional stimuli, such as heart rate and arousal.

2. Prefrontal Cortex (PFC)

The PFC, particularly the medial and orbital regions, is involved in regulating and interpreting emotions. It helps modulate emotional responses and is crucial for decision-making and social behaviour.

Ventromedial Prefrontal Cortex (vmPFC) Plays a role in processing risk and fear and regulating emotional responses through interaction with the amygdala.

Dorsolateral Prefrontal Cortex (dlPFC): Involved in the cognitive regulation of emotions, such as controlling impulses and planning responses.

3. Anterior Cingulate Cortex (ACC)

The ACC is involved in emotional regulation, error detection, and the anticipation of tasks. It is active during experiences of pain (both physical and social), which is closely tied to emotional states such as sadness and distress.

4. Insular Cortex (Insula)

The insula processes bodily sensations and emotional experiences, playing a role in feelings of disgust and empathy. It integrates sensory information to produce a subjective emotional experience.

5. Basal Ganglia

The basal ganglia, including structures like the nucleus accumbens, are involved in reward processing and the experience of pleasure and happiness. They play a role in motivation and the reinforcement of behaviours that lead to positive outcomes.

6. Thalamus

The thalamus acts as a relay station for sensory information and is involved in the processing and transmission of emotional information to other parts of the brain.

Real-Life Examples

Fear: The amygdala's role in fear was highlighted by studies involving patients with damage to this area. For instance, the case of patient S.M., who had bilateral amygdala damage, showed a marked reduction in the ability to experience fear.

Happiness and Reward: Dopaminergic pathways in the basal ganglia, particularly the nucleus accumbens, are activated during pleasurable activities such as eating, social interactions, and the use of addictive substances.

Sadness and Depression: Functional imaging studies have shown increased activity in the subgenual anterior cingulate cortex (sgACC) in patients with depression, suggesting its role in sadness and mood regulation.

Anger: Studies have shown that the amygdala and the prefrontal cortex are involved in the expression and regulation of anger. Dysfunctional interactions between these regions can lead to difficulties in controlling anger and aggressive behaviours.

Summary

Emotions arise from the intricate interplay of various brain regions, each contributing to different aspects of emotional processing. Understanding these neural mechanisms provides insight into how emotions influence behaviour and cognition and can inform treatments for emotional disorders. The integration of neural, psychological, and behavioural perspectives continues to enhance our understanding of the brain's emotional landscape.









Friday, 17 May 2024

නලීන් ද සිල්වා සහ මගේ නයා


නලීන් සර් සම්බන්ධයෙන් ඇති කල කුණාටුව මගේ පසින් ඉවර කල යුතුය. බලාපොරොත්තු වූ අරමුණු වලට ඉක්මනින් ලඟා වූ ව්‍යාපෘතියක් ලෙස එය අති සාර්ථකය. 

මා සිතුවා සේම මගේ ලිපියට බොහෝ දෙනෙකු ප්‍රතිචාර දැක්වූයේ ඉතා පහල ග්‍රාම්‍ය මට්ටමෙනි. ඔවුන් කිසිවෙකුටත් නලීන් සර්ගේ නිබන්ධනයේ අඩංගු විද්‍යාත්මක කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට අවශ්‍ය නොවීය. ඒ පිලිබඳ දැනුමක්ද නොවීය. ඔවුන්ට අවශ්‍යවූයේ ඔවුන් විසින් මෙතෙක් හුළං ගැසූ බැලුම පිපිරෙන්න නොදී රඳවා ගැනීමයි. 

සමහරුන් මගෙන් නොයෙකුත් ප්‍රශ්න අසමින් පොලවේ හැපෙන්න විය. මම ඔවුන්ට රිසි සේ දැඟලීමට කාලය ලබා දුනිමි. මා සම්බන්ධ වෙබ් පිටුවල visitor count එක ඉතා වේගයෙන් ඉහල යන්න විය. ඔවුන් නොදැනම මට කර තිබුණේ විශාල සේවයකි. මෙතෙක් මා ගැන නොදැන සිටි බොහෝ දෙනෙක් මා පිළිබඳව තතු විචාර දැනගන්න විය.  

ඔවුන් කෙතරම් ග්‍රාම්‍ය මට්ටමකින් අවලාද නැගුවත් මගේ වෙබ් පිටුවේ ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන් මිඩංගු කල කාලය පිළිබඳව මම ඔවුන්ට කෘතඥ වෙමි. ඒ නිසාම ඔවුන්ට විශාල ගැටළු බවට පත් වූ බොහෝ issues වලට පිළිතුරු දීමට මම මගේ කාලය මෙලෙස මිඩංගු කරමි. 


මියගිය පසු විවේචනය 

බොහෝ දෙනෙකු මා සමග වෛර බැඳගෙන තිබුනේ නලීන් සර් මැරුණු පසු මා මේ ලිපිය ලිවිම සම්බන්ධවයි. මේ අදෝනාවට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ කෙනෙකු මළ පසු ඔහුගේ නුගුණ වැයීම නුසුදුසු බවට ලාංකිකයා අතර පවතින මතයයි. මෙහි සංස්කෘතික අගය පිළිබඳව මම තර්ක නොකරමි. එහෙත් මේ ගෝලබාලයන් පටලා ගන්නේ විද්‍යාත්මක කරුණු හා පුද්ගල චරිත අතර පවතින විශාල පරතරයයි. දිනපතා ලෝකයේ විද්‍යාඥයන් සැහෙන පිරිසක් මිය යයි. ඔවුන් මළ පසු ඔවුන්ගේ විද්‍යාත්මක සොයාගැනීම් විග්‍රහ කල නොහැකි යයි නීතියක් පැනවුවහොත් විද්‍යාව මිය යන්නේ එදාටය. මෙය හාස්‍යජනක මතයකි. සියවසකට පසු අදටත් අයිස්ටයින්ලගේ, නීල්ස් බෝර්ලාගේ සොයා ගැනීම් ඕනෑ තරම් විවේචනයට සහ තක්සේරුවට භාජනය වේ. 

යම් වැදගත් විද්‍යාත්මක ඵලයක් ලොවට දායාද කල විද්‍යාඥයෙක් වටා ඔහුගේ පර්යේෂණ ප්‍රතිදාන අගයන, ඒවා තව දුරටත් ඉදිරියට ගෙනියන පිරිසක් බිහිවේ. ඔහු ජීවත්ව සිටියදී පවා ඔහුගේ ප්‍රවාද වලට එදිරිව එන විවාදයකදී ඒවා defend කරන්නේ අර අගයන්නන් පිරිසයි. අදාළ විද්‍යාඥයා එම විවාද වලට අවතීර්ණ වන්නේ කලාතුරකිනි. මෙහි වැදගත්කම නම් අදාළ පුද්ගලයා මිය ගියත් ඔහුගේ පර්යේෂණ ඵල අභාවයට නොයාමයි. විද්‍යාව පුද්ගලාර්ථයෙන් ස්වාධීන බව පවසන්නේ මේ නිසාය. අවාසනාවකට නලීන් සර් බිහිකර ඇත්තේ ඔහුගේ පර්යේෂණ ප්‍රතිදාන ගැන මෙලෝ හසරක් නොදන්නා දුනු ඊතල කෙටේරි රැගත් පිරිසකි. 

මේ බව වටහා ගැනීමට තරම් බුද්ධියක් හෝ දැනුමක් බොහෝ ලාංකිකයන්ට නැති බව ඔබ විසින්ම පෙන්වා දෙන ලදී. එය ඔබට ඔබ පිළිබඳවම අගනා තක්සේරුවකි. 


මගේ පීඑච්ඩී එක 

මෙය මේ එපියේ ඉතාමත්ම රසවත් කොටසකි. මා දකුණු අප්‍රිකාවේ සිට ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් දිවා රෑ නොමැතිව වෙහෙසෙන අතර ලංකාවේ සෑහෙන පිරිසක් මගේ PhD තීසිස් එක වෙනුවෙන් දින ගණනක් විශාල කාලයක් හා පරිශ්‍රමයක් දරා කේන්තියෙන් වෙව්ල වෙව්ලා කමෙන්ට්ස් කොටනු දුටුවෙමි. ඒ නිසාම මෙය ලිවීමට සිත්විය. 

මා 1995-1999 තුල වසර 5ට ආසන්න කාලයක් PhD එක සඳහා පර්යේෂණ කලේ ස්වීඩනයේ උප්සලා සරසවියේය (මාස තුනක කාල සීමා දෙකක් හැර). ඒ උප්සලා සරසවියට සම්බන්ධ International Science Programs (ISP) ආයතනයේ පුර්ණ අනුග්‍රහයෙනි. ඔවුන් මට පමණක් නොව මගේ පවුලේ සාමාජිකයන්ටද දීමනා ගෙවීය. අපගේ නිවස, වෛද්‍ය සහ රෝහල් පහසුකම් පමණක් නොව ටෙලිෆෝන් බිල පවා ගෙව්වේ ISP ආයතනයයි. ඔවුන් එකල පැවසුවේ ඔවුන් කරන මේ ආධාර වල අරමුණ කොළඹ සරසවියේ පර්යේෂණ ධාරිතාවය නැංවීම බවයි. මේ අනුව ඔවුන් අප සමග ගිවිසුම් ගත වුයේ කොළඹ සරසවියට ජවයක් දීම සඳහා අප අවසානයේ උපාධිය ගත යුත්තේ එයින් බවයි. මා බොහෝ කැමැත්තෙන් මේ ගිවිසුමට එකඟ වුනෙමි. මට පෙර මේ පරිත්‍යාගය සිදුකලේ මහාචාර්ය චන්දන ජයරත්නයන්ය. මට පසුත් තව කීප දෙනෙක්ම මේ මග ගියහ. මගේ thesis opponenet වුයේ ජර්මනියේ මියුනික් සරසවියේ සේවය කරන මේ ක්ෂේත්‍රයේ ඉතා ජේෂ්ඨ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය Fridolin Heidler ය. මගේ මුළු PhD එකම Uppsala සරසවියේ කල බවට ඔවුන් ලිපියක් සහ සහතිකයක්ද ලබා දෙන ලදී. මේ අනුව මා මගේ පීඑච්ඩී උපාධිය Uppsala සරසවියේ කල බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එම සරසවියෙන්ද කිසිම විරෝධයක් නැත. ISP ආයතනය ඔවුන්ගේ program එක හරහා බිහිවූ හොඳම ඵලයක් ලෙස මා නම් කර ඇත (https://www.uu.se/en/centre/international-science-programme-isp/isp-core-programme/meet-isps-partners/alumni-chandima-gomes).

PhD එකෙන් පසු මා ලෝකය පුරා සරසවි ගණනාවක ස්ථිර මහාචාර්යවරයෙකු හෝ ආගන්තුක මහාචාර්යවරයෙකු (visiting professor) ලෙස සේවය කර ඇත. මේ කිසිවකදී මගේ කොළඹ සරසවියේ උපාධිය බාධාවක් වී නැත. ඒ ඔවුන් මගේ උප්සලා සරසවියේ පශ්චාත් උපාධි සමය ගැන මනාව දන්නා බැවිනි. 


පීඑච්ඩී එකේ වැදගම්ම 

එක පුද්ගලයෙක් මගේ PhD එකේ අඩංගු කරුණුවල ඇති වැදගම්ම පිළිබඳව ඉතා මහන්සි වී ඇති බව පෙනුනි. ඔහු වෙනුවෙන් මා මේ සටහන තියමි. මගේ නිබන්ධනයේ අඩංගු කරුණුවලින් පමණක් මම හොඳ IFs ඇති WoS journal papers 12ක්, local journal papers 2ක්, international conference papers 17ක් සහ local conference papers 7ක් publish කලෙමි. සමහර විද්‍යාඥයන් තම ජිවිත කාලයටම මෙම  පත්‍රිකා ප්‍රමාණයෙන් බාගයක්වත්  පළකරන්නේ නැත. 

මෙම පත්‍රිකා සඳහා පමණක් මේ වනවිට citation දහසකට වඩා ලැබී ඇත. මම මීට වඩා යමක් ඒ ගැන නොකියමි. 


මම වැඩකළ රටවල් 

යම් පුද්ගලයෙක් කියා තිබුණේ ඔහුට උගන්ඩාවේ යම් ආයතනයක පුද්ගලයෙක් මම ඔවුන්ට නොදන්වා ඔවුන්ගේ දත්ත පාවිච්චි කර ඇතැයි ඔහු සමග කියූ බවයි. මේ පුද්ගලයාම කියන පරිදි ඔහු මා සමග කිහිප විටක් දුරස්ථ සන්නිවේදන හරහා කතා කර ඇත. පණිවිඩද හුවමාරු කරගෙන ඇත. ඒ එක අවස්ථාවකවත් ඔහු මෙබඳු කාරණයක් මා සමග පවසා නැත. මම උගන්ඩාවේ වික්ටෝරියා විල ආශ්‍රිත වායුගෝලීය විචලනය සහ සමාජ-ආර්ථික හැසිරීම් සම්බන්ධයෙන් පත්‍රිකා දෙකක් පළ කර ඇත. අවශ්‍ය නම් එහි DOI දිය හැක. ඕනෑම කෙනෙකුට මෙහි ඇත්ත නැත්ත පරික්ෂාකර වරදක් ඇත්නම් අදාළ සඟරාවලට පැමිණිලි කල හැක. 

මෙම පුද්ගලයා පසු කලෙක මගේ වෙබ් පිටුවල ඉතා විකාරරූපී අදහස් පළ කරන්න වූ බැවින් ඔහුව මට හඳුන්වා දුන් කෙනාගෙන් එම පුද්ගලයා පිළිබඳව විමසුවෙමි. එහිදී දැනගන්න ලැබුණේ මෙම පුද්ගලයා යම් මානසික ආබාධයකින් පෙලෙන බවයි. ඒ නිසා මම ඔහුව මගේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කලෙමි. ඔහු සමහර විට මේ නිසා මා සමග උරණ වී ඇතැයි සිතමි. 

එය කිය වූ තවත් පුද්ගලයෙක් මා උගන්ඩාවේද කට්ට කා පැමිණි අයෙකැයි අපහාස කරන්න විය. මා මේ වන විට ලෝකයේ රටවල් 55කට පා තබා ඇත. රටවල් 37ක පර්යේෂණ කණ්ඩායම් සමග වැඩ කර පත්‍රිකා පළකර ඇත. උගන්ඩාව ඉන් එකක් පමණි. ඒ අනුව මා මේ පුද්ගලයා කියනවාට වඩා බරපතල කට්ටක් අත්ත පිටින් ගිල දමා ඇති බව ඔබට වැටහෙනු ඇත.


මගේ ෆේක් 

පුද්ගලයන් කිහිප දෙනෙකුම මා ෆේක් ගිණුම් හරහා කමෙන්ට් දානවා කියමින් විලාප දෙන්න විය. මෙය මට මහත් විනෝදයක් විය. මට චන්දිම ගෝමස් නමින් FB පිටු තුනක් ඇත. ඒ එකිනෙකට වෙනස් (overlaps ඇත) audience තුනකට අදහස් දැක්වීමටයි. මේ තුනම 5000 cap එකට ළඟාවී ඇත. ඊට අමතරව මම බ්ලොග් පිටුවක් නඩත්තු කරමි. ඊට අමතරව මට LinkedIn පිටුවක්ද ResearchGate පිටුවක්ද ඇත. මම සමාජ මාධ්‍යට පිවිසෙන්නේ අතිශයින් වැඩ අධික ජීවිතයෙන් හෙම්බත් වූ විට ඉන් මිදී යම් මානසික සහනයක් ලබා ගන්නය. ඉහත ජාලයන්ට අමතරව ෆේක් ගිණුම්ද නඩත්තු කරන්න නම් මා විෂ්මකර්මයා ගේ ලඟම ඥාතියෙක් විය යුතුය. 

මේසේ යම් යම් පුද්ගලයන් ෆේක් ගිණුම් යැයි මොරදුන් සියළු දෙනාම පාහේ මට පෞද්ගලිකව පණිවිඩ එවා තිබුණි. ඉන් එක් කෙනෙකු හැර අනෙක් අය තමන්ගේ සැබෑ නමින් හෝ කෙටි නමක් සමග සැබෑ විස්තරවලින් FB පිටු පවත්වාගෙන යන්නන්ය. එක් අයෙකු පමණක් ෆේක් එකකි. ඔහු මගේ පරණ ගෝලයෙකි. ඔහු මේ ගිණුම අරඹා ඇත්තේ කුමටදැයි මා දන්නේ නැත. 

ෆේක් වේවා රියල් වේවා මේ අවස්ථාවේදී මගේ සහයට පෙනී සිටි ඔබ සියලු දෙනාවම මට හොඳින් මතකය. එය මට මෙන්ම ඔබටත් අනාගතයේදී ප්‍රයෝජනවත් වනු ඇත. 

-----------------------------------------------------------

අවසානයේ කිව හැක්කේ නලීන්ගේ ගෝලබාලයන් විසින් ඉතා පැහැදිලිව තම මානසික ව්‍යාකූලත්වය ප්‍රදර්ශනය කරන ලද බව පමණි. හෙළ දැනුම් පද්ධතිය, දේශීය උරුමය, ජාතික අභිමානය ගැන පම්පෝරි ගසමින් සිටි පිරිසට එකවරම  මහා බ්‍රිතාන්‍ය, එහි සරසවි, සුදු හම ඇති විද්‍යාඥයන් මෙන්ම බටහිර දැනුමද කප්පරකට ලොකු විය. සමහරුන්ට එය හිස්මොල්ලේ යන ගානට උගුරේ හිරවිය. ඒ අතරම ලංකාවේ සහ දුප්පත් රටවල අධ්‍යාපනය සත පහට වැටුණි.  

මේ නලීන්ගේ ඇත්තම දර්ශනයයි. නලීන් ද සිල්වා තම සසෙක්ස් පීඑච්ඩී ගැන උදම් විය. ඔහුගේ supervisor ඔහුට කිව්වා කියන කතා තම ගෝලබාලයන්ට කිව්වේද ඔහුමය. ඔහු ඇමරිකාවේ අවසන් ගමන් යන්නේ මේ දැක්ම අනුවයි.