Tuesday, 25 June 2024

සාගරක් මැද


රියෝ ටින්ටෝ (Rio Tinto) යනු ලෝකයේ ඇති විශාලතම සහ ධනවත්ම mining companies වලින් එකකි. එහි ගෝලීය ප්‍රතිරූපය එතරම් ධනාත්මක නැත. පතල් කර්මාන්තය වෙනුවෙන් ඔවුන් බොහෝ දේ විනාශ කර ඇත. ඒ අතර පුරාවස්තුන් සහ පාරිසරික දායාද මෙන්ම ඕස්ට්‍රේලියාවේ හා කැනඩාවේ ආදී වාසීන්ගේ සම්ප්‍රදායික භූමි භාග පරිහානියට පත්කිරීමද ඔවුන්ට එරෙහිව නැගෙන විරෝධයන්ය. 

මේ නිසාම මෑතක සිට ඔවුහු ලෝකයේ ඇති පිළිගත් සරසවි ගණනාවකටම විශාල පරිමාණයේ අරමුදල් පරිත්‍යාග කරමින් තම ප්‍රතිරූපය සකසා ගන්නට උත්සහ කරති. මෙවර ඔවුන් ඉතා විශාල අරමුදලක් සරසවි පහක් ඉදිරියේ තබා පතල් කර්මාන්තය මානුෂීකරණය කිරීමට තාක්ෂණිකව සහ සාමාජීයව කල හැකි කාර්යභාරයන් පිළිබඳව ව්‍යපෘති යෝජනා ඉදිරිපත් කරන ලෙස ආරාධනා කර තිබුණි. මේ අනුව ANU (Australia), ICL (UK), UBC (Canada), UCB (USA) සහ Wits (South Africa) යන සරසවි ව්‍යපෘති යෝජනා pitch කිරීම සඳහා එක්සත් රාජධානියේ Imperial College London හි Rio Tinto Centre for Future Materials ට රැස්විය. මම Wits සරසවිය නියෝජනය කරමින් එයට සහභාගී වුනෙමි. 

මේ එහිදී සාකච්චා වූ මාතෘකා අතරින් ලංකාවට වැදගත් වන කරුණු කිහිපයකි. 

මේ වන විට ලෝකය ඉතා වේගයෙන් හරිත බලශක්ති කරා ඇදී යයි. බහුතරයක් හරිත බලශක්ති ප්‍රභව (සූර්ය කෝෂ, සුළං බලශක්ති වැනි) ශක්තිය ජනනය කරන්නේ පරිසර ස්වභාවය අනුවය. මේ නිසා මෙම බලශක්ති ප්‍රභව තුලින් ශක්තිය ජනනය කිරීමේදී ශක්ති ගබඩාකරණය අනිවාර්ය වෙයි. 

එසේම ලෝකයේ ඇතිවෙමින් පවතින විශාලම අභියෝගයක් නම් විස්තාරණය වන ශක්ති ජාල (energy grids) සඳහා තඹ සහ ඇලුමිනියම් වැනි ලෝහ සැපයීමයි. මේ සඳහා සුදුසුම විසඳුමක් ලෙස isolated microgrids යෝජනා වෙයි. මෙම කාරණා දෙකටම බැටරි බලශක්ති ගබඩා පද්ධති (battery energy storage systems) අත්‍යවශ්‍ය අංගයක් වේ. 

මීට අමතරව මෝටර් බයිසිකලයේ සිට අභ්‍යවකාශ තරණය දක්වා ප්‍රවාහන මාධ්‍ය තව වසර කිහිපයකින් විදුලිබලය මත පමණක් පදනම් වනු ඇත. ඒ සමගම බැටරි කර්මාන්තය සඳහා එන ඉල්ලුම සිතා ගැනීමටවත් නොහැකි පරිමාවකි. 

මේ අනුව අද බැටරි ගබඩා පද්ධති හඳුන්වන්නේ ලෝකයේ බලශක්ති අනාගතය (world energy future) ලෙසටය.

අනාගත බැටරි තාක්ෂණය මුළුමනින්ම බැර ලෝහ මත ගොඩනැගෙනු ඇතැයි බොහෝ දෙනා මත පළකරති. මේ අනුව අප්‍රිකා මහාද්වීපයේ පහල කොටසේ (Southern African region) ඇති විශාල බැර ලෝහ නිධි වෙත ලෝකයේ අවධානය යොමු වී ඇත. Rio Tinto ආයතනයට ආරාධනා කල සරසවි පහ දෙස බලන විට ඔබට යම් නොපෑහෙන ගතියක් දැකිය හැක. ලෝකයේ ඉහලම ඇති සරසවි හතරක් සමග අංකනය දෙසිය ගණනක වූ අපේ සරසවිය කරන්නේ කුමක්දැයි ඔබට සිතෙනු ඇත. නමුත් අප්‍රිකා මහාද්වීපයේ ඇති භූවිද්‍යාව පිලිබඳ පැරණිම සහ විශාලතම පර්යේෂණ ආයතනය විට්ස් සරසවියයි. එසේම දකුණු අප්‍රිකානු කලාපයේ ඇති ලෝකයේ ධනවත්ම ලෝහ නිධි අයත් කොම්පැණි තාක්ෂණික සහය ලබා ගන්නේ අපේ සරසවියෙන්ය. 

දැන් අපි ලංකාව දෙසට හැරෙමු. ලෝකයේ ගොඩබිම් ප්‍රදේශ වල ඇති ඛනිජ සම්පත් මෙන් දස ගුණයකට වැඩි ප්‍රමාණයක් සාගර පතුලේ ඇති බව සාමාන්‍ය විශ්වාසයයි. බැර ලෝහ සම්බන්ධයෙන්ද මෙය සත්‍යවේ. 

සාගර පතුලෙන් අභ්‍යන්තරයේ ඇති ලෝහ පිළිබඳව අදහසක් ලබා ගැනීම සඳහා ක්‍රම වේද රාශියක් ඇත. මින් seismic surveys, electromagnetic surveys, side-scan sonar, multibeam echosounder ආදී ක්‍රමවේදයන් සඳහා මුහුදේ යාත්‍රාකරන නැවක සිට හෝ චන්ද්‍රිකා / ලයිඩර් තාක්ෂණය ඔස්සේ කටයුතු කල හැක. 

එහෙත් sediment and water column sampling, Autonomous Underwater Vehicles (AUVs) and Remotely Operated Vehicles (ROVs) වැනි තාක්ෂණයන් උපයෝගී කරගැනීමට දීර්ඝ කාලයක් යම් මුහුදු සීමාවක රැඳී සිටිය යුතුය. මෙම දෙවනුව සඳහන් කල ක්‍රමවේදයන් වඩා නිවැරදි ප්‍රමාණික දත්ත ලබා දෙයි. මේ නිසා මෙවැනි ලෝහ නිධි ගොඩ ගැනීමට ආයෝජනයන් කිරීමට පෙර දෙවැනි ක්‍රමවේදයන් ක්‍රියාවේ යෙදවීම අත්‍යවශ්‍ය වෙයි. මේ සඳහා සාගර සීමාව අයිති රටෙන් අවසර ගැනීම අනිවාර්ය වෙයි. 

මට හැඟෙන ආකාරයට මේ වන විටත් චීනය, ඉන්දියාව, ඇමරිකාව සහ විශාල පරිමාණයේ පෞද්ගලික කොම්පැණි කිහිපයක් පළමුව සඳහන් කල ක්‍රමවේදයන් ඔස්සේ යම් පමණක ගවේෂණ ලංකාවට අයත් සාගර කලාපයේ සිදුකර යම් ගුණාත්මක තක්සේරුවක් ලබා ගෙන ඇත. එහි ප්‍රතිඵල ඔවුන්ගේ ඉලක්ක සඳහා ඉතා ධනාත්මක බවද මට හැඟී යයි. එහෙත් ප්‍රමාණික දත්ත ලබා ගැනීමට නම් ලංකා මුහුදු කලාපයේ දීර්ඝ කාලයක් රැඳී සිට ගවේෂණ සිදුකිරීම අනිවාර්ය වෙයි. මේ ගැන ඉව වැටී දෝ (නැත්නම් එක් කෙනෙක් තරහා කරගැනීමට නොහැකි නිසාදේ) ලංකා රජය පසුගිය කාලයේ චීනය, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකින්ම මෙම කලාපයේ සාගර ගවේෂණයට ඉල්ලා ඇති අවසරයන් ලබා දුන්නේ නැත.

එලිසබෙත් එන්නේ මේ අල්ල පනල්ලේය. 


               



4 comments:

  1. Sustainable developments goals කරා යන ගමනේදී ඉදිරිපත් වන බොහෝ විසඳුම්, rare earth elements මත විශාල වශයෙන් රඳා පැවතීම සහ එහි සැබෑ sustainability එක ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි. Carbon based fossil fuels මත තවමත් විශාල ලෙස රඳා පවතින ලෝක බලශක්ති සැපයුම, මේ අලුත් paradigm එකේදි විශාල ලෙස rare earth elements මත රඳා පවතින බව පැහැදිලි වෙනවා (Hydrogen economy වැනි විකල්ප නොසලකා හැර ඇති විටදී) හැකි නම් මේ ගැන ඔබේ අදහස විස්තරාත්මක ලිපියකින් ඉදිරිපත් කරල නෙස ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. ගැටළුවක් විසඳීමට යන විට තවත් ගැටළුවක් මතුවීම ලෝක ස්වභාවයයි. එකකට ගියත් එකෙත් ගැටළු පන නගිනවා. මේ ගැන වෙලාවක් ලැබුණු විට ලියන්නම්. ඔබගේ කමෙන්ටුවට ස්තුතියි.

      Delete
    2. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete