රජ වෙන්න නම් ලැයිමේ සහය නැතිවම බැරිය. රනිල් කඩිමුඩියේම වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් 1700 කරන ලෙස අණ කරන්නේ මේ නිසා බව කුඩා දරුවෙකුට වුවත් පැහැදිලිය.
තේ වගාවේ යථාර්තය කුමක්ද?
අතිශයින් විචලනය වන ජාත්‍යන්තර වෙළඳපොලේ තේ මිල, පාරිසරික සහ දේශගුණික බලපෑම්, අධික පොහොර සහ රසායනික ද්‍රව්‍ය මිල, ප්‍රවාහන සහ ඉන්ධන මිල, බදු බර, දැඩි තරඟකාරී වෙළඳපොල ආදී සාධක ගණනාවක් නිසා කම්කරු වැටුප හිටිහැටියේ රුපියල් 1700 කිරීම අභව්‍ය බව තේ වගාව හා සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාව ඉතා පැහැදිලිව දන්නා කාරණයකි. එය යම් බුද්ධියක් ඇති ඇමතිවරු මෙන්ම ජනාධිපතිවරයාද නොදන්න විදියක් නැත. නමුත් ඒ හැමටම වඩා ඔහුට ජනාධිපතිවරණය ජයගැනීම වැදගත්ය. චන්දය අවසන් වනතෙක් මේ කතාව ඇදි ඇදී යනු ඇත. ඉන්පසු උසාවි තීන්දුවක් පිට දමා එයින් මිදෙනු ඇත.
සජිත්ට මේ අවස්ථාවේ දෛනික වතු වැටුප රුපියල් 1800 කරනවා කීමට නොහැක. මන්ද රුපියල් 1700ට එරෙහිවද නීතිමය උපදෙස් ලැබී ඇති බැවිනි. මේ නිසා ඔහු සුපුරුදු ආකාරයෙන් අන්ත බුද්ධිහීන කතාවක් කියයි. එනම් වතු කම්කරුවා කුඩා වතු හිමියෙක් කරන බවයි. මේ ගැන වැඩිදුර ලිවිය යුතු නැත්තේ මේ කියන දේ කළහොත් මුළු තේ ව්‍යාපාරයම බිමට සමතලාවන බව අන්ත මෝඩයෙකුට හැර අනෙක් සැමට වැටහෙන බැවිනි. ඔහු විසින් වතු කම්කරුවාව ඔසවා තබන සිහිනයද සිහිනයක්ම වනු ඇත.
වතු කම්කරුවාගේ සත්‍ය අනාගතය කුමක්ද?
මේ වන විට ජපානය, චීනය සහ ඉන්දියාව කෘත්‍රිම බුද්ධිය ඇතුලත් (AI embeded) තේ දළු නෙලන, තේ වගාවට පොහොර සහ අනෙකුත් කෘමි-දිලීර නාශක යොදන යන්ත්‍ර ඉතා සාර්ථකව අත්හදා බලමින් තිබේ. මගේ පැත්තෙන් මම කෙන්යාවේ තේ වතු හිමියන් සමග අප සරසවිය හරහා මෙවැනි යන්ත්‍ර සුත්‍ර හඳුන්වා දීම පිළිබඳව සාකච්චා කරමින් සිටිමි. තේ දල්ලේ පැහැය, වයනය (texture), මෘදු බව, හැඩය ආදී සාධක මෙන්ම තේ ගසේ සහ පසේ ස්වභාවයට අදාළ පරාමිති කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් මෙම කාර්ය සපුරාගැනීම අසීරු නොවේ.
මේ තාක්ෂණය පැමිණීමත් සමගම වතු කම්කරුවාගේ රැකියාව වියැකී යෑම වලක්වාලිය නොහැක. යථාර්තය එයයි. ලංකාව මෙම තාක්ෂණය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් වෙළඳපොල තරගයෙන් ඉවතට විසිවී කොහොමටත් මුළු තේ අපනයන ව්‍යාපාරයම බිඳ වැටෙයි.
මේ තත්වයට මුහුණ දීමට වගකිව යුතු දේශපාලන අධිකාරියක් ගත යුත්තේ මේ විහිළුසහගත පියවර නොවෙයි. සියවසකට අධික කාලයක් දේශපාලන නායකත්වය විසින් අමතක කල කාරණයක් නිසා ගොඩනැගුනු දරුණු ගැටළුවක් දැන් ඉස්මතුවෙමින් පවතී. මේ පිළිබඳව වියත් සමුහයක් එකතුවී සාධාරණ වුත් ප්‍රයෝගික වුත් විසඳුමක් තීරණය කල යුතුය.
සාකච්චාවට භාජනය කල හැකි එක් පියවරක් මම මෙහිදී ඉදිරිපත් කරමි. සාමාන්‍යයෙන් තේ වතු කම්කරුවා දිනකට වැඩකරන්නේ පැය 4-5 වැනි කාලයකි. ඉන්පසු ඔවුන් බොහෝ විට කතාබස් කරමින් නිකරුණේ කාලය කා දමයි. සවස් කාලය වන විට ඔවුන් තමා උපයන ධනයෙන් වැඩි ප්‍රමාණයක් තැබෑරුම්වලට පුද කරයි. මෙය ගැහැණු පිරිමි බේදයකින් තොරව සිදුවෙයි. ඉන්පසු ඔවුන් නිවැසියන් සමගද අසල්වැසියන් සමගද රණ්ඩු දබර වෙමින් සිට නින්දට යයි. මේ ලැයිම් ජීවිතය තුල දරුවෙකුට ජීවත්වීමට සුදුසු යහපත් පරිසරයක් නැත. මේ නිසා ඉතා කෙටි කාලයකින් අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා ඔවුහු තම දෙමව්පියන්ගේ දිවි පෙවෙතටම ඇබ්බැහි වෙන්නාහ. මේ විෂම චක්‍රය කඩා දැමුවහොත් වතු කම්කරු සමාජයේ උන්නතිය පහසුවෙන් සාක්ෂාත් කරගත හැක. නමුත් එයට දේශපාලකයා බිය වෙයි.
වතු කම්කරුවන් තම වැඩ මුරයෙන් පසු නොයෙකුත් රැකියා පුහුණුවීම් සඳහා අපට යොමු කල හැකිව තිබුණි. පරිඝනක සහ තොරතුරු තාක්ෂණය, මේසන්, පයිප්ප, වඩු, කාර්මික (මෝටර්රථ, විද්‍යුත් පරිපත, ඉලෙක්ට්‍රොනික උපකරණ අඩිය අලුත්වැඩියාව), වඩු කර්මාන්තය, ස්වයං ව්‍යාපාර ආදී අනන්තවත් කටයුතු සඳහා මේ ප්‍රජාව යොමු කර ඔවුන්ට අමතර අදායමක් ලැබීමේ මංපෙත් සකසන්න තිබුණි. මීට වසර 20කට පෙර මේ දේ පටන් ගත්තා නම් අද බොහෝ වතු කම්කරුවන්ගේ මූලික අදායම් මාර්ගය තේ වත්තෙන් ඈත් වන්නට තිබුණි. නමුත් දේශපාලකයා ඊට අනුබල දුන්නේ නැත. අද වුවත් අප ප්‍රමාද නැත. යහපත් දේශපාලන මගපෙන්වීමක් යටතේ ඊළඟ රොබෝ සහ ස්වයංක්රීයකරණ ශිල්පීන් සහ AI විශේෂඥයන් වතුකරයෙන් බිහිවීමට ඉඩ ඇත.
වතු කම්කරුවන්ට සිංහල උගන්වන වැඩ පිලිවෙලක් තිබුනා නම් වෙන මොකවත් අවශ්‍යෙවන එකක් නෑ. කාලයාගේ ඇවෑමෙන් ඔක්කොම ප්‍රශ්න විසඳෙයි.
ReplyDelete