කටාර් සිට කොළඹට පැමිණි ගුවන් යානය මගීන්ගෙන් පිරී තිබුණි. අපට එමිරේට්ස් ගුවන් යානයක් වෙන් කරගත නොහැකි වූයේ එවන විට එහි සාමාන්‍ය මිලට වූ සියලුම ආසන වෙන්වී තිබූ බැවිනි. මෙහි අර්ථය ලංකාව තව දුරටත් පාඩු ලබන ගමනාන්තයක් නොවන බවයි.
කටුනායක ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය කාර්යක්ෂමය. සිනහ මුසු මුහුණින් යුක්තය. එහෙත් ආගමන විගමන අංශය මීට වඩා ආචාරශීලි සහ සිත්ගන්නා සුළු අභිනයන්ගෙන් (attractive gestures) යුක්ත වුවා නම් වඩාත් යහපත් බව මට හැඟෙයි.
සංවර්ධනය වෙමින් පවතින කුඩා රටක ගුවන් තොටුපලක් ලෙස කටුනායක ගුවන්තොටුපළ අලංකාරය. පිරිසිඳුය. නවීන ගුවන්තොටුපළක ඇති බොහෝ අංග වලින් සමන්විතය. එහෙත් එහි කුඩා බව දැනෙන්නේ මගී ඝනත්වය අධික නිසාය. අප බලාපොරොත්තුවන වසරකට මිළියන 5 ක සංචාරක ඉලක්කයට යාමට නම් මෙහි වපසරිය අඩුම තරමින් තුන් ගුණයකින්වත් වැඩි කල යුතුය.
ගුවන් තොටුපළෙහි එක කොටසක් භෝජනශාල (Food court & restaurents) සඳහා වෙන්කර තිබීම ඉතා වැදගත්ය. දැනට ඇති ආහාර පාන විකුණන කුඩා කුටි තුල ඇත්තේ හාස්‍යජනක මිළ ගණන්ය. පිටත රුපියල් 80කට පමණ මිළ ලකුණු වන රෝල් (chinese roll) එකක් එම කොලිටියෙන්ම රුපියල් 750 ට මිළ සලකුණු කර ඇත. මේ ගණනට මිළ යෙදුවාට කමක් නැත. නමුත් රෝල් එක අඩුම ගණනේ Sponge එකේ කොලිටියටවත් තිබිය යුතුය.
රේගුව පසුකර එලියට එන විට ඇත්තේ අවිධිමත් පරිසරයකි. ටැක්සි කාක්කන් සහ සිම්පත් විකුණන තරව්කරුවන්ගේ කරච්චලය මෙන්ම අමුත්තන්ගේ පර්යන්තයේ ඇති තදබදයද ඇසට-කණට ප්‍රිය පරිසරයක් නොවේ. මේ කොටස විධිමත් සහ අලංකාර ගෘහ නිර්මාණ කලාංගයක් බවට පත්කළ යුතුය.
සාමාන්‍යයෙන් ශීත පරිසරයක සිට පැමිණෙන අයෙකුට වායුසමනය කල කොටසින් ඉවතට පැමිණෙන කල දැඩි උෂ්ණත්වයක් එකවරම දැනීම ස්වභාවිකය. නමුත් මෙම හැඟීම ඉතා කටුක වන්නේ එම කොටසේ (මාර්ගය සමග ඇති පදික වේදිකාව) එහි සිටින අධික ජනගහණය නිසාය. මෙම කොටස තරමක් විධිමත් කිරීමට යම් වැඩපිළිවෙලක් අවශ්‍යය. මන්ද සංචාරකයා මුලින්ම රටේ පරිසරය පිළිබඳව අත් විඳින්නේ මේ අවස්ථාවේ නිසාය.
ගුවන් තොටුපළේ සිට හයිවේ එක ඔස්සේ පැමිණෙන ගමන ඉතා සුන්දරය. හරිත දුපතක වෙරළාසන්න තීරයක ගමන්කිරීමේදී ඇතිවන සුවදායක හැඟීම එහිදී හදවතට දැනේ. මෙම සිහිනය බිඳ වැටෙන්නේ අධිවේගී මාර්ගය පසුකල සැනින් එළඹෙන ඔරුගොඩවත්ත traffic light අසල වාහනය නැවැත්වූ විටයි. දකුණු දෙසින් පෙනෙන ඔරුගොඩවත්ත මහල් නිවාස සංකීර්ණය ඇසට ඉතාම කටුක දසුනකි. දශක ගණනාවක් හෝ සමහර විට සියවසක් පමණ පැරණි නඩත්තු නොකළ මේ මහල් නිවාස ඉතා අවලක්‍ෂණ සහ අන්තරායකර දසුනක් මවා පායි. එය රටේ දුප්පත්කමේ කැඩපතක් බඳුය. මේ නිවාස පද්ධතිය ඉවත් කර එහි මහල් 50-60 කින් යුත් සුපිරි ගොඩනැගිලි සංකීර්ණයක් සාදා දැනට එහි සිටින පදිංචි කරුවන්ටද එම condominium එකෙන් නිවාස ලබා දීමෙන් ඔවුන්ටද සාධාරණයක් ඉටුවෙයි.
ඉන් පසු අපි පංචිකාවත්ත හරහා පුරහලට පැමිණියෙමු. මරදාන, පංචිකාවත්ත ආදී ප්‍රදේශ කෙටි කලකින් බොහෝ සෙයින් වෙනස්විය යුතු යයි මම නොසිතමි. ඕනෑම රටක එහි පවතින ආකාරයේ කර්මාන්තබද උප-නගර දක්නට ඇත. එය සංචාරකයාට එතරම් අරුමයක් නොවේ. එහි පවතින වාහන තදබද අඩු කිරීමට යම්කිසි පියවරක් ගන්නේ නම් යෙහෙකි.
පුරහල, සහ කොල්ලුපිටිය (ලිබර්ටි වට රවුම, ඩුප්ලිකේෂන් පාර, ගාලුපාර සහ marine drive එකට වැටෙන හරස් පාරවල්) කියන්න තරම් වරදක් නැති ප්‍රදේශය. ඉන්දියාවේ බොහෝ නගරවලට වඩා මේ ප්‍රදේශ අතිශයින් පිරිසිඳුය, පිළිවෙලය.
Marine drive එක නම් අපතේ දැමූ ඩොලර් ආකාරයක් වැනි යැයි මට සිතෙයි. මේ ලියන අවස්ථාවේද මම හෝටලයේ බැල්කනියේ සිට රළ නගන ඉන්දියන් සයුර දෙස බලා සිටිමි. මට පෙනෙන තෙක්මානයේ දැන් වෙරළ තීරයක් නැත. මුහුද රේල් පාරට යාබද වූ ගල්පර දක්වාම පැමිණ ඇත. මේ තීරයේ කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා වූ කොටස Marine Food Line එකක් කල හැකි යැයි මට සිතෙයි. වෙරළට යාබද මුහුදේ ලී අට්ටාල (wooden platforms) මත ඉදිකළ පොල් අතු/පන්/පිදුරු, ලී ආත්දියෙන් ආවරණය වූ කබාන හැඩයේ භෝජනාගාර ගණනාවක් මේ තීරයේ ඉදිකළ හැක. එලෙසම බෝට්ටු, පාරු, බත්තල් ආදියෙහි ඉදිවූ පාවෙන භෝජනාගාර මෙන්ම කොල්ලුපිටියේ සිට පානදුර දක්වා වෙරළට සමාන්තරව ගමන් කරන විශාල බෝට්ටු මත ඇති භෝජනාගාර මෙම ප්‍රදේශයට හඳුන්වා දිය හැක.
මේ අතරම කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල යන දුම්රිය ස්ථාන සියළු විවේකාගාර පහසුකම් සහිත colonial appearence එක ඇති ගොඩනැගිළි ලෙස වැඩි දියුණුකිරීම ඉතා සිත් ඇදගන්නා සුළු දසුනක් විය හැක.
මෙහි duty free කඩ ගැන සඳහන්ව ඇති නිසා මේ ප්‍රශ්නය අසන්නට සිත්වුණා.
ReplyDeleteවිවිධ රටවල ගුවන්තොටුපල රාශියකට ගොස් ඇති ඔබ, ඒ ඒ රටවල මුදල්වලින් මිස, කොහේවත් නැති ඇමරිකානු ඩොලර්වලින් ගනුදෙනු කිරීමට සිදුවෙන ගුවන් තොටුපළක් දැක තිබේ ද?
කටුනායක ගුවන් තොටුපළේ තේ කෝප්පයක් බීමට පවා ඇමරිකන් මුදල් අවශ්‍ය ඇයිදැයි මට නම් නොතේරේ.