2025 මැයි මස 24 වනදා ඉන්දීය රහස් පොලිසිය විසින් කර්නාටක ප්‍රාන්තයේ ජාතික වෛද්‍ය කවුන්සිලයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ එම ප්‍රාන්තයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සඳහා පිළිගැනීමේ සහතිකයක් නිකුත්කිරීමට ඉන්දීය රුපියල් මිලියනයක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙනි. මේ වන විට මෙම වෛද්‍ය නිලධාරියා තවත් වෛද්‍ය විද්‍යාල කිහිපයකින් මේ ආකාරයටම ඉන්දීය රුපියල් මිලියන 4.5 පමණ ලබාගෙන ඇති බව සොයාගෙන ඇත.
මෙය අහඹු සිදුවීමක් නොවේ. පසුගිය දශකය තුලදී ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය වැනි රටවල් කිහිපයකම ජාතික වෛද්‍ය කවුන්සලය නියෝජනය කරන වෛද්‍ය නිලධාරීන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් අල්ලස් හෝ කප්පම් ලබාගැනීම නිසා සිර අඩස්සියට පත්වූ අවස්ථා ගණනාවක් වාර්තාවේ.
ලෝකයේ දියුණු රටවල් බොහෝමයක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇත. එහෙත් PMC කියූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ රුසියාව, ලැට්වියාව, බංගලාදේශය, නේපාලය, ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය ආදී රටවල් කිහිපයකි. ඊට හේතුව මේ රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර දකුණු ආසියාතික සිසු සිසුවියන් බඳවා ගැනීම සඳහා ඇති තරගයයි.
මේ රටවල්වල ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට තම දරුවන් යැවීමට තරම් වත්කමක් දකුණු ආසියාතික මධ්‍යම පන්තියේ බහුතරයක් පවුල්වලට නැත. එහෙත් තම ගේදොර ඉඩකඩම් යාන වාහන විකුණා හෝ මේ සඳහා මුදල් එකතු කරගැනීමට සමත් සෑහෙන පිරිසක්ද මේ රටවල ඇත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෝ එය පවතින රට කුමක් වුවත් මේවායේ හිමිකරුවන් තරඟ කරන්නේ මේ දෙමව්පියන් තම දැලට හසු කරගැනීමටයි. මෙහිදී ඔවුන්ට පවතින මූලික කඩඉම නම් තම වෛද්‍ය විද්‍යාලය කළාපයේ රටවල වෛද්‍ය කවුන්සල මගින් පිළිගැනීමයි. මේ සඳහා එම රටවල ජාතික වෛද්‍ය කවුන්සලය මගින් පත්කළ වෛද්‍ය නිලධාරී කමිටුවක් ඇත. බොහෝ රටවල මෙම කමිටුවල සාමාජිකයන්ට මෙය හොඳ ආදායම් මාර්ගයක් වනවා ඇත. මේ නිසා ඔවුන් වෛද්‍ය කවුන්සිල නිලවරණයට රටේ ප්‍රධාන මැතිවරණ වලට වඩා ඉහල තැනක් දෙන බව පෙනෙන්නට ඇත.
පසුගිය සමයේ කළාපයේ රටවල ඇති වූ නඩු කටයුතු සහ පුවත්පත් වාර්තා අධ්‍යනය කල විට පැහැදිලිවන්නේ දැන් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ස්වායත්ත වූ මාෆියාවක් මෙම සංදර්භය පාලනය කරන බවයි. ඔවුන් එක පැත්තකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ඉහල මුදලක් අයකරයි. ඒ එම වෛද්‍ය විද්‍යාලයේ පැවැත්ම තහවුරු කිරීමට සහ එයට සිසුසිසුවියන් ඇදගැනීම සඳහාය. අනෙක් පැත්තෙන් ඔවුන් වෛද්‍ය කවුන්සිල්වල නිලධාරීන්ට හොඳින් සලකමින් තමන්ට ගෙවීම් කරන වෛද්‍ය විද්‍යාලවල පැවැත්ම තහවුරු කර දෙයි. තම රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති නිසා තම දරුවන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශවලට යවන රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීමට ඉඩ නොතැබීමද මෙම මාෆියාවේම අංගයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත.
මෙම ව්‍යාපාරයේ තවත් නොපෙනෙන පැත්තක් ඇත. වෛද්‍ය අධ්‍යාපනයට දරුවන් විදේශ ගත කිරීම සඳහා බොහෝ රටවල මගපෙන්වීම් කරන්නේද මේ වෛද්‍ය කවුන්සිල්වල සිටින දොස්තරවරුන්ම බව වාර්තාවේ. මේ සඳහා ඔවුහු වෛද්‍ය විද්‍යාල මාෆියාවේද අනුග්‍රහය සහිතව තරු පහේ හෝටල්වල මගපෙන්වීමේ සමුළු පවත්වති. වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශ ගතවන සෑම දරුවෙකුම ගෙවන මුදලින් 10%-15% පමණ මෙම වෛද්‍යවරුන්ට ලැබෙන බව වාර්තාවෙයි. මෙම වෛද්‍යවරුන්ගේ දරුවන් බොහෝ විට අධ්‍යාපනය ලබන්නේ දියුණු රටවල වෛද්‍ය විද්යලවලයි. ඒ ඔවුන්ට ඒ සඳහා ඇතිවෙන්න මුදල් ලැබෙන බැවිනි.
මේ ගැන දැන් ඉන්දියාවේ සංකීර්ණ රහස් පොලිස් පරීක්ෂණ මාලාවක් දියත්වෙයි. එහි ප්‍රතිඵල ලැබෙන විට බොහෝ ඈත ඇති අක්මුල්ද මතුවිය හැකි බවට සමහරු සැක පහල කරති.
No comments:
Post a Comment