මීට වසර 10ට පමණ පෙර මම ගිලන්ව සිටි මගේ සමීපතම ඥාතියකු බැලීම සඳහා මහරගම පිළිකා රෝහලට ගියෙමි. එවකට අප මැලේසියාවේ පදිංචි වී සිටි අතර රෝගියා වෙනුවෙන්ම අපි සති දෙකකට මැලේසියාවේ සිට ලංකාවට පැමිණියෙමු. ඥාතියා බැලීමෙන් පසු මගේ බිරිඳ නෑදෑ හිතමිතුරන් කිහිප දෙනෙක් සමග කතාබහට වැටුණු අතර මම හදිසි දුරකථන ඇමතුමක් දිය යුතුව තිබුණු බැවින් මෝටර් රථය වෙත පැමිණියෙමි.
රියඳුරු අසුනේ හිඳ දුරකථන ඇමතුමෙහි යෙදී සිටින විට මට අසල බිත්තියක වූ දසුනක් නෙත ගැටුණි. වහා වාහනයෙන් පිටතට පැමිණි මම එහි ඡායාරූපයක් ලබා ගතිමි. එහි වුයේ ගොඩනැගිල්ලේ අකුණු සන්නයකයේ සිට පැමිණෙන down conductor එක ආධාරකය ලෙස ගෙන සවි කර ඇති විදුලි රැහැනකි. බැලූ බැල්මට එම විදුලි රැහැන අළුතෙන් සවි කරන ලද්දකි. මෙය අකුණු ආරක්ෂණයේ මූලික සිද්ධාන්තයක් කඩ කරන ඇතුලේ ඇති උපකරණ වලට බලවත් හානි පැමිණිය හැකි ක්‍රියාවකි.
නිවසට පැමිණි විගස මම එවකට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කල මගේ බිරිඳගේ නැගණිය අමතා මේ බව පැවසුයෙමි. ඇය පවසා සිටියේ බාහිර පෙනුමෙන් බොහෝ විට මේ ගොඩනැගිල්ල ඊට ටික කාලයකට පෙර ඉතා අධික මිලක් ගෙවා මිලදී ගත් sychrotron යන්ත්‍රය සවිකළ ස්ථානය විය හැකි බවයි. ඉන් පසු මම සියලු වැඩ පසෙකලා ඇය ලබා දුන් ඊමේල් කිහිපයකට මේ සිද්ධිය සහ එහි බරපතල කම පිළිබඳව දන්වා යැව්වෙමි. ඒ එම ආයතනයේ ඉහලම නිලධාරින් කිහිප දෙනෙකුටය. ඒ කිසිවෙකුගෙන් මට පිළිතුරක් හෝ ලැබුණේ නැත.
අප මැලේසියාවට යාමට දිනකට පෙර පුවත්පත් සිරස්තලය වුයේ පෙරදින කොළඹ ප්‍රදේශයට බලපෑ ප්‍රබල අකුණු කුණාටුව නිසා මහරගම පිළිකා රෝහලේ ඉතා වටිනා උපකරණයකට රුපියල් කෝටි ගණනක හානි සිදුවී ඇති බවයි. මගේ නෙතට කඳුලක් මෙන්ම හිතට යම් වරදකාරී හැඟීමක්ද මතුවිය.
මේ අනතුර පිළිබඳව අදටත් මහරගම පිළිකා රෝහලේ නිලධාරීන්ට මතක ඇතැයි මම සිතමි. කිසිවෙකුට වරද පැටවිමටවත් කිසිවෙකු අපහසුවට පත් කිරීමටවත් මට අවශ්‍ය නැත. මේ පිළිබඳව මෙතෙක් ආරක්ෂණ පියවරක් ගෙන නැත්නම් ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි පමණක් මම ඉල්ලා සිටිමි.
No comments:
Post a Comment