Friday 13 October 2023

අපට ආගමක් ඇවැසිද?


"ඔබට මගේ පෙර ආත්මය කිව හැකිද?" ශ්‍රාවිකාවක් සද්ගුරුගෙන් අසයි.

මද සිනහවකින් මුව සරසා ගන්නා සද්ගුරු ඇයට පිළිතුරු දෙයි.

"මට දැන් ඔබට ඕනෑම පිළිතුරක් දිය හැක. ඔබට කල හැක්කේ එක්කෝ එය පිළිගැනීමයි නැත්නම් නොපිළිගැනීමයි".

ආගම නම් සංකල්පයේ මුළු සන්දර්භයම මේ පිළිතුරෙහි ගැබ්වී ඇති බව මට සිතෙයි.

මම මේ මාතෘකාව යටතේ ලිපි පෙළක් ඉංග්‍රීසි බසින් ලිව්වෙමි ඒවා යහපත් සංවාද-විසංවාද වලට බඳුන් විය. එහෙත් සිංහලෙන් ඒ ගැන ලිවීමට මෙතෙක් මම අදිමදි කලෙමි. ඒ කුමක් නිසාදැයි සමහර විට ඉදිරියේදී ඔබට වැටහෙනු ඇත.  

සමහර දෙනෙක් තමන් පිළිපදින්නේ ආගමක් නොව ධර්මයක් බව පවසති. තවත් සමහරුන්ට එය දර්ශණයකි. මේ මොන නමින් හැඳින්වුවත්, විශ්වකෝෂවල මොන අර්ථ දැක්වීම් තිබුණත් අති බහුතරයක් කරන්නේ එකම දෙයකි. එනම් තමාට නොතේරෙන දෙයක් කවුරුන් හෝ පැවසූ නිසා සත්‍ය ලෙස පිළිගැනීමයි. එනම් කාගේ හෝ ආකෘතියක් (මොඩලයක්) හරියැයි උපකල්පනය කිරීමයි. එහි වරදක් නැත. එහෙත් මේ අති බහුතරය එය පිළිගන්නේ නැත. විද්‍යාව යනු එබඳුම ආකෘති තැනීමකි. එකම වෙනස විද්‍යාඥයා තමා ගොඩනගන්නේ ආකෘතියක් බව අවබෝධයෙන් පිළිගැනීමයි. 

----------------------------

ලොව මෙතෙක් පහළවී ඇති ආගමික සංකල්ප අති බහුතරයක මම පොදු ලක්ෂණ දෙකක් දකිමි. එකක් එම ආගම්-දර්ශන ඒවා බිහිවන කාල-අවකාශ රාමුවේ අවශ්‍යතාවයන් සපුරා ලීමයි. දීර්ඝ කාලීනව (in the long run) සලකා බලද්දී මෙම ආගම් ඒවාට අදාළ ක්‍රියාදාම තුලින් එම කාල-අවකාශ රාමුව තුල ශිෂ්ඨාචාරය පවත්වාගෙන යාමට විශාල සේවයක් කර ඇති බව පෙනෙයි. 

දෙවැන්න, මිනිසුන්ට නොදැනෙන, නොපෙනෙන, නොතේරෙන අත්‍යන්තයක් (ultimatum) පවතින බව ආගමිකයා අනිවාර්යයෙන් පිළිගත යුතු වීමයි. පළමු ලක්ෂණයේ ඇති ක්‍රියාකාරකම් කිරීමට සහ යුතුකම් ඉටු කිරීමට ආගමිකයා යොමුකරවන්නේ මේ අත්‍යන්තය මගිනි. ඔවුහු තමන් නොදන්නා යමක් පවතින බව 100% පිළිගන්නා අතර (ඇදහීම යනු මෙයයි) එය අනෙක් අයද පිලිගන්නවා දැකීමට ප්‍රිය වෙති. මේ අනුව ආගම-දර්ශනය-දහම ආදී කුමන නමකින් ඇමතුවත් සියළුම ආගමිකයෝ අදහන්නෝය. 

ආගම බිහිවන්නේ යම් කාල-අවකාශ රාමුවක අවශ්‍යතාවයකට අනුවය. මම එහි කිසිඳු වරදක් නොදකිමි. නමුත් සියළු ගැටළු මතුවන්නේ එම වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම තවත් කාල-අවකාශ රාමුවකට ඔබන්න ගිය විටයි. සියළුම ආගමිකයෝ තම ආගම-දහම අකාලික බව තරයේ පිළිගනියි. සියළුම ආකාරයේ අවුල් ජාලයන් ඇතිවන්නේ මෙතනදීය.

                                   ----------------------------

ආගමක් කුමටද? මේ පිළිබඳව මම කිහිප දෙනෙකුගෙන් ඇසුවෙමි. ඔවුන් විවිධාකාර පිළිතුරු දුන්නේය. විමුක්තිය ලැබීමට, සමාජය යහපත් ලෙස හැඩගැසීමට, දෙවියන්ගේ මග පෙන්වීම සහ ආශිර්වාදය ලැබීමට, හොඳ-නරක දැනගැනීමට ආදී පිළිතුරු රාශියක් එහි විය. පසුව මම මේ පිළිබඳව සමාජ විද්‍යා මහාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් සහ මහාචාර්යවරියකගෙන් විමසුවෙමි. ඔවුන් තිදෙනාගේම පිළිතුරු සමපාත විය.

ඒ "මිනිසාට ආගමක් අවශ්‍යවන්නේ සමුහයක් තුල ආරක්‍ෂිත වීමට සහ නොතේරෙන විශ්වයෙන් රැකවරණය පැතීමට" යන්නයි.

සත්ව ලෝකයේ බොහෝ තැන්වල සමුහගතවීමේ-මානසිකත්වය (herd mentality) නිරතුරුවම දක්නට ලැබේ. තනිව වාසයට වැඩ යම් කුලකයකට ඇතුළුවීම බොහෝ සත්වයන්ට ආරක්‍ෂිත-මානසිකත්වයක් ලබා දෙයි. වානර මානවයා තුල ජීවමාන වූ මේ සමුහගතවීමේ මානසිකත්වය මිනිස් වර්ගයා තුල අද මෙන්ම තව චිරාත් කාලයක් පවතිනු ඇත. ළදරු වියේ සිට අප පසුකරන සෑම අවධියකම අපි සමුහගතවීට උත්සහ කරමු.  ගමේ, ඉස්කෝලේ, කුලයේ, ජාතියේ, රටේ, ආගමේ ආදී වශයෙන් මානවයා  කුලක,උප කුලක වලට ඇතුලත්වෙමින් සමාජ ආරක්ෂාව සොයයි. 

ලොව ආගමික ඇදහීම් බිහිවන්නේ මීට  වසර ලක්ෂ තුනකට පමණ පෙර බව නවතම සොයාගැනීම් අනාවරණය කරයි. වසර 60,000 පමණ පෙරදී මානවයා ආගමික විශ්වාස මැටි, පාෂාණ සහ දැව පිළිම බවට පරිවර්තනය කල බවට සමහර කෞතුක භාණ්ඩ සාක්ෂි දරයි. මෙම ආගමික සංකල්ප බිහිවන්නේ  ස්වභාවික විපත් සහ සතුරු උවදුරු වලින් බේරීමේ මාර්ගයක් ලෙස නොදන්නා විශ්වයෙන් රැකවරණ පැතීමට බව අපට උපකල්පනය කල හැක. 

මීට වසර 20,000 පමණ පෙර ලෝකයේ ස්ථාන කිහිපයකම මානවයා ශිෂ්ඨාචාර ගතවීමේ ලක්ෂණ පහළවන්න විය. ශිෂ්ඨාචාරයක මූලික ලක්ෂණයක් නම් මිනිස් සමුහයක් යම් නායකත්වයක අණසක යටතේ තම පැවැත්ම තහවුරු කරගැනීමයි. මෙහිදී නායකත්ව අණසක අනුව සමුහයේ ක්‍රියා පිළිවෙත් පවත්වා ගැනීම සඳහා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය බල අධිකාරියක අවශ්‍යතාවය දැනෙන්නට ඇත. මේ අනුව නොදන්නා විශ්වයේ බලයක් පිළිබඳව සංකල්පයක් මවා ගෙන තමා එම බල අධිකාරිය සහ මානවා සමුහයා අතර මධ්‍යම පුරුක බවට නායකත්වය පත්වෙමින් මුලින්ම ලොව ව්‍යුහගත ආගම් බිහිවූ බවට උපකල්පනය කල හැක. 

ඊළඟ වසර 10,000 ක පමණ කාලයේදී මේ ශිෂ්ඨාචාරය බෙහෙවින් පුළුල් හා සංකීර්ණ වන්න විය. මීට සමගාමිව ආගමික සංකල්පද වඩ වඩාත් සංකීර්ණ වන්න ඇත. මේ ඉතිහාස කතාවේ යම් ස්ථානයකදී අවශ්‍යතා සහ කරුණු කාරණා කිහිපයක් මත සමූහ පාලනය සහ ආගම් පරිපාලනය කොටස් දෙකකට බෙදී ඇත. නමුත් රාජ්‍ය පාලනය සඳහා අත්‍යවශ්‍ය ආයුධයක් වූ ආගම, වර්තමානය දක්වාම නායකත්වය සමග තදින් බැඳී ඇති බව පෙනෙයි. මේ අනුව නායක-පූජක බල තුලනය වසර දහස් ගණනක් ශිෂ්ඨාචාර විසින් අඩු-වැඩි වශයෙන් පවත්වාගෙන ගොස් ඇත. 

මුල් ව්‍යුහගත ආගම් බොහෝ විට බහුදේව වාදී විය. ආදී කල්පිතයන් දෙවිවරුන් ආදේශ කලේ ගස්, පර්වත, කඳු, ගිනිකඳු, ගංගා, ආදී තම පරිසරයේ තිබූ ස්වභාවික වස්තුන්ටය. පසු කලෙක මෙම දෙවිවරුන් නොයෙකුත් ස්වභාවික සංසිද්ධීන්, මිනිස් අවශ්‍යතා සහ ක්‍රියාදාමයන්ට අධිපති විය. සුර්යයා, චන්ද්‍රයා, වර්ෂාව, අකුණ, පොලව, කෘෂිකර්මය, යුද්ධය, කලාව, ලිංගිකත්වය ආදිය මේ අතර විය. ප්‍රාථමික අවධියේ හින්දු, ඊජිප්තු, ග්‍රීක, රෝම, චීන ආදී බොහෝ ශිෂ්ඨාචාර කේන්ද්‍ර කොට ගත් ආගමික සංකල්පවල මෙම ලක්ෂණය විය. ශිෂ්ඨාචාරය වැඩි දියුණු වෙමින් ජනගහනය ව්‍යාප්ත වෙද්දී  සියල්ලන්ටම ඉහලින් සිටින ප්‍රධාන දෙවියෙක් සහ ඊට පහල නොයෙකුත් තරාතිරම්වල (hiarchy) දේව මණ්ඩලයක් බිහිවිය. මෙය රජුගේ පැවැත්ම වඩාත් තහවුරු කරගැනීමට අත්‍යවශ්‍ය මොඩලයක් විය. ශිව, අමොන්රා, අනුනාකි, සියුස්, ජුපිටර්, අහුරා මස්ඩා ආදී ඒ ඒ ශිෂ්ඨාචාරය විසින් නම් කරන ලද දේව ලොක්කන් බිහිවන්නේ මේ අනුවය. 

මෙහි ඊළඟ පියවර වන්නේ රජුගේ බලතල අසීමිත කිරීමට (බොහෝ අවස්ථාවල ඔහු අධිරාජ්‍යයකුගේ තත්වයට ඔසවා තැබීමට) මොඩලයක් තැනීමයි. ඒක දේවවාදය මෙහි ප්‍රතිඵලය යැයි මට සිතෙයි. මේ සංකල්පය බිහිවන්නේ හා ව්‍යප්තවන්නේ මූලික සම්පත් (basic  resources) සඳහා දැඩි තරඟයක් පවතින මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව ආශ්‍රිත ප්‍රදේශවල බව සඳහන් කිරීම වැදගත් වේ. මුලින්ම මෙම සංකල්පය ගෙන එන්නේ සොරෝස්ට්‍රියන් දහම බිහිකරන සරතෘෂ්ට්‍රා විසිනි. ඔහුගේ ප්‍රයත්නය වුයේ අහුරා මස්ඩා එකම දෙවියන් ලෙස නම් කරමින්, එතෙක් පැවති අනෙකුත් දේව ප්‍රපංච දේව දුතයන්ගේ තත්වයට ඇද දැමීමයි. ඉන්පසු බිහිවන එබ්‍රහමීය ආගම් තුනේම මෙම මොඩලය ඉතා අපූරුවට ගොඩනගා තිබුණි.  

සියළුම ඒක දේවවාදී ආගම්වල සිටින සර්වබලධාරි දේව මොඩලයේ මට නම් සංකල්පීය වෙනසක් නොපෙනේ. මෝසස්ගේ සිට සියළුම වක්තෘවරුන් එකම සංකල්පය භාවිතා කර ඇත. ඔවුන් සෑම දෙනාම ඔවුන්ට අදාළ කාල-දේශ රාමුවේ වූ සමාජ අසාධාරණය එරෙහිව සමුහයක් එක් රැස් කිරීම සඳහා  මෙම දේව සංකල්පය යොදාගෙන ඇත. අදාළ රාමුවෙහි අවශ්‍යතාවය මත දේව නියම වෙනස් වී ඇත. මේ සඳහා මම පහත දැක්වෙන උදාහරණය ගනිමි.

මෝසෙස් ගේ අරමුණ වුයේ පාරවන්ගෙන් පීඩිත වූ තම පිරිස නිදහස් පරිසරයකට රැගෙන යාමයි. ඔහුට පාරවන්ගෙන් පළිගැනීමේ චේතනාවක් නොවූ බව සාහිත්‍ය පොතපතෙහි දැක්වෙන කරුණු අනුව අවබෝධ කරගත හැක. මේ නිසා ඔහුට අනුව දේව නියමය වුයේ යමෙකු ඔබට පහර දුන හොත් තමනුත් සමානව ප්‍රතිප්‍රහාර  දෙන ලෙසයි. එය සාහිත්‍යමය භාෂාවේදී සඳහන් වන්නේ "ඇසට ඇසක්, දතට දතක් ලෙසය".

ජේසුස් වහන්සේගේ කාලය වන විට සමාජ අසාධාරණය ඔඩු දිවූ කෲර මානසිකත්වයකින් හෙබි මිනිස් සමුහයක් එම ප්‍රදේශයේ සිටි බව පැහැදිලිය. ජේසුස් වහන්සේව කුරුසියේ තබා ඇණ ගැසිමම මේ සමාජයේ වූ විෂමතාවයට නිදසුනකි. සමහර විට මෝසස්ට තම සමුහය ගලවා ගැනීමට උදව් වූ දේව නියමයම ජේසුස් සාමය වනවිට සමාජය විසින් විකෘති භාවිතයකට යොදාගෙන තිබෙන්නට ඇත. මේ නිසා ජේසුස් වහන්සේට දෙවියන් සමග වූ ගිවිසුම අලුත් කරන්නට සිදුවිය. තමාට යමෙක් පහර දුන්නත් ඉවසාගෙන සිටින ලෙස දෙවියන් අණ කරන බව ඔහු පවසන්නේ මේ අනුවය. එය සාහිත්‍යමය ආකාරයෙන් කියවෙන්නේ "තමාගේ වම් කම්මුලට යමෙක් පහර දුන හොත් දකුණු කම්මුලද ඔහුට පාන්න" ලෙසිනි.

මොහොමඩ් නබිතුමා බිහිවන්නේ සමාජය සිවිල් ගැටුම් ගහන වූ සහ නීතිය වල් වැදුණු කාලයකයි. එම කාල වකවානුව පිළිබඳව ගවේෂණය කරන විට පෙනී යන්නේ එය මිනිස් ජීවිතය ඉතාමත්ම අන්තරායකර තත්වයකට පත්වූ පරිසරයක් බවයි. එහි මානව දයාව පිරිපුන් ගමනක් යාමට අවශ්‍ය වටපිටාවක් නොවීය. එහෙයින් තම සමුහය රැකගැනීමට සහ ව්‍යාප්ත කිරීමට ඔහුට කාරණා රාශියක් සපුරාලන්නට සිදු විය. ඔහු දෙවියන්ගේ නාමයෙන් අණ පනත් පැනවීය. මත්පැන් වලින් මිදීම, හැකිතාක් තම වර්ගයා බෝ කිරීම, තම දෛනික ජීවිතය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සහ මුළු සමාජයම එකම වෙලාවකට එකම අණකට වැඩකිරීම (යාඥාව), ගැටුම් නිසා සැමියන් අහිමිවූ කාන්තාවන් රැකගැනීම ආදී කරණා රාශියක් එහි විය. මේ සියල්ලම දක්ෂ හමුදා නායකයෙකුගේ උපාය මාර්ග බව ඔබ තේරුම් ගත යුතුය. මේ සමගම ඔහු තවත් නීතියක් පැනවීය. "සතුරා හඳුනාගත් විට සැගවී සිට ඔහුට කලින්ම පහර දෙන්න". මේ ඔහුගේ සමුහය සඳහා වූ යුගයේ අවශ්‍යතාවයයි. 

මට පසුගිය කාලයේ පතල වූ FB post එකක් මතකයට නැගේ. 

"කොවිඩ් රෝගයට එරෙහි එන්නත්කරණය දේව කැමැත්ත බවට පුජක පක්ෂය හරහා මතයක් ගොඩ නගන්න. කිසිවෙකුත් එන්නතට විරෝධය නොදක්වනු ඇත". මෙය සැබෑවකි. ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම ආගම සිදුකලේ මේ කාර්යභාරයයි. අදටත් එය වලංගු වෙයි.

                                                ------------------

මිනිස් බුද්ධිය ඉතා ඉහල මට්ටමකට පැමිණෙන තෙක් අත්‍යන්තයක් මගින් මිනිස් හැසිරීම් රටාව පාලනය කල යුතුම යයි මම සිතමි. මේ අනුව තවත් සහශ්‍රයක්වත් යන තෙක් ලෝකයට ආගම් අවශ්‍ය බව මගේ හැඟීමයි.  ඒ මට්ටමට මිනිස් බුද්ධිය පැමිණෙන තෙක් අපි අවම වශයෙන් පවතින කාල-අවකාශයට අපත්‍ය වූ ආගමික මතවාද සහ ක්‍රියාකාරකම් අවම කරගැනීමට උත්සහ කරමු. 


1 comment:

  1. ආයුබෝවන් චන්දිම, හොඳ ලිපියක්, මට ටිකක් පැහැදිලි මදි ඔබේ මෝසස් සම්බන්ද උදාහරනය ගැන. මෝසස් පරාවෝ සමග පලිගැනීමේ චේතනාවක් "නොතිබුනා" නම් ඔහු කිව යුතුව තිබුනේ 'වම් කම්මුලට පහර දුන්නා නම් දකුනු කම්මුලත් හරවන්න' කියා නොවේද?

    ReplyDelete