Sunday, 8 October 2023

අපේ මොළේ මොට්ට වුණේ ඇයි?



මීට දශක දෙකකට පමණ පෙර, ලංකාවේ බාල දක්ෂ වැඩමුළුවකට සහභාගී වෙමින් සිටි කුඩා දරුවන් 30 දෙනෙකු පමණ සිටින කණ්ඩායමක් සමග, ලද අස්වැසිල්ලක අපි පිළිසඳරක යෙදුනෙමු. අපි එහෙදි ඔවුන්ගෙන් සරල ප්‍රශ්නයක් ඇසුවෙමු. ඒ ඔවුන් අධ්‍යාපනික කටයුතු වලදී මුහුණ දෙන අපහසුම කටයුත්ත කුමක්ද කියාය. දරුවන් 17 දෙනෙකු එකවිටම පැවසුවේ චක්කර පාඩම් කිරීම බවයි. තවත් සිසුන් 8 දෙනෙකුගේ ගැටලුව වුයේ ගාථා පාඩම් කිරීමයි. මෙම සිසුන් අපගේ පැනයට පිළිතුරු දුන් ආකාරය ඔබ දුටුවේ නම් ඔවුන්ගේ මුහුණුවල තිබූ කලකිරීම, වේදනාව සහ සියුම් කෝපය ඔබට මැනවින් වටහා ගත හැකි වනු ඇත.

අපගේ මුළු අධ්‍යාපන ක්‍රමයම සකස් වී ඇත්තේ තොරතුරු එකතුකිරිම සහ ධාරණය කිරීම මුල් කරගනිමිනි. මෙය වසර දහස් ගණනක සිට අප රටේ පවත එන සම්ප්‍රදායකි. තොරතුරු වනපොත් කිරීම යනුවෙන් මෙය හැඳින්විණි. මෙය බොහෝ විට සිදුවුයේ පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතවය. කරුණු ලේඛන ගත කිරීමේ තාක්ෂනය ඉතා පහල මට්ටමක තිබුණු එකල තොරතුරු මිනිස් මතකයෙන් ඔබ්බෙහි වූ භෞතික භූතාර්ථයක් තුල ගබඩා කිරීම විශාල අභියෝගයක්විය. මේ නිසා සියලු දත්ත මිනිස් මොළයෙහි එනම් මතකයෙහි ගබඩා කරන ලදී. මා සිතනා ආකාරයට, සීමිත ක්‍රියාන්විත වපසරියකින් යුත් මිනිස් මනසට තොරතුරු ගබඩා කිරීම සඳහා විශාල ශක්තියක් වැය කල පසු තොරතුරු විශ්ලේෂණයට වැඩි ඉඩකඩක් නොවීය. සමහර විද්වතුන් දක්වන ආකාරයට පැරණි ලාංකික උගත් විඥානය තුල වියුක්ත දැනුම පුළුල් ලෙස ව්‍යාප්ත නොවීමට මෙය හේතු වන්න ඇතැයි අපට සිතෙයි. 

අනෙක් අතට අපගේ පෞරාණික තාක්‍ෂණික කලාවන් සම්පුර්ණයෙන්ම පදනම් වන්නේ අත්දැකීම් මෙන්ම තැත සහ දෝෂය (trial & error) ඇසුරින් කරන නිරීක්ෂණ මත ගොඩනැගුණු දැනුම තුලය. මේ ලැබූ දැනුම සහ කලින් සඳහන් කල තොරතුරු එකිනෙකට වෙනස්ය. උදාහරණයක් ලෙස කම්මල්කරුවා හොඳම කඩුව සෑදීම සඳහා දෙන ලද යකඩ පතුරක් රත් කල යුතු සුදුසුම උෂ්ණත්වය දනියි. එය ඔහු පරම්පරාවෙන් ලද දැනුම මත පදනම් වෙයි. මේ අතරම ඔහු අලුතෙන් ලැබෙන ලෝහයක් අඩු හෝ වැඩි උෂ්ණත්වයකට රත් කිරීමෙන් අඩු කඩතොළු ප්‍රමාණයක් සහ වැඩි සවි ශක්තියකින් යුත් නිමාවක් ලබාගත හැකි බව අත්දකියි. මෙය ඔහු බොහෝ විට තැත සහ දෝෂය ඇසුරින් ලබන දත්ත විශ්ලේෂණය කර ගොඩනගා ගන්නා දැනුමකි. එය ඔහු තම අනුප්‍රප්තිකයාගේ දැනුම් සම්භාරයට එකතු කරයි. ඒ දැනුම මොලයේ කොටසක ගබඩාවන තොරතුරු ගොන්නකට වඩා ශරීරයේම ඇති සියළුම සෛල වල ගබඩාවන මතක රටාවක් ලෙස හැඳින්විය හැක.  ගල් වඩුවා, රන් කරුවා, කැටයම් සහ මුර්ති ශිල්පියා ආදී බොහෝ ප්‍රයෝගික තාක්ෂණයන්ගේ පිය සටහන් අදටත් අප රටේ නොනැසී පවතිද්දී වියුක්ත දැනුම මත පදනම් වූ විඥානයක් රට තුල ගොඩ නැගී නැත්තේ මේ හේතුවෙනි. 

බුදු දහම සම්බන්ධයෙන් පවා අපට ඇත්තේ තොරතුරු සම්භාරයක් මිස දැනුම් සම්භාරයක් නොවන බව මාගේ හැඟීමයි. පිරිවෙන් ආශ්‍රිතව අප විශාල තොරතුරු පද්ධතියක් රැස් කරගෙන ඇත. එහෙත් එතුල දැනුම සහ විශ්ලේෂණයේ මූලිකාංග වත් ඇත්දැයි සැක සහිතය. 

දහනම වන සියවසේ සහ විසිවන සියවසේ නව අධ්‍යාපන ක්‍රමයක් ඉංග්‍රීසින් විසින් හඳුන්වා දෙද්දී අප අත්දැකීම් සහ ප්‍රායෝගික විශ්ලේෂණයට මූලිකත්වය දුන් තාක්ෂණික ජන විඥානයෙන් ඈත්වී 100% තොරතුරු රැස් කිරීම සහ ගබඩාකිරීම මත පදනම් වූ අධ්‍යාපනික ක්‍රමවේදයකට පිය මැන්නේය. මෙය එවකට පැවති බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයට සමගාමී විය. අද වන විට ලංකාවේ සිටින වෘත්තිකයන්, ජනප්‍රිය බෞද්ධ කථිකයන්, ගුරුවරුන් ආදී වියත් යයි සම්මත සියළු දෙනාම පාහේ තොරතුරු මත පදනම්ව තම පාණ්ඩිත්‍ය විදහා දක්වයි. 

නමුත් යුරෝපය, ඇමරිකාව,කැනඩාව, ජපානය, කොරියාව, චීනය වැනි රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක කිහිපය තුල මෙම රටාව වෙනස් කළේය. එය අද ඔබට ජපානයේ, ස්වීඩනයේ, කැනඩාවේ පාසලක හෝ සරසවියක මැනවින් නිරීක්ෂණය කල හැක. 

අපි සියවසකටත් පෙර සුද්දා අපට දුන් දේ තවමත් කරගසාගෙන යමු. 



3 comments:

  1. සහතික ඇත්ත. ඒකනෙ අපි තවමත් ශිෂ්‍යත්වෙට කමත් භාෂාව එහෙම කට පාඩම් කරවන්නෙ...

    ReplyDelete
  2. හොඳ ලිපියක් චන්දිම. බෞද්ද දැනුම් පද්දතියේ විකාශනය ගැන ඔබ කියන කරුනට සපුරා එකඟයි. බොහෝ බෞද්ද මාතෘකා සාකාච්චාවට ගැනෙන තැන්වල අහන්න ලැබෙන දෙයක් තමයි 'මේ ගැන ඔබ දන්නෙ මොනවද? ඔබ අසවලාගෙ අසවල් පොත කියවලා තියේද? ඔබ මේ හැන වැඩිදුර හදාරාලා එන්න' වගේ දේවල්. යම් කිසි ප්‍රස්තුතයකට අදාලව තමුන්ගේ මතයක් ගොඩනගා ගැනීම බොහෝ දෙනෙකුට අසීරුයි වගේම තව කෙනෙක් එවැනි මතයක් ප්‍රකාශ කලාම එය දරා ගන්නත් අමාරුයි.

    ReplyDelete
  3. ඔය ගාථා පාඩම් කරවීම ගැන බුදු සාදු දැන හිටියා නම් ඒකට විරුද්ධව ශික්ෂා පදයක් සෙට් කරලයි මැරෙන්නේ!

    ReplyDelete