Thursday 26 August 2021

අලියා පිට යාම

අප සමාජයේ බහුතරයක් නිර්මාංශ නොවෙති. එනම් ඔවුන් මස් පිණිස සතුන් මැරීමට දායක වෙයි. තවමත් අශ්වයා පිට හෝ අලියා පිට යාම ක්‍රීඩාවක් හෝ විනෝද කාර්යයක් බවට පත් කරගත් අය බොහෝය. අපේ ගෙවල්වල බල්ලන් සහ වෙනත් නොයෙකුත් සතුන් කූඩු කර ඇතිකරයි. මේ සෑම ක්‍රියාවකින්ම අපි සතුන්ගේ ස්වභාවික චරියා රටාව උදුරාගෙන ඇත. එය සතුන්ට කරනා වදයකි. ඒ ඔවුන් කිසි විටෙක නොකළ වරදකටය. නොකළ වරදකට වද දීම ඕනෑම කාල-අවකාශ රාමුවක "වැරදි" දෙයකි. 

මිනිසුන් හෝ සමාජය පරිපුර්ණ නැත. ඔවුන්ට නොයෙකුත් අවශ්‍යතා සඳහා වැරදි කිරීමට සිදුවෙයි. නමුත් සමාජය යමක් වැරද්දක් ලෙස දකින විට එය කාලයත් සමග ක්‍රමයෙන් වියැකී යයි. සමහර විට එයට දශක හෝ සියවස් ගණනක් ගතවිය හැක. නමුත් එය කෙදිනක හෝ සිදුවෙයි. මේ වැරදි නිවැරදි වීමට සමාජ ගති පැවතුම්වල වෙනස්කම් මෙන්ම තාක්ෂණයද බලපායි. 

ඉහත පුර්විකාව මට කියන්න සිදු වුයේ පෙරහරේ ඇතුන් ගෙන යාම ගැන කිහිප දෙනෙක්ම මගේ අදහස් විමසූ බැවිනි. පෙරහරේ ගෙනයාම පසෙක තැබුවත් කැලයේ ජිවත්වන අලි ඇතුන් අල්ලා හීලෑ කිරීමම වරදක් ලෙස මම දකිමි. එහෙත් නොයෙකුත් හේතුන් නිසා අපි චිරාත් කාලයක සිට මේ වරද කරමු. අතීතයේදී බඩු ප්‍රවාහනය සහ බර වැඩ කිරීම, යුද්ධය සඳහා, රාජකීය සහ ධනපති ගාම්භීරත්ව ප්‍රදර්ශනය සහ පෙරහැර වැනි ආගමික කටයුතු සඳහා යොදා ගැනුණු අලි ඇතුන් අද අවසාන කාරණා දෙකට පමණක් සීමා වෙයි. 

කැලේ නිදැල්ලේ සැරි සැරිය යුතු ඇතෙක් ඇඟ පුරාම විලංගු දමා හෙන්ඩු පහර දෙමින් විකාර රූපී ඇඳුම් අන්දවා ඇඟ පුරා විදුලි රැහැන් ඇද ලයිට් දල්වා පාරේ ගෙන යාම නරකක් නොවේ යයි කිව හැක්කේ කුමන දහම අනුවදැයි මට නොතේරේ. එය කල යුතුම නම් තව දුරටත් කෙරිය යුතුය. මන්ද සමාජය ඕනා තරම් "නරක" දේ කරන බැවිනි. නමුත් එය අඩුම ගණනේ නරක දෙයක් බව අවබෝධ කරගෙන කරනවා නම් කවදා හෝ දිනක තාක්ෂණය දියුණු වූ විට හෝ බහුතරයක් මේ සත්ව හිංසනය බැලීමට අකමැති වූ දවසක එය නවතිනු ඇත. මේ වන විට සතුන් කූඩු කර ඇති සත්ව උද්‍යාන කරා යන ජනතාව ශීග්‍රයෙන් අඩුවෙමින් පවතී. බොහෝ රටවල් එළිමහන් සත්ව උද්‍යාන සාදන්න උත්සුක වන්නේ ඒ නිසාය. 

ඇතෙක් පෙරහරේ යන්නේ ඉතා කැමැත්තෙන් සහ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යයි පවසන අය කරන්නේ තමන්ගේ සිතේ ඇතිවන වරදකාරී හැගීම සඟවා ගැනීම යයි මට සිතේ. ඇතාගේ සිතුවිලි ගැන ඇතාටත් වඩා දන්නේ ලාංකික බෞද්ධයාය.

අලි ඇතුන්ට කිසිසේත් අදාළ නැති, ලඟදී කිහිප දෙනෙක් පලකල අදහසකින් මම මේ ලිපිය අවසන් කරන්නම්.

-ගුරුවරයෙක් වෙනවා නම් තම පඩිය ගැන නොතකා ළමුන්ගේ දියුණුව දෙස පමණක් බලා, සතුටින් තම රැකියාව කල යුතුය-

ගුරුවරයා දෙවියෙකු යයි පම්පෝරි ගසන සමාජය ගුරුවරයාට ලැබෙන්නේ හිඟන පඩියක් බවද පැහැදිලිවම දනී.  නමුත් එය අමතක කිරීමට වෙර දරන සමාජය තම හෘද සාක්ෂිය පරයා කෑගසන විලාපයයි ඒ.


14 comments:

  1. තිත්ත ඇත්ත. හොඳ ලිපියක්.

    ReplyDelete
  2. සමහරු මසට සතු මැරීම ගැන හෝ කැලේ අලින්ට වෙඩි තියන හක්කපටස් තියන එක ගැන කියනවා පෙරහැරවල අලින්ට හිංසාකිරීම ගැන කියනකොට. ගොවියන් හෝ දඩයම්කරුවන් කරනදේ නිසා ආගමික යයි කියන උත්සවයක සතුන්ට හිංසාකිරීම සාධාරණීකරණය කරන්නෙ කොහොමද මට තේරෙන්නෙ නෑ.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. දැනට වසර තිහකට පමණ කලින් කුරුණෑගල විල්බාව දේවාල පෙරහැර නගර සන්චාරයේදී අලිකුලප්පුවක් විය. නිලමෙට ගියේ මාදන්නා දිසාපති වරයෙකි. එම අලිකුලප්පුවෙන් ඔහුගේ කකුලක් අහිමිවිය. පාඩුව කෙලින්ම ප්‍රභූවරයකුට නිසා පෙරහැරේ අලිගෙනයාම කලක් නැවතීතිබුනි. එහෙත් එය නීතිමය තහනමක් දක්වා දුරදිගගෙනයාමට ඊලග දිසාපති වරයාටද නොහැකිවිය. බොහෝවිට වාර්ගික සන්ස්කෘතිය ජයගනී.

    //අලි ඇතුන්ට කිසිසේත් අදාල නැති......//
    //ගුරුවරයා දෙවියෙකු යයි පම්පෝරි ගසන සමාජය// මේ අබිමානය නිසාම ඒ සමාජය තුල ඔහුම විකිනෙන බව බොහෝ විට ගුරුවරයාම නොදනී. මේ බව පෙන්වාදීමට යාම ඉතාමත් නොගැලපෙන කරුණකි. සගවාගෙන සිටීමෙන්ද දෙදෙනාම අමාරුවේ වැටෙන අවස්ථා විරලනොවේ.

    ReplyDelete
  5. පෙරහැර ආගමික අංගයකට වඩා සංකෘතික අංගයක් ලෙස මට හැගේ. මෙමගින් සිදුවන සත්ව හිංසනය දැඩිලෙස හෙලා දකින අතරම, ලංකාවට විශේෂවූ සංකෘතික වටිනාකමක් සහිතදෑ නව නීති සන්පාදනයවී සතුන්ට කිසිම හානියක් නොවන අයුරින් කිරීමට හැකිනම් අගේනේය. අලිඇතුන් ලංකික අපේ අභිමානයවන අතර එම සතුන්ට යම්හෝ අවැඩක් සිදුවන්නේනම් එය ඉතාමත් ලජ්ජා සහගතය.

    ReplyDelete
    Replies
    1. Thanks for the comment. පෙරහැරේ පරමාර්ථය (සංස්කෘතිකද ආගමිකද යන්න) ඇතා පෙරහරේ ගෙනයාමේ හොඳ-නරකට අදාළ නොවේ. මා දකින ආකාරයට සර්කස් එකක අලි නටවීමත්, සත්ව උද්‍යානයේ අලි නැටුමත්, පෙරේහරේ අලි ගෙන යාමත් එකම ආකාරයේ ක්‍රියාවන්.

      කෙසේ නමුත් අමතක නොකරන්න, අපි කොපමණ නැතැයි කියන්න උත්සහ කලත් ලංකාවේ බොහෝ පෙරහැර ලාංකික බෞද්ධයා සමග ඉතා තදින් බැඳී ඇත. උදාහරණයක් ලෙස හිතන්න සංචාරකයින් පිනවීම සඳහා පමණක් සතුන්ට ඇඳුම් අන්දවා විලංගු දමා මහා පාරේ සැතපුම් ගණනක් ඇවිද්දවනවා නම් ලංකාවේ කී දෙනෙක් ඊට විරුද්ධ වෙයිද?

      Delete
  6. නිතර ප්‍රතිචාර නොදැමුවාට මා ඔබේ ලිපි කියවන කෙනෙකි. මේ ගැන නම් පැහැදීමක් නැත. ඔබේ අදහස අනුව
    a. පෙරහැරේ අලි ගෙන යාම වැරදිද ? ඒක වැරදිනම් හරි එක කුමක්ද?
    b. අලි පෙරහැරේ ගෙන යාම වැරදිද ? වැරදිනම් හරි එක කුමක්ද ?

    "පෙරහැර ආගමික අංගයකට වඩා සංකෘතික අංගයක් ලෙස මට හැගේ." යන 'Hasitha26 August 2021 at 23:15' ගේ නිරීක්‍ෂණය සමග එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි.

      මම ඔබගෙන් මෙසේ අසන්නම්; අහිකුන්ටිකයෙක් ඉනට දම්වැල් දමා රිලවෙක් නටවා මුදල් සෙවීම වැරදිද?

      නිදහසේ වනගත පරිසරයක සිටිය යුතු රිලවෙක් අල්ලා බලහත්කාරයෙන් ඌව නටන්න හුරුකරවීම (මේ හුරු කරන ආකාරය ඉතාම කෲරය) සහ ඉන්පසු එම සත්ව නටවා මුදල් සෙවීම වැරදි බව සමාජයේ බොහෝ දෙනෙකුට පෙනෙන සත්‍යයකි.

      එසේ නම් නිවැරදි දෙය කුමක්ද?

      සරලම පිළිතුර රිලවා එලෙස අල්ලා නටවන්නේ නැතුව සිටීමයි (එම සතාට උගේ නිදහස් පරිසරයේ වෙසීමට ඉඩ හැරීමයි). දැන් මතුවන ගැටළුව එවිට අහිකුන්ටිකයා තම ජීවිකාව කරගන්නේ කෙසේද යන්නයි. මෙහිදී සමාජයට කියන්න සිදුවන්නේ මෙය වැරදි වුවත්කි අහිකුන්ටිකයාගේ දිවි පැවැත්ම වෙනුවෙන් මේ දේ කිරීමට ඉඩ දිය යුතු බවයි.

      අහිකුන්ටිකයා මෙන්ම සමාජයද මෙය වැරදි කාරණයක් බව පිළිගන්නේ නම් කෙදිනක හෝ තමාට වෙනත් සුදුසු රැකියාවක් ලැබීමේ අවස්ථාව ලද විට අහිකුන්ටිකයා මෙම වැරදි ක්‍රියාව නවත්වනු ඇත. එය එසේ නොදකිනවා නම් ඔහු පමණක් නොව ඔහුගේ ඊළඟ පරම්පරා ගණනාවක් එම රැකියාව අත නොහරිනු ඇත.

      ඉහත ලිපිය නැවතත් කියවන්න. ඔබට මේ පණිවිඩය පැහැදිලිවම එහි දකින්නට ලැබෙනු ඇත.

      Delete
    2. ඔබ මේ ප්‍රශ්නය කේන්ද්‍ර කරන ආකාරය ගැන සතුටුයි. රිලවා වෙත අවධානය විතැන් කිරීමෙන් ඔබ "ආගමික" කණ්නාඩිය තුළින් මිදී මේ ප්‍රශ්නය දෙස බැලීමේ මගක් විවර කරගෙන තිබේ. එපමණක් නොව අලියා ගැන මා ඇසූ ප්‍රශ්න දෙකටම පිළිතුරු ද මේ විතැන් කිරීම තුල අඩංගු ය. (රිලවාට අදාළ වන සංස්කෘතික නිර්ණායක අලියාට එළෙසම අදාළ නොවන බව දැනට නොසළකා හරිමු)

      අහිකුන්ටිකයෙක් ඉනට දම්වැල් දමා රිලවෙක් නටවා මුදල් සෙවීම වැරදිද? මෙයට මා දෙන පිළිතුර වැරදි නැත යන්නයි.
      එය මදක් පැහැදිළි කළහොත්:
      ඉනට දම්වැල් දමා රිලවා නටවන්නේ මා නොවේ, අහිකුන්ඨික මනුෂ්‍යයා ය. රිලවා මගේවත් ඔබේවත් නොවේ. රිලවා ස්වභාව ධර්මයේ ප්‍රතිඵලයකි. අහිකුන්ඨිකයා ද එහිම ප්‍රතිඵලයකි. ඔබෙත් මගෙත් ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන ස්වභාව ධර්මයේ ප්‍රතිඵලයක් වන අහිකුන්ඨිකයා විසින් රිලවා අල්ලා කැමැත්තක් කිරීම ගැන විනිශ්චය කිරීම මට අයිති කාරියක් නොවේ.

      මා බෞද්ධයෙකි; මගේ තීරණ ගැනීම කෙරේ එය දැඩි බලපෑමක් කරයි. ජේතවනාරාමය පිටිපස්සේ දිනපතා ඌරන් මැරූ චුන්ද සූකරිකයාට බුදුරජාණන් වහන්සේ දොසක් වදාළේ නැත. උන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ (මේ වියුක්ත ප්‍රකාශයකි) අනුසස් දේශනා කළා මිස චුන්දයා විසින් ඌරන් මැරීම වැනි ඒකීය සංයුක්ත සිද්දි ගැන උන් වහන්සේගේ දෘෂ්ඨිය උපේක්‍ෂා සහගත විය.

      ඔබම අසන ප්‍රශ්නයට ඔබම දෙන පිළිතුර "රිලවා එලෙස අල්ලා නටවන්නේ නැතුව සිටීමයි" වෙයි. නූතන fb ප්‍රාඥයන් ඔවැනි පිළිතුරු වලට දෙන නම 'ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකයි' වශයෙන් වෙයි. මේ පිළිතුරෙන් ඔබේ සිත සැනසෙනවා මිස රිලවාගේත් අහිකුන්ඨිකයාගේත් මගේත් ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැත.

      සමාජයත් අහිකුන්ඨිකයාත් දෙදෙනාම මෙය වැරදි යැයි පිළිගැනීම ඔබ යෝජනා කරන අවසන් නිෂ්ඨාව වෙත යාමේ අනිවාර්‍ය හෝ ප්‍රමාණවත් හෝ අවශ්‍යතාවයක් නොවේ. (ඔබ මෙහිදී රිලවාගේ 'පිළිගැනීම' නොසළකා හරින්නේ ඇයි දැයි නොතේරේ.)
      "වෙනත් සුදුසු රැකියාවක් ලැබීමේ අවස්ථාව" ඔබේ සිතේ පමණක් පවතින්නකි. රිලව් නැටවීමේ වාසියක් සේම කිසියම් පිරිවැයක් ද තිබේ. එහි වාසිය පිරිවැය නොඉක්මවා යන්නේද ඒ තාක් කාලයක් අහිකුන්ඨිකයා විසින් රිලවා නැටවෙයි. යම් කලෙක පිරිවැය විසින් රිලව් නැටවීමේ සමස්ත වාසිය ඉක්මවා යන්නේ වෙයිද එවිට අහිකුන්ඨික මනුෂ්‍යයා විසින් වෙනත් ජීවනෝපායක් සොයා ගන්නවා ඇත.

      රිලව් නැටවීම වැරදි යැයි දකින ඔබටත් එය වැරදි යැයි නොදකින අපටත් එකඟ විය හැකි පිළිතුර එතැන වෙයි. හරි-වැරැද්ද මෙතැනට අදාළම නැත. කළින් කී පරිදි අලි සහ රිලව් අතර වන සංස්කෘතික වටිනාකම් වෙනස නොසළකා හරින්නේ නම් මේ පිළිතුර අලි ප්‍රශ්නයටත් අදාළ කර ගත හැක.

      ඔබට ස්තූතියි.

      Delete
  7. සිංහල බ්ලොග් අඩවි ගැන

    සිංහල බ්ලොග් අඩවි ගැන රූපණ අන්තරජාල රූපවාහිනිය වෙනුවෙන් කෙටි වැඩසටහනක් කරන්න අදහස් කරනවා. ලංකාවේ මුල්ම සිංහල බ්ලොග් අඩවිය. මේ වනවිට සිංහල බ්ලොග් අඩවි කීයක් විතර තියෙනවාද ? සිංහල බ්ලොග් සින්ඩිකේටර් වල නම් වගේ ඔබ දන්නා විස්තර තියෙනවා නම් ඉක්මණින් මට කියන්න පුළුවන්ද..... අනුරුද්ධ වැලිගමගේ ....අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය ..... anuruddhawe@yahoo.com.https://rupane.com/

    ReplyDelete
  8. මටත් ඒ ගැන වැඩි වැටහීමක් නැහැ. මාතලන්ගේ සින්ඩිය කරන සහෝදරයන්ගෙන් මට හිතෙනවා ඔබට බොහෝ තොරතුරු ගත හැකි වේවි.

    http://maathalangesindiya.blogspot.com/

    ReplyDelete