Monday, 16 August 2021

විචාරයක් නැති සමාජයක අවසානය


වසර දහයකට පමණ පෙර ගාල්ලේ වදුරඹ පැත්තේ අනුගාමිකයන් පිරිවරාගෙන සිටි පුද්ගලයෙක් තමා මෛත්‍රී බෝසතාණන් ලෙස තමන් විසින්ම නම් කරගත්තේය. අනුගාමිකයන්ද එය දොහොත්  මුදුන් දී පිළිගත්තේය. මේ ආකාරයටම තමන් බුදුවරුන්, රහතුන්, දෙවිවරුන්, සාධුවරුන්, මෑණිවරුන්, රජවරුන් ලෙස හඳුන්වා ගන්නා පුද්ගලයන් ලංකාවේ වරින් වර මතුවීම අසාමාන්‍ය සිදුවීමක් නොවේ. කල් ගතවන විට මොවුන් එක්කෝ මානසික ආබාධ වලින් පෙලෙන්නන් හෝ තදබල වංචාකාරයන් බව සොයා ගන්නන්ට ලැබුණි.

ජීවත්ව සිටින තවත් පුද්ගලයෙකුගේ අනුකාරකයක් (impersonation) නොවී ඕනෑම පුද්ගලයෙක්ට තමා අසවලා යයි කීමට අයිතියක් ඇත. එහි විශාල වරදක් මම නොදකිමි. එහෙත් අවාසනාව නම් මෙවැනි උම්මත්තකයන් හෝ වංචාකාරයන් පිටුපස මෙලෝ වග විචාරයක් නොමැතිව දුවන සැලකියයුතු ජන කොටසක් රටේ ජීවත්වීමයි. මේ අතරට පහල තලවල මෙන්ම ඉහලම තලවල අධ්‍යාපනය ලැබූවන්ද ඇතුලත් වෙයි. සමහර ලාංකිකයන් රට හැර ගියද ඔවුන්ගේ මේ අවිචාරවත් ගති පැවතුම් දුරුවන්නේ නැත. මේ ආකාරයට, බුදුවරුන්ට, දෙවිවරුන්ට, රජවරුන්ට රැවටෙන උදවියම තක්කඩි දේශපාලකයන්ට, හොර වෙදුන්ට, සාස්තර කාරයන්ට රැවටීමත් අපි නිරන්තරයෙන් දකිමු.   

මෙසේ රැවටෙන පුද්ගලයන්ගේ රැවටීමේ සීමාවක් නැත. අද තමන් පසු පස දිවූ මහා බෝසතාණෝ හෙට අපරාධකාරයෙකු බව තහවුරු වී නිතිය හමුවේ දණ්ඩනයට පත් වූ විට ඔවුන් තවත් බුදුවරයෙකු හෝ දෙවිකෙනෙකු සොයා ගනී. ධම්මික පෙදරේරු මහතා මේ මෑත කාලයකදී උපයෝගී කරගත්තේද බහුතරයක් ජනතාවගේ මේ මුග්ධ ගතිගුණයයි. 

මේ පිළිබඳව මා සමාජ විද්‍යා විෂය හා සම්බන්ධ මහාචාර්යවරුන්  කිහිප දෙනෙකු සමග සාකච්චා කලෙමි.  ඔවුන්ගේ අදහස වුයේ සමාජයේ සිටින තමන්ට යම් යම් දේ අහිමි වූ හෝ මානසිකව බෙලහීන වූ කොටස් බොහෝ විට මේ උම්මත්තකයන්ට හෝ රැවටිලිකාරයන්ට හසුවන බවයි. නිසි අධ්‍යාපනයක් නොලැබීම, නිසි රැකියාවක් හෝ මුදල් ඉපයුම් මාර්ගයක් නොමැතිවීම, ඉච්චාභංගත්වය, සෞඛ්‍ය සම්බන්ධ ගැටළු තිබීම, දරුවන් නොමැති වීම, පවුල් අවුල්, සමාජයේ කැපී පෙනීමට ඇති ආශාව, අසීමිත අපේක්ෂා ආදී කරුණු රාශියක් මීට බලපෑ හැකිය. 

ඕනෑම සමාජ සංස්ථාවක (නොදියුණු මෙන්ම දියුණු රටවලද) මේ ආකාරයේ මානසික පිරිහීමකට භාජනය වූ පිරිසක් සිටීම සුලබය. දක්ෂ වංචාකාරයන් ඉතා පහසුවෙන් මේ කොටස් හඳුනාගෙන තම ගොඳුරු බවට පත්කරගැනීම ඉන්දියාව, අප්‍රිකාවේ බොහෝ රටවල මෙන්ම ලංකාවේද නිතර නිරීක්ෂණය කල හැක. ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, යුරෝපය වැනි කලාපවලද මොවුන් නැතුවාම නොවේ.

සමාජයේ බහුතරයක් මේ ලෙස අවිචාරවත් ගමනක යෑම බොහෝ විට කෙලවර වන්නේ සමස්ථයක් ලෙස සමාජය විසින් ඉතා වැරදි දේශපාලනික හෝ සාමාජික තීන්දු තීරණ ගැනීමෙනි.

මේ තත්වය වලක්වා ගත හැක්කේ කෙසේද? ඒ සඳහා නව පර්යේෂණ මාලාවක් ඇරඹිය යුතු බව මා සමග සකච්චා කල වියතුන් සඳහන් කලේය.



    


4 comments:

  1. රැවටෙන්නට උපන් දැයකම උපන් පව
    දිගටම ගෙවන්නට තියෙනව නෙව සිදුව
    රවටන්නෝ අල්ලති නිල කැත නැතිව
    පොරජාතන්තරේ වළලනවා අපව!

    ReplyDelete
    Replies
    1. උචිත පද ගැලපුමක්.

      Delete
  2. අමුතු දේ තමයි අපි පොඩි කාලෙට වඩා ඒ අවිචාරවත්බව දැන් වැඩියි. සමාජ මාධ්‍ය හා තොරතුරු තාක්ෂනයෙන් නිසාද දන්නෙ නෑ. මිත්‍යා විශ්වාස උගත් යයි සලකන වෘත්තික්යන් අතරත් හුඟක් වැඩියි , සමහරවිට ඉගනීම වයිඩ් ස්ප්‍රෙඩ් නිසා ඉස්සරට වඩා විවිධ මට්ටමේ අය ඉන්න නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. රූපවාහිනිය සහ විද්‍යුත් සමාජ මාධ්‍ය පසුගිය දස වසර තුල මේ තත්වය විසි තිස් ගුණයකින් වැඩි කළේය. මෙම මාධ්‍ය නොතිබූ අවධියේ පුවත්පත් සහ කටකතා මගින් මෙවැනි චරිත උත්කර්ෂයට නැංවීය. අවාසනාව නම් සමාජයේ උගත් සහ උසස් යයි සම්මත කිහිප දෙනෙක් මේ පුද්ගලයන් පසු පස යාමත්, එම කාරණය එම පුද්ගලයන් උලුප්පා පෙන්වීම නිසා තව තවත් ජනතාව ඒ කරා ගලා යාමත්ය. මා කුඩාකල පුද්ගලයන් කිහිප දෙනෙක් අර තුමා මේ තුමා නමින් පෙනී සිටියේය. ඔවුන් පසු පස ගිය අපේ නෑදෑ හිත මිතුරන්ගේ කටේ නිතරම තිබුනේ අර ආමි කැප්ටන්, මේ මහාචාර්යතුමා, අර ලෝයර්, මේ ඉංජිනේරුවා ආදීන් තුමා ලඟට යන බවත් තුමාට අච්චර මෙච්චර ධන පරිත්‍යාග කල බවත්ය.

      Delete