Thursday, 16 September 2021

මන්නාරමේ තෙල්


මන්නාරමේ තෙල් කතාව 1967-68 තරම් ඈත කාලයකට ඇදී යයි. එවකට පැවති ධනවාදී කඳවුරට බරවූ එජාප රජය ප්‍රංශ සමාගමක් වූ CGG ආයතනය හරහා මේ පිළිබඳව දත්ත ලබා ගැනීමට යුහුසුලුවිය. ඉන්පසු පැමිණි සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ රජය මේ කටයුතු සෝවියට් සමාගමකට බාර කළේය. වසර කිහිපයක් පේසාලෙයි ප්‍රදේශයේ කැනීම් සහ විමර්ශන කටයුතු කල මෙම සමගම එය නිෂ්ඵල ක්‍රියාන්විතයක් බව නිගමනය කර අත්හැර දමන ලදී. එම රජය ඔවුන්ගේ අවසන් කාලයේ  නැවතත් යුරෝපීය සමාගම් හරහා මෙම තෙල් ගවේෂණයට අත ගැසූ මුත් එයද නිෂ්ඵල විය. 

ඉන්පසු පැමිණි සෑම රජයක් යටතේම පාහේ විටින් විට මන්නාරමේ තෙල් හිස ඔසවා පසුව කාටත් රහසේ සැඟව ගියේය. 2008න් පමණ පසු මන්නාරමේ තෙල් සහ මැතිවරණ අතර ඉතා කිට්ටු සබඳතාවයක් ඇතිවූ අතර එම තෙල් නිධි පිළිබඳව කතාවක් ඇතිවූ වහාම "ආ!  චන්දයක් ලඟද?" යයි අසන තරමට ජනතවට මෙය විහිළුවක් විය. 

මෙම මන්නාරමේ තෙල් අතීතය පිළිබඳව පුවත්පත් වාර්තා පිරික්සීමේදී  මට පෙනී යන කාරණා කිහිපයකි.

ඉන් පළමුවැන්න නම් යම් යම් කාල වකවානු වල ලොව බලවතුන් ඉන්දියාව ආසන්නයේ තම ආධිපත්‍ය ස්ථාපිත කරගැනීම සඳහා මන්නාරමේ තෙල් නිධි වෘතාන්තය භාවිතා කර ඇති බවයි.

දෙවැන්න මේ බලවතුන්ගේ අභිලාෂයන් ඉටු කරගැනීමට ශ්‍රී ලංකා රජය නිකරුනේ විශාල මුදලක් වැය කර ඇති බවයි. 

තෙවැන්න, ලංකාවේ ආණ්ඩුව තමන්ගේ ගිලිහෙන ප්‍රතිරූපය රැකගැනීම සඳහා මන්නාරමේ තෙල් නිධි කතාව නිරන්තරයෙන් උපයෝගී කරගෙන ඇති බවයි. කිහිප විටෙකම රාජ්‍ය නායකයා ජාතිය අමතා මන්නාරමේ තෙල්වලින් ජාතිය ගොඩ නගන බවට වහසි බස් දොඩා ඇත.

මේ ලිපිය මා ලියන්න සිතුවේ ඉහත පසුබිමට අදාළ රසවත් කතාවක් කීමටය.

ඒ 1998 පමණ වන්නට ඇත. මා ස්වීඩනයේ උප්සලා සරසවියේ අකුණු ආරක්ෂණය පිළිබඳව පර්යේෂණ කටයුතුවල යෙදී සිටි කාලයයි. දිනක් උදෑසන අප ආයතනයේ කෝපි කාමරයේ (coffee room) සුහඳ කතා බහක යෙදී සිටින අතර අසල මේසයක තිබු පත්‍රිකාවක් වෙත මගේ නෙත් ඇදී ගියේය. ඊට හේතුව එහි ලංකාවේ සිතියමක් තිබූ නිසාය.

මට මතක විදියට එය North Sea Exploration නම් ප්‍රවෘති පත්‍රිකාවකි (newsletter). මාස කිහිපයකට වරක් මෙය අපගේ ආයතනයට ලැබෙන නමුත් මම කිසිදාක එයට අවධානය යොමු කර තිබුණේ නැත. එහි අවසන් පිටුවේ කුඩා සටහනක සඳහන් වුයේ ලංකාවේ වෙරළෙන් ඔබ්බෙහි වූ තෙල් නිධි (offshore oil) පිළිබඳව නෝර්වේජියානු සමාගමක් දත්ත ලබාගෙන ඇති බවයි. එහි වූ කුඩා සිතියමේ මෙම තෙල් නිධිය පවතින ප්‍රදේශය පිළිබඳව  අනුමානයන් රතු පැහැයෙන් ලකුණු කර තිබුණි. එය දුටු විට මට එකවරම හැඟී ගියේ එවකට කොටි සංවිධානය ඊළම නමින් ලකුණු කරගෙන සිටින ගොඩබිම් ප්‍රදේශය සහ මෙම තෙල් නිධි පවතින බවට අනුමාන කරන මුහුදේ ස්ථාන අතර කදිම ගැලපීමක් ඇති බවයි. 

ඊට කලකට පසු එම පත්‍රිකාවේ තවත් වෙළුමක සඳහන් වුයේ ලංකාව අවට මුහුදේ තෙල් නිධි ගවේෂණයට ශ්‍රී ලංකා රජය විසින් නොර්වේ සමාගමක් තෝරාගෙන ඇති බවයි. 

1999 දී මා මගේ පර්යේෂණ කටයුතු අවසන් කර ලංකාවට පැමිණි අතර මේ තෙල් කතාව මගේ මතකයෙන් ඈත් විය. 

නැවතත් මට මේ සිද්ධිය මතක්වන්නේ ලංකාවේ මාධ්‍යවල නොර්වේ රජය එරික් සෝල්හයිම් හරහා යුද්ධය සම්බන්ධයෙන් පහසුකම් සපයන්නා ලෙස ඉටු කරන කාර්යභාරය පිළිබඳව නිතරම අසන්න වූ විටයි. ලංකාවට කිසිම සම්බන්ධයක් නැති ලොව එහා කෙලවරේ පිහිටි රටක් ලංකාවේ දේශපාලන කටයුතු පිළිබඳව දක්වන උනන්දුව පිළිබඳව යම් වැටහීමක් ඇති කරගැනීමට මට මේ සමගම හැකියාවක් ලැබුණි. 

වසර 2007 දී පමණ මට ඉන්ධන සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයන් කිහිප දෙනෙකු සමග මේ පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාවක් උදා විය. එහිදී ඔවුන් සියලු දෙනාගේ අදහස පහත දැක්වෙන පරිදි විය. 

"ඔබලාගේ රට අවට තෙල් නිධි ඇති බව සැබෑවක්. එහෙත් ඒවා වානිජමය අගයක් (commercial value) සහිතව ලබා ගැනීමට තෙල් බැරලයක මිළ තව විසි තිස් ගුණයකින් වැඩිවිය යුතුයි. ඊට පෙර ලෝකයේ වෙනත් බලශක්තියක් ඛනිජ තෙල් අභිබවා යනු ඇත".

ඊට ටික කාලෙකට පසු නොර්වේ රජය ලංකාවේ සාම සාධක කටයුතුවලින් ක්‍රමයෙන් ඉවත් වූ අතර එරික් සෝල්හයිම් මහතා පමණක් යම් කාරණාවක් හේතුවෙන් දිගටම මෙම අත පෙවීම්වල නිරත වූ බව පෙනුනි. 

.................................................................

මාගේ පුවත්පත් නිරීක්ෂණයන්ට අනුව 60 දශකයේ සිට මේ දක්වා එකොලොස් වතාවක් මන්නාරමේ තෙල් නිධි වෘතාන්තය පුවත් සිරස්තලයක් බවට පත්වී ඇත. ඒ සෑම වාරයකම පාහේ කතාව කෙලවර වන්නේ රජය විශාල මුදලක් වියදම් කරගෙන මාධ්‍ය නාඩගමක් රඟපෑමෙනි. මෙවරද මට එහි විශේෂයක් නොපෙනේ. 

කෙසේ නමුත් නුදුරු අනාගතයේදී මේ දේශපාලන විගඩම්වලින් ඔබ්බට ගොස් ලංකාවට අයත් මුහුදු තිරයේ තෙල් ලබා ගැනීමට ඇති  සක්‍යතාවය අධ්‍යනය කරනවා නම් එය සියළු ලාංකිකයන්ගේ හිත සුව පිණිස වනු ඇත. 

      


11 comments:

  1. මට චන්දිමගෙ මේ සටහන දැක්කහමයි මතක් උනේ පේෂාලේ තෙල් සම්බන්ධයෙන් සින්දුවකුත් තිබුනා. මන්හිතන්නෙ ඒ ඩඩ්ලි සේනානායක මහතාගෙ ආන්ඩුවෙ අගකාලෙ හරි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආන්ඩුවෙ මුලකාලෙ.
    අපි රැවටෙන්නෙ කොච්චර කල් ඉදන්ද?

    ReplyDelete
    Replies
    1. " හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනවා. මහන්සියට කවි සීපද සින්දු කියනවා හෙමින් හෙමින් හපුතලේ කන්දනඟිනවා. "


      " පේසාලෙන් තෙල් උනලා අපේ රටේ වාහන වැඩ පලක් තැනෙනවා. පේසාලේ තෙල් ගහලා අපේ කොල්ලො රූංගාලා එහෙ මෙහෙ යනවා. හා යමං පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද නඟිනවා. "

      http://ranrandil.blogspot.com/2014/07/269-15-g.html

      Delete
    2. මේක ආවේ සිරිමා රජ⁣ය කාලේ. සිංදුව විතරක් නෙවෙයි, පොළවට හයි කරපු බටයක් අසල තෙල් ටිකක් පිරවූ බෝතලයක් තියෙන පින්තූරයකුත් පත්තරේ මුල් පිටේ තිබුණා. පේසාලෙන් තෙල් එනවා කියනෙක ප්රචතලිත කියමනක් වුනා එක රැයින්.
      සිංදුව කිව්වේ බැද්දගේ.... ගුවන් විදුලියේ නොයරදවා දවසකට සැරයක්වත් ඇහුණා.

      Delete
    3. මේක ආවේ සිරිමා රජ⁣ය කාලේ. සිංදුව විතරක් නෙවෙයි, පොළවට හයි කරපු බටයක් අසල තෙල් ටිකක් පිරවූ බෝතලයක් තියෙන පින්තූරයකුත් පත්තරේ මුල් පිටේ තිබුණා. පේසාලෙන් තෙල් එනවා කියනෙක ප්රචතලිත කියමනක් වුනා එක රැයින්.
      සිංදුව කිව්වේ බැද්දගේ.... ගුවන් විදුලියේ නොයරදවා දවසකට සැරයක්වත් ඇහුණා.

      Delete
    4. ඒ කථාව බොරුවක් බව දැනගත් පසු ඒ ගීතයත් එහෙමම අභාවප්‍රාප්ථ උනා!

      Delete
  2. මට මතක විදියට නෝර්වේ මුලින්ම සාම සාක්ච්ඡා සඳහා පහසුකම් සපයන්නා ලෙස ආවේ 1999/2000 චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව කාලේ..ඒ ටයිම් ලයින් එක ඔබ උප්සලා හිදි දැකපු පුවතේ ටයිම් ලයින් එකත් එක්ක මනාව ගැලපෙනවා

    ReplyDelete
  3. අපේ දුක් ගී ඇහිලා හැඬු ලක් මවගේ හදවතේ අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා,
    ඒ උණු ලේ කඳුළු වෙලා ගැලූ කඳුළු එකතු වෙලා තෙල් හැදිලා පෙසාලෙන් ගොඩට ඇදෙනවා.


    "ඊට පෙර ලෝකයේ වෙනත් බලශක්තියක් ඛනිජ තෙල් අභිබවා යනු ඇත" ය යන්න ගැන විශ්වාසයක් නැතත්, "ඔබලාගේ රට අවට තෙල් නිධි ඇති බව සැබෑවක්. එහෙත් ඒවා වානිජමය අගයක් සහිතව ලබා ගැනීමට තෙල් බැරලයක මිළ තව විසි තිස් ගුණයකින් වැඩිවිය යුතුයි." යන්න තරමක සත්‍යයක්.

    තෙල් නිස්සාරණය කිරීමේ ක්‍රමවේද දිනෙන් දින දියුණු වන අතර ඒවායේ මිල අඩු වීමත් නිරන්තරයෙන් සිදු වේ. පහසුවෙන් අඩු වියදමෙන් නිස්සාරණය කර ගත හැකි තෙල් නිධි අවසන් වී යාම ඊට වඩා වේගයෙන් සිදු වේ. මේ සියල්ලේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් වශයෙන් අනාගතයේ දිනෙක මන්නාරමේ තෙල් වලින් ලංකාවේ සැදූ වාහන හපුතලේ කන්ද නැගීම අරුමයක් නොවුණත් ඒ හේතුවෙන් මේ රටේ සියල්ලන්ට සුවර්ග රාජ්‍යය පහළ වන්නේ යැයි මා නම් නොසිතමි. ලංකාවේ ආණ්ඩු වරින්වර මහජනතාවට විකුණන්නේ මේ අනාගතයේ පහළ වන්නේ යැයි කියන කේතුමතී රාජධානියයි (ඒ මිස තෙල නොවේ).

    මන්නාරමේ තෙලට වඩා වැඩි බලපෑමක් වරාය නගරයෙන් සිදු වෙතැයි මගේ අදහසයි.

    ReplyDelete
  4. එරික් සෝල්හයිම් තවමත් ඉන්දියාවේ රැදී සිටිමින්, සබ් කොන්ටිනට් එකේ පරිසරය රැකීම ගැන උනන්දුවෙන් පසුවෙනවා.
    ඔහු නොර්වේ රජයේ උවමනාවට ලංකාවේ සිටියා විය හැකි වුනත් 2020දී DailyMirror පුවත්පත සමග ඔවු කරපු සම්මුඛ සාකච්චාවෙන් ඔහුට ලංකාව ගැන යම් කැක්කුමක් තිබුනා කියලා හිතෙනවා.

    https://www.youtube.com/watch?v=ja22g78BTVU&t=1s

    EUවල රටවල් 10ක් 2030වනවිට පොසිල ඉන්ධන බාවිවන නව වාහන නතර කිරීමත්, ලෝකයේ විශාලතම වාහන නිපැයුම්කරුවන ජපානය 2030 සිට 2050 දක්වා කාලයෙදී පොසිල ඉන්ධන බාවිතාවන වාහන සම්පුරණයෙන්ම බාවිතය නතර කිරීමතට සැලසුම් කර අවසානයි. එවන් වටපිටාවක් තුල ලංකාවේ තෙල් තවත් ලාංකිය සිහිනයක් කියලා හිතෙනවා.

    ReplyDelete
  5. අද යුගයේ අවශ්‍යතාවය ටයිටේනියම්

    ඔන්න ටයිටේනියම් නිධියක් හොයාගන්න හොඳ කාලය ඇවිත්

    ReplyDelete