හෝරාවේ තේමාව මේ වසරින් අවසන් කල යුතු බව මට සිතෙයි.
පසුගිය සති කිහිපය තුල දුටු සිදුවීම්, ඊට දේශපාලකයා මෙන්ම ජනතාවද දක්වන ප්‍රතිචාර අප ඉතා විමසිල්ලෙන් විශ්ලේෂණය කල යුතුව ඇත. ලංකාවේ ඉදිරියට යන දේශපාලන පක්ෂයකට මේ ප්‍රතිචාර පෙන්වන යතාර්ථය තේරුම් නොගෙන ගිය හැකි දුර සීමිතය.
මහා බැංකු අධිපති හෙළිකිරීමට නොහැකි මූලාශ්‍රයකින් විදේශ වත්කම් වැඩි වුවා කියන විට ඒ පිළිබඳව ඔල්වරසන් දෙමින් පෝස්ට් පළකරන්නේ, දුරස්ථ සංවාදවලදී උජාරුවෙන් කතා කරන්නේ රටේ නුගත් ජනතාව නොවේ. ඒ බොහෝ දෙනෙක් උසස් යැයි සම්මත රැකියා කරන උදවියයි. රටක මහා බැංකු අධිපතිවරයෙකුට මෙවැනි ප්‍රකාශයක් කිරීමට කිසිඳු අයිතියක් නොමැති බව බහුතරයක් ජනතාව නොදන්නා බවක් මට හැඟේ. එය තනිකරම මාෆියා සංවිධානයක නායකයෙකුගේ ප්‍රතිචාරයකි. යුරෝපය, උතුරු ඇමරිකාව පසෙකින් තබන්න. දකුණු අප්‍රිකාවේ මේ සිද්ධිය වුවා නම් පසුදා මහා බැංකුවේ අධිපති සිරගෙදරය.
මේ මුදල් ලැබෙන්නේ රටේ නිෂ්පාදනයක් අලෙවි කිරීමෙන් නොවන බව ඉතා පැහැදිලිය. එක්කෝ එය ගිනි පොලියට ලැබෙන ණයකි. නැත්නම් රටේ සම්පතක් විකුණා ලැබෙන ධනයකි. නොඑසේ නම් එය ජාවාරම්කරුවකුගේ කළු මුදලකි. මේ කුමන ආකාරයෙන් වුවත් එය උදම් ඇනීමට කරුණක් නොවෙයි.
මීට අමතරව, කිරිපිටි, ඉන්ධන, ගෑස්, ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍ය වල මිළ අහස උසට වැඩි වන විට ඒවා සාධාරණීකරණය කරන්න මේ "උගත්" පිරිස් ගන්නා හාස්‍යජනක උත්සාහයන් ඇත්තටම උපදවන්නේ හාස්‍ය නොව සංවේගයකි. තව ටික දිනකින් බත් කෑම දියවැඩියාවට නුසුදුසු බව මේ උදවියම කියනු ඇත.
බොහෝ දියුණු රටවල රාජ්‍ය නායකයන්ට කිසිවකුගෙන් ලබා ගත හැකි පෞද්ගලික පරිත්‍යාගයක් සඳහා සීමාවක් ඇත. බ්‍රිතාන්‍ය අගමැතිට නම් එය ස්ටර්ලින් පවුම් 140 කි. ලංකාව ඌන සංවර්ධිත රටක් බැවින් එහි මෙලෙස සීමාවක් ඇත්දැයි මම නොදනිමි. තිබුණත් ලංකාවේ දේශපාලකයාටවත් ඔවුන් පසු පස යන පිරිසටවත් එහි වගක් නැත. ඔවුන්ට මොන දේත් සාධාරණීකරණය කිරීමට හේතු ඇත. මේ තත්වය ඛේදජනකය.
ජවිපෙ තම ගැලවුම්කරුවා බවට ජනතාව තුල සංකල්පයක් බිහිවෙමින් පවතිනුයේ මෙවන් වාතාවරණයකදීය. ජනහදට ආමන්ත්‍රණය කිරීමේදී ජවිපෙ සහ රනිල් වික්‍රමසිංහ අතර වැඩි වෙනසක් මම නොදකිමි. ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් දෙපැත්තක සිටියත්, ඉහත මා සඳහන් කල බහුතර ලාංකිකගේ මානසිකත්වය වටහා ගැනීමේ හැකියාව අතින් ඔවුන් දෙපසම එකම ආකාරයේ දුර්වලකම් පෙන්වා ඇත.
වසර දහස් ගණනක් හුරු වූ රාජත්වයෙන් තැලුම් කෑමේ ලාංකික මානසිකත්වය සුද්දාටවත් ප්‍රජාතන්ත්‍රවාදයටවත් යටපත් කිරීමට හැකිවී නැත. එය ඔවුන් තුල ජානගතව පවතී. වෛද්‍ය, ඉංජිනේරු, විධායක, ආචාර්ය, මහාචාර්ය ආදී පදවි තානාන්තර වලින්වත් මේ මානසිකත්වය දුරු කල නොහැකි බව සමාජ ජාලා තුලින් පවා දැක ගත හැක.
"සමාජවාදියා" පිළිබඳව බහුතරයක් ලාංකික ජනතාව තුල ඇත්තේ පැහැදීමක් නොවේ. එය සාධාරණ-අසාධාරණ කරුණු රාශියක් මත පදනම් වේ. බොහෝ සමාජවාදී ව්‍යුහයන් කඩාගෙන වැටීම තුලද මේ අපැහැදීම සාධාරණීකරණය විය. ලංකාවේ සරසවි පද්ධතිය තුල සිප් හැදෑරු බහුතරයකටද ඇත්තේ සමාජවාදියා, විශේෂයෙන්ම ජේවීපීකාරය, පිළිබඳව ප්‍රසන්න හැඟීමක් නොවේ. මේ පිළිබඳව ජවිපෙ පුළුල්ව සිතා, තම රාමුව වෙනස් කරගත යුතුය. ඔවුන් මේ සම්බන්ධයෙන් දැනටත් යම් යම් පියවර ගෙන ඇති බව පෙනෙයි. එහෙත් ඒවා තව දුරටත් පුළුල් කල යුතුව ඇත.
සමාජයේ අති බහුතරයකට ආර්ථික-විදේශ-දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව දැනගැනීමට අවශ්‍යතාවයක් නැත. දේශපාලන මාර්ග සිතියම් හෝ මාර්ගෝපදේශ පිළිබඳව අසාවත් නැත. ඒ ගැන දැනගැනීමට වුවමනාවක්ද නැත. ඔවුන් බොහෝ විට කරන්නේ දැන-උගත් අය ලෙස ඔවුන් විසින්ම ලේබල් ගත කල අතලොස්සක් කියන දේ පිළිගැනීමයි. මේ තත්වය වෙනස් කිරීමට දශක කිහිපයක් ගතවනු ඇත. එබැවින් හැකි සෑම අයුරකින්ම මෙම අතලොස්ස "බුද්ධිමත්" කිරීම ජවිපෙ සහ ඊට අනුගත කේඩරයේ මූලික කර්තව්‍යයක් විය යුතුය.
ඉහත සඳහන් කල අතලොස්සට ජවිපෙන් ඇසීමට බොහෝ දේ ඇත. ඒ අතර වියත්-අවියත් කරුණු කාරණා තිබිය හැක. නමුත් ඒ සැමටම ජවිපෙ විනිවිද පෙනෙන පිළිතුරු ලබා දිය යුතුය.
"ජවිපෙ අතින් 88/89 කාලයදී සිදුවූ අපරාද පිළිබඳව ඔබේ මතය කුමක්ද?" ජවිපෙන් ජනතාව සදාතනිකව අසනා පැනය මෙයයි. මෑතකදී පැවති සාකච්චාවකදී ලාල් කාන්ත මහතා මීට දුන් පිළිතුර මම ඉහලින් අගය කරමි.
අපි ඕනෑම දෙයක හොඳ-නරක විමසිය යුත්තේ එය සිදුවන රාමුවට සාපේක්ෂවය. යුද්ධයකදී සාමකාමී සිවිල් සමාජයක සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවේ. උදාහරණයක් ලෙස මනුෂ්‍ය ඝාතනයන්ට සහ විනාශ කිරීම්වලට පදක්කම්, ඇගයීම් සමග උසස්වීම් ලැබේ. මේ අනුව සිවිල් යුධ සමයකදී අප ඒ රාමුව තුල සිට එහි හොඳ නරක සෙවිය යුතුය. එම රාමුවෙන් පිටත වූ සමාජ-කාල අවකාශයකදී අදහස් දක්වන විට සිදු නොවිය යුතුදේ සිදුවූ බවත් එය අනාගතයේ නැවත සිදු නොවිය යුතු බවත් පිළිගෙන ප්‍රසිද්ධියේ ප්‍රකශ කල යුතුය. ලාල් කාන්තා මහතා සිදුකලේ එයයි. එතුලින් එබඳු සිදුවීම් නැවත නොවන්නට ජවිපෙ වගබලාගන්නා බවට මහජනතාව තුල විශ්වාසයක් ගොඩ නැගේ. නෙල්සන් මැන්ඩෙලා පවා යම් කාලයකදී අද සමාජයේ මිනුම් දඬු වලින් ඉතා දරුණු ඝනයේ වූ අපරාද සිදුකර ඇත. මේ අදහස මීට පෙරද ජවිපෙ නායකයන් යම් යම් ආකාරයෙන් පලකලත් මෙතරම් පැහැදිලිව සහ ඍජුව එය පැවසූ අවස්ථාවක් මා අසා නැත.
ජවිපෙට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කිරීමට හෝ ආර්ථික මාර්ග සිතියම් සකස්කර ක්‍රියාත්මක කිරීමට තරම් හැකියාව ඇති නායකත්වයක් නැති බවට ඇතැමුන් තර්ක කරයි. මෙය හරයක් නොමැති හිස් කතාවක් බව මගේ හැඟීමයි. රටක මූලික අංශ පිළිබඳව ප්‍රතිපත්ති නිර්මාණය කිරීම හෝ ක්‍රියාත්මක කරවීම සඳහා පක්ෂ නායකයන්ට දැනුමක් තිබිය යුතුයයි මම නොසිතමි. ඔවුන්ට හැකියාව තිබිය යුත්තේ යමක් කල හැකි නියම පුද්ගලයන් නිවැරදිව හඳුනාගැනීමටයි. දැනට පවතින රජයේ නායකයන්ට නැත්තේද එම හැකියාවයි. මේ වන විටත් ජවිපෙ වටා මේ දැනුම, බුද්ධිය සහ හැකියාව ඇති පුද්ගලයන් ගණනාවක් එකතුවෙමින් සිටින බව පෙනෙයි. රාජ්‍ය පාලනය බාරගන්නා කණ්ඩායමට යම් යම් ක්‍ෂේත්‍රයන්හි බුද්ධිමය හිදැස් ඇත්නම් සහ ඒවා පිරවීමට වුවමනාවක් ඇත්නම්, ඒ සඳහා දායකත්වය ලබාදීම පුරවැසියාගේ යුතුකමකි.
කෙසේ නමුත් ජවිපෙ සාමාන්‍ය ජනතාවට පත්‍ය වූ පැහැදිලි වැඩ පිළිවෙලක් ජනගත කල යුතුව ඇත. ඒ උදෙසා නැගෙන ගැටළු වාද-විවාද වලට ඍජුව පිළිතුරු දීමද ඔවුන්ගේ යුතුකම වී ඇත. උදාහරණයක් ලෙස 'පෞද්ගලික සරසවි පිළිබඳව ජවිපෙ මතය කුමක්ද?" යන්න මට සැමදා පවතින ගැටළුවකි.
මේ සියළු කරුණු සම්පිණ්ඩනය කළහොත් මට කෙටියෙන් කිව හැක්කේ "ජවිපෙ, ජවිපෙන් මිදී ඉදිරියට යා යුතු බවයි". මා සිතන ආකාරයට ඉදිරියට යා යුත්තේ ජවිපෙ නොව ජාතික ජන බලවේගයයි. බොහෝ දෙනෙකුට එය තවමත් පෙනෙන්නේ ජවිපෙ කැටයමට උඩින් ගැසූ ස්ටිකරයක් ලෙස පමණි. කොයි මොහොතේ හෝ ස්ටිකරය ගැලවී යාමට ඉඩ ඇතැයි මට වුවද සිතෙන වාර ඇත. මේ නිසා එය මහජනතාවට දැනෙන තරමට ජවිපෙන් ඈත් කල යුතුය. එවිට ජාජබ යනු බොහෝ දෙනෙකුට පාද නොපිලිස්සී ගොඩ විය හැකි වේදිකාවක් වනු ඇත.