වසර 2019 ජනාධිපතිවරණය දෙස මා බලන්නේ ඉතා සුබවාදීවය. තව වසර දහයකින් ආපසු හැරී බලන ඔබට මා කියන දෙය වැටහෙනු ඇත.
මෙම මැතිවරණයට බහුතරයක් ජනතාව පියනැගුවේ දැඩි ජාතිවාදී ස්ථාවරයක සිටගෙනය. ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ගේ එකම දියසෙන් කුමරා විය. ගෝඨාභය ඇතුළු සියලු රාජපක්ෂවරු මෙන්ම ඔවුන් වටා එකතු වූ වාසුදේව-දිනේෂ් හැර අන් සියළුම කථිකයන් තුලද තිබුණේ එක් මූලික චේතනාවක් බව මම සිතමි. එනම් තමන් මත පැටවී තිබූ නඩු හබ වලින් මිදීමයි. ආණ්ඩුව පිහිටවීමත් සමග ලැබෙන නිල-බල-අයථා ධනය දෙවන කාරණය වන්න ඇත. වර්තමානය වන විට මේ දේශපාළුවෝ ඒ බව සනාථ කර ඇත. මේ අවස්ථාව නොලැබුණා නම් ඔවුන් තවමත් ජනතාව අතර වීරයන්ය.
එජාප-සජබ-පොහොට්ටු-ජාතිය මත බෙදුණු බොහෝ කුඩා පක්ෂ මෙතෙක් කලේ තනිකරම ඩීල් දේශපාලනයක් බව යම් පමණක හෝ බුද්ධි මට්ටමක් ඇති සැමටම දැන් වැටහී තිබිය යුතුය. මේ ඩීල් දේශපාලනය නොවන්න 2018 වන විට පොහොට්ටුවේ බොහෝ දේශපාලකයන් සිටිය යුත්තේ සිපිරි ගෙදරය. එසේම අද වන විට යූඑන්පී - සජබ වැඩි හරියක්ද ඔවුන් සමග එකට සිරබත් කෑ යුතුය. නමුත් අවසානයේ සිර ගෙදර සිටින්නේ මේ දෙකටම අයත් නොවූ කටට තිරිංග නැතිව දෙපැත්තේම සොරකම් ගැන දෙඩවූ රංජන් රාමනායකය. ඔහුට අඩු වුයේද බුද්ධියයි.
ජනතා විමුක්ති පෙරමුණට මහජනතාවට සමීප විය යුතු ආකාරය පිළිබඳව එවකට හරි වැටහීමක් නොතිබුණු බව මට සිතෙයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය මා දන්නා හඳුනන බොහෝ දෙනෙකු දැන සිටියේද නැත. එසේම ඔවුන්ට තමා පිළිබඳව යම් අධි තක්සේරුවක් තිබූ බවත් මට සිතෙයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කරන විට මට ඔවුන්ගේ අරමුණු පිළිබඳව පැහැදීමක් ඇතිවෙයි. එය 2019 දී මට තිබුනේ නැත. ඒ එවකට ඔවුන්ට ජන හද හඳුනා ගත නොහැකි වූ නිසා යයි මම සිතමි.
නාගානන්ද කොඩිතුවක්කු, ගාමිණි විජේසිංහ, මහේෂ් සේනානායක, කොලොන්නේ වැනි පුද්ගල චරිත ප්‍රධාන පක්ෂ වලින් ස්වායත්තව නැගී ආහ. මා සිතනා ආකාරයට මේ පිරිස රට හැදීමේ යම් අවංක චේතනාවකින් ඉදිරියට පැමිණි අයයි. ප්‍රයෝගිකත්වය පිළිබඳව යම් ගැටළු පැවතුනත් ඔවුන් ඉදිරිපත් කල බොහෝ කරුණු ඉතාමත්ම සාධනීය විය. නමුත් මේ සෑම කෙනෙකු තුලම තමා පිළිබඳව අධි තක්සේරුවක් වූ බව මට සිතෙයි. ඔවුන් වටා එකතු වූ, විශේෂයෙන්ම විදේශගත ලාංකියයන්, මේ චරිත අනිසි ලෙස මානසිකව ඔසවා තබා නොමග යැව්වාදැයි මට විටෙක සිතෙයි. කෙසේ නමුත් ඔවුන් විසින් නව සමාජ පරිවර්තනයක් සිදු කල බව නම් අප අවිවාදයෙන් පිළිගත යුතුය. ඔවුන් ජනතාවට දුන් ගැම්ම අපතේ නොගිය බව මගේ විශ්වාසයයි.
මෙතැන් සිට අපි කොයිබටද? අපි ඊළඟ ලිපියෙන් ඒ ගැන කතා කරමු.
බලය නොලැබෙන තාක් හැමෝම වීරයන්ය. 2015 බලය ලැබීමට පෙර රනිල්, මෛත්‍රී, ෆොන්සේකා මහ විරුවන් වූහ. නමුත් 2015 න් පසු ඔවුන්ගේ සැබෑ ස්වරූපය, රනිල්ගේ මිස්ටර් ක්ලීන්, මෛත්‍රීගේ පොළවෙන් මතුවූ පොදු සරල මිනිසා සහ වනජීවී ඇමති ෆොන්සේකා ඔවුන්ගේ සැබෑ දක්ෂතා ප්‍රකට කළා, 2019 -20 මැතිවරණවලින් ඔවුන් සතු සැබෑ කුසලතා ගැන බහුතර ජනයා සතු ජන ප්‍රසාදය පැහැදිලි වුණා. ඒ වගේම වත්මන් ජනපතිගේ දැක්මක් ඇති විනයවත් නිර්භීත පණ ඇති නායකත්වය ගැන ඩිලිත් ජයවීර, රේනො සිල්වා ඇතුළු පිරිස විශාල කැම්පේන් එකක් හරහා ජනගත කළ විශාල පෞරුෂය ඔබට දැන් දැක ගත හැකියි. ජවිපෙ ගත්විට දූෂණ විරෝධය සහ සටන්පාඨ හැරුණු විට ඔවුන් සතු ප්‍රායෝගික වැඩපිළිවෙල කුමක්ද? මා ඔවුන්ගේ හෘද සාක්ෂියේ සම්මුතිය, තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ඇතුලු සියලුම ප්‍රකාශන ගැඹුරින් හදාරා ඇති අතර ඒවා ගැන සැසඳීමේදී වත්මන් ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම සාපේක්ෂව වඩාත් ප්‍රගතිශීලී යෝජනා සහිත බව පෙනේ, දෙකේම ඇතැම් ජනප්‍රියවාදී අදහස් බහුල වුවත් ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්න වලට රාජපක්ෂලාගේ ප්‍රතිපත්ති වඩාත් සාර්ථක සහ ප්‍රායෝගික ක්‍රමවේද යෝජනා කර තිබෙනු පෙනෙයි. නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ ඔය ලියවිලිවල ඇති දෑ නොවන බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි.
ReplyDeleteලංකාවේ 2019 වසරේ අප්‍රේල් මාසයේදී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව එතෙක් කලක් මෝරමින් පැවති 2018 අගදී දැඩිව පුපුරා ගිය සමස්ත දේශපාලකයින් පිළිබඳ වූ දැඩි පොදු විරෝධය එහි උත්සන්නයටම පැමිණුනි. “පාර්ලිමේන්තුවේ 225 ම එලවා දැමිය යුතුය” යන ප්‍රකාශය පොදු ජන වහරක් බවට පත් විය. මුලින් හමුදා පාලනයක් ගැන පවා යෝජනා වී පසුව දේශපාලකයින් වෙනුවට වෘත්තීයවේදීන් ආදේශ කිරීමේ දක්ෂිණාංශික විසඳුමට වලංගුතාවක් ලැබුණේ එම සුවිශේෂී තත්ත්වය තුළය. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ හට එල්ල වූ එක් විවේචනයක් වූයේ ඔහු අත්දැකීම් සහිත වෘත්තීය දේශපාලකයෙකු නොවේය යන්නයි. නමුත්, ඒ මොහොතේදී පැවති ජනප්‍රිය මනෝභාවය තුළ එම “නුසුදුසුකම” ඔහුගේ ප්‍රධානතම සුදුසුකම බවට පත් විය.
මගේ අත්දැකීම් සහ දැනුමේ හැටියට පවිපෙ පාලනයක් ගැන කියනවානම් ඔවුන්ද අන් අය සේම විරුවන් වෙන්නේ බලය ලැබෙන තුරු පමණකි. 2000 වසරේ පරිවාස ආණ්ඩුව නමැති අසාර්ථක විගඩම, 2004-2006 ජවිපෙ-එජනිස සන්ධාන රජයේ ඇමති ධූර වල කාර්යසාධනය, 2010 දක්වා ජවිපෙ පාලනය කළ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ඔවුන්ගේ දක්ෂතා මොනවට පැහැදිලි කර ඇති අතර ඔවුන්ද බලය හිමිවනතුරු යම් පිරිසකගේ වීරයන් වී සිටිති.
කෙසේ වෙතත් ජවිපෙ විපක්ෂයේ කාර්යභාරය සාපේක්ෂව ඉතා සාර්ථකව කරන බව පැවසිය හැකියි. මේ ගැන දෙවසරකට පමණ පෙර කලහැක්කේ කුමක්ද වෙනුවට කලයුත්තේ කුමක්ද යන්න පිලිබදව බිමි මට්ටමේ සංවාදයක් JVP යේ පහල මට්ටමේ සාමාජිකයන් හරහා ගොඩ නැගීමටද එය ඔවුන් හරහා පක්ෂ නායකත්වයට සම්ප්‍රශේනය කිරීමේ උත්සහයක් 2019 ජනාධිපතිවරණ කාලයෙදි ස්විස්ටර්ලන්ත හා ඉතාලි පක්ෂ කේඩරයන් සමග උත්සහ කර බැලූ අවස්ථාවකදී මම ප්‍රධාන ලක්ෂණ කීපයක් හදුනා ගතිමි;
01. JVP කේඩරයන්ට ඉහලින් එන යෝජනා සහ විධාන ක්‍රියාත්මක කිරීමට මිස Biway සංවාදයන් පිලිබද අදසක් හෝ අත්දැකීමක් නොමැති බව.
2. ඉහල නායකත්ව මන්ඩල සියලු විෂය ක්ෂේත්‍ර වල කෙල පැමිනියන් බවත් එබැවින් ඔවුන් ගන්නා තීරණ ඉතාමත් නිවැරිදි බවත් ඒවා ක්‍රියාත්මක කරනු විනා නැවත සාකච්ඡා කිරීමට හෝ input කරන්න දෙයක් නැති බවට ඇති දැඩි අචල විශ්වාසය.
2.1 පක්ෂ නායකයන්ද එසේ සිතීම.
3. සියලු නායකයන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදි සිය ප්‍රථම උපාධිය පමනක් සම්පුර්ණ කල අය නිසා එතනින් එහාට වන විශ්වීය දැනුම හෝ කිසිදු වෘත්තිය සුදුසුකමක් හෝ විවිධ වෘත්තීයන් ඇසුරින් පැන නගින සාමාජීය ආර්තික හෝ පරිපාලන ගැටලු පිලිබද අදහසක් නොවීම. More or less)
තවදුරටත් සාකච්ඡා කලයුතු කරුණු රාශියක් වෙතත් ඒවා සාකච්ඡා කිරීමට අදාල පාර්ශව උනන්දු නොවේනම් සහ ප්‍රයොජනයක් නොගනීනම් අප දෙදෙනාගෙම කාලය අපතේ යාමක් බැවින් මෙතැනින් නිහඬ වෙමි. ජවිපෙ ක්‍රියාකාරීන් ද සමග මේ ගැන පුළුල් සංවාදයක් ගොඩ නගමින් මෙම තත්වය වෙනස් කිරීමට දිගු කාලයක් උත්සාහ කිරීමට ඔබට පුළුවන් නම් අපටද ඊට සහයෝගය දිය හැකියි. එමෙන්ම මෙවන් සංවාදයක් ගොඩනැගීම ගැන ඔබට ස්තූතියි.