Friday 15 October 2021

ජනතාව පිනවූ නායකයෝ

මේ කියන්නේ මම දකින කතාවයි. එය ඔබ දකින කතාව නොවන්නට ඉඩ ඇත. 

මෑත කාලීන ලෝක ඉතිහාසය දෙස බලද්දී මට අපැහැදිලි, ඇදවූ සීමා ඉරකින් වෙන්වුන ගොඩවල් දෙකකට බොහෝ රාජ්‍ය නායකයන් බෙදිය හැක. එනම් තමා නිවැරදි යයි තීරණය කල දැක්මක් ඔස්සේ රටවල් ගෙන ගිය අය සහ බහුතරයක් ජනතාව පිනවීම වෙනුවෙන්ම තම දේශපාලනය කල උදවියයි. මෙයින් පලවෙනි කොටස බොහෝ විට රටවල් ගොඩගත් අතර තව පිරිසක් රටවල් විනාශ කර දැමිය. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ බොහෝ රටවල්, ජපානය, සිංගප්පුරුව, පළමු කොටසට අයත් නායකයන් සිටි රටවල්ය. මැලේසියාවේ මහතීර් මොහොමඩ් මේ ගොඩට අයත් වන අතර ඔහුගෙන් බොහෝ යහපත් දේද සමහර අයහපත් දේද සිදුවිය. මේ ගොඩේ සිටි දරුණුතම පුද්ගලයා හිට්ලර්ය.

දෙවෙනි කොටසට අයත් දේශපාලකයන්ගෙන් දියුණු වූ රටක් පිළිබඳව මම දන්නේ නැත. මේ පාලකයන් බොහෝ දෙනෙක් තම රට අගාධයට යන බව ඇස් පනාපිට පෙනියදීත් ජනතාව මුලාවට පත්කරමින් ඉදිරියට ඇදුනේය. මේ බොහෝ නායකයෝ ජනතාවගේ අවිඥානික මානසිකභාවය තමන්ගේ වාසියට හරවා ගත්තෝය. මුලදී රටේ සම්පත් විකුණමින් හෝ විදේශ ණය ලබා ගනිමින් ඔවුහු ජනතාවට නොමිලේ බොහෝ දේ ලබා දුන් අතර ඉතා විශාල ධනස්කන්ධයක් සොරා කෑහ. රට ගොඩගත නොහැකි තැනකට ඇද වැටී  ජනතාව තමන්ට එරෙහිවන විට ඔවුන් දරුණු ඒකාධිපති ස්වරුපයකට පත්වීම සාමාන්‍යයෙන් අපට දකින්න ලැබෙන ප්‍රවණතාවයයි.  පොල්පෝට්, එර්ශාඩ්, මාර්කෝස්, මුගාබේ, චාවේස් මීට හොඳම උදාහරණය. ඔවුන්ගෙන් තවත් බොහෝ දෙනෙක් රට තවත් තමා වැනිම කෙනෙකුට බාර දී දියවී යනුද අපි දැක ඇත්තෙමු. 

මේ දෙපිරිසට අමතරව මේ කොටස් දෙක අතර දෝලනය වූ පාලකයෝද සිටියේ නැතුවාම නොවේ. 

මා කියවා ඇති සහ දන්නා ලංකා ඉතිහාසයේ තමන්ගේ දැක්ම අනුව රට පාලනය කල නායකයන් මම දකින්නේ දෙදෙනෙකි. ඔවුන් අධ්‍යාපන මට්ටමින් මෙන්ම දේශපාලන ක්‍රමවේදයෙන්ද අන්ත දෙකක සිටි දෙදෙනෙකි. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධනයි. ඔවුන්ගේ කතාව ඉතිහාසයට එක්ව ඇති බැවින් එහි හොඳ-නරක තීරණය කිරීම ඔබට බාරය.

ලංකාව අද පවතින දුක්ඛිත තත්වයට පත් වීමට මුල් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ජනතාව පිනවීමට තම තීරණ අරගත් හෝ වෙනස් කල දේශපාලකයන් බව මම විශ්වාස කරමි. අද වන විට එහි කූඨ ප්‍රාප්තියට අප පැමිණ ඇත. මා අද දකින්නේ ඇත්තෙන්ම  "එදා වේල ටුවර්ස්" පාලනයකි. ඔවුන් සැමදා උදෑසන එදින ජනතාව අන්දන ආකාරය පිළිබඳව කල්පනා කරන බව පෙනේ. ගැසට් රිවර්ස් කිරීම එයට කදිම උදාහරණයකි. 

මට හැඟෙන ආකාරයට තව දුරටත් ජනතාව පිනවීමට ඔවුන්ට හැකියාවක් නැත. ඒ රටේ මුදල් අවසන් වී ඇති බැවිනි. මේ එළඹෙන්නේ පිනවීම මර්දනයෙන් විස්තාපනය වන කාලයයි. දෙවන කාණ්ඩයේ බොහෝ පාලකයන් වෙතින් අපි මේ අවස්ථාව දැක ඇත්තෙමු. 

දශක ගණනාවක් ලංකාව මුහුණ දෙන ඉතා අයහපත් ජාතිවාදී මානසිකත්වයට (ජාති බේදයකින් තොරව පැතිරී ඇති) එක් මූලික සාධකයක් වන්නේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකයි. සිංහල බෞද්ධ ජනතාවගේ තාවකාලික ආශ්වාදය සඳහා ඔහු ගත් පියවර ජාතිවාදී සහ අවස්ථාවාදී දෙමළ නායකයන්ට ඉනිමං බැඳීමක් විය. සෑහෙන කාලයක් යුරෝපයේ ජිවත් වූ, ඔක්ස්ෆර්ඩ් සරසවියේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ බණ්ඩාරනායක, ඔහුගේ තීරණ වල අයහපත් ඵල ගැන දැන නොසිටියා යැයි මම නොසිතමි. බලයට ඇති කෑදරකම නිසාම ඔහු බෞද්ධ නායකයන්ට නොවිය යුතු පොරොන්දු වූ බව මගේ හැඟීමයි. 

මේ කතාව ලිවීමට පෙර මගේ හිතවතුන් කිහිප දෙනෙකු සමග මේ ගැන සාකච්චා කල අතර එහිදී කීප දෙනෙකුගේම අදහස වුයේ ආර් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම සවිමත් දැක්මක් ඇතිව සිටි නායකයෙකු බවයි. නමුත් මගේ මතය නම් රාජපක්ෂලාට සහ බණ්ඩාරනායකට පසු ජනතාව පිනවීමට වැඩිපුරම ප්‍රතිපත්ති වෙනස් කල පාලකයා ප්‍රේමදාසය. කෙටි උදාහරණ දෙකක් දෙනවා නම්; තමාගේම අනුග්‍රහයෙන් ඇරඹු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඔහු රජයට පවරා ගත්තේ ජේවීපීය වෙතට නැඹුරු වූ ජනතාව පිනවීමටයි. එහි ප්‍රතිඵලය ලෙස මැලේසියාවේ ඉදිවූ IMU සරසවියට මේ දක්වා ලාංකිකයන් වෙතින් ඇදී ගිය ඩොලර් මිලියන හෝ බිලියන ගණන කිසිවෙකුටත් පෙනෙන්නේ නැත. අනෙක් උදාහරණය නම් ඉතා විශාල ආයෝජනයක් සහිතව පටන් ගත් මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයයි. ලාංකිකයාගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉතා හොඳ පිලියමක් වූ මේ ආයෝජනය ඔහු හාමුදුරුවරුන්ගේ විරෝධය හමුවේ හකුලා ගත්තේය. මෙම හාමුදුරුවරු එවකට මාෆියාවක් වූ ටින් කල සාඩින් ආනයනකරුවන්ගේ ආයෝජනයක් බව පසුව හෙළිවිය. 


        


2 comments:

  1. ඉතා සාරවත් ලිපියක්! සත්තකින්ම ඔබ පවසනා පරිදි සිරිමාවෝ හා ජේආර් (හරි හෝ වැරදි) තමාගේ දර්ශණයක් මත සිටගත් නායකයන් ය. මෙහිදී මා ප්‍රේමදාස දකින්නේ දෙවෙනි පෙල නායකයෙකු ලෙස ඉතාමත් ශක්තිමත් භාවයක් පෙන්නුම් කල බවකි. මේ කතා කෙසේ වෙතත් මීට පෙර සිටි හැම එකාටම වඩා දැන් ඉන්න එකා හොඳටම කරමින් ඇත. (පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධව ජේ වී පියේ ඇති මතය සමග මා කිසි සේත්ම එකඟ නොවන අතර දැනට කිසියම් ආර්ථික හා දේශපාලනමය වැඩ පිලිවෙලක් ඇත්තේ ඔවුන් වෙත පමණක් බැවින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමි)

    ReplyDelete
    Replies
    1. හලෝ තට්ටයා, කාලයකට පසු කොමෙන්ටුවකින් හෝ හමු වීම සතුටක්. මම හිතනවා ජ.වි.පෙ. තුන්වන පාර්ශවය ලෙස ප්‍රධාන පක්‍ෂ දෙකටද වඩා අසාර්ථක සහ අවස්ථාවාදී බව. ඔය වීරවන්ශලා, ප්‍රදීපා ධර්මදාසලා එදා සහ අද තත්වය බලන්න. අප මෙතනදී තුන්වන පාර්ශවය ලෙස අළුත් තරැණ බුද්ධිමතුන් අතරින් බිහිවන බලවේගයක් තෝරා ගන්න ඕනෙ කියලයි මම හිතන්නේ. උදාහරණයකට පැතුම් කර්නර් වගේ.

      Delete