මේ වන විට ලංකාවේ ජනතාව අතර විශාල දේශපාලන සුළඟක් ඇරඹී ඇත. එය සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම දුරස්ථ සංනිවේදන හරහා කතා බස් කරන බොහෝ දෙනෙකු තුලින්ද දිස්වේ. මෙම සුළඟ වර්තමානයේ ඉතාමත්ම කැළඹිලි සහගතය (turbulent). එය සුළං කපොල්ලක් හරහා එක් සොඳුරු දිශානතියකට යොමුවේද නොඑසේ නම් සුළි කුණාටුවක්ව තව තවත් අඳුරු ආගාධයකට රටම ඇදගෙන යාවිද යන්න අනාගතය විසින් පවසනු ඇත. ඒ දිශානතියේ තීරණය ලාංකීය දේශපාලන නායකයන් සහ සමාජ ක්‍රියාකාරීන් සතුය.
යා යුතු මග ගැන මගේ අදහස් පැවසීමට පෙර සියල්ලෝම අවබෝධ කරගත යුතු කරුණු කිහිපයක් ඉදිරිපත් කල යුතුව ඇති මට සිතෙයි.
මේ අවස්ථාවේ යම් දේශපාලන පක්ෂයකට හෝ සිවිල් සංවිධානයකට කල හැකි මුග්ධතම ක්‍රියාව නම් තමා පිළිබඳව අධි තක්සේරුවකට පත්වීමයි. බහුතරයක් ජනතාව මේ අවස්ථාවේ ආණ්ඩුවට එරෙහිව දක්වන්නේ ආවේගශීලී ප්‍රතික්‍රියාවක් (impulsive reaction) මිස නැණවත්ව කරුණු වටහා ගැනීමකින් කරන නිගමන නොවන බව අප වටහාගත යුතුය. ආණ්ඩුවේ මහින්ද පාර්ශවයට මෙම තත්වය සමනය කිරීම අපහසු දෙයක් යයි මම නොසිතමි. එයට එරෙහිව බැඳී එකම පවුර ගෝඨාභය පාර්ශවයේ දේශපාලන අපරිණතභාවයයි.
යම් ක්‍ෂේත්‍රයක නිපුනත්වයක් හෝ අත්දැකීමක් නැති පුද්ගලයෙකු එම ක්‍ෂේත්‍රයේ ඉහලම පුටුවට ගෙන ඒමේ අනිසි විපාක මේ වන විට එම පුද්ගලයා පමණක් නොව රටේ සියළුම කණ්ඩායම් අත්විඳිමින් සිටිති. මෙයින් උගත යුතු විශාල පාඩමක් ඇත. ඔබ දේශපාලනය, නීතිය වැනි විෂයයන් සඳහා කෙතරම් හොඳ නිපුණයෙකු වුවත් ඒ පිළිබඳව ප්‍රයෝගික අත්දැකීම් අඩු නම් ඒ අභාෂය සහිත පිරිසක් හා එකතු වීම ඉතා වැඩදායක වෙයි. එයින් ඔබගේ අගය තවත් වැඩි වනවා මිස අඩුවීමක් සිදු නොවේ.
ඕනෑම රටක සාර්ථකව දේශපාලනය කිරීමට නම් ඒ සඳහා පිටිසරම ගමක හේන් ගොවියා දක්වා විහිදුනු ජාතික මට්ටමේ මෙහෙයුම් ජාලයක් (operational network) අවශ්‍යවේ. මෙබඳු සාමාජීය ජාලයක් ගොඩනැගීමට දශක ගණනාවක් ගතවේ.
මා දකින ආකාරයට මේ වන විට ලංකාවේ රට ගොඩනැගීමේ අවංක චේතනාවෙන් ඉදිරියට පැමිණි පක්ෂ සහ පුද්ගල චරිත කිහිපයක්ම ඇත. ඔවුන්ගේ අවසන් ඉලක්ක බොහෝ දුරට සමාන වන අතර යා යුතු මාර්ගයන්හි වෙනස් කම් ඇත. මේවා විවෘත වේදිකාවක සාකච්චා කර යම් එකඟතාවයන්ට පැමිණිය යුතුය.
ගල් වැලි දුහුවිලි රැඳුනු අපිරිසිඳු බඳුනකට මී පැණි වත් කල විට එය ආහාරයට ගත නොහැකි තත්වයකට පත්වේ. බොහෝ විට මෙවැනි ද්‍රව්‍යයක් විසි කර දැමීමට සිදුවෙයි. කලාතුරකින් එම ද්‍රව්‍යයේ වටිනාකම නිසාම එය පෙරණයන් කිහිපයකින්ම පෙරා පිරිසිඳු බඳුනකට රැස් කිරීමෙහි අවශ්‍යතාවයක් පැන නගින අවස්ථා ඇත. ප්‍රධාන දේශපාලන ධාරාවේ වූ ඉතා අතලොස්සක් වූ පුද්ගලයන් කිහිප දෙනෙකු ගැනද මා දකින්නේ මේ ආකාරයටයි. නායකත්වයේ සහ වටාපිටාවේ වූ දුෂිත ස්වභාවය නිසාම ජරාජීර්ණ වුවත් මොවුන් තුල වූ අත්දැකීම් සහ දැනුම නිසා පිරිසිඳු නායකත්වයක්-පක්ෂයක් යටතේ මොවුන් පුනරුත්ථාපනය කල හැකි බව මගේ වැටහීමයි.
ඇත්තටම චන්දිම ලංකාව ගැන කෙටියෙන් පැවසුවොත් විදේශ සංචිත සිඳී ආර්ථිකය බරපතල අර්බුදකාරී තත්වයක් තියෙද්දී පවා දූෂිත ක්‍රියා සිදුවීම ගැන පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීමේ පටන් ඊට පෙර එවැනි ආසන්න සිදුවීම් කිහිපයෙන් ප්‍රකට වෙනවා නේද? මොකද මීට කලිනුත් රජයේ අති විශාල ලෙස වංචා දූෂණ සිදු වූවත් වෙනදාට එවැනි දේ පිළිබඳ නිශ්චිතම සාක්ෂ්‍යය නැති වුවත් සුදුළුෑණු හොර පාරේ යාමෙන් පමණක්ම රටේ ප්‍රධානම පුද්ගලයන්ගේ ඊට ඇති සම්බන්ධතාව තුෂාන් ගුණවර්ධන නොවලහා පෙන්වා දුන්නේ ඒ ගැන ජනපතිටත් දැනුම් දී තිබෙන නමුත් පියවරක් ගැනීම සිදු නොවූ බවද කියමින්. විධායක ජනාධිපතිටත් එම දූෂිත මාෆියාව මැඬපැවැත්විය නොහැකි නම් ඔහු මේ රටට තවදුරටත් නායකත්වය දෙන්නේ කෙසේද? අගමැති විසින් පී.බී. ජයසුන්දරව ජනාධිපති ළඟ ස්ථානගත කිරීමේ වැඩපිළිවෙළෙහි සිටම ජනපති උගුලකට හසුවූ බව පැහැදිලිව පෙනුණි. වියත්මගේ අත්දැකීම් සහ සටකපට ලෝකෝත්තර ගේම් ගැන දැනුම අඩු ළාබාලයන්ට ජනපති ගලවා ගන්නවා තබා ඒ ගැන සිතීමත් එතැන් සිට උගහට විය. රටෙහි අතිබහුතරයක් මහජන නියෝජිතයන් තමාට නිවසක් තිබියදී පවා ගෙවල් කුලිය ආණ්ඩුවෙන් ගැනීමේ සිට බිරිඳ හෝ දරුවෙකු පුද්ගලික ලේකම් ධුරයට පත්කර ගැනීම බාර් ලයිසන්, පස්, වැලි ගැරීමේ බලපත්‍ර හිමිකර ගැනීම මෙන් ම මුළුමනින්ම දේශපාලනය බඩජාරී රස්සාව බවට පත් කරගෙන සිටින තත්ත්වය තුළ සුදුළුෑණු ප්‍රශ්නය, වී, සීනි, පොල්තෙල්, කැලෑ කැපීම, කොළඹ ඉඩම් විකිණීමට පිඹුරුපත් හැදීම දක්වා සියල්ල අද වන විට මෝය කටින් මුහුදට යන පොල්මුඩු තත්ත්වයට පත්ව තිබේ. රෝහිත අබේගුණවර්ධන කියන අයුරින් එක් ග්‍රාම සේවා වසමක සිටින ජනයාගෙන් 6%ක් ඉහත කී අරක්කු පෝලිමේ සිටිය හැකිය. එම පෝලිමට එන්නට නොහැකි කරෝල කටුකාරයන් සීනි ටිකක් ගෙන හැලියේ පෙරන අමිහිරි පානයකින් සන්තර්පණය වන්නට පුළුවන. ලැබෙන රුපියල් පන්සීය, දාහ, දහඅතේ කල්පනා කර වියදම් කරන පිරිස් ඒ සියල්ලන් අතර රටෙහි වැඩි බවද කිව හැකිය. ඒ රට වැටී තිබෙන ආර්ථික අගාධයේ ප්‍රතිඵල, දුප්පත් සෑම මිනිසකුටම පොහොසතකු විය නොහැකිය. උදා: ලෙස රෝහිත දුප්පතකුව සිට පොහොසතකු වූ අයුරු පියවරෙන් පියවර ඔබට පෙන්වා දිය හැකිද?
ReplyDeleteපහුගිය කාලේ මැති ඇමතිවරු සතුටු කරන්න වාහන ආනයනය සඳහා අගමැති කැබිනට් පත්‍රිකාවක් දැමීමට සිදුවුණේ කොවිඩ් අර්බුදය මැදදි, මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරන බව කිව්වාට ඔවුන්ගේ යැපීම් දීමනා ලෙස රටේ මහජන මුදල් තව කොපමණ වැය කෙරෙනවාද? දේශපාලනඥයන් ජනතාවට උපදෙස් දෙන්නේ කකුළු ගමනක යන ගමන්, එම වරප්‍රසාද රහිතව මහජන සේවාව කිරීමට ව්‍යවස්ථානුකූලවම නියමයක් පැනවුණහොත් ජනපති පමණක් ඉතුරු වී අගමැති පවා මෙම තනතුරුවලින් ඉල්ලා අස්වී ගෙදර නවතිනු ඇත. එසේ වුවහොත් මහජන සේවය උදෙසා ප්‍රතිලාභ අපේක්ෂා නොකරන පිරිසකට රටේ පාලනය භාරවීමේ ඉඩක්ද පවතීද? මම හිතන්නේ කිසිසේත්ම නැත කියායි.
දිගින් දිගටම දශක ගනණක් තිස්සේ සිදු වූ අලි මිනිස් ගැටුම මේ වන විට උග්‍ර තත්ත්වයකට පත්ව ඇති අතර මෑතකදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමක දුප්පත් තාත්තා කෙනකු තම දරු තිදෙනාත් බිරිඳත් අලියාගේ ප්‍රහාරයෙන් බේරා ගැනීමට, ගෙට පිනූ අලියාගේ හොඬය මැද්දට පැන්නේය. ඒ පාන්දර වනතුරු අලි එලවීමට අවදියෙන් සිට නිදා ගත් ඇසිල්ලේ අලියා පැමිණ සිදු කළ ප්‍රහාරයකදීය. එම පුද්ගලයා අලියාගෙන් ඇට කටු කඩාගෙන පණ බේරා ගත්තේය. අලියා සමග පොරට වන් පියා නිසා අඹු දරුවෝ දිවි ගලවා ගත්හ. පැල්පත කුඩු පට්ටම් විය. වරිච්චි බිත්ති පස්ගොඩක් බවට පත්ව තිබුණි. වල් සපුගල අලි රක්ෂිතය ගැසට් කර අලි වැට සක්‍රිය කරන ලෙස ඉල්ලා ගොවීහු මාස ගණනක් උද්ඝෝෂණය කළහ. පාලකයන් නෑසු කන්ව සිටියහ. පාලකයන්ට ඇවිදින මං තීරු හැදීමට ඇති උනන්දුව ජීවිත බේරා ගැනීම පිණිස අත්‍යවශ්‍ය අලි වැට හැදීමට නැත. ඒ මොකද? අලි වැටෙන් ලාභයක් නොලැබෙන නිසාද? එනිසා ලාභයක් ලැබෙන ක්‍රමයකට හෝ අලි වැට ඉදිකර අලි නිසා දුක්ඛිත තත්ත්වයට පත්වූ මිනිසුන්ගේ දිවි රැක දීම වැදගත්ය.
Deleteපහුගිය කාලේ පරාක්‍රම සමුද්‍රය වටා ඉදිකිරීමට යෝජිත මංතීරුවට මිලියන තිස්පහක් වෙන් කර ඇති බව සඳහන් විය. මං තීරු හදන්නේ ඒවායේ ඇවිද ශරීර සෞඛ්‍යය යහපත් කරගනු පිණිසය. සෞඛ්‍ය යහපත් කරගැනීමට පෙර ජීවිත බේරා ගෙන සිටිය යුතුය. එබැවින් මං තීරු හදන මුදලින් අලි වැට ගසා සක්‍රිය කර දිය නොහැකි ඇයි?
ඇත්තටම ජනපතිවරයා වටේ සිටින කිසිවෙක් මේවා ඔහුට පෙන්වා දෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් දවසේ පුවත් සම්පිණ්ඩනය බලනවා නම් ජනපතිට වුව කිසිවෙක් මේවා ඇඟිල්ලෙන් ඇන පෙන්විය යුතුම නැත. ප්‍රවෘත්තිකාරයෝ ආණ්ඩුවට පහර දෙන අරමුණකින් හෝ දැඩි ලෙස විවේචන සහිතව පෙන්වා දෙන මෙබඳු පුවත් ඉතාමත් වැදගත්, ඒවා ජනතාවගේ දැවෙන ප්‍රශ්න නිසා ජනපති රාජ්‍ය මාධ්‍යයේ යන සංවර්ධන පුවත් පමණක් බලා තුටු පහටු වී නොසිට මේ ගැන සෙවිය යුතු නොවේද? එන්නත්කරණය, කොවිඩ් මර්දනය වැනි ප්‍රධාන ප්‍රශ්නවලට මැදිහත්වීමට ඔහුට කාලවේලාව අවශ්‍ය බැවින් සෙස්සන් අලිවැට, අගල් කැපීම, පොහොර, බිත්තර වී, සීනි, හාල් වැනි අනුෂාංගික ප්‍රශ්න කෙරෙහි උනන්දු විය යුතුය යනුවෙන් ජනපති කිව හැකිය. එය එසේ නොවේ යැයි අපි නොකියමු. එහෙත් ප්‍රශ්නය වන්නේ අදාළ විෂයභාර ඇමතිවරුන්ගෙන් ඒ ඒ කර්තව්‍යයන් ප්‍රමාණවත් ලෙස නොවීමය. රජය කරන්නට යන සෑම කටයුත්තකටම පාහේ එරෙහිව විරෝධතා මතුවන්නේ එම යාන්ත්‍රණයෙහි බරපතළ දෝෂ පවතින නිසා බැව් ජනපති දැන්වත් කල්පනා කළ යුතුය. වෙළෙඳ ඇමති, කෘෂිකර්ම ඇමති ළඟ ළඟම ඇති උදාහරණ වෙති. ලොහාන් තරම් සෙසු ඇමතිවරු පයිත්තියම් වැඩ කරනවා යැයි කිව නොහැකි නමුත් ඒ බොහෝ දෙනෙක් ජනතා ප්‍රශ්න කෙසේ වෙතත්, තම තමන්ගේ විනෝද දිවියට ඉඩකඩ සලසා ගනිති. ඔවුන්ට විනෝද සයුරේ පිහිනීමට ඩොලර් හිඟය, අලි ප්‍රශ්නය, කාබනික පොහොර ගැටලුව, සුදුළුෑණු පොඩිවීම, මතු නොව කොවිඩ් පවා ඒ සා බාධාවන් නොවේ. එල්ලුම් ගස බලන්නට මහ රෑ යන්නේත් ඇමති සහ මිතුරෝ විනෝදයේ උච්ච අවස්ථාවට පත්වූ විටය.
මේ වගේම ජාත්‍යන්තරය සමග ගණුදෙනු කිරීමේදීද ඉතාමත් සැලකිළිමත් විය යුතුයි, එක්සත් ජාතීන්ගේ සමුළුවට ගොස් රටෙහි අභ්‍යන්තර යාන්ත්‍රණයකින් ජාතික අර්බුදය විසඳා ගන්නා බවට ජනපති, අන්තෝනියෝ ගුටරෙස්ට කිව්වත් සැබැවින්ම ඔහු ලංකාවේ ජාතික අර්බුදය යනුවෙන් දෙයක් ඇතැයි යන්නවත් පිළිනොගන්නා නායකයෙකි. රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදාය තුළ ඔහු එවැනි දේවල් කියනු ඇත. එහෙත් ඒවා කටින් බතල කොළ සිටුවීම බඳුය. ජනාධිපතිවරයා හමුවූ එක්තරා අවස්ථාවක මම ජාතික අර්බුදය විසඳීම සඳහා උතුරේ ජනයා සමග ඔබ සමීපව කටයුතු කිරීමට මග පාදා ගන්නේ කෙසේදැයි ජනපතිගෙන් විමසීමි. ඔහු පිළිතුරු ලෙස කීවේ එම කටයුතු බලා ගැනීම සඳහා ආරක්ෂක ලේකම් ලෙස ජෙනරල් කමල් ගුණරත්න පත් කර තිබෙන බවය. එවිට ජාතික ප්‍රශ්නය විසඳන්නේ කමල් ගුණරත්නදැයි මම ඊළඟට නොවිමසීමි. ඒ ජනාධිපතිවරයාට මල පැනීමට ඉඩ තිබෙන නියාව දැනගෙනය. මෙවැනි පටු කල්පනාකාර නායකයකු වන ජනපතිවරයා ගුටරෙස්ට කියන්නේ ඇත්තක් නොවේ, යාන් හෑල්ලකි. මේ නිසා හිතුවක්කාර ගති ප්‍රදර්ශනය කරන ජනාධිපතිවරයාට අනුකාරක ඇමති මණ්ඩලයකුත් සමග තව කොතෙක් කල් ගත කළත් ජාතික ප්‍රශ්නය තබා මොනම ප්‍රශ්නයක්වත් විසඳිය හැකිදැයි යන්න සැකසහිතය. අපි රටක් ලෙස මේ ඛේදවාචක තත්ත්වයෙන් ගොඩ එන්නේ කෙසේද? ප්‍රශ්න කරමින්, විග්‍රහ කරගනිමින් සිටියාට වැඩක් නැත. මේ ප්‍රශ්නවලට රටක් ලෙස පිළිතුරු සොයා ගත යුතුව ඇත.