Saturday 25 December 2021

සාගතයට පෙර


2020 වසරේ මුල් භාගයේදී දැනුම් තේරුම් ඇති කිහිප දෙනෙකුම එය පැමිණෙන බවට අනාවැකි පළකලෝය. එහෙත් මෙතරම් කලින් එය පැමිණෙතැයි ඔවුන්වත් සිතන්නට නැත. ආණ්ඩුවේ අනුවණ, අයහපත් තීරණ සාගතයේ අතික්‍රමණය ත්වරණය කළේය. දැන් ඒ ගැන හේතු සෙවීමෙන් ඵලක් නැත. 

ඈත අතීතයේ සිටම ලොව නන් දේශයන්හි සාගත ඇතිවිය. දේශගුණය සහ ස්වභාවික ආන්තික සංසිද්ධි, රටේ පාලකයන්ගේ වැරදි, ආක්‍රමණිකයන්ගේ බලපෑම ආදී හේතු කිහිපයක් සාගතයකට මග පාදයි. මෑත අතීතයේදී සහ වර්තමානයේදී සාගතයට ගොදුරු වූ ප්‍රදේශ ලෙස හයිටි, යේමන්, DRC, සිරියාව, ඇෆ්ඝනිස්ථානය, වැනිසියුලාව, දකුණු සුඩානය, බුර්කිනා ෆාසෝ, මාලි, නිජර්, නයිජීරියාව ආදී රටවල් හෝ එම රටවල යම් යම් ප්‍රදේශ හඳුන්වා දිය හැකිය. 

සාගතයකට මුහුණ දෙන්නේ කෙසේද?

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක David Beasley මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දක්වයි.

"සාගතයක අයහපත් ඵල අවම කරගැනීමේ මූලිකම පියවර තම දේශයට සාගතයක් පැමිණෙන බව කල් තියා පිළිගැනීමයි. බොහෝ රාජ්‍ය නායකයන් මේ බව පිළිගන්නා විට පමා වැඩිය. එවිට අපට වුවත් කල හැක්කේ මිනිසුන් සාගින්නෙන් මියයාම අවම කරගත හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමු කිරීම පමණකි". 

පාලකයෝ නොයෙකුත් හේතුන් නිසා ළඟ පැමිණෙන සාගතය ජනතාවගෙන් පමණක් නොව සෙසු ලෝකයෙන්ද ආවරණය කරගැනීමට උපරිම උත්සහයක් දරති. එය ලංකාවට පමණක් සුවිශේෂී වූ කාරණයක් නොවේ. ඒ ඔවුන්ගේ ගෞරවයට හානි වේ යයි යන බිය නිසා විය හැක. එහෙත් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ අහිංසක ජනතාවටයි. විපක්ෂ පවා මේ තත්වය යම් තාක් දුරකට සඟවන්න උත්සහ කරන්නේ තමන් බලයට පැමිණියත් කිසිවක් කල හැකිදැයි ජනතාවට සැකයක් මතුවන නිසාය. 

ලංකාව සාගතයක එළිපත්තේය. පාලකයා එය පිළිගත්තත් නැතත් ජනතාව එයට සුදානම් විය යුතුය. සාගතය මග හැරුනොත් එය බෝනස් එකකි. මේ නිසා පෙර සූදානම සෑම අතින්ම යහපත්ය.

පසුගිය සති තුනක පමණ කාලයේදී මම සියළුම වැඩ මධ්‍යයේ මේ පිළිබඳව ලොව විවිධ රටවල ආහාර වැඩසටහන් හා සම්බන්ධ මගේ මිතුරන් සමග අදහස් හුවමාරු කරගතිමි. මේ කිසිවෙක් ලාංකිකයන් නොවේ. මේ නිසා මට පාර්ශ්වික නොවූ අදහස් ලබාගත හැකිවිය.

ඔවුන් සියළු දෙනාම පාහේ මගේ මූලික අදහසට විරුද්ධවිය. 

"රටක පාලකයන් සාගතයට පෙර-සුදානම් වීමට ලැහැස්ති නැත්නම් ජනතාව මොනවා කලත් සාගතයෙන් විශාල පිරිසක් මිය යාම හෝ බරපතල මන්දපෝෂණ තත්වයකට පත්වීම වලක්වන්න බැහැ. හයිටිය මීට හොඳම උදාහරණයක්. දීර්ඝ කාලයක් අරාජික තත්වයක සිටි කුඩා සමුහයකට පමණයි මෙහිදී පැවැත්මක් ඇත්තේ. උදාහරණ ලෙස ඇෆ්ඝනිස්ථානයේ කදුකර ජනයා සහ නයිජීරියාවේ සමහර ගෝත්‍ර පෙන්වා දිය හැකියි".

එසේ නම් අප සාගතයට පෙර-සුදානම් වන ලෙස රජයට බල කළ යුතුව ඇත. 

සාගතයට මුහුණ දීමේ පෙර සුදානම පිළිබඳව මා වටහා ගත් කරුණු මෙසේ සාරාංශ කරමි.

රජයක් ගත යුතු පියවර 

රටේ ආහාර තත්වය පිළිබඳව ප්‍රමාණික තක්සේරුවක් කිරීම: 

පසුගිය රජයන් මෙන්ම මේ රජයද වරදවා ගත් මූලික කාරණයක් වන්නේ පවතිනා තත්වය පිළිබඳව නිවැරදි වැටහීමක් නොමැතිව කටයුතු කරන්න යාමයි. හම්බන්තොට වරාය සෑදීමේ සිටම ඔවුහු මෙය පටලවා ගත්හ. ආසන්නතම සිද්ධිය පොහොර ගැටළුවයි.

ඉදිරි වසර හෝ දෙක සඳහා රට අවශ්‍ය ආහාර වර්ග සහ ප්‍රමාණයන්, ඒවා දේශීයව නිපදවීමට ඇති හැකියාව සහ නොහැකියාව, ආහාර ආනයනය කිරීමට ඇති හැකියාව සහ නොහැකියාව, අනපේක්ෂිත සංසිද්ධි (ගංවතුර, නියං, කෘමි වසංගත ආදී) ඇතිවීමට ඇති අවදානම ආදී කාරණා පිළිබඳව ප්‍රමාණික තක්සේරුවක් ඉතා ඉක්මනින් කිරීම අත්‍යවශ්‍ය පියවරකි. ඉන් පසු පියවර සියල්ලම මෙම තක්සේරුවෙහි ප්‍රතිඵල අනුව තීරණය වෙයි.

යතාර්ථය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනතාවට ලබා දීම:

ඉදිරියේදී ඇතිවන තත්වය පිළිබඳව ජනතාව තුල යථාවාදී වැටහීමක් ඇතිකර ඔවුන් පැමිණෙන තත්වයට සුදානම් කිරීම ඉතා වැදගත්ය. දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුලා කල රජයකට ගත හැකි අසීරුම පියවර මෙයයි. රජයට මෙය කිරීමට ඇති බරපතලම අපහසුව ඉන් පසු මහජන මුදල් නාස්ති කිරීමට ඔවුන්ට ඇතිවන බාධකයයි. මෙහිදී තනි තනිව රජයට සම්බන්ධ පුද්ගලයන් අතන මෙතන කියෙව්වාට වැඩක් නැත. රජයක් ලෙස ඔවුන් වගකීමකින්  යුතුව සාමුහික ප්‍රකාශනයක් මේ සම්බන්ධයෙන් කල යුතුය. 

දේශීයව සහ විදේශීයව නොමිළේ (හෝ අඩු මුදලකට) ලබා ගත හැකි සෑම විශේෂඥ සම්පත්දායකත්වයක් කෙරෙහි අවධානය යොමු කිරීම:

රටේ පවතින සීමිත සම්පත් ප්‍රමාණයකි. ඒ මගින් සියළු පුරවැසියන් ජිවත්කල යුතුය. මේ නිසා ආහාර අර්බුදයට මුහුණ දීමේදී සම්පත් ප්‍රශස්තකරණය (resource optimization) මූලික තැනක් ගනියි. මේ සඳහා පුළුල් විෂය ක්‍ෂේත්‍රයක නිපුණත්වය ඇති විශේෂඥයන් රාශියකගේ සහභාගිත්වය අවශ්‍යවෙයි.

ඉක්මණින් අස්වැන්න ලබා දෙන, දේශීය පරිසරයට සරිලන, එමෙන්ම ඒකක වර්ගඵලයකින් (උදා. එක හෙක්ටෙයාරයකින්) වැඩි අස්වැන්නක් ලබාදෙන බෝග වලට යොමුවීම: 

වට්ටක්කා, පුහුල්, කැකිරි, බතල, සහ නොයෙකුත් දේශීය අල වර්ග, දෙමුහුන් කොස්, දෙල් ආදී බෝග මීට උදාහරණ වෙයි. මීට අමතරව, විෂය පිළිබඳව දැනුම ඇති කෙනෙකුට මේ සඳහා ඉතා හොඳ උපදෙස් ලබා දිය හැක. 

දේශීයව ලබාගත හැකි ආහාර වලින් පමණක් යැපෙන කෘෂි-සත්ව වර්ග ඇති කිරීම:

ආනයනිත සත්ව ආහාර සඳහා විශාල විනිමයක් වැය වන අතර ඒ සඳහා  ඩොලර් ලබා දීම රජය විසින් සම්පුර්ණයෙන්ම අත්හිට වනු ඇත. 

මුඩුබිම්වල ඒවාට සුදුසු බෝග වගා කිරීම හෝ සත්ව ගොවිපලවල් ඇති කිරීම: 

වරක් කසඛස්ථානු කෘෂි විද්‍යාඥයෙක් මට පැවසුවේ මේ ලොව මුඩුබිම් කියා දෙයක් නොමැති බවයි. ඕනෑම බිමකට සරිලන බෝගයක් ඇත. එය නිවැරදිව තෝරාගත් විට මුඩුබිමක් තවදුරටත් මුඩුබිමක් නොවනු ඇත.

කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම සහ බෙදා හැරීම සම්පුර්ණයෙන්ම රජය අතට ගැනීම:

ගොවිබිමේ සිට මුළුතැන් ගෙට එන ගමනේදී ආහාරවලින් 40% අධික ප්‍රමාණයක් විනාශ වෙයි. මෙයට පෞද්ගලික අංශය අතින් සිදුවන නොසැලකිල්ල මෙන්ම හිතාමතා සිදුකරන නාස්ති කිරීම්ද බලපායි. මේ නිසා කෙටි කලකට හෝ ආහාර බෝග මිලදී ගැනීම සහ බෙදා හැරීම (සකස්කිරීමද ඇතුළුව) රාජ්‍ය ආරක්ෂක අංශ යටතට පත්කිරීම සුදුසුය. මේ සඳහා ප්‍රවාහන, ඇසුරුම්, සැකසුම් ආදී සේවා පෞද්ගලික අංශයෙන් රජයේ මැදිහත්වීම යටතේ ලබාගත හැක.

අස්වැන්න වැඩි කර ගත හැකි සියළුම ක්‍රමවේද වෙත අවධානය යොමු කිරීම:

රසායනික, කාබනික වගාවන්ට මෙන්ම ජාන තාක්ෂණය, හයිඩ්‍රෝෆොනික් ආදී සියළුම වගා සහ වාරි ක්‍රමවේද වලට යොමුවීම ඉතා වැදගත්ය. මෙහිදී පාරිසරික ගැටළුවලට වඩා ආහාර නිෂ්පාදනයට මුල් තැන දීමට සිදුවන බව සැලකිය යුතුය. 

ලෝක ආහාර වැඩසටහන සමග කල් ඇතුව සාකච්චා කිරීම:

සාගතයක් ඇතිවුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සහ ලබාගත හැකි සහන පැකේජ පිළිබඳව කල් ඇතුවම එක්සත් ජාතීන්ගේ අදාළ සංවිධාන සමග සාකච්චා කර යම් එකඟත්වයකට පත්වීමෙන් බොහෝ ගැටළු යම්තාක් දුරකට සමනය කරගත හැක. 

රජය අවංක වීම:

ඉහත කරුණු කුමක් වුවත් රජයට ජනතාව වෙත වගකීමේ අවංක චේතනාවක් මේ අවස්ථාවේදීවත් නොමැති නම් එය ජනතාවගේ දුක්බර ඛේදවාචයක් වනු ඇත. 

ජනතාවගේ පසින් කල හැකි දේ 

සරළ, දේශීයව ලබා ගත හැකි ආහාරවලට හුරුවීම: උදා: තිරිඟු පිටි ආශ්‍රිත ආහාර වලින් සම්පුර්ණයෙන්ම වලකින්න. 

අවම ආහාරයෙන් සැනසීම: අප බොහෝ විට අවශ්‍ය පමණට වඩා වැඩි ආහාර වේලක් ලබාගනී. ආහාර වේල ප්‍රතිව්‍යුහගත කරන්න. 

ආහාර නාස්තිය සම්පුර්ණයෙන්ම නැවත්වීම: නිවසේ හෝ උත්සයයකදී අවශ්‍යම වන ආහාර පාන පමණක් සකස් කරගන්න.

මාංශමය ආහාර අවම කිරීම: මාංශ ආහාර කිලෝවක් සඳහා නිර්මාංශ ආහාර කිලෝ 10-20ත් අතර ප්‍රමාණයක් වැයවේ.

ඇති කුඩා ඉඩකඩක වුවත් හැකි සෑම බෝගයක්ම වගා කිරීම: පෝච්චියක මිරිස්, වම්බටු, බණ්ඩක්කා, තක්කාලි ආදිය එක ගහක් බැගින් හෝ වවාගන්න.

අසල්වැසි හුවමාරුව: ඔබ වවනා බෝග අසල්වැසියා සමග හුවමාරු කරගන්න. වෙනස් බෝග වැවීම සඳහා අසල්වැසියා සමග එකඟතාවයකට පැමිණෙන්න.

මාස ගණනකට ආහාර රැස් කරගැනීමෙන් වැලකීම: බොහෝ රටවල සාගතය ව්‍යසනයක් වන්නේ ඇති හැකි කිහිප දෙනෙක් විශාල ආහාර ප්‍රමාණයක් ගොඩගසා ගැනීමට යාමෙනි. ආහාර රැස්කිරීම වෙනුවට ආහාර වගා කරගැනීමට අවධානය යොමු කරන්න.

විකල්ප ආහාර වෙත අවධානය යොමුකිරිම: පරිප්පු වෙනුවට ගැට ලාවුළු හීනියට කපා සැකසීම, ගහල අල මාළුව වැනි වෙනදා කන්න අකමැතිවූ ආහාර වෙත අවධානය යොමු කරන්න.

ආහාර කල් තබා ගැනීමේ ක්‍රමවලට අවධානය යොමු කිරීම: වෙනදා විසි කරන ඉතිරිවන බත් ටික වේලා තබා ගන්න. මෙබඳු ක්‍රම රාශියක් ඔබට Youtube හරහා ඉගෙනගත හැක. 

සංත්‍රාසයට (panic) පත් නොවීම: ලංකාවේ ජනතාව සංත්‍රාස-මිලදීගැනීම (panic-buying) යම් වියරු ස්වාභයක් දක්වා ප්‍රදර්ශණය කරන බව බොහෝ අවස්ථාවල අප දැක ඇත. මෙමගින් සිදුවන්නේ සමාජය තව තවත් විපතට පත්වීමයි. අතේ ඇති සියළුම මුදල් එකවර වැය කර ආහාර මිලදී ගැනීමෙන් වලකින්න. 

ආත්මාර්ථකාමී නොවීම: සියල්ලෝම ජිවිතයට ආදරය කරති. මේ නිසා ජීවිතය පිලිබඳ අනතුරකදී මිනිසුන් නොමිනිසුන් බවට පත්වෙන අවස්ථා ඇත. එබැවින් සාගතයකදී ඔබේ ආහාර යම් පමණකට නැති බැරි අය සමග බෙදාගන්න. තමා පමණක් රැකෙන්නට ආහාර ගොඩගසාගෙන සිටීම බඩගින්නේ වියරු වූ මිනිසුන් වෙතින් මරණය ඉල්ලා පළකරන දැන්වීමක් විය හැක. 


 



4 comments:

  1. හරිම කාලෝචිත ලිපියක්. දිගටම ලියන්න. ඊළග ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා. ඔබටත්, පවුලේ සැමටත් අපේ බ්ලොග් හවුලේ සියලු දෙනාටත් නිරෝගීමත් නව වසරක්.

    ReplyDelete
    Replies
    1. ඔබට තුති. සියල්ලෝම සතුටින් සැහැල්ලුවෙන් සිටින වසරක් පතමු

      Delete
  2. හ්ම්.. හොඳ ලිපියක්

    ReplyDelete