Saturday, 29 April 2023

කුණාටු මුහුදේ විලාපය

ඉතා කෙටි කාලයක් තුල බොහෝ දෙනෙකුට අරගලය ඇති වුණේ මක් නිසාද යන්න අමතක වී ඇත. සමහර අදහස් කියවන්නෙකුට ඇතිවන්නේ රට සුඛිත මුදිතව තිබූ අවදියක මිනිසුන් අරගල කර රට විනාශ කළා වැනි හැඟීමකි. 

කිහිප දෙනෙක් පවසා ඇති සේ පත් කරගත් පාලකයන් රට විනාශ කරනවා දැක දැක ඔවුන්ට ප්‍රශස්ති ගී ගායනා කල පිරිස මේ විනාශයට ඍජුවම වගකිව යුතුය. අරගලයට සහභාගී වූ බොහෝ දෙනෙක් තමන් යන්නේ කොහේදැයි දැන නොසිටිය බව මම සිතමි. නමුත් රටේ සිදුවන තක්කඩි අමන පාලනයට එරෙහිව තමන් යමක් කල යුතු බව ඔවුන්ට දැනෙන්නට ඇත. එසේම අරගලය අපට පෙන්නුවේ ලංකාවේ පාලකයා කුමක් කලත් එයට හිස නමාගෙන සිටින දීන නිවට බහුතරයට අමතරව තවමත් කශේරුකාව සවිමත් සුළුතරයක් හෝ රටේ සිටින බවයි. නමුත් එය එතැනින් ඉදිරියට ගෙන ගොස් ආර්ථික-සාමාජීය-දේශපාලනික නිවහල් නිදහස් ජාතියක් කරා ගෙනයාමට සමත් නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක් සහ මාර්ග සිතියමක් අපට තිබුණේ නැත. 

රටේ කුමන තත්වය ඇති වුනද එයින් වාසි ලබා ගන්නා පාර්ශව ගණනාවක් ඇත. ඔවුන්ට අරගලය තවත් කෙලි බිමක් විය. එය අරගලයේ වරදද නැත්නම් අරගලය ඇතිවීමට පාර කැපූ හොර තක්කඩියන්ගේ වරදද යන්න සිතාගැනීමට සමත් සුළුතරයක් තවමත් සිටින බව මම උපකල්පනය කරමි.

මා දකිනා ආකාරයට නම් ලාංකිකයා නැවතත් පරණ පුරුදු විෂම චක්‍රයටම වැටි ඇත. දීන වහල් බහුතරයක් ඇති රටක මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. ඔවුන් අද ණයට කමින් පාටි දමයි. පාලකයාගේ ලොකුම ජයග්‍රහණය අදට වඩා දෙගුණයක් විශාල ණයක් හෙට ලබා ගැනීමයි. තව වසර දෙකකින් අපට ඉතිරිවන සුවිසල් ණය කන්ද මුළු රටේම සම්පත් විකුණුවත් පියවා ගත නොහැක. එදාට ඉන්දු-ඇමරිකන් මුහුණ මීට වඩා බොහෝ සෙයින් වෙනස්වනු ඇත. 

ඊළඟ වර තෙල් ගෑස් හාල් පාන් පෝලිම් වලට එරෙහිව ජනතාව පාරට බහින්නේ නැත. මන්ද ඔවුන්ට ඒවා එක් වරක් දැන් හුරුවී ඇති බැවිනි. ඔවුන් මගට බසින්නේ තත්වය ඊට වඩා බෙහෙවින් නරක අතට හැරුණු විටය. සමහර විට එතනට යාමට පෙර ලාංකිකයා තමා සිටිය යුතු ආකාරය අවබෝධ කරගෙන නිවෙනු ඇත. 

බහුජාතික සමාගම් කිහිපයක් විසින් නිල වශයෙන් පාලනය නතුකරගන්නා ප්‍රථම රාජ්‍ය ලංකාව වෙනු ඇතැයි මට සිතෙයි. මම එහි හොඳ-නරක විග්‍රහ කිරීමට උත්සහ නොගනිමි. සමහර විට අවුරුදු 2500 ක මෙව්වා එක රෝල් කර ඉන්දියන් සාගරයට දැමීම ඔබට ඉමහත් සැහැල්ලුවක් වනු ඇත. නැත්නම් ඔය මෙව්වා එක ඔබට ණය කන්දටත් වඩා බර මහමෙරුවක් වනු ඇත. 

Monday, 10 April 2023

ආදරයට ඉබ්බො දාන මැලේසියානු business මොඩලය


මැලේසියාවේ ලංකාවී දුපතේ ඇති entertaintment park එකක මීටර් 100 ක් පමණ දුරකට වූ ඝණකම ඇති කම්බි පොටවල් කිහිපයක් වේ. ඒ අසල ඇති අලෙවි සැලක රෝස පාටින් (වෙනත් පාට කිහිපයක්ද ඇත) වූ ඉතා බාල වර්ගයේ ඉබ්බන් (padlocks) විකුණයි. මෙම ඉබ්බෙක් රිංගිට් 35ක් පමණ වේ (මා අවසන් වරට ගිය අවස්ථාවේ). එහි මුළු නිෂ්පාදන වියදම රිංගිට් 5 ක් වත් නොවනු ඇත. ඔබ එය මිලදී ගත් විට ඔවුන් ඉතා කෙටි කාලයකදී (විනාඩියකින් පමණ) එහි ඔබගේ සහ ඔබගේ පෙම්වතාගේ/පෙම්වතියගේ නම් මුද්‍රණය කර දෙයි. 

එහි දැන්වීම් පුවරුවක කියා ඇති ආකාරයට පෙම්වතුන් දේපල එකතුව ඉබ්බා කම්බියකට දමා අගුළු දැමීමෙන් ඔවුන්ගේ ආදරය ස්ථිර වෙයි. තමා කිසිදා වෙන් නොවන බව හැඟේ නම් ඉබ්බාගේ යතුර එම ස්ථානයට ඔබ්බෙන් ඇති ආගාධයට විසිකර දැමිය හැක. නැති නම් එය දෙදෙනාගෙන් කෙනෙකු ළඟ තබාගෙන පෙම් දම අවසන් වූ දින පැමිණ ඉබ්බා කම්බියෙන් ගලවා ඉවත්කළ හැක. මා දුටු ආකාරයට යතුර විසි නොකරන පෙම්වතුන් දේපලක් සොයාගත නොහැක. 

මා අවසන් වරට යන විට කම්බි පොටවල් දෙකක්ම පිරි ඉතිරෙන්න ඉබ්බන් සිටිනු දකිනු හැකි විය. ඔවුන් මේ නිසා තවත් කම්බි පොටවල් රාශියක් එවන විට සවි කරමින් පැවතුනි. 

මේ අති සාර්ථක business මොඩලය ලංකාවේ වෙනත් කිහිප ආකාරයකින්ම (මීට වඩා සාර්ථක ආකාරයෙන්) කල නොහැකිද? මා එය දැනටමත් රටවල් කිහිපයක සංචාරක ව්‍යපෘති තුලට ඇතුලත් කර ඇත්තෙමි. උනන්දුව මෙන්ම ව්‍යාපාරික/ආයෝජන හැකියාව ඇති අයෙක් සිටින්නේ නම් මම වෙනත් රටවල්වලට උපදේශකයෙකු ලෙස මුදල් අය කර ලබා දුන් සංකල්ප ලාංකිකයාට නොමිළේ දීමට නොපැකිළෙමි.



Friday, 7 April 2023

මැලේසියාව නුඹ

 


මැලේසියාව මම නුඹට ආදරය කරමි

කියා දුන් නිසා නුඹ
ඉහලට මෙන්ම පහලටද ගරු කරන අයුරු
දුර්වලයා අත් නොහැර සමුහය සමග ඇදගෙන යන අයුරු
සියල්ලන්ට සමව සලකන අයුරු
සහෘදයන්ගේ දුර්වලතාවයන් ඉවසන අයුරු
තමන්ගේ එකෙක් විපතට පත්වන විට පිහිට වන අයුරු
සැමගේ ශක්තිය මතින් සැම ඉහලට යන අයුරු
වෙනස් මිනිසකු විය ඔබ නිසා මම
සහෝදරත්වය අගයමි සැමට ඉහලින්
ඔබ නිසා මම
ආදරය කරමි ඔබට ජිවිතයේ යථාර්තය පහදා දුන් නිසා ඔබ
ආදරෙයි මැලේසියාව ඔබට සදා මම

Tuesday, 28 March 2023

ඔබ නොදන්නා බොහෝ දේ


ලංකාව පිළිබඳව සිතීමට ලිවීමට මිඩංගු කල කාලය තුල මට තවත් පර්යේෂණ පත්‍රිකා 50ක් වත් CV එකට එක් කරගන්න තිබුණි. නමුත් ඒ ගැන මම කම්පා නොවෙමි. එහෙත් තව දුරටත් එයම කළහොත් අනාගතයේදී කම්පා වීමට සිදුවන බව මට පෙනෙයි. 

මගේ සියළු දැනුම සහ බුද්ධි තොරතුරු එකතු කර බලන විට මට පෙනෙන්නේ ලංකාවේ මෑත ඉතිහාසයේදී සිදු වූ එකම spontaneous සංසිද්ධිය අරගලයේ ඇරඹුම බවයි.  එය එවකට පැවති පාලකයාගේ සහ සහචරයන්ගේ මුග්ධ ක්‍රියාන්විතය නිසාම ජනතාව පැවති රජයට එරෙහිව අවදිවූ විරෝධයකි. එය අවබෝධකරගෙන නායකත්වය සැපයීමට නොහැකිවීම ජවිපෙ ලද දරුණුම පරාජයකි. 

අරගලය ආරම්භ වූ පසු දේශපාලන බලවේග කිහිපයක් එහි ගාමක බලය අවබෝධ කරගෙන මුදල් පොම්ප කරන්න විය. ඉන් එක පුද්ගලයෙක් ඔබ කිසිවෙක් නොසිතන එවකට පාලන තන්ත්‍රයේ ප්‍රබල චරිතයක් විය. ඔහුගේ පළමු ඉලක්කය සාර්ථක වුවත් ඉන් පසු වුයේ ඔහු කිසිසේත් නොසිතූ ප්‍රතිදානයකි. අද ඔහු නන්නත්තාර වී ඇත. 

අරගලයේ මුල් සමයේදී එය හාස්‍යට ලක් කල ලෝක බලවතුන් එහි පළමු මස ගතවන විට ඒ කෙරේ විශාල අවධානයක් යොමු කරන්න විය. බොහෝ රටවල සමාජ විද්‍යා වියතුන් ලාංකික අරගලය පිළිබඳව තම අවධානය යොමු කරන්න විය. ඒ ඇසුරින් ආචාර්ය උපාධි පවා ඇරඹෙන්න විය. මේ සමගම ලෝක බලවතෙක් මේ ගැන සෙවීම පිළිබඳව කමිටුවක් පත්කළේය. 

අරගලයට නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක්, මාර්ග සිතියමක් අවශ්‍ය බව මම පුන පුනා කියන්න වුණේ මේ අවස්ථාවේදීය. නමුත් එය ඇසීමට සවන් නොතිබුණි. ඉන් දින කිහිපයකට පසු අරගලයේ ප්‍රතිඵලය තීරණය කිරීම අදිසි හස්තයක් වෙත පැවරුණි.

රනිල් ජනපතිවීම අහම්බයක් නොවේ. එය ආරගලයේ අවසාන කාර්තුවේදී කිසියම් තානාපති කාර්යාලයකදී තීරණය විය. මේ බව දැනගත් විට මම ලිපියක් ලියමින් ලංකාවේ අනාගත නායකයා තීරණය වී ඇති බව මුහුණු පොතේ සටහන් කලෙමි. මට බොහෝ දේ ලිවීමට නොහැකිය. මා කී දේ තේරුම්  ගත්  සමහරෙක් විය.

ලෝක බලවතුන් ගෝඨාභය කෙරේ සැහෙන විශ්වාසයක් තැබුවේ ඔහු ඇමරිකන් පුරවැසියෙකු නිසාය. නමුත් ඔහු මෝඩ ගොම තැම්බක් බව වසර දෙකකදී ඔවුන්ට අවබෝධ විය. රනිල් පිළිබඳවද ඔවුන්ට විශාල බලාපොරොත්තුවක් නොවීය. එහෙත් ඔවුන්ට වෙනත් විකල්පයක් නොතිබුණි. 

රනිල් යනු සමාර්ට් පුද්ගලයෙක් නොවේ. එහෙත් ඔහුගේ ස්වාමියා ස්මාර්ට්ය. ඔහු ලෝකයේ ඉහලම බුද්ධි ජාලය සහ දැනුම් සංකීර්ණය සතුය. ගෝඨාභයට මේ ස්මාර්ට් ස්වාමියා තේරුම් ගැනීමට තරම් මොළයක් නොතිබුණි. රනිල්ට ඊට වඩා බුද්ධියක් ඇත. මේ නිසා ලාංකිකයා ඉදිරියේ රනිල් සමාර්ට් පුද්ගලයෙකි. අන්ත මුග්ධ, ග්‍රාම්‍ය පොහොට්ටුවන් 134 ඉදිරියේ ඔහු අතිශය ස්මාර්ට් පුද්ගලයෙකි. දිවි හිමියෙන් එජාපයට කැපවුවන්ටද  ඔහු ස්මාර්ට්ය. මම එහි වරදක් නොදකිමි. එහෙත් රනිල් යනු ස්මාර්ට් ස්වාමියකුගේ අණසක අනුව වැඩ කරන රෝබෝවකි.

මා සිතන ආකාරයට දැන් ලංකාව යනු ලෝක බලවතුන්ගේ පර්යේෂණ සාම්පලයකි. රටක් අන්තර් ජාතික සමාගම් කිහිපයක පාලනයට නතු වූ විට එය ලෝක බලවතුන්ට බලපාන ආකාරය පිළිබඳව පර්යේෂණ නියැදියක් බවට ලංකාව පත්ව තිබේ. විද්‍යාඥයෙකු වශයෙන් මමද මේ පර්යේෂණයට ලොබ බඳිමි. නමුත් අවාසානාවට මමද මේ නියැදියේ අවශේෂ පර්යේෂණ සාම්පලයක් වෙමි. 

ලංකාව අද පත්ව ඇති තත්වයට සම්පුර්ණයෙන් වග කිවයුත්තේ රාජපක්ෂ පවුලයි. ඔවුන් ට්‍රිලියන ගණනින් රටේ සාරය ගසා කෑවේය. තවමත් බොහෝ මුග්ධයන්ට මෙය නොතේරෙයි. ගෝඨාභය ගසා කෑවාදැයි මම නොදනිමි. නමුත් තමන්ගේ අමන, අනුවණ, උද්දච්චකම නිසාම ඔහු ගත් උම්මත්තක තීරණ නිසා ලංකාව අද පවතින තත්වයට පත්විය. 

රනිල් හා අලඟු තැබීමටවත් රාජපක්ෂලා හෝ ඔහුගේ හෙංචයියන්ට නොහැක. ඒ රනිල් ස්මාර්ට් නිසා නොව රනිල්ගේ ස්වාමියාගේ ස්මාර්ට්කම නිසාය. 

එසේම රනිල් සමග හැප්පීමට සමත් විඥානයක් ඇති පිරිසක් ලංකාවේ නොමැති සේය. ඔබ ගන්නා සියලු පියවරයන්ගෙන් සිදුවන්නේ ජනතාව ඔබගෙන් ඈත් වීමයි. වැඩවර්ජන, අන්තරේ විරෝධතා පිළිබඳව දැන් ජනතාවගේ ප්‍රතික්‍රියා විමසා බලන්න. රනිල් පියවර ගන්නේ ඔහුට ස්වාමියාගෙන් ලැබෙන අණ සහ උපදෙස් අනුවයි. මේ උපදෙස් ලැබෙන්නේ රටවල් ගණනාවක කරන ලද පර්යේෂණ ප්‍රතිඵල අනුවයි. 

රටක ජනතාව සමස්තයක් වශයෙන් ගත් කල බුද්ධි හීන භූතාර්ථයකි. එය ඇමරිකාවටද අදාළය. සමාජ විද්‍යාඥයන් සියළු රටවල් සඳහා ජන විඥානය quantify කරයි. මෙහිදී ලංකාව ඉතා පහල අගයක් ගනියි. එහි තේරුම ලාංකික ජන විඥානය ඉතා පහසුවෙන් manipulate කළහැකි බවයි. 

මා වැනි ඉතා සුළු නොවැදගත් පුද්ගලයෙකුට කල හැකි දේ ඉතා අල්ප බව මම දැන් තේරුම් ගනිමි. ලාංකික ඔබට ඔබ අදහන ආගමක සරණයි. 



Monday, 27 March 2023

ලක අනාගත ඥාන හබක් කරමුද?


AI සරසවි විභාග වලට බලපාන ආකාරය පිළිබඳව ලියූ ලිපියට විවිධ සමාජ මාධ්‍ය තුල අදහස් දැක්වූ ඔබ සැමට තුති.

මට හිතෙන විදියට අපට වී ඇත්තේ දශක දෙක තුනක් අපි සිනමා තිරයේ දුටු ලෝකය එකවරම සැබෑ ලෝකය තුලට කඩා වැදීමයි. තවමත් මාද ඇතුළු බොහෝ දෙනෙක් වික්ෂිප්තය. 

මෙහිදී අදහස් කිහිපයක්ම පළවුණේ සිදුවන දේ හොඳද-නරකද යන්න පිළිබඳවයි. මා සිතන විදියට ඒ අවදිය පසුවී ඇත. අපි කැමති වුනත් අකමැති වුනත් AI සමාජය වෙලාගන්න බව නම් සහතිකයි. 

අපි මේ අවස්ථාවේදී කතා කල යුත්තේ නුදුරු අනාගතය උදෙසා අපගේ අධ්‍යාපන පද්ධතියම (සංකල්ප, ක්‍රමවේද ඇතුළු මුළු system එකම) වෙනස් කලයුතු ආකාරය පිළිබඳව බව මගේ හැඟීමයි.

ලාංකික අධ්‍යාපනයට 1960 සිට 2030ට එක්වරම පැනිය හැකිද? 

හැකිනම් ලක අනාගත ඥාන හබක් වනු ඇත (Sri Lanka will become a future knowledge hub)


Saturday, 25 March 2023

ඔබගේ අදහස් අවශ්‍යව ඇත



අපේ සරසවියේ විශාල සංවාදයක් ඇරඹී ඇත.

AI වේගයෙන් ජන ජීවිතය වෙලා ගනියි. දැන් අපට ඕනෑම ගැටළුවක් AI විසඳා දෙයි. මේ වන විට ගැටළුව ඇසූ විට හෝ කෙටූ විට පිළිතුර කොලයක ලියැවෙන පෑනක් නිර්මාණය වෙමින් පවතී. ලෝකයට ඉතා සුබදායි මේ පුවත සරසවි ඇඳුරන්ට හිසරදයකි. 

"කොහොමද අපි genuine exam එකක් තියාගන්නේ?" අංශාධිපතිලා, පීඨාධිපතිලා පමණක් නොව උපකුලපතිද රැස්වීම් පිට රැස්වීම් කැඳවති.

සැමදෙනාම මේ AI තාක්ෂණය අභිබවා විභාග පැවැත්වීම පිළිබඳව ඉතා විචක්ෂණ smart අදහස් ඉදිරිපත් කරති.

වසර ගණනාවක් රටින් පිට සිටියත් මගේ විඥානය තවමත් ලංකාවේය. එබැවින් මම ඉතා ප්‍රාථමික ලෙස සිතමි. ඒ මා හුරු වූ චින්තනයයි.

"අප විභාග පවත්වන්නේ කුමකටද?"

ලංකාවේ නම් වැඩි හරියක් සිසු සිසුවියන් fail කර සරසවියට බඳවා ගත හැකි ධාරිතාවයට ආසන්න පිරිසක් filter කර ගැනීමටය. 

"සරසවියේ විභාග පවත්වන්නේ කුමටද?" ලංකාවේ නම් විභාග පැවැත්විය යුතු නිසාය. 

ඉංජිනේරු පීඨයේ රැස්වීමේදී මම ඉහත පැනය ඇසුවෙමි.

"එක හරිම සරල පැනයක්නේ. අපි විභාග පවත්වන්නේ ළමයින්ගේ දැනුම මනින්න" පීඨාධිපතිතුමාටත් පෙර විශිෂ්ඨ මහාචාර්ය පදවිය හොබවන තැනැත්තෙක් පිළිතුරු දුන්නේය.

"ඇයි අපි ළමයින්ගේ දැනුම මනින්නේ?" මගේ ප්‍රාථමික මනෝභාවයට තවමත් එය ගැටලුවකි.

"ඔවුන්ට ඉහල දැනුමක් ඇත්නම් ඔවුන් සමාජයට යහපතක් කරාවි. සරසවි ඇඳුරන් ලෙස එයයි අපගේ අභිප්‍රාය විය යුත්තේ. හිතන්න පොඩ්ඩක්, අපේ උපාධිධාරියෙක්ට හැකිනම් තම දැනුමෙන් සම්පුර්ණයෙන්ම සුර්ය බලශක්තියෙන් ක්‍රියාත්මකවන වාහනයක් නිපදවන්න, එය දකුණු අප්‍රිකාවට විශාල මෙහෙයක් සහ ආඩම්බරයක් නොවේද?" විශිෂ්ඨ මහාචාර්යවරයා තරමක උපහාසාත්මක සිනහවකින් යුතුව අසයි.

"ඔය කියන වාහනය ඇයට තමන්ගේ දැනුමෙන් තොරව වෙනත් යමක  දැනුමෙන් (මා අදහස් කලේ AI දැනුමයි) පමණක් කල හැකි නම් එහි ගැටළුවක් ඇත්ද?" මම බොහෝ අවස්ථාවල වෙනත් පුද්ගලයන් "ඔහු" යන වදන යොදන තැන්වල "ඇය" යයි භාවිතා කරන්නේ මෙහිදී පුරුෂාර්ථය යොදන්නේ කුමන හේතුවක් නිසාදැයි මට නොතේරෙන බැවිනි. ලංකාවේ කෙසේ වෙතත් මා ජිවත් වූ බොහෝ රටවල මිනිස්සු මෙය ප්‍රශ්ණ කිරීමට පැකිලෙති. 

"ඒක හරි. ඒත් එහෙනම් අපිට AI පිළිබඳව සිසුන්ගේ දැනුම පරික්ෂා කල යුතු වෙනවා"  විශිෂ්ඨ මහාචාර්යතුමා තරමක් බිඳුණු ස්වරයෙන් ප්‍රකාශ කරයි.

"ඔව්, අපි AI ඉගෙනගන්න සිසුන්ගේ දැනුම පරික්ෂා කරමු. ඒ සඳහා ඔවුන්ට projects දෙමු. අනෙකුත් විෂය හදාරන සිසු සිසුවියන්ට AI භාවිතාකරන හැටි දන්නේ දැයි පරික්ෂා කිරීමට විභාග පවත්වමු". මම කීවෙමි.

"චන්දිම කියන විදයට කලොත් කැම්පස් වහන්න වෙයි"

ඔවුන්ට විභාග මානසිකත්වයෙන් මිදීමට නොහැක. මා වැනි මෝඩයෙක් ඔවුන්ට මහත් හිසරදයකි.  



 

Wednesday, 22 March 2023

සද්ධාසීල business approach

 


වෙනදා කතා නොකළ මාතෘකාවක් කතා කිරීමට සිත්විය. ඒ "sexuality & Society" නම් වැඩසටහනකට සහභාගිවීමට මට ආරාධනා ලැබුණු නිසාය. වැඩසටහනෙන් පසු උණුසුම් කෝපි කෝප්පයක් සමග ඇති වූ කතා බහක් සැතපුම් දහස් ගණනක් ඈතින් වූ ලංකාව කරා මා රැගෙන ගියේය.

"අඹු සැමියන් තම තමන්ගේ ඇඟ දකින්නේ නැතිව තමයි ළමයි හදන්න ඕනේ"

"ලිංගිකව හැසිරිය යුත්තේ ළමයි හදන්න පමණයි"

මේ ලංකාවේ පරසිඳු හාමුදුරු නමක් මෑතකදී කල ප්‍රකාශයන්ය. එය සමාජ මාධ්‍ය පුරා හාස්‍ය උත්පාදක ජවනිකාවක ලෙස viral වුවත් එය serious ගත් දහස් ගණනක් සිටින බවත් රහසක් නොවේ. මේ පිළිබඳව මම ශාස්ත්‍රීය ගවේෂණයක් කලෙමි.

පසුගිය සමයේදී බෞද්ධ භික්ෂුන් මෙන්ම ක්‍රිස්තියානි පාෂ්ටර්වරුන් කිහිපදෙනෙක්ද සාර්ථක ව්‍යවසායකයන් ලෙස ඉදිරියට පැමිණියේය. ඔවුන් ජන මාධ්‍ය තුල පවසන විලම්භීත කතා සමහරෙකුට ශ්‍රේෂ්ඨ මග පෙන්වීම් ලෙසද සමහරුන්ට "ගොන් ජෝක්ස්" ලෙසද පෙනෙන්නට ඇත. එහෙත් ඔවුන් ඉතා සුක්ෂමව සහ සාර්ථකව ආමන්ත්‍රණය කරන්නේ තමන්ගේ poetntial clientele එකට බව ඔබ කී දෙනෙක්ට වැටහුනේද? අපි ඉහත උදාහරණය පමණක් සලකා බලමු.

බොහෝ දුප්පත් රටවල, විශේෂයෙන්ම දකුණු ආසියාවේ, බහුතරයක් කාන්තාවන් විවාහ දිවියේදී ලිංගික තෘප්තියක් නොලබන බව බොහෝ සමාජ විද්‍යා පර්යේෂණ තුලින් හෙළිවී තිබේ. මීට සාමාජිය, ආර්ථික සහ පාරිසරික හේතුන් බලපායි. 

ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල වෙහෙසවී වැඩකරන කෙනෙක් (නිවසේ හෝ රැකියා ස්ථානයක) සවස්යාමය වන විට දහඩිය දූවිලි වැකුණු වෙහෙසකර සිරුරකට හිමිකම් කියයි. බොහෝ විට කාන්තා පාර්ශවය රාත්‍රී ඇඟ දෝවනය කර පිරිසිඳුව සයනයට නොපැමිණේ නම් ඔවුන්ගේ පරම අභිප්‍රාය වන්නේ ඇඳට වැටුණු සැනින් නින්දට යාමයි (පසුදා උදසනින් අවදිවී දවසේ කාර්යයන් සිදුකල යුතු වීමද ඔවුන්ගේ මනසේ හොල්මන් කරයි). නමුත් බොහෝ විට ශරීරයේ ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා පුරුෂයාගේ තත්වය වෙනස්ය. ඔවුන් බොහෝ දෙනෙකුට ඇඟ පතේ වෙහෙස නිවා ගැනීමට ලිංගික කෘත්‍ය අත්‍යවශ්‍යය. මෙය බොහෝ කාන්තාවන්ට හිරිහැරයක් මිස අවශ්‍යතාවයක් නොවේ. ඔවුන් මෙය හැකි ඉක්මනින් නිම කල යුතු තවත් යුතුකමක් ලෙස  සේ සලකන අතර තමන් නොදැනීම "ලිංගික අතෘප්තිය" නැමැති මානසික පීඩන තත්ත්වයටද පත්වෙයි. මැදිවියට පා තබන මෙවන් කාන්තාවන් හැකිතාක් ලිංගික කටයුතුවලින් ඈත්වීමට උත්සහ කරයි. ඔවුන් තමන්ගේ ලිංගික අතෘප්තිය වෙනත් විදි රාශියකින් සමනය කරගැනීමට තමන්ටත් නොදැනිම යත්ත දරයි. තම නෑ හිතවතුන් සමග අඩදඹර කරගැනීම, රැකියා ස්ථානයේදී නොයෙකුත් ගැටළු ඇති කරගැනීම මේ ක්‍රියා අතර වෙයි.

ඉහත කී ජනප්‍රිය පුජ්‍ය/පූජකයන් ආමන්ත්‍රණය කරන්නේ මේ mindset එකටයි. ඔවුන් මෙම කාන්තාවන්ට තමන් ලිංගික අතෘප්තියට ලක්වීම පිළිබඳව අවබෝධය වෙනුවට තම අවුල් වූ මනස  සාධාරණීකරණය කරගැනීම සඳහා ධෛර්ය ලබා දෙයි. එසේම මැදිවියේදී ලිංගික කාර්යයෙන් ඈත්වී සිටීමට මෙම කාන්තාවන්ට සාධාරණ හේතු ලබා දෙයි. මේ නිසා එම කාන්තාවන් මේ හාමුදුරුවරුන් කෙරේ ලොබ බඳින්නා පමණක් නොව තම ස්වාමි පුරුෂයන්ද හැකිතාක් ඒ කෙරේ යොමු කිරීමට උත්සහ කරයි. 

හාමුදුරුවන්ගේ ව්‍යවසායකත්ව සාර්ථකත්වය එතනයි. 

රටේ දියුණුව සඳහා කල යුතුව ඇත්තේ වැඩිහිටි ජනතාවට ලිංගික අධ්‍යාපනය පිළිබඳව මනා දැනුමක් ලබා දී ඔවුන් සතුටින් සැහැල්ලුවෙන් සිටින තෘප්තිමත් ජනතාවක් බවට පත් කිරීමයි. නමුත් සිදුවන්නේ හාමුදුරුවන්ගේ business එක වැඩි දියුණු වීමයි.