දාර්ශනික මතවාදයක් සහ ඒ හා බැඳුනු දේශපාලන සංස්කෘතියක් අන්තගාමි ලෙස හිස් මුදුනේ තබාගත් (මතවාදය උස්මුරුත්තාවේ ගිය) ලාංකිකයෙක් දරුණු මානසික ආබාධයකට ලක්වී රෝහල් ගත කල අවාසනාවන්ත සිදුවීමක් ඇමරිකාවෙන් අසන්න ලැබුණි. ආචාර්ය උපාධියක් ලබාගැනීමෙන් පසුවත් තමන්ට පාලනය කරගත නොහැකි මානසික ව්‍යාධි තත්වයකට මිනිසෙකු පත්වීම ඛේදාන්තයකි.
උදාහරණයක් ලෙස සිංහල බෞද්ධ වීම පිළිබඳව ලාංකිකයන් බොහෝ දෙනා තුල යම් ප්‍රෞඩත්‍වයක් ඇත. එහෙත් මේ හැඟීම සීමාව ඉක්මවා ගිය විට දන්නා හඳුනන අය සමග අනවශ්‍ය ගැටුම් ඇති කරගැනීමත් තම ප්‍රතිරූපය පවා විනාශ වන අයුරින් සමාජ මාධ්‍ය තුල හැසිරීමත් බොහෝ දෙනෙකු තුලින් අපි නිතරම දකිමු. මෙවන් පුද්ගලයන් ඉතා අසීරු තත්වයකට පත්වන්නේ ඔවුන්ගේ දරුවන් තමන් සටන් කරන මතවාද වලින් බොහෝ සේ ඈත්වීමට පටන් ගත් විටයි. මෑතකදී අපට සිංහල-බෞද්ධ උණ වැළඳුන අය මෙන්ම ආන්තික ලෙස සමාජවාදී සහ කොමියුනිස්ට්වාදී මතවාද කරපින්නා ගත් පිරිසද මේ අභාග්‍යසම්පන්න සංසිද්ධියට මුහුණු දෙනු අපට පෙනෙයි.
මතවාද යනු ගතික (dynamic) සංකල්පයන්ය. ඒවායේ හැඩතල කාලය මෙන්ම දේශය අනුවද වෙනස් වේ. සමහර විට මතවාද නොවෙනස්ව තිබියදී අපට මතවාද පිළිබඳව ඇති අදහස් සහ හැඟීම් වෙනස් වෙයි. එය ස්වභාවිකය. මේ නිසා මතවාද යනු හුදෙක් ආශ්වාදය සඳහාම වූ වාද, විවාද, සංවාද වලින් ඔබ්බට හිස මත තබා ගෙන නොයා යුතු භූතාර්ථයන්ය. මේ බව අවබෝධ කරගැනීමට අසමත්වීම ඔබට උන්මත්තකාගාරයට යාමට පවා හේතුවිය හැක.

No comments:
Post a Comment