Wednesday, 23 November 2022

පලිඟු බෝලයෙන් පෙනෙන ඊළඟ කතාව



"රනිල් ජන මනස කියවාගෙන ඇත - බහුතරයක් ජනතාව රනිල් කියවාගෙන නැත"

මාස තුනකට පෙර මා කී අනාවැකි සනාථ වෙමින් පවතී. රනිල් යටතේ ටිකෙන් ටික රට යථා තත්වයට පත්වනවා යන මායාව බහුතරයක් ජනතාව වෙලාගෙන ඇත. උද්ඝෝෂණ, පෙළපාලි, වැඩ වර්ජන, වීථි සටන් පුස්සක් බවට පත්වෙමින් ඇත. සිංහල-බෞද්ධ අභිමානය යැයි කියාගෙන වසර 70ක් 80ක් ඔසවාගෙන ආ වික්ටෝරියානු සංස්කෘතියේ අංග එකින් එක ගලවා ඉන්දියන් සාගරයට විසිකිරීමට වැඩ සැලසෙමින් පවතී. ඉන්දු-ඇමරිකන් සහයෝගීතාවය සුමටව සහ සුවපහසු සහිතව ලංකාව නතු කරගනිමින් සිටියි. චීනය යන යකා කොරහත් බිඳගෙන යන තත්වයක් මතුවෙමින් ඇත. 

---------------------------------------

මේ බංකොලොත් හිඟන දීන තත්වයට පාර කැපුවේ රාජපක්ෂලා බව අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් තවමත් බහුතරයක් රාජපක්ෂ ගැත්තන්ට පහළවී නැත. එම තත්වය රනිල් විසින් ඉතා සුක්ෂමව උත්ප්‍රේරණය කරන බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් රනිල්වාදීන්ට නැත. 

ලංකාවේ බහුතරයක් ඉදිරියේ සිදුවන ව්‍යසන ඉවකරගැනීමට සමත් පිරිසක් නොවේ. ඒ වෙනුවට ඔවුන් ලැබෙනා ඉතා සුළු පහසුකමක් වෙනුවෙන් රටට හෙණ වැදුනත් කම් නැතැයි සිතන ජාතියකි. රනිල් මේ ජන විඥානය මැනවින් හඳුනා ගෙන ඇත.

---------------------------------------

ලංකාවේ නාගරික මධ්‍යම පංතිය නැගී සිටියේ ගැඹුරු පද්ධති-ප්‍රතිපත්ති වෙනසකට නොවන බව මගේ හැඟීමයි. ඔවුන් වියරු වැටුණේ තමන් ගතකල සුව පහසු දිවිපෙවෙත කඩා වැටුණු හෙයිනි. රනිල් මේ ජන මනස මැනවින් කළමනාකරණය කළේය. රට බංකොලොත් බව රජය ප්‍රකාශ කර ඇත. මේ අනුව දැන් ලංකාව සියළු ණය හිමියන්ට ණය හෝ පොලිය ගෙවීම අත් හිටුවා ඇත. මේ නිසා ඉතිරි වන මුදලින් ඉන්ධන, ගෑස්, සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා කෙසේ හෝ යාන්තමින් හිග පියවයි. මේ නිසා දැන් මධ්‍යම පංතියට අරගලය අමතකවී ඇත. සමහරුන්ට එය අරහං වී ඇත. 

නමුත් ගෙවෙනා සෑම පැයකම ලංකාව ගෙවිය යුතු ණය හා පොලිය වේගයෙන් ඉහල යයි. එක් අවස්ථාවකදී තව දුරටත් මේ ගමන යා නොහැකිව රට සමාජ ව්‍යසනයකට ඇද වැටෙයි. ලංකාව සතු වත්කම් විකිණීමෙන් මේ ලක්ෂයට ලඟා වීම යම් තරමකට පමා කරගත හැක. ලාංකිකයා දිය සැලිය නටන තෙක් එහි කෙලින කකුළුවා වැනි බව රනිල් දනී. 

"විකිණිය යුත්තේ ලාභ ලබන ආයතනයි" ඔහු දැන් හඬ නගා පාර්ලිමේන්තුවේදීම පවසයි. ජනතාව මීක් නැත. මන්ද දැන් ඔවුන්ට යාන්තම් ඉන්ධන බින්දුවක්, ගෑස් සිලින්ඩරයක්, ආහාර ටිකක් අහස උසට මුදල් ගෙවා හෝ මිලදී ගත හැක. 

"නැවතත් අරගලයක් පැමිණිය හොත් හදිසි නීතිය දමා, හමුදාව යොදවා එය මර්දනය කරනවා" නැවතත් ඔහු කියන්නේ පාර්ලිමේන්තු ගැබ දෙවනත් කරමිනි. සමහර මිනිසුන් මෙයට හුරේ දමා පෝස්ට් පලකරනු දුටුවෙමි. ඔවුන්ට දැන් අරගලය කරදරයකි. අරගලය ඇරඹුණේ කුමන කාරණයක් පාදක වීමෙන්ද කියාවත් ඔවුන්ට මතකයක් නැත. මේ පහල මධ්‍යම පන්තියේ ඛේදවාචකයයි. 

මෙතෙක් කිසිම ජනාධිපතිවරයෙක් විවෘතව පැවසීමට මැලි වූ ඉහත කරුණු ඔහු දැන් නිබයව පවසයි. ලංකාවේ බහුතරයක් දීන මනසින් යුතු බව ඔහු කියවාගෙන ඇත. 

ඉදිරියේදී සියල්ල විකුණා අවසන් වුවත් ජනතාවගේ බඩගින්න නිවීම අපහසු බව රනිල් දනී. එවිට සුළුතරයක් ඔහුට එරෙහිව නැගී සිටියහොත් කල යුතු දෙයට ඔහු සුදානම් වෙයි. එවිට බහුතරයක් දීන මනස් ඔහු සමග සිටින බවටද ඔහු වග බලා ගනී. 

-----------------------------------------

ඊළඟ චන්දය හෝ චන්ද පෙළ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විශිෂ්ඨ ආකාරයෙන් ජයග්‍රහණය කරන බව මගේ හැඟීමයි. ඒ ජවිපෙ ප්‍රතිපත්ති හෝ ඉදිරි වැඩපිළිවෙල සලකා නොවේ. ඔවුන් මේ වන විට දියත්කර ඇති ක්‍රියාන්විතය සලකා බලාය. ලංකාවේ සියළුම පක්ෂ අභ්‍යන්තර ගැටළු විසඳ ගැනීමට එකිනෙකා කුළල් කාගන්නා අතර ජවිපෙ ඉතා සුමටව මහජනතාව දැනුවත් කරමින් සිටියි. මෙය මේ අවස්ථාවට උචිතම ක්‍රියාන්විතයයි. මැතිවරණයක් පැමිණෙද්දී ඔවුන් පැහැදිලිවම අනෙක් පක්ෂවලට වඩා ඉදිරියෙන් සිටිනු ඇත. අභියෝගය වන්නේ ඇත්තෙන්ම චන්ද දිනීම නොව ඊට පසු කරන්නේ කුමක්ද යන්නයි. 

අනෙකුත් විකල්ප බලවේගවලටද තවමත් කාලය ඇත. ඔවුන් ජවිපෙන් ස්වායත්තව තම මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමේ කිසිඳු වරදක් නැත. සිදුවිය හැකි හොඳම දේ ජාතික ජන බලවේගය සහ ප්‍රගතිශීලි විකල්ප කණ්ඩායමක් අතර මූලික ගැටුම ඇතිවීමයි. අසූචි ආයුධ ලෙස භාවිතා කරන විමල් වීරවංශ සහ හරීන් ප්‍රනාන්දුගේ වාදයක් වෙනුවට ප්‍රතිපත්ති  සහ වැඩපිළිවෙලවල් ආයුධ කරගත් චතුරංග අබේසිංහගේ සහ පැතුම් කර්නර්ගේ සටනක් බැලීමට මම පෙරුම් පුරමි. 




     

Thursday, 17 November 2022

අපි නිර්මාණිලාව තනි නොකරමු



මියගිය නිර්මාණි ජිවත් වූ නිර්මාණිට වඩා බලවත් බව කවුදෝ මගේ FB පිටුවේ සඳහන් කර තිබුණි. එය සැබෑවකි. ජිවත් වුවත් මළකඳන් වැනි මිනිසුන් අතර මියගිය පසු තවත් උස් හඬින් හදවත් අමතමින් යුග පෙරලි කරන චරිතද කලාතුරකින් දැකිය හැක. 

නිර්මාණිගේ මරණයට පසු අපට දැක ගන්නට ලැබුණේ ඇයගේ දර්ශණයට ඉඳුරාම පටහැනි හෘද සාක්ෂියක් ඇති එවුන්ගේ මානසික කම්පනයයි. නොඑසේ නම්, වැරදි තීරණ ගෙන, ඒවා සාධාරණීකරණය කරමින්, ඒවා පාරාවළලු වෙමින් පැමිණෙන විට ඉන් මිදීමට පඹ ගාල් අතර දුවමින්, ඒවායේ පැටලෙමින්, පණ අදින සමහරුන්ගේ විලාපයයි. 

මිසරය, ග්‍රීසිය, රෝමය, චීන මින්ග් අධිරාජ්‍යය ආදී දැවැත්ත ශිෂ්ඨාචාර ඒවායේ අවසානයට ලඟා වන විට තිබූ සමාජ හැසිරීම් රටාවල ඉතා කිට්ටු සමානකම් ඇත. ඓතිහාසික මුලාශ්‍ර විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ මේ ශිෂ්ඨාචාර කෙලවරට පැමිණෙන විට සමාජය අතිශයින් විෂමාචාර තත්වයකට පත්වී ඇති බවයි. සමහර විට සමාජය ඒ තත්වයට පත්වුන නිසා ශිෂ්ඨාචාරය විනාශ වුවාද විය හැක. 

පාලක ස්ථරය සහ ඔවුන් අවට සිටි ප්‍රභූ පැලැන්තිය අසීමාන්තිකව ධනය සහ බලය හඹා යමින් බහුතර ජනයා පෙලන්න විය. ඔවුන්ගේ ජරා ජීර්ණ ජිවිත ක්‍රියාවලිය සහ තාඩන පීඩන හමුවේ ජනතාව නැගී සිටීම යම් තරමකට පමා කලේ ආගම පලිහක් ලෙස යොදාගත් පූජක පන්තියයි. ඔවුහු පාලකයාට දේවත්වයක් ආරෝපණය කරමින් සහ නොයෙකුත් අළුත් මිත්‍යා මතවාද වපුරමින් ජනතාව භීතියට පත්කළහ. මේ වෙනුවෙන් ඔවුන්ට බොහෝ යස ඉසුරු පාලක පැලැන්තියෙන් ලැබුණි. ඔවුන්ගේ මතවාද වැපිරීමට සමාජය තුලම සුළුතර පිරිසක් විය. ඔවුන් බොහෝ දෙනෙක් බුද්ධි හීන අඳබාලයන් විය. ඔවුන්ව මිත්‍යා මතවාද තුලින් බියවැද්දීම පහසු විය. අනෙක් පිරිස පූජකයන්ගෙන් යම් යම් ලාබ ලැබූ අධම තක්කඩියන් විය. ඔවුන් දෙපිරිසම පුජකයන් සහ පාලකයන් වෙනුවෙන් ජනතාව මිත්‍යාවේ වලලා තැබීමට උපරිම උත්සහයක් දැරීය. අවසානයේදී සියළුම දෙනා සමගින් මේ ශිෂ්ඨාචාර වැනසී ගියෝය. 

ඒ දැවැත්ත සමාජ පද්ධතිවලට අලඟු තියන්නවත් නොහැකි ලංකාව, අද පත්ව ඇත්තේ තවත් කුඩා කෙටි කාලීන ශිෂ්ඨාචාරයක අවසානයට බව මට හැඟෙයි. 

පසුගිය දොළොස් වසරක පමණ කාලය තුලදී බුදු දහම සහ සිංහල සංස්කෘතිය රාජපක්ෂ දේශපාලනය සමග සාර්ථකව පූට්ටු කිරීමට රාජපක්ෂලා වටා සිටි හෙංචයියන් සමත්විය. මොවුන් අතර දේශපාලකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් මෙන්ම ඉහල පෙලේ වෘත්තිකයන්ද සිටියෝය. මෙම පූට්ටුව ජනගත කිරීමට රාජපක්ෂලාගේ සොරකම් මත යැපුණු මාධ්‍ය ජාලයන් කිහිපයක්ම විය. එහි උච්චතම අවස්ථාව එළැඹෙන්නේ 2019 ජනාධිපතිවරණය සමයේය. නාග ධාතු, වලින් ඇරඹුන ගමන සාරි අන්දන බෝගස් සහ චෛත්‍ය, රහතන්වහන්සේලා, බුදුවරුන්, මුක්කුන්වහන්සේලා, සඳ කුමරුන්, ප්‍රියමාලිලා හරහා දැන් කිරුළු පලන් දියසේන දක්වා පැමිණ ඇත. මේ ගමන මෙතෙකින් නතරවන්නේ නැත. මෙය දැන් බෝවෙන ලෙඩක් තරමට උත්සන්න වී දේව බලයෙන් ෆෝන් චාර්ජ් කරන, ක්‍රීඩා තරඟ දිනවන පාෂ්ටර්ලාද බිහිවෙමින් පවතී. කාඩිනල්වරයා පවා මේ තත්වය ඇති කිරීමට මුලදී සෑහෙන සහයෝගයක් දුන්නේය. 

මෙලෙස පිස්සන්, තක්කඩියන්, සොරදෙටුවන් පසු පස සාදු කියමින් යාමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බව කෙනෙකුට තර්ක කල හැක. එහෙත් එහි ප්‍රතිඵලය අත් විඳීමට සිදුවන්නේ මුළු සමාජයටම බව අප අමතක කල යුතු නැත. දැන් දැන් සාදුන්වහන්සේලා කාන්තාවන්ගේ ඇඳුම, පාසැල් දරුවාගේ ලිංගික අධ්‍යාපනය, පවුලක දරුවන් ගණන තීරණය කිරීම පමණක් නොව අඹු සැමි යුවලක් සයනයේදී කටයුතු කල යුතු ආකාරය ගැනද අණ සහ උපදෙස් දීමට ඉදිරිපත්වී ඇත. 

අබුද්ධික, නිවට, නොන්ජල් බහුතරයක් සිටින සමාජයක සිතන්නට හැකි පුළුල් මනසක් ඇති සුළුතරය අසරණ වෙයි. ඔවුන්ට එවිට ගත හැකි ක්‍රියාමාර්ග ඇත්තේ දෙකකි. එකක් නම් රට හැර යාමයි. එයින් සමාජ පද්ධතියේ කඩා වැටීම තවත් ඉක්මන් කරයි. දෙවැන්න බහුතරයක් අබුද්ධිමත් ප්‍රජාව දැනුවත් කර ඔවුන් නැවතත් ප්‍රකෘති සිහියට ගැනීමයි. මෙය කිරීමට ගිය විගසින් මෙම අබුද්ධික බහුතරය මෙලෝ තේරුමක්  නැති ඉතා අමනෝඥ සහ විකටරූපී තර්ක නගමින් අපහාස අවලාද කිරීමට පටන් ගනියි. ඔවුන් මිත්‍යාවට එරෙහිවන්නාට බුදු දහමට ගරහනවා යයි කියමින් වෛර කරන්නේ ඇත්තටම බුදු දහම පිළිබඳව හැඟීමකින් නොව ඔවුන් බුදු දහම හා පූට්ටු කල තම දේශපාලන පක්ෂය බිඳ වැටේ යයි ඇති බිය නිසාය. බොහෝ දෙනෙකු මෙය අවිඥානිකව සිදු කරයි. 

මා දකින ආකාරයට මෙහි ඊළඟ පියවර බෞද්ධ-තලේබාන් රාජ්‍යයකි. නිර්මාණිලා වෙහෙස වුයේ මේ ගමන නැවත්වීමට යයි මට සිතෙයි. 

අපි නිර්මාණිලාව තනි නොකරමු. එසේ නොමැති නම් හැකි සියලු දෙනාම රටින් පිට වී ගිලෙන නැව දෙස බලා සිටිමු. 



Wednesday, 2 November 2022

කල යුත්තේ කුමක්ද? මට හිතෙන හැටි



දිගු ලිපියක් ලිවීමට කල් ගතවන බැවින් කෙටියෙන් කියමි.

ඔබට වසන්ත ඇතුළු වද බන්ධනයට ලක්වන පිරිස මුදා ගැනීමේ අවංක චේතනාවක් ඇත්නම් ජූලි චංග්, IMF/WB නියෝජිතයන් සහ බටහිර, ජපානය, ඉන්දියාව ඇතුළු  හැකි සෑම රටකම තානාපතිවරුන් හමු වී සාකච්චා කරන්න. ඒ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය දැනුවත් කරන්න. හැකි සෑම අවස්ථාවකම ලැබෙන තීන්දු පිළිබඳව නොසිතා නීතිය හමුවට ඔබේ දුක් ගැනවිලි ගෙන යන්න. ඒ ගැන අන්තර්ජාතික මාධ්‍ය අමතන්න.

ඔබට රටේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නම් අඩුම තරමින් සිතන්න හැකි බුද්ධියක් හා යම් තර්ක ඥානයක් තිබෙන පිරිස්වත් හැකිතාක් එකතුවන්න. ඔබේ මතවාදීමය හෝ න්‍යායාත්මක වෙනස්කම් ටික කලකට ලාච්චුවට දමා වසන්න. චන්දයක් පැමිණෙන තෙක් හැකි සෑම අයුරකින්ම සිදුවූ සහ සිදුවන දුෂණය, භිෂණය, වංචාව, තක්කඩිකම් ගැන ජනතාව දැනුවත් කරන්න. මේ සඳහා සමාජ මාධ්‍ය, කුඩා රැස්වීම්, සමූහ සාද, මාධ්‍ය සාකච්චා, කලා වේදිකාව ආදිය පමණක් නොව කඩමණ්ඩිය, කන්තෝරුවේ කෑම පැය, පොදු ප්‍රවාහන භාවිත කරන අවස්ථාව, මංගල-අවමංගල උත්සව, බණ ගෙදර, දානේ ගෙදර ආදී සමාජය හමුවන සෑම අවස්ථාවක්ම යොදාගන්න.  

රටේ උන්නතිය සඳහා අවධානය යොමු කල යුතු වැදගත්ම අංග 12 ක් හෝ 15 ක් අර්ථ දක්වා ගන්න (අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය, සන්නිවේදන ක්‍රමවේද, පර්යේෂණ සහ නව නිපැයුම්, කෘෂිකර්මය සහ වාරි කර්මය, පරසර සංරක්ෂණය ආදී). ඉන් පසු එම අංශ දියුණු කිරීමේ මාර්ග පිළිබඳව සංවාදයක් ගොඩනගන්න. රටේ මේ වන විට ඉතා දරුණු තත්වයකට පත්ව ඇති ඍණාත්මක මනෝභාවයන් වෙනස් කිරීමට මෙය බෙහෙවින් ඉවහල් වනු ඇත.

මම නැවතත් කියමි. සාම්ප්‍රදායික උද්ඝෝෂණ නැවත නැවතත් කිරීම තුලින් අරගලය දිනා දුන් බොහෝ දේ ඔබට නැවතත් අහිමි වනු ඇත. මිනිසුන් වේගයෙන් අරගල බිමින් ඈත්වෙමින් පවතී. ඒ බව ඔබට සමාජ වටපිටාව තුලින් නිරීක්ෂණය කල හැකිය. එදා ගෝල්ෆේස් එකට පැමිණ ඔබ වෙනුවෙන් මැරයන්ට පහර දුන් ජනතාවම ඊළඟ උද්ඝෝෂණයේදී ඔබට පහරදීමට හැක. 

රනිල් ලාංකීය ජන මනස හැසිරෙන ආකාරය කියවා ඇත. නමුත් සමාජයේ බොහෝ  දෙනෙක් රනිල්ව කියවා නැත. 

Friday, 28 October 2022

ආචාර්ය උපාධිය වෙනස් සෙල්ලමකි


සමාජ මාධ්‍ය තුලින් මා හඳුනාගත් ලංකාවේ තරුණ උපාධිධාරියෙක් ඊයේ මා අමතා උපකාරයක් ඉල්ලීය. ඒ මා මැලේසියාවේ කලින් සේවය කල සරසවියේ PhD උපාධිය සඳහා අයැදුම් කිරීමේදී ඇතිවූ ගැටළුවක් පිලිබඳවය. එම සරසවියේ විද්‍යුත් ඉංජිනේරු ආචාර්‍ය උපාධියට ලියාපදිංචි වීමට නම් විද්‍යුත් ඉංජිනේරු හෝ භෞතික විද්‍යා විශේෂවේදී උපාධියක් සෑහෙන ඉහල CGPA අගයක් සමග ලබාගෙන තිබිය යුතුය (මෙම සරසවියේ QS ලෝක ශ්‍රේණිගත කිරීම 123 වේ). මා ඇමතු උපාධිධාරියාට එම සුදුසුකම් තිබුණේ නැත. 

ප්‍රතිපත්තියක් ලෙස මා එවැනි අවස්ථාවලට මැදිහත් නොවන බව මම ඔහුට කාරුණිකව පැවසුවෙමි. ඔහු ඉන්පසු මා සමග වචනයක්වත් කතා කලේ නැත. මගේ තීරණයට හේතු පාදක වූ අතීත කතාව ඔහු වෙනුවෙන් මම මෙසේ ලියා තබමි.

------------------------------------------

මීට වසර 10 ට පමණ පෙර මම මේ උපකාරය තවත් ලාංකිකයෙකුට කලෙමි. අවශ්‍ය උපාධි පථය ඔහුට නොතිබූ අතර ඔහුගේ CGPA අගය අවශ්‍ය අවමයට වඩා ඉතා පහලින් විය. සාමාන්‍යයෙන් අධීක්ෂකවරයාට (supervisor) යම් පශ්චාත් උපාධි (විශේෂයෙන් PhD) අයදුම්කරුවෙකුගේ සුවිශේෂී දක්ෂතා ඇති බව හැඟේ නම් ඔහු හෝ ඇය වෙනුවෙන් විශේෂ සලකා බැලීමක් සඳහා පශ්චාත් උපාධි කමිටුවට මැදිහත්විය හැක. නමුත් මෙහිදී තමා අයදුම්කරුගේ දක්ෂතාවය පිළිබඳව වගකියන බව අධීක්ෂක මහාචාර්යවරයා විසින් ලිඛිතව දැනුම් දිය යුතුය. මේ අයදුම්කරු ලාංකිකයෙකු වන බැවින්ද, තිබූ දැන හැදුනුම්කම් වෙනුවෙන්ද, ඔහු MSc දෙකක්ම කර තිබූ නිසාද මම ඔහු වෙනුවෙන් මැදිහත් වුනෙමි. 

නමුත් ටික කලකින්ම මට වැටහුණේ ඔහු ආචාර්‍ය උපාධි භුතාර්ථයක් (PhD entity) නොවන බවයි. කෙනෙකුට ශාස්ත්‍රපති (MSc/MA /MBA) උපාධි දහයක් ගත හැකි වුවත් එය PhD උපාධියක් කරා යාමට ඔහුට/ඇයට හැකි බව පවසන්නේ නැත. එය වෙනමම කලාවකි. කැපවීම සහ දැරීමේ හැකියාව, විශ්ලේෂණ ශක්තිය, විෂය පිළිබඳව ඉතා ගැඹුරින් මුලික දැනුම තිබීම ආදී කාරණා රාශියක් ඊට බලපායි. CGPA හෝ GPA අගය මේ හැකියාව මැන බැලීමේ සුදුසුම පරාමිතිය නොවුවත් එය ඒ සඳහා ඉහල දායකත්වයක් දක්වයි.

මෙම පුද්ගලයාට ඔහුගේ අඩු පාඩු  නොහැඟෙන ආකාරයෙන්, කල යුතු දේ කියා දීමටත් ඔහු වෙනුවෙන් පත්‍රිකා පවා සකස් කරදීමටත් මම උත්සුක වුනෙමි. නමුත් වසර තුනක් පමණ මගෙත් ඔහුගේත් කාලය අපතේ යැවීමෙන් පසු ඔහු කිසිවෙකුටත් නොකියාම ලංකාවේ සරසවියක PhD උපාධියට ලියාපදිංචි වූ බවත් මැලේසියාවේ සරසවියේ කටයුතු අතහරින බවත් එකවරම මට දැනුම් දුන්නේය. මේ සිදුවීමට දැන් වසර හතක් පමණ ගතවී ඇත. මා දන්නා තරමින් ඔහු මෙතෙක් තම අධ්‍යන කටයුතු පැත්තෙන් කිසිඳු ප්‍රගතියක් අත්කරගෙන නැත. අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම සහ ජිවිතයේ විශාල කාලයක් නාස්ති කරගැනීම පමණක් සිදුවී ඇත. 

පසු කලෙක මම මේ තත්වය තවත් (මා යටතේ නොවන) සිසුන් රාශියක් තුලින් දැක ඇත්තෙමි. මම මුලින්ම මේ තැනැත්තාට ඔහුගේ අඩු CGPA අගය පෙන්වා ඔහුගේ නොහැකියාව කියා දුන්නා නම් ඔහුගේ මුදල් සහ කාලයත් මගේ කාලය සහ මැලේසියාවේ සරසවියේදී මා පත්වූ අපහසුතාවයත් නොවන්න තිබුණි. ඔහු මට ඉතා වැදගත් පාඩමක් කියා දුන්නේය. 


නව-ශිෂ්ඨාචාරකරණය



සුද්දා අප්‍රිකාවට පැමිණෙන විට එහි සිටියේ ගෝත්‍රවලට බෙදුණු මානව සමුහ ගණනාවකි. මේ සෑම ගෝත්‍රයකටම තමන් විසින් අර්ථ දක්වා ගත් දෙවියෙකු හෝ දෙවිවිවරු විය. සමුහයේ ආරක්ෂාව, රැකවරණය සහ අභිවෘද්ධිය මේ දෙවියාගේ කාර්යභාරය විය. මෙම ගෝත්‍රිකයන් අතර භූමිය සහ සම්පත් අරඹයා නිතර කළහ  ඇතිවිය. ඒ ගැටුම්වලදී දෙවියාට ඉහල මූලිකත්වයක් හිමිවිය.

අප්‍රිකාවට මුලින්ම සුද්දා පැමිණෙන කාලයේ යුරෝපයේ සමාජ හැසිරීම අප්‍රිකානු සමුහයන්ට වඩා වැඩි වෙනසක් නොවීය. ඔවුන්ටද මැද පෙරදිගින් ආනයනය කර තමන්ට රිසි පරිදි අර්ථ දක්වා ගත් දෙවියෙක් විය. මේ දෙවියා අප්‍රිකානු දෙවිවරුන්ට වඩා තත්වයෙන් ඉහල බව ඔවුන් උපකල්පනය කළහ. මේ සඳහා ඔවුන්ට තුවක්කු සහ වෙඩි බෙහෙත් උපකාරී විය. 

මේ අනුව තමන් දෙවියන්ගේ නාමයෙන් කරන මිනීමැරුම් සහ භූමි මංකොල්ලය අප්‍රිකානුවන්ගේ ගෝත්‍ර අතර කෙරෙන සටන් වලට වඩා ශ්‍රේෂ්ඨ සහ ශිෂ්ඨ සම්පන්න බව යුරෝපියයා නිගමනය කළේය. නග්නව හෝ සතුන්ගේ සම් පෙරවාගෙන, නොයෙකුත් දේව සහ මළගිය භූතාර්ථ යදිමින්, දඩයමෙන් ජීවිකාව ගතකල අප්‍රිකානුවන් "ශිෂ්ඨසම්පන්න" කිරීම තම පරම යුතුකම සහ අයිතිය බවට සුද්දා ස්වයං-තීරණයකට එළඹියේය. එතැන් සිට ගතවූ ශතක කිහිපය තුල "ශිෂ්ඨාචාරකරණයේ" නාමයෙන් යුරෝපියයා මානව ඉතිහාසයේ මෙතෙක් හමුවන ම්ලේච්ඡතම, කෲරතරම සහ අශිලාචාරාම ක්‍රියාන්විතය මෙහෙයවීය. මේ ශිෂ්ඨාචාරකරණයේ මූලික අරමුණ වුයේ භූමිය සහ සම්පත් මංකොල්ලය බව අද කුඩා දරුවෙකුට වුනත් පැහැදිලිය.

වසර දෙතුන් සියයකට පසු අද .....! භූමි-සම්පත් මංකොල්ලය එලෙසමය. ක්‍රමවේදය වෙනස්ය. එදා ශිෂ්ඨාචාරකරණය අද නව-ශිෂ්ඨාචාරකරණය (neo-civilizing) ලෙස කරලියට පැමිණ ඇත. 

බටහිර ලෝකය පසුගිය දශක කිහිපයක සිට නව-ශිෂ්ඨාචාරකරණය ක්‍රියාවේ යොදවයි. නමුත් මෙය ඉතා උද්වේගකර ත්වරණයකට භාජනය වන්නේ මීට වසර 15 කට පමණ පෙර සිටය. ඒ චීනයේ ජාත්‍යන්තර හැසිරීමට සමගාමීවය. 

දීර්ඝ කාලීනව ඌන සංවර්ධිත තත්වයේ පවතින රටවල් අති බහුතරයක දුෂණය, සොරකම, වංචාව, භීෂණය සහ නීතියේ ආධිපත්‍ය අස්ථාවර වීම සුලබව දකින්නට ලැබෙන තත්වයකි. මෙයට දේශපාලුවා ප්‍රමුඛ රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන්  ඇතුළු රටේ බහුතරයක් ජනතාවම වග කිව යුතු වෙයි. මෙම තත්වයෙන් එම රටවල් මුදා ගැනීම තම පරම යුතුකම සහ අයිතිය බවට බටහිර ලෝකය සිතයි. ඒ සඳහා ඔවුන් අද තුවක්කුව, කඩුව සහ කසය වෙනුවට ආර්ථික සම්බාධක, ණය සහ ආධාර, මාධ්‍ය සහ නොයෙකුත් ජාත්‍යන්තර ආයතන මෙන්ම ජාත්‍යන්තර අධිකරණයද යොදා ගනී. සමහර අවස්ථාවල පරණ පුරුදු ක්‍රමයට දෙවියන්වද නව-ශිෂ්ඨාචාරකරණය උදෙසා යොදාගන්න අවස්ථා නැත්තේම නැත. නව-ශිෂ්ඨාචාරකරණය කල රටක් තමන්ට නතුකරගැනීම වඩාත් පහසු බව ඔවුන්ගේ විශ්වාසයයි.

චීනය අවශ්‍ය රටවල් තමන් නතු කරගන්නේ ඉහත සඳහන් කල ක්‍රමවේදයට ප්‍රතිවිරුද්ධ ආකාරයටයි. ඔවුන් රටක් හැකිතාක් දුෂණයට යොමු කරයි. එය සියළු දේශපාලන පක්ෂ, රාජ්‍ය තන්ත්‍රය සහ ව්‍යාපාරික ප්‍රජාව දක්වා ව්‍යාප්ත කරයි. ඔවුන් මෙය සිදුකරන ආකාරය පිළිබඳව අප නොයෙක් වර සාකච්චා කර ඇත.

උගන්ඩාව, සැම්බියාව, කෙන්යාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, වැනිසියුලාව, ඉක්වදෝරය, පේරු: මේ චීන ණය මත වසර දහයක් පමණ ගමන් කල රටවල්ය. ඒ සියල්ලටම පොදු වූ කාරණයක් ඇත. එනම් එම රටවල දුෂණය, භිෂණය සහ වංචාව උස්මුරුත්තාවට ගොස් තිබීමයි. ඔවුන් නහයෙන් ඉහලට වතුර ගලන මට්ටමට පත්වී ඇත. 

වරක් මා සේවය කරන සරසවියට පැමිණි කැනේඩියානු මහාචාර්යවරයෙක් අපූරු කතාවක් කීය.

"යුරෝපියයා වෙනුවට චීනා අප්‍රිකාවට පැමිණියා නම්, තවමත් අප්‍රිකානුවන් ගෝත්‍ර වලට බෙදී සැතපුම් ගණන් ගැඹුරු පතල්වල එකිනෙකා මරාගනිමින් ජීවත් වනු ඇත". 

මෙතැන් සිට කතාව (ලංකාව දෙසට) ඊළඟ ලිපියෙන් ලියන්නම්.  


කල යුතු දේ සාකච්චා කරන්න පෙර - සිදු වූ දේ ගැන මතකය අවදි කරමු.



අරගලය සමච්චලයට ලක් කරන පිරිස් පිළිබඳව මට ඇත්තේ දැඩි අනුකම්පාවකි. අරගලයේ යහපත් ඵල බොහෝය. ඒවා කාටත් නොදැනීම දිනපතා ලැබෙමින් පවතී. අරගලයට සමච්චල් කරන්නන්ටද එම යහ ඵල භුක්ති විඳීමට ලැබෙන බව ඔවුන්ට නොතේරෙයි. දැන් ජනතාව අඩසියවසකට පසු හෙමින් හෙමින් නිදි ගැට හරිමින් සිටියි. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන රැසක කටයුතු ඉතා සෙමෙන් වුවත් දේශපාලුවාගේ ග්‍රහණයෙන් මිදෙමින් පවතී. වෙනදා ජනතාව ඉදිරියේ මහා බලසම්පන්නව පෙනී සිටින දේශපාළුවා අද පන්සලක පිංකමකට යාමටද දෙවරක් සිතයි. ඔවුන් සෑහෙන  තරමකට ජනතාවට බිය වී ඇති සෙයකි. තක්කඩි රාජපක්ෂලාගේ බලය ක්‍රමයෙන් වියැකී යයි. ජෝන්ස්ටන්ලාගේ, රෝහිතලාගේ, මහින්දානන්දලාගේ කටවල්වලට යම් තරමකට ඉබි යතුරු වැටී ඇත. තවමත් දොඩවන්නේ මොලේ කලඳක් නැති තිස්ස කුට්ටිලා, සනත් නිශාන්තලා වැනි අමනයන් අතලොස්සකි. 

අරගලකරුවන් නිසා රටේ ආර්ථිකය බිඳ වැටුණු බව කියමින් පෝස්ට් පලකිරීමට තරම් මුග්ධ අඥාන වූ අතලොස්සක්ද සිටීම ඛේදජනකය. අරගලය ඇරඹෙන්නේ එවන විටත් කඩා වැටී හොම්බෙන් ගොස් තිබු ආර්ථිකයට වගකිව යුතු වූ තක්කඩි දේශපාළුවාට එරෙහිව බව තේරුම් ගන්න තරම් ඔවුන්ට බුද්ධියක් නැත. 

ජන අරගලය පාලක පක්ෂයට පමණක් නොව විපක්ෂයටද දැඩි අභියෝගයක් එල්ල කළේය. තමන්ගේ සහයෝගයෙන් තොරව ලංකාවේ ජන පිබිදීමක් සිදුවිය නොහැකි බව ප්‍රධාන විපක්ෂ දෙකම සිතා සිටි බව මගේ හැඟීමයි. අරගලය පිළිබඳව ඔවුන් ආරම්බයේදී කල ඍණාත්මක ප්‍රකාශන එයට සාක්ෂි දරයි. කිසිම විටෙක අරගලයේ නායකත්වය ගැනීමට ඉදිරිපත් නොවූ විපක්ෂය දිගින් දිගටම "හරි ගියොත් අපේ, වැරදුනොත් තොපේ" mode එකේ සිටියේය. මෙය අදටත් ඔවුන්ට දැඩි අවාසියක් ගෙන දෙයි.

Saturday, 22 October 2022

ආගමික, නිරාගමික සහ පෙට්ටියෙන් එළියට


"අහන්න ඔබගෙන්ම ඒ ඇයි කියා".

මා ආචාර්ය උපාධිය සඳහා පර්යේෂකයෙකු අධීක්ෂණය කරන විට ඔහුට හෝ ඇයට නිතරම දෙන මාර්ගෝපදේශයයි ඒ. 

ඉතා පුළුල් පරාසයක ජාති, ආගම් සහ සමාජ ස්ථර හරහා පැමිණෙන සිසු සිසුවියන් රාශියක් අධීක්ෂණය කර ඇති මට මේ උපදේශය ක්‍රියාවේ යෙදවීමට බියවන බොහෝ අය හමු වී ඇත. ඔවුන්ගේ ආගමික පසුබිම තුල මේ පැනය කිසි විටෙක තමාගෙන් ඇසීමට නොහැකිවන සේ කටට ඉබි යතුරු දමා ඇත.

ඔවුන් පමණක් නොව මාද කුඩා කල පටන් මේ වාරණයට ලක් වුවෙක්මි. මට කුඩා සන්ධියේ අප පවුල නඩයක් සමග කතරගම වන්දනාවේ ගියා මතකය. වැඩිහිටි කන්ද නගිද්දී හොඳටම හන්ටර් වූ මම "ඇයි අම්මේ මේ දෙයියෝ අර පහල දේවාලේ ඉන්නේ නැතුව කන්දක් උඩ ඉන්නේ. අපෙත් කකුල් කැඩෙනවා දෙයියෝ බලන්න ගිහින්" කීවෙමි.

මගේ මවටත් පෙර පුළුවන් තරම් ඇස් ලොකු කරගනිමින් මා දෙස බැලූ පුංචි අම්මා "අපෝ මේකාගේ කට. කොහේ ගියත් මේ වක්කඩේ වහගෙන ඉන්න බැහැ. මේක දෙවියන්ගේ අඩවිය කියල මේ කොල්ලට වගක් නැහැ නෙව". 

කොහොමත් ඒ කාලයේ පාසලේදී මගේ රෙකොර්ඩ් එකත් අන්තිම සවුත්තු වූ බැවින් පවුලේ උදවිය මා දෙස කුමන දෙයකට උනත් බලන්නේ "මූ නම් ලොකු වෙන කොට IRC කාරයෙක් වෙන එක ෂුවර්" ලුක් එකකිනි. බොහෝ දෙනෙක් මට එය පවසාද ඇත. අප කන්ද බසින විට මගේ නැගණිය පඩි කිහිපයක් පෙරලී වැටුණු අතර, එයටද පුංචි අම්මලා, මාමලා මගේ කට සම්බන්ධ කලෝය. 

සුනිල් අයියා නමින් අප හඳුන්වන ඥාති සහෝදරයාත්, සීයාත් (මවගේ පියා) සහ පස් වන ශ්‍රේණියේදී පන්ති බාර ගුරුතුමාත් (මයුරපාල සර්) නොසිටින්නට බොහෝ විට මගේ ජීවිතය IRC කාරයෙකුගෙන් කෙලවර වන්න තිබුණි. නමුත් මේ තිදෙනා නිසා වයස 12 වන විට මම "ඩබ්ලිව් ඒ ද සිල්වාගේ ලක්ෂ්මි (හෙවත් නොනැසෙන රැජින) නවකතාවට වඩා මැක්සිම් ගෝර්කිගේ අම්මා හොඳයි කියන්නේ ඇයි?" කියා ඇසීමට තරම් පැසී තිබුණි (මට ඒ දවස්වල කොහොමටත් රුසියානු පරිවර්තන ඇල්ලුවේ නැත). 

කුඩා කල ලද අත්දැකීම් නිසාම මම මගේ සෙවනේ වැඩෙන පර්යේෂකයන් දෙස ඉතා කාරුණිකව අවධානය යොමු කරමි. ඔවුන් බොහෝ දෙනෙකුට "ඇයි" කියා ඇසීමට හුරු කරවීම සඳහා වසර දෙකක් පමණ ගතවේ. 

-------------------------------------------

ආගම් ඇතිවීම ගැන මා දකින ආකාරය පිළිබඳව මම ලිපි කිහිපයක්ම ලියා ඇත. මේ නිසා ඒ ගැන නැවතත් දීර්ඝ වශයෙන් ලිවීමට සිත් නොදෙයි. මේ අදහස් සම්පිණ්ඩනය කළහොත්; 

පරිසරයට ඇති බිය නිසා පවුලක් හෝ කුඩා සමුහයක් වශයෙන් සිටියදී පෞරුෂයක් සහිත වස්තුන්ගෙන් (ඉර හඬ, පර්වත, කඳු, විශාල රුක්ෂ ආදිය) ආරක්ෂාව පැතූ මානවයා, හේතූන් කිහිපයක් මත පසුව පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බලවේගයක් හෝ බලවේගයන් වෙත තම විශ්වාසය තැබිය. එය වඩා සුරක්‍ෂිත ඇදහීමක් විය. ශිෂ්ඨාචාරය ගොඩනැගෙද්දී ස්වභාව ධර්මයෙන් ඇතිවන පීඩාවන් සමනය කිරීමට අමතරව මානව පාලනය සහ කළමනාකරණය සඳහා මෙම ඉන්ද්‍රිය ගෝචර නොවන බලවේගය අත්‍යවශ්‍ය විය. මේ අනුව බලවේගය-පුජකයා-පාලකයා යන ත්‍රිත්වය ශිෂ්ඨාචාරයක් පැවතීමේ මූලික අඩිතාලම බවට පත්විය. බලවේගය සඳහා දෙවියා, දෙවිවරු වැනි පුද්ගල ආදේශ කිරීම් මෙන්ම කර්මය වැනි ක්‍රියාවලියන් ආදේශයද සිදුවී ඇත.  මිනිසාට අදටත් තේරුම් ගත නොහැකි භෞතික සිරුරෙහි පැවැත්මේ අවසානය හෙවත් මරණය සහ ඉන් මතු පැවැත්ම, බලවේගය යන සංකල්පය පවත්වාගෙන යාමට විශාල වශයෙන් උපකාරී විය. 

ලොව මෙතෙක් බිහි වූ සෑම ආගමක්, දහමක්, දර්ශනයක්ම (මින් ඉදිරියට මේ සියල්ල ආගම යනුවෙන් හඳුන්වමි) පහල වන්නේ යම් සාමාජීය අර්බුදයකට විසඳුම් සෙවීමට බව මගේ හැඟීමයි. ලොව මෙවැනි සංකල්ප අනන්තවත් බිහිවී ඇත. එහෙත් ඒවායින් දිගු කාලීනව රැඳී ඇත්තේ අතලොස්සකි. මේ ලෙස දිගු කාලීනව පැවතීමේ රහස ඉතා පැහැදිලිය. ආගමක් දහමක් ඉදිරියට ගෙන යන්නේ පාලකයා සහ පූජකයාය (පූජ්‍ය-පූජක වැනි යෙදුම් හා නොගැටෙන්න. අදාළ සංකල්පය සමාජයට පැහැදිලි කරන්නා පූජකයා ලෙස මම හඳුන්වමි). ඔවුන්ට සමාජ පාලනය පහසු වන පරිදි කාලනුරූපීව වෙනස් කරගත හැකි සංකල්ප දිගු කල් වැජඹෙයි. 

සමාජය හොඳ-නරක අර්ථ දක්වන්නේ එම සමාජයේ පැවැත්ම තහවුරු වන ආකාරයටය. මේ අනුව හොඳ-නරක අදාළ කාල-අවකාශ රාමුවට සාපේක්ෂය. 

ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා පහසුකම් නොතිබූ යුගයක අර්ධ-කාන්තාර බද පෙදෙසක ජීවත්වන සමාජයකට නිර්මාංශ ආහාර මත යැපෙන්න යයි පවසන දර්ශනයක් ප්‍රයෝගික නැත. 

සතුරු බලපෑම් උග්‍රව පවතින අවස්ථාවක සියල්ලට වඩා සමුහය පොදු අරමුණකට යොමු කිරීම සාර්ථක නායකයෙකුගේ අවශ්‍යතාවයයි. එවිට සමුහය එකට බැඳ තබන දේව සංකල්පයට එරෙහිව යන මව-පියා-සොයුරු සොයුරියන් පවා ඝාතනය කිරීම නිවැරදි බව ඔවුන් පවසනු ඇත. 

සමහර අති දුෂ්කර කාලවකවානුවල හෝ අවස්ථාවල  අන්‍යන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ දේ සොරා ගැනීම හෝ වංචා කිරීම, බොරු කීම යනාදිය වැරදි කරුණු නොවන බව පවා සමහර ආගම්වල සඳහන් විය. 

සාමාන්‍යය කාල වකවානුවල බොහෝ රටවල ගැහැණු-පිරිමි අනුපාතය 50:50ට ආසන්නවේ. එවිට විවාහය හෝ කායික සම්බන්ධය එක් ගැහැනියකට එක් පිරිමියෙක් ලෙස සම්මතයක් වීම සමාජ තුලිතතාවය රැකගැනීමට හේතුවෙයි. නමුත් දීර්ඝ කාලීන යුදමය වාතාවරණයකදී මේ සමතුලිතතාවය බිඳී ගැහැණු ගහණය සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවිය හැක. එවිට සමුහයේ පැවැත්ම සඳහා එක් පිරිමියෙකුට එක් ගැහැනියකට වඩා තමා සන්තකයට ගැනීම සමාජ අවශ්‍යතාවයක් විය හැක. මේ අනුව බහු භාර්යා සේවනය සමාජ සම්මතයක් බවට පත්වේ. එසේම කිසිම ආගමක් රජවරුන්ට අන්තත්පුර පවත්වාගෙන යාමට බාධා කර නැත. 

අවට සිටින අනෙක් මානව වර්ග සමග නිතරම ගැටුම් ඇතිවන සමාජ ව්‍යුහ තුල බිහි වූ සෑම ආගමකම පාහේ නූතන සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බොහෝ සංකල්ප දැකිය හැක. තමන් යටත් කරගන්නා බිම් කඩක සිටින මිනිසුන් වහලුන් ලෙස යොදවා ගැනීමේ හැකියාව, එබඳු යටත් වැසි කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අවශ්‍ය ආකාරයකට යොදා ගැනීම, යටත් වැසියන් තම ආගමට බලහත්කාරයෙන් හරවා ගැනීම හෝ නොඑසේ නම් මරා දැමීම මීට උදාහරණ කිහිපයකි. මේ සියල්ල දෙවියන්ගේ නියම ආකාරයෙන් ඉදිරිපත්කර ඇත. ඒ අනුව මෙම ක්‍රියා "හොඳ" කටයුතු බවට එකල සම්මත වී තිබුණි. 

මේ ලෙස හොඳ-නරක අර්ථ දැක්වෙන්නේ සමාජ අවශ්‍යතාවයන් මතය. මේ හොඳ-නරක කිසිවක් ඊට අදාළ නොවන කාල-අවකාශ රාමුවක් තුල විග්‍රහ කිරීම පලක් නැති බව මගේ හැඟීමයි. ලොව බොහෝ ගැටළු ඇතිවන්නේ එක් කාල-අවකාශ රාමුවකට අයත් හොඳ-නරක තවත් කාල-අවකාශ රාමුවකට බලහත්කාරයෙන් ඇතුලත් කිරීමට යාමෙනි.

-------------------------------------------

මගේ ලිපි කියවා ඇති බොහෝ දෙනෙක් මා නිරාගමිකයෙක්දැයි අසයි. මම ඔවුන්ට ඉතා සරල පිළිතුරක් දෙමි. 

"ඔබට මා නිරගමිකයෙක්ද යන ගැටලුව ඇතිවන්නේ ඔබ ඔබව ආගමිකයෙක් කියා ලේබල් කරගෙන සිටින නිසාය. ඔබ ඔබේ ආගමික ලේබලය ගැලවුවහොත් නිරාගමික සංකල්පයද ඒ සමගම මැකී යනු ඇත." 

මා හැමදාම පවසන පරිදි සියලුම ආගම් මොඩලයන්ය. මේ මොඩලය ඇත්තේ මරණින් මතු පැවැත්ම සහ එම පැවැත්මෙහි ස්වභාවය පාලනය කරන බලවේගය උදෙසාය. මොඩලයක් යනු අප නොදන්නා යමක් විස්තර කිරීමට උපකල්පනය කරන සංකල්පයකි. සියළු ඒබ්‍රහමියන් ආගම්වල මෙය ඉතා සරලව සහ පැහැදිලිව කියා ඇත. එනම් මරණින් මතු "ආත්මය" නමින් යමක් පවතින අතර එය දිව්‍ය තලයට යනවාද නිරයට යනවාද යන්න දෙවියන්වහන්සේ නම් බලවේගයක් මගින් තීරණය කරයි. 

මේ මරණින් මතු පැවැත්මද, දෙවියන් වහන්සේද, උපකල්පනයන් පමණකි. හින්දු ධර්මය ඇතුළු අනෙකුත් බොහෝ ඉන්දීය දර්ශන තුල (බුදු දහම හැර) "ආත්මය" නමින් යමක් මරණින් මතු පවතින අතර එය තවත් ජීවයක් අල්ලා ගැනීමෙන් පුනරුත්පත්තිය නම් සංසිද්ධිය ඇතිවේ. මෙම පුනරුත්පත්තිය සිදුවන ඊළඟ ජිවය සහ ඉන්පසු එහි පැවැත්ම "කර්මය" නම් ක්‍රියාන්විතයක් මගින් පාලනය වේ. මෙහිදීද මෙම ආත්මය සහ කර්මය උපකල්පන පමණකි. 

මේවා සියල්ල මොඩලයන් බැවින් එහි සත්‍ය-අසත්‍යතාවය පිළිබඳව කිසිවෙකුටත් සහතිකයක් දීමට නොහැක. 

ඉහත මොඩලය ශිෂ්ඨාචාරයේ යම් කාල අවකාශ ලක්ෂයකට අදාළ "හොඳ-නරක" අර්ථදක්වා ගැනීමටත් ඒවා ක්‍රියාවේ යෙදවීමටත් අත්‍යවශ්‍ය වේ. මේ මොඩලයේ බලපෑම නොමැතිව කිසිවෙක් ආගම විසින් අර්ථ දක්වන හොඳ-නරක පිළිගැනීමට මැලිවනු ඇත. මේ අනුව ආගම් මොඩල ශිෂ්ඨාචාරයේ පැවැත්මට අතිශයින් උපකාරී වී ඇති බව මගේ මතයයි. 

ආගමික මොඩලය ඉවත දමන විට මානව පාලනය සහ කළමනාකරණය සඳහා නීතියට එහා ගිය යාන්ත්‍රණයක් අවශ්‍යවේ. මෙය බොහෝ විට ඉතා ම්ලේච්ඡ මුහුණුවරක් ගැනීම ඉතිහාසය පුරාම දැකිය හැක. මා ඕ සේතුං, ජෝශප් ස්ටර්ලින් ලා තුලින් අප දුටුවේ මේ ම්ලේච්ඡත්වයයි. 

-------------------------------------------

මරණය යනුවෙන් අප හඳුන්වන සංසිද්ධියෙන් ඔබ්බට "මමය" හෝ "මාගේය" කියා හඳුන්වාදිය හැකි යම් භූතාර්ථයක් පවතී නම් එය භෞතික ශරීරයෙන් ස්වායත්ත වූ යමක් විය යුතුය. මගේ පෞද්ගලික හැඟීම නම් එබඳු යමක් නොපවතින බවයි. පංචස්කන්ධය සහ ඒ ආශ්‍රිතව ඇතිවන මනස-සිතුවිලි-කල්පනාව (mind-thoughts-intellect) යන එකිනෙක බැඳුනු සංසිද්ධි ත්‍රිත්වය මොලයේ ක්‍රියාකාරිත්වය අවසන්වීමත් සමගම නැතිවී යයි. ඉපදීමේ සිට මරණය දක්වා සිදුවන ජීවත්වීම නැමැති ක්‍රියාවලිය තුලදී සංවේදන පද්ධතිය (sensing system), ඉහත සංසිද්ධි ත්‍රිත්වය, සහ ප්‍රතිදාන පද්ධතිය (output system) එකිනෙකට පරායත්ත වූ අනුක්‍රමික ක්‍රියාදාමයක් (sequential process) හරහා ප්‍රතිපෝෂණ පුඩුවක (feedback loop) ගමන් කරයි. සංවේදන පද්ධතියෙන් ලැබෙන සංඥා සැකසීමෙන් (processing) අනතුරුව අවට ලෝකය හා ගනුදෙනුව උදෙසා ප්‍රතිදාන පද්ධතියට දැනුම් දෙන්නේ මනස-සිතුවිලි-කල්පනාව යන සංසිද්ධි ත්‍රිත්වයයි. මේ අනුව අප අවට ලෝකයට කරන බලපෑම තීරණය වන්නේ සංසිද්ධි ත්‍රිත්වය මතයි. 

උදාහරණයක් ලෙස කෙනෙකු මට යම් කාරණයකට දොස් පවරන විට සවන් නැමැති සංවේදන පද්ධතිය හරහා එය මට ඇසේ. මනස-සිතිවිලි-කල්පනාව යන සංසිද්ධි තුලින් මේ පිළිබඳව මා ගතයුතු පියවර තීරණය කරයි. එය මට බනින පුද්ගලයාට පෙරලා බැනීම, ඔහුට පහර දීම, කිසිත් නොකියා සිටීම, එතනින් ඉවත්වීම ආදී ප්‍රතිදාන ගණනාවකින් එකක් හෝ කිහිපයක් විය හැක. මේ අනුව මනස-සිතිවිලි-කල්පනාව පාලනය කරගැනීමෙන් තමන්ට හා සමාජයට වඩාත් යහපත් ප්‍රතිදානයක් ලබා දිය හැක. 

මේ ගැන වසර 2500ට පමණ පෙර ගෞතම බුද්ධ නම් තැනැත්තෙක් ඉතා සරලව විස්තර කර ඇත. එම විස්තරය පටිච්ච සමුප්පාදය නම් වේ. ඔහු ඉතා ඍජුවම "මම" හෝ "ආත්මයක්" කියා යමක් නැති බව ප්‍රකාශ කළේය. සමහර විට ඊට පෙර සහ ඊට පසුව විසූ පුද්ගලයන් ගණනාවක් මේ බව පෙන්වා දෙන්න ඇත. 

මෙම සංකල්පය ශිෂ්ඨාචාරයේ පැවැත්ම දැඩි අභියෝගයකට ලක් කරයි. මනස-සිතිවිලි-කල්පනාව පාලනය කරගැනීම තුලින් සමාජයේ අභිවෘද්ධියට හේතුවන ප්‍රතිදාන ලබා දීම යන කාරණය වෙනුවට මරණින් මතු පැවැත්මක් නැත යන කෙලවර පමණක් අති බහුතරයක් මානවයා විසින් අල්ලා ගැනීමට ඉඩකඩ ඇත. මේ සමගම සහශ්‍ර ගණනාවක් සිදු වූ එලොව පැවැත්ම සහ මනුෂ්‍යත්වය ඉක්ම වූ සුපිරි පාලක බලය මගින් සිදු කල මානව කළමනාකරණය බිද වැටේ. මරණින් මතු පැවැත්මක් හෝ මානව විඥානයට ගෝචර නොවන තීරක බලවේගයක් නොමැති වීම තුල පාලකයාගේ සහ පූජ්‍ය/පූජකයාගේ පැවැත්ම දැඩි අභියෝගයකට ලක්වේ. 

මේ නිසා ටික කලෙකින්ම නැවතත් මරණින් මතු පැවැත්ම සහ කර්මය නම් එවකට සහශ්‍ර කිහිපයක් ඉන්දියාවේ පැවති සංකල්ප බුදුදහම තුලට ඇතුල් කරන්නට ඇත. මා සිතන ආකාරයට බුදුදහම මෙතෙක් කල් පැවතීමටත් මේ කාරණයම පැවසූ සමහරුන්ගේ දහම් පිළිබඳව ඉතිහාසයේ කිසිඳු සලකුණක් නොතිබීමටත් හේතුව මෙලෙස බුදුදහමට මරණින් මතු පැවැත්ම ඇතුළු වීමයි. 

අදටත් බෞද්ධ විශාරදයන් (Buddhist scholars) මරණින් මතු පැවැත්ම ගැන විස්තර කිරීමේදී දැඩි අපහසුතාවයකට පත්වේ. "ආත්මය" යනු මරණින් මතු පැවැත්මයි. එක තැනකදී බුදුන් වහන්සේ ආත්මයක් නැත යයි පැවසූ බව කියන අතරම තව තැනකදී මරණින් මතු එම තැනැත්තාට අයත් යමක් මගින් තවත් තැනක උත්පත්තියක් හටගන්නා බව පවසයි. එනම් මරණින් මතු පැවැත්මක් තිබෙනා බව ඔවුන්ට පිළිගැනීමට සිදුවේ. මෙය පරස්පරය. මේ සඳහා භෞතික ශරීරයෙන් ස්වායත්ත වූ "සිත" නම් යමක් පවතින බවට ඉතා දුර්වල උපකල්පනයක් කිරීමට (මොඩලයක් ගොඩනැගීමට) මෙම බෞද්ධ විද්වතුන්ට සිදුවේ.  

මා සිතන ආකාරයට බුදුන් ඉදිරිපත්කල මොඩලය සමස්ථ සමාජයම අවබෝධ කරගැනීමට තරම් බුද්ධි වර්ධනයකට තව සහශ්‍ර දෙකක්වත් ගතවනු ඇත. එතෙක් දැන් පවතින බුදුදහමේ මොඩලය තවදුරටත් පැවතීම යහපත් වනු ඇත.  

-------------------------------------------

ඔබ ආගමික හෝ නිරගමික ලෙස ලේබල් ගතවී ඇත්නම් ඔබ ඉන්නේ බහාළුම් ගතවය. එනම් පෙට්ටියක් තුලය. ඔබගේ නිම්තෙර පෙට්ටියේ බිත්ති හයයි. ඔබ එහි සුරක්ෂිතය. එහෙත් එය ඉතා අසහනකාරී කූඩුගත සිරකරුවකුගේ ජීවිතයකි. ඔබ පෙට්ටිය තුල ජිවිතයට කැමති නම් ඒ සඳහා ඔබට පරම අයිතියක් ඇත. මම එයට අභියෝග නොකරමි. 

එහෙත් ඔබ පෙට්ටියෙන් එලියට පැමිණීමට කැමති නම් ඔබට ඉතා සුන්දර වචනයෙන් විස්තර කල නොහැකි ආනන්දජනක (blissful) හැඟීමක් ඇතිවනු ඇත. එය ඇත්තෙන්ම සැබෑ විමුක්තිය බව මට හැඟේ. ආගම මොඩලයක් පමණක් බව අවබෝධ කර ගත් විට ඔබට ඕනෑම අවස්ථාවක ඕනෑම මොඩලයක් තුලට ගොස් එහි අහ්ලාදය අත්විදිය හැක. මේ ආනන්ද ජනක තත්වය (blissful state) පිළිබඳව අප තව දිනෙක කතා කරමු. 

-------------------------------------------

කිසිවෙක් ආගමක් ඇදහීම, පිළිගනිම, පිළිපැදීම හෝ නොඇදහීම, නොපිළිගැනීම සහ නොපිලිපැදීම සම්පුර්ණයෙන්ම ඒ තැනැත්තා සතු පරම අයිතියකි. 

නමුත් ඔබට හැකි නම් අසන්නට ඔබගෙන්;

"ඇයි මට ආගමක් අවශ්‍යය" හෝ "ඇයි මට ආගමක් අනවශ්‍යය" කියා ඔබගෙන් සමාජයට සහ පරිසරයට මෙන්ම ඔබටද ලැබෙන බොහෝ අහිතකර ප්‍රතිදාන බෙහෙවින් අඩු කරගත හැකි වනු ඇත.