Friday 28 October 2022

නව-ශිෂ්ඨාචාරකරණය



සුද්දා අප්‍රිකාවට පැමිණෙන විට එහි සිටියේ ගෝත්‍රවලට බෙදුණු මානව සමුහ ගණනාවකි. මේ සෑම ගෝත්‍රයකටම තමන් විසින් අර්ථ දක්වා ගත් දෙවියෙකු හෝ දෙවිවිවරු විය. සමුහයේ ආරක්ෂාව, රැකවරණය සහ අභිවෘද්ධිය මේ දෙවියාගේ කාර්යභාරය විය. මෙම ගෝත්‍රිකයන් අතර භූමිය සහ සම්පත් අරඹයා නිතර කළහ  ඇතිවිය. ඒ ගැටුම්වලදී දෙවියාට ඉහල මූලිකත්වයක් හිමිවිය.

අප්‍රිකාවට මුලින්ම සුද්දා පැමිණෙන කාලයේ යුරෝපයේ සමාජ හැසිරීම අප්‍රිකානු සමුහයන්ට වඩා වැඩි වෙනසක් නොවීය. ඔවුන්ටද මැද පෙරදිගින් ආනයනය කර තමන්ට රිසි පරිදි අර්ථ දක්වා ගත් දෙවියෙක් විය. මේ දෙවියා අප්‍රිකානු දෙවිවරුන්ට වඩා තත්වයෙන් ඉහල බව ඔවුන් උපකල්පනය කළහ. මේ සඳහා ඔවුන්ට තුවක්කු සහ වෙඩි බෙහෙත් උපකාරී විය. 

මේ අනුව තමන් දෙවියන්ගේ නාමයෙන් කරන මිනීමැරුම් සහ භූමි මංකොල්ලය අප්‍රිකානුවන්ගේ ගෝත්‍ර අතර කෙරෙන සටන් වලට වඩා ශ්‍රේෂ්ඨ සහ ශිෂ්ඨ සම්පන්න බව යුරෝපියයා නිගමනය කළේය. නග්නව හෝ සතුන්ගේ සම් පෙරවාගෙන, නොයෙකුත් දේව සහ මළගිය භූතාර්ථ යදිමින්, දඩයමෙන් ජීවිකාව ගතකල අප්‍රිකානුවන් "ශිෂ්ඨසම්පන්න" කිරීම තම පරම යුතුකම සහ අයිතිය බවට සුද්දා ස්වයං-තීරණයකට එළඹියේය. එතැන් සිට ගතවූ ශතක කිහිපය තුල "ශිෂ්ඨාචාරකරණයේ" නාමයෙන් යුරෝපියයා මානව ඉතිහාසයේ මෙතෙක් හමුවන ම්ලේච්ඡතම, කෲරතරම සහ අශිලාචාරාම ක්‍රියාන්විතය මෙහෙයවීය. මේ ශිෂ්ඨාචාරකරණයේ මූලික අරමුණ වුයේ භූමිය සහ සම්පත් මංකොල්ලය බව අද කුඩා දරුවෙකුට වුනත් පැහැදිලිය.

වසර දෙතුන් සියයකට පසු අද .....! භූමි-සම්පත් මංකොල්ලය එලෙසමය. ක්‍රමවේදය වෙනස්ය. එදා ශිෂ්ඨාචාරකරණය අද නව-ශිෂ්ඨාචාරකරණය (neo-civilizing) ලෙස කරලියට පැමිණ ඇත. 

බටහිර ලෝකය පසුගිය දශක කිහිපයක සිට නව-ශිෂ්ඨාචාරකරණය ක්‍රියාවේ යොදවයි. නමුත් මෙය ඉතා උද්වේගකර ත්වරණයකට භාජනය වන්නේ මීට වසර 15 කට පමණ පෙර සිටය. ඒ චීනයේ ජාත්‍යන්තර හැසිරීමට සමගාමීවය. 

දීර්ඝ කාලීනව ඌන සංවර්ධිත තත්වයේ පවතින රටවල් අති බහුතරයක දුෂණය, සොරකම, වංචාව, භීෂණය සහ නීතියේ ආධිපත්‍ය අස්ථාවර වීම සුලබව දකින්නට ලැබෙන තත්වයකි. මෙයට දේශපාලුවා ප්‍රමුඛ රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන්  ඇතුළු රටේ බහුතරයක් ජනතාවම වග කිව යුතු වෙයි. මෙම තත්වයෙන් එම රටවල් මුදා ගැනීම තම පරම යුතුකම සහ අයිතිය බවට බටහිර ලෝකය සිතයි. ඒ සඳහා ඔවුන් අද තුවක්කුව, කඩුව සහ කසය වෙනුවට ආර්ථික සම්බාධක, ණය සහ ආධාර, මාධ්‍ය සහ නොයෙකුත් ජාත්‍යන්තර ආයතන මෙන්ම ජාත්‍යන්තර අධිකරණයද යොදා ගනී. සමහර අවස්ථාවල පරණ පුරුදු ක්‍රමයට දෙවියන්වද නව-ශිෂ්ඨාචාරකරණය උදෙසා යොදාගන්න අවස්ථා නැත්තේම නැත. නව-ශිෂ්ඨාචාරකරණය කල රටක් තමන්ට නතුකරගැනීම වඩාත් පහසු බව ඔවුන්ගේ විශ්වාසයයි.

චීනය අවශ්‍ය රටවල් තමන් නතු කරගන්නේ ඉහත සඳහන් කල ක්‍රමවේදයට ප්‍රතිවිරුද්ධ ආකාරයටයි. ඔවුන් රටක් හැකිතාක් දුෂණයට යොමු කරයි. එය සියළු දේශපාලන පක්ෂ, රාජ්‍ය තන්ත්‍රය සහ ව්‍යාපාරික ප්‍රජාව දක්වා ව්‍යාප්ත කරයි. ඔවුන් මෙය සිදුකරන ආකාරය පිළිබඳව අප නොයෙක් වර සාකච්චා කර ඇත.

උගන්ඩාව, සැම්බියාව, කෙන්යාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, වැනිසියුලාව, ඉක්වදෝරය, පේරු: මේ චීන ණය මත වසර දහයක් පමණ ගමන් කල රටවල්ය. ඒ සියල්ලටම පොදු වූ කාරණයක් ඇත. එනම් එම රටවල දුෂණය, භිෂණය සහ වංචාව උස්මුරුත්තාවට ගොස් තිබීමයි. ඔවුන් නහයෙන් ඉහලට වතුර ගලන මට්ටමට පත්වී ඇත. 

වරක් මා සේවය කරන සරසවියට පැමිණි කැනේඩියානු මහාචාර්යවරයෙක් අපූරු කතාවක් කීය.

"යුරෝපියයා වෙනුවට චීනා අප්‍රිකාවට පැමිණියා නම්, තවමත් අප්‍රිකානුවන් ගෝත්‍ර වලට බෙදී සැතපුම් ගණන් ගැඹුරු පතල්වල එකිනෙකා මරාගනිමින් ජීවත් වනු ඇත". 

මෙතැන් සිට කතාව (ලංකාව දෙසට) ඊළඟ ලිපියෙන් ලියන්නම්.  


3 comments:

  1. බැරි වෙලාවත් ලන්කාව ලෝක බලවතා වෙලා අනිත් රටවල් වලට අත පෙව්වනම් එය මොන ආකාරයේ වේවිද? චීනය වගේද බටහිර වගේද නැත්නම් මිහිඳු හාන්දුරැවො වගේද? මට කියන්න ඕනෙ මේකයි. ලෝකයේ පල්ලෙහා රටකට වෙලා ප්‍රබල රටවල් විවේචනය කරන එක තමා කරන්න ලේසිම වැඩේ, හරියට පාර්ලිමේන්තුවෙ ජෙප්පො කරන දේ වගේ. මනුස්සයෙකුගේ පෞද්ගලික ජීවිතයේදීත් ෆේවරිටිසම් (තමන්ගෙ නෑයෙක් යාලුවෙක්ට පැනල උදව් කරනවනෙ පාරෙ යන හිඟන්නෙක්ට වඩා, තමන්ගෙ ගම, පාසැල අරක මේකට ලෝයල්නේ), අනෙකකු අභිබවා යාම, තරඟය, නෑයෙක් යාලුවෙක්ගෙ කීමට නොදන්න මනුස්සයෙක් එක්ක කුළියට තරහ වීම, ජජ් කිරීම ආදී නොයෙක් වැරදි තියෙන මිනිස්සු ප්‍රබල රටවල් වලින් පිනට කකා ඒක සර්ව සාධාරණ විය යුතු බවට හිතීමම පිළි ගත නොහැකියි, මොකද තමන්ගෙ ජීවිතයෙත් ඒ මිනිස්සු පට්ට අසාධාරණයි. කැම්පස් යද්දි සල්ලි නැති කාලෙ සර්ව සාධාරණ ලෝකයක් හදන්න කැප උන මගේ ජෙපි මිතුරන් අවුට් උනාට පස්සෙ පට්ට අසාධාරණ මිනිසුන් උනා. ලන්කාවත් ඒ වගේ

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගෙ ආසාධාරණව වැඩ කරන එක සාධාරණ කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?

      මං ඇවිල්ලා ඔයාව මැරුවොත් ඔයාව මරන්න මට අනුව සාදාරණ හේතුවක් ඇති. ඉතින් ඒක දැකලා අනිත් මිනිස්සු මාව විවේචනය නොකර ඉන්න ඕනිද?

      Delete
  2. පහුගිය කාලයේ ඔබතුමාගේ බ්ලොග් සටහන් කියවන කොටත් ඒවාට සමහරුන් දමන comments දැක්කමත් හිතෙනවා, ඔබතුම ලියනවා බර වැඩිද කියල. මම කියන්නේ ඔබ ලියන ව්‍යංගාර්ථය ගැන. මගේ අත්දැකීම තමයි, ලංකාවේ මිනිස්සුන්ට කියන්න ඕනේ දේ පොල්ලෙන් ගැහුවා වගේ කිසිම රසයක් ගුණයක් කලාවක් නැතිව තණකොල කවනවා වගේ කියන්න ඕනේ කියල. ව්‍යංගාර්ථයක් ගැඹුරක් තේරුම් ගන්න තරම් ලාංකිකයාගේ බුද්ධිය පැසිලා මදි. ඔවුන් බලන teledrama සහ කියවන නවකතා ආදිය මේ නොගැඹුරට හේතු වෙනවා ඇති.

    ReplyDelete