Friday, 19 December 2025

දුරකථන කුළුණු නිසා සිදුවන අකුණු හානිය


දුරකථන හෝ සම්ප්‍රේෂණ කුළුණු මගින් අවට ගොඩනැගිලි වලට ඇතිවිය හැකි අකුණු බලපෑම් ගැන නැවතත් කිහිප දෙනෙක්ම අසා තිබුණි. මේ ගැටළු වලට වෙන වෙනම පිළිතුරු දෙනවා වෙනුවට මේ ලිපිය ලිවීමට සිත්විය.

දුරකථන කුළුණක් තම නිවස අසල ඉදිකළ විට එයින් හෝ ඒ මත සවිකරන අකුණු ආරක්ෂණ පද්ධතියෙන් තම ගොඩනැගිල්ලට අකුණු විසිකරනවා වැනි මත සාවද්‍ය වේ. ඒ සඳහා කිසිඳු විද්‍යාත්මක පදනමක් නැත, ඇත්ත වශයෙන්ම සිදුවන්නේ තම ගොඩනැගිල්ලට ඇදී එන්න තිබූ ඍජු අකුණක් පවා කුළුණට සම්බන්ධ වීමට වැඩි ඉඩකඩක් ඇතිවීමයි.

නමුත් අසල ඇති දුරකථන කුළුණකින් තම නිවසේ උපකරණ වලට අලාබ හානි වීමේ ප්‍රවණතාවය වැඩිවිය හැක. ඒ පිළිබඳව මම හැකිතාක් සරළව පහතින් විස්තර කරමි.

උස ලෝහ කුලුණකට අවට සෑහෙන විශාල වපසරියකට පැමිණෙන අකුණු ඇදී යාමේ සම්භාවිතාවයක් ඇත. මේ හැම අවස්ථාවකම අකුණු ධාරාව කුළුණ හරහා භූගත වන විට එහි earthing system එකේ විභවය ඉහල යයි. මෙය Ground Potential Rise හෙවත් GPR එක ලෙස හැඳින්වේ. කුළුණේ earth resistance එක වැඩි නම් මේ GPR එකේ අගයද වැඩිවේ. 

ඕනෑම කුළුණක උපකරණ රදවා ඇති කුටීරයේ (මෙය Base Transmission Station හෙවත් BTS එක ලෙස හැඳින්වේ) ප්‍රධාන විදුලි සැපයුම් පැනලයේ අකුණු ආරක්ෂණ පද්ධතියක් (SPDs) සවිකර ඇත.  GPR එකත් සමගම මෙම SPDs ක්‍රියාත්මක වී අකුණු ධාරාවෙන් කොටසක් නියුට්‍රල් වයරය දිගේ BTS එකට විද්‍යුත් සැපයුම ලබා දෙන ට්‍රාන්ස්ෆෝමරය දක්වා ගමන් කරයි. ට්‍රාන්ස්ෆෝමරයේද earthing system එක එතරම් හොඳ නැත්නම් මේ අකුණු ධාරාව ට්‍රාන්ස්ෆෝමරයෙන් භූගත වෙනවා වෙනුවට එමගින් විදුලිය සපයන අනෙකුත් ගොඩනැගිළි කරා ගමන් කරයි. දැන් බොහෝ විට මෙම ගොඩනැගිලි අතුරින් හොඳම earthing system එක ඇති ගොඩනැගිල්ලේ හෝ ගොඩනැගිලි කිහිපයක ප්‍රධාන පැනලයේදී හෝ උපකරණයක්/උපකරණ තුලදී neutral එකේ සිට earth එකට ආර්ක් වීමෙන් අකුණු ධාරාව එම ගොඩනැගිල්ලේ earthing system එක හරහා පොළවට ගමන් කරයි.  මෙහි ප්‍රතිඵල ප්‍රධාන පුවරුව පුපුරා යාම, එය ගිනි ගැනීම හෝ ගොඩනැගිල්ලේ ඇති උපකරණ damage වීමයි. 

ඉහත තත්වය සඳහා ගොඩනැගිල්ල කුළුණේ සිට කොපමණ භෞතික දුරකින් පිහිටනවාද යන්න අදාළ නොවේ.

ඉහත කාරණයේදී ගොඩනැගිලි හිමියාට ගත හැකි නීතිමය පියවරක් ලංකාවේ ඇත්දැයි මම නොදනිමි. රජය මා කරන යෝජනාව නම් යම් දුරකථන හෝ සම්ප්‍රේෂණ කුළුනකට පොදු ට්‍රාන්ස්ෆෝමරයකින් සැපයුම ලබා ගන්නේ නම් එම ට්‍රාන්ස්ෆෝමරයෙන් සැපයුම ලබා දෙන සියළුම ගොඩනැගිලිවලට කුළුණ හිමි ආයතනයේ මුදලින් SPDs සවි කර දිය යුතු බවට නීතියක් ස්ථාපිත කිරීමයි.

මීට අමතරව අදාළ ගොඩනැගිල්ල කුළුණට ඉතා ආසන්නයේ (මීටර 15-20 පමණ දුරින්) පවතී නම් අකුණු ධාරාව භූගත වීමත් සමගම ඇතිවන GPR එක කෙලින්ම එම ගොඩනැගිලිවලට බලපායි. එවිට එම ගොඩනැගිලිවල earth එකේ විභවය වැඩිවී ප්‍රධාන පැනලයේදී හෝ උපකරණ තුලදී earth වයර් එකේ සිට neutral වයර් එකට arc වීමෙන් අකුණු ධාරාව ට්‍රාන්ස්ෆොර්මරය කරා ගමන් කරයි. මෙහිදී ගොඩනැගිල්ලට සැපයුම ලබා දෙන්නේ වෙනස් ට්‍රාන්ස්ෆෝමරයකින් නම් damage එක විශාල වශයෙන් වැඩිවේ.

මාද මුල්වී ගොඩ නැගු TRC guidelines වල (මා අවසන් වරට එයට සහභාගී වුයේ 2008දී පමණය) address කරන්නේ ඉහත කුළුණ ආසන්නයේ ඇති ගොඩනැගිලි පිළිබඳව පමණි. මෙය යාවත්කාලීන කිරීම වැදගත්ය.


        

No comments:

Post a Comment