Friday, 5 December 2025

නාගරික ගංවතුර සහ ග්‍රාමීය ගංවතුර

 


ගමේ ගංවතුර නගරයේ ගංවතුර වලට වඩා හොඳද? මා මේ පිළිබඳව ලිපියක් මීට වසර කිහිපයකට පෙරද ලියා ඇත. නමුත් දැන් ඒ ලිපියේ තිබුනාට වඩා තත්වය වෙනස්ය.

ගංවතුර සම්බන්ධයෙන් සෞඛ්‍ය ගැටළු වැඩිපුරම මතුවන්නේ ගංවතුර බැසගෙන යනවිටය. ජලය ගලායාමෙන්, පොළොවට අවශෝෂණය කරගැනීමෙන් සහ වාෂ්පීභවනය වීමෙන් අනතුරුව මඩ කඩිති, වැව්, පොකුණු, සහ අනෙකුත් කුඩා ජලාශවල ඉතිරිවන්නේ විෂබීජ සහ විෂ රසායනික සාන්ද්‍රණය අධික ජලයයි. 

නාගරික ගංවතුර පරිසරයක කැලිකසළ, රෝහල් සහ කම්හල් අපද්‍රව්‍ය, වැසිකිලි-කැසිකිලි උතුරා යාම ආදියෙන් අපිරිසිඳු වූ ජලය බලාපොරොත්තු විය හැක. මේ ජලයේ microbial සහ toxic chemicals අධි සන්ද්‍රනයෙන් ඇති බව අපට උපකල්පනය කල හැක. මේ නිසා නාගරික ගංවතුර වඩා භයානක බවට මතයක් පැවතුනි.

නමුත් මෑතකදී කල යම් යම් අධ්‍යයන වලදී පෙනී යන්නේ, කෘෂි ආර්ථිකයක් සහිත අඩු දියුණු රටවල ග්‍රාමීය ගංවතුරද අහිංසක නොවන බවයි. වගාවන්ට යොදන ටොන් දහස් ගණනක් වූ රසායනික පොහොර, කෘමි-දිලීර-වල්පැල  නාශක කෙටි කාලයක් තුල ජලය හා මිශ්‍රවීමෙන් ගංවතුරෙහි සාන්ද්‍රණය අධිකවේ. විශේෂයෙන්ම ඉතිරිවන ජලයේ  බැරලෝහ අධික වීමට ඉඩකඩ ඇත. මීට අමතරව ලංකාව වැනි රටවල මී උණ වාහක වැනි රෝග පැතිරීමේ අවධානම් මේ ජලයේ පැවතිය හැක. නාගරික ගංවතුර මෙන් අවපැහැයක් හෝ දුගඳක් නැතිව මාරයා සැඟවුන ග්‍රාමීය ගංවතුර මේ නිසා වඩාත් අන්තරායකර වීම පවා ඉඩකඩ ඇත.

රසායනික විද්‍යාව, microbiology හෝ පාරිසරික විද්‍යාවන් හදාරන පර්යේෂකයෙකුට හෝ කණ්ඩායමකට ඉදිරි දින කිහිපය තුල ආවරණය නොකළ ජලාශ (ළිං පොකුණු වැනි) 40 පමණවත් (නාගරික ජලාශ 20 සහ ග්‍රාමීය ජලාශ 20ක්) නියැඳි ලබාගත හැකි නම් (නියැඳි ප්‍රමාණය වැඩිවූ තරමට ප්‍රතිඵල වඩා නිරවද්‍ය වේ), ඒ නියැඳි පරීක්ෂණයෙන් සහ දත්ත විශ්ලේෂණයෙන් ඔබට අනිවාර්යයෙන්ම Q1 journal paper එකක් publish කරගත හැක.  


    

1 comment:

  1. මහාචාර්ය තුමා දිට්වා සිදුවීම ගැන ඔබ සංජය සමඟ කල යූ ටියුබ් වැඩසටහනක් දැක්කා. හැකියාවක් ඇත්නම් උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමඟ ඔබේ ආසියානු , අප්‍රිකානු අත්දැකීම් ඇසුරින් මේ අවස්ථාවේදී යලි නගා සිටුවීමේ වැඩ කලයුතු හැටිත් අනාගතයේදී විය හැකි මෙවන් අවස්ථාවල හානි අවම කර ගැනීමට රටක් හැටියට කලයුතු දේ ගැනත් කතා කරන්න .

    ReplyDelete