Saturday, 26 July 2025

ඉංග්‍රීසි කන්නද?


මීට දශක දෙකකට පමණ පෙර ඉතාලියේ අබ්දුස් සලාම් මධ්‍යස්ථානයේ පැවති න්‍යෂ්ඨික බලශක්ති පිළිබඳව වැඩමුළුවකට සහභාගී වූ අප කිහිප දෙනෙක් ලද විරාමයකදී කතා බහට සෙට් වුනෙමු. අපගේ මාතෘකාව සාහිත්‍ය රස විදීම දක්වා ඇදී ගොස් තිබුණි.

"ඔබට යම් සාහිත්‍යක සැබෑ රසය විඳීමට නම් එම භාෂාවේ කිමිදිය යුතුය" මෙසේ පැවසුවේ ඉරාන ජාතික විද්‍යාඥයෙකි. ඔහු අදහස් කලේ යම් භාෂාවක නිපුණත්වයට නොපැමිණ අදාළ සමාජයේ සාහිත්‍ය රස විදිය නොහැකි බවයි.

එතැන සිටි මව් බස ගුජරාටි වන විද්‍යාඥවරියක් එයට තරමක් විරුද්ධ අදහසක් ඉදිරිපත් කළේය. "ඔබ ගුජරාටයට හෝ පන්ජාබයට පැමිණිය හොත් ඇස් දෙකෙන් කවි කියන කාන්තාවන් හමුවිය හැක. එම සාහිත්‍ය තේරුම් ගැනීමට ඔබට සෞම්‍ය හදවතක් මිස කිසිම භාෂාවක් අවශ්‍ය නැත". 

කතාවට එක්වූ අන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි තෙළිගු මව් බස වූ අනෙක් ඉන්දියානු කාන්තාව එය අනුමත කරමින් පැවසුවේ ඉන්දියාවේදී මුහුණේ ඉරියව් වලින් බොහෝ සංනිවේදන කරන සාහිත්‍යයක් දැක බලාගත හැකි බවයි. 

මිලානෝ සිට පැමිණ සිටි ඇල්ප්‍රදෝ (මට මතක ඔහුගේ නම පමණකි) "ඉතාලියේ නම් අතේ මැද ඇඟිල්ලෙන් කතා කරන සාහිත්‍යකුත් තියෙනවා" යයි කිව්වේ අප සියල්ලම සිනහ සයුරේ ගිල්වමිනි.

මෙතෙක් වෙලා නිහඩව සිටි ආරෝහ පරිනාහ දේහධාරී එරිත්‍රියානුවා කටහඬ අවදි කරමින් "ඒ කියන්නේ ඉතාලිය ඇමරිකාවට පීසා දීල ඇමරිකාවෙන් මැදැගිල්ලේ භාෂාව අරන් වගේ" කිව්වේ ඇමරිකානුවන් මේ කටයුත්තට සුප්‍රසිද්ධ බැවිනි.

අපගේ සිනා සාගරය අවසන් කරමින් සංවිධායකයෙක් පැමිණ ඊළඟ session එක පටන් ගන්නා බැවින් ශාලාව ඇතුළට යන ලෙස ඉල්ලා සිටියේය.

එකිනෙකට වෙනස් මව් භාෂා සතු හතර පස් දෙනෙක් ඉතා ළබැඳියාවෙන් එකිනෙකාගේ හදවත්වලට දැනෙන සේ කෙරුණු මේ කතා බහට එකම හේතුව වුයේ ඉංග්‍රීසි බසයි. අප කිසිවෙක් ඉංග්‍රීසියේ චැම්පියන්ලා නොවන බව එදා කෙරුණු කතා බහේදී පැහැදිලිව පෙනුණු කරුණකි. එහෙත් අපි අදහස්වල නොමඳ රසය වින්දෙමු. 

සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 60-70 දශකවල තම නිර්මාණ බිහිකළ සෑම දෙනාම පහේ පාසල් අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාගෙන තිබුණි. ඔවුන් සිංහල භාෂාව සහ සිංහල සාහිත්‍ය ප්‍රමුඛ විෂයයන් ලෙස හදාරා තිබූ පිරිසකි. ස්වභාෂා කිහිපයකින්ම ලෝක පූජිත නිර්මාණ බිහි කල රවීන්ද්‍රනාත් තාගෝර් පවා තම අධ්‍යාපනය (ඔහු බොහෝ කලක් ගෘහස්ත අධ්‍යාපනය ලැබීය) මූලික වශයෙන් ලබා තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි.

ලොව විශාල පිරිසක් භාවිතාකරන භාෂාවක් තමා අධ්‍යාපනය ලබන මාධ්‍ය ලෙස භාවිතාකිරීමේ වාසි ගණනාවක් ඇත. එයින් වඩාත්ම වැදගත්වන්නේ ලෝකයේ වැඩි දෙනෙක්ගේ සිතුම් පැතුම් පිළිබඳව තමාගේ මනස නිරාවරණය වීමයි. මෙහිදීද "නිරාවරණය" යන වදනින් ඉංග්‍රිසියේදී යොදන "expose" වදනේ අරුත හරියටම ලැබෙන්නේ නැත.

60-70 දශකවල බිහිවූ සිංහල ගත් කතුවරුන්ගේ නිර්මාණ තුල ගෝලීය සාහිත්‍යයෙන් ලැබුණු පෝෂණයේ ඵල එමට දක්නට ලැබේ. මේ අන්තර් ජාලය හෝ සමාජ මාධ්‍ය තුලින් ලෝකය දැකීම පිළිබඳව අංශු මාත්‍රයක හෝ හැඟීමක් නොතිබුණු යුගයකය. එහෙත් අද මුළු ලෝකයම අපේ ඇඟිලි තුඩු අද්දර තිබෙන සමයක ලංකාවේ සිටින බහුතරයක් දෙනාට මේ  පුළුල් දැක්ම හෝ කෞශල්‍යය නැත. ඒ තබා ලංකාවේ මූලික අධ්‍යාපනය ලබා ආචාර්ය උපාධි සඳහා විදේශ ගතවී එහිම පදිංචි වූ බොහෝ දෙනෙකුටත් ඇත්තේ ළිං ගෙඹි මානසිකත්වයකි. දරුවකුගේ ප්‍රථම වසර 15දී ඔහු හෝ ඇය ලබන බුද්ධි පෝෂණය එම පුද්ගලයාගේ මුළු ජිවිතයටම බලපාන බවට වූ  මනෝවිද්‍යාත්මක සිද්ධාන්තය මේ තුලින් තවදුරටත් තහවුරු වෙයි. 

යම් කාල-අවකාශ රාමුවකදී අසල්වැසි හෝ ආක්‍රමණික ශක්තිමත් ජනවර්ගයක භාෂාව භාවිතාකිරීම තුලින් ඉහල සමාජ තත්වයක් ලබාගැනීමට උත්සහ කිරීම ලෝක ඉතිහාසය පුරාම යටහත් ජනවර්ගයන් තුල දක්නට ලැබුණි. කලෙක රුසියන් භාෂාවද, වරෙක ප්‍රංශ භාෂාවද, වරෙක ලතින් භාෂාවද මේ අයුරින් උත්කර්ෂයට ලක්විය. 

ලංකාවේ මේ තත්වය ඉතා ඛේදජනක ගැඹුරකට සමාජය තුල කිඳා බැස ඇත. ජාත්‍යන්තර භාෂාවෙහි නිපුණත්වයට පත්වීමෙන් ලැබෙන වාසි සහ එසේ නොලැබීමෙන් ලැබෙන අවාසි පසෙක තබා ලාංකීය සමාජය භාෂාව නොදැනීම නිසා සමාජයේ අවඥාවට ලක්වීම සහ භාෂාව දැනීමෙන් ඇතිවන ඉහල සමාජ මට්ටම පිළිබඳව පුර්ණ අවධානය යොමු කර ඇත.

මෙහි ආසන්නතම සිදුවීම රජයේ ඇමතිවරයෙක් ජාත්‍යන්තර මාධ්‍ය සාකච්චාවකදී ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් යම් දුර්වලතාවයක් ප්‍රදර්ශණය කිරීමයි. මෙහිදී මා දකින්නේ භාෂා නිපුණත්වය නොමැතිවීමෙන් ඇමතිවරයාට විශාල අවාසියක් සිදු වූ බවයි. විචක්ෂණ ඥානයක් සහ පරිණත භාෂා දැනුමක් සහිත දේශපාලකයන් මෙබඳු සාකච්චාවලදී තමාට මෙන්ම රටටත් විශාල වාසි අත්පත් කරගනියි.

නමුත් මේ සංසිද්ධිය ආණ්ඩු විරෝධීන් අල්ලා ගත්තේ සම්පුර්ණයෙන්ම වැරදි කොනකිනි. එසේම ආණ්ඩු පක්ෂය මේ සිද්ධියේ බරපතකම තේරුම් ගෙන ඈත-මෑත අනාගතය තුල ඊළඟ පරපුරට මේ තත්වය උදානොවෙන්න ගතයුතු පියවර පිළිබඳව තීරණය කළාදැයි මම නොදනිමි.

ලංකාවේ සිටින (ක්‍රමයෙන් සුළුතරයක් වෙමින් පවතින) පසුගාමී නිවට සමාජය මෙන් ජාත්‍යන්තරය ඉංග්‍රීසි දැනුම මද වුවා කියා යමෙක් අවඥාවට ලක්කිරීමට හෝ ඉංග්‍රීසි භාෂාවේ නිපුනයෙකු වුවා කියා උසස් ලෙස සැලකීමට යොමුවන්නේ නැත. නමුත් එහි ඇති වාසි-අවාසි පිළිබඳව දැනුවත්වීම අදාළ පුද්ගලයා සතුය. 

මෙහිදී ඉතාම හාස්‍යජනක කාරණය නම් මෙතෙක් කල් සිංහල භාෂාව, ජාතික චින්තනය, හෙළ උරුමය වෙනුවෙන් මරාගෙන මැරෙන්න කතා කල දේශප්‍රේමීන් තම ප්‍රතිවාදියෙකුට ඉංග්‍රීසි භාෂාව පැටලීම නිසා "හූ" කීමට පටන් ගැනීමයි. සමහර දේශප්‍රේමීන් විකටරූපී කැඩිච්ච ඉංග්‍රීසියෙන් අමාත්‍යවරයාට පරිභව කර තිබුණි. මේ සියළු දෙනා තුලින්ම මා දුටුවේ "මම මෙච්චර පොෂ් වෙලත්, සිංහල භාෂාව වෙනුවෙන් පෙනී සිටිනවා" වැනි ස්වරයකි. ඉංග්‍රීසි භාෂාවේ නිපුනයෙකු නොවීම අවාසියක් මිස අවඥාවක් නොවන බව ඔවුන් කිසිවෙකුටත් නොතේරෙන බව නම් මට සහතිකය. 





 

No comments:

Post a Comment