ඈත පිටිසර ගමක කුඩා පාසලක ගුරුවරයෙකුගේ අප්‍රතිහත ධෛර්යය නිසා එම පාසලේ සියළුම ළමුන් ඉංග්‍රීසියෙන් කතා කිරීම ගැන ප්‍රවෘතියක් ප්‍රධාන ජන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවලද මීට ටික කලකට පෙර වයිරල් විය.
-----------------------------
නිදහස් ලංකාවේ සිටි මුල් දේශපාලකයන් අති බහුතරයක් පක්ෂ පාට බේදයකින් තොරව එක් සමාජ පන්තියකට අයත් විය. එකල ලිබරල් වාදයේ සිට කොමියුනිස්ට් වාදය දක්වා පැතිර ගිය දේශපාලනික මතවාද සියල්ලම ආනයනය වුයේ එංගලන්තයෙනි. ඉංග්‍රීසිය පුළුල් සන්නිවේදන මාධ්‍යයකට වඩා සමාජ මට්ටම කිරා බැලීමේ මිනුම් දණ්ඩක් විය.
තම සමාජයේ අනන්‍යතාවය පෙන්වීමේ ප්‍රධාන උපාංගය වූ ඉංග්‍රීසි බස බහුතරයක් වූ සාමාන්‍යය ජනතාව නතු කරගන්නවාට මේ ඉහල පන්තිය කැමති වුයේ නැත. මේ නිසා ඔවුන් ඉංග්‍රීසිය සාමාන්‍ය ජනතාවට ප්‍රේෂණය වන පාළම කඩා දැමීමට යුහුසුළු විය. මේ සඳහා ඔවුන් ශ්‍රම බලකාය ලෙස යොදාගත්තේද සාමාන්‍යය ජනතාවයි. ඔවුන් ඇමට යොදාගත්තේ සිංහල භාෂාව රජ බස කිරීමයි. ඇත්තෙන්ම මේ ප්‍රභූ පැලැන්තියේ අරමුණ වුයේ සිංහල බස ගොඩනැගීමද නැත්නම් "ගහක කොස් ගෙඩියක් කඩා ගන්න එකෙක් නැතිවෙන එක" නවතා ගැනීමදැයි ඔබ ඔබගෙන්ම අසන්න.
ඔවුහු එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙක්ම දඩයම් කරගත්හ.
එකල සිංහලය රජ බස කිරීමට මුල්වූ දේශපාලකයන් එකින් එක ගෙන ඔවුන්ගේ දරු මුණුපුරන් ඉගෙන ගත් පාසල්/රටවල් ගැන අධ්‍යනය කරන්න. එවිට ඔබට තේරෙයි ඔවුන්ගේ පැහැදිලි ඉලක්කය.
ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව කිරීමෙන් ගැටළු කිහිපයක් මතුවන්නට තිබුණි. නමුත් ඒවා එකක්වත් ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව කිරීමෙන් ඇතිවන්න තිබූ වාසි වලට කිට්ටු කිරීමටවත් නොහැකිය. වසර 75කට පසු අදත් ලංකාවේ සැලකිය යුතු රැකියාවක් ලබා ගැනීමට නම් ඉංග්‍රීසිය ප්‍රධාන සාධකයක් වී ඇත. ඉංග්‍රීසිය ව්‍යක්ත නොවුවන් කුමන අධ්‍යාපන/ධන සම්පත්වලට හිමිකම් කීවත් ඔවුන් අයත් වන්නේ සමාජයේ පහළ පන්තියකටය. ඉහල මට්ටමේ විදේශ රැකියාවල් ලබා ගැනීමේදී ඉංග්‍රීසිය සැලකිය යුතු බාධකයක් වී ඇත. රටේ බහුතරයක් හොඳින් ඉංග්‍රීසි බස හසුරවයි නම් සංචාරක ව්‍යාපාරය මීට වඩා බෙහෙවින් ඉහල තලයකට එසවීමට තිබුණි. එකම රටේ විවිධ ජාතීන් අතර දුරස්ථ බව සම්පුර්ණයෙන්ම පාහේ මැකී යන්නට තිබුණි.
-----------------------------
එදා ප්‍රභූන්ගේ ඒ පටු අරමුණු අදටත් උත්කර්ෂයට නංවන සමහර අසරණයන්, තමන්ට නොහැකි ඉංග්‍රීසියෙන්, කුඩා පාසැලක දරුවන් ව්‍යක්තව කතාකිරීම ගැන උදම් ඇනීම චමත්කාර ජනකය.
No comments:
Post a Comment