ඉතිහාසය විෂය පාසැල් පාඨමාලාවෙන් ඉවත්කරනවා කියා මහා හඬින් විරෝධය පාන පිරිසක් පසුගිය දිනවල මම සමාජ මාධ්‍ය තුල දකිමි. මෙය ඉතා හොඳ ප්‍රවණතාවයකි. රටේ සිදුවන දේ පිළිබඳව සියල්ලෝම දෑස් හැර බලා සිටීම ජාතියේ උන්නතියට හේතුවේ. එය මෙතෙක් සිදුවුයේ ඇල් මැරුණු ස්වභාවයකිනි.
මම ඔවුන්ගෙන් පැනයක් අසමි. "ඉතිහාසය විෂයක් ලෙස පාසැලේ ඉගැන්වීමෙන් ඔබ දරුවකුගෙන් බලාපොරොත්තු වන යහඵලය කුමක්ද?"
දරුවාට පුරාවිද්‍යාව පිළිබඳව යම් දැනුමක් ලබා දීම අරමුණක් නම් එය මෙතෙක් ඉතාමත්ම අසාර්ථක වූ ඉලක්කයකි. වසර ගණනාවක් පාසැලේදී ඉතිහාසය ඉගෙනගත් ලාංකිකයන් අති බහුතරයකට පුරාවිද්‍යාව පිළිබඳව මූලික දැනුම පවා නැත.
පාසැල් පෙළපොත් වල ඉතිහාස විෂය ඉදිරිපත්කරන කතන්දරමය ස්වභාවයත්, බොහෝ පාසැල් ගුරුවරුන් මෙම විෂය කියා දෙන ආකාරයත් අත් දැක ඇති මට දැනෙන්නේ මෙම විෂය අධ්‍යාපන පාඨමාලාවට ඇතුලත් කර ඇත්තේම දරුවාට "ආඩම්බර වීම" අරමුණු කරගෙන බවයි. සමාජ මාධ්‍යවල ඉතිහාස විෂය රැකගැනීමට සටන් වදින අති බහුතරයකගේ ආකල්පයද මෙයයි. එනම් ඉතිහාසය ඉගැන්වීම තුලින් දරුවාගේ ආත්ම-අභිමානය උද්දීපනය වන බවයි. මම මේ තර්කය සමග එකඟ වෙමි. එහෙත් ලංකාවේ ඉතිහාසය පාසැල් විෂය මාලාවේ පෙළගස්වන්නේ මේ අරමුණ සාක්ෂාත් කරගැනීමටද? අපි මේ ගැන සරල විග්‍රහයක් කරමු.
ලංකාවේ ඉතිහාසය කියා උගන්වන්නේ රාජාවලියයි. එනම් රජුන් හා ඔවුන්ට සමීප පුද්ගලයන් කල කී දේ මෙන්ම ඔවුන්ගේ ජීවිත පිළිබඳවයි. ලොව බොහෝ රටවල රාජාවලිය පිරි ඇත්තේ ලේ කඳුළු වලිනි. ලංකාවේ කියා එහි වෙනසක් නැත. රාජත්වය වෙනුවෙන් දෙමව්පියන්, දූ දරුවන්, අඹු-සැමියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් මෙන්ම පූජ්‍ය පක්ෂය පවා කෲර ලෙස ඝාතනය කල අවස්ථාවලින් මුළු රාජාවලියම පිරි ඇත. සාමාන්‍ය තත්ව යටතේ රජකමට පත්ව ස්වභාවික හේතුන් මත මරණයට පත්වීමෙන් හෝ ස්ව කැමැත්තෙන් රජකම අත්හල රජවරුන් ඇත්තේ අතලොස්සකි. මේ අතර රජවරුන් කිහිප දෙනෙක් බලහත්කාරයෙන් ජනතාව යොදවා හෝ භාණ්ඩාගාරයෙන් ධනය වියදම් කර තැනූ ආගමික සිද්ධස්ථාන, රජ මාලිගා සහ වැව් පොකුණු කිහිපයක්ද ඇත. සමහර පුද්ගලයන් හෝ ජන කොටස් විසින් කල නිර්මාණද පසු කලෙක ඉතිහාසය ලියූ වන්දිභට්ටයන් රජුන්ගේ ගිණුමට බැරකරන්නට ඇත. අපේ පෙළපොත්වල ඉතිහාසයේ ඇති ලේ පල්ලම් වසා දමන්නේ මේ නිර්මාණ සහ ඉතා අතලොස්සක් වූ යුධ ජයග්‍රහණ උපයෝගී කරගෙනය.
ලංකාවේ ඉතිහාසය විෂයක් ලෙස පෙළගස්වා ඇත්තේ පුරා විද්‍යාත්මක පදනමක් මත නොවන බව පැහැදිලිවම පෙනෙයි. ඒ වෙනුවට දරුවාගේ හැඟීම් උද්දීපනය වන අයුරින් විද්‍යාත්මකව තහවුරු නොවූ කරුණු පවා කතාමය ස්වරූපයකින් ඇතුලත්කර ඇත.
මගේ සම වයස් කාණ්ඩ වල බොහෝ දෙනෙකු 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා කොළඹට ගොඩ බැහැපු බව දනියි. ඒ සමාජ අධ්‍යනය විෂය සඳහා වාර අවසාන විභාගයට මෙය අනිවාර්යය ප්‍රශ්නයක් වන බැවිනි. මේ නිසා අපි මේ වර්ෂ, නම් ගම් කටපාඩම් කළෙමු. එහෙත් පෘතුගීසින් ලංකාවට පැමිණෙන විට ලංකාවේ තිබුණු සමාජ-ආර්ථික-දේශපාලන පරිසරය, පෘතුගීසීන්ගේ ආගමනය සමග එය වෙනස් වූ අයුරු, එහි යහපත් සහ අයහපත් ප්‍රතිඵල, වර්තමානය දක්වා පෘතුගීසීන්ගේ බලපෑම නිසා සිදුවී ඇති සමාජ පරිවර්තන ආදිය පිළිබඳව අප බහුතරයකට හැඟීමක් නැත.
අපේ ඉතිහාස පාඩම සීගිරිය සහ කාශ්‍යප ගැන උදම් අනන්න දරුවා හුරු කලාට, එහි තාක්ෂණය සහ ප්‍රායෝගික ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යනයට දරුවා උනන්දු කලේ නැත. රාජ් සෝමදේවයන් ඉතා මෑතකදී කල සමාජ නැණ ගැන්වීම් සිදුවන තෙක් අපි කිසිවෙකු අතර මේ ගැන කතිකාවතක් හෝ ඇති වුණේ නැත.
රජවරු අනුභව කල රාජ භෝජන ගැන විස්තරයක් තිබුණාට ලාංකික ජන ජීවිතය හා බැඳුනු ආහාර-පාන වත් පිළිවෙත් ගැන අපේ ඉතිහාස පාඩමේ උගන්වන්නේ නැත. විදේශිකයන්ගේ පැමිණීමත් සමගම මේ පිළිවෙත් වෙනස් වූ අයුරු අපට ඉතිහාසය කියා දෙන්නේ නැත.
රජවරුන්ගේ වීර ක්‍රියා පිළිබඳව විස්තරාත්මක කතන්දර තිබුණත් එම රජවරුන් අතින්ම රටවැසියාට සිදු වූ කෲර වද හිංසා පිළිබඳව අව්‍යාජ විග්‍රහයක් කිරීමට අපේ පාසැල් ගුරුවරුන් පෙළඹෙන්නේ නැත. මේ නිසා දරුවා රජාගේ සියළු ක්‍රියාකාරකම් පොදුවේ උත්කර්ෂයට නංවා ගනියි. මේ වන විට අප මේ මනෝභාවයේ ආදීනව හොඳින්ම වටහාගෙන ඇත (යම් පමණක හෝ බුද්ධිය ඇත්තන් පමණක්).
පුරා විද්‍යාත්මක පසුතලයක අප ඉතිහාසය ඉගෙනගත්තා නම් යම් සංසිද්ධියක ගුණාත්මක අගය මෙන්ම ඒ හා බැඳුනු අවිනිශ්චිතතාවය (uncetainity) පිළිබඳවද මනා හැඟීමක් දරුවාට ඇතිවන්නට තිබුණි. නමුත් පාසැලේදී ඉතිහාසය ඉගෙනගත් ලාංකිකයන් බොහෝ දෙනෙක්ට මේ පෙළපොත්වල ඇති කරුණු ගලේ කෙටු අකුරු මෙන් නිශ්චිතය.
තව කීමට බොහෝ දේ ඇත. එහෙත් කාලය ඊට හරස්වේ. අවසානයේ මට කිව හැක්කේ, "අපි හේතුවක් ඇතිව ඉතිහාසය ඉගෙන ගමු, කිසිම හේතුවක් නැතිව ආඩම්බර වීමට එය පාදක කරගන්නේ නැතිව".
No comments:
Post a Comment