Monday 13 May 2024

නලීන්ගේ නිබන්ධනය සහ පණිවිඩකරුට වෙඩි තැබීම


ආචාර්ය නලීන් ද සිල්වාගේ PhD නිබන්ධනය පිළිබඳව මා ලිපියක් පළකරන්නේ කිසියම් අරමුණු කිහිපයක් පෙරදැරි කරගෙනය. ඒ අරමුණු ඉතා සාර්ථකව සාක්ෂාත් කරගැනීමට සහය දැක වූ ඔබ සැමට තුති.

එදා මෙදා තුර නලීන් සර්ගේ පසුපස යන්නන් (මෙතැන් සිට මම ගෝලබාලයන් ලෙස හඳුන්වමි) පිළිබඳව මට යම් උපකල්පනයක් (hypothesis එකක් කීවටද කම් නැත) විය. එය මෙසේය.

"නලීන් සර්ගේ අති බහුතරයක් වූ ගෝලබාලයන්ට ඔහු ඉදිරිපත්කල සියුම් කාරණා තබා ඔහුගේ මූලික විද්‍යාත්මක මතවාදයන් අවබෝධ කරගනිමටවත් හැකියාවක් නැත. අනෙක් අතට ඔවුන් නලීන් සර්සේම ආවේගයෙන් සහ කෝපයෙන් තොර ප්‍රඥාමය තර්ක ශක්තියෙන් හීනය".

මෙහි දෙවන කාරණය සඳහා උදාහරණයක් ඉදිරිපත්කල හොත් නලීන් සර් මුළු ජීවිත කාලය තුලම හේතුවාදීන්ගේ මතවාදයන්ට එදිරිව ඉතා දැඩි වාග් ප්‍රහාර දියත් කළා විනා ඔවුන්ගේ තර්ක සහ මතවාද පිළිබඳව ප්‍රාමාණික සංවාදයකට එළඹියේ නැත. 

නලීන් සර්ගේ ගෝලයන්ට හැමදාමත් අවශ්‍ය වුයේ "නලීන් ද සිල්වා" නම බැලුමක් මෙන් හැකිතාක් වැර යොදා පිම්බිමටයි. ඉන්පසු එහි නූලේ එල්ලී කෙටි උසකට එසවී ළදරු තෘප්තියක් ලැබීමටයි. 

මම ඒ බැලුම ලඟට උල් කටුවක් ගෙන ආවෙමි. බැලුම පිපුරුවොත් සියල්ලන්ම බිම වැටෙන බව ඔවුන්ට වැටහුණි. මේ හැඟීමේ ප්‍රතිඵලය ඔබට මගේ FB පිටුවෙන් නැරඹිය හැක. 

නලීන් සර්ගේ PhD නිබන්ධනය පිළිබඳව මගේ අදහස මම ඉදිරිපත් කලෙමි. එය ඕනෑම කෙනෙකුගේ අයිතියකි. විද්‍යාව යනු ආගමක් නොවේ. එය ඕනෑම අවස්ථාවක ප්‍රශ්ණ කල හැක. ඒ සඳහා අදාළ පුද්ගලයා ජිවත්වෙනවාද නැත්ද යන්නද අදාළ නැත. අයිස්ටයින්, නීල්ස් බෝර්, ශ්‍රෝඩින්ගර් ආදීන්ගේ ඉදිරිපත්කිරීම් දිනපතා නිර්දය ලෙස විවේචනය වෙයි. ඒවාට ජීවත්ව සිටින්නන් ප්‍රති-විවේචන ඉදිරිපත් කරයි. ආගම එක තැන තිබියදී විද්‍යාව ඉදිරියට යන්නේ එලෙසයි. 

බොහෝ දෙනෙකු මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඉතා දරුණු ස්වරයෙන් විමසා තිබුණි. මේ කරුණු ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් ඕනෑම search engine එකක් හරහා ලබාගත හැක. අවශ්‍යවන්නේ Chandima Gomes කියා ටයිප් කිරීම පමණි. 

මා මේ වන විට ලොව පුරා සරසවි ගණනාවක  PhD / MPhil / MSc නිබන්ධන 150 ක පමණ පරීක්ෂකවරයා ලෙස කටයුතු කර ඇත. සිසුන් ගණනාවක් මේ උපාධි සඳහා supervise කර ඇත. 

බොහෝ ඉහල අංකනයක් ඇති සරසවි වල PhD නිබන්ධනයක් තක්සේරු කිරීමට යම් විෂයක අරටු-විශේෂඥයෙක් (core-expert) අමතරව එම විෂයයේ පරිධියෙන් තරමක් එහා වූ පළපුරුදු පරීක්ෂකවරයෙක්ද ඇතුලත් කරගනී. මෙය කරන්නේ බොහෝ විට PhD උපාධියක් සඳහා වන මූලික කරුණු සපුරා ඇත්දැයි බැලීමටයි. භෞතීය විද්‍යා විෂයක නම් මේ සඳහා අඩංගු විය යුතු කරුණු සඳහා යම් නිර්ණායක ඇත. ඉංජිනේරු විෂයකදී මෙම කරුණු හා නිර්ණායක තරමක් වෙනස් වෙයි. මගේ FB පිටුවේ අදහස් පළකර ඇති ඇති බහුතරයකට මේ පිළිබඳව මෙලෝ දැනුමක් නැත. ඔවුන්ට ඇත්තේ කෝපය සහ ආවේගය පමණි. 

ලිපිය පළවීමෙන් පසු එක් අයෙක් හැරෙන්නට ඔහුගේ සියළුම ගෝලබාලයන් කලේ පණිවිඩකරුට හතර අතේ වෙඩි තැබීමයි. උණ්ඩ නැතිවිට ඔවුන් අතට හසුවන ගල් මුල්, කැට කැබලිති, ගොමරිති වලින් පවා පහරදෙයි. මෙය මම පසුගිය වසර 40 පමණ තිස්සේ අත්දැක ඇති බැවින් ඒ පිළිබඳව විමතියට පත් නොවුනෙමි. ඇත්තෙන්ම එය මා බලාපොරොත්තු වූ ඵලයයි. මේ කිසිවෙකුත් නලීන් සර්ගේ නිබන්ධනය කියවා තිබුණේ හෝ කියවන්න උත්සහකරවත් තිබුණේ නැති බව නම් මනාව පැහැදිලිය. ඔවුන්ට තිබුණේ තමන් මහා විශාල වස්තුවක් ලෙස වර්ණනා කරමින් නඩත්තු කරගෙන ආ මොකක්ද එක එක්වරම බිඳ වැටෙනවා වැනි හැඟීමක් යයි මට සිතෙයි. 

මේ කළු වලාවේ රිදී රේඛාවක් මෙන් යම් තාර්කික අදහසක්  ඉදිරිපත් කර තිබුණේ තමළු (Thamalu Maliththa Piyadigama) පමණි. 

තමළුගේ අදහස් පිළිබඳව මා නුදුරේදී සංවාදයකට එළඹීමට බලාපොරොත්තු වෙමි. තමළු ගේ මනා වචී සංවරය සහ තර්කනයේ හැකියාව ඔහුව නලීන් සර්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තබයි. ඔහු අනාගතයේ නලීන් සර්ගේ මතවාද ගැඹුරින් අධ්‍යනය කර සමාජයට ඵලදායි ආකාරයෙන් ඉදිරිපත්කිරීමේ නායකත්වය ගනු ඇතැයි මට සිතෙයි.

මීට අමතරව යම් sensible ප්‍රශ්ණ/අදහස්/විවේචන මතුකර තිබුණේ ජානක පෙරේරා, අපරාජිතා වැනි නලීන්ගේ ගෝලයන් නොවන කිහිප දෙනෙකි.

මට නැවතත් මිතුරු සේනක වෙත්තසිංහ ගේ වදන් මතක් වෙයි. "නලීන් ද සිල්වා ගෙන් යමක් ගත්තේ ඔහු වටා සිටි ගෝලබාලයන් නොව ඔහුට එරෙහිව එදා මේස පුටු උඩ නැග කෑගැසූ විරුද්ධවාදීන්ය" 

අවාසනාවකට නලීන් සර්ගේ නිබන්ධනය ඔහු ජීවත්ව සිටින කාලයේදී කියවීමට නොහැකිවිය. එසේ කියවා ඉහත ලිපියම පළකලා නම් කිසිඳු වෙනසක් නොවනු ඇත. ඔහු පිළිබඳව මා ලිපි සහ පොස්ට් කිහිපයක්ම ඔහු ජීවත්වන කාලයේ පළකර ඇත. නමුත් ඔහු ඒවාට කිසිඳු ප්‍රතිචාරයක් ලබා දී නැත. ඒ මා ඔහුට අවශේෂ පුද්ගලයෙකු ලෙස පෙනෙන නිසා විය හැක. 

නලීන් සර් ගේ ක්‍රියාන්විතයට එරෙහිව මා කොළඹ සරසවියේ මේස මත නැගී උගුර ලේ රහවෙන තුරු කෑගැසුවේ මුළු රටම භීතියෙන් වෙලාගෙන තිබූ සමයක කනිෂ්ඨ සිසුවෙකු ලෙසටය. ඒ නැගී සිටියේද නලීන් සර්ගේ ගෝලයන් ඔහුට එරෙහිව හඬ නගන පිරිසට ගුටිබැට වලින් පවා සංග්‍රහ කිරීමට නොපසුබට වූ යුගයකය. එලෙසම දේශනයකදී නලීන් සර්ගේ මතවාදයක් ප්‍රශ්න කළහොත් සරසවියේ සිටින මුළු කාලයම තුලම ඔහුගේ ඇනුම් බැනුම් අවලාද රැවුම් ගෙරවුම් ඇසීමට සිදුවන පසුබිමකය. ඒ නිසා මට ඔබ අද දක්වන අදහස් වඩා සුමටය.   

මේ ලිපි දෙකෙන් මා සමාජයට දීමට බලාපොරොත්තු වූ පණිවිඩ කිහිපයකි. 

පළමුවැන්න ආචාර්ය නලීන් ද සිල්වාගේ නිබන්ධනය සාකච්චාවට භාජනය කිරීම සහ ඉන්පසු ඔහුගේ අනෙකුත් මතවාද පිළිබඳව බුද්ධිමත් සංවාදයක් ඇරඹීමයි. ඔබ මා කියන කිසිවක් පිළිගත යුතු නැත. මා පළකරන්නේ මගේ දැනුම් සම්භාරයේ වපසරිය තුල කරන විශ්ලේෂණයකි. හෙට අනිද්දාට මේ මතුවී ඇති රොඩු බොඩු ගොමරිති පෙරී ගිය පසු තමළු වැනි ප්‍රාඥයන් සමග අපට වියත් සංවාදයක් කල හැකිවෙතැයි සිතමි.

ඊළඟ පණිවිඩය නම් ලංකාවේ අති බහුතරයක් තර්කන හැකියාව අතින් වර්තමානයේ පවා ඉන්නේ කොතනද යන්න සාක්ෂාත් කරගැනීමයි. මෙය බුද්ධිමත් දේශපාලකයන්ට වඩාත් වැදගත් වනු ඇත.

තුන් වෙනුව ලාංකිකයා යහපත් සමාජයක් සඳහා ඔවුන් කොටු වී ඇති සංවෘත පටු මානසික කුහරයෙන් ඉවත්විය යුතු බව අවබෝධ කරදීමටයි.

1 comment:

  1. මම නලීන් සර්ගේ ගෝලයෙක් නොවූවත් ඔහුගේ මතවාද පිලි ගන්න කෙනෙක්. ඒත් ඔහුව දෙවියෙක් මෙන් අදහන්නෙක් නෙවෙයි. ඔබට හැකියාවක් තියේ නම්, නලීන් සර්ගෙ PhD නිබන්ධනය කියවිය හැකි ලින්ක් එකක් දැම්මොත් මටත් කියවලා බලන්න පුළුවන්.

    ReplyDelete