Saturday, 18 November 2023

බුදුදහම පාවිච්චි කරමු


මැලේසියාවේ වාසය කරන සමයේ එහි ථේරවාද මැලේසියා සංසදයේ සාමාජිකයන් සමග සුහඳ සාකච්චා කිහිපයකටම සහභාගී වීමේ අවස්ථාවන් මට උදාවිය. මේවාට ගිහි - පැවිදි දෙපක්ෂයම සම්බන්ධ වෙයි. මේ සාකච්චාවන්ට බොහෝ විට පාදක වන්නේ බුදුදහම ප්‍රයෝජනයට ගන්නා ආකාරයන් පිළිබඳවයි. මෙහිදී බොහෝ දෙනෙක් පොතපතෙන් ලබාගත් දැනුමට වඩා ප්‍රයෝගිකව තමා ලද අත්දැකීම් සහ තමා යොදාගත් ක්‍රමවේදයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරති. 

උදාහරණයක් ලෙස එක් අවස්ථාවක සංවාදය පැවතුනේ තමා රැකියාව කරන ස්ථානයේ සඟයෙක් ගෙන් තමාට එල්ල වන මානසික පීඩනයෙන් මිදීමට බුදුදහමින් ගත හැකි ක්‍රමවේදයන් මොනවාද යන්නයි. මෙය ඇත්තටම එහි සිටි කාන්තාවකට ඇතිවී තිබූ ගැටළුවකි. 

මෙහිදී බොහෝ දෙනෙක් සමාන අවස්ථාවල තමන් අනුගමනය කල ක්‍රමවේද පිළිබඳව කතා කළහ. බුදු දහමින් පමණක් නොව නූතන මනෝ විද්‍යාවෙන්, හිප්නොටිසම් තුලින්, හින්දු ආගමික සංකල්ප වලින් පවා අදට ගැලපෙන රාමුවක් තුල මෙම ගැටළුවට සාර්ථක විසඳුම් සෙවිය හැකිදැයි සාකච්චා විය. ඒවායේ සාර්ථක-අසාර්ථක බාවය මෙන්ම sustainability එක ගැනද සංවාද ඇතිවිය. කිසිවෙකුත් තමාගේ මතය පමණක් නිවැරදි යන මතයේ හෝ බුදුදහම තමයි ශ්‍රේෂ්ඨම දහම සහ කෝකටත් තෛලය වැනි මතවල එල්ලී සිටියේ නැත. කතා බහ අවසන් වන විට අපේ දැනුම් සම්භාරයන් පුළුල් වී තිබුණි. එකම ගැටළුවට විසඳුම් කිහිපයක් සහ සාර්ථක ක්‍රමවේද දෙක තුනක් තිබිය හැකි බව අපට අවබෝධ විය. බුදුදහම පිළිබඳවද මම සෑහෙන යමක් අළුතින් ඉගෙන ගතිමි. පසු කලෙක මම මේ ඉගෙනගත් ක්‍රමවේදයක් මගේ ගැටළුවලදී සාර්ථකව යොදාගතිමි.

මේ ලිපියට ප්‍රවිෂ්ඨයක් ලෙස මා බුදුදහම පාවිච්චි කිරීම ගැන දැමූ පෝස්ට් එකට පළවුණු සමහර අදහස්වලින් සිංහල බෞද්ධයා පිළිබඳව යම් සිතුවමක් රූපගත විය. කෙනෙකු පණිවිඩයක් කියවා ගන්නේ තමන්ගේ බුද්ධි මට්ටමට අනුවය. මේ නිසා මට කෙනෙකු මා කියන දෙයක් අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳව විනිශ්චයක් දිය නොහැක. කෙසේ නමුත් සමහර අයගේ අදහස් දුටු විට මට හැඟී ගියේ ඔවුන් මා කියන දෙය ප්‍රයෝගිකවම සනාථ කරන බවයි. ඔවුන් බුදු දහම භාවිතා කිරීම පසෙකලා බුද්ධාගම රැකගැනීමටත් එය defend කිරීමටත් සටනට පිවිස සිටියහ. එය බොහෝ කාලයක් ලාංකික දේශපාලනය ඔවුන්ගේ මනෝභාවය සකස් කල ආකාරය විය හැක. ඒ අතරම පණිවිඩය අවබෝධ කරගැනීමට නොහැකි වූ සමහර දෙනා මතු කරන "යන්නේ කොහේද මල්ලේ පොල්" වැනි කතා විනෝද ජනකය.  


Tuesday, 7 November 2023

Time out, Bubble of Concept සහ සුද්දාගේ සදාචාරය



මැතිව්ස්ගේ time out දැවී යාම හා සම්බන්ධ සාකච්චාවට සහභාගී වූ සැමටම ස්තුතියි. මෙය මේ සිද්ධියෙන් බොහෝ ඈතට විහිදුනු සංවාද ප්‍රස්තුතයකි. ඔබ කිසිවකුගේ අදහස් ඔබේ රාමුව තුල වැරදි යයි මම නොදකිමි. මේ මගේ රාමුව තුල මා දකින ආකාරයයි. 

මා දකින ආකාරයට බොහෝ දෙනෙක් "මහත්මා ගතිගුණවලින් පිරි ඉතා සුන්දර වූ ක්‍රීඩා ලොවක්" නම් සංකල්ප බුබුලක් (bubble of concept) තනාගෙන ඇත.  මේ මහත්මා ගුණය සීමා demarcate කරගත නොහැකි භූතාර්ථයකි. මේ බුබුල තුලදී අපට බොහෝ මහත්මා සංකල්ප පිළිබඳව සිහින දැකිය හැක. නමුත් යථාර්තය ඉන් බොහෝ දුරස්ය. 

පාසැලේ නිවාසාන්තර තරඟයකදී අපට "ජයග්‍රහණය නොව වැදගත් සහභාගිත්වයයි" ආදී bla bla bla පැවසිය හැක. නමුත් වර්තමානයේ ජාත්‍යන්තර තරඟයක ජය රටක ආර්ථික-දේශපාලන අනාගතයට මෙන්ම ගෝලීය සහ කලාපීය භූ දේශපාලනයටද ඍජුවම බලපායි. ලෝක බලවතුන් බොහෝ දෙනෙක් මේ යථාර්තය තේරුම් ගෙන ඇත. BCCI එකෙන් SLC නිලධාරීන්ට ඉහල සැලකීමක් කරනවා යයි කවරෙකු හෝ පැවසුවොත් මම එය එකවරම ප්‍රතික්ෂේප නොකරමි. 

"Cricket is a gentleman's game" යනුවෙන් සියවසකට පෙර සුද්දා පැවසු කතාවක් කරපින්නාගෙන "ඔය ගොඩේ බයියෝ ඕව දන්නේ නැහැ" කියන අයද සිටිති. නමුත් පසු කලෙක බොඩි ලයින් බෝල් කලේද, ටොනික් පියන් වලින් බෝල පහුරු ගෑවේද, under-arm දමා තරඟ ජයග්‍රහණය කලේද, විකට්ටුව පිටුපස සිට කළු වදුරන් යයි අපහාස කරමින් අපේ ක්‍රීඩකයන් මානසිකව වැට්ටීමට උත්සහ කලේද මේ සුද්දාම බව ඔවුන්ට අමතකය. 

පෙර මහත්මා ගතිගුණ පෙන්වූ ක්‍රිකට් ලොවේ පතාක යෝධයන්ට අදාළ සංසිද්ධි දකින විට මට මේ ඔවදන සිහියට නැගෙයි. 

"තරඟයක ජයග්‍රහණය ඔබගේ පස බව 100% තහවුරු වූ පසු ඔබගේ මහත්මා ගුණ නොමසුරුව පෙන්වන්න". 


   


Thursday, 2 November 2023

ලංකාවේ ඉදිරිය පලිඟු බෝලයෙන්


ලංකාවේ ඊළඟ මැතිවරණය අනිවාර්යයෙන්ම ජවිපෙ ජයග්‍රහණය කරනු ඇත. 

එසේ කියන්නේ මා ජවිපෙ පාක්ෂිකයෙකු නිසාවත්, ජවිපෙට කැමති නිසාවත්, ජවිපෙ පිළිබඳව දන්නා නිසාවත් නොව මා ඇමරිකාව පිළිබඳව මැනවින් දන්නා නිසාය. මේ වන විට ලංකාවද ඇතුළු රටවල් 70ක පමණ ජනමතය සහ දේශපාලනය ගමන් කරන දිශානතිය පිළිබඳව ඉතා නිවැරදි ලෙස අනාවැකි පලකල හැකි AI algorithm ඇමරිකාව විසින් ගොඩනගා ඇත. ඒ සඳහා දත්ත සපයමින් දායක වන්නේද දැන හෝ නොදැන අදාළ රටවලම විද්‍යාඥයන් සහ තාක්ෂණිකවේදීන්ය.

පසුගිය සති කිහිපයේ ජූලි චංගේ හැසිරීම අපට බොහෝ දේ පවසයි. අනුර කුමාරගේ ඇමරිකානු සංචාරය පිළිබඳව ජවිපෙ විරෝධීන් අතර මහත් කැළඹීමක් සහ ව්‍යාකූල බවක් දකින්න ලැබෙන්නේ ඔවුන්ගේ නායකයින් මෙය කියවාගෙන ඇති නිසාය. නායකයන්ගේ ඉඟියට පහල කේඩර, පාක්ෂිකයන් සහ දෙලොවටම නැතිව කඩේ යන්නන් සමාජ මාධ්‍යවල ඩෙඟා නටයි. මෙය වෙනත් අවස්ථාවලදී ජවිපෙටද පොදුය.  

අනුර කුමාරගේ ඇමරිකානු සංචාරය බොහෝ ජවිපෙ විරෝධීන්ට දරාගත නොහැකි බවක් පෙනෙයි. ඒ පොහොට්ටු-එජාප-සජබ එකමුතුවේ පොදු සතුරා ජවිපෙ නිසාම නොවේ. එය ඊට වඩා ගැඹුරින් වූ පංති-ස්ථරීකරණය (social stratification) හා බැඳුනු මානසික ව්‍යකුලතාවයකි. ලංකාවේ දුප්පතුන් ගැන නිතර කතා කරන සම්ප්‍රදායික වාමාංශිකයන්, දේශමාමකත්වය ගැන නිතර දොඩන ජාතික චින්තකයන් ඇතුළු පොහොට්ටු-එජාප-සජබ එකමුතුවේ පොෂ් ඇත්තන් කුඩා කණ්ඩායම් ලෙස මුණ ගැසුණු විට තම පාසැල, උපන් ප්‍රදේශය හා පන්තිය පිළිබඳව ගසන පම්පෝරි අසා ඇත්නම් ඔබට මා කියන දේ වැටහෙනු ඇත. 

වෙන්නේ කුමක්දැයි අපි බලාගෙන හිඳිමු. 

Tuesday, 31 October 2023

ආගමට විද්‍යාවෙන් කූන්ඤ ගැසීම


ඊයේ ආගම් කිහිපයකට අයත් පිරිසක් අතර තම ආගම මගින් "Big-bang" තියරිය මනාවට ඉදිරිපත්කර ඇති බවට තියුණු වාදයක් ඇතිවෙනු දැක මෙය ලිවීමට සිතුනි. 

තම ආගම (දහම, දර්ශනය ආදී ලෙස හැඳින්වීමට යොදන පදය කුමක් වුවත්) විද්‍යාත්මක බව කීමට බොහෝ ආගමිකයන් ඉතා කැමතිය. ඒ සඳහා ඔවුන් නොයෙකුත් උදාහරණ ලබා දෙයි. මේවා බොහෝ විට විද්‍යාව මෙන්ම තම ආගම පිළිබඳවද මෙලෝ හසරක් නොදන්නාකම ලොවට විදහා පෑමකි. කිසිම ආගමක් විද්‍යාත්මක නැත. ඊට හේතුව ආගම සහ විද්‍යාව අතර උපන් ගෙයිම ඇති විරසකයයි. 

ආගමක් බිහිවන්නේ යම් කාල-අවකාශ රාමුවක අවශ්‍යතාවයකටයි.  එය චිරාත් කාලයක් පැවතීමට නම් එය ඉදිරිපත්කල ශාස්තෘවරයා සියල්ල-දත් විය යුතුය. මේ නිසා ආගම කාලය-දේශය මත වැරදීමට ඉඩකඩ නැත. සියලුම ආගමිකයන්ට තම ආගම අකාලික වන්නේ මේ නිසාය. ආගම යනු කාල ලක්ෂයක freeze වූ මොඩලයකි. 

නමුත් විද්‍යාව පදනම් වන්නේම සංකල්පයක් වැරදීමට ඇති හැකියාව පිළිගැනිම මතය. විද්‍යාඥයා යම් මතයක් ඉදිරිපත්කරන විට "මෙය වැරදීමට ඉඩ ඇත" යන ලේබලය එහි එල්ලෙයි. විද්‍යාවේ නාමයෙන් මිනිසා කරන්නේ යම් කාල ලක්ෂයකදී පවතින දැනුම් සම්භාරය මත පරිසරය විස්තර කිරීමට ගතික මොඩලයන් තනා ගැනීමයි. තාක්ෂණය නමින් සිදුකරන්නේ එම මොඩලයන් මගින් අදාල අවස්ථාවේ මිනිසාගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමයි. යම් මොඩලයක් මගින් තවදුරටත් නිරීක්ෂණ විස්තර කිරීමට හෝ එයින් නව අවශ්‍යතා සපුරාගත නුහුණු කල විද්‍යාඥයා මොඩලය වෙනස් කරයි. නැත්නම් අතහැර දමයි. මිනිසා රෝදයේ සිට අභ්‍යවකාශ යානා දක්වා පැමිණෙන්නේ මේ "විද්‍යාව වැරදීමට ඇති ඉඩකඩ" මතය. 

ඔබේ ආගම Big-bang තියරිය පැහැදිලි කරන නිසා අද ඔබ ඔබේ ආගම උතුම් ශ්‍රේෂ්ඨ දහමක් බව කියයි. අද මේ Big-bang මොඩලය නිවැරදියි කියූ  විද්‍යාඥයාම හෙට එය සම්පුර්ණයෙන්ම වැරදි යයි කීමට ඉඩ ඇත.  ඒ විද්‍යාවේ හැටිය. එවිට ඔබ ඔබේ ආගමත් වැරදි යයි කීමට ලැහැස්තිද?


      

Monday, 30 October 2023

ලලිත් කොතලාවල, සමන්ත භද්‍ර සහ අපි හිතන හැටි


මහාචාර්යවරුන්, ව්‍යාපාරිකයන් සහ ලලිත් කොතලාවල පටලවා මා පළකල පෝස්ට් එකට ධනාත්මකව සහ ඍණාත්මකව අදහස් දැක්වූ ඔබ සැමට ස්තුතියි. කිහිප දෙනෙක්ම මට පෞද්ගලිකවද ලියා තිබුණි. මේ ලිපිය ඒ ඔබ සියල්ලන් වෙනුවෙනි. මීට ටික කලෙකට පෙර මම සමන්ත භද්‍ර හිමිගේ බිස්නස් මොඩල් එක ගැන පළකල පොස්ට් එකකටද මෙවැනිම ප්‍රතිචාර ලැබුණි. 

රටක දැවැත්ත ව්‍යාපාරිකයෙක් බිහිවන්නේ කලාතුරකිනි. එය මහාචාර්යවරයෙකු බිහිවනවාට වඩා බොහෝ සෙයින් විරලය. රටේ විශාල කුසවල් ප්‍රමාණයක් පුරවන්නේ මේ ව්‍යාපාරික අතලොස්සයි. මදක් කල්පනා කර බලන්න, ඔබගේ නෑදෑ හිතමිතුරන් අතරින් මිනිසුන් දස දෙනෙකුට වඩා රැකියා ලබාදී ඇති ව්‍යාපාරිකයන් කීදෙනෙක් ඇත්ද? එවන් ව්‍යාපාරිකයන් යටතේ සේවය කරන ඔබ දන්නා අය කී දෙනෙක් ඇත්ද? 

අපේ මුළු අධ්‍යාපන පද්ධතියම සකස් වී ඇත්තේ employees ලා බිහි කිරීමට මිස employers ලා බිහිකිරීමට නොවේ. AI, robotics, automation තුලින් වඩ වඩාත් වේගයෙන් රැකියා අවස්ථා ගිලිහී යන්නේද මෙවන් පසුබිමකය. ව්‍යාපාරිකයා පිළිබඳව ඔබ දැන් අලුතින් සිතිය යුතු කාලය එළඹ ඇත. 

මහා පරිමාණ ව්‍යාපාරිකයන් අතින් බොහෝ වැරදි සිදුවෙයි. යහපත් රජයකින් සිදුවිය යුත්තේ නීති රාමුව තුල මේ පිරිස නියාමන කර වැරදි ඇත්නම් සුදුසු දඬුවම් ලබා දීමයි. නමුත් ලංකාවේ දශක ගණනාවක් තුල සිදුවුනේ පවතින රජයට ආවඩන ව්‍යාපාරිකයන්ගේ වැරදි වසා ඔවුන්ට තව තවත් වැරදි කිරීමට අනුබල දීමයි. ඊළඟට එන රජය මේ පිරිස සම්පුර්ණයෙන්ම විනාශකර දමා තමන්ට ආවඩන තවත් පිරිසක් බිහි කරයි. 

ඔබ පවතින දේශපාලනය වෙනස් කල යුත්තේ මේ ක්‍රමවේදය බිඳ දැමීමට මිස ව්‍යාපාරිකයා කුඩු කර දැමීමට නොවන බව සිහි තබා ගත හොත් රටේ අනාගතයට එය බොහෝ සෙයින් යහපත් වනු ඇත. 




Friday, 13 October 2023

අපට ආගමක් ඇවැසිද?


"ඔබට මගේ පෙර ආත්මය කිව හැකිද?" ශ්‍රාවිකාවක් සද්ගුරුගෙන් අසයි.

මද සිනහවකින් මුව සරසා ගන්නා සද්ගුරු ඇයට පිළිතුරු දෙයි.

"මට දැන් ඔබට ඕනෑම පිළිතුරක් දිය හැක. ඔබට කල හැක්කේ එක්කෝ එය පිළිගැනීමයි නැත්නම් නොපිළිගැනීමයි".

ආගම නම් සංකල්පයේ මුළු සන්දර්භයම මේ පිළිතුරෙහි ගැබ්වී ඇති බව මට සිතෙයි.

මම මේ මාතෘකාව යටතේ ලිපි පෙළක් ඉංග්‍රීසි බසින් ලිව්වෙමි ඒවා යහපත් සංවාද-විසංවාද වලට බඳුන් විය. එහෙත් සිංහලෙන් ඒ ගැන ලිවීමට මෙතෙක් මම අදිමදි කලෙමි. ඒ කුමක් නිසාදැයි සමහර විට ඉදිරියේදී ඔබට වැටහෙනු ඇත.  

සමහර දෙනෙක් තමන් පිළිපදින්නේ ආගමක් නොව ධර්මයක් බව පවසති. තවත් සමහරුන්ට එය දර්ශණයකි. මේ මොන නමින් හැඳින්වුවත්, විශ්වකෝෂවල මොන අර්ථ දැක්වීම් තිබුණත් අති බහුතරයක් කරන්නේ එකම දෙයකි. එනම් තමාට නොතේරෙන දෙයක් කවුරුන් හෝ පැවසූ නිසා සත්‍ය ලෙස පිළිගැනීමයි. එනම් කාගේ හෝ ආකෘතියක් (මොඩලයක්) හරියැයි උපකල්පනය කිරීමයි. එහි වරදක් නැත. එහෙත් මේ අති බහුතරය එය පිළිගන්නේ නැත. විද්‍යාව යනු එබඳුම ආකෘති තැනීමකි. එකම වෙනස විද්‍යාඥයා තමා ගොඩනගන්නේ ආකෘතියක් බව අවබෝධයෙන් පිළිගැනීමයි. 

----------------------------

ලොව මෙතෙක් පහළවී ඇති ආගමික සංකල්ප අති බහුතරයක මම පොදු ලක්ෂණ දෙකක් දකිමි. එකක් එම ආගම්-දර්ශන ඒවා බිහිවන කාල-අවකාශ රාමුවේ අවශ්‍යතාවයන් සපුරා ලීමයි. දීර්ඝ කාලීනව (in the long run) සලකා බලද්දී මෙම ආගම් ඒවාට අදාළ ක්‍රියාදාම තුලින් එම කාල-අවකාශ රාමුව තුල ශිෂ්ඨාචාරය පවත්වාගෙන යාමට විශාල සේවයක් කර ඇති බව පෙනෙයි. 

දෙවැන්න, මිනිසුන්ට නොදැනෙන, නොපෙනෙන, නොතේරෙන අත්‍යන්තයක් (ultimatum) පවතින බව ආගමිකයා අනිවාර්යයෙන් පිළිගත යුතු වීමයි. පළමු ලක්ෂණයේ ඇති ක්‍රියාකාරකම් කිරීමට සහ යුතුකම් ඉටු කිරීමට ආගමිකයා යොමුකරවන්නේ මේ අත්‍යන්තය මගිනි. ඔවුහු තමන් නොදන්නා යමක් පවතින බව 100% පිළිගන්නා අතර (ඇදහීම යනු මෙයයි) එය අනෙක් අයද පිලිගන්නවා දැකීමට ප්‍රිය වෙති. මේ අනුව ආගම-දර්ශනය-දහම ආදී කුමන නමකින් ඇමතුවත් සියළුම ආගමිකයෝ අදහන්නෝය. 

ආගම බිහිවන්නේ යම් කාල-අවකාශ රාමුවක අවශ්‍යතාවයකට අනුවය. මම එහි කිසිඳු වරදක් නොදකිමි. නමුත් සියළු ගැටළු මතුවන්නේ එම වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම තවත් කාල-අවකාශ රාමුවකට ඔබන්න ගිය විටයි. සියළුම ආගමිකයෝ තම ආගම-දහම අකාලික බව තරයේ පිළිගනියි. සියළුම ආකාරයේ අවුල් ජාලයන් ඇතිවන්නේ මෙතනදීය.

                                   ----------------------------

ආගමක් කුමටද? මේ පිළිබඳව මම කිහිප දෙනෙකුගෙන් ඇසුවෙමි. ඔවුන් විවිධාකාර පිළිතුරු දුන්නේය. විමුක්තිය ලැබීමට, සමාජය යහපත් ලෙස හැඩගැසීමට, දෙවියන්ගේ මග පෙන්වීම සහ ආශිර්වාදය ලැබීමට, හොඳ-නරක දැනගැනීමට ආදී පිළිතුරු රාශියක් එහි විය. පසුව මම මේ පිළිබඳව සමාජ විද්‍යා මහාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් සහ මහාචාර්යවරියකගෙන් විමසුවෙමි. ඔවුන් තිදෙනාගේම පිළිතුරු සමපාත විය.

ඒ "මිනිසාට ආගමක් අවශ්‍යවන්නේ සමුහයක් තුල ආරක්‍ෂිත වීමට සහ නොතේරෙන විශ්වයෙන් රැකවරණය පැතීමට" යන්නයි.

සත්ව ලෝකයේ බොහෝ තැන්වල සමුහගතවීමේ-මානසිකත්වය (herd mentality) නිරතුරුවම දක්නට ලැබේ. තනිව වාසයට වැඩ යම් කුලකයකට ඇතුළුවීම බොහෝ සත්වයන්ට ආරක්‍ෂිත-මානසිකත්වයක් ලබා දෙයි. වානර මානවයා තුල ජීවමාන වූ මේ සමුහගතවීමේ මානසිකත්වය මිනිස් වර්ගයා තුල අද මෙන්ම තව චිරාත් කාලයක් පවතිනු ඇත. ළදරු වියේ සිට අප පසුකරන සෑම අවධියකම අපි සමුහගතවීට උත්සහ කරමු.  ගමේ, ඉස්කෝලේ, කුලයේ, ජාතියේ, රටේ, ආගමේ ආදී වශයෙන් මානවයා  කුලක,උප කුලක වලට ඇතුලත්වෙමින් සමාජ ආරක්ෂාව සොයයි. 

ලොව ආගමික ඇදහීම් බිහිවන්නේ මීට  වසර ලක්ෂ තුනකට පමණ පෙර බව නවතම සොයාගැනීම් අනාවරණය කරයි. වසර 60,000 පමණ පෙරදී මානවයා ආගමික විශ්වාස මැටි, පාෂාණ සහ දැව පිළිම බවට පරිවර්තනය කල බවට සමහර කෞතුක භාණ්ඩ සාක්ෂි දරයි. මෙම ආගමික සංකල්ප බිහිවන්නේ  ස්වභාවික විපත් සහ සතුරු උවදුරු වලින් බේරීමේ මාර්ගයක් ලෙස නොදන්නා විශ්වයෙන් රැකවරණ පැතීමට බව අපට උපකල්පනය කල හැක. 

මීට වසර 20,000 පමණ පෙර ලෝකයේ ස්ථාන කිහිපයකම මානවයා ශිෂ්ඨාචාර ගතවීමේ ලක්ෂණ පහළවන්න විය. ශිෂ්ඨාචාරයක මූලික ලක්ෂණයක් නම් මිනිස් සමුහයක් යම් නායකත්වයක අණසක යටතේ තම පැවැත්ම තහවුරු කරගැනීමයි. මෙහිදී නායකත්ව අණසක අනුව සමුහයේ ක්‍රියා පිළිවෙත් පවත්වා ගැනීම සඳහා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය බල අධිකාරියක අවශ්‍යතාවය දැනෙන්නට ඇත. මේ අනුව නොදන්නා විශ්වයේ බලයක් පිළිබඳව සංකල්පයක් මවා ගෙන තමා එම බල අධිකාරිය සහ මානවා සමුහයා අතර මධ්‍යම පුරුක බවට නායකත්වය පත්වෙමින් මුලින්ම ලොව ව්‍යුහගත ආගම් බිහිවූ බවට උපකල්පනය කල හැක. 

ඊළඟ වසර 10,000 ක පමණ කාලයේදී මේ ශිෂ්ඨාචාරය බෙහෙවින් පුළුල් හා සංකීර්ණ වන්න විය. මීට සමගාමිව ආගමික සංකල්පද වඩ වඩාත් සංකීර්ණ වන්න ඇත. මේ ඉතිහාස කතාවේ යම් ස්ථානයකදී අවශ්‍යතා සහ කරුණු කාරණා කිහිපයක් මත සමූහ පාලනය සහ ආගම් පරිපාලනය කොටස් දෙකකට බෙදී ඇත. නමුත් රාජ්‍ය පාලනය සඳහා අත්‍යවශ්‍ය ආයුධයක් වූ ආගම, වර්තමානය දක්වාම නායකත්වය සමග තදින් බැඳී ඇති බව පෙනෙයි. මේ අනුව නායක-පූජක බල තුලනය වසර දහස් ගණනක් ශිෂ්ඨාචාර විසින් අඩු-වැඩි වශයෙන් පවත්වාගෙන ගොස් ඇත. 

මුල් ව්‍යුහගත ආගම් බොහෝ විට බහුදේව වාදී විය. ආදී කල්පිතයන් දෙවිවරුන් ආදේශ කලේ ගස්, පර්වත, කඳු, ගිනිකඳු, ගංගා, ආදී තම පරිසරයේ තිබූ ස්වභාවික වස්තුන්ටය. පසු කලෙක මෙම දෙවිවරුන් නොයෙකුත් ස්වභාවික සංසිද්ධීන්, මිනිස් අවශ්‍යතා සහ ක්‍රියාදාමයන්ට අධිපති විය. සුර්යයා, චන්ද්‍රයා, වර්ෂාව, අකුණ, පොලව, කෘෂිකර්මය, යුද්ධය, කලාව, ලිංගිකත්වය ආදිය මේ අතර විය. ප්‍රාථමික අවධියේ හින්දු, ඊජිප්තු, ග්‍රීක, රෝම, චීන ආදී බොහෝ ශිෂ්ඨාචාර කේන්ද්‍ර කොට ගත් ආගමික සංකල්පවල මෙම ලක්ෂණය විය. ශිෂ්ඨාචාරය වැඩි දියුණු වෙමින් ජනගහනය ව්‍යාප්ත වෙද්දී  සියල්ලන්ටම ඉහලින් සිටින ප්‍රධාන දෙවියෙක් සහ ඊට පහල නොයෙකුත් තරාතිරම්වල (hiarchy) දේව මණ්ඩලයක් බිහිවිය. මෙය රජුගේ පැවැත්ම වඩාත් තහවුරු කරගැනීමට අත්‍යවශ්‍ය මොඩලයක් විය. ශිව, අමොන්රා, අනුනාකි, සියුස්, ජුපිටර්, අහුරා මස්ඩා ආදී ඒ ඒ ශිෂ්ඨාචාරය විසින් නම් කරන ලද දේව ලොක්කන් බිහිවන්නේ මේ අනුවය. 

මෙහි ඊළඟ පියවර වන්නේ රජුගේ බලතල අසීමිත කිරීමට (බොහෝ අවස්ථාවල ඔහු අධිරාජ්‍යයකුගේ තත්වයට ඔසවා තැබීමට) මොඩලයක් තැනීමයි. ඒක දේවවාදය මෙහි ප්‍රතිඵලය යැයි මට සිතෙයි. මේ සංකල්පය බිහිවන්නේ හා ව්‍යප්තවන්නේ මූලික සම්පත් (basic  resources) සඳහා දැඩි තරඟයක් පවතින මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව ආශ්‍රිත ප්‍රදේශවල බව සඳහන් කිරීම වැදගත් වේ. මුලින්ම මෙම සංකල්පය ගෙන එන්නේ සොරෝස්ට්‍රියන් දහම බිහිකරන සරතෘෂ්ට්‍රා විසිනි. ඔහුගේ ප්‍රයත්නය වුයේ අහුරා මස්ඩා එකම දෙවියන් ලෙස නම් කරමින්, එතෙක් පැවති අනෙකුත් දේව ප්‍රපංච දේව දුතයන්ගේ තත්වයට ඇද දැමීමයි. ඉන්පසු බිහිවන එබ්‍රහමීය ආගම් තුනේම මෙම මොඩලය ඉතා අපූරුවට ගොඩනගා තිබුණි.  

සියළුම ඒක දේවවාදී ආගම්වල සිටින සර්වබලධාරි දේව මොඩලයේ මට නම් සංකල්පීය වෙනසක් නොපෙනේ. මෝසස්ගේ සිට සියළුම වක්තෘවරුන් එකම සංකල්පය භාවිතා කර ඇත. ඔවුන් සෑම දෙනාම ඔවුන්ට අදාළ කාල-දේශ රාමුවේ වූ සමාජ අසාධාරණය එරෙහිව සමුහයක් එක් රැස් කිරීම සඳහා  මෙම දේව සංකල්පය යොදාගෙන ඇත. අදාළ රාමුවෙහි අවශ්‍යතාවය මත දේව නියම වෙනස් වී ඇත. මේ සඳහා මම පහත දැක්වෙන උදාහරණය ගනිමි.

මෝසෙස් ගේ අරමුණ වුයේ පාරවන්ගෙන් පීඩිත වූ තම පිරිස නිදහස් පරිසරයකට රැගෙන යාමයි. ඔහුට පාරවන්ගෙන් පළිගැනීමේ චේතනාවක් නොවූ බව සාහිත්‍ය පොතපතෙහි දැක්වෙන කරුණු අනුව අවබෝධ කරගත හැක. මේ නිසා ඔහුට අනුව දේව නියමය වුයේ යමෙකු ඔබට පහර දුන හොත් තමනුත් සමානව ප්‍රතිප්‍රහාර  දෙන ලෙසයි. එය සාහිත්‍යමය භාෂාවේදී සඳහන් වන්නේ "ඇසට ඇසක්, දතට දතක් ලෙසය".

ජේසුස් වහන්සේගේ කාලය වන විට සමාජ අසාධාරණය ඔඩු දිවූ කෲර මානසිකත්වයකින් හෙබි මිනිස් සමුහයක් එම ප්‍රදේශයේ සිටි බව පැහැදිලිය. ජේසුස් වහන්සේව කුරුසියේ තබා ඇණ ගැසිමම මේ සමාජයේ වූ විෂමතාවයට නිදසුනකි. සමහර විට මෝසස්ට තම සමුහය ගලවා ගැනීමට උදව් වූ දේව නියමයම ජේසුස් සාමය වනවිට සමාජය විසින් විකෘති භාවිතයකට යොදාගෙන තිබෙන්නට ඇත. මේ නිසා ජේසුස් වහන්සේට දෙවියන් සමග වූ ගිවිසුම අලුත් කරන්නට සිදුවිය. තමාට යමෙක් පහර දුන්නත් ඉවසාගෙන සිටින ලෙස දෙවියන් අණ කරන බව ඔහු පවසන්නේ මේ අනුවය. එය සාහිත්‍යමය ආකාරයෙන් කියවෙන්නේ "තමාගේ වම් කම්මුලට යමෙක් පහර දුන හොත් දකුණු කම්මුලද ඔහුට පාන්න" ලෙසිනි.

මොහොමඩ් නබිතුමා බිහිවන්නේ සමාජය සිවිල් ගැටුම් ගහන වූ සහ නීතිය වල් වැදුණු කාලයකයි. එම කාල වකවානුව පිළිබඳව ගවේෂණය කරන විට පෙනී යන්නේ එය මිනිස් ජීවිතය ඉතාමත්ම අන්තරායකර තත්වයකට පත්වූ පරිසරයක් බවයි. එහි මානව දයාව පිරිපුන් ගමනක් යාමට අවශ්‍ය වටපිටාවක් නොවීය. එහෙයින් තම සමුහය රැකගැනීමට සහ ව්‍යාප්ත කිරීමට ඔහුට කාරණා රාශියක් සපුරාලන්නට සිදු විය. ඔහු දෙවියන්ගේ නාමයෙන් අණ පනත් පැනවීය. මත්පැන් වලින් මිදීම, හැකිතාක් තම වර්ගයා බෝ කිරීම, තම දෛනික ජීවිතය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සහ මුළු සමාජයම එකම වෙලාවකට එකම අණකට වැඩකිරීම (යාඥාව), ගැටුම් නිසා සැමියන් අහිමිවූ කාන්තාවන් රැකගැනීම ආදී කරණා රාශියක් එහි විය. මේ සියල්ලම දක්ෂ හමුදා නායකයෙකුගේ උපාය මාර්ග බව ඔබ තේරුම් ගත යුතුය. මේ සමගම ඔහු තවත් නීතියක් පැනවීය. "සතුරා හඳුනාගත් විට සැගවී සිට ඔහුට කලින්ම පහර දෙන්න". මේ ඔහුගේ සමුහය සඳහා වූ යුගයේ අවශ්‍යතාවයයි. 

මට පසුගිය කාලයේ පතල වූ FB post එකක් මතකයට නැගේ. 

"කොවිඩ් රෝගයට එරෙහි එන්නත්කරණය දේව කැමැත්ත බවට පුජක පක්ෂය හරහා මතයක් ගොඩ නගන්න. කිසිවෙකුත් එන්නතට විරෝධය නොදක්වනු ඇත". මෙය සැබෑවකි. ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම ආගම සිදුකලේ මේ කාර්යභාරයයි. අදටත් එය වලංගු වෙයි.

                                                ------------------

මිනිස් බුද්ධිය ඉතා ඉහල මට්ටමකට පැමිණෙන තෙක් අත්‍යන්තයක් මගින් මිනිස් හැසිරීම් රටාව පාලනය කල යුතුම යයි මම සිතමි. මේ අනුව තවත් සහශ්‍රයක්වත් යන තෙක් ලෝකයට ආගම් අවශ්‍ය බව මගේ හැඟීමයි.  ඒ මට්ටමට මිනිස් බුද්ධිය පැමිණෙන තෙක් අපි අවම වශයෙන් පවතින කාල-අවකාශයට අපත්‍ය වූ ආගමික මතවාද සහ ක්‍රියාකාරකම් අවම කරගැනීමට උත්සහ කරමු. 


Sunday, 8 October 2023

There are No Natural Disasters


After seeing a post by Sanjaya Elvitigala on the responsibilities of NSF I thought of writing this short note. 

For the last 12 years even after leaving Sri Lanka for good, I wrote several articles in both languages, on the serious risk of natural extreme events in Sri Lanka. If anyone is interested I can give the links to my blog articles (I lost track of newspaper articles). Even last month returning from Sri Lanka after a 3-week visit, I tweeted on FB that there is a danger that climate disaster will soon overtake political catastrophe in Sri Lanka. Several asked whether it is about the prolonged drought but I said that the issue is much graver than that. 

Despite being a person not involved with disaster management, I could sense the approaching nature's wrath. Then why couldn’t the responsible people of the country take reasonable action?

As I always say there is nothing called “natural disasters”. There are “natural extreme events” and “human disasters”. We can’t stop nature but minimize human catastrophe if we are wise and smart.  



අපේ මොළේ මොට්ට වුණේ ඇයි?



මීට දශක දෙකකට පමණ පෙර, ලංකාවේ බාල දක්ෂ වැඩමුළුවකට සහභාගී වෙමින් සිටි කුඩා දරුවන් 30 දෙනෙකු පමණ සිටින කණ්ඩායමක් සමග, ලද අස්වැසිල්ලක අපි පිළිසඳරක යෙදුනෙමු. අපි එහෙදි ඔවුන්ගෙන් සරල ප්‍රශ්නයක් ඇසුවෙමු. ඒ ඔවුන් අධ්‍යාපනික කටයුතු වලදී මුහුණ දෙන අපහසුම කටයුත්ත කුමක්ද කියාය. දරුවන් 17 දෙනෙකු එකවිටම පැවසුවේ චක්කර පාඩම් කිරීම බවයි. තවත් සිසුන් 8 දෙනෙකුගේ ගැටලුව වුයේ ගාථා පාඩම් කිරීමයි. මෙම සිසුන් අපගේ පැනයට පිළිතුරු දුන් ආකාරය ඔබ දුටුවේ නම් ඔවුන්ගේ මුහුණුවල තිබූ කලකිරීම, වේදනාව සහ සියුම් කෝපය ඔබට මැනවින් වටහා ගත හැකි වනු ඇත.

අපගේ මුළු අධ්‍යාපන ක්‍රමයම සකස් වී ඇත්තේ තොරතුරු එකතුකිරිම සහ ධාරණය කිරීම මුල් කරගනිමිනි. මෙය වසර දහස් ගණනක සිට අප රටේ පවත එන සම්ප්‍රදායකි. තොරතුරු වනපොත් කිරීම යනුවෙන් මෙය හැඳින්විණි. මෙය බොහෝ විට සිදුවුයේ පිරිවෙන් අධ්‍යාපනය ආශ්‍රිතවය. කරුණු ලේඛන ගත කිරීමේ තාක්ෂනය ඉතා පහල මට්ටමක තිබුණු එකල තොරතුරු මිනිස් මතකයෙන් ඔබ්බෙහි වූ භෞතික භූතාර්ථයක් තුල ගබඩා කිරීම විශාල අභියෝගයක්විය. මේ නිසා සියලු දත්ත මිනිස් මොළයෙහි එනම් මතකයෙහි ගබඩා කරන ලදී. මා සිතනා ආකාරයට, සීමිත ක්‍රියාන්විත වපසරියකින් යුත් මිනිස් මනසට තොරතුරු ගබඩා කිරීම සඳහා විශාල ශක්තියක් වැය කල පසු තොරතුරු විශ්ලේෂණයට වැඩි ඉඩකඩක් නොවීය. සමහර විද්වතුන් දක්වන ආකාරයට පැරණි ලාංකික උගත් විඥානය තුල වියුක්ත දැනුම පුළුල් ලෙස ව්‍යාප්ත නොවීමට මෙය හේතු වන්න ඇතැයි අපට සිතෙයි. 

අනෙක් අතට අපගේ පෞරාණික තාක්‍ෂණික කලාවන් සම්පුර්ණයෙන්ම පදනම් වන්නේ අත්දැකීම් මෙන්ම තැත සහ දෝෂය (trial & error) ඇසුරින් කරන නිරීක්ෂණ මත ගොඩනැගුණු දැනුම තුලය. මේ ලැබූ දැනුම සහ කලින් සඳහන් කල තොරතුරු එකිනෙකට වෙනස්ය. උදාහරණයක් ලෙස කම්මල්කරුවා හොඳම කඩුව සෑදීම සඳහා දෙන ලද යකඩ පතුරක් රත් කල යුතු සුදුසුම උෂ්ණත්වය දනියි. එය ඔහු පරම්පරාවෙන් ලද දැනුම මත පදනම් වෙයි. මේ අතරම ඔහු අලුතෙන් ලැබෙන ලෝහයක් අඩු හෝ වැඩි උෂ්ණත්වයකට රත් කිරීමෙන් අඩු කඩතොළු ප්‍රමාණයක් සහ වැඩි සවි ශක්තියකින් යුත් නිමාවක් ලබාගත හැකි බව අත්දකියි. මෙය ඔහු බොහෝ විට තැත සහ දෝෂය ඇසුරින් ලබන දත්ත විශ්ලේෂණය කර ගොඩනගා ගන්නා දැනුමකි. එය ඔහු තම අනුප්‍රප්තිකයාගේ දැනුම් සම්භාරයට එකතු කරයි. ඒ දැනුම මොලයේ කොටසක ගබඩාවන තොරතුරු ගොන්නකට වඩා ශරීරයේම ඇති සියළුම සෛල වල ගබඩාවන මතක රටාවක් ලෙස හැඳින්විය හැක.  ගල් වඩුවා, රන් කරුවා, කැටයම් සහ මුර්ති ශිල්පියා ආදී බොහෝ ප්‍රයෝගික තාක්ෂණයන්ගේ පිය සටහන් අදටත් අප රටේ නොනැසී පවතිද්දී වියුක්ත දැනුම මත පදනම් වූ විඥානයක් රට තුල ගොඩ නැගී නැත්තේ මේ හේතුවෙනි. 

බුදු දහම සම්බන්ධයෙන් පවා අපට ඇත්තේ තොරතුරු සම්භාරයක් මිස දැනුම් සම්භාරයක් නොවන බව මාගේ හැඟීමයි. පිරිවෙන් ආශ්‍රිතව අප විශාල තොරතුරු පද්ධතියක් රැස් කරගෙන ඇත. එහෙත් එතුල දැනුම සහ විශ්ලේෂණයේ මූලිකාංග වත් ඇත්දැයි සැක සහිතය. 

දහනම වන සියවසේ සහ විසිවන සියවසේ නව අධ්‍යාපන ක්‍රමයක් ඉංග්‍රීසින් විසින් හඳුන්වා දෙද්දී අප අත්දැකීම් සහ ප්‍රායෝගික විශ්ලේෂණයට මූලිකත්වය දුන් තාක්ෂණික ජන විඥානයෙන් ඈත්වී 100% තොරතුරු රැස් කිරීම සහ ගබඩාකිරීම මත පදනම් වූ අධ්‍යාපනික ක්‍රමවේදයකට පිය මැන්නේය. මෙය එවකට පැවති බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයට සමගාමී විය. අද වන විට ලංකාවේ සිටින වෘත්තිකයන්, ජනප්‍රිය බෞද්ධ කථිකයන්, ගුරුවරුන් ආදී වියත් යයි සම්මත සියළු දෙනාම පාහේ තොරතුරු මත පදනම්ව තම පාණ්ඩිත්‍ය විදහා දක්වයි. 

නමුත් යුරෝපය, ඇමරිකාව,කැනඩාව, ජපානය, කොරියාව, චීනය වැනි රටවල් දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක කිහිපය තුල මෙම රටාව වෙනස් කළේය. එය අද ඔබට ජපානයේ, ස්වීඩනයේ, කැනඩාවේ පාසලක හෝ සරසවියක මැනවින් නිරීක්ෂණය කල හැක. 

අපි සියවසකටත් පෙර සුද්දා අපට දුන් දේ තවමත් කරගසාගෙන යමු. 



Monday, 2 October 2023

පෝලිමෙන් කොතැනටද?

 

ලංකාවේ පැවති සියලුම රජයන්ගේ නොහැකියාව මත පැටවුණු ගෝඨාභය ආණ්ඩුවේ උද්දච්ච තක්කඩි ඔලමොට්ටලකම ලංකාව බංකොලොත්බාවයට පත්කළ බව යම් හෝ බුද්ධියක් ඇති සැමටම මේ වන විට වැටහේ. බලශක්ති අහේනිය සමගම ඇති වූ පෝලිම් යුගය මිනිසුන් මහමගට කැඳවිය. එය දැන් අතීතයට එක්වූ කතාවකි. 

රනිල් ජනපති විය. "ඔබට රනිල් කියවාගත නොහැකි වුනාට රනිල් ඔබව කියවගෙන ඇත" යැයි මම ලිව්වෙමි. බොහෝ දෙනෙක් මෙයට උපහාසාත්මක comments දමා තිබුණි. එය සාධාරණය. 

ඔහු සියළු ණය ගෙවීම් සම්පුර්ණයෙන්ම නවත්වා ඒ  බර අනාගත පරපුරේ කර මත තැබීය. ඉන් පසු විදුලි බිල අසීමිත ලෙස වැඩි කළේය. විදුලිය සඳහා පෝලිම් නැත. ජනතාවට මේ වැඩි වූ බිලෙහි බර දැනෙන්නේ සති කිහිපයකට පසුවය. එවිට එහි උණුසුම අහවරය. බිල ගෙවා ගත නොහැකි නම් විදුලිය විසන්ධි වේ. එසේ නැති නම් යන්තම් එක් විදුලි පහනකින් රැය ගත කිරීමට ජනතාව හුරු වේ. මේ ක්‍රියා සිදුවන්නේ සාමුහිකව නොවේ (තෙල්, ගෑස් නොමැතිව පෝලිමේ සිටිනවා මෙන්). මේ නිසා රජයට මෙහි සාමුහික බලපෑම අඩුය. 

මේ අතර IMF ප්‍රථම ණය වාරිකය ලැබුණි. ඉන්ධන සහ ගෑස් මිල සුලු වශයෙන් අඩුවිය. එය මිනිස්සුන්ට එදිනෙදා ජිවිතයට දැනුනි. ඔවුන් සතුටු විය. රනිල් වාදීන් උදම් ඇනීය.  

දැන් දිනෙන් දින තෙල්, ගෑස් මිල මෙන්ම විදුලි බිලද වැඩිවෙයි. ඒ හා සාපේක්ෂව සියළුම භාණ්ඩ මිලද ඉහල යයි. රටෙහි ණය බරද දිනෙන් දින වඩ වඩාත් ඉහලට ගොඩ ගැසෙයි. 

පෝලිම් නැත. එහෙත් බඩු මිළදී ගැනීමට මුදල් නැත. ඇති හැකි අතලොස්ස කා බී ජොලියේ සිටිති. නැති බැරි බහුතරය ලෙවකමින් බඩගාගෙන යති. මා පසුගිය වර ලංකාවට පැමිණි විට දුටුවේ ජනතාව වේගයෙන් මේ ජිවන රටාවට හුරු වෙමින් තිබෙන බවයි. 

පීඩකයාටම ආවඩන ලංකාවේ වෙසෙන සමහර උදවිය දුටුවිට මට හැඟෙන්නේ රටේ ජනතාවගෙන් බහුතරයක් ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් එකට අනුගත වුවහොත් ඔබ පුදුම විය යුතු නැති බවයි.  



            

Saturday, 30 September 2023

CEB එකෙන් නිදහස්වීමේ මග: Urban Microgrid


මේ වන විට ලංකාව දැඩි විදුලි බල අර්බුදයකට මුහුණ දෙමින් පවතී. වරද කා අත වුවත් ඉන් දුක් විඳින්නේ මහජනතාවයි. පාලකයා ගැටළුව නොදුටුවා සේ සිටින විට එයට පිළියම් සෙවීමේ බලතල තමන්ගේ අතට ගැනීමට ජනතාවට සිදුවේ. අපි දකුණු අප්‍රිකාවේ මේ සඳහා පියවර රාශියක් තබා ඇත. Urban microgrid ඒ අතර මුල් තැන ගනියි. ඒ ගැන ලංකාවේ ඔබටත් යම් පණිවිඩයක් දිය යුතු යයි සිතුවෙමි. 

මේ කටයුත්ත ලෙහෙසියෙන්ම ඇරඹිය හැක්කේ නිවාස සංකීර්ණ තුලය. Microgrid සැකැස්ම සහ මෙහෙයුම (design & operation) කිහිප ආකාරයකින් කල හැක. ඉන් එක් ආකාරයක් නම් සංකීර්ණයේ සියළුම නිවාසවලට සුර්ය කෝෂ පද්ධති සවිකර එක් ස්ථානයක රඳවන විශාල battery bank එකක් charge කිරීමයි. මෙයට ප්‍රදේශයේ ස්වභාවය අනුව සුළං මෝල් හෝ කුඩා ජලවිදුලි උත්පදකයන්ද එක් කල හැක. අත්‍යවශ්‍යම අවස්ථාවලදී ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් ජෙනරේටරයක්ද standby තැබිය හැක. මේ සියල්ල ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමට power management system (PMS) එකක් යොදාගත හැක. 

ඉහත සැකැස්මෙදී අවශ්‍ය වන්නේ එක inverterයක් පමණි. විදුලිබල මණ්ඩලය මේ සඳහා සහයෝගය දෙයි නම් නිවාස සංකීර්ණයට විදුලිය ලබාදෙන distribution board එකේදී auto changeoverයක් මගින් මෙම පද්ධතිය නිවාස සඳහා සම්බන්ධ කල හැක. එම නිවාසවලට smart meter සම්බන්ධ කර ඇති නම් ඉතා පහසුවෙන් මෙම පද්ධතියෙන් විදුලි බලය ගන්නා අවස්ථාවල භාවිතා කරන ඒකක ගණන CEB එකට බැරවීම නවත්වා PMS එක මගින් පාලනය වන පුවරුවක ඇති එක් එක් නිවසට අදාළ ගිණුමකට බැරකල හැක. මාසිකව මෙම පද්ධතියේ නඩත්තුව සඳහා කිසියම් මුදලක් අය කරගත හැකි අතර විදුලි බලය භාවිතා කිරීමේ ප්‍රමාණය අනුව එම මුදල අඩු-වැඩි කල හැක (PMS එක මගින්ම එය ගණනය කල හැක). මෙම මුදල විදුලිය සඳහා කරන අයකිරීමක් නොවන බැවින් ඒ පිළිබඳව නීතිමය ගැටළුවක් ඇති වන්නේ නැත. 

තවත් microgrid සැකැස්මක් නම් සෑම නිවසකම සුර්යකෝෂ පද්ධතියක්, බැටරි පද්ධතියක්, ඉන්වටරයක් සහ චේන්ජ් ඕවරයක් සම්බන්ධ කිරීමයි. ඉන්වටරයෙන් පසු සියලුම නිවාස PMS එක හරහා ජාලගත කරනු ලැබේ. අවශ්‍ය නම් මධ්‍යගත battery bank එකක් සහ ඩීසල් ජෙනරේටරයක්ද මෙම ජාලයට සම්බන්ධ කල හැක. මෙහිදී CEB එකෙන් ස්වායත්තව ඔබට microgrid එක ක්‍රියාත්මක කල හැක. 

නිවාස සංකීර්ණ වලින් ඔබ්බට microgrid සංකල්පය ගෙනයාමේදී අදාළ පළාත්පාලන ආයතනවල අනුග්‍රහය අත්‍යවශ්‍ය වෙයි. දකුණු අප්‍රිකාවේ අප බලාපොරොත්තු වන්නේ PMS එකේ ක්‍රියාකාරිත්වය සහ මුදල් පරිපාලනය පලාත්පාලන ආයතනයට බාරදීමටයි. වසර 2020දී මේ රටේ පලකල ගැසට්ටුවක් මගින් විදුලිය විකිණීමේ බලතල  පලාත්පාලන ආයතන වෙතටද පැවරුණි. 

මෙම microgrid පැකේජයක් ලෙස සැපයීම ඉතා ලාබදායි ව්‍යාපාරයක්ද වෙයි. මෙයට රජයේ අනුග්‍රහය ලැබේ නම් ටික කලකින් විදුලි බල ගැටළුව සාර්ථකව නිමකළ හැකි වනු ඇත. ලංකා විදුලිබල මණ්ඩලය මේ සංකල්පය දෙස කුමන ඇසකින් බලයිද කියා අපි බලාගෙන ඉඳිමු. 





Sunday, 17 September 2023

ඇත් මවට පිං අනුමෝදනා කරමු


අද අපට මොලමුරේලාගේ කාලේ මෙන් වන ඇතුන් කොටු කර මදු ගසා අල්ලා ගැනීමට නීතියෙන් ඉඩක් නැත. මා දන්නා තරමට ලංකාවේ හීලෑ ඇතුන් අභිජනනය කිරීමේ තාක්ෂණයක්ද නැත. එසේ නම් හීලෑ කරගැනීමට අලි ඇතුන් ලබා ගත යුත්තේ වනාන්තරයෙන් අලි පැටවුන් හොර රහසේ රැගෙන ඒමෙනි. 

තම පැටවා ස්ව කැමැත්තෙන් මිනිසුන්ට ලබා දීමට කිසිම ඇත් මවක් කැමති නොවන බව යම් හෝ බුද්ධියක් ඇති සැමටම වැටහෙනු ඇත. එසේ නම් අලි පැටවුන් ලබා ගත යුත්තේ කිරි එරෙන මව් ඇතින්න මරා දමාය.

කෙසේ හෝ ආගමික සංස්කෘතිය රැකගත යුතු බවට බහුතරයක් සිතනා රටක මව් ඇතින්න ඝාතනය කර ඇත් පැටවුන් පැහැරගැනීමේ වරදක් නැති විය හැක. ඒ නිසා මම එහි ගුණ දොස් විචාරීමට නොයමි.

ඊළඟ දවසේ පෙරහැරේ ඉතා ආඩම්බරයෙන් සහ ස්ව කැමැත්තෙන් කරඬුව රැගෙන වඩින පිංවත් ඇත් රජා දෙස බලාගෙන බුද්ධාලම්බන ප්‍රීතිය ලබන ඔබ තම ජීවිතය සහ දරුවා දන් දුන් මව් ඇතින්නටද පිං අනුමෝදනා කරන්න. 



Saturday, 9 September 2023

නැට්ටෙන් අල්ලා ගත් පෙරහරේ අලි


පෙරහැරේ අලි ඇතුන් ගෙන යාම පිළිබඳව මගේ අදහස කිහිප දෙනෙකුම මගෙන් අසා ඒවා තිබුණි. අලි ඇතුන් නිසා සමාජය ගිනියම් වන අගෝස්තුවේ ඒ ගැන කිසිවක් ලිවිය නොයුතු යැයි මම සිතුවෙමි. ලංකාවේ අනෙක් බොහෝ කාරණා මෙන්ම පෙරහැරේ අලි පිළිබඳවද පක්ෂ විපක්ෂ දෙපිරිසම නැට්ටෙන් අල්ලාගෙන ඇති බව මට හැඟුනි.

ලොව වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් සිටින අගනගරය බැංකොක් නුවරයි. ඒ සංචාරකයන් පිනවීම සඳහාය. වසර 2021 මේ අලි ඇතුන්ටත් ඇත් හිමියන්ටත් තදබල අපල කාලයක් විය. කෝවිඩ් සීමා හේතුවෙන් තායිලන්තයට සංචාරකයන් පැමිණීම ශුන්‍ය විය. මේ නිසා ජීවන වියදම අධික බැංකොක් නගරයේ තව දුරටත් තම අලි ඇතුන් නඩත්තු කිරීම බොහෝ ඇත් හිමියන්ට ඉතා අපහසු කාරණයක් විය. තම අලි ඇතුන්ද රැගෙන ඈත එපිට ගම්බද ප්‍රදේශ වලට යාමට බොහෝ දෙනා තීරණය කළහ. ඒ දිනවල අලි ඇතුන් සිය ගණනක් පාර දිගේ ගමේ යනු සුලබ දසුනක් විය. මේ අලි ඇතුන් බොහෝ දෙනෙකුට විලංගු දමා තිබුණේ නැත. ඇත් ගොව්වන් (ඔවුන් ඔහු හඳුන්වන්නේ ඇත් බාරකරු ලෙසයි) අත තියුණු උල් ආයුධ තිබුනේවත් ඇතුන්ට නොයෙකුත් ආකාරයෙන් තාඩන පීඩන කරනවාවත් කිසිවෙක් දුටුවේ නැත.

ලංකාවේ පෙරහැරේ යන අලියාට මෙන්ම පන්සලේ සිටින අලියාටද දෙපය ඈත් කල නොහැකි පරිදි යෝධ දම්වැල් දමා ඇත. බොහෝ අලි ඇතුන්ගේ දෙපාවල මෙන්ම සිරුරේ වෙනත් තැන්වලද දම්වැල් වලින් සහ හෙණ්ඩුවෙන් ඇනීමෙන් වූ තුවාල රාශියක් ඇත. ඇත්ගොව්වන් අලින්ට ඉතා කෲර ආකාරයෙන් සලකන වීඩියෝ පටි ගණනාවක් යූ ටියුබයේ සැරිසරයි. ඔවුන් බොහෝ විට සිටින්නේ අධික බීමතිනි.

වරද කොතනද?

ලංකාවේ ඇත් හිමියා සහ ඇත්ගොව්වා අතර ඇත්තේ ආර්ථික-සමාජීය වශයෙන් අහසට පොලව වැනි වෙනසකි. බොහෝ ඇත්ගොව්වන්ගේ ජීවන තත්වය ඉතා දුක්ඛිතය. ඔවුන් ඇත්ගොව්වන් වී ඇත්තේ එක්කෝ පරම්පරාවෙන් ලද රැකියාව නිසාය. නොඑසේ නම් වෙනත් රැකියාවක් නැති නිසාය. බොහෝ ඇත් හිමියන්ට ඇත්ගොව්වා ප්‍රවේණිගත දාසයකු පමණි. ඇත් ගොව්වාගේ ජීවන තත්වය ඉහල දැමීමට ඇත් හිමියන් කිසිවිටක උත්සහ නොගන්නේ මේ නිසාය. 

ගෘහස්ත කරගත් අලි ඇතුන් හෙණ්ඩුවෙන් ඇන, තලා පෙලා වැඩ කරගැනීම තායිලන්තය වැනි රටවල නවත්වා දැන් දශක ගණනාවකි. ඒ වෙනුවට අලි ඇතුන් හීලෑ කර පුහුණු කිරීමේ තාක්‍ෂණය ප්‍රගුණ කිරීම සඳහා පාසැල් සහ ආයතන ඇරඹිණි. සතුන්ට වද හිංසා නොකර ඔවුන් කීකරු කරගැනීමේ කලාව එහිදී ඔවුන් ඉහලටම ඉගෙන ගනියි. මෙම සමහර පාසල් විශ්ව විද්‍යාල තත්වයට උසස් කිරීමට දැන් තායි රජය කටයුතු කරයි. බොහෝ අවස්ථාවල ඇත් ගොව්වා සහ ඇත් හිමියා එක් පුද්ගලයෙකි. මේ නිසා ඔහු ඇතාව ආදරයෙන් රැක බලා ගනියි. දැන් මෙම පාසල් වලින් පුහුණුව ලැබු කාන්තා ඇත් ගොව්වන්ද ඔබට තායිලන්තයේදී දැකගත හැක. 

පෙරහැරේ අලි ඇතුන් ගෙනයාම තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් සමාජ මාධ්‍යවල මාරාන්තික සටන් කරන පිරිසටද ඊට එරෙහිව මහා දිග පදවැල් රචනා කරන පිරිසටද මම මෙසේ කියමි.

ඔබට හැකිද රජයට බලකරන්න ඇත්ගොව්වකු වීමට නම් ඒ සඳහා අනිවාර්ය පුහුණුවක් තිබිය යුතු බවට නීති ගෙන ඒමට 

ඔබට හැකිද ඇත් හිමියන්ට බලකර සිටින්න තම මුදලින් ඇත්ගොව්වන් තායිලන්තයට හෝ යවා පුහුණු කරවිය යුතු බවට 

ඔබට හැකිද ඇත්ගොව්වන්ගේ සේවය වෙනුවෙන් ඉහල වැටුපක් ගෙවා එය ගෞරවාන්විත රැකියාවක් කිරීමට බලකරන්න 

පෙරහැරේ ගියත්, පන්සලේ සිටියත්, සංචාරකයන් පිටේ තබාගෙන ගියත්, අලි ඇතුන් අවම සත්ව කරුණාවක් යටතේවත් ජීවත්වෙනවා දකින්න ඔබ කැමති නැද්ද?  එසේම ඇත්ගොව්වා ඔබත් මාත් මෙන්ම සමාජයේ පිළිගත් රැකියාවක් කරන යහපත් ජීවන තත්වයක් තිබෙන පුද්ගලයෙකු විය යුතු යැයි ඔබට සිතෙන්නේ නැද්ද?  

ඔබ සටන් කල යුත්තේ මේ සඳහා නොවේද?


Sunday, 3 September 2023

මහරගම පිළිකා රෝහලේ ඛේදවාචකය


මීට වසර 10ට පමණ පෙර මම ගිලන්ව සිටි මගේ සමීපතම ඥාතියකු බැලීම සඳහා මහරගම පිළිකා රෝහලට ගියෙමි. එවකට අප මැලේසියාවේ පදිංචි වී සිටි අතර රෝගියා වෙනුවෙන්ම අපි සති දෙකකට මැලේසියාවේ සිට ලංකාවට පැමිණියෙමු. ඥාතියා බැලීමෙන් පසු මගේ බිරිඳ නෑදෑ හිතමිතුරන් කිහිප දෙනෙක් සමග කතාබහට වැටුණු අතර මම හදිසි දුරකථන ඇමතුමක් දිය යුතුව තිබුණු බැවින් මෝටර් රථය වෙත පැමිණියෙමි.

රියඳුරු අසුනේ හිඳ දුරකථන ඇමතුමෙහි යෙදී සිටින විට මට අසල බිත්තියක වූ දසුනක් නෙත ගැටුණි. වහා වාහනයෙන් පිටතට පැමිණි මම එහි ඡායාරූපයක් ලබා ගතිමි. එහි වුයේ ගොඩනැගිල්ලේ අකුණු සන්නයකයේ සිට පැමිණෙන down conductor එක ආධාරකය ලෙස ගෙන සවි කර ඇති විදුලි රැහැනකි. බැලූ බැල්මට එම විදුලි රැහැන අළුතෙන් සවි කරන ලද්දකි. මෙය අකුණු ආරක්ෂණයේ මූලික සිද්ධාන්තයක් කඩ කරන ඇතුලේ ඇති උපකරණ වලට බලවත් හානි පැමිණිය හැකි ක්‍රියාවකි.

නිවසට පැමිණි විගස මම එවකට එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කල මගේ බිරිඳගේ නැගණිය අමතා මේ බව පැවසුයෙමි. ඇය පවසා සිටියේ බාහිර පෙනුමෙන් බොහෝ විට මේ ගොඩනැගිල්ල ඊට ටික කාලයකට පෙර ඉතා අධික මිලක් ගෙවා මිලදී ගත් sychrotron යන්ත්‍රය සවිකළ ස්ථානය විය හැකි බවයි. ඉන් පසු මම සියලු වැඩ පසෙකලා ඇය ලබා දුන් ඊමේල් කිහිපයකට මේ සිද්ධිය සහ එහි බරපතල කම පිළිබඳව දන්වා යැව්වෙමි. ඒ එම ආයතනයේ ඉහලම නිලධාරින් කිහිප දෙනෙකුටය. ඒ කිසිවෙකුගෙන් මට පිළිතුරක් හෝ ලැබුණේ නැත.

අප මැලේසියාවට යාමට දිනකට පෙර පුවත්පත් සිරස්තලය වුයේ පෙරදින කොළඹ ප්‍රදේශයට බලපෑ ප්‍රබල අකුණු කුණාටුව නිසා මහරගම පිළිකා රෝහලේ ඉතා වටිනා උපකරණයකට රුපියල් කෝටි ගණනක හානි සිදුවී ඇති බවයි. මගේ නෙතට කඳුලක් මෙන්ම හිතට යම් වරදකාරී හැඟීමක්ද මතුවිය.

මේ අනතුර පිළිබඳව අදටත් මහරගම පිළිකා රෝහලේ නිලධාරීන්ට මතක ඇතැයි මම සිතමි. කිසිවෙකුට වරද පැටවිමටවත් කිසිවෙකු අපහසුවට පත් කිරීමටවත් මට අවශ්‍ය නැත. මේ පිළිබඳව මෙතෙක් ආරක්ෂණ පියවරක් ගෙන නැත්නම් ඒ පිළිබඳව අවධානය යොමුකරන්නැයි පමණක් මම ඉල්ලා සිටිමි. 

Saturday, 26 August 2023

සිංගප්පුරු වැසියෙකු සේ සිතමු

"ඔබට ලංකාව සිංගප්පුරුවේ මට්ටමට දියුණු කල යුතු නම් මුලින්ම සිංගප්පුරු වැසියකු සේ සිතන්න". මේ පෝස්ට් එකට ඉතාම වටිනා අදහස් (එහෙත් විවිධ කෝණ වලින්) පලවී තිබෙනවා. විය යුත්තේ මෙයයි.

විසිකළ යුතු අදහස කෙටි විය යුතු නිසා මම පලකලේ "thought provoker" එකක් විතරයි. නමුත් මෙය අප යම් ගැඹුරකට හැදෑරිය යුතු කාරණයක්.

සිංගප්පුරු වැසියන්ගේ චින්තනය තේරුම් ගැනීමට නම් අප සිංගප්පුරුවේ ඉතිහාසය ගැඹුරින් අධ්‍යනය කල යුතුයි. මම මේ ගැන කලකට පෙර ඉංග්‍රීසි බසින් ලිපියක් පලකලා. මම එහි සඳහන් කරුණු කෙටියෙන් ලියන්නම්.

මැලේසියානු ෆෙඩරේෂණයට අයත් වූ  චීන සම්භවය ඇති බහුතරයක් සිටි සිංගප්පුරු ප්‍රන්තයත් මුස්ලිම් බහුතරයක් ඇති අනෙකුත් ප්‍රාන්තත් අතර 1920 ගණන්වල සිට විශාල අර්බුද මතුවී තිබුණා. 1965 දී එක රැයකින් මැලේසියාව සිංගප්පූරුව තම ෆෙඩරේෂණයෙන් එලවා දැමුවා. බොන්න ජලය නැති, අන්නාසි හැර වෙන යමක් වගා කල නොහැකි, කිසිම ආර්ථික වටිනාකමක් ඇති වත්කමක් නොමැති බිම කඩක නූගත් මිලියන කිහිපයක බඩගිනි හමුදාවක් සමග ලී ක්වාන් යූ නැමැති නායකයා තනි වුනා. 

එවකට පලවූ පුවත්පත් වාර්තා අනුව LKY කාමරයකට වී දින ගණනාවක් ආහාර නොගෙන හැඬු කඳුලින් සිටි බව පැවසෙනවා. මේ අවස්ථාවේදී ඔහුගේ ඉතාම හිතවත් මිතුරෙකු වූ එවකට මැලේසියාවේ සිටි බ්‍රිතාන්‍යය තානාපති වරයා LKY හමුවී "ඔබ නැගිටින්න අපි ඔබට ආධාර කරන්නම්" යයි කී බව පැවසේ. එහිදී LKY කියා ඇත්තේ අපට අවශ්‍ය ඔබගේ ආධාර නොව ආයෝජන බවයි. ඒ වෙනුවෙන් තමන් ලෝකයට ආයෝජන සඳහා ඉතා සුදුසු වූ රටක් ලබා දෙන බවට සහතික වී ඇත. 

පසුදා ජාතිය ඇමතු LKY ජනතවට කියා ඇත්තේ ජනතාව කොන්දේසි දෙකකට කැමති නම් තමන් රටේ නායකත්වය දිගටම පවත්වාගෙන යාමට එකඟ වන බවයි. 

1. රටේ ආගම්-ජාති බේදය ශුන්‍ය විය යුතුය.

2. රටේ දුෂණය-වංචාව ශුන්‍ය විය යුතුය.

ජනතාව එයට එකඟවිය. සිංගප්පුරුවේ ගමන පටන් ගන්නේ එතැන් සිටය. මේ කරුණු දෙක වෙනුවෙන් LKY ඉතා දැඩි තීරණ ගත්තේය. ඔහුගේ සමීපතම සඟයන් පවා දඟ ගෙයි දැමිය. ආගම ඇදහීම නිවසට හෝ පන්සලට-පල්ලියට සීමා විය. සංස්කෘතිය රටටම පොදු වූ විනෝදාශ්වාදය  ගෙන එන කටයුත්තක් විය. රටේ නිල භාෂාව ඉංග්‍රීසි විය. කන්තෝරුවේ කොලයක් අයථා ලෙස පරිහරණය කල කාර්ය සහයකයටද සිපිරිගෙට යාමට සිදුවිය. රථවාහන වරදක් කළහොත් මුළු මාසික වේතනයම දඩ මුදල් ලෙස ගෙවීමට සිදුවිය. පාරේ කෙල ගැසීම පවා සිපිරිගෙට යාමට හැකි වරදක් විය. නූගත් අලස ජනතාවක් දශක දෙකකදී විනයානුකූල කඩිසර අවංක සමාජයක් බවට පත්විය. ඔබ අද සිංගප්පුරුවේ පොලිස් රාජ්‍යයක වැසියන් ලෙස දකින්නේ මෙලෙස ගොඩනැගුනු සමාජයයි. 

LKY යනු සුර දුතයෙක් නොවේ. සිංගප්පුරුව ලොව දියුණුතම රාජ්‍යයක් වන විට LKY ඇතුළු නෑදෑ පිරිවරද ලෝකයේ ධනවත්ම පවුලක් විය. එසේම ඒ පවුලේ සාමාජිකයන් ලෝකයේ ඉහලම සරසවි වලින් උපාධි ලද උගතුන් සහ වෘත්තිකයන් විය. කෙසේ නමුත් මේ ගැන අදටත් කිසිඳු සිංගප්පුරු වැසියෙකු ඔහුට දොස් කියන්නේ නැත.

අප මැලේසියාවේ සිටි සමයේදී සිංගප්පුරුවට යාමට තිබුණේ අපගේ නිවසේ සිට පැය 4 පමණ drive එකකි. මේ නිසා මැලේසියාවට පැමිණෙන නෑදෑ හිත මිතුරන් සමග කිහිප වරක් අපට එහි යාමට සිදුවිය. සිංගප්පුරුව මම යාමට අකමැතිම රටකි. හේතුව එහි මිනිසුන්ගේ රොබෝ-වැනි හැසිරීමයි. ඔවුන් ඉතා විනය ගරුකය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකු තුලින් මම මානුෂ්‍ය බැඳීමක් නොදකිමි. එය සමහර විට මගේ වරදක් විය හැක. 

අපට ගමනක් යනවා නම් 1965 සිංගප්පුරුවෙන් එය පටන් ගත යුතු නැත. ලාංකිකයා සාක්ෂරතාවයෙන්, දැනුමෙන්, මානසික මට්ටමින් එදා සිංගප්පුරු සමාජයට වඩා බොහෝ ඉදිරියෙන් ඇත. එහෙත් අවාසනාවකට ඉරිසියාව-කුහකකම-ලේබල්ගතවීම යන ඍණාත්මක කරුණු තුනෙන් ඔවුන් යා හැකි උපරිම දරුණු මට්ටමට ලඟා වී ඇත.

ලාංකිකයා හිතන්න පුරුදු වූ දිනෙක ඔවුන් තම මනසට තමන්ම දමා ගෙන ඇති විලංගු වලින් මිදෙනු ඇත. ඒ සඳහා LKY කෙනෙක් අවශ්‍යද? ඔබ ඒ තරමටම දුර්වලද? 


Friday, 25 August 2023

බිඳුණු සිහින

ලංකාවේදී මා දුටු ඉතා ව්‍යාකූල සමාජ-ආර්ථික වාතාවරණය තේරුම් ගැනීමට මම කිහිප ආකාරයකින් උත්සහ ගතිමි. නමුත් එය නිෂ්ඵලය. පසුගිය වසර කිහිපය තුල ලංකාවේ නිෂ්පාදන හෝ ආදායම් මාර්ග කිසිවක වර්ධනයක් නැත. ඒ වෙනුවට ඇත්තේ අවගමනයකි. උද්ධමනය යම් පමණකට පාලනය කර ගෙන ඇත්තේ ආනයන සඳහා පනවා ඇති සම්බාධක මගින්ය. නමුත් ජනතාව අතරින් යම් කොටසක් අසීමිතව වියදම් කරති. මෙය සිදුවිය හැකි එකම ක්‍රමය ලෙස මා දකින්නේ අදිසි තුන්වන පාර්ශවයක් මගින් සිදුකරන කෘතීම කළමනාකරණයකි. ඒ ගැන මම තවම දැනුවත් නැත. නොදන්නා දේ කතා කල යුතුද නැත. 

මෑත ඉතිහාසයේදී ලාංකීය සමාජය බොහෝ සිහින ගොඩ නැගීය. 

අම්පිටියේ සුමන හිමි දේවගතිවරයෙකුගේ කනට ගසන විට, ඥානසාර හිමි, ඩෑන් ප්‍රියසාද් වැන්නවුන් චන්ඩින් සේ හැසිරෙන විට, වචනයක් අල්ලාගෙන නටාෂලා, සේපාල්ලාව දඟගෙයි දමන විට, තම දූ දරුවන් වෙනුවෙන් බුදු දහම රැකේවී යයි ඔබ සිහින දැකීය. 

පිටුපසින් සිටි දේශපලුවා රැකගැනීමට ආයුධ පෙන්වන නාඩගම පෙන්වා මාකඳුරේ මදුෂ්ලාව මරා දමන විට, සිපිරි ගෙයි කලබල ඇති කර සිරකරුවන් සමූහ වශයෙන් ඝාතනය කරන විට රටේ පාතාලය නැතිවේ යයි ඔබ සිහින දැකීය 

විමල් වීරවංශලා වැනි අවස්ථාවාදී මුග්ධයන් ඉදිරියේ පොලිසිය අසරණ වන විට, පොලිසියේ කෲර හස්තය අහිංසක ජනතාව තලා පෙලා දමන විට, හමුදාවේ මර්ධන හස්තය ඔබේ විරුද්ධවාදියා වෙත යොමුවන විට ඔබේ පස ජයපැන් වඩන අයුරු ඔබ සිහින දැකීය.

ඇවිදින මංතීරුවක ගල් ඇල්ලීමෙන් ඔබ්බට සංවර්ධන ව්‍යපෘති කිසිවක් හා සම්බන්ධ නොවූ, භූ - සමාජ දේශපාලනය ගැනද මෙලෝ හසරක් නොදන්නා මෝඩ පන්නයේ උද්දච්ච මිනිසෙක් රාජාසනයේ හිඳුවා, දියුණු රටක් පහල වෙතැයි ඔබ සිහින මැවීය. 

මේ කිසිවක් කිසිඳු පදනමක් ඇතිව ගොඩනග ගත් සිහින නොවේ. මේ නිසා ඒවා පැවතුනේ ඔබ නින්දෙන් ඇහැරෙන තුරු පමණි. සිහින යථාර්තයක් වනතුරු ඒ තුල ජීවත්වන මිනිසුන් මා අනන්තවත් දැක ඇත. එහෙත් ඔබ ගොඩනගා ගත්තේ යථාර්තයට ආලෝක වර්ෂ ගණනාවක් ඈත පිහිටි අභව්‍ය සිහිනය. ඒවා ඇහැරෙන විටම බිඳ වැටුනේ ඒ නිසාය. 

ලංකාවේදී මා දුටුවේ රටින් පිටවන සහ පිටවීමට පෙරුම් පුරන බහුතරයක් (සියල්ලන් නොවේ) කලකට පෙර මේ සිහින වෙනුවෙන් සිහිනවලට නතු නොවූවන් සමග සටන් කල උදවියයි. එදා යම් යම් දේශපාලකයන් වෙනුවෙන් "කන්න නැතත් ඉන්න රටක් තියෙනවා" යයි කියමින් කෑගැසූ මිනිසුන් මුලින්ම රට දමා දුවගොස් ඇත. මුදල් ගෙවා ලබන අධ්‍යාපනයට එදිරිව විලාප නැගූ අය තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රටින් ඉවතට සංක්‍රමණය වෙමින් පවතී.  

රටවල් කිහිපයකම විවිධ සංවර්ධන ව්‍යපෘති වලට සහභාගී වී මා ලද අත්දැකීම් අනුව මට පහත නිගමනය කල හැක. 

බහුතරයක් මිනිසුන් සිය ආකල්ප වෙනස් කරගැනීමට සුදානම් නම් කවුරු රටින් පිට වුනත් කෙටි කලකදී ලංකාව ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් කල හැක. 

ඒ සඳහා 

නීතියේ ආධිපත්‍යට හිස නමන්න

පාලකයන් පත්කරගැනීමේදී නිවැරදි තීරණ ගන්න 

දුෂණය-වංචාව පිටු දැකීමේ පළමු පියවර ඔබ වෙතින් පටන් ගන්න 

ඉරිසියාව සහ කුහකකම ඔබගෙන් ඈත් කරන්න 

තමා වෙත තමා විසින්ම ගසා ගෙන ඇති ලේබල් ගලවා දමන්න නොහැකි නම් අඩුම ගණනේ බොඳ කර දමන්න 

අපි ඉන් පසු ලංකාව ගොඩගන්න මාර්ග සිතියම සාදමු 



Saturday, 19 August 2023

මා දුටු ලංකාව

 

ලංකාවේ ගත කල සති තුනක කාලය තුලදී මට නිරීක්ෂණ කිහිපයක් සිදුකල හැකි විය. ඒවා මම මෙසේ පෙලගස්වමි. මා කතා බස් කල සමාජ රාමු අතර තරමක් පිටිසර දුප්පත් ගැමි පරසරයක්, නගරයේ පහල ආර්ථික ස්ථර කිහිපයක්, ත්‍රිරෝද රථ සමාජය, මධ්‍යම පන්තියේ අප සාමාන්‍යයෙන් ඇසුරු කරන නෑ සිය මිතුරන්, holiday resort හතරකදී සහ තරු පහේ හෝටල් දෙකකදී මුණ ගැසුණු පිරිස් සහ රටේ ඉතාම ධනවත් කිහිප දෙනෙකුගේ නිවෙස් වලදී හඳුනා ගත් පිරිස් විය.

ලංකාවේ පවතින්නේ අතිශයින්ම කෘතීම වූ සමාජ-ආර්ථික ව්‍යුහයකි. 

රටේ භාණ්ඩ සහ සේවා මිළ නොසිතිය හැකි තරම් ඉහල අගයක ඇත. එළවලු මස් මාළු ඉතා මිල අධිකය. කුලී රථයක ගමනක් යාමට කිලෝ මීටරයකට රුපියල් 120-160ත් අතර මුදලක් අය කරයි. ත්‍රිරෝද රථයක නම් කිලෝමීටරයට රුපියල් 80-100ත් අතර මුදලකි.

එහෙත් ආර්ථික මධ්‍යස්ථාන සහ සුපිරි වෙළඳ සැල් වල බඩු භාණ්ඩ පිරී ඉතිරී ඇත. රෙදිපිළි විකුණන සාප්පු සංකීර්ණ වලද සෙනග අඩුවක් පෙනෙන්න නැත. Pick Me හෝ Uber රථයක් ගෙන්වා ගැනීමට සෑහෙන වෙලාවක් ගතවේ. ත්‍රිරෝද රථ බොහෝමයකද පාරිභෝගිකයෙකු නැති අවස්ථාවක් සොයා ගැනීම අසීරුය.

පන්ති බේදයකින් තොරව මා කතා බස් කල බොහෝ දෙනා රටේ ජීවත්වීමට ඇති අපහසු තත්වය පිළිබඳව දිගින් දිගටම කරුණු ඉදිරිපත්කරන්න විය. බොහෝ දෙනා තමන්ගේ ආදායම සහ වියදම පිළිබඳව ගණන් හිලව් පවා ඉදිරිපත් කරනු ලැබීය. ඇත්තෙන්ම ඔවුන්ට තම සමාජ පංති රාමුව තුල සැනසුම් සහගත ජිවිතයක් ගත කිරීමට නොහැකි බව ඉතාමත්ම පැහැදිලිය. පහල පන්තියේ සියළු දෙනාම කියා සිටියේ මීට වසර දෙකකට පෙර තමන් පරිභෝජනය කල දේ දැන් 50% ට වඩා අඩු කර ඇති බවයි.

අනෙක් අතට holiday resort සහ තරු පහේ හෝටල්වල අවන්හල් පිරී ඇති සේයකි. කොළඹින් බැහැර ප්‍රසිද්ධ නිවාඩු නිකේතනයක කාමරයක් සති අන්තයේ book කරගැනීමත් පහසු නැත. බොහෝ මධ්‍යම පාන්තිකයන් රට පුරා විනෝද ගමන්වල යෙදෙති. 

වෘත්තිකයන් පවුල් පිටින් රට හැරයාම ඉතා දරුණුවට සිදුවෙමින් පවතී. අප සිටි සති තුන ඇතුලත පමණක් අප ඇසුරුකරන පවුල් 6 ක් ලංකාවෙන් නික්ම ගියහ. ඔවුන් අතර වෛද්‍ය, හෙද, සහ IT විශේෂඥයන් විය. මීට අමතරව තවත් අප හා කතා බස් කල විශාල පිරිසක් නුදුරු අනාගතයේදී රටින් නික්ම යාමට පිඹුරුපත් සකස් කර අවසානය. ඔවුන් සියළු දෙනාම පැවසුවේ රටේ ජීවත්වීමට නොහැකි තරම් ජිවන වියදම ඉහල ගොස් ඇති බවත් විශේෂයෙන්ම තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන් එම තීරණය ගන්නා බවත්ය. සියලු දෙනාගේම ඇත්තේ එකම මැසිවිල්ලකි. ඔවුන් ඉදිරිපත් කරන කරුණු අතිශයින්ම සාධාරණය.

මේ පිටරට පදිංචියට සංක්‍රමණය වන බව කී වැඩි පිරිසක් මට හමු වුණේ තරුපහේ හෝටලයක හෝ නිවාඩු නිකේතනයක විවේක සුවය වෙනුවෙන් පැමිණ සිටින විටකදීය. 

මා මෙවර ලංකාවේදී  කල කිසිසේත් බලාපොරොත්තු නොවූ නිරීක්ෂණයක් ඇත. එනම් ජනතාව තුල දේශපාලනය කෙරේ ඇති ඉතා පහල උනන්දුවයි. වෙනදා අප හමු වූ විට කතාබස් කරන මුළු කාලයෙන් 80%ට වඩා දේශපාලන මාතෘකා සඳහා කැප කරන බොහෝ නෑදෑ - මිතුරු සමුහ මෙවර ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වුයේ නැත. මා දේශපාලනය පිළිබඳව මාතෘකාවක් බලෙන් ඇද ගත්තත් "ඕව කතා කරලා වැඩක් නැහැ චන්දිම, පුලුවන්නම් අපිට ජොබ් එකක් සෙට් කරලා දෙන්නකෝ ඔයා දන්න රටකින්" කියා කතාව නිම කරයි. සියළු දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් පිළිබඳව ඔවුන්ට ඇත්තේ ඉතා උදාසීන කලකිරීම් සහගත ආකල්පයකි.

ජවිපෙ පිළිබඳව ඇති සමාජ ආකල්ප පිළිබඳව මම වැඩි උනන්දුවකින් අධ්‍යනය කලෙමි. සමාජ මාධ්‍ය තුල ඔවුන්ට ඇති තැන රට තුල ඔවුන්ට නැති බව මගේ නිරීක්ෂණයයි. අමාරුවෙන් කතාවට අල්ලා ගත බොහෝ දෙනා කියා සිටියේ "රටට යමක් කරනවා නම් කල හැක්කේ ජවිපෙට පමණයි. නමුත් ඒ අයටත් දැන් ඇවිල්ලා කිසිදෙයක් කරන්න බැහැ" වැනි ප්‍රකාශයි. එසේම උසස් අධ්‍යාපනය වැනි මාතෘකා වලදී ජවිපෙ කිසිඳු ස්ථාවරයක නොමැති බවත් මේ නිසාම ඔවුන් බලයට පැමිණීම තුල යම් අන්තරායදායක තත්වයක් පවතින බවත් ප්‍රකාශ විය. 

මා දකින ආකාරයට ජවිපෙ තමන් මෙතෙක් කල ඓතිහාසික වරදක් repeat කරමින් සිටියි. එනම් ඔවුන් චන්දදායකයන් එකතුකරනවා වෙනුවට පාක්ෂිකයන් එකතුකිරීමට උත්සහ දරමින් සිටීමයි. 

මේ කෘතීම සමාජ-ආර්ථික රාමුව කාගේ නිර්මාණයක්ද? එහි අරමුණ සහ ගමනාන්තය කුමක්ද? ජනතාවට කල හැකි දෙයක් ඇත්ද? මා කල නිරීක්ෂණ තුලින් මා ගොඩනැගූ නිගමන නැවත කාලවේලාවක් ලැබුණු විට ඉදිරිපත් කරන්නම්. 


Wednesday, 19 July 2023

ගැටළුව කුමක්දැයි නොතේරීමේ ගැටළුව

වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව නොතේරෙන අයට එය තේරුම් කර දීම අපහසුය. මන්ද ඔවුන්ට අවශ්‍ය ගැටලුව තේරුම් ගැනීමට නොවන නිසාය. මේ ලියන්නේ යමක් සිතීමේ හැකියාව ඇති අය වෙනුවෙනි. 

බොහෝ අයට ඇති ලොකුම ගැටළුව වෘත්තිකයා define කර ගැනීමට නොහැකි වීමයි. වෘත්තිකයෙක් (professional) යනු යම් ක්ෂේත්‍රයක නිසි පුහුණුව, කුසලතා වර්ධනය, අත්දැකීම් සහ පළපුරුද්ද ලැබූ නිපුණයෙකි. මේ අනුව වෘත්තිකයෙක් බිහි වීමට සෑහෙන කාලයක් ගතවේ. එසේම ඒ සඳහා ජේෂ්ඨ වෘත්තිකයන් සිටීමද අවශ්‍යවේ. ඔවුන් අපි "trainers of trainers" යනුවෙන් හඳුන්වමු. වෘත්තිකයන් වෛද්‍ය හෝ ඉංජිනේරු වෘත්තියේ සිට පෙදරේරු හෝ මැටි කර්මාන්තය දක්වා විශාල පරාසයක විහිදී ඇත. 

සමහර ලාංකිකයන්ගේ ඊළඟ අවුල තවත් ලාංකිකයෙක් රටින් නික්ම ගොස් ඇත්නම් ඔහු හෝ ඇය ගියේ කුමක් නිසාද, යන්න පෙර සහ පසුව එම පුද්ගලයා රටට කල සේවය, දැනටත් කරන සේවය, විදේශ ගත අයෙකුට තමන්ගේ උපන් රට වෙනුවෙන් කල හැකි සහ නොහැකි දේ මොනවාද ආදී වූ කිසිම දෙයක් නොදැන කියවීමයි. එය සමහර විට සමහර ලාංකිකයන්ගේ පාරම්පරික ගතිය විය හැක. 

ඊළඟ කරුණ, මේ වෘත්තිකයන් රට හැර යාමේ ගැටළුව පිළිබඳව  මා නැවත නැවත පවසන්නේ එසේ රට හැර යන වෘත්තිකයන්ට දෝෂාරෝපණය කිරීමට නොවේ. එම වෘත්තිකයන් රට හැර යන තත්වයට රට බංකොලොත් කල දේශපාලකයන්ට බැනිමටද නොවේ. ඒ තබා ඒ දේශපාලකයන් පත් කර ඔවුන් හොර මැර තක්කඩිකම් කරද්දී ඔල්වරසන් දෙමින් ප්‍රශස්ති ගී ගැයූ අබුද්ධික ජනතාවට දොස් පැවරීමටද නොවේ. සිදු වූ දේ සිදුවී හමාරය. ඒ ගැන තව දුරටත් අදෝනා නැගීමෙන් පලක් නැත. සිදුවෙමින් පවතින දේ වලකා ගත යුතුය. 

වෘත්තිකයෙකුගෙන් උපන් රටට සේවය ලබා ගැනීමට ඔහුගේ භෞතික පදිංචියේ බලපෑම විවිධාකාරය. සමහර වෘත්තිකයන්ගේ පදිංචි දේශය මීට කිසිසේත් අදාළ නොවේ. IT විශේෂඥයන්, සහ බොහෝ consultant ලා මේ ගණයට වැටේ. සමහර වෘත්තිකයන්ට ලෝකයේ කොහේ සිටියත් අවශ්‍ය නම් උපන් රටට සෑහෙන යමක් කල හැක. පර්යේෂකයන්, උසස් අධ්‍යයනිකයන්, බොහෝ ව්‍යවසායකයන් මීට අයිති වේ. සමහර වෘත්තිකයන්ට උපන් රටේ උන්නතිය වෙනුවෙන් යම් සීමිත දායකත්වයක් ලබා දිය හැක. විශේෂඥ වෛද්‍යවරුන්, ඉහලම පෙලේ නීතිඥයන්, ඉංජිනේරු විශේෂඥයන්, ඇතුළු අවශ්‍යතාවයකදී ලංකාවට කෙටි කාලීනව පැමිණ දායකත්වය ලබා දීමේ හැකියාව ඇති අය මීට ඇතුලත් වේ. නමුත් රටේ අති බහුතරයක් වෘත්තිකයන් ඉහත කිසිම කුලකයකට අයත් නොවේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, හෙදියන්, ගණකාධිකාරීවරුන්, පොත් තබන්නන්, නීතිඥයන්, විද්‍යුත්-මෝටර්-වඩු ඇතුළු සියළුම පුහුණු කාර්මිකයන්, පෙදරේරුවන්, බස් රථ රියදුරන් ආදී විශාල පරාසයක් මීට ඇතුලත් වෙයි. ඔවුන් රට හැර ගියොත් ඒ අඩුව පිරවීමට ඉතා අසීරුය. සමහර විට ඊට අඩ සියවසක් හෝ සියවසක් ගතවිය හැක. 

භාරතයේ බුද්ධිමය තෝතැන්න ලෙස හැඳින් වූ බෙංගාලයේ (පසුව නැගෙනහිර පකිස්ථානය හා බංගලාදේශය) 1970-71 සමයේදී සිදු වූ වෘත්තික සංහාරය සහ ඉන් අනතුරුව සිදු වූ වෘත්තිකයන් විශාල ගණනක් කෙටි කාලයකදී රට හැර යාම (exodus of professionals) පිළිබඳව හදාරා බලන්න. ඔබට වැටහේවි බංගලාදේශය අන්ත දුප්පත් රටක් වුයේ ඇයිද කියා. අදටත් ඔවුන් මේ තත්වයෙන් ගොඩ ඒමට දැඩි ලෙස උත්සහ දරයි. 

එදා බොහෝ වෘත්තිකයන් රටින් නික්ම ගියේ යම් මුදලක් උපයාගෙන නැවතත් ලංකාවට පැමිණ සුව පහසු ජීවිතයක් ගත කිරීමටයි. නමුත් අද කොරියාවට යන තරුණයාගේ සිහිනයත් වෙනත් රටකට කෙසේ හෝ පදිංචිය සඳහා පැනගනිමටයි. අනතුර ඇත්තේ මෙතැනයි. මෙය වෙනස් කරන්නේ කෙසේදැයි මම නොදනිමි. නමුත් අඩුම ගණනේ අපි ඒ ගැන සාකච්චා කල යුතු නොවේද?


              


Wednesday, 12 July 2023

මගේ ආගම


මීට සති දෙකකට පමණ පෙර අපේ සරසවියේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක්ගෙන් මට ඇමතුමක් ලැබුණි. සිය ආචාර්ය උපාධි අපේක්ෂක සිසුවියකට තම නිබන්ධනය සඳහා මහාචාර්ය වරුන් 50කගේ පමණ ආගමික මතවාදයන් පිළිබඳව අදහස් විමසිය යුතු බවත් ඒ සඳහා මගේ සහභාගිත්වය අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියේය. කාලය මට මිළ අධික වුවත් ඔහු හා පවතින මිත්‍රත්වය නිසා මම ඔහුගේ සිසුවියට අදාළ කාලය ලබා දුනිමි.

ඇය මා සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාව ඇයගේ පසින් සම්පුර්ණයෙන්ම අසාර්ථක බව මට අවබෝධ වෙයි. නමුත් එය ඔබට වැදගත් විය හැකි බැවින් මෙසේ ඉදිරිපත් කිරීමට මම තීරණය කලෙමි. 

--------------------------

ඇය: ඔබේ නම චන්දිම ගෝමස් මේ අනුව ඔබ පාරම්පාරික කතෝලිකයෙක් යයි මා සිතනවා. 

මම: නැහැ ඔබ වැරදියි. මගේ දෙමව්පියන් පාරම්පාරික බෞද්ධයන්. මා උපදින විටම මට බෞද්ධ කියා ලේබලයක් තිබුණා.

ඇය: සමාවෙන්න. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙක් 

මම: නැහැ ඔබ වැරදියි. මම මා වෙත එහෙම ලේබලයක් ගසාගෙන නැහැ.

ඇය: සමාවෙන්න. ඒ කියන්නේ ඔබ බෞද්ධයෙකු නොවේ. එසේ නම් දැන් ඔබ අදහන්නේ කුමන ආගමක්ද?

මම: මම එහෙම කිසිම ආගමක කියා ලේබලයක් ගසාගෙන නැහැ.

ඇය: ඒ කියන්නේ ඔබ දෙවියන් අදහන්නෙක් නොවෙයිද (are you an atheist?)

මම: නැහැ. ඔබේ ප්‍රශ්ණය ව්‍යාකුලයි. මම බෞද්ධයෙක් වුණා නම් ඒත් මම athesist කෙනෙක් වෙනවා. 

ඇය: ඒ කියන්නේ ඔබ නිරාගමිකයෙක් (are you a secularist)?

මම: නැහැ. මම විවිධ ආගමික කටයුතු වල නියැලෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

ඇය: ඒ කියන්නේ ඔබ සර්ව ආගම්වාදියෙක් (then are you an omnist)?

මම: මම දන්නේ නැහැ. මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔබ මාව මේ ලෙස ලේබල්ගත කරන්න හදන්නේ කියා. 

ඇය: සමාවෙන්න. මට හිතෙන්නේ ඔබ නිදහස් චින්තකයෙක් කියා (I think you are a free thinker).  

මම: මට ඔබගේ ගැටළුව වැටහෙනවා. ඔබට මාව කුමන හෝ කැටගරියකට ලේබල් කරන්නේ නැතුව ඉදිරියට මේ සාකච්චාව කරන්න බැහැ. 

ඇය යම් ඉච්චා භංගත්වයට පැමිණුනු විලසකින් මා දෙස බලා සිටියාය. මම ඇයට මෙලෙස කිව්වෙමි.

මම: මා කියන දේ තේරුම් ගැනීමට මම ඔබට උදාහරණයක් දෙන්නම්".

මම: ඔබ දැන් සමාජ විද්‍යාව හැදෑරුවත් පාසලේ යම් මට්ටමකට සාමාන්‍ය විද්‍යාව හදාරන්නට ඇති. ඒ නිසා මේ කියන දේ ගැන ඔබ දන්නවා. හිතන්න, මට අවශ්‍ය වෙනවා කුඩා රොකට්ටුවක් හදන්න. මේ සඳහා මට අයිසැක් නිව්ටන් ඉදිරිපත්කල නියම යොදාගන්න සිදුවෙනවා. මේ නිසා මම "නියුටෝනියන්" කෙනෙක් වෙනවාද? මට යම් තාරකා විද්‍යා ගැටළුවක් විසඳීම සඳහා ඇල්බට් අයින්ස්ටයින්ගේ වාදයන් යොදා ගැනීමට සිදුවෙනවා. දැන් මම "අයින්ස්ටයිනියන්" කෙනෙක් වෙනවාද? මේ කිසිම විද්‍යාත්මක න්‍යායක් භාවිත කිරීමට අවශ්‍ය නොවන වෙලාවට මම "අවිද්‍යාත්මක පුද්ගලයෙක්" වෙනවාද?

ඇය විපිළිසර දෑසින් යුතුව මා දෙස බලා සිටියි. මේ ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයකි.

මම: මගේ ආගම භාවිතාකිරීමත් මේ ආකාරයටමයි. යම් අභියෝගයකට මුහුණ දීමට ඇතිවිට හෝ සිතේ තද කැළඹීමක් ඇති වූ විට මම පන්සලකට ගොස් නිසංසල තැනක ඉඳගෙන ඉන්නවා. එහි පුජනීය ස්ථානවලට වන්දනා මාන කරනවා. පන්සලක් අසලක නැත්නම් කෝවිලකට හෝ පල්ලියකට යනවා. දෙවියන් යදිනවා.  මට මරණින් මතු පැවැත්ම/හෝ නොපැවැත්ම වැනි ගැටළු පිළිබඳව ස්වයං-විශ්ලේෂණ කිරීමට සිතුන විට මම බෞද්ධ, අද්වෛත වේදාන්ත හෝ ජෛන දහමේ සංකල්ප යොදාගන්නවා. ඒ අවස්ථාවේදී මගේ දැනුම් සම්භාරයේ සහ තර්කන හැකියාවේ මට්ටමට අනුව සුදුසු මොඩලයක් තෝරා ගන්නවා. මම සහමුලින්ම මානසිකව වැටුණු විට මම දෙවියන්ගෙන් පිහිට ආශීර්වාදය පතනවා. මට සමාජ ඇසුර සහ බැඳීම් අවශ්‍ය වූ විට මම බෞද්ධ සමාජය හා එක්ව වත් පිළිවෙත් කරනවා. එබඳු සමාජයක් නැති අවස්ථාවල මම කතෝලික හෝ ඉස්ලාම් සමාජයට අනුගත වෙනවා. මම සතුටින්, සැහැල්ලුවෙන් සිටින බොහෝ අවස්ථාවල මට මේ කිසිවක් වුවමනා නැහැ".  

මා ඉදිරියේ සිටින සිසුවිය බලාපොරොත්තු කඩ වූ මුහුණින් මා දෙස බලා සිටින්නීය. ඇයට මා පවසන දේ නොතේරෙන බව නම් සහතිකය. ඇයගේ මුහුණේ ඇත්තේ "අපරාදේ මගේ කාලේ. මේ interview එකෙන් කිසිම වැඩක් නැහැ" යන හැඟීමයි. 

ඇය: සමාවෙන්න, මට ඊළඟට ඇති ප්‍රශ්ණ 20 ක් පමණ ඔබගෙන් අසා වැඩක් නැහැ"  

මගේ කුතුහලය උදෙසා ඒ එක ප්‍රශ්නයක් මට පැවසිය හැකිදැයි මම ඇසුවෙමි. 

"ඔබ කතෝලිකයෙකු ලෙස ඉස්ලාම් දහම දෙස බලන්නේ කෙලෙසද?" ඇය මා කතෝලිකයෙකු යයි මූලික උපකල්පනයක් කර තිබු බැවින් එහි බොහෝ ප්‍රශ්ණ මේ මත ගොඩනගාගෙන ඇති බව මම සිතමි.

ඇය: "අන්තිම ප්‍රශ්ණ දෙක මට ඔබගෙන් ඇසිය හැකියි".  

ඇය: "LGBTQIA+ පිළිබඳව සාමාන්‍ය සමාජය සහ රජය/නීතිය බැලිය යුතු ආකාරය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද?" 

මම: "කෙනෙකුගේ ලිංගික දිශානතිය එම තැනැත්තාගේ අයිතියක්. ඒ පිළිබඳව විනිශ්චය කිරීමට සමාජයට හෝ නීතියට නොහැකියි. මේ නිසා තමන්ගේ ලිංගික දිශානතිය සඟවා ගැනීමට බලකිරීමට හෝ පාර්ශව දෙකක් (හෝ වැඩි ගණනක්) සිය කැමත්තෙන් පෞද්ගලික ස්ථානයක ලිංගිකව හැසිරීම තහනම් කිරීමට නීති පැනවීම සමාජයක් විසින් සිදු නොකළ යුතුයි. අනෙක් අතට මෙතෙක් පැවති සියළු ජන සමුහ (හෝ ශිෂ්ඨාචාර) විරුද්ධ ලිංගික හැසිරීම සම්මතයක් ලෙස පිළිගත්තේ වර්ගයාගේ පැවැත්ම සඳහායි. අදටත් එය වලංගුයි. මේ නිසා LGBTQIA+ ප්‍රවර්ධනය කිරීම මම අනුමත කරන්නේ නැහැ. කලයුත්තේ සමාජය ඊට එරෙහිවීම වලක්වීමයි".

ඇය: "ඔබගේ ජිවිතයේ මූලික අරමුණ කුමක්ද? ඒ වෙනුවෙන් ඔබ කරන්නේ කුමක්ද?"

මම: "ජිවිතයට අරමුණු දමා ගැනීම භයානකයි. එය ඔබගේ සතුට විනාශ කරනවා. මම හැමවිටම උත්සහ ගන්නේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන්න. ඒ සඳහා මම කරන්නේ මා වෙතට ලේබල් අලවා නොගැනීමයි. ඔබගේ සියළු දුක් දොම්නස් ඇතිවන්නේ තමාට ලේබල් ගසා ගැනීමෙන් හෝ තමා වෙත අනුන් ගසන ලේබල් බාර ගැනීමෙන්. එවිට ඔබ ලේබලය වෙනුවෙන් සටනට බසිනවා. එය දුකට මුලයි".

ඇයට මෙන්ම ඔබ බොහෝ දෙනෙකුටත් මා කියන දේ නොතේරෙනු ඇත. 






   




Sunday, 9 July 2023

අරගලය ගැන කෙටි සටහනක්


අරගලය මධ්‍යම පන්තියේ නිර්මාණයකි. එහි කිසිඳු වරදක් ඇතැයි මම නොසිතමි. එයට පිතෘත්වය දීමට ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නොහැකියැයි මම කියමි. ලංකාවේ ස්වයං ජන නැගිටීමක් සිදුවේ නම් (අනාගතයේ හෝ) එය සිදුවන්නේ මධ්‍යම පාන්තිකයා තුලින් පමණි. ධනපති පන්තියට නැගිටීමට අවශ්‍ය නැත. ඔවුන්ට සයනයේ සැතපීගෙන වුවත් බොහෝ වෙනස්කම් කල හැක. පීඩිත (පහලම තලයේ) පන්තියට ස්වයං නැගිටීමකට සරිලන සුහුරු බුද්ධියක්, දැක්මක් හෝ ජාලගතවිමක් (netwoorking) නැත. මේ නිසා ලෝකයේ කොතැනකවත් පීඩිත පන්තිය තුල ස්වයං නැගිටීමක් සිදුවී නැත. එම පන්තිය අරගලයකට අවතීර්ණ කිරීමට නම් විචාරශීලි සහ අවයාජ වූ ශක්තිමත් නායකත්වයක් අවශ්‍යය. 

ලංකාවේ පීඩිත පන්තිය ජන අරගලයකට කැඳවිය හැකි සන්ධිස්ථාන කිහිපයක්ම තිබු බව පෙනෙයි. නමුත් මෙම පන්තියට නායකත්වය දෙනවා යයි කියන කිසිම කණ්ඩායමක් මේ සඳහා එම පන්තියේ ජන සමුහය යොමු කලේ නැත. ඒ වෙනුවට ඔවුන් එක්කෝ දේශපාලන වාසි වෙනුවෙන් පාලක පන්තිය හා අත්වැල් බැඳගත්හ. නැත්නම් පාලක පන්තිය වෙතින් ඇතිවූ පෞද්ගලික අසාධාරණකම්වලට එරෙහිව අවි ගත්තෝය. මේ අවස්ථා දෙකේදීම ඔවුන් පීඩිත පන්තිය පොරොන්දු දේශයකට රැගෙන යනවා වෙනුවට  තව තවත් පීඩනයට පත් කලෝය.  

ලෝකයේ කොතැනක වුවත් ජන විපර්යාසයක් සිදුවන විට එයින් උපරිම ඵල නෙලාගැනීමට මාන බලන දේශීය දේශපාලන බල කේන්ද්‍රයන් මෙන්ම කලාපීය සහ ගෝලීය බලවතුන්ද ඇත. අරගලය ස්වයං-ජාතක වුවත් එහි පැවැත්ම සඳහා එක් අවස්ථාවක ශක්තිමත් නායකත්වයක්, අරමුණක්, ඉලක්කයක් සහ මාර්ග සිතියමක් අත්‍යවශ්‍ය විය. ඒ අවස්ථාවේ මම පුන පුනා මේ පිළිබඳව ලිව්වෙමි. නමුත් එය සිදු වුයේ නැත. දැන් සියල්ල ඉතිහාසයට එකතුවී ඇත.

නමුත් අද අරගලකරුවන්ටත් අමතක වූ දෙයක් ඇත. එනම් අරගලය ඇරඹු සටන් පාඨය එහි අරමුණ වී නම් මෙය ඉතා ජයග්‍රාහී ලෙස අවසන් වූ ලෝකයේ සාර්ථකම ස්වයං ජන නැගිටීමක් බවයි. 

ලංකාවේ බොහෝ දෙනෙකුට දැන් අරගලය ඇති වුණේ ඇයිදැයි මතක නැත. එය ලාංකිකයාගේ සාමාන්‍ය ස්වභාවයයි. අන්තිමට රට බංකොලොත් වුණේ අරගලය නිසා යයි කියන පඬි රුවන්ද නැත්තේම නැත. ගැටළුවක මූලය අමතක කර තමා ප්‍රිය කරන තක්කඩි දේශපාලුවන් රැකගැනීමට පමණක් විකාරරූපී හේතු ඉදිරිපත් කරමින් විලාප නගන ජන සමූහය බහුතරයක් වන තාක් කල් ලංකාව ඉදිරියට යතැයි සිතීම අසීරුය. 


Friday, 7 July 2023

මේරිගේ කොළුවා

අපහාසය, උපහාසය, උත්ප්‍රාසය, හාස්‍ය යන වදන් වල ඇති වෙනස තේරුම් ගැනීමට සමත් වියත් සමාජයක් ලංකාවේ විසීය. ඒ ලංකික සාහිත්‍ය උච්චතම අවස්ථාවට පත් වූ 60-70 යුගයේය. කෘත හස්ත ලේඛකයෙකුට භව තරණය වැනි පොතක් පලකරන්න එකල කිසිඳු අවුලක් නොවීය. එය කියවා රස විඳීමට පමණක් නොව නිර්දය ලෙස එය විවේචනය කිරීමටද හැකි ඉහල මට්ටමේ සෞන්දර්යාත්මක විචාර බුද්ධියක් සහිත ජන විඥානයක් එකල තිබුණි.

ජාතියක් ලෙස ලාංකිකයාගේ තර්ක ඥානයේ පසුබැස්ම ඇති වුනේ කුමන කාලයකදීද කියා මා දන්නේ නැත. නමුත් මේ අප ගත කරන්නේ එහි පතුලෙහි නොවන බව නම් මට විශ්වාශය. ඔබ තව ගැඹුරට වැටීමට ඉඩ ඇත.

"ඕක ඉස්ලාම් ආගම ගැන අරාබියේදී කිව්වා නම් මොකද වෙන්නේ" කියා අසන පිරිස්ද ඇත. මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ "අපි යා යුත්තේ ඒ පැත්තට" යන බවයි. යුරෝපයේ ජිවත්වන මෙන්ම යුරෝපයේ ජිවත් වීමට සිහින මවන බොහෝ ලාංකිකයන් මනසින් සිටින්නේ ඇෆ්ඝනිස්ථානයේ බව මා කලින් ප්‍රකාශ කලේ මේ නිසාය. 

ලොව ප්‍රකට standup commedianලා ආගම් පිළිබඳව කරන උපහාසාත්මක, උත්ප්‍රාසය දනවන මෙන්ම හාස්‍ය ජනක ඉදිරිපත්කිරීම් දහස් ගණනක් You Tube එකේ ඇති බව වත් මේ පිරිස දන්නේ නැත. නොඑසේ නම් ඔවුන්ට භාෂාව පිළිබඳව ගැටළුවක් තිබෙනවා විය හැක. 

පහත ඇත්තේ එක් උදාහරණයක් පමණි.

https://www.youtube.com/watch?v=LbP4KttZOcc


Thursday, 29 June 2023

නාඳුනන පිස්සා


කාලයක් තිස්සේ මෙම බ්ලොග් ලිපිවල කමෙන්ට් ලෙස මට දැඩි ලෙස අපහස කරමින් ලියූ පුද්ගලයා වෙනුවෙන් සටහනක් තැබීමට සිතුනි. ඒ ඔහු මේ බ්ලොග් අඩවිය වෙනුවෙන් කැප කල කාලය උදෙසා පල කරන ගෞරවයක් ලෙසය. මේ බ්ලොගය තුල දශකයකට වඩා කාලයක් අදහස් පලකල කිහිප දෙනෙක් මෙම පුද්ගලයා "පිස්සා" ලෙස බෞතිස්ම කලෝය. පිස්සාගේ අපහාසද පිස්සට එරෙහිව නැගෙන ප්‍රති අපහාසද එක්තරා අවස්ථාවක සීමාවන් ඉක්මවා යන්නට වූ බැවින් මට අකමැත්තෙන් වුවද මෙම බ්ලොගයේ යම් සීමා පනවන්න සිදුවිය. එහෙත් බ්ලොගය තවමත් පිස්සාට විවෘතය. පිස්සා කියනා දේ ගැන පිස්සාට ආත්ම විශ්වාසයක් සහ අභිමානයක් ඇත්නම් පිස්සාට පිස්සාගේ සැබෑ නමින් අදහස් පලකල හැක. ඒ සඳහා මගේ සියළු සමාජ මාධ්‍ය අඩවියන්ද පිස්සාට විවෘතය. 

පිස්සාට ඉක්මන් සුවය පතමි 

Wednesday, 28 June 2023

නෝනා සහ භූතයා


මේක පරණ කතාවක්. 

අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් ට්‍රිප් එක ගියාලු ලංකාවේ ටිකක් ඈත පළාතකට. දෙන්න දෙවෙනි දවසේ ටිකක් කම්මැලි හිතිලා ක්‍රිකට් පාරක් ගහන්න තීරණය කළා. හෝටලේට එහා පැත්තේ තියෙන ලඳු කැලෑවක් ළඟ පාලු බංගලාවක් තියෙනව. මේ දෙන්න එකේ වත්තට ගිහින් ක්‍රිකට් ගහන්න පටන් ගත්ත. මහත්තයා නළවල හෙමින් දාපු බෝලෙකට නෝනා වැර දාල ෂොට් එකක් ගැහුවල. බෝලේ උඩින් ගිහිල්ල පාළු බංගලාවේ උඩ තට්ටුවේ කාමරයක ජනෙල් වීදුරුවකුත් කඩා ගෙන ඇතුලට වැටුන.

දෙන්නත් එක්ක බෝලේ හොයන්න බයෙන් බයෙන් බංගලාවට ඇතුල් වෙලා සොල්දරේ උඩට නැග්ග. මෙන්න අර කාමරේ ඇතුලේ අඩ අඳුරේ පේනවලු බිම වැටිලා කුඩු වෙලා ගිය ලන්තෑරුමකුයි ඒ  ලඟම හිටගෙන ඉන්න සරම් කොටයක් විතරක් ඇඳගත්ත උස මහත යෝධයෙක් වගේ කළුම කළු මිනිහෙකුයි.

"ඔහෙලා දෙන්නද මේ බෝලේ එවල ලන්තෑරුම කුඩු කලේ" යෝධයා මහා හඬින් ගෝරනාඩු කලා.

"අනේ අපිට සමාවෙන්න. හිතල කලේ නැහැ. අපි අළුතෙන් ලන්තෑරුමක් අරන් දෙන්නම්" කියල මහත්තයා බැගෑපත් වුනා.

"ඒකට කාරි නැහැ. මම තමයි මේ ලන්තෑරුම ඇතුලේ හිරවෙලා අවුරුදු දහස් ගාණක් හිටපු භූතයා. මේක කඩල ඔහේලා මාව නිදහස් කළා"

"හම්මේ යාන්තන් ඇති" කියල දෙන්නම ලොකු හුස්මක් ගත්ත.

" මාව නිදහස් කලාට ඔහෙලට මම ඕනෑම වර තුනක් ඉල්ලන්න දෙනවා. හැබැයි එක කොන්දේසියක් පිට" භූතයා කිව්ව.

"මොකක්ද මොකක්ද කියන්න අපි කරන්නම්" කියල මහත්තයටත් ඉස්සර නෝනා කතා කලා.

"මම අවුරුදු දහහ්ස් ගණනකින් ගෑණු පුළුටක් එක්ක ඉඳල නැහැ. මේ නෝන එක්ක මට මට පැය තුනක් ඉන්න දෙනවා නම් වර තුනම දෙන්නම්" කිව්ව.

දැන් නෝනයි මහත්තයයි මූණට මූණ බලනවලු. කල්පනා කරනව. ඔය අතරේ මහත්තය කිව්ව "ඔන්න ඔහේ ඕකට කැමති වෙමු අනේ. මිනිහෙක්යෑ භූතයෙක්නේ" කියල.

"අනේ ඒ වුණාට මට මොකක්ද වගේ අනේ" කියල නෝනා ඇඹරෙන්න ගත්ත.

"පැය තුනයිනේ. ඔන්න ඔහේ ඉන්න අනේ. මම අපිට ජිවිත කාලෙටම ජොලියේ ඉන්න පුළුවන් වර තුනක් ඉල්ලන්නම්" මහත්තය කිව්වා.

නෝනත් ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා කැමති වුණා. 

මෙයාලගේ කැමැත්ත අහපු භූතයා මහත්තයට කිව්වා වර තුන ඉල්ලන්න කියල. 

"අපේ අතුරුගිරියේ තියෙන ගේ මාලිගාවක් වගේ විශාල වෙන්න ඕනේ"

භූතයා දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"ගෙයි කාමර තුනක් පිරෙන්න රත්තරන් පුරවන්න"

භූතයා ආයෙමත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"ගෙදර ඕනෑම වැඩක් ඕනෑම වෙලාවක කරලා දෙන සේවකයෙක් මවන්න"

භූතයා තුන්වෙනි පාරටත් දෑත ඔසවා "ඔන්න එය ඉටු වුණා" කිව්වා 

"දැන් ඉතින් මහත්තයා හෝටලේට යන්න මම පැය තුනකින් නෝනව එවන්නම්" භූතයා කිව්වා 

හිතට ටිකක් මොකක්ද වගේ දැනුණත් මහත්තය හෝටලේට දිව්වේ හරිම සතුටින්.

ඔන්න ඉතින් භූතයයි නෝනායි අපූරුවට කාරිය කරගෙන ඇඳේ දෙපැත්තේ හාන්සි වෙලා ගිමන් අරිනවා. 

"නෝනා ඉහලට ඉගෙනගෙන එහෙම තියෙනවද?" භූතයා ඇහුවා.

"අපොයි ඔව්. එංගලන්තේ චාර්ටඩ් අකවුන්ටන්සි ඉහලින්ම පාස් වෙලා ජපුර කැම්පස් එකේ එම් බී ඒ එකකුත් කළා"

"එතකොට මහත්තයා?" 

"එයා කොළඹ කැම්පස් එකේ කෙමිස්ට්‍ට්‍රි ස්පෙෂල් එකක් කරලා, ඒකෙම මාස්ටර් එකත් කරලා දැන් පී එච් ඩී එකට රෙජිස්ටර් වෙලා ඉන්නේ"

භූතයා ලොකු සුසුමක් ඇරලා මෙහෙම කිව්වා 

"අනේ ඉතින් මේ නෝනලා මහත්තයලා මෙච්චර දුරට ඉගෙන ගෙනත් තවම මේ භූත කතා විශ්වාස කරනවනේ" 


Monday, 19 June 2023

අන්ඩ දමා පැච් ඇල්ලු සිහින


මෝසස්ගේ පොරොන්දු දේශයේ සිට සියළුම නායකයන් ජන සමුහයන්ගේ පැවැත්ම සහතික කලේ ජනතාව අතර සිහින ගොඩ නැගීමෙනි. ශිෂ්ඨාචාරයක ඉදිරි ගමන උදෙසා සිහින නැත්නම් බලොපොරොත්තු අත්‍යවශ්‍යය. සිහින බිඳ වැටුණු කල ජන සමුහ විසිරී යයි. ඔවුන් නව සිහින සොයා දේශාටනවල යෙදෙයි. ලංකාවේ දේශපාලකයන් ජනතාවගේ සිහින බොඳ කරන විට මිනිසුන් "දියසේන උප්පත්තිය", "රාවණා නැගිටීම" වැනි සංකල්ප ඔස්සේ හෝ සිහින තනන්නට උත්සහ ගත්හ. 

පසුගිය සමයේ රජය සුනු විසුණු කර දැමුවේ මේ ජනතා සිහිනයයි. ඔබ අද ගුවන් තොටුපලේ, පාස්පෝට් කාර්යාලයේ, තානාපති කාර්යාලවල දකින්නේ මේ සිහින නොමැති මිනිසුන් සිහින සොයා යාමයි. මේ එදා සිහින පොදි බැඳගෙන තාප්ප වල චිත්‍ර අඳින්න, පුරන් කුඹුරු අස්වද්දන්නට ඉදිරියට පැමිණි තරුණ පෙලමයි. 

රනිල් වික්‍රමසිංහගේ 2048 සංවර්ධනය මේ ජනතා සිහින රෙපයාර් කිරීමේ අවසාන උත්සාහය ලෙස මම දනිමි. 

නමුත් අද ලාංකිකයා රනිල්ගේ අන්ඩ දමා පැච් ඇල්ලු සිහින හාස්‍යයෙන් යුතුව බැහැර කරන බව පෙනෙයි. 



Sunday, 18 June 2023

මෙව්වා එකෙන් රට හදන අපි



"හැකියාවක් ඇති අන්තිම වෘතිකයාත් රටින් නික්ම ගිය දිනෙක ඉතිරිවන දේශමාමකත්වය දෝරේ ගලන ලාංකිකයන් ලංකාව මෙව්වා එකෙන් දියුණු කරනු ඇත".

ඉහත FB පොස්ට් එකට අදහස් පලකල සැමට තුති.

මෙම පෝස්ට් එක මම පළ කලේ ලංකාව මේ වන විට මුහුණ දී සිටින බරපතලම ගැටළුවක් ලාංකිකයා කෙතරම් දුරට ග්‍රහණය කරගෙන ඇත්දැයි යන්න පිළිබඳව යම් අදහසක් ගැනීමටයි. බලාපොරොත්තු වුවා සේම බොහෝ දෙනෙකුට ගැටළුව ග්‍රහණය කරගැනීමට තබා මා කියන කාරණය තේරුම් ගැනීමටවත් පුළුවන් වී නැත.

සමහරෙක් තමා ජිවත් වන යුරෝපීය රටවල්වල වෘතිකයන් (professionals) යන වදන අසාවත් නැත.

සමහරෙක්ට අනුව වෘතිකයන් කිසිම වැඩකට නැති පිරිසකි. ඔවුන්ගෙන් රටට කිසිඳු දියුණුවක් ලැබී නැත. මේ නිසා ඔවුන් රට හැර යාම හොඳය.

බොහෝ දෙනෙකුට ඇත්තේ වෘතිකයා පිළිබඳව තමා විසින්ම කරගන්නා ලද අර්ථ දැක්වීමකි. ඒ අනුව වෘතිකයන් යනු දොස්තරවරුන්, ඉංජිනේරුවන් වැනි විශේෂ කණ්ඩායමකි. ඉන්පසු ඔවුන් තමන්ගේම ස්වයං අර්ථ කථනයට තමන්ම බැන වදිති.

ගැටළුවක් නැට්ටෙන් අල්ලා ගැනීම ලෙස ජන ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ මෙයයි. අපි එය ඔලුවෙන් අල්ලා ගැනීමට උත්සහ දරමු.

වෘතිකයා යනු යම් ක්ෂේත්‍රයක් තුල නිපුණත්වයක් ලබාගෙන එය ජීවිකාව කරගත් අයෙකි. මේ අනුව වෘතිකයා දොස්තර, ඉංජිනේරු, ගණකාධිකාරී, ගුරුවරු, පෙදරේරු, වාහන රෙපයාර් කරු, පේන්ට් බාස්, ක්‍රීඩකයන් ආදී විශාල පරාසයක පැතිරෙයි. වෘතිකයෙකු සහ ආධුනිකයෙකු අතර ඇති වෙනස් කම් කිහිපයකි. එනම් වෘතිකයෙකු වීමට අවශ්‍ය විධිමත් පුහුණුව, ක්ෂේත්‍රීය දැනුම සහ අත්දැකීමයි. මේ අවශ්‍යතා සපුරාලීමට කාලය ගතවෙයි. "හැකියාවක් ඇති වෘතිකයන් (capable professionals)" යනු තමන්ගේ නිපුණත්වය මනාව ක්‍රියාවේ යෙදවිය හැකි පිරිසයි. මෙවන් වෘතිකයන් රටකට අහිමිවීම තුල ජනතාවට බොහෝ දේ අහිමි වෙන්නේ මේ නිසාය.

රටක් දියුණු කිරීම වෘතිකයාගේ කාර්යභාරය නොවෙයි. වෘතිකයාගේ කාර්යභාරය රටක එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමයි. රටක් දියුණු කිරීම සැලසුම් සම්පාදන සහ තීරණ ගැනීමේ බලය හිමි පිරිස මත රඳා පවතී. ඒ සඳහා හොර තක්කඩි මැටි මෝලුන් පත් කරගෙන වෘතිකයා රට හදන කම් බලාගෙන සිටින නුවණක්කාරයන්ද ලංකාවේ ඇත.

අද වන විට මෙම වෘතිකයන් සිය දහස් ගණනින් රටින් පිටවෙයි. වෙනදා මෙන් නොව අද කොරියාවට යන තරුණයාගේ සිහිනයද එහිම පදිංචි වීමයි. නැත්නම් ළඟ පාත රටකට පැනගැනිමයි. අන්තිමේදී පුහුණුවකට යන ඉහළ පෙලේ පොලිස් නිලධාරින්ද ඒ රටවල ගල් වෙන තත්වයකට පත්ව ඇත.

තමන්ගේ දේශපාලන කන්නාඩිය මත බුද්ධිය සිර කර මේ ගැටලුව දෙස බැලීමෙන් වලකින්න. තමන්ට බෙහෙතක් ගන්න දොස්තර කෙනෙක් නැතිව UNO එකේ පිං සායනයට දුවන්න වූ විට, ගෙයකට ප්ලෑනක් ඇඳගන්න ගෘහ නිර්මාණ ශිල්පියෙක් නැති වූ විට, වහල හදා ගන්න වඩු බාස් කෙනෙක් නැති වූ විට, වාහන බාස්ලා නැතිව කැඩුණු කාර් එක ගෙදරට තල්ලු කරගෙන එන්න වූ දවසට, තම දරුවාට ඉංග්‍රීසි අකුරක් උගන්නන්න ගුරුවරයෙකු නැති වූ විට ඔබට තේරේවි මා මේ කියනා දෙය.

විසිවන සියවසේ මැද භාගයේ ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දෙන විට එවකට සිටි එක් ප්‍රභල දේශපාලකයෙක් "ඕකෙන් වෙන්නේ අපිට ගහක ගෙඩියක් කඩා ගන්න එකෙක් නැති වෙන එකයි" කියා කියූ බව ප්‍රකටය. සමාජ අසාධාරණය කුමක් වුවත් මෙහිදී ඔහුගේ කතාවෙන් ගම්‍ය වන්නේ සැබෑ යථාර්තයකි. එනම් අනාගතයේ යම් ක්ෂේත්‍රයක ඇතිවන වෘතිකයන්ගේ හිගයක් පිළිබඳව හඳුනා ගැනීමයි. නමුත් එයට පිළියම නිදහස් අධ්‍යාපනය වැලැක්වීම නොව පොල් කඩන පුද්ගලයාටත් වෘතියමය ගෞරවයක් සමග හොඳ වේතනයක් ලබා දීම බව දේශපාලකයාට වැටහුණේ නැත. පසුගිය අඩසියවස තුල ගෙඩි කැඩීමට කෙනෙක් නොමැතිව ගෙවතු වල කපා දැමුණු පොල් ගස් කොස් ගස් ගණන නිමක් නැත.