Sunday 28 November 2021

ලාංකිකයාගේ තර්ක ඥානය

යා යුතු මග පිළිබඳව මගේ සත දෙක ඉදිරිපත් කිරීමට තවත් ටික කලක් යනු ඇතැයි මට සිතෙයි. ලාංකික ජන මනස වටහා නොගෙන යා හැකි දේශපාලන ගමනක් නැත. එබැවින් තවත් අතුරු කතාවක් ලිවීමට සිත්විය.

සමස්තයක් ලෙස ලංකාවේ බොහෝ දෙනෙක් කරන රැකියාව අනුව උගතුන් ලේබල් කිරීමට හුරුවී ඇත. පිටිසර ගොවියන්, කම්කරුවන්, පදික වෙළෙන්දන් ආදීන් උගත් කමේ පහල කෙලවරේ තබන ඔවුන් ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, උසස් සිවිල් නිලධාරින් ආදිය ඉහල කෙලවරේ තබයි. පසුගිය සමයේ විවිධ පිරිස් දක්වන අදහස් දකින මම සමහර විට විශ්මයට පත්වෙමි. උගතුන්ගේ බෙදීම ඉහත ආකාරයෙන් යයි සැලකුවහොත් උගත්කම තර්ක ඥානයට ප්‍රතිලෝමව සමනුපතික වෙනවාදැයි මට සිතෙයි. මීට මම එක් උදාහරණ ගන්නම්.

රසායනික පොහොර සහ විශේෂයෙන්ම කෘමි, දිලීර සහ වල් නාශක නිසා පරිසරයට හානි සිදු නොවේ යයි කියන කිසිවෙකුත් මට මෙතෙක් හමුවී නැත. නමුත් පසුගිය අඩ සියවසක පමණ කාලය තුල මුළු ලෝකයේම කෘෂි කර්මාන්තය විශාල වෙනසකට භාජනය විය. වැඩිවන ජනගහනයට ආහාර සැපයීමට වැඩි නොවන බිම් ප්‍රමාණයෙන් අධික පලදාවක් ලබාගත යුතු විය. මේ අනුව දෙමුහුන් බහුමුහුන් ආදී වශයෙන් වැඩි දියුණු කල බීජ වර්ග පර්යේෂණාගාර තුලින් එලි දකින්න විය. මේ බිජ හා බැඳුනු පොහොර වර්ග මෙන්ම නොයෙකුත් නාශකද බිහි විය. 1950 ගණන් වල කුඹුරු අක්කරයකින් ලැබුණු අස්වැන්න මෙන් හතර පස් ගුණයක් මේ වන විට ලැබෙන්නේ මේ නව බිජ මෙන්ම ඒ හා බැඳුනු රසායනික පොහොර හා නාශක නිසාය. 

රසායනික වගාව නිසා වන පරිසර හානිය අද වන විට මුළු ලෝකයේම කතා බහට ලක්වී ඇත. එහෙත් එය නතර කිරීමට නම් ජාන තාක්‍ෂණය හෝ වෙනයම් ක්‍රමවේදයක් තුලින් පවතින පලදාව රැකගත යුතුව ඇත. නැත්නම් මිනිසුන් විශාල ගණනක් සාගතයෙන් මිය යාමට හැක. මේ නිසා රසායනික පොහොර භාවිතය  වසර 10-30 අතර කාල වකවානු තුල කෙමෙන් අවම කිරීමට යම් මාර්ග සිතියමක් ගොඩනැගීමට මේ වන විට ලෝකයේ බොහෝ රටවල් උත්සුක වෙයි. මම මේ සඳහා දකුණු අප්‍රිකානු රජයට සහය දෙමි. එම කාර්ය කෘෂි විශේෂඥයන්ට පමණක් කල හැකි දෙයක් නොවේ. ඒ සඳහා බලශක්ති ඉංජිනේරුවන්, IT / Data Science / AI & robotics / statistics ආදී ක්‍ෂේත්‍ර වල නිපුණයන්, කාලගුණ සහ පරිසර විද්‍යාඥයන්, රසායන සහ උද්භිද විද්‍යාඥයන්, ජාන තාක්ෂණ වේදීන්, වෛද්‍යවරුන්, සමාජ විද්‍යාඥයන් සහ නීති විශාරදයන් ආදී රාශියකගේ දායකත්වය අවශ්‍යවේ. 

මේ ගැන කිසිඳු වැටහීමක් නොමැතිව ලංකාවේ රජය එක රැයකින් රසායනික පොහොර සහ නාශක ගෙන්වීම තහනම් කරයි. පරිසරය රැක ගැනීම සහ ජනතාවගේ වකුගඩු ආබාධය තුරන් කිරීම තම අරමුණ බව ජනාධිපතිවරයා පවසයි. රජයේ මැති  ඇමැතිවරුද එයම පුනරුච්චාරණය කරයි. එහෙත් සැබෑ හේතුව රටේ ඩොලර් අර්බුදය සහ චන්ද පොරොන්දුවක් වූ පොහොර නොමිලේ ලබාදීම (සහනාධාරය හෝ ලබාදීම) රජයට කල නොහැකි වීම බව සිහි බුද්ධිය ඇති හැමටම නොරහසකි.

ඈත පිටිසර ගමබිම් වල ගොවියන්, පාර අයිනේ එළවලු ලෑල්ල තියාගෙන වෙලදාම් කරන "නුගතුන්" රජයේ මේ අනුවණ අඥාන තීරණය තම තර්ක ඥානයෙන් මැනවින් තේරම් ගත්තේය. තමන් හරිත විප්ලවයකට කැමති බවත් එය පියවරෙන් පියවර සිදුවිය යුතු බවත් ඔවුන් පුන පුනා පැවසීය. ජාත්‍යන්තර තලයේ වූ බුද්ධිය ඔවුන් සතුව තිබුණි. 

එහෙත් බුද්ධිහීන උගතුන් බොහෝ දෙනෙක් "වකුගඩු නැති කරගන්න රසායනික පොහොර ඉල්ලන මෝඩ ගොවීන්"  යන තේමාව ඇති පෝස්ට් පල කරන්නට හෝ ෂෙයාර් කරගන්නට විය. දේශපළුවා මෙවැනි කතා කියන්නේ තම පැවැත්ම වෙනුවෙනි. එහෙත් මේ මෝඩ අමන උගතුන්? කා වෙනු වෙන්ද??

ඔබ දේශපාලනය කල යුත්තේ මෙබඳු "උගතුන්" සමග බව ධාරණය කරගන්න. 


   
\

5 comments:

  1. රසායනික පෝර සහ කෘමි නාශක යනාදිය වස විස ලෙස මිනිස්සුන්ගේ මනසට කාවද්දලා. දොස්තර සංගමයේ සභාපති කරන කියන දේවල් බැලුවම උගතුන් කියන අය මොන වගේ අයද කියලා හිතෙනවා. කාබනික ගොවිතැන කරලා රටකට කන්න දෙන්න පුළුවන් කියලා හිතන අය ඕන තරම් ෆේස්බුක් එකේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කුමාර, සභාපති පාදඩයෙක් තනිකර, දොස්තර දන්නවද ගොවියන්ටත් වඩා ගොවිතැන ගැන

      Delete
  2. චන්දිම, මෝඩ අමන උගතුන් රැල්ලට යනවා මිස කරන දෙයක් නෑ නොවේද? රටේ මහජනතාවගේ බදු මුදලින් උගෙන, ඒවායින්ම වැටුප් ද ලබා ගෙන මූනූපොතේ පෝස්ට් ශෙයා කිරීම ඔවුන්ගේ කාර්යයයි😑

    දීප්ති කුමාර ගුණරත්න විසින් මෙවැනි උන්නතිකාමි, මැදපන්තිය ගැන මනා න්‍යායගත කිරීමක් කරතිබුණා.

    ඒ ගැන සොයා බැලීමෙන් ඊනියා බුද්ධිමතුන්ගේ තත්වය දැනගත හැක.

    ReplyDelete
  3. ඊනියා උගතුන් ගැන දීප්ති කුමාර ගුණරත්නගේ පැහැදිලි කිරීම

    https://m.youtube.com/watch?v=VFNyibfKOco

    https://m.youtube.com/watch?v=5FNWi7DQtug

    ReplyDelete
  4. කොවිඩ් 19 යනු ජනගහනය අඩු කිරීමේ project එකක් බවට මත පලවී තිබේ.

    වර්තමානයේ වුවද තවත් රටවල් ආහාර අතිරික්ත ලෙස් පරිභොජනය ජරන විටත්, අතිරික්ත ආහාර නිෂ්පාදන මුහුදු වලට දමන විටත් කොතරම් ජනගහනයක් සාගතේ සිටිනවාද?



    ReplyDelete