Wednesday 24 November 2021

සිංගප්පුරුවෙන් පණිවිඩයක්


මා මැලේසියාවේ ගත කරන සමයේ ඉතා කුළුපඟව ඇසුරු කල වයෝවෘද්ධ සිංගප්පුරු ජාතික මහාචාර්යවරයෙක් විය. පසුගිය සතියේ දිනක කලකට පසු ඔහු Zoom තාක්‍ෂණය ඔස්සේ මා ඇමතීය. ඔහුට අකුණු ආරක්‍ෂණය පිළිබඳව විශේෂ කරුණක් දැනගැනීමට අවශ්‍ය වී තිබුණි. එම කරුණ සාකච්චා කර අවසන්වූ වහාම අපි සිංගප්පුරුවේ සහ මැලේසියාවේ දේශපාලනය ගැන සංවාදයකට එළඹුණි.

"අද පසු පස හැරී බලන විට සිතෙන්නේ, 1965 දී මැලේසියාව අපව මලයානු ෆෙඩරේෂණයෙන් එලවා දැමීම තමයි සිංගප්පුරුවට සිදු වූ හොඳම දේ. එදා ලී පුවත්පත් වාර්තාකරුවන් ඉදිරියේ හඬා වැටුණා". එවකට යොවුන් වියට පා තබන තරුණයෙකු වූ ඔහුට ඒ සිද්ධිය තවමත් මතකය. එය ඔහු මට කිහිප වාරයක්ම කියා ඇත.

"ලී මහජනතාවට කිව්වා ඔහුට රට හදන්න නම් ජනතාව අනිවාර්යයෙන්ම කාරණා දෙකකට එකඟ විය යුතු බව. පළමුවැන්න රටේ වංචාව හා දුෂණය බිංදුවක් විය යුතු බව. අනෙක රටේ ජාතිවාදය බිංදුවක් විය යුතු බව". 

මෙතුමා මට මේ කතාව මුලින්ම කිව්වේ මීට වසර හයකට පමණ පෙරය. එදා රෑ මම "MR and LKY: The Dividing Line" යන මාතෘකාවෙන් ලිපියක් ලිව්වෙමි (පහත comment එකේ ලින්ක් එක ඇත). ඒ මහින්ද රාජපක්ෂ මහතා ලී ක්වාන් යූට සම කිරීමට රටේ කලාකරුවන් කිහිප දෙනෙක් උත්සුක වූ අවධියකි. මම මේ ලිපියෙන් පෙන්වා දෙන්න හැදුවේ යුග දෙකක සිටින මේ නායකයන්ගේ ක්‍රියාන්විත ඉතා පැහැදිලි රේඛාවකින් වෙන් වන බවයි.

මහින්ද රාජපක්ෂට කවදාවත් ලී ක්වාන් යූ ගිය මග යාමට නොහැකිය. මන්ද ඔහු බලයට එන්නේම ජාතිවාදය ඉදිරියෙන් තබා ගෙනය. එසේම ඔහු බලය ගත් දා සිටම ගමන් කලේ කරවටක් දුෂණයේ ගිලීගෙනය.

"ඔබ ලී ක්වාන් යූ ගේ දකින සුවිශේෂී කාරණා මොනවාද?" මේ මා පෙර ඔහුගෙන් අසා නැති පැනයකි. 

"මම ඔහු තුල දකින ශක්තිමත්ම සලකුණ (strongest point) ජනතාවට ඇත්ත කීමට ඔහුට තිබුණු ආත්ම ශක්තියයි. මහතීර්ට එය ගෑවිලාවත් නැහැ" මහාචාර්යතුමා කවදත් මහතීර් විරෝධියෙකි. 

"මුල් යුගයේ කිහිප වරක්ම ඔහු ප්‍රකාශ කළා සිංගප්පුරු ජනතාව බුද්ධිමතුන් නොවන බව. ඔහු කිව්වා ජනතාව බුද්ධිමත් වීමට තව දශක කිහිපයක් ගතවන්නට ඉඩ ඇතැයි කියා. එතෙක් රට හැදීම තමා සහ පිරිසට බාර දී නිහඬව සිටින ලෙස ඔහු ජනතාවට කියා සිටියා. ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි උගත් බුද්ධිමත් පිරිස නිසා ජනතාවට ඔහු පවසන දේ නොපිලිගැනිමට හේතුවක් තිබුණේ නැහැ. ඔබ දන්නවද ලී ගේ දකුණු අත වගේ සිටියේ ලාංකික බුද්ධිමතෙක් (Sri Lankan interlectual)" මාව සනසන්නදෝ ඔහු හැමදාමත් මේ ලාංකික බුද්ධිමතා ගැන පවසයි. 

කතාව තව බොහෝ දුර ගියේය. නමුත් මම ඒ විස්තරය මෙතෙකින් නවතමි. 

මම ලංකාව දෙස බලමි. ලංකාවේ දේශපාලකයන් කලක සිට ජනතාවට බොරු කියයි. බොරු කියන දේශපාලකයන්ව ජනතාව ඉහලින්ම පත්කරගනියි. මේ නිසා බොරු නොකියා සිටීමට උත්සහ කල දේශපාලකයන්ද බොරු කීමට පටන් ගනී. අන්තිමට දේශපාලකයා මෙන්ම ජනතාවද බොරුවට ඇබ්බැහිවී ඇත. මෙහිදී උගතුන්-නුගතුන්, දෙස්-විදෙස් වල වෙසෙන්නන් කියා වෙනසක් නොමැති බව මට පෙනෙයි. ජනතාව කෙතරම් බොරුවට ඇබ්බැහිවී ඇත්ද යත් තමා ප්‍රිය කරන දේශපාලකයා කරන බොරුවෙන් තමන් කෙතරම් පීඩනයකට දුර්භාග්‍යකට පත් වුනත් එය සාධාරණීකරණය කිරීමට ඔවුන් පෙළඹෙයි. 

මේ අවස්ථාවේ ලංකාව මුහුණ දී ඇති ආර්ථික අවපාතය ගැන මුලින්ම ජනතාවට සත්‍ය පැවසුවා නම් ගොවියන් පොහොර ඉල්ලා කෑගසන්නට නොතිබුණි. ගුරුවරුන් වැටුප් විෂමතා පිළිබඳව උද්ඝෝෂණ නොකරන්න තිබුණි. මේ ඇතිවෙමින් පවතින වැඩ වර්ජන රැල්ල ඇති නොවන්න තිබුණි.

එහෙත් මේ සිටින පාලකයන්ට එසේ සත්‍ය පැවසිය නොහැක. මන්ද ඔවුන් ජනතාවට ඇතිවෙන්න බොරු කියමින් මහා සම්පත් විනාශයක් කර ඇති බැවිනි. ඒ මදිවාට එක් ඉහල පෙලේ ඇමතියෙක් රජයට ඕනෑ තරම් මුදල් තිබෙන බවට වහසි බස් දෙඩීමට තරම් අධමයෙක්ද විය. ඒවා පිළිගැනීමට සැදී පැහැදී සිටින ජනතාවක්ද සිටීම ජාතියේ ලොකුම අවාසනාව  නොවේද? 


  


8 comments:

  1. https://chandimagomes.blogspot.com/2015/03/mahinda-rajapaksha-and-lee-kuan-yew-line.html

    ReplyDelete
  2. ඒ රටේ ප්‍රජාතන්තවාදය නෑ හැබැයි නේද?

    ReplyDelete
  3. ජාතියේ අවාසනාව එකෙනෙකට සම්බන්ධ වී ඇති ප්‍රශ්න රාශියකි. සුපිරියටම ගැට ගැසුණු හා ගැට ගැසූ නූල් බෝලයකි😑

    ReplyDelete
  4. හරිම දුකයි .විකල්පයක් පෙනෙන තෙක්මානෙක නෑ .

    ReplyDelete
    Replies
    1. ඉන්දුමතී අධිකාරී,
      මිනිස්සුන්ව මතවාදීව වෙනස් කළ යුතුයි. කෙටිකාලීනව කළ නොහැක නමුත් අවශ්‍ය නම් දිගුකාලීනව කල හැක

      ඒ ගැන උනන්දු නම් සමබිම පක්ෂය ගැන හොයලා බලන්න...

      Delete
  5. මේ වගේ අවස්ථාවකත් හොරා කන බොරු කියන මිනිස්සු නම් මිනිස්සු වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා සිස්ටම් එක. එයලගෙ අර්ථයෙන් උන් සිස්ටම් එකේ නියම විදියට යන මහත්තුරු

      ✦සමබිම පක්ෂය ගැන හොයලා බලන්න.

      Delete