Saturday, 7 May 2016

නවක වදයේ පිළිකුල් මුහුණ




ආචාර්‍ය රංජිත් නිර්මාල් දේවසිරි ලංකාවේ රජයේ සරසවි වල පවතින නවකවදය පිලිබඳ අර්ථාන්විත ප්‍රවිෂ්ඨයකට පිවිස ඇති බව දැක මම ඉතාම සතුටු වුනෙමු. පසුගිය වසර 30-40 පමණ කාලයේදී නවකවදය ලංකාවෙන් තුරන්කිරීමේ චේතනාවෙන් මෙලෙස කතිකාවතක් ඇරඹු කිහිප අවස්ථාවක් විය එහෙත් ඒ එක් අවස්ථාවකවත් එම සාකච්චා ක්‍රියාන්විතයක් දක්වා ගෙනයාමට කිසිවෙකුටත් නොහැකිවීම ජාතියේ අවාසනාවකි.

මා ලංකාවේ සරසවි අධ්‍යාපනය ලබන්නේ මෙතෙක් කල් මේ රටේ තිබූ දුර්භාග්‍යතම කාල පරිච්චේදයක් මැදි කරගනිමිනි. 86 අගභාගයේදී සරසවියට පය තියන අප පළමු වසර අවසන් කරන්නේ 1990 වසරේදීය. ඒ රබර් වූ පළමු වසර තුල බොහෝ දේ සිදුවිය. නැවත සරසවි යථා පරිදි අරඹන විට අපගේ සොයුරු සොයුරියන් සමහරෙක් අප අතර නොවිය. කිහිප දෙනෙකු මරණයේ සෙවනැලි අතර සැඟව ගොස් තිබූ අතර සමහරෙක් වසර ගණනාවකට පසු සියළු යස ඉසුරු සමග යුරෝපයෙන් හෝ වෙනත් සංවර්ධිත රටකින්  මතුවිය.

අප කණ්ඩායම නවකවදයට ගොදුරු වන්නේ 88/89 භීෂණයට පෙර එම වධ බන්දනයට ලක්වන අවසන් පිරිස ලෙසයි. කොළඹ සරසවියේම බොහෝ පීඨ හා වෙනත් ලාංකීය සරසවි සැලකූ විට අසූව මැද භාගයේ පවා විද්‍යා පිඨයේ තිබුණේ එතරම් දරුණු නවක වදයක් නොවේ. එදා විද්‍යා පීඨයේ පැවති ප්‍රමාණයෙන්, දරුණුම නවක වදයට ලක්වූ දෙතුන් දෙනාගෙන් මමත් එක් අයෙක්මි. ශාස්ත්‍ර පීඨයේ පැවති අමානුෂික මෙන්ම පිළිකුල් සහගත වද හිංසා විදීමට තරම් මා අවාසනාවන්ත නොවුනත් අප අතර සිටි රඹුක්කන සහෝදරයාට එම වාසනාව හිමි නොවීය. මා එම පීඨයේ තිබූ සැබෑ තත්වය දැනගත්තේ ඔහුගෙනි. ඒ අවාසනාවන්ත සහෝදරයා ඉන් මාස කිහිපයකට පසු පිළිකාව හේතුවෙන් අප අතරින් වියෝ විය.

අප දෙවන වසරට පිවිසියේ මෑත ලංකා ඉතිහාසයේ (පසුගිය වසර 50 ක පමණ කාලයකදී) අඩුම නවකවදයක් තිබූ වසර සනිටුහන් කරමිනි. ඒ අපගේ හොඳක් නිසා නම් නොව, එවකට සිටි රාජ්‍ය ආරක්ෂක ආමාත්‍ය ජෙනරාල් රංජන් විජේරත්න මහතා නිසාවෙනි. 

රංජන් විජේරත්න යනු සාමාන්‍යයෙන් කථිකාවන් කෙරේ විශ්වාසය තැබූ අයෙක් නොවේ. ඔහු පළමු වසර සිසුන් සමග සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් විශාල ගණනක් එවීය. ඒ සඳහා ඔහු උපකුලපතිගෙන් හෝ අවසර ගත්තාදැයි නොදනිමි. එවන විට සරසවි සිසුන් රාශියක් ටයර් සෑයවල් උඩ අවසන් ගමන ගොස් තිබුණි. රංජන් විජේරත්න මහතා පෙරදින ජාතිය අමතා ඔහුගේ සුපුරුදු විලාශයෙන් අනතුරු ඇඟවුයේ නවකවදය දී හසුවන ඕනෑම සිසුවකුගේ ඉරණම දරුණු විය හැකි බවයි. 1990 වසරේදී සරසවියේ ප්‍රථම වසරට පිවිසි සිසු සිසුවියන් වෙනස වටහා ගන්නට ඇත. 

ඉහත රංජන් විජේරත්න පන්නයේ ක්‍රමවේදයෙහි හොඳ-නරක කීමට මම උත්සුක නොවෙමි. එහෙත් එම ක්‍රියාන්විතය 100% ම වගේ සාර්ථක විය. අවාසනාවකට එතුමා ඊළඟ වසරේ මුල් භාගයේදී LTTE ප්‍රහාරයකින් ඝාතනයට ලක්විය. 

ඉන් පසු එළඹී දශක තුනේදී මම යුරෝපයේ සහ කැනඩාවේ ඉහළම සරසවි වල සිට අප්‍රිකාවේ සහ බංග්ලාදේශයේ ඇති දුප්පත්ම සරසවි දක්වා ගමන් කලෙමි. ඒ කිසිවකවත් ලංකාවේ පවතින මේ අසාමාන්‍ය පරපීඩක මානසිකත්වය මා දුටුවේ නැත. 

මට හැඟෙන ආකාරයට ලංකාවේ සරසවි වල සිදුවන මේ නවක වදයේ පසුබිම හා එයට ඇබ්බැහිවූවන් ගේ මානසික විකෘතිතාවයන් සහ හැසිරීම් රටා ඉතා වැදගත් පර්යේෂණ ගැටළු කිහිපයකට පාදක වෙයි. එය අඩුම ගන්නේ සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පර්යේෂණ පත්‍රිකා හත අටකට සහ ආචාර්ය උපාධි දෙක තුනකටවත් අවශ්‍ය කළමනා සපයයි. 

නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවකින් මේ අහිමි වීම් වලට අලඟු තැබීමටවත්  හැකියැයි මම නොසිතමි.   

නවකවදය විඳි මෙන්ම නවකවදය දුන් තැනැත්තන්ද (මේ දෙදෙනාම බොහෝ විට එක චරිතයකි) සමාජයට පිය නගන්නේ විකෘති මනස් ඇත්තවුන් ලෙසටයි. එය අද අපි ඇස් පනාපිටම අත්විඳිමු. 

නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවකවදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි. 

නවකවදය දෙන්නන්ට නිතිය මගින් දඬුවම් ලබාදීම පමණක් මෙම පැනයට විසඳුම නොවේ. මෙම තත්වය දරුණු මානසික ව්‍යාකුලතාවයක් බව අප වටහා ගත යුතුය. එබැවින්, නවක වදය ලබා දෙන්නන් මෙන්ම ඒ සඳහා උත්සහ දරන්නන්ද සුදුසු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කෙරේ යොමු කිරීම සරසවි පාලකයන් සතු වගකීමකි. 

පැවති හෝ පවතින රජයන් කිසිවක් මේ පැනයට අර්ථාන්විත පිළිතුරක් ලබා දීමට උත්සුක වුයේ නැත. ඒ නවකවදය දැඩි ලෙසම ලංකාවේ දේශපලනය හා අනුබද්ධ වී ඇති නිසාදෝ යයි සැකයක් මතුවෙයි. 

මා සති කිහිපයකට පෙර ලංකාවට පැමිණි විට මේ පිළිබඳව බොහෝ නෑදෑ හිතමිතුරන් සමග කතාබහ  කලෙමි. ඉන් අනතුරුව සමාජ ජාලාවල පවතින අදහස් කියවුයෙමි. මට හැඟී ගියේ සරසවියේ දේශපාලනය කරන (රට තුල කිසිම ජන පදනමක් නොමැති) එක් ඉතා කුඩා පක්ෂයක සාමාජිකයන් හැරුණු විට මුළු මහත් රටේම ජනතාව එක හෙලා නවකවදය පිළිකුලෙන් යුතුව හෙලාදකින බවයි. නවකවදය හොඳ යයි කීමට මේ කුඩා පක්ෂයේ පුද්ගලයෝ පවා බියවෙති. ඔවුන් ඒ වෙනුවට පවසන්නේ නවකවදයට වඩා විශාල ප්‍රශ්න රටේ ඇති බවයි. මෙය ඉතා අඥාන තර්කයක් බව පැවසීමට අවශ්‍ය නැත. 

රටේ ජනතාව තුල සරසවි සිසුන් කෙරේ පිළිකුල් සහගත ප්‍රතිරූපයක් ගොඩනැගීමට යම් පක්ෂයකට හෝ රජයට අවශ්‍ය නම් නවකවදය තරම් ඊට සුදුසු නිමිත්තක් නැති තරම්ය. 

කෙනෙකුගේ කැමැත්තකින් තොරව ඔහු හෝ ඇය ප්‍රසිද්ධියේ වද හිංසාවට ලක් කිරීම (මානසිකව හෝ ශාරීරිකව) ශිෂ්ඨ සමාජය විසින් මීට ශත වර්ෂ  කිහිපයකට ඉහතදී  පිළිකෙව් කල කාරණයකි. එය ඉක්මනින්ම අවසන් කල සමාජ වඩ වඩා දියුණු විය. 

සරසවියකට මුලින්ම පිවිසෙන දරුවා ඇත්තෙන්ම පාසල් සිසුවෙකි. ඔහු කිසිඳු අයිතිවාසිකමක් වෙනුවෙන් සටන් කිරීමට පැමිනෙන්නෙක් නොවේ. එවන් සිසුවෙකු හෝ සිසුවියක් බලහත්කාරයෙන් තාඩන පීඩන වලට ලක් කරන ජේෂ්ඨ සිසුවා, ඔහුට පරිපාලනයෙන් එල්ලවන තාඩන පීඩන වලට එරෙහි වීම සමාජය දකින්නේ විහිළුවක් ලෙසයි. මෙය තමන් විසින්ම තම වල කපා ගැනීමකි. 

අප ජාතියක් වශයෙන් මෙම නවකවදයට එරෙහිව රටටම දැනෙන හඬක් නගන තෙක්, ඒ සම්බන්ධව වගකිව යුතු ක්‍රියාන්විතයක් දියත් කරන තෙක්, ලංකාවේ පවතින මේ පිළිකාව සුව වන්නේ නම් නැත. එය ජාතිය මරණය කරා රැගෙන යන තවත් එක් ප්‍රබල සාධකයක් පමණක් වනු ඇත. 

මේ වන විට නවකවදය සම්පුර්ණයෙන්ම තුරන් කල ලංකාවේ සරසවි සහ පීඨ වලට හිස නමා ගෞරවය පිරිනමමින් මම මෙතනින් නවතිමි. 





8 comments:

  1. තවමත් අපේ විශ්ව විද්‍යාල වල මේ තත්වය තියෙනවා කියලා අහන්න ලැබීමත් කණගාටුවක්. මම රුවිවි විද්‍යා පීඨයට ඇතුල් වුණේ මීට අවුරුදු පහලොවකට කලින්. ඒ වෙනකොටත් අපේ ඒ පීඨෙ රැග් එක තිබුනෙ නෑ. මම දැන් වැඩ කරන්නෙ රුහුණෙම අලුත් පීඨයක. අපේ නව පීඨය තුලත් රැග් එක නෑ. ළමයි බොහොම නිදහසේ ඉගෙනීමේ වැඩකටයුතු කරනවා

    ReplyDelete
  2. ඉතාම කණගාටුදායක තත්වයක්.....:(

    ReplyDelete
  3. මෙය ඇත්තෙන්ම මානසික ව්‍යාධියක්..අනික් අතින් කිසිම වගකීමක් නැති කමේ ප්‍රතිපලයක්..වෙනත් රටක විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන බහුතරයක් යැපෙන්නේ දෙමව්පියන්ගේ මුදල් වලින් සහ රටේ මහජනතාවගේ මුදල් වලින් නෙවේ...ඔවුන් රැකියා කරන ගමන්, අධ්‍යාපනික ණය ලබාගෙන ඉගන ගන්නේ..ඔවුන්ට පැහැදිලි ඉලක්ක සහ වගකීම් සම්භාරයක් තියනවා..ඒත් අපේ රටේ නිවසෙන් හෝ මහපොලෙන් ලැබෙන මුදල් අරගෙන විශ්ව විද්‍යාලයට එන එකතරා කොටසකට තියෙන්නේ, පෙරලියක් කිරීමේ උවමනාව...මෙය දේශපාලනික අවශ්‍යතාවයන් හෝ තමන්ගේ පුද්ගලික මානසික තත්වයන් විය හැකියි...ඔවුන්ට වගකීමක් නැහැ...ආර්ථික ගැටළු තිබුනත් නැතත් ඒවා දෙමාපියන්ගේ ගැටළු මිසක ඔවුන්ගේ ගැටළු නෙවේ...තවත් සමහරෙක් හිතන්නේ විශ්ව විද්‍යාලයට ඇතුළු විම යනු ජිවිතේ සියලුම ඉලක්කයන් සපුරා ගැන්ම බවයි..ඔවුන්ට කිසිම අදහසක් නැහැ මේ තවත් දුෂ්කර ගමනක ආරම්භයක් පමණක් බව...රට හදන්නට කලින් තමන් හැදෙන්නට අවශ්‍ය වග ඔවුන් කිසි සේත්ම වටහා නොගන්නා කරුණක්...

    ReplyDelete
  4. නවක වදය බොහෝ වෙලාවට විශ්ව විද්‍යාල ආශ්‍රිතව සිද්ධ වුනාට ඉතාම සුළු වශයෙන් වෙනත් තැන්වලදීද සිද්ධ වෙනව මම අත්දැකල තියෙනව. උදාහරණයකට යම් කාර්‍යාලයකට වැඩ කරන්න නවකයන් ආ විට ඔවුන්ට සින්දු කියන්න, අමු සිංහලෙන් තමා ගැන කතා කරන්න වගේ චූටි අහිංසක(?) රැග් දෙනවා මම දැකලා තියෙනව/අහල තියෙනවා. මේ මානසිකත්වය ගැන කරුණු කියන්න තරම් මට දැනීමක් නැහැ.

    මට හිතෙන විදියට මින් දෙන මූලිකවම පණිවිඩය තමයි, එළියෙ ලෝකය නෙමේ මේක ඇතුලෙ තියෙන්නෙ.. මේක ඇතුලෙ ලෝකය තුල පැවතිලා ඉන්න නම් මෙන්න මේ දේවල් මේ විදියට කල යුතුය කියන පණිවිඩයක් දෙන්නෙ, මට හිතෙන විදියට.

    ඔයිට අමතරව, අනෙකා මත සිය බලය පතුරවලා ඒකෙන් මානසික සතුටක් වගේම ලිංගික උද්දීපනයක් ලබන පිරිස් ද ඉන්නවා. ඒ පිරිස තමයි නවක වදය, ඇත්තටම හිංසාවෙන් පිරි වදයක් කරන්නේ. ඒ අතින් ඔවුන් මානසික උපදේශන ලැබිය යුතු මානසික රෝගීන්.

    පුද්ගලිකව මම රැග් කිරිල්ලට කොන්දේසි විරහිතව විරුද්ධයි. පසුගිය දවස් වල වෙච්චි සිදුවීම නිසා සමාජ ජාලා වල මේ ගැන පුළුල් කතිකාවතක් ඇති වෙලා තියෙනවා දැක්කා. මම ඒක දකින්නේ සෑහෙන හොඳ ප්‍රවනතාවයක් විදියට.

    ReplyDelete
  5. Sanjaya Srikanth, කියා ඇති ආකාරයට සින්දු කීම, කතා පැවැත්වීමට කීම,රචනා ලිවීමට කීම නවක වදය නොවේ. ශිෂ්ට සමාජයේ සභාවක් ඉදිරියේ කළහැකි මෙවැනි යම් යම් හදුනා ගැනීමේ ක්‍රියාවන් නවක වදය යන කැටගරිය යටතට දැමීමෙන් අප කරන්නේ නවකයන්ට සැබෑ වදයක් වූ අමානුෂික ක්‍රියාවලියකට අනියමින් උදවු කිරීමයි.

    සභාවක් ඉදිරියට යාමට බියවූ සමහරුන් මේ ක්රියාතුලින් පන්නරය ලබනු මා දැක තිබේ. නමුත් එය නවක වදය නොවේ. ශිෂ්ට සභාවක් ඉදිරිපිටදී තමන් ගැන ස්වයන් හදුන්වාදීමක් කිරීම, ගීතයක් කීම, කතාවක් කිරීම වදයක් ලෙස හැදින්වීම සිදුසු නොවේ යයි මම සිතමි. කෙනෙකුගේ පෞර්ෂයට හානි නොවන, නවකයන් හදුනාගැනීමේදී ඕනෑම ශිෂ්ට සභාවක් ඉදිරියේ කළහැකි සුහද ක්‍රියාකාරකම් "නවක වදය" යයි හදුන්වවිට, ඊට මුවාවී අමානුෂික අසභ්‍ය වදයක් සාධාරණීකරණය කිරීමට බලා සිටින කොටසකට අවස්ථාවක් ලැබේ.

    ReplyDelete
  6. රටේ පොදු නීතිය ක්‍රියාත්මක නොවන්නේ විශ්ව විද්‍යාල සහ පාර්ලිමේන්තුව තුල විතරද කියලා හිතෙනවා.

    ReplyDelete
  7. //නවක වදය මුවාවෙන් රජය (පවතින හා පැවති) සිසු අයිතීන් දඩයම් කරන බව ඔබ පවසනවා නම් එයටද වග කිව යුත්තේ නවක වදය දෙන පරපීඩකයන්මය. ඔවුන් තමා දඩයම් කර ගැනීමට තමාම උගුල අටවාගෙන රජයට එය ක්‍රියාත්මක කරන ලෙස ආරාධනා කරයි//

    හරියට හරි!

    ReplyDelete
  8. වෙනත් තැනක මා දැමූ කමෙන්ටුවක්.

    "ඔයාගෙ මෙතන කියන සමස්ත අදහසට එකහෙලා විරුද්ධයි.
    01."හොඳ හෝ නරක" වියහැකි "වධය" හෝ "පීඩනයට පත්කිරීම" හෝ එවැනි "අනෙකාට අවශ්‍ය නොවන හැසිරීමක්" තියනව නං ඒක ප්‍රතික්ෂේප කරනව. ඊට විරුද්ධ වෙනව.

    02.නවකවධය හොඳයි කියන පිරිසට/වවකවධය නිසා සතුටුවුනා/නවකවධය නිසා අනාගතයේ සුන්දර මතකයක් ඉතිරිවෙනව කියන පිරිසට ස්ව කැමැත්තෙන් වධයට ලක්වුනාට අපේ විරුද්ධත්වයක් නෑ. හැබැයි වි.වි.ට ඇවිල්ල රෙජිස්ටර් වෙන හැම කෙනාටම නවක වධය දෙනව නං ඒක වැරදියි, ඒක නැවැත්විය යුතුයි, තහනම් කල යුතුයි, කරන අයට දඬුවම් කලයුතුයි.

    03.නවකවධය තුලින් පිරිසක් මියගොස් හා තවත් පිරිසක් වි.වි. අතහැර ගිහිල්ල තියනව කියන එකෙන් වි.විවල තත්වය මොකක්ද කියන එක පැහැදිලියි. ඒක සාධාරණිකරණය කරන්න බෑ.

    04.නවකවධය පුද්ගලානුබද්ධයි. කෙනෙකුට‍ සුන්දර තව කෙනෙකුට‍ අසුන්දර වගේම කෙනෙක් සුන්දරවත් තව කෙනෙක් ම්ලේඡ්චවත් කරන්න ඉඩ තියන දෙයක්. ඒ වගේ දෙයක් සම්බන්ධව තීරණය ගනිද්දි සැලකිල්ලට ගන්න ඕන කාරණා තියනව. උදාහරණයක් විදියට පිහි ඇනුම් නිසා මියයන පිරිස විශාලයි. නමුත් පිහිය කියන්නෙ තහනම් ආයුධයක් නෙවේ. ඒක එහෙම වෙන්නෙ පිහියේ ප්‍රයෝජනය සලකල. තුවක්කුව කියන්නෙත් එවැනි ආයුධයක්. නමුත් ඒකෙන් මතුවෙන ප්‍රශ්න සහ ප්‍රයෝජන දිහා බලල තමයි තුවක්කුව තහනම් වෙන්නෙ. නවකවධය සම්බන්ධ මගේ ප්‍රතිපත්තියත් සකස් වෙන්නෙ ඒ වගේ කිරා මැන බැලීමෙන් පසු.

    05.අවසානයට තියන "අනෙක් ප්‍රශ්න අමතක කරන්න නවකවධ විරෝධය යොදාගන්නව" කියන එක ගැන තියෙන්නෙ පිළිකුලක්. ඒකත් පාලකයන් තමුන්ගෙ ප්‍රශ්න අමතක කරගන්න කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතන්දර වගේ. සමහර විට පාලකයන් මේ දේවල් ප්‍රයෝජනයට ගන්නව ඇති. (ක්‍රිකට් තරගාවලියක කප් එක ගත්තම පහුවදාට බදු ගහපු රටක්නේ මේක) හැබැයි වැරැද්ද පාලකයන්ගෙ නෙවේ, පාලකයන්ට ෆ්‍රීහිට් හදල දෙන උදවියගෙ.

    [මම 2002-2006 කාලෙ වි.වි.සිසුවෙක්ව සිටි කෙනෙක් (රුහුණෙ). අපේ ෆැකල්ටියෙ රැග්එක තිබුනෙ නැතත් අනෙක් ෆැකල්ටිවල රැග්එක දැකල තියනව. සිසුවියන් පෝලිමට තියල කුණුහරුප කියන "අයියල" සහ "අක්කල" දැකල තියනව. ඒ කුණුහරුප අහපු "නංගිල සහ මල්ලිල" අද දරන මතය මොකක්ද කියල දන්නෙ නෑ. හැබැයි මට නං ඒක එදත් අදත් පිළිකුල් සහගත දෙයක් පමණයි]"

    ReplyDelete