Monday, 27 February 2023

මට පෙනෙන - කලයුතු දේ


අප බොහෝ දෙනෙකුට අමතක වන කාරණයක් නම් අප මේ ගෙවන්නේ ඉතා සාර්ථක අරගලයකින් මාස කිහිපයකට  පසු සමය බවය. එම අරගලය ඇරඹුණේ "Go Home Gota" තේමාව යටතේය. අරගලකරුවා එම ඉලක්කය කරා මාස කිහිපයකින් ළඟාවිය. අරගල ප්‍රස්තුතය ගෙදර නොව රටෙන්ද පලා ගියේය. එම අරගලය අති සාර්ථක වන්නේ මේ නිසාය. මෙවැනි අරගල මෑත ඉතිහාසයේ තිබී ඇත්තේ අතේ ඇඟිලි ගානටය. අරගලයෙන් පසු සිදුවූ විකාරයට වගකිව යුත්තේ දේශපාළුවාය. අරගලකරුවා ඉටු කල කාර්ය භාරය ඉදිරියට ගෙනයාමට තරම් හයියක් හෝ ප්‍රඥාවක් දේශපාලකයා සතු නොවීය. එය අරගලකරුවාගේ දෝෂයක් නොවේ.

නමුත් මේ අරගලය ලාංකීය ජනතාවගේ මනෝබාවය විශාල වශයෙන් වෙනස් කල බව ඉතා පැහැදිලිව පෙනෙන කරුණකි. ඉන් එක කාරණයක් දේශපාලන විරෝධතාවයන්ට ඍජුවම බලපායි. එනම් "කොළඹ වටලන විරෝධතාවයක්" කී පමණින් දැන් ජනතාව එය සංසන්දනය කරන්නේ අරගලයේ ප්‍රතිපල සමගය. මේ නිසා එදා දහස් ගණනක් කොළඹට පැමිණ ගාලුමුවදොර පිටිය පුරවා ගෙදර යාම දේශපාලන පක්ෂයකට විශාල ජයක් වුවත් අද එය එතරම් ගණන් ගත නොහැකි සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. ඇඟට දැනෙන ප්‍රතිඵලයක් නොමැති විරෝධතාවයක් අද ජනතාවගේ ඇසින් නිෂ්ඵල ක්‍රියාවකි. මා කියන දෙය ඔබට වැටහෙන්නේ ඔබ ඊළඟ විරෝධතාවයට ජනතාව කැඳවන විටදීය.

වේගයෙන් ඉදිරියට පැමිණෙන රැඩිකල් පක්ෂ පැහැදිලි අරමුණක් හෝ ප්‍රතිදානයක් නැති විරෝධතාවලින් දියවී යනු මා මැලේසියාවේදී, තායිලන්තයේදී, සැම්බියාවේදී, පකිස්ථානයේදී, සහ දකුණු අප්‍රිකාවේදී first hand experience තුලින් නිරීක්ෂණය කර ඇත. මීට අමතරව තවත් රටවල් කිහිපයක සිදුවනු අසා ඇත.  

රටක් ආගාධයට වැටුණු මොහොතක පක්ෂයක් වටා බොහෝ විට එක්වන්නේ තරුණ සහ මුල්-මැදිවියේ පිරිසයි. මේ බොහෝ දෙනෙක් තුල උගත්-නූගත් බේදයකින් තොරව යම් අඩුපාඩුවක් ඇත. එනම් ලෝකය පිළිබඳව ඇති අනවබෝධය සහ අවස්ථාව ගැඹුරට විශ්ලේෂණය කිරීමට ඇති නොහැකියාවයි. ඔවුන්ගේ කෝප වූ මනස නිරවුල් චින්තනයට වැට කඩුළු බඳී. රාජපක්ෂලා මෙතෙක් සිදුකළේද, රනිල්, සජිත් ඇතුළු හරිත පක්ෂ සහ වාමවාදී පක්ෂ සිදුකළේද මේ නොමේරු - වියවුල් මනස තම දේශපාලන උන්නතියට යොදා ගැනීමයි. 

මා කුමක් පැවසුවත් NPP වැනි පක්ෂයකට ඉහත පිරිසෙන් ස්වායත්ත විය නොහැක. එම නායකයන්ටද මෙම වියවුල් මනස සන්තර්පණය කිරීමට සිදුවේ. මා සිතන ආකාරයට මේ විරෝධතාවල අරමුණ එයයි. එහෙත් ඉන් සිදුවිය හැකි හානිය බොහෝ විශාලය.

අද ජනතාව බලාපොරොත්තුවන්නේ පවතී අරගලය පන්නයේ ගාමක බලවේගයකින් තම දරිද්‍රතාවයට ආමන්ත්‍රණය කරන operation එකකි. එනම් යම් ඉලක්කයක් අර්ථ දක්වා නොනවතින රැල්ලකින් එය සාක්ෂාත් කරගැනීමයි. මෙම operations කිහිපයක් තිබිය හැක. මට පෙනෙන pathways දෙකක් ඇත. මීට වඩා හොඳ මාර්ග පිළිබඳව ඔබ සිතන්න.

- මුළු රටේම ජනතාව (අඩුම ගණනේ බහුතරයක්) සංවිධානාත්මකව සේවා බිල් නොගෙවා සිටීම (බැංකු ණය වාරික නොගෙවීමට මම යෝජනා කලත් එයට එරෙහිවන ඉහල මධ්‍යම පාන්තිකයන් බොහෝ ඇති බව පෙනෙයි).

- දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් කැඳවීම.


Sunday, 26 February 2023

අරගලයක වෙනස

ගෝඨාභයට ගෙදර යාමට සිදු වුයේ මහජනතාව දරිද්‍රතාවයට එරෙහිව වීථියට බට නිසාය. එයට නායකත්වයක්, අරමුණක්, ඉලක්කයන් තිබිය යුතු බව මම නැවත නැවතත් ලිව්වෙමි. එම අරගලය ඇරඹුණේ හරි තැනිනි. එහෙත් එයට ඒ ආකාරයටම යම් කාල ලක්ෂයකින් ඔබ්බට යා නොහැකි බව එහි නියමුවෝ අවබෝධ කර නොගත්හ. අද අරගලයේ පෙරමුණ ගත් සමහරෙක් ඉන්න තැන් දුටු විට මට පෙනී යන්නේ මහින්ද+ජොන්ස්ටන් ඔලමොට්ටල කෙලිය නොවන්නට එම නැගිටීම තව සති කිහිපයකින් වියැකෙන්නට තිබූ බවයි. 

අද වීථි බැස ඇත්තේ යම් පාක්ෂිකයන් පිරිසකි. එය ඉතා විශාල විය හැක. නමුත් එය ජන නැගිටීමක් නොවෙයි. එසේම මේ නැගිටීම පාලකයා විසින් පාගා දමන මැතිවරණ අයිතියට එරෙහිවය. එය ඉතා සාධාරණය. එහෙත් එය සමස්ථ ජනතාවට දැනෙන අර්බුදයක් නොවෙයි. මේ නිසා එදා ජනතාව අතර තිබුණ එකමුතුකම අද නැත. 

රාජපක්ෂලාට තිබුණේ මැරකම සහ උද්දච්චකම සංකලනය වූ ක්‍රමවේදයකි. ඔවුන්ට සැබෑ මහජන නැගිටීමකට මුහුණ දීමට තරම් ප්‍රඥාවක් නොවීය. වත්මන් පාලකයා තක්කඩිකම සහ උගුල් ඇටවීම පිළිබඳව පරිණත දේශපාලකයෙකි. එසේම ඔහු දැනීම් හැඟීම් නැති පුද්ගලයෙකි. 

අවසාන වශයෙන් මම දකින්නේ ජවිපෙ අද විශාල වරදක් කරගත් බවයි. වත්මන් පාලකයා එරෙහිව යම් කිසි මට්ටමකින් හෝ වීථියේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි එකම ආකාරය නොනවතින ජන රැල්ලක් ඇති කිරීමය. එනම් පසුගිය අරගලය පන්නයේ ජන රැල්ලක් සමග කොළඹට විත් කඳවුරු බැඳගැනීමයි. පාක්ෂිකයාට වුවත් නැවත නැවත රැළිවලට පැමිණීම වදයක් වෙයි. දිනක් ජීවිතය ගැටගසා ගැනීමත් අභියෝගයක් වූ මේ කාලයේදී එය විශේෂයෙන්ම බලපායි. ඊළඟ විරෝධතාවය දියාරු සටනක් වීමට බොහෝ විට ඉඩ ඇත.

මේ පාලකයා දණ ගැස්වීමට දැනට ඇති අතිශයින් සාමකාමී වූ හොඳම ක්‍රමවේදය ලෙස මා දකින්නේ ජනතාවගේ දරිද්‍රතාවයම ඒ විරෝධය සඳහා උපයෝගී කරගැනීමයි. ඒ ගැන මම පෝස්ට් එකක් පලකලෙමි. එම සටන් කලාවේදී වීරයන් බිහි නොවීම යම් යම් පක්ෂවලට අවාසියක් විය හැක. 



Friday, 17 February 2023

රජුන් ගිය මග ගිය මහැඳුරු නලීන්


"නලීන් ද සිල්වා ගෙන් යමක් ගත්තේ ඔහු වටා සිටි ගෝලබාලයන් නොව ඔහුට එරෙහිව එදා මේස පුටු උඩ නැග කෑගැසූ විරුද්ධවාදීන්ය" 

මෑතකදී හිතමිතුරු සේනක වෙත්තසිංහ විසින් පලකළ තිබූ මේ අදහස දුටු විට මගේ මනස වසර 37ක අතීතය පුරා ඔබමොබ දිවයන්න විය. අපේ සරසවි අතීතය මනසේ අනිත්‍ය ස්වභාවය මනාව පිළිබිඹු කරන කැඩපතක් බඳුය. එදා නොයෙකුත් මතවාද සහ ලේබල්වලට ගොනුවී සිටි මිතුරු පසමිතුරු උදවිය අද චෙස් පෙතක ඉත්තන් සේ හැමතැනම විසීරී ඇත. මේ අතර බිෂොප්ලා කිහිප දෙනෙක්ද නොසිටින්නේම නැත. 

මහාචාර්ය නලීන් (අපිට නම් ඩොක්ටර් නලීන්) මට ජිවිතයේ හමු වූ අමතක නොකළ හැකි චරිතයකි. මා ජිවිත කාලයේදී ගුරුවරයෙකුට එරෙහිව සටනක් කල එකම පුද්ගලයා ඔහුය. එසේම මම ජීවිතයේදී තවත් කෙනෙකුගෙන් වැඩියෙන්ම යමක් ගත්තාද ඒද ඩොක්ටර් නලීන්ගෙන්මය. ඔහුගෙන් ගත යුතු දේ ගෙන නොගත යුතු දේ පෙරා දැමීමට තරම් හැකියාවක් තිබීම ගැන මම අදටත් සතුටු වෙමි.

ඩොක්ටර් නලීන්ගේ කතාවේ අපි දකින්නේ එක්තරා තැනක සිටය. ඒ කතාව ජාතික චින්තනය ලෙස ලේබල් ගත වූ (හෝ ලේබල් ගත කල) තැන සිටය. නලීන් නැමති තරුණ සමාජවාදියා ගැන අපගේ පරම්පරාව දන්නේ නැත.

ඔහුගේ දැක්ම සහ ප්‍රායෝගික හැසිරීම පිළිබඳව කෙටි ලිපියකින් සාකච්ඡා කිරීම උගහටය. එබැවින් මෙහිදී මම ඒ ගැන වැඩි ගැඹුරකට නොයමි. මට හැඟෙන ආකාරයට සියළුම ආටෝප, ආභරණ (lipstick, powder & paint) අයින් කල විට ඩොක්ටර් නලීන් පවසන්න උත්සුක වූයේ "විශ්ව ස්වභාවය පිළිබඳව වෙනත් බොහෝ සමුහයන්ට වඩා ලංකාවේ ජිවත් වූ බෞද්ධයන් තුල අවබෝධයක් තිබුණා" යන පණිවිඩයයි. නමුත් ඔහු එය ඉදිරිපත් කල ආකාරයෙන් ගම්‍ය වුණේ "සිංහල බෞද්ධයා ලෝකයේ සියල්ලන්ට වඩා අති උතුම්, පරම පවිත්‍ර, නිර්මල, ශ්‍රේෂ්ඨ ....... ජාතියක්" වැනි හැඟීමකි. ඔහුට ගෝලබාලයන් වශී වුනේද මේ නිසාවෙනි. මේ අදහසට අනුයුක්ත වූ විට තමන්ට තමන්ම ගසා ගන්නා සිංහල-බෞද්ධ ලේබලය මේ ගෝලබාලයන්ට "ගැම්මක්" විය. අද දක්වා මේ ප්‍රවණතාවය මම ඔහු පසු පස යන්නන් තුල දකිමි. මේ හැඟීම ඩොක්ටර් නලීන්ටත් ගැම්මක් වුණාදැයි මට සැක සිතෙයි. 

ඩොක්ටර් නලීන්ගේ මූලික පණිවිඩය යයි මට හැඟෙන සංකල්පය ඔස්සේ සිතන විට අපව ක්‍රමයෙන් කුඩා වෙමින් ගොස් නොපෙනෙන අංශු මාත්‍රයක් බවට පත්වේ. මේ තුල අප අහ්ලාදජනක (blissful) නිරවුල් වසමක් (domain) තුලට පිවිසෙයි. යමක් අල්ලා ගැනීමෙන් හෝ යමක් තුලට ලේබල් ගතවීමෙන් තොරව එය විශ්ලේෂණය කිරීමේ හැකියාව ඒ සමගම මතුවෙයි. මට මානසික අවස්ථිතිය යන සංකල්පය පිළිබඳව හැඟීම ඇතිවන්නේද මේ ඔස්සේ කල්පනා කරන විටය. භෞතික විද්‍යා ආචාර්යවරයෙකුගෙන් පටන් ගෙන අධි-වෝල්ටීයතා ඉංජිනේරු විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකු දක්වා පැමිණි ගමනේදී මට මේ සංකල්පය ඉතා ප්‍රයෝජනවත් විය. මම ආ ගමන ගැන මට ඇත්තේ විශාල සතුටකි. එහෙත් එහි ආඩම්බරවීමටවත් අන් අයට වඩා මා උසස් යයි සිතීමටවත් කිසිවක් නොමැති බවත් මම පැහැදිලිවම අවබෝධකරගනිමි. මම කෙතරම් කුඩා දැයි මම නිතර සිහි කරමි. කුඩා වීම විශාල භාග්‍යකි. එයත් ඩොක්ටර් නලීන් විසින් දුන් දේ තෝරා බේරා පෙරා ගැනීමේ ප්‍රතිඵලයකි. 

අනෙක් අතට ඩොක්ටර් නලීන්ගේ ගෝලයන් යයි ලේබල් ගසා ගත් බොහෝ දෙනා ගමන් කලේ මීට වඩා අංශක 180 පරස්පර දිශානතියකය. ඔවුන් කෙමෙන් විශාල වන්න විය. ප්‍රෞඩ සිංහල-බෞද්ධ ඉතිහාසයකට ලේබල් ගතවී ඒ පිළිබඳව ආඩම්බර වීම හැරෙන්න ඔවුන් ඩොක්ටර් නලීන්ගෙන් ගත් දෙයක් නැතැයි මට සිතෙයි. අදත් ඔවුන් එසේමය. ලේබල ගත වී ආඩම්බරයෙන් සිත පුරවා ගෙන විශාල වූ විට සිතට දැනෙන බර, වේදනාව, ක්‍රෝධය, වෛරය වැනි ආවේග සමග ඔවුන් දැඩි ලෙස ගැටෙති. සිදුවිය නොයුත්තක් සිදුවිය. එය අවාසනාවකි. ඩොක්ටර් නලීන්ගෙන් ගත යුතු බොහෝ දේ ලබා නොගෙනම අපතේ ගියේය. ඒ වෙනුවට ඔහුගෙන් නොගත යුතු දේ බොහෝ දෙනෙක් ලබා ගත්තෝය. මෙය ඩොක්ටර් නලීන්ගේ communication skills වල අඩුපාඩුවක්ද නැත්නම් ඔහුගේ පෞරුෂයේ අඩුපාඩුවක් දැයි මට නොතේරේ.

බොහෝ කුඩා මිනිසුන් බොහෝ විශාල දේ අදටත් අපට ඉතිරිකර මතුපිට පස බවට පත්ව ගියෝය. ඔවුන්ගේ නම් ගම් කිසිවක් ඔවුන් සඳහන් කර නැත. සුවිසල් විශ්වය තුල ඔවුන් දුහුවිලි කැට බව ඔවුන් වටහා ගන්න ඇත. මේ විසල් ඉඳිකිරීම්වල අයිතියට නම් ගසා ගත්තෝ රජුන්ය. ඔවුන් හැකි තාක් විශාල වීමට උත්සහ කළහ. නමුත් පතුපිට පසේදී ඔවුන්ගේ වෙනසක් නැත. 

මම කිහිපවරක්ම කී කතාවක් නැවත කියමි. අදාළ උදවිය උරණ නොවී ඒ ගැන යථාවාදීව සිතන්න. 

"නලීන් ද සිල්වා විසින් කඩා බිඳ දමන බටහිර චින්තනයේ තාප්පවල ගල් වැලි වලින්ම ඔහුගේ ගෝලබාලයෝ තවත් විශාල පවුරක් තමන් වටා බැඳ ගෙන එහි සිරකරුවන් බවට පත්විය".






Wednesday, 15 February 2023

පහර දීමේ කලාව


විල්බර් ස්මිත්ගේ නවකතා පොතක මවක් තම පුතාට දෙන අපූරු අවවාදයක් මට කිසි කලෙකත් අමතක වන්නේ නැත. දකුණු අප්‍රිකාවේ 19 වන ශත වර්ෂය යනු ඉතා අසීරු කටුක යුගයකි. සිය පැවැත්ම සඳහා විවිධ පුද්ගලයන් සමග නිතර ආරවුල් වලට පැටලෙන තම පුතුට ඇය මෙසේ කියයි 

"සටනකට කෙනෙකු කැඳවන විට ඉවසන්න. තමන්ගේ භූමියේ තමන්ගේ නීතිරීති වලට අනුව සටන කල හැකි අවස්ථාවට පැමිණෙන තෙක් පහර නොදෙන්න.". 

තවත් තැනක ඇය මෙසේ කියයි "ජයග්‍රහණය කල නොහැකි යුද්ධයක් කිසි විටෙක අරඹන්න එපා". 

යුද්ධය ඇරඹීමට පෙර ජයග්‍රහණය කල හැකි නොහැකි බව දැනගන්නේ කෙසේදැයි කෙනෙකුට ඇසිය හැක. සාමාන්‍ය මිනිසෙකුගේ සහ ජයග්‍රාහී රණශුරයකු අතර ඇති වෙනස මෙයයි.

පහර දීම කලාවකි. මානව ඉතිහාසයේ ඇරඹුමේ සිට සිදු වූ කඩු, කිනිසි, දුනු ඊතල, අතින් පයින් කල පහර දීම් අදටත් පවතී. එහෙත් බොහෝ තැන්වල සටන් මාධ්‍ය වෙනස් වී ඇත. එදා තිබූ සාම්ප්‍රදායික  අවි වෙනුවට අද ඊමේල, සමාජ මාධ්‍ය, බ්ලොග් සටහන්, විද්‍යුත් මාධ්‍ය ආදී ක්‍රමවේද රාශියක් බිහිවී ඇත. මීට අමතරව වාග් ප්‍රහාරය එදා සිට අද දක්වා තියුණු සටන් ක්‍රමවේදයක් ලෙස පවතී. 

--------------------------------------------

පහරදීමේ කලාව පරතෙරටම හදාරා තිබූ ජන සමුහයක් වුයේ ජපානයේ සිටි සමුරායිවරුන්ය. පහත විස්තර මට කිව්වේ සමුරයිවරුන්ගෙන් පැවත එන පරපුරකට අයත් මහාචාර්යවරයෙකි.

සමුරායිවරුන් අතර පහරදීමේදී අනුගමනය කරන දැඩි රීති සම්ප්‍රදායක් තිබුණි. ඔවුන් පහර නොදිය යුතු අවස්ථා හතරක් අර්ථ දක්වා තිබුණි.

පහර නොදීමෙන් ඇතිවන අවාසියට වඩා එයින් ඇතිවන වාසිය වැඩි විට පහර දීමෙන් වලකින්න 

පහරදීමෙන් ඇතිවන වාසියට වඩා එයින් සිදුවන අවාසිය වැඩි විට පහර දීමෙන් වලකින්න 

කිසිම වාසියක් හෝ අවාසියක් නොමැතිව විනෝදයට පහර දීමෙන් වලකින්න 

ඊර්ෂ්යාව සහ ක්‍රෝධය සමහන් කරගැනීමට පහර දීමෙන් වලකින්න 

ඔවුන් ආත්ම අභිමානය උදෙසා පහර දීම උත්තරීතර කර සැලකීය එහිදී ඔවුන් වාසි අවාසි පිළිබඳව තැකීමක් කරන්නේ නැත. 

ඉහත කරුණු අදටත් පහර දීමේ කලාව ප්‍රගුණ කරන අයට ඉතා වැදගත් වේ. 

--------------------------------------------

පහර දීමේ කලාව ගැන සම්පුර්ණ අධ්‍යයනයක් කල හොත් ඒ ගැන පිටු හත් අටසීයක් පොතක් ලිවිය හැක. මේ නිසා මම සමාජ මාධ්‍ය හරහා පහර දීම පිළිබඳව පමණක් කෙටි සටහනක් තබමි. 

ඔබ කෙනෙකුගේ සමාජ මාධ්‍ය අඩවියකට ගොස් ඔහුට පහර දීමේදී ඉහත මව විසින් කියා දුන් පාඩම හොඳින් මතක තබා ගන්න. කෙනෙකුගේ සමාජ මාධ්‍ය අඩවියේ පරිපාලනය එම පුද්ගලයා සතුය. එම අඩවියේ පලවිය යුත්තේ හෝ නැත්තේ කුමක්ද යන්න තීරණය කිරීම ඔහු හෝ ඇය සතුය. මේ නිසා ඔබ කෙනෙකුගේ අඩවියක අදහස් පලකිරීමට යාමේදී ඉතා සැලකිලිමත් වන්න. නැත්නම් ඔබට එය පාරාවළල්ලක් විය හැක. 

සමහරුන් සමාජ මාධ්‍ය තුල fake account හෝ anonymous ලේබලයේ සැඟවී පහර දීමට උත්සුක වෙයි. මෙයද ඉතා භයානක සෙල්ලමකි. නුතන ලෝකයේ AI algorithm වැනි තාක්‍ෂණික මෙවලම් හරහා කෙනෙකුට fake profile එකේ සැඟවී සිටින ඔබව සොයාගත හැක. විශේෂයෙන්ම ඔබ සමාජ මාධ්‍ය තුල නොයෙකුත් නම් වලින් මෙන්ම ඔබගේ නියම ස්වරුපයෙන්ද සැරිසරයි නම් ඔබගේ භාෂා හැසිරීම සහ යෙදුම් ආශ්‍රයෙන් ඔබව track කිරීම පහසුය. මෙහිදී ඔබව නිරාවරණය කරගත් පුද්ගලයාට ඔබට එදිරිව දැවැත්ත ප්‍රහාරයක් එල්ල කල හැක. ඒ ඔබ කව්දැයි ලොවට කීමෙන් නොවේ. ලෝකයටම ඔබ කවුදැයි ව්‍යංගයෙන් හැඟවෙන පරිදි ඉතා දරුණු ආකාරයෙන් ඔබගේ චරිතය ඝාතනය කිරීමෙනි. මෙහිදී බොහෝ විට පහර දෙන්නාද නිර්නාමිකව පැමිණිය හැකි බැවින් ඔබට කිසිවක් කරකියාගත නොහැකි වනු ඇත.  

Wednesday, 8 February 2023

13A



මම 13 වන සංශෝධනයට එකඟද විරුද්ධද යයි අසමින් පණිවිඩ ගණනාවක් අද මගේ inbox එකට ඇවිත් ඇත. ඔවුන් ප්‍රශ්ණය අසා ඇති අයුරින්ම මට හැඟෙන්නේ ඔවුන් මේ කුමක්ද කියාවත් නොදන්නා බවය. 13 පිළිබඳව විද්වත් සංවාදයක් ඇතිවිය යුතුය. එය මහ පාරේ විසඳා ගත හැකි ගැටළුවක් නොවේ. එසේම බදු හෝ දේශපාලකයාගේ දුෂණය මෙන් එය පොදු ජනතාවට අරගල කර විසඳාගත හැකි ගැටලුවක්ද නොවේ.  

මා දකින ආකාරයට ලංකාවේ ෆෙඩරල් ක්‍රමයට ආසන්න පාලන තන්ත්‍රයක් ඇතිවීම ඉන්දීය මධ්‍යම රජයේ හෝ ලංකාවේ කොළඹ දේශපාලනයේ හෝ දෙමළ සුළුතරය ඇතුළු සමස්ත ලාංකික ජනතාවගේ අභිලාශය නොවේ. එය උතුරු - නැගෙනහිර ද්‍රවිඩ දේශපාලකයාගේ සහ තමිනාඩු දේශපාලනයේ අවශ්‍යතාවයයි. නමුත් දෙමළ ජනතාවට ලබා දිය යුතු බොහෝ දේ ඇත. ඒ ෆෙඩරල් ක්‍රමයක් නොව සැනසිල්ලේ අභිමානවත් මිනිසුන් ලෙස ජීවත්වීමට අවශ්‍ය අවම පහසුකම් ටිකයි. දෙමළ දේශපාලකයා කවදාවත් දෙමළ ජනතාවට මේ දේ දිනා දීමට උත්සහ කලේ නැත. ඔවුන්ට අවශ්‍ය වුණේ දෙමළ සමාජයේ ඇති කුල ක්‍රමය දඩමීමා කරගෙන යහතින් වැජබෙන්නය. ඔවුන් සිංහල දේශපලුවාගෙන් වෙනස් නැත. 

සුද්දා දකුණු ඉන්දියාවෙන් වතු කම්කරු වැඩ සඳහා ලංකාවේ මධ්‍යම කඳුකරයට මිනිසුන් ගෙන ආ කාලයේම ඒ මානව සම්පත් ප්‍රභවයෙන්ම දකුණු අප්‍රිකාවටද කම්කරුවන් රැගෙන ආවේය. ඔවුන් බොහෝ දෙනෙක් නැවට නගින තෙක් තමාව රැගෙන යන්නේ කොතැනටදැයි දැන සිටියේ නැත. ලංකාවට යන නැවට ගොඩවූ අවාසනාවන්තයන් අදටත් වතු කම්කරුවන් ලෙස දුක්ඛිත ජීවිත ගත කරති. ඔවුන්ගේ ඉතා සුළුතරයක් දේශපාලකයන් වී සියළු යස ඉසුරු ලබති. දකුණු අප්‍රිකාවට ගිය නැවට ගොඩ වුවන්ගේ හතරවෙනි හෝ පස්වෙනි පරම්පරාව මේ වන විට මෙරට ධනවත්ම වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් බවට පත්ව ඇත. 

මම හෝ වෙනත් කිසිවකු හෝ 13A ට පක්ෂද විරුද්ධද ආදී ප්‍රශ්න ඇසීමෙන් කිසිවෙකුටත් පලක් නැත. ඒවා අරුත් සුන් ප්‍රශ්නය. මුලින්ම 13A හොඳින් කියවන්න (පහත ඒ සඳහා link එක ඇත). ඉන් පසු අවශ්‍ය නම් එහි එක් එක් වගන්තිය පිළිබඳව ඔබේ අදහස් දක්වා ඉන්පසු මගේ අදහස අසන්න.


https://www.lawnet.gov.lk/thirteenth-amendment-to-the-constitution-2/

Saturday, 28 January 2023

දුෂණය ජාලගත වූ විට



මැලේසියාවේ දස වසරක් ගෙවූ සුව පහසු සුන්දර දිවි පෙවෙත අතහැර අප ජොහැන්නස්බර්ග් නුවරට පැමිණියේ දකුණු අප්‍රිකානු රජයෙන් ලැබුණු ආරාධනයක් මතය. ඔවුන් මට ධූර ත්‍රිත්වයක් බාර දුන්හ. ඉන් ප්‍රධානතම කාර්යභාරය වුයේ EPPEI-HAVC නැමැති ESKOM කොම්පැනිය මගින් Wits සරසවියේ පවත්වාගෙන යනු ලබන පර්යේෂණ ආයතනයේ ප්‍රධාන මහාචාර්යවරයා (chair professor) ලෙස කටයුතු කිරීමයි. 

ESKOM යනු දකුණු අප්‍රිකාවේ විදුලිබලය නිපදවීම සහ බෙදා හැරීමට ඒකාධිකාරය පවතින රජයේ ආයතනයයි (ලංකාවේ CEB එක වැනි). වසර 2005 පමණ වන විට ලෝකයේ ඇති 5 වෙනි ධනවත්ම විදුලිබල ආයතනය වුයේ ESKOM එකයි. ඉන් පසු ඇති වූ අධි-දුෂිත පාලනයත් සමගම එය වසර කිහිපයකදී බරපතල ලෙස කඩා වැටුනේය. ලෝකයේ විශාලතම ගල් අඟුරු නිධි ඇති රටක, පරමාණුක බලශක්තිය පවා ජනිත කරන ESKOM ආයතනයට තමන්ගේ ඇති නාමික විද්‍යුත් ජනන හැකියාව මත සැබවින්ම මුළු දක්ෂිණ අප්‍රිකාවටම බලශක්තිය ලබා දිය හැක. එහෙත් අද වන විට එයට තම රටේ විදුලි බල අවශ්‍යතාවය පැය 24 පුරා ලබා දීමටද නොහැකි වී ඇත. මේ ගැන වෙනමම ලිපියකින් කතා කල යුතුය.

------------------------------

දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාව අනුව බලශක්ති ක්‍ෂේත්‍රයේ යම් ධූරයකට විදේශිකයෙකු පත් කිරීමට නම් ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාගත යුතුය. මේ සදහා සේවයට බඳවා ගන්නා තැනැත්තා සමග සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. මේ පෙර-කොවිඩ් සමයයි. Online platform පිළිබඳව ලෝකයේ එතරම් විශ්වාසයක් තිබුණේ නැත. මේ නිසා ඔවුන් දින තුනකට මා මැලේසියාවේ සිට දකුණු අප්‍රිකාවට කැඳවිය. 

සම්මුඛ පරීක්ෂණය ඉතා සුහදව පැවතුනි. මට විනාඩි 20ක presentation එකක් කල යුතු විය. ඉන් පසු ප්‍රශ්න ඇසීම ඇරඹුණු අතර මුලින්ම කතා කලේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් සහභාගී වූ එහි අතිරේක ලේකම්වරයාය. 

"ඔබ මේ වන විටත් දන්නවා ඇති ESKOM යනු ඉතාමත්ම දුෂිත නිලධාරීන් සිටින ආයතනයක් බව (එතන ESKOM නිලධාරින් 20 ක් පමණ සිටියෝය). Academic කෙනෙක් විදියට ඔබට මෙවැනි දුෂිත පරිසරයක වැඩ කල හැකිද?" 

මෙය මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පැනයකි. කුමක් කියන්නදැයි සිතාගත නොහැකිව මම තත්පර කිහිපයක් සිටියෙමි. එවිට කොහෙන් හෝ මට යම් කල්පනාවක් පහල විය. සිනහවක් මුවට නගා ගත් මම 

"ඔබ මේ වන විටත් දන්නවා ඇති මම උපතින් ලාංකිකයෙක් බව". ඔහුගේ පැනය ඇසූ රිද්මයටම මම පිළිතුරු දුනිමි. 

සියළු දෙනාම සිනාසුනු අතර "ඔබ මගේ පැනයට ඉතා පැහැදිලි පිළිතුරක් දුන්නා" යයි අතිරේක ලේකම්වරයා පැවසීය.

---------------------------------------

ඉහත අතීත කතාව මගේ මතකයට නැගුණේ මීට දින දෙකකට පෙර මා සහභාගී වූ සම්මන්ත්‍රණයකදී හමුවූ තැනැත්තෙකු නිසාය. අඩි හයක් පමණ උස සුවිසල් කාල වර්ණ දේහයකින් සහ දිලිසෙන තට්ට හිසකින් යුත් පුද්ගලයෙක් සිනහමුසු මුහුණින් මා කරා පැමිණ 

"සුබ උදෑසනක් මහාචාර්ය චන්දිම. ඔබට මාව මතකද?" යයි ඇසීය. 

දැක පුරුදු වුවත් මට ඔහු පිළිබඳව පැහැදිලි මතකයක් නොවීය. 

"මම ඔබව මුලින්ම interview කල panel එකට ආරක්ෂක අමාත්‍යංශය නියෝජනය කරමින් සහභාගී වූ කෙනා, ලෝරන්ස් .... (ඔහුගේ වාසගම නම් මට අල්ලගන්නම බැරිවිය). ඔබෙන් corruption ගැන ප්‍රශ්නයක් ඇසුවේ". මට එකවරම ඉහත කතාව මතකයට නැගුණි.

සම්මන්ත්‍රණයේ ඊළඟ සැසිය පසෙකින් තැබූ අප දෙදෙනා කෝපි කෝප්පයක්ද සමග අසල තිබු සෝපාවකට බර දෙමින් දීර්ඝ කතාබහකට වැටුනේය. මේ එහිදී කතා කල වැදගත්ම කරුණකි.

------------------------------

"ඔබ සිතනවාද සංවර්ධිත රටවල දුෂණය නැහැ කියා" මම ඔහුගෙන් ඇසුවේ ඔහු නොනවත්වාම කතා කල දකුණු අප්‍රිකාවේ දුෂිත වාතාවරණයට යම් සංසන්දනයක් ඉදිරිපත් කිරීමටයි.

"චන්දිම, දියුණු රටවල සහ නොදියුණු රටවල දුෂණය වෙනස්. ඒ රටවල පවතින්නේ හුදෙකලා දුෂණයක් (isolated corruption). බොහෝ විට දේශපාලකයෙක්, ව්‍යාපාරිකයෙක් හෝ සමහර විට කිහිප දෙනෙක් එකතු වී දුෂණ, වංචා, සොරකම් කරනවා. ඒවා සමහර විට විශාල සම්පත් ප්‍රමාණයක් විය හැකියි". 

ඔහු මට කලකට පෙර ස්වීඩනයේ දේශපාලකයෙකු අතින් සිදු වූ වැරද්දක් සහ ජර්මනියේ දේශපාලකයෙක් ව්‍යාපාරිකයෙක් සමග එකතුව කල වංචාවක් උදාහරණ ලෙස ඉදිරිපත් කළේය. .

"මේ හුදෙකලා දුෂණ සමහර විට හසුවන්නේ නැහැ. නමුත් හසුවූ විට එය පිළිබඳව පරීක්ෂණ පවත්වා වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට පැමිණවිය හැකියි. එය අනන්තවත් සිදුවී තිබෙනවා. දුෂණය හසු නොවූ විට එයින් සමාජයට විශාල පාඩුවක් විය හැකියි. එහෙත් එය chain reaction එකක් වෙමින් සමාජයේ ඔඩුදුවා යන්නේ නැහැ. හරියට හෘදයාබාදයක් හැදෙනවා වගෙයි". ලෝරන්ස් දිගටම කතා කරයි. 

"නමුත් අපේ රටවල ඇත්තේ ජාලගත දුෂණයක් (networked corruption). සමාජයේ සෑම ස්ථරයක්ම මේ දුෂණයට හවුල්. මම උදාහරණයක් කියන්නම්, අපේ බලශක්ති ආයතනය ගත්තොත් එකේ දුෂණය පටන් ගන්නේ ගේට්ටුවේ සිටින security guard ගෙන්. ඔහුට මුදලක් දුන්නොත් ඔබට ඕනෑම දෙයක් වාහනයේ දමා ගෙන ගේට්ටුවෙන් පිට කරන්න පුළුවන්. එතැන් සිට ඔතන CEO දක්වා සියලු දෙනාම දුෂණයේ යෙදෙනවා. තනතුර ඉහල යන විට දුෂණයේ පරිමාවත් වැඩි වෙනවා".

"මේ දුෂණය නිසාම මෙම ආයතනය සමග ගනුදෙනු කරන ව්‍යාපාරික ප්‍රජාවත් දුෂිත වෙනවා. උදාහරණයක් ලෙස ඉතා බාල වර්ගයේ ගල් අඟුරු ඔවුන් A ශ්‍රේණියේ ගල් අඟුරු ලෙස විකුනනවා. එයින් මෙම ව්‍යාපාරිකයාට ලැබෙන ලාබය වසරකට රෑන්ඩ් (දකුණු අප්‍රිකානු මුදල්: 1USD = 15R) බිලියන කිහිපයක් ඉක්මවනවා. මෙයින් සැහෙන ප්‍රමාණයක් CEO ගේ ඉඳල security gurdට යනකම් ලැබෙනවා".

"බාල ගල් අඟුරු නිසා විදුලි ජනන යන්ත්‍ර නිතරව කැඩෙනවා. එවිට ඒවා නිරීක්ෂණයට උපදේශක සේවාවන් ලබා ගන්නවා. මේ උපදේශකයන් සුවිශේෂිත දැනුමක් ඇති පුද්ගලයන් ලෙස වර්ගීකරණය කරන නිසා ටෙන්ඩර් කැඳවීමක් නැහැ. මේ නිසා ඔවුන්ට විශාල මුදලක් ගෙවනවා. එයින් සෑහෙන කොටසක් නැවතත් ආයතනයේ තීරණ ගන්නා ස්ථරයට ලැබෙනවා. උපදේශකයන් බාල ගල් අඟුරු ගැන සඳහන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් replace කල යුතු කොටස් සහ අංගවල ලිස්ට් එකක් දෙනවා. ඒවා සපයා ගත හැක්කේ ජනන යන්ත්‍ර මිලදී ගත් චීන සමාගම් වලින් විතරයි. මේ නිසා ඔවුන් ඒ සඳහා විශාල මුදලක් quote කරනවා. එයින් කොටසක් ආයතනයේ විධායකයන්ටත්, උපදේශකයන්ටත් ලැබෙනවා". 

"ඊළඟට පොලිසිය, රහස් පොලිසිය, අමාත්‍යංශය ආදී සියල්ලම මේ ජාලයට සම්බන්ධ වෙනවා. ඔවුන් සියලු දෙනාටම හොරකමෙන් යම් කොටසක් යනවා. ඔබ මේ දුෂණ පිළිබඳව පොලිසියට හෝ අමාත්‍යංශයට පැමිණිලි කල හොත් ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණ ආරම්බ කරනවා. ඒ පරීක්ෂණ අතරතුර බොහෝ විට ඔබ හදිසි අනතුරකින් හෝ වෛද්‍යවරයෙකුගේ බෙහෙත් වැරදීමෙන් මිය යනවා. පරීක්ෂණයට පැමිණෙන CID මහතුන් සහ auditවරුන් වැඩේට වසර කිහිපයක් ගන්නවා. ඔවුන් කිසිම වැදගත් දෙයක් සොයාගන්නේ නැහැ. කාලය අද්දමින් සිට ෆයිල් වසා දමනවා".

"මෙවැනි පරීක්ෂණයක් ඇරඹුන විට මාධ්‍ය ආයතන ඉතා උද්‍යෝගයෙන් මේ පිළිබඳව හාරා අවුස්සනවා. චූදිතයන්ගෙන් ඉතා දරුණු ලෙස ප්‍රශ්න කරනවා. ප්‍රවෘති සිරස්තල පළකරනවා. ටික කාලෙකින් ඔවුන් හීන් සීරුවේ හඬ අඩුකර එය නැති කර දමනවා. කලින් ප්‍රවෘතිය වෙනුවට වෙන එකක් උඩට ගේනවා. මේ මාධ්‍ය කරුවන් මෙන්ම ආයතන හිමියන්ද ඉතා ධනවත් පුද්ගලයන් බවට පත්වෙනවා". 

"නොදියුණු රටක දුෂණය කෝවිඩ් වගේ".

----------------------------------------------

දුෂණය ජාලගත වූ රටක් මොන ජගතා ආවත් ගොඩගත හැකි සුත්‍රයක් ඇත්දැයි මම තවම කල්පනා කරනවා. 



Friday, 13 January 2023

බටොයියෝ සහ ටොබයියෝ

 


මැතිවරණයක් ආසන්න වත්ම රටක දේශපාලන උප සංස්කෘතිය තුල නොයෙකුත් උපමා, උපමේය, උපහාස, උපහාර ඇතිවීම ලෝකයේ කොතැනත් දක්නට ලැබේ. මෙය රටක භාවිතා කරන භාෂාවක ඇති විචිත්‍රත්වය පිළිබිඹු කරයි. මා දන්නා තරමින් සිංහල භාෂාව ලොව ඇති සංකීර්ණ මෙන්ම සම්පුර්ණ භාෂා කිහිපයෙන් එකකි. මේ නිසාම ලාංකීය දේශපාලන උප-සංස්කෘතිය අතිශයින්ම චමත්කාරජනකය. අවාසනාවට මෙම චමත්කාරය විඳ ගත හැක්කේ සිංහල භාෂාව තුල ජිවත්වන අයෙකුට පමණි. භාෂාව ඉගෙනගත් පමණින් මේ අත්දැකීම ලැබිය නොහැක.

ඉහත කරුණු මට සිහියට නැගුනේ පසුගිය දින කිහිපය තුල අසන්න දකින්න ලැබුණු කාරණා දෙකක් නිසාය. එකක් උපුල් ශාන්ත  සන්නස්ගල විසින් ලබ්බ පිළිබඳව ඉදිරිපත්කල වැඩසටහනයි. එය නැරඹු පසු මට වැටහුණේ සේපාල් අමරසිංහට දැන් අවශ්‍ය නීති විශාරදයෙකු නොව භාෂා විශාරදයෙකු බවයි. සේපාල්ගේ භාෂණයේ හරි-වැරදි කෙසේ වෙතත් ඔහුගේ නීතීඥයාට මනා භාෂා දැනුමක් ඇත්නම් ඔහුට නිදොස් කොට නිදහස්වීමට පමණක් නොව විශාල වන්දි මුදලක් අය ගැනීමටද හැකියාව ඇතැයි මට සිතෙයි. 

ඊළඟ කාරණය මෙතෙක් පොහොට්ටුවට සහ අලියාට වහල් මනසකින් කඩේ ගිය die-hard සපෝටර්ලාට පටබැඳි විනෝදාත්මක නම් කිහිපයක් අසන්නට ලැබීමයි. මෙයින් වඩාත්ම මගේ සිත් ගත්තේ මෙම මාතෘකාවට අදාළ වදන් දෙකයි. මම මුලින් සිතුවේ මේ නම් දෙකම එකම පිරිසකට කියන බවයි. නමුත් ඊයේ මා සමග යෙදුන පිළිසඳරකදී දුරු ඈත රටක සිටින  ලාංකිකයෙක් පැවසුවේ මෙම වදන් දෙක යෙදෙන්නේ දෙපිරිසකට බවයි. කලින් උග්‍ර රාජපක්ෂවාදින්ව සිට දැන් රනිලුත් හොඳයි කියන්නෝ ටොබයියෝය. කලින් උග්‍ර රනිල්වාදින්ව සිට දැන් රාජපක්ෂලා ගැන වචනයක්වත් කතා නොකරන පිරිස බටොයියෝය.

සිංහලයා භාෂාව හැසිරවීමේ විචිත්‍රත්වය පිළිබඳව තවත් සාක්ෂි කුමකටද?