Thursday, 24 July 2025

අයියෝ ! මෙයාට ඉංග්‍රීසි බැහැ



ජේකොබ් සූමා (දකුණු අප්‍රිකාව), රොබට් මුගාබේ (සිම්බාබ්වේ), යෝවේරි මුසවේනි (උගන්ඩාව), උහුරු කෙන්යාට (කෙන්යාව).

මේ ලිස්ට් එක දන්නවාද? අප්‍රිකානු රටවල් පාලනය කල හෝ කරන ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කල හැකි පාලකයන් කිහිප දෙනෙකි. ජාත්‍යන්තරයේදී මොවුන්ට ඇත්තේ ඉතාම පහල පන්තියේ පිළිගැනීමකි. ඔවුන් තමා පාලනය කරන රටවලට ගෙන එන්නේ ලැජ්ජා සහගත අපකීර්තියකි.

ඒ ඇයි?

ඔවුන් පට්ට හොරුන් බවට ජාත්‍යන්තරයේ ඇති පිළිගැනීම නිසයි. ඔවුන් තමා පාලනය කරන රටවලට ගෙන එන්නේ ලැජ්ජා සහගත අපකීර්තියකි. ඔවුන්ගේ පාලන සමයන් දූෂණයෙන්, භීෂණයෙන්, වංචාවෙන් අනූන විය. ඔවුන් තම රටවල් බංකොලොත්බාවයට හෝ එහි එළිපත්තටම ගෙන ගියේය. 

ජපානය, දකුණු කොරියාව, චීනය, රුසියාව, ප්‍රංශය, ඉතාලිය ආදී රටවල නායකයන් ඉංග්‍රීසි කතා කරන ස්වභාවය ඔබ දැක ඇත්ද?

චාල්ස් ඩිගෝල් පවා ඉංග්‍රීසි කතා කලේ යාන්තම් අකුරු අමුණා ගනිමිනි.

බුද්ධිය ඇත්තන්ට සිතන්න යමක්. 



            


Tuesday, 22 July 2025

යහපත් පුරවැසියා

අධ්‍යාපනය තුලින් සිදුවිය යුත්තේ යහපත් පුරවැසියෙකු බිහිකිරීමයි යන්න බොහෝ රටවල පිළිගත් සම්මතයයි. නමුත් ලංකාවේ සමහර දෙනෙකුට මේ සංකල්පය " මළවිකාරයක්" ස්වරුපයෙන් පෙනෙන බව පසුගිය දිනවල ඔවුන් ප්‍රකශ කල අදහස්වලින් ගම්‍ය විය. මේ නිසා මම රටවල් කිහිපයක පවතින "යහපත් පුරවැසියා"ගේ අර්ථදැක්වීම අධ්‍යනය කලෙමි. ලංකාවේ සමහර පිරිස් අධ්‍යාපනය තුලින් යහපත් පුරවැසියෙකු බිහිවීම මළවිකාරයක් ලෙස දකින්නේ ඇයිදැයි ඔබට පහත අර්ථදැක්වීම කියවන විට අවබෝධ වනු ඇත. 

"යහපත් පුරවැසියෙකු යනු තම ප්‍රජාවේ යහපැවැත්ම සඳහා ක්‍රියාකාරීව දායක වන සහ ගෞරවය, වගකීම සහ සහභාගීත්වයේ වටිනාකම් ආරක්ෂා කරන අයෙකි. ඔවුන් නීතිය අනුගමනය කරයි, සිවිල් ජීවිතයට සහභාගී වේ. අන් අයට කරුණාවෙන් හා අවබෝධයෙන් සලකයි. යහපත් පුරවැසියෙකු අන්‍යයන්ට වෙනස් මත දැරීමේ අයිතිය පිළිගන්නා අතර තමා අකමැතිවන මතවාදයන්ට ශිෂ්ඨ සම්පන්න ලෙස විරෝධය පායි. ඒ තුලින් සමාජයට ධනාත්මක දායකත්වයක් ලබා දීමට උත්සාහ කරයි".

Saturday, 19 July 2025

ජපානයෙන් ඉතිහාසය

"අපි ඉතිහාසය ඉගෙනගමු" ලිපිය පිළිබඳව කිහිප දෙනෙකු inbox කර තිබූ අදහස් කිය වූ විට මට සිත් වුයේ එම ලිපියෙන් මා ඉදිරිපත්කල කරුණ අමුවෙන්ම පැවසිය යුතු බවයි. බොහෝ දෙනෙකු එය කියවා ඇත්තේ පූර්ව-නිගමනයකින් පසුවයි.

මා මෙහිදී කිසිම තැනක ඉතිහාසය දරුවෙකුට උගැන්විය යුතු නැතැයි කියා නැත. ඒ වෙනුවට කියන්නේ දරුවාට ඉතිහාසය ඉගැන්වීම යහපත් පුරවැසියෙකු බිහිකිරීමේ ලා ඉවහල්වන පරිදි අර්ථාන්විතව සහ සහේතුකව කල යුතු බවයි. මේ අදහස් වර්තමානයේ ඉතිහාස විෂය පිළිබඳව ඇතිවී ඇති කතිකාවතෙන් එපිටට විහිදුනු පුළුල් වපසරියක ග්‍රහණය කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. 

මේ ලිපිය ලියන්නට පෙර මම ස්වීඩනයේ, ජපානයේ, සහ බ්‍රිතාන්‍යයේ පාසල්වල ඉතිහාසය උගන්වන අයුරු පිළිබඳව ඒ ඒ රටවල මා හඳුනන පාසල් ගුරුවරුන් ගෙන් අසා අධ්‍යනය කලෙමි. මේ රටවල් තුනේ ඓතිහාසික කාල රාමු එකිනෙකට වෙනස්ය.

මේ ජපන් ගුරුවරයා ඉදිරිපත් කල අදහසේ ආසන්න පරිවර්තනයයි. අනෙක් රටවල් දෙකෙන් ලැබුණු ප්‍රතිචාරද මීට බොහෝ සෙයින් සමාන බැවින් ඒවා ඉදිරිපත් නොකරමි. 

"Middle school education  අවසන් වන විට, ජපන් සිසුන්ට තම ජාතියේ පැවැත්ම සහ විකාශය පිළිබඳව තාර්කික සහ අර්ථාන්විත අවබෝධයක් ඇතිවෙයි. මෙහිදී මූලික කරුණු පුරාවිද්‍යාත්මක පසුබිමක ඉදිරිපත් කෙරෙන අතර ජන සාහිත්‍යයෙන් පැමිණෙන පුරාවෘත පිළිබඳව වෙනමම කියා දෙනු ලැබේ. දරුවා මේ දෙක අතර ඇති වෙනස හඳුනාගෙන විද්‍යාත්මක කරුණු ඒවායේ අවිනිශ්චිත පරාස (uncertainity margins) තුල ධාරණය කරගන්නා අතර පුරාවෘතවල ඇති සෞදර්යත්මක අගයයන්ද මැනවින් වින්දනය කරයි". 

"ජපානයේ අනන්‍ය සංස්කෘතික උරුමයන් පිළිබඳව ඉගෙනීම, වැදගත් ඓතිහාසික චරිත අගය කිරීම සහ තුන්වන පාර්ශව මානසිකත්වයකින් එම චරිත විග්‍රහ කිරීමට දරුවා හුරුකිරීම අපේ අධ්‍යාපන ක්‍රමයේ තවත් මූලික සංකල්පයකි. වර්තමාන ජන සමාජයට මේ ආශ්‍රයෙන් ගත හැකි යහපත් ඵල නෙලාගැනීම මෙන්ම අයහපත් ඵල ප්‍රතික්ෂේප කිරීමද මෙහි අරමුණයි". 

"අතීතයේ සිටම ඇතිවූ කලාපීය සහ ගෝලීය අන්තර්ක්‍රියා සහ සාමයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම පිළිබඳ දරුවාට  මූලික අවබෝධයක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ සඳහා විෂය මාලාව ජාතික අනන්‍යතාවය, කලාපීය/ගෝලීය සහයෝගිතාව සහ පුළුල් ඓතිහාසික දැනුවත්භාවය සමඟ සමතුලිත කරයි. ජාතියක් ලෙස අප ගත් තීරණවල හොඳ-නරක පිළිබඳව පන්තියේදී සිසුන් අතර විවෘත සංවාද-විසංවාද ඇතිකිරීම සඳහා අපගේ ගුරුවරුන්ව උනන්දු කරනු ලැබේ. මෙහිදී දරුවන් ජාතියේ නායකත්වය ගත් සමහර තීරණ වෙනස් වුවා නම් රට යාමට තිබුණු අත පිළිබඳවද විනෝදාත්මක අයුරින් විග්‍රහ කිරීමට පෙළඹෙයි". 

"මෙම අධ්‍යාපනයේ වැදගත්ම අපේක්ෂාව නම් ඉතිහාසය තුලින් අපට ලැබෙන පණිවිඩ තාර්කිකව ග්‍රහණය කරගෙන එතුලින් වර්තමානය සරු කරගැනීමත් අනාගතයේ සිදුවිය හැකි වැරදි අවම කරගනිමත්ය. ඒ තුලින් අපි අභ්‍යන්තර-කලාපීය-ගෝලීය තලයන්හිදී අන්‍යන්ට ගරුකරන, අන් මත ඉවසන, මානසිකව පිරිපුන් පුරවැසියෙකු තැනීමට උත්සුක වෙමු. කෙසේ නමුත් දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ භූමිකාව වැනි ඇතැම් සංවේදී මාතෘකා උගන්වන ආකාරය පිළිබඳ විවාද දිගටම පවතී".

දැන් ඔබ නැවතත් මේ ගැන හිතන්න. 

Friday, 18 July 2025

අපි ඉතිහාසය ඉගෙනගමු


ඉතිහාසය විෂය පාසැල් පාඨමාලාවෙන් ඉවත්කරනවා කියා මහා හඬින් විරෝධය පාන පිරිසක් පසුගිය දිනවල මම සමාජ මාධ්‍ය තුල දකිමි. මෙය ඉතා හොඳ ප්‍රවණතාවයකි. රටේ සිදුවන දේ පිළිබඳව සියල්ලෝම දෑස් හැර බලා සිටීම ජාතියේ උන්නතියට හේතුවේ. එය මෙතෙක් සිදුවුයේ ඇල් මැරුණු ස්වභාවයකිනි.

මම ඔවුන්ගෙන් පැනයක් අසමි. "ඉතිහාසය විෂයක් ලෙස පාසැලේ ඉගැන්වීමෙන් ඔබ දරුවකුගෙන් බලාපොරොත්තු වන යහඵලය කුමක්ද?"

දරුවාට පුරාවිද්‍යාව පිළිබඳව යම් දැනුමක් ලබා දීම අරමුණක් නම් එය මෙතෙක් ඉතාමත්ම අසාර්ථක වූ ඉලක්කයකි. වසර ගණනාවක් පාසැලේදී ඉතිහාසය ඉගෙනගත් ලාංකිකයන් අති බහුතරයකට පුරාවිද්‍යාව පිළිබඳව මූලික දැනුම පවා නැත.

පාසැල් පෙළපොත් වල ඉතිහාස විෂය ඉදිරිපත්කරන කතන්දරමය ස්වභාවයත්, බොහෝ පාසැල් ගුරුවරුන් මෙම විෂය කියා දෙන ආකාරයත් අත් දැක ඇති මට දැනෙන්නේ මෙම විෂය අධ්‍යාපන පාඨමාලාවට ඇතුලත් කර ඇත්තේම දරුවාට "ආඩම්බර වීම" අරමුණු කරගෙන බවයි. සමාජ මාධ්‍යවල ඉතිහාස විෂය රැකගැනීමට සටන් වදින අති බහුතරයකගේ ආකල්පයද මෙයයි.  එනම් ඉතිහාසය ඉගැන්වීම තුලින් දරුවාගේ ආත්ම-අභිමානය උද්දීපනය වන බවයි. මම මේ තර්කය සමග එකඟ වෙමි. එහෙත් ලංකාවේ ඉතිහාසය පාසැල් විෂය මාලාවේ පෙළගස්වන්නේ මේ අරමුණ සාක්ෂාත් කරගැනීමටද? අපි මේ ගැන සරල විග්‍රහයක් කරමු. 

ලංකාවේ ඉතිහාසය කියා උගන්වන්නේ රාජාවලියයි. එනම් රජුන් හා ඔවුන්ට සමීප පුද්ගලයන් කල කී දේ මෙන්ම ඔවුන්ගේ ජීවිත පිළිබඳවයි. ලොව බොහෝ රටවල රාජාවලිය පිරි ඇත්තේ ලේ කඳුළු වලිනි. ලංකාවේ කියා එහි වෙනසක් නැත. රාජත්වය වෙනුවෙන් දෙමව්පියන්, දූ දරුවන්, අඹු-සැමියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් මෙන්ම පූජ්‍ය පක්ෂය පවා කෲර ලෙස ඝාතනය කල අවස්ථාවලින් මුළු රාජාවලියම පිරි ඇත. සාමාන්‍ය තත්ව යටතේ රජකමට පත්ව ස්වභාවික හේතුන් මත මරණයට පත්වීමෙන් හෝ ස්ව කැමැත්තෙන් රජකම අත්හල රජවරුන් ඇත්තේ අතලොස්සකි. මේ අතර රජවරුන් කිහිප දෙනෙක් බලහත්කාරයෙන් ජනතාව යොදවා හෝ භාණ්ඩාගාරයෙන් ධනය වියදම් කර තැනූ ආගමික සිද්ධස්ථාන, රජ මාලිගා සහ වැව් පොකුණු කිහිපයක්ද ඇත. සමහර පුද්ගලයන් හෝ ජන කොටස් විසින් කල නිර්මාණද පසු කලෙක ඉතිහාසය ලියූ වන්දිභට්ටයන් රජුන්ගේ ගිණුමට බැරකරන්නට ඇත. අපේ පෙළපොත්වල ඉතිහාසයේ ඇති ලේ පල්ලම් වසා දමන්නේ මේ නිර්මාණ සහ ඉතා අතලොස්සක් වූ යුධ ජයග්‍රහණ උපයෝගී කරගෙනය.  

ලංකාවේ ඉතිහාසය විෂයක් ලෙස පෙළගස්වා ඇත්තේ පුරා විද්‍යාත්මක පදනමක් මත නොවන බව පැහැදිලිවම පෙනෙයි. ඒ වෙනුවට දරුවාගේ හැඟීම් උද්දීපනය වන අයුරින් විද්‍යාත්මකව තහවුරු නොවූ කරුණු පවා කතාමය ස්වරූපයකින් ඇතුලත්කර ඇත.  

මගේ සම වයස් කාණ්ඩ වල බොහෝ දෙනෙකු 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා කොළඹට ගොඩ බැහැපු බව දනියි. ඒ සමාජ අධ්‍යනය විෂය සඳහා වාර අවසාන විභාගයට මෙය අනිවාර්යය ප්‍රශ්නයක් වන බැවිනි. මේ නිසා අපි මේ වර්ෂ, නම් ගම් කටපාඩම් කළෙමු. එහෙත් පෘතුගීසින් ලංකාවට පැමිණෙන විට ලංකාවේ තිබුණු සමාජ-ආර්ථික-දේශපාලන පරිසරය, පෘතුගීසීන්ගේ ආගමනය සමග එය වෙනස් වූ අයුරු, එහි යහපත් සහ අයහපත් ප්‍රතිඵල, වර්තමානය දක්වා පෘතුගීසීන්ගේ බලපෑම නිසා සිදුවී ඇති සමාජ පරිවර්තන ආදිය පිළිබඳව අප බහුතරයකට හැඟීමක් නැත. 

අපේ ඉතිහාස පාඩම සීගිරිය සහ කාශ්‍යප ගැන උදම් අනන්න දරුවා හුරු කලාට, එහි තාක්ෂණය සහ ප්‍රායෝගික ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යනයට දරුවා උනන්දු කලේ නැත. රාජ් සෝමදේවයන් ඉතා මෑතකදී කල සමාජ නැණ ගැන්වීම් සිදුවන තෙක් අපි කිසිවෙකු අතර මේ ගැන කතිකාවතක් හෝ ඇති වුණේ නැත. 

රජවරු අනුභව කල රාජ භෝජන ගැන විස්තරයක් තිබුණාට ලාංකික ජන ජීවිතය හා බැඳුනු ආහාර-පාන වත් පිළිවෙත් ගැන අපේ ඉතිහාස පාඩමේ උගන්වන්නේ නැත. විදේශිකයන්ගේ  පැමිණීමත් සමගම මේ පිළිවෙත් වෙනස් වූ අයුරු අපට ඉතිහාසය කියා දෙන්නේ නැත. 

රජවරුන්ගේ වීර ක්‍රියා පිළිබඳව විස්තරාත්මක කතන්දර තිබුණත් එම රජවරුන් අතින්ම රටවැසියාට සිදු වූ කෲර වද හිංසා පිළිබඳව අව්‍යාජ විග්‍රහයක් කිරීමට අපේ පාසැල් ගුරුවරුන් පෙළඹෙන්නේ නැත. මේ නිසා දරුවා රජාගේ සියළු ක්‍රියාකාරකම් පොදුවේ උත්කර්ෂයට නංවා ගනියි. මේ වන විට අප මේ මනෝභාවයේ ආදීනව හොඳින්ම වටහාගෙන ඇත (යම් පමණක හෝ බුද්ධිය ඇත්තන් පමණක්).

පුරා විද්‍යාත්මක පසුතලයක අප ඉතිහාසය ඉගෙනගත්තා නම් යම් සංසිද්ධියක ගුණාත්මක අගය මෙන්ම ඒ හා බැඳුනු අවිනිශ්චිතතාවය (uncetainity) පිළිබඳවද මනා හැඟීමක් දරුවාට ඇතිවන්නට තිබුණි. නමුත් පාසැලේදී ඉතිහාසය ඉගෙනගත් ලාංකිකයන් බොහෝ දෙනෙක්ට මේ පෙළපොත්වල ඇති කරුණු ගලේ කෙටු අකුරු මෙන් නිශ්චිතය. 

තව කීමට බොහෝ දේ ඇත. එහෙත් කාලය ඊට හරස්වේ. අවසානයේ මට කිව හැක්කේ, "අපි හේතුවක් ඇතිව ඉතිහාසය ඉගෙන ගමු, කිසිම හේතුවක් නැතිව ආඩම්බර වීමට එය පාදක කරගන්නේ නැතිව". 

Monday, 14 July 2025

බුදුන් දෙසු දහම ආගමක් නොවුනා නම් !


ආගමකින් තොරව ශිෂ්ඨාචාරය ස්ථායිව පවත්වාගෙන යාමට තරම් බුද්ධි මට්ටමකට මානවයා එළඹීමට තව සහශ්‍ර දෙකක්වත් යා යුතුය. මේ ගැන මම කලින් ලිපියෙන් විස්තර කලෙමි.

බෞද්ධ නොවන බොහෝ දෙනා මගෙන් බුදු දහම යනු කුමක්දැයි ඇසු විට මම දෙන කෙටි පිළිතුරක් ඇත. 

"It is the study of the nature of nature" (එය ස්වභාවයේ ස්වභාවය අධ්‍යනයයි).

මෙහි පළමු ස්වභාවය යනු "ස්වාභාවධර්මයයි". දෙවන ස්වභාවය යනු "හැටි" හෝ "විදිය" යන්නයි.

බුදුන් හෝ යම් සමුහයක් විසින් ගොඩ නගන ලද බුදු දහම නම් තර්කනය කට වචනයෙන් සහ ඉන්පසු ලිඛිත මාධ්‍යයෙන් කාල තරණය කරද්දී කෙතරම් වෙනස්කම් වලට භාජනය වුවාදැයි අප දන්නේ නැත. එහෙත් දැනට අපට කියවීමට ලැබෙන අභිධර්මයේ මූලික හරය අධ්‍යනය කළහොත් මට හැඟෙන්නේ මෙවැනි අදහසකි.

අපට විශ්වය සංවේදනය වන්නේ ශරීරයේ ඇති සංවේදක (sensors) පහ සහ එමගින් ජනිතවන සංඥා (අද අපේ දැනුම අනුව විද්‍යුත් ස්පන්දන) මනස ඇතුළත් සංකීර්ණ සැකසුම් ඒකකයකට (processing unit) ගමන් කිරීමෙන් අනතුරුව ඇතිවන ක්‍රියාදාමයක් හේතුවෙනි. මෙම සැකසුම් ඒකකය හදවත ලෙස මුලින්ම හෝ පසු කලෙක හඳුන්වාගෙන ඇති බවක් පෙනෙයි.  ඒ වෙනුවට මොළය ආදේශ කළහොත් මෙය 21වන සියවසේ දැනට පවතින දැනුම තුල 100%ම සාර්ථකව විග්‍රහ කල හැක. 

ඉන් පසු ලද සංඥාවන් මතකයේ ඇති ප්‍රතිරූප සමග සංසන්දනය කිරීමෙන් හඳුනාගැනීමත්, ඒ හා සමගම ඇතිවන හැඟීම් සමග සැකසුම් ඒකකය මගින් ප්‍රතිදානයක් (output) ලබා දීමත් අභිධර්මයේ මැනවින් විග්‍රහ වෙයි. මේ වන විට ඇති දැනුම තුල මේ ක්‍රියාවන් සිදුවන මොළයේ කොටස් පිළිබඳව සෑහෙන ගැඹුරු තොරතුරු ප්‍රමාණයක් විද්‍යාව සතුව ඇත. පිටතින් ලැබෙන සංඥාවකට සැකසුම් පද්ධතිය තුල සිදුවන ක්‍රියාවලිය සහ ඉන් අනතුරුව ලබා දෙන ප්‍රතිදාන, ප්‍රතිපෝෂණ තොරතුරු (feedback information) ලෙස මතකයෙහි තැන්පත් වෙයි. ඊළඟ වර කලින් පිටතින් ලැබුණු සංඥාවම හෝ ඊට ආසන්න සංඥාවක් ලැබුණු විට සැකසුම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මේ යාවත්කාලීන වූ තොරතුරු මතය. කර්මය ලෙස බුදුදහමේ (හින්දු/ජෛන දහම්වල සඳහන් කර්මය නොවේ) සඳහන්වන්නේ මේ feedback loop එක බව මගේ හැඟීමයි.

බුදු දහමේ ඉදිරිපත්කරන මූලික හරය ලෙස මා දකින්නේ අපට සංවේදී වන මුළු විශ්වයම සැකසුම් පද්ධතියේ ඇතිවන සංඥා සමුහයක් බව අවබෝධකර ගැනීමයි. මේ මගින් අපට ලැබෙන සංඥා මතකයේ ගැබ්වූ ප්‍රතිරූපයන් සමග සැසඳීමෙන් පසු ඇතිවන ද්විතීක ක්‍රියාවලිය පාලනය කරගත හැක. 

මෙහිදී වඩාත් වැදගත් වන්නේ පිටතින් ලැබෙන විද්‍යුත් සංඥා වලට අනුරූපී වන නාම-රූප (entities pertinent to the external signals) උපාදානය නොකරගනිමයි. එනම් එම නාම-රූප වෙත නොඇලීමයි. එම නාම-රූප සංඥා පමණක්ම බව අවබෝධකරගැනීමෙන් මේ උපාදානය සෑහෙන්න අඩු කරගත හැක. එය සතුටින් සැනසුමෙන් ජීවත්වීමේ මූලික පදනමයි. බුදුන් දෙසු දහම මා අවබෝධකරගත් ආකාරය තුලින් ලබාගත් ප්‍රයෝගික ලාභය එයයි. මම අද ඉතා තෘප්තිමත් සහ සැනසීමට පැමිණි පුද්ගලයෙකි. 

මේ සැනසිලිදායක දිවි පෙවෙතට, බොහෝ බෞද්ධයන් සහ හින්දු/ජෛන භක්තිකයන් සිතමින් වෙහෙසෙන බොහෝ දේ අදාළ නැත. දෙවියන් ඇද්ද නැද්ද, මරණින් මතු හෝ මරණයට පෙර පැවැත්මක් ඇද්ද නැද්ද, බාහිර බලවේගයකින් ක්‍රියාත්මක වන කර්ම ඵල ඇද්ද නැද්ද යනු ඉන් කිහිපයකි. යථාර්තය නම් අප කිසිවෙක් මේ ගැන දන්නේ නැති බවයි. ඕනෑම කෙනෙක්ට මේ ගැන ඕනෑම දෙයක් කිව හැක. අපට හැක්කේ එය පිළිගනිම හෝ නොපිළිගැනීමයි. බොහෝ දෙනෙකු කරන්නේ ඒ ගැන සිතමින් බිය, සැක, වේදනාව ආදී ඍණාත්මක හැඟීම් සමග අසහනකාරී ජිවිත ගත කිරීමයි.

-------------------------------------------------

ස්වභාවයේ ස්වභාවය සොයා ගිය එකම තැනැත්තා සිද්ධාර්ථ ගෞතම පමණක් විය නොහැක. බෞද්ධ සහ ජෛන සාහිත්‍යයේ පමණක් යන්තම් සඳහන් වන සිද්ධාර්ථයන්ගේ මුල් ගුරුවරුන් වූ උද්දකරාම පුත්ත, ආලාරකාලාම ආදීන් කිහිප දෙනෙක් සොයාගියේද මේ ස්වභාවයයි. සමහර විට ලොව පුරා මේ ආකාරයේ බුද්ධිමය දේශාටනයේ යෙදුනු පුද්ගලයන් ගණනාවක් සිටින්නට ඇත. ඔවුන් අතරින් සිද්ධාර්ථ ගෞතම සහ ජෛන මහාවීර දේශනා කල දහම් පමණක් චිරාත් කාලයක් පැවතීමට හේතුව කුමක්ද?

එයට කෙටිම පිළිතුර නම් ඔවුන්ගේ සංකල්ප පසු කලෙක 'ආගම්' බවට පත්වීමයි. 

යම් දහමක් දීර්ඝ කාලයක් පැවතීමට නම් එයට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුමය. දහමක රාජ්‍ය අනුග්‍රහය ලැබීමට නම් එය ශිෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා රාජ්‍ය තන්ත්‍රයට උපකාරී විය යුතුය. මෙලෙස රාජ්‍ය පැවැත්මට උපකාරී වන්නේ එම දහම තුල මානව හැකියාවන් ඉක්මවා යන සුපිරි බලවේග සහ මරණින් මතු/පෙර පැවැත්ම සඳහන් වේ නම් පමණි. මේ නිසා එම සංකල්ප දහම තුල තහවුරු විය යුතුය. එය සිදුවෙන විට දහම ආගමක් බවට පත්වෙයි. 

ආගම යනු රාජ්‍ය තන්ත්‍රය පවවාගෙන යාමට අත්‍යවශ්‍ය උපකරණයකි. මේ නිසා රාජත්වය ආගම ආරක්ෂා කරයි. යටත් වැසියා දිවිහිමියෙන් ආගම රැකගැනීමට අවි ආයුධ පවා අතට ගනියි. මෙය ශිෂ්ඨාචාරයේ පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය වෙන අතරම දහම තුලින් අරමුණු වූ මානසික සුවය මානවයා තුලින් වියැකී යාමටද හේතු වෙයි. 

ජෛන මහාවීරගෙන් පසු වසර 150ක් පමණ කාලයක් තුල චන්ද්‍ර ගුප්ත මෞර්ය අධිරාජ්‍යයා එයට අනුග්‍රහය ලබා දුන්නේ නැත්නම් ජෛන දහම ගැන අද කිසිවෙක් කතා නොකරනු ඇත. ගෞතම බුද්ධයන්ගෙන් වසර 200ක් ඇතුලත අශෝක අධිරාජ්‍යයා එයට අනුග්‍රහය නොදුන්නේ නම් සිද්ධාර්ථ ගෞතමගේ සොයාගැනිම්ද කාලයේ වැලි තලා අතර වැළලී යන්නට තිබුණි. චන්ද්‍රගුප්ත මෞර්යට වඩා අශෝක අධිරාජ්‍යයා බලවත් වූ බැවින් බුද්ධාගම ජෛනාගමට වඩා වපසරියක ලොව පුරා ව්‍යාප්ත විය.

ශිෂ්ඨාචාරයේ පැවැත්ම කරනකොට ගෙනම බිහි වූ ඒබ්‍රහමික ආගම් ලොව පුරා පැතිරෙන්නේද ඒවා රාජ්‍ය තන්ත්‍රයට මනා ලෙස උපකාරී වන අයුරින් ආරම්භයේදී මෙන්ම පසුකාලයකදීද සැකසෙන බැවිනි. මේ සඳහා උදාහරණ බොහෝ ඇත. 

ආගම් සම්බන්ධයෙන් මානවයාට ඇත්තේ රැකවරණය ආශ්‍රිත වූ හැඟීමකි. එය රජුන් විසින් තම  (සහ තම සමුහයේ) පැවැත්ම උදෙසා මානව මනස මත පැටවූ ආකල්පමය බලහත්කාරයකි. වර්තමානය දක්වා බොහෝ මානවයන්ගේ හැඟීම නම් ආගම විසින් තම සමුහය රැකගන්නා බවයි. මේ සඳහා සමුහය විසින් ආගම රැකගත යුතුය. මේ සඳහා ඔවුන් නොයෙකුත් ආකාරයෙන් ආගම හා සම්බන්ධ සංකල්ප අති උත්කර්ෂයට නංවයි. එයට එරෙහිවන්නන්ට එදිරිව යුද්ධ ප්‍රකාශ කරයි. බොහෝ විට අතාර්කික සහ අබුද්ධිමත් වන මේ ක්‍රියාදාම තුන්වන පාර්ශ්වයකට විසුලුරූපී වුවත් අදාළ කුලකයට එය ජීවිතයත්-මරණයත් අතර සටනක් වන අවස්ථා එමටය. 

ඉහත ආකාරයෙන් ආගම වෙනුවෙන් මරණයට වුවත් සුදානම් බොහෝ දෙනාට එම ආගම හා අදාළ මූලික දහම පිළිබඳව මෙලෝ අවබෝධයක් හෝ හැඟීමක් නැත. ඔවුන්ගේ එකම අභිලාශය ආගම රැකගැනීම තුලින් තමන් රැකීමයි. සියවස් ගණනක් යම් ආගමක් වෙනුවෙන් සටන් කල සමුහයක් බලහත්කාරයෙන් වෙනත් ආගමකට යොමු කල විට ඔවුන් නව ආගම වෙනුවෙන් පෙර ආකාරයෙන්ම මරාගන්නේ මේ නිසාය. 


                        


Saturday, 12 July 2025

ආගම සහ ශිෂ්ඨාචාරය

 


මුලින්ම අපි මේ වදන් දෙක අර්ථදක්වා ගත යුතුය. ඔබට මේ සඳහා නොයෙකුත් අර්ථදැක්වීම් අන්තර්ජාලයෙන් ලබා ගත හැක. එහෙත් මේ ලිපියට පදනම් වන්නේ පහත දැක්වෙන අර්ථදැක්වීම්ය. 

ශිෂ්ඨාචාරය යනු තිරසාර ලෙස සමුහ ගතව පවතින්නා වූ මානව කුලකයක හැඩතලයයි. තවත් එක් සත්ව කොට්ඨාශයක් ලෙස මානවයාද මුලින් තනි තනිව හෝ පවුල් ඒකකයක් ලෙස ජීවත්වන්නට ඇත. නමුත් රාශිගතව ජීවත්වීමේ වාසි අවබෝධ වන විට ඔවුන් ක්‍රමයෙන් තම සමුහය වැඩිකරගන්නට ඇත. සත්ව ලෝකයේද තනිව ජිවත්වන දිවියන් වැනි සතුන්ද, පවුල් ඒකකයක් ලෙස ජිවත්වන සිංහයන් වැනි සතුන්ද, රැලක් ලෙස ජිවත්වන මුවන් වැනි සතුන්ද දැකිය හැක. සාමාන්‍යයෙන් තිරසාර පැවැත්මකට සත්ව රැලක සිටින සාමාජිකයන් ගණන 150 ට පමණ සිමා විය යුතු බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත (මෙය Dunbar’s Number නම් වේ). මෙය ආරම්බයේදී මානවයාටද අදාළ වන්නට ඇත.

සමුහයක ප්‍රමාණය වැඩි වන විට නොයෙකුත් ගැටළු මතුවේ. ආහාර සහ භූමිය සඳහා තරඟය; තමාට වැඩි වාසි අත්පත් කරගැනීමට ස්වභාවයෙන්ම මානවයා තුල ඇතිවන ලෝභය; කෝපය, වෛරය, ආත්ම අභිමානය වැනි මානව හැඟීම් සමග ඇතිවන අන්තර් පුද්ගල සහ අන්තර් උපකුලක ඝට්ටන මෙම ගැටළු වෙයි. මේ නිසා මානව සමුහයක තිරසාර පැවැත්මට විශාල අමතර ශක්තියක් වැය කිරීමට සිදුවෙයි. නායකත්වයක අවශ්‍යතාවය ඇතිවන්නේ මේ විසිරෙන සමූහය ඒක තැන් කොට තබා ගැනීමටයි. 

සමූහ පැවැත්මක් තිරසාරව පවත්වා ගැනීමට දැඩි අණ කිරීම්, අවවාද කිරීම්, බිය ගැන්වීම්, දඩුවම් පැමිණවීම් ආදී කර්කශ ක්‍රියාවන් උපයෝගී කරගැනීමට නායකත්වයට සිදුවෙයි. මානවයා තුල සහජයෙන්ම තවත් මානවයකුගේ බලපෑමට යටත් වීමේ අකමැත්තක් ඇත. එය මොළයේ ක්‍රියාකාරිත්වය මත ඇතිවන තත්වයකි. මේ නිසා මානව පාලනය සඳහා මිනිස් බලය ඉක්මවා ගිය සුපිරි බලයක අවශ්‍යතාවය පැන නගී. මිනිසාට නොතේරෙන, නොහැඟෙන බලවේගයක ආධාර උපකාර නායකත්වයට ලබා ගැනීමට සිදුවන්නේ මේ පසුතලය තුලයි. 

කඳු, පර්වත, ගංගා, දියඇලි, විශාල වෘක්‍ෂ, ඉර හඳ ආදී තමාට වඩා බෙහෙවින් ප්‍රමාණාත්මකව විශාල හෝ ආලෝකය ගෙන එන වස්තූන් කෙරේ බිය මුසු ගෞරවයක් ඇතිවීම මානවයා තුල 21 වෙනි ශතවර්ෂයේදී පවා දැකිය හැක. ඔවුන් එම වස්තුන්ගෙන් ආරක්ෂාව යැදීම සහ යස ඉසුරු පැතීම අදත් සිදුවේ. එසේ නම් මීට වසර 80,000 කට පෙරද තත්වය එසේම පවතින්නට ඇත. මෙම මානව විශ්වාසයන් ආගම් ලෙස හැඳින්විය නොහැක.  

අදින් වසර 20,000ට පමණ පෙර ශිෂ්ඨාචාරයන් ස්ථාපිත වීමත් සමගම නායකත්වයට සමූහ පරිපාලනය සඳහා ඉහත මානව විශ්වාසයන් ඉතා ප්‍රයෝජනවත් වන්නට ඇත. මේ අනුව සමූහයේ ඇදහීම්වල නාමයෙන් නායකත්වය ඔවුන්ට අණ දෙන්නට ඇත. උදාහරණයක් ලෙස "හපී" නමින් හැඳින්වුන නයිල් නදී දෙවියාගේ නාමයෙන් පාරාවෝ මිසර වැසියන් වගා කල යුතු ආකාරය පිළිබඳව අණ පණත් ඉදිරිපත් කලෝය.  

මෙලෙස ගාම්භීරත්වයට ඔසවන ලද යම් වස්තුවක් හෝ නොපෙනෙන, නොහැඟෙන බලවේගයක් කරන කොටගෙන ශිෂ්ඨාචාරය ස්ථායිකරණය කරගැනීමට ඉවහල්වන සේ ගොඩනගා ගන්නා සංකල්පය අපට ආගමක් ලෙස අර්ථ දැක්විය හැක.  

ඉර හඳ හැරෙන්නට අනෙක් සියළුම භෞතික වස්තූන් කාලයත් සමග හෝ මානවයාගේ ක්‍රියාකාරිත්වය මත වෙනස් වීමට හැකියාව ඇත. මෙය එම වස්තූන්ගේ ගාම්භීරත්වයට අභියෝගයක් විය. මේ නිසා බොහෝ බලවත් ශිෂ්ඨාචාර බිහිවීමත් සමගම ආගමික සංකල්පයේ කේන්ද්‍රය නොපෙනෙන බලවේගයක් බවට පත්වන්නට ඇත. මේ අනුව මැදපෙරදිගින් සොරෝස්ට්‍රියම් (සරතෘශ්‍ය වාදය), දකුණු-මධ්‍යම ආසියාවෙන් හින්දු සහ ඈත පෙරදිගින් ශාමනිස්සම් (shamanism) ආදී ආගම් බිහිවන්නට විය. මේ සියල්ලේම කේන්ද්‍රගත සංකල්පය නොපෙනෙනා බලවේගයකින් (දෙවියෙක් හෝ දෙවිවරු, භූතාත්ම ආදිය) පිහිට පැතීමයි. මුලින්ම පාලකයා නොපෙනෙන බලවේගය සහ පාලිත සමුහය අතර සම්බන්ධිකාරක විය. එනම් රජවරු දේව අණ ලබාගෙන සමුහය මත අණ පනත් පනවන්න විය. පසු කාලයක පාලකයාගේ පහසුව සඳහා මේ සම්බන්ධීකරණය තවත් ස්ථරයකට මාරුවිය. එනම් පුජක පක්ෂයයි. දෙවියන් පුජකයන් සමග ගනුදෙනු කල අතර පුජකයා පාලකයා සමග ගනුදෙනු කළේය. මේ ආකාරයෙන් පාලකයාට මානව සීමා ඉක්මවා ගිය සුපිරි බලයකින් තම යටත් වැසි සමුහය පාලනය කරගත හැකි විය. බොහෝ විට දෙවියන්ගේ අණ වන්නට ඇත්තේ පාලකයාගේ සහ පුජකයාගේ අවශ්‍යතාවයයි. පසු කලෙක ආගම් බවට පත් වූ, ස්වභාව ධර්මයේ ස්වභාවය සොයා ගිය ශාස්තෘවරුන්ගේ දහම් ඉදිරියට ගෙනයාමට පිහිටවා ගත් "පුජ්‍ය" පක්ෂයද මේ පූජකයාගේ කර්තව්‍යයම වෙනත් විවිධ ආකාරයෙන් සිදුකරමින් පවතී. 

මේ නොපෙනෙන සුපිරි බලවේගය - පුජකයා - පාලකයා - පාලිතයා දාමය අද දක්වාම ලෝකයේ 95% රාජ්‍යයන්හි බලපැවැත්වෙයි. වෙනත් විදියකින් පැවසුවහොත් අද දක්වාම ශිෂ්ඨාචාරයේ මූලික මෙහෙයුම් කේන්ද්‍රය ආගමයි. ආගමෙන් ස්වායත්තව, තාර්කිකව සිතමින් ශිෂ්ඨාචාරය පවත්වා ගැනීමට හැකි මට්ටමට මානව බුද්ධිය වර්ධනය වීමට තව වසර 2000ක් වත් යා යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි. 

පසුගිය වසර 200 ක පමණ කාලයක සිට ආගමින් යම් තරමකට ස්වායත්ත වූ බල කේන්ද්‍රයක් බිහිවිය. එය "නීතිය" නම් වෙයි. නමුත් මේ නීතියේ පවා අද දක්වාම ආගමික නෂ්ඨාවශේෂ දක්නට ලැබේ.













Monday, 7 July 2025

මේ වඳුරෝ ටික කාන්තාරේ මරා ගන්න දැම්ම නම් ...


වික්ටර් ඔස්ට්‍රොව්ස්කි යනු මොසාඩ් සංවිධානයේ සේවය කල බුද්ධි නිලධාරියෙකි. ඔහු 1986දී ඊශ්‍රායල් ඔත්තු සේවයෙන් ඉවත්වී කැනඩාවට සංක්‍රමණය කළේය. එහිදී ඔහු ක්ලෙයාර් හෝයි නම් කැනේඩියානු ලේඛිකාව සමග එකතුව තම ජීවිත අත්දැකීම් ඇතුළත් "By Way of Deception" යන කෘතිය ලිව්වේය. එය ලාංකිකයාට වැදගත් වුයේ එම ග්‍රන්ථයෙහි ලංකාව පිළිබඳව කිහිප තැනකම සඳහන්වන බැවිනි.

ඊශ්‍රායලය එකම කාල වකවානුවකදී ශ්‍රී ලංකා රජයේ හමුදාවටත්, LTTE සටන්කරුවන්ටත්  තම රටට අයත් ජුඩියන් කාන්තාරයේ කොටසක සටන් පුහුණුව ලබා දුන්නේය. ඒ එකිනෙකට කිලෝ මීටර් කිහිපයක් ඈතින් වූ කඳවුරු දෙකකදීය. මේ දෙපිරිසම මේ ගැන කිසිවක් නොදැන ඊශ්‍රායලයට ඉහළ ගෙවීමක් කර මේ සේවය ලබාගත්තෝය. එකල ලලිත් ඇතුළත්මුදලි ඇමතිවරයා තම හමුදාවට ඊශ්‍රායලය යුධ අවි පුහුණුව ලබා දෙන බව මාධ්‍ය සාකච්චා වලදී උජාරුවෙන් පැවසීය. 

එක් අවස්ථාවක ඊශ්‍රායෙල් හමුදා ප්‍රධානියෙක් මෙලෙස කියා ඇත. "Why don't we let these two groups of monkeys kill each other in the desert. It could have sapred 1000s of innocent civilians in Sri Lanka" (මේ වඳුරු කණ්ඩායම් දෙක මේ කාන්තරයෙදීම එකිනෙකා මරාගන්න සැලැස්සුවා නම් ලංකාවේ අහිංසක සිවිල් වැසියන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට තිබුණා).

ඒ කතාවේ යම් ගත යුත්තක්ද ඇති බව මගේ හැඟීමයි.  

ඊශ්‍රායල් නිලධාරීන් විසින් ලංකාවට ලබාදෙන ණය සහ ආධාර මුදල්වලින් කොටසක් ඊශ්‍රායලයෙන් අවි ආයුධ ගැනීම සඳහා යෙදවීම පිණිස ලෝක බැංකුව සහ අනෙකුත් donorsලා අන්දන ආකාරය, ලංකාවේ දේශපාලකයන්ට ඉගැන්වූ බව ඔස්ට්‍රොව්ස්කිගේ පොතේ සඳහන් වන තවත් කාරණයකි. 

තවත් වරෙක ලංකාවෙන් පුහුණුවීම් පාඨමාලාවකට පැමිණි රජයේ නිලධාරීන් පිරිසකට ඉතා සංකීර්ණ රේඩාර් උපකරණයක ක්‍රියාකාරිත්වය කියා දුන්නේ වැකියුම් ක්ලිනරයක ඇතුළත පෙන්වීමෙන් බවද ඔස්ට්‍රොව්ස්කි ලියා ඇත. මේ කරණා පිළිබඳව පසුව ඊශ්‍රායලයෙල් නිලධාරීන් ඇතිවෙන්න සිනාසෙමින් විනෝද වූ බව ඔස්ට්‍රොව්ස්කි පවසයි. 

මේ වාර්තාවන එක කරුණකි, බිබිලේ පැණි දොඩම් වලට වූ දේ ගැනත්, ආචාර්ය අමිත් මුනින්ද්‍රදාස (මගේ පාසල් සඟයා) ගේ අවසානය පිළිබඳවත් අපි වෙනත් වෙලාවක කතා කරමු. 

Thursday, 3 July 2025

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මාෆියාව

2025 මැයි මස 24 වනදා ඉන්දීය රහස් පොලිසිය විසින් කර්නාටක ප්‍රාන්තයේ ජාතික වෛද්‍ය කවුන්සිලයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ එම ප්‍රාන්තයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සඳහා පිළිගැනීමේ සහතිකයක් නිකුත්කිරීමට ඉන්දීය රුපියල් මිලියනයක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙනි. මේ වන විට මෙම වෛද්‍ය නිලධාරියා තවත් වෛද්‍ය විද්‍යාල කිහිපයකින් මේ ආකාරයටම ඉන්දීය රුපියල් මිලියන 4.5 පමණ ලබාගෙන ඇති බව සොයාගෙන ඇත. 

මෙය අහඹු සිදුවීමක් නොවේ. පසුගිය දශකය තුලදී ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය වැනි රටවල් කිහිපයකම ජාතික වෛද්‍ය කවුන්සලය නියෝජනය කරන වෛද්‍ය නිලධාරීන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් අල්ලස් හෝ කප්පම් ලබාගැනීම නිසා සිර අඩස්සියට පත්වූ අවස්ථා ගණනාවක් වාර්තාවේ. 

ලෝකයේ දියුණු රටවල් බොහෝමයක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇත. එහෙත් PMC කියූ පමණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙන්නේ රුසියාව, ලැට්වියාව, බංගලාදේශය, නේපාලය, ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය ආදී රටවල් කිහිපයකි. ඊට හේතුව මේ රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර දකුණු ආසියාතික සිසු සිසුවියන් බඳවා ගැනීම සඳහා ඇති තරගයයි.  

මේ රටවල්වල ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට තම දරුවන් යැවීමට තරම් වත්කමක් දකුණු ආසියාතික මධ්‍යම පන්තියේ බහුතරයක් පවුල්වලට නැත. එහෙත් තම ගේදොර ඉඩකඩම් යාන වාහන විකුණා හෝ මේ සඳහා මුදල් එකතු කරගැනීමට සමත් සෑහෙන පිරිසක්ද මේ රටවල ඇත.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෝ එය පවතින රට කුමක් වුවත් මේවායේ හිමිකරුවන් තරඟ කරන්නේ මේ දෙමව්පියන් තම දැලට හසු කරගැනීමටයි. මෙහිදී ඔවුන්ට පවතින මූලික කඩඉම නම් තම වෛද්‍ය විද්‍යාලය කළාපයේ රටවල වෛද්‍ය කවුන්සල මගින් පිළිගැනීමයි. මේ සඳහා එම රටවල ජාතික වෛද්‍ය කවුන්සලය මගින් පත්කළ වෛද්‍ය නිලධාරී කමිටුවක් ඇත. බොහෝ රටවල මෙම කමිටුවල සාමාජිකයන්ට මෙය හොඳ ආදායම් මාර්ගයක් වනවා ඇත. මේ නිසා ඔවුන් වෛද්‍ය කවුන්සිල නිලවරණයට රටේ ප්‍රධාන මැතිවරණ වලට වඩා ඉහල තැනක් දෙන බව පෙනෙන්නට ඇත. 

පසුගිය සමයේ කළාපයේ රටවල ඇති වූ නඩු කටයුතු සහ පුවත්පත් වාර්තා අධ්‍යනය කල විට පැහැදිලිවන්නේ දැන් මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ස්වායත්ත වූ මාෆියාවක් මෙම සංදර්භය පාලනය කරන බවයි. ඔවුන් එක පැත්තකින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ඉහල මුදලක් අයකරයි. ඒ එම වෛද්‍ය විද්‍යාලයේ පැවැත්ම තහවුරු කිරීමට සහ එයට සිසුසිසුවියන් ඇදගැනීම සඳහාය. අනෙක් පැත්තෙන් ඔවුන් වෛද්‍ය කවුන්සිල්වල නිලධාරීන්ට හොඳින් සලකමින් තමන්ට ගෙවීම් කරන වෛද්‍ය විද්‍යාලවල පැවැත්ම තහවුරු කර දෙයි. තම රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති නිසා තම දරුවන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශවලට යවන රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීමට ඉඩ නොතැබීමද මෙම මාෆියාවේම අංගයක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. 

මෙම ව්‍යාපාරයේ තවත් නොපෙනෙන පැත්තක් ඇත. වෛද්‍ය අධ්‍යාපනයට දරුවන් විදේශ ගත කිරීම සඳහා බොහෝ රටවල මගපෙන්වීම් කරන්නේද මේ වෛද්‍ය කවුන්සිල්වල සිටින දොස්තරවරුන්ම බව වාර්තාවේ. මේ සඳහා ඔවුහු වෛද්‍ය විද්‍යාල මාෆියාවේද අනුග්‍රහය සහිතව තරු පහේ හෝටල්වල මගපෙන්වීමේ සමුළු පවත්වති. වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශ ගතවන සෑම දරුවෙකුම ගෙවන මුදලින් 10%-15% පමණ මෙම වෛද්‍යවරුන්ට ලැබෙන බව වාර්තාවෙයි. මෙම වෛද්‍යවරුන්ගේ දරුවන් බොහෝ විට අධ්‍යාපනය ලබන්නේ දියුණු රටවල වෛද්‍ය විද්යලවලයි. ඒ ඔවුන්ට ඒ සඳහා ඇතිවෙන්න මුදල් ලැබෙන බැවිනි. 

මේ ගැන දැන් ඉන්දියාවේ සංකීර්ණ රහස් පොලිස් පරීක්ෂණ මාලාවක් දියත්වෙයි. එහි ප්‍රතිඵල ලැබෙන විට බොහෝ ඈත ඇති අක්මුල්ද මතුවිය හැකි බවට සමහරු සැක පහල කරති.