Friday 11 February 2022

කුරුළු පාඩම

මේ දකුණු අප්‍රිකාවයි. ඉඳහිට ගඟ තරණය කර හිපපොටේමස් කෙනෙක් පාරේ ඇවිදගෙන යෑම මෙහි එතරම්ම අරුමයක් නොවේ. අපේ වත්තේ මේ රටට ආවේනික කුරුල්ලන් බොහෝ දෙනෙක් දැකිය හැක. අප මේ නිවසේ පදිංචියට ආවේ මීට මාස කිහිපයකට පෙරය. ඒ පැමිණි කාලයේ සිටම මම පුරුද්දක් ලෙස සෑමදාම උදෑසන 6 ට පමණ වත්තේ එක් තාපයක් දිගේ කුරුල්ලන්ට ආහාර තැබීම සිදු කරමි. දැන් ඔවුන් ඊට පුරුදු වී ඇත. උදෑසනම තාප්පය අද්දර ගස්වල රැස්වෙන මගේ යහළුවන් නොනවත්වා කිචි බිචි හඬ නගයි. 

මේ කුරුල්ලන්ගේ හැසිරීම් දෙස බලා සිටීම ඉතා සැනසුම්දායකය. ඔවුන් අතර පෙම්වතුන්, මව සහ දරුවන් මෙන්ම තරහකරුවන්ද ඇත. සමගියෙන් කෑම කන අවස්ථා මෙන්ම හොට ෆයිට්, තටු ෆයිට්, කකුල් ෆයිට් සහ ඒරියල් කම්බැට් ලෙස මා සහ මගේ බිරිඳ හඳුන්වන සටන් විද රාශියක්ද නිතර දැකිය හැක. ඉඳහිට එකෙක් දරුණු ලෙස පහර කන විට මම සමාදාන විනිසුරුවෙක් ලෙස මැදිහත්වන අවස්ථාද ඇත. 

මේ කුරුල්ලන් අපට ඉමහත් සතුටක් සහ සැනසුමක් ගෙන දෙන මුත් ඔවුන් සහ අප අතර කිසිඳු පෞද්ගලික බැඳීමක් නැත. ඒ අපට ඔවුන්ව වෙන කර හඳුනාගත නොහැකි බැවිනි. හෙට එන්නේ අද ඇවිත් රණ්ඩුවක් පටලවාගත් කුරුල්ලාමදැයි අපට වැටහීමක් නැත. සමහර විට අප පාරේ සක්මන් කරන විට සිය පුර්ණ ආයු වළඳා හෝ හදිසි අනතුරකින් මිය ගොස් සිටින කුරුල්ලෙකුගේ සිරුරක් අප නෙත ගැටේ. ඒ සමහර විට එදින උදෑසන අපේ වත්තේ ආහාර ගැනීමට පැමිණි කුරුල්ලෙක් විය හැක. එහෙත් කුරුළු මළකුණක් යන හැඟීම හැරුණු කොට මට කිසිම වේදනාවක් ඒ සම්බන්ධයෙන් දැනෙන්නේ නැත. ඒ එම කුරුල්ලා සමග මට කිසිඳු බැඳීමක් නැති බැවිනි. 

වේදනාව උපාදානය මුල් කරගෙන ඇතිවෙයි. කුරුල්ලා කියා දෙන පාඩම එයයි. 


   

2 comments:

  1. this image is a Glossy Starling same group as our Maynah or Selalihiniya .

    ReplyDelete
    Replies
    1. You are correct. They are very common in Johannesburg

      Delete