Wednesday 23 February 2022

ඔබ දෑස් අරින තුරු ඇය බලා සිටින්නීය

"ජනවාරියේ ඔබ කියූ පරිදි රට වැටුනාද?"

කිහිප දෙනෙකු මට inbox කල පණිවිඩයකි මේ. එහි තිබුණේ සමච්චලයකි. 

මම කිසිම විටෙක ජනවාරියේදී ලංකාව ආර්ථික වශයෙන් වැටෙන බවක් නොකියුවෙමි. ඊට හේතුව වැටෙන්න නම් නොවැටුණු රටක් තිබිය යුතු බැවිනි. ලංකාව ආර්ථික වශයෙන් වැටෙන්නේ 2022 ජනවාරියට මාස කිහිපයකට පෙරය. ජනවාරියේ වෙන්න තිබුණේ බහුතරයක් ජනතාව වැටි ඇති රටක සිටින බව අවබෝධ කරගැනීමයි. නමුත් අවාසනාවකට එය සිදු වුයේ නැත. මහා බැංකු අධිපතිගේ සහ වාචාල ඇමතිවරුන් කීපදෙනෙකුගේ ගජබින්න, බහුතරයක් කෙසේ වෙතත් සැලකිය යුතු පිරිසක් වැළඳු බව ඔවුන්ගේ අදහස්වලින් ගම්‍ය විය.

"රටක ආණ්ඩුවක් දෛනික අභ්‍යන්තර කටයුතු පවත්වා ගැනීම සඳහා මුදල් අච්චු ගසයිද, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා ආනයනය සඳහා විදේශවලින් ණය ඉල්ලා සිටියිද, එසේ නම් එම රට ආර්ථික වශයෙන් ඇදවැටී (economically collapsed) ඇත". මේ බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ මිනුම් දණ්ඩකි.

පසුගිය වසර දෙක තුල වූ කාල රේඛාවේ එක් ලක්ෂයකදී ලංකාව ආපසු හැරිය හැකි කඩඉම පසු කළේය. මේ නොහැරවුම් ලක්ෂයට රට ළඟාවන විට මා වැනි නොවැදගත් සොච්චමුන් පමණක් නොව ආර්ථික විද්‍යාව පිළිබඳව හසල දැනුමක් ඇති වියතුන්ද ඇතිවන්න යන අනතුරේ දිග පළල පෙන්වා දුන්නේය. ඒ අවස්ථාවේදී බහුතර ජනතාවක් තම හඬ අවදි කලේ නම් බොහෝ දේ වෙනස් වන්නට ඉඩ තිබුණි. සිදුවිය යුතුව තිබුණේ ආණ්ඩුව තුල පෙරලියක් මිස ආණ්ඩු පෙරලියක් නොවේ. මන්ද විපක්ෂය එවිට තිබුණේ (අද කියා ලොකු වෙනසක් නැත) ඉතා දුබල බෙලහීන තත්වයක නිසාය. නමුත් මෙය වටහා ගැනීමට තරම් බහුතරයක් බුද්ධිමත් නොවීය.

ඉතා කෙටි කාලයක් තුල රුපියල් ට්‍රිලියන ගණනින් මුදල් අච්චු ගසන විට, මාස දෙකෙන් තුනෙන් ගෙවන පදනම යටතේ තවත් දුප්පත් රටවල් වලින් ණය ලබා ගන්නා විට ඔබ සරල යතාර්ථය දැකිය යුතුව තිබුණි. නමුත් ඔබේ දේශපාලන අන්ධතාවය ඔබ දෑසට කඩතුරාවක් විය. 

වරායට එන තෙල් නැවකට මුදල් ගෙවීම අදට වඩා හෙට අපහසු වනු ඇත. මන්ද අන් රටවල් ණයට මුදල් දීමේද සීමාවක් ඇති බැවිනි. 

මුදල් ඇමති සහ මහා බැංකු අධිපති කටින් බතල හිටෙව්වාට අල බහින්නේ නැති බවත්, මසකට සංචාරකයන් විසි තිස් දාහක පැමිණියාය කියා ඩොලර් අර්බුදය විසඳෙන්නේ නැති බවත්, දවස් දෙක තුනක් මහා වැසි වැටුණාය කියා විදුලිබලය ලැබෙන්නේ නැති බවත් ඔබට දැන් වටහුනාට වැඩක් නැත. 

ආර්ථික අගාධයේ පතුලටම වැටුණු රටක් ඉන් ගොඩ ඒමට මාස කිහිපයක්, වසර කිහිපයක්, දශක කිහිපයක් හෝ සියවස් කිහිපයක් ගතවිය හැක. මේ recovery period එක නිර්ණය වන්නේ අනාගතයේ රටට ලැබෙන නායකත්වයේ හැකියාව මතයි. ඔබට දැන් කිරීමට ඇත්තේ මේ නායකත්වය සොයා යාම පමණකි. 



  

No comments:

Post a Comment