Tuesday, 27 August 2024

අඩ සියවසකින් අතීතයට



ඒ මීට වසර 50ටත් පෙර කාලයයි. අපේ ගෙදර සිකුරාදා රෑට වාද පිටියකි. අද මෙන් රූපවාහිනී, Netfix නොතිබුණු ඒ යුගයේ, ලබැඳියන් අතර කතා බහ, වාද විවාද, ගෝරනාඩු ජීවිතය අසිරිමත් කළේය. යක්කල නෑදෑ පිරිස මෙන්ම ඉඳ හිට රඹුක්කන නෑදෑයන්ද කුමක් හෝ කටයුත්තකට කොළඹ පැමිණියහොත් නවතින්නේ දෙහිවල තිබූ අපගේ නිවසේය.  

රෑ නවයට විතර ඇරඹෙන කතාබහ අවසන් වන්නේ පසුදා අළුයම එකට පමණය. මැතිවරණ සමයක නම් මේ සාකච්චා බොහෝ විට දේශපාලනය ගැනමය. කැපුවත් යූඑන්පී කාරයන් වූ අපේ නිවසේ උදවියගේ සිට කැපුවත් නිල් ශ්‍රී ලංකා කාරයන් වූ යක්කල නෑ පිරිස දක්වා විශාල පරාසයක දේශපාලන මතධාරීන් අප අතර විය. එවකට වයස අවුරුදු 6, 7 වූ මට මේ සාකච්චාව දෙවෙනි වුයේ මුවන්පැලැස්සට පමණි. 

චාල්ස් ඩිගෝල්, අයිසන්හොවර්, රිචර්ඩ් නික්සන්ලාගේ සිට ට්‍රොස්කි, ලෙනින්, මාවෝ ආදීන් දක්වා මේ සාකච්චා වලදී පැසසුමටත් ගැරහුමටත් ලක්වූ ජාත්‍යන්තර තලයේ නායකයන් බොහොමයකි. ඒකාධිපතිවාදයේ සිට, ලිබරල් ධනවාදය හරහා සමාජවාදී මෙන්ම කොමියුනිස්ට්වාදී ක්‍රමවේදද යහපත් බවට තර්ක කල අය වූ ඒ වට මේසය මතවාදී යුද්ධයකට සමාන විය. ලාංකික දේශපාලකයන්ගේ පෞද්ගලික ජීවිත රස කර කර වින්දනය කල අවස්ථාද තිබුණේ නැතුවාම නොවේ. නමුත් ඒවා priority discusions නොවීය.

කුඩා කල මගේ මනස බෙහෙවින් පෝෂණය වුයේ මේ සිකුරාදා සාදයෙනි. එය පසු කලෙක ජිවිතය ජයගැනීමට බොහෝ සෙයින් බලපෑවේය.

කාලයත් සමග වැඩිහිටි පරපුර ක්‍රමයෙන් අපෙන් සමුගත් අතර එවකට සිටි තරුණ පරපුර පවුල් පන්සල් වී කාර්යබහුල දිවිපෙවෙතකට ඇතුළු විය. සිකුරාදා සාකච්චා මණ්ඩපය ක්‍රමයෙන් වියැකී ගියේය. 

ඊට දශක දෙකහමාරකට පමණ පසු වැඩිහිටියෙකු ලෙස මට නැවතත් නෑදෑ හිත මිතුරන් සමග ඉඳහිට සංවාදවලට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. ඒ වන විට දේශපාලන සාකච්චා කරලිය සම්පුර්ණයෙන්ම වෙනස් වී තිබුණි. කතාබහෙන් 90% වඩා වෙන් වුයේ එක එකා කරන දුෂණ, භීෂණ, වංචා, සොරකම් ගැන කතා කිරීමටයි. වාද ඇතිවුණේ තමා සහයෝගය දෙන එකාට වඩා අනෙකා සොරකම් කරන බව පසක් කිරීමටයි. මේ වාද අවසානයේ ඉතිරි වුයේ සිත් අමනාපකම් පමණි. කිසිවෙකුටත් එහි ගත හැකි යමක් නොවීය. මේ නිසා මම ක්‍රමයෙන් මේ වාද විවාද වලින් ඈත්වී සිටීමට උත්සහ ගතිමි. 

මට මේ අතීත කතාව මතකයට ආවේ පසුගිය දිනෙක දුරස්ථ සන්නිවේදන වේදිකාවක දුරු ඈත රටවල් පහක සිටින ලාංකිකයන් කිහිප දෙනෙක් සමග ඇති වූ කතාබහක් නිසාය. මාතෘකා තනිකරම දේශපාලනික විය. කතාබහ පැවති පැයක පමණ කාලයකදී අප තනිකරම කතා වුයේ එවන විට ජනගතව තිබූ පක්ෂ ප්‍රතිපත්ති කිහිපයකි. ඒ  NPP එකේ IT ප්‍රතිපත්තිය සහ, විද්‍යා සහ තාක්‍ෂණ ප්‍රතිපත්තියත් මව්බිම ජනතා පක්ෂයේ උපායමාර්ගික සැලැස්මත් පිළිබඳවයි. 

කෙටි කලකින් ලංකාවේ දැවැත්තම බලවේගයක් වූ NPPයත් තවමත් කුඩා පක්ෂයක් වන මව්බිම ජනතා පක්ෂයත් ඉදිරිපත් කර තිබූ සැලසුම් අඩු වැඩි වශයෙන් අප අතර ඇගයීමට ලක්විය. ඒ සමගම විවේචන, අඩුපාඩුකම් පිලිබඳ කතාබහද ඇතිවිය. කතාව අවසානයේ මම බොහෝ දේ උගත්තෙමි. 

අඩ සියවසකට පසු ඒ සුන්දර කුඩා සන්දියට පිය නැගුවා වැනි හැඟීමක් මට ඇතිවිය. 

Thursday, 22 August 2024

තලතා දේවිය නොකියූ කතාව



තලතා අතුකෝරල මහත්මියගේ පාර්ලිමේන්තුවෙන් සමුගැනීමේ කතාවේ පේලි අතර කතාව මට ඇසෙන්නේ මෙලෙසය.

එජාප-සජබ-පොහොට්ටු බේදයකින් තොරව අප බහුතරයක් දුෂණ, භීෂණ, වංචා සඳහා අධිකරණයේ නඩු ඇති අයයි. නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුව කරන තාක්ෂණික දෝෂ නිසා "නිදොස් කොට නිදහස් වූ" අයයි. එබැවින් අප තෙපලගෙන් කෙනෙක් බලයට නොපැමිණියහොත් අපට ජිවිතයේ සැඳෑ සමය එකම කූරු පෙළ දහස් වාරයක් ගණන් කරමින් සිටිය හැක. මම සජබයෙන් යන්නේ එයට දුෂිතයන් එකතු කරගත් නිසා බව කිව්වත් මගේ ගමනාන්තය රනිල් බව එකවරම කිව නොහැක. මන්ද ඔහු ලඟට ගොස් ඇත්තේ මීටත් අන්ත දුෂිතයන් බැවිනි. 

අප අතර සිටින්නන් කෙතරම් දුෂිතයන් වුවත් ලංකාවේ තවමත් සෑහෙන ප්‍රමාණයක් සිටින ඔලමොට්ටල ප්‍රජාව රැවටීමට සමත් මුඛරී බව ඔවුනට ඇත.  මගේ එකම පැතුම රනිල්-සජිත් දෙදෙනාගෙන් එක් අයෙක් ගෞරවනීයව මේ සටනින් ඉවත්වී අප සියළු දෙනාම මේ සැඩ පහරින් එතෙර කිරීමයි. 

එක්ව රජගෙට යනවාද වෙන්ව සිරගෙට යනවාද යන්න ඔබ තීරණය කරන්න. 


             


Sunday, 11 August 2024

දේසපාළුවාට නොඇසෙන ලැයිමේ විලාපය


රජ වෙන්න නම් ලැයිමේ සහය නැතිවම බැරිය. රනිල් කඩිමුඩියේම වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් 1700 කරන ලෙස අණ කරන්නේ මේ නිසා බව කුඩා දරුවෙකුට වුවත් පැහැදිලිය. 

තේ වගාවේ යථාර්තය කුමක්ද? 

අතිශයින් විචලනය වන ජාත්‍යන්තර වෙළඳපොලේ තේ මිල, පාරිසරික සහ දේශගුණික බලපෑම්, අධික පොහොර සහ රසායනික ද්‍රව්‍ය මිල, ප්‍රවාහන සහ ඉන්ධන මිල, බදු බර, දැඩි තරඟකාරී වෙළඳපොල ආදී සාධක ගණනාවක් නිසා කම්කරු වැටුප හිටිහැටියේ රුපියල් 1700 කිරීම අභව්‍ය බව තේ වගාව හා සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාව ඉතා පැහැදිලිව දන්නා කාරණයකි. එය යම් බුද්ධියක් ඇති ඇමතිවරු මෙන්ම ජනාධිපතිවරයාද නොදන්න විදියක් නැත. නමුත් ඒ හැමටම වඩා ඔහුට ජනාධිපතිවරණය ජයගැනීම වැදගත්ය. චන්දය අවසන් වනතෙක් මේ කතාව ඇදි ඇදී යනු ඇත. ඉන්පසු උසාවි තීන්දුවක් පිට දමා එයින් මිදෙනු ඇත.

සජිත්ට මේ අවස්ථාවේ දෛනික වතු වැටුප රුපියල් 1800 කරනවා කීමට නොහැක. මන්ද රුපියල් 1700ට එරෙහිවද නීතිමය උපදෙස් ලැබී ඇති බැවිනි. මේ නිසා ඔහු සුපුරුදු ආකාරයෙන් අන්ත බුද්ධිහීන කතාවක් කියයි. එනම් වතු කම්කරුවා කුඩා වතු හිමියෙක් කරන බවයි. මේ ගැන වැඩිදුර ලිවිය යුතු නැත්තේ මේ කියන දේ කළහොත් මුළු තේ ව්‍යාපාරයම බිමට සමතලාවන බව අන්ත මෝඩයෙකුට හැර අනෙක් සැමට වැටහෙන බැවිනි. ඔහු විසින් වතු කම්කරුවාව ඔසවා තබන සිහිනයද සිහිනයක්ම වනු ඇත. 

වතු කම්කරුවාගේ සත්‍ය අනාගතය කුමක්ද?

මේ වන විට ජපානය, චීනය සහ ඉන්දියාව කෘත්‍රිම බුද්ධිය ඇතුලත් (AI embeded) තේ දළු නෙලන, තේ වගාවට පොහොර සහ අනෙකුත් කෘමි-දිලීර නාශක යොදන යන්ත්‍ර ඉතා සාර්ථකව අත්හදා බලමින් තිබේ. මගේ පැත්තෙන් මම කෙන්යාවේ තේ වතු හිමියන් සමග අප සරසවිය හරහා මෙවැනි යන්ත්‍ර සුත්‍ර හඳුන්වා දීම පිළිබඳව සාකච්චා කරමින් සිටිමි. තේ දල්ලේ පැහැය, වයනය (texture), මෘදු බව, හැඩය ආදී සාධක මෙන්ම තේ ගසේ සහ පසේ ස්වභාවයට අදාළ පරාමිති කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් මෙම කාර්ය සපුරාගැනීම අසීරු නොවේ. 

මේ තාක්ෂණය පැමිණීමත් සමගම වතු කම්කරුවාගේ රැකියාව වියැකී යෑම වලක්වාලිය නොහැක. යථාර්තය එයයි. ලංකාව මෙම තාක්ෂණය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් වෙළඳපොල තරගයෙන් ඉවතට විසිවී කොහොමටත් මුළු තේ අපනයන ව්‍යාපාරයම බිඳ වැටෙයි. 

මේ තත්වයට මුහුණ දීමට වගකිව යුතු දේශපාලන අධිකාරියක් ගත යුත්තේ මේ විහිළුසහගත පියවර නොවෙයි. සියවසකට අධික කාලයක් දේශපාලන නායකත්වය විසින් අමතක කල කාරණයක් නිසා ගොඩනැගුනු දරුණු ගැටළුවක් දැන් ඉස්මතුවෙමින් පවතී. මේ පිළිබඳව වියත් සමුහයක් එකතුවී සාධාරණ වුත් ප්‍රයෝගික වුත් විසඳුමක් තීරණය කල යුතුය. 

සාකච්චාවට භාජනය කල හැකි එක් පියවරක් මම මෙහිදී ඉදිරිපත් කරමි. සාමාන්‍යයෙන් තේ වතු කම්කරුවා දිනකට වැඩකරන්නේ පැය 4-5 වැනි කාලයකි. ඉන්පසු ඔවුන් බොහෝ විට කතාබස් කරමින් නිකරුණේ කාලය කා දමයි. සවස් කාලය වන විට ඔවුන් තමා උපයන ධනයෙන් වැඩි ප්‍රමාණයක් තැබෑරුම්වලට පුද කරයි. මෙය ගැහැණු පිරිමි බේදයකින් තොරව සිදුවෙයි. ඉන්පසු ඔවුන් නිවැසියන් සමගද අසල්වැසියන් සමගද රණ්ඩු දබර වෙමින් සිට නින්දට යයි. මේ ලැයිම් ජීවිතය තුල දරුවෙකුට ජීවත්වීමට සුදුසු යහපත් පරිසරයක් නැත. මේ නිසා ඉතා කෙටි කාලයකින් අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා ඔවුහු තම දෙමව්පියන්ගේ දිවි පෙවෙතටම ඇබ්බැහි වෙන්නාහ. මේ විෂම චක්‍රය කඩා දැමුවහොත් වතු කම්කරු සමාජයේ  උන්නතිය පහසුවෙන් සාක්ෂාත් කරගත හැක. නමුත් එයට දේශපාලකයා බිය වෙයි. 

වතු කම්කරුවන් තම වැඩ මුරයෙන් පසු නොයෙකුත් රැකියා පුහුණුවීම් සඳහා අපට යොමු කල හැකිව තිබුණි. පරිඝනක සහ තොරතුරු තාක්ෂණය, මේසන්, පයිප්ප, වඩු, කාර්මික (මෝටර්රථ, විද්‍යුත් පරිපත, ඉලෙක්ට්‍රොනික උපකරණ අඩිය අලුත්වැඩියාව), වඩු කර්මාන්තය, ස්වයං ව්‍යාපාර ආදී අනන්තවත් කටයුතු සඳහා මේ ප්‍රජාව යොමු කර ඔවුන්ට අමතර අදායමක් ලැබීමේ මංපෙත් සකසන්න තිබුණි. මීට වසර 20කට පෙර මේ දේ පටන් ගත්තා නම් අද බොහෝ වතු කම්කරුවන්ගේ මූලික අදායම් මාර්ගය තේ වත්තෙන් ඈත් වන්නට තිබුණි. නමුත් දේශපාලකයා ඊට අනුබල දුන්නේ නැත. අද වුවත් අප ප්‍රමාද නැත. යහපත් දේශපාලන මගපෙන්වීමක් යටතේ ඊළඟ රොබෝ සහ ස්වයංක්රීයකරණ ශිල්පීන් සහ AI විශේෂඥයන් වතුකරයෙන් බිහිවීමට ඉඩ ඇත. 




වතු කම්කරුවා ඇන්දීම හෙවත් තේ වගාවේ අවසානය -1

දහනව වන සියවසේ අවසාන කාර්තුවේ සිට විසිවන සියවසේ මුල් කාර්තුව තෙක් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් දකුණු ඉන්දීය සම්භවයක් ඇති විශාල පිරිසක් ඔවුන්ගේ යටත් විජිතවල වතු වගාව සඳහා රැගෙන යන ලදී. මේ ඉන්දියානුවන්ට ඉහල වැටුප් සහ ඔවුන් ඉන්දියාවේ එවන විට ගත කල ජිවිතයට වඩා ඉහල තත්වයක් ලබාදීමට සුද්දා පොරොන්දු විය. මේ ඉන්දියානුවන් බොහෝ දෙනෙක් ගමනාන්තය වන තෙක් තමන් යන්නේ කොහෙටදැයි දැන නොසිටියේය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් දකුණු අප්‍රිකාවටත්, පිරිසක් මැලේසියාවටත් තවත් පිරිසක් ලංකාවටත් ගෙන යනු ලැබීය. ගමනාන්තයේදී ඔවුන් බොහෝ දෙනෙකුට ලැබුණේ පොරොන්දු වුවාට වඩා ඉතා අඩු පහසුකම්ය. 

සියවස් එකහමාරකට පසු අද දකුණු අප්‍රිකාවට ගෙන එනු ලැබූ ඉන්දියානුවන්ගේ හතරවන හෝ පස්වන පරම්පරාව අපට හමුවේ. ඔවුහු කිසිවෙක් වතු කම්කරුවෝ නොවෙති. දකුණු අප්‍රිකාවේ සිටින ඉංජිනේරුවන්ගෙන් බහුතරයක් මේ ඉන්දියානු සම්භවය ඇති පුද්ගලයන්ය. ඊට අමතරව වෛද්‍ය සහ නීති වෘත්තියේ යෙදෙන පිරිසද සෑහෙන විශාලය. තවත් සැහෙන පිරිසක් ඉතා ධනවත් වතු හිමියන්ය. 

මැලේසියාවට ගෙන එනු ලැබූ පිරිසද අද දකුණු අප්‍රිකාවේ තරම් ඉහල තැනක් නැතත් සැහෙන හොඳ ජිවන තත්වයක් හොබවයි. මැලේසියාවේ ප්‍රවාහන ව්‍යාපාරය මුළුමනින්ම පහේ මේ ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන් සතුය. රටේ සිටින නීතිවේදියන්ද විශාල ප්‍රමාණයක් ඉන්දියානුවන්ය. ඊට අමතරව රට පුරාම නොයෙකුත් වෘත්තීය ජයග්‍රහණ ලැබූ ඉන්දියානුවන් රාශියක් විසිරී ඇත.

අප අමතක නොකළ යුත්තේ මේ රටවල් දෙකම ඉන්දියානුවන්ට අතිශය අවාසිසහගත වූ ජාතිවාදී වූ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල හෝ තවමත් කරමින් පවතින රටවල් බවයි (දකුණු අප්‍රිකාවේ අපාතේඩ් සහ මැලේසියාවේ භූමිපුත්‍ර).

ගමනාන්තය ලංකාව වූ අවාසනාවන්තයෝ පාරම්පර හතර පහකට පසුවද අද තවමත් ලැයිම් කාමරවල ගාල් වී බහුතර සමාජය පහත් කොට සලකන වතු කම්කරුවන් ලෙසම ජීවත්වෙති. මේ ලැයිම් ජිවිතයට වඩා ලංකාවේ සිර ගෙවල් තුල පහසුකම් ඇති බව වරක් මහාචාර්ය තිලක් රත්නකාර මහතා පවසා තිබුණි. දශක ගණනාවක් ඔවුන් සිංහල පවුල්වල බෝයි-ආයා කමට දරුවන් සපයන යන්ත්‍ර විය. අප පොඩි කාලේ අසල්වැසි බොහෝ නිවෙස්වල පොඩියන් කෙනෙක්, ලෙච්චිමී කෙනෙක් සිටිනවා මතකය. 

ඔවුන්ගෙන් ඉතා සුළුතරයක් දේශපාලනයට සම්බන්ධ වී යස ඉසුරු ලබමින් සිටිති. වතු කම්කරුවාගේ නුගත්කම, දරිද්‍රතාවය, බීමත්කම පවතින තාක්කල් මේ දේශපාලකයන් රජුන් තනන් ලෙස යස ඉසුරින් වැජබෙනු ඇත. 

--------------

(දෙවන කොටස බලාපොරොත්තු වන්න)

Friday, 2 August 2024

හලාල්-කොෂර් සත්ව ඝාතන ක්‍රමවේදයේ විද්‍යාත්මක පස


ඉස්ලාම් ආගමෙහි සඳහන් හලාල් ක්‍රමයට සතුන් මස් පිණිස ඝාතනය කිරීම බොහෝ ලාංකිකයන්ට අමුත්තක් නොවෙයි. මාංශ භක්ෂණය පිළිබඳව දුර අතීතයක් ඇති මැදපෙරදිග ප්‍රදේශයේ බොහෝ ජන සමුහ චිරාත් කාලයක සිට (ඉස්ලාම් ආගම බිහිවීමට වසර දහස් ගණනකට පෙර සිට) මෙම ක්‍රමවේදය භාවිතා කරයි. වර්තමානය දක්වා ඉස්ලාම්, යුදෙව් (කොෂර් ක්‍රමය) සහ සමහර ක්‍රිස්තියානි සමුහ මෙම ක්‍රමවේදය ක්‍රියාවේ යොදවයි. 

මෙහිදී සිදු කෙරෙන්නේ නිරෝගී මාංශ භක්ෂණයට සුදුසු සත්වයෙකුගේ උගුරු දණ්ඩ තියුණු ආයුධයකින් එකවර කපා දැමීමයි (කශේරුකාවට හානි නොවන සේ). එවිට හෘදය වස්තුව මගින් පොම්ප කරන රුධිරය කෙටි කාලයකදී සත්වයාගේ සිරුරෙන් ඉවත්වෙයි. 

මෙතැනදී මට අතුරු කතාවක් මතක් වෙයි. ලංකාවේ බොහෝ ගරාජ් හිමියෝ මේ ක්‍රමවේදය තවත් කටයුත්තකට යොදා ගනිති. ඔබ කිසියම් අලුත්වැඩියාවකට ඔබගේ වාහනය ගරාජයකට ඇතුළු කලේ යයි සිතන්න. ඔබ ඉවත්වනු තුරු සිටින ගරාජ් හිමියා මුලින්ම කරන්නේ වාහනයේ එන්ජිම පණ ගන්වා ඉන්පසු ඉන්ධන බටය ගලවා ටැංකියේ ඇති ඉන්ධන කෑන් එකකට පුරවා ගැනීමයි. එන්ජිම ක්‍රියාත්මක වන විට ඉතා කෙටි කාලයකදී මෙම ඉන්ධන සොරකම කරගත හැක. 

සත්වයෙකු සිරුරේ ඇතිවන කැපුම් තුවාලයකින් මියගිය විට එම සත්වයාගේ සිරුරේ ඉතිරිව ඇති රුධිරය තුල ඉතා වේගයෙන් බැක්ටීරියා වර්ධනය වේ. මේ නිසා ඉතා කෙටි කලකින් සිරුර කුනුවෙයි. මෙය ශීතකරණ නොතිබුණ ඉහල උෂ්ණත්වයකින් හෙබි ප්‍රදේශවල මිනිසුන්ට විශාල ගැටළුවක් විය. සත්වයෙකු හලාල් හෝ කෝෂර් ක්‍රමයට චේදනය කල විට සිරුරෙන් රුධිරය සම්පුර්ණයෙන්ම පාහේ ඉවත්වන නිසා මාංශය සෞඛ්‍යාරක්ෂිතව වැඩි කාලයක් තබා ගත හැකි වෙයි.

මැලේසියාවේදී මා නිරීක්ෂණය කල ආකාරයට සමහර මස් වෙළෙන්දෝ හලාල් ක්‍රමයට සත්වයා ඡේදනය කර රුධිරය ඉවත් වූ පසු සත්වයාගේ සිරුර විශාල දිය බඳුනක ඔබති. එවිට හිස්වූ රුධිර නාල වලට වතුර පිරීම නිසා මාංශවල බර වැඩිවේ. නමුත් මේ නිසා ශිතකරණයෙන් ඉවතට ගත් කල මස් ඉක්මනින් නරක්වන අතර එහි රසයද අඩුවෙයි. ලංකාවේද මස් වෙළෙන්දන් මෙය කරනවාදැයි මම නොදනිමි. 



     



Tuesday, 16 July 2024

අලි එළවන ගැජට් සහ ලංකාවේ පෙරහැර


ගම් වදින සහ දුම්රිය මාර්ග වල ගමන් කරන අලි ඇතුන් එළවා දැමීම සඳහා යොදාගත හැකි ultrasound මෙන්ම infrasound නලා පිලිබඳ පර්යේෂණ දැන් දශක කිහිපයක සිට රටවල් ගණනාවක සිදුකෙරෙමින් පවතී. මේ වන විට මෙවැනි නලා රාශියක් වෙළඳපොලේ ඇත. ඒවා නිපද වූ අරමුණ සාක්ෂාත් කරගැනීමේ සාර්ථකත්වය පිළිබඳව විද්වත් මට්ටමින් නොයෙකුත් වාද විවාද පවතී. මේ ඒ පිළිබඳව නොවේ.

පසුගිය කාලය පුරාම ආගමික උත්සව සඳහා අලි ඇතුන් යොදා ගැනීම පිළිබඳව බරපතල විරෝධයක් ලාංකීය සමාජයේ යම් කොටසකින් මතුවී ඇති බව අප දැක ඇත. මේ විරෝධයට එරෙහිව අදහස් පලකරන පිරිසක්ද ඇත. මේ දෙපිරිස අතර අර්ථවත් සංවාදයක් ඇති නොවී සමාජ මාධ්‍ය අවලාදවලට පමණක් මෙම මාතෘකාව ලඝුවීම අවාසනාවන්ත තත්වයකි. 

මේ තත්වය යටතේ අලි ඇතුන් ආගමික උත්සවවලට යොදාගැනීමට විරෝධය පෑමක් ලෙස යම් අයෙක් පෙරහැරක් වැනි අවස්ථාවක මෙම නලාවක් නාද කල හොත් සිදුවිය හැකි විනාශ අසීමිතය. මෙම නලාවක් අතේ හෝ කුඩා බෑගයක ගෙනයා හැකි අතර එය නාද කරන විට (මේ සඳහා on-off බොත්තමක් ඇත) මිනිස් සවනට එය සංවේදී නොවේ. මේ නිසා එවැනි නලාවක් රැගෙන යාම හෝ නාද කිරීම කිසිවෙකුට නොදැනී කල හැක. 

නිපදවූ අරමුණ ඉටුකරගනිමේදී මෙම බොහෝ නලා උපකරණවල ඇති විශාලතම දුර්වලතාවය සත්වයාට මීටර් 20-30 පමණ ලංවන තෙක් එයින් සැලකිය යුතු බලපෑමක් නොවීමයි. ගම් වදින හෝ දුම්රිය මාර්ග හරහා ගමන් කරන අලි ඇතුන් එලවීමේදී මෙය විශාල අභියෝගයකි. නමුත් පෙරහරක් සම්බන්ධයෙන් දැනට පවතින නැරඹීමේ අවකාශය තුල මෙම දුරට  ඉතා පහසුවෙන් ළඟ විය හැක. 



Sunday, 14 July 2024

අකුණු ආරක්ෂණය: ඔබේ නිවස, කාර්යාලය, කර්මාන්තශාලාව රැකගන්න

ලොව පුරා අකුණු ආරක්ෂණ පද්ධති පිළිබඳව උපදේශන සේවා සපයන, දේශන පවත්වන මා ඒ ගැන ලාංකික ජනතාව දැනුවත් කරනවා වෙනුවට නොදන්නා විකාර ලියනවා යයි චෝදනා කරමින් ලැබෙන පණිවිඩ ගණන වැඩි වෙමින් පවතී. ඒ නිසා වසර ගණනාවකට පසු මේ පිළිබඳව කෙටි ලිපියක් සිංහලෙන් ලිවීමට සිතුවෙමු.

-----------------------------------------

මීට වසර 20ට පමණ පෙර මා ලංකාවේ අකුණු ආරක්ෂණ උපදේශකයෙකු ලෙස සේවා සපයන කාලයේ බැංකු කිහිපයක සහ රක්ෂණ සමාගමක අකුණු අනතුරු වාර්තා ආශ්‍රයෙන් සකස් කල ලංකාවේ අකුණු අනතුරු ගහණත්වය දැක්වෙන සිතියමක් රූපයේ දැක්වෙයි. මෙහිදී අප සැලකිය යුතු විශේෂ කරුණක් නම් අකුණු ඝනත්වය සහ අකුණු අනතුරු ගහණත්වය අතර වෙනසක් තිබීමට හැකි බවයි. මා සේවා සපයන කාලයේ වැඩිම අකුණු අනතුරු වාර්තා වුයේ හොරණ, පිළියන්දල, මාලබේ-අතුරුගිරිය, වැලිවේරිය, කටුනායක, ගම්පහ, රත්මලාන, සහ කොළඹ-කොටහේන ආදී ප්‍රදේශවලිනි. මේ ප්‍රදේශ ආශ්‍රිතව ඇති විශාල ආර්ථික මධ්‍යස්ථාන නිසා අනතුරු සිද්ධීන් අධික වීමට ඇති ඉඩකඩ වැඩි බව මගේ හැඟීමයි. 

අකුණක් යනුවෙන් අප සාමාන්‍යයෙන් හඳුන්වන්නේ වලාකුලක සිට පොළොවට ඉතා කෙටි කාලයකදී ගලන විශාල විද්‍යුත් ධාරාවකි. එය සාමාන්‍යයෙන් ඇම්පියර් 30,000 පමණ වේ. මෙහිදී බොහෝ විට පොලව කරා ඇදී එන්නේ ඍණ ධාරාවකි. කලාතුරකින් ධන ධාරාවක් ඇදී එන අතර එහි විශාලත්වය ඍණ ධාරාවකට වඩා දස ගුණයක් පමණ විශාල විය හැක. එසේම ධාරාව ගලන කාලයද අධිකය. මේ නිසා ධන අකුණු ධාරාවකින් සිදුවිය හැකි හානිය අති විශාලය. සාමාන්‍යයෙන් වර්ෂාව පැමිණීමට පෙර හෝ වර්ෂාවෙන් පසුව පතිත වන අකුණු, ධන අකුණු වීමට ඇති ඉඩකඩ අධිකය. අපේ පැරැණ්නන් කෝප වූ විට "තොපට වැහි නැති හෙණ වදීවා" යැයි පැවසුවේ මේ පිළිබඳව යම් දැනුමක් තිබූ නිසා යයි සිතිය හැක.

අකුණක් යම් වස්තුවකට වැදීමේ වැඩි ඉඩකඩ කරුණු පහක් මත රඳා පවතී. එනම් වස්තුවේ; උස වැඩිවීම, ඉහල ප්‍රදේශයේ තියුණු තුඩු සහ දාර තිබීම, ඉහල සන්නායක අගයක් තිබීම (ලෝහ වැනි), භූගතව ඇති පෘෂ්ඨය පොළොව හා හොඳින් ස්පර්ශව තිබීම (low contact resistance); සහ අවට පසෙහි සන්නායකතාවය ඉහල අගයක තිබීම වේ. 

පුද්ගලයෙකුට අකුණකින් ආරක්ෂාවීම සඳහා කල හැක්කේ අකුණු සහිත කාලගුණයකදී හැකිතාක්, ශක්තිමත් ආවරණ සහිත ගොඩනැගිල්ලක් හෝ අකුණු ආරක්‍ෂිත සැකිල්ලක් (lightning safety shelter) තුලට වී සිටීමයි. අවාසනාවකට එවන් ආවරණයක් නැති ස්ථානයක අකුණු කුණාටුවකට කොටු වුව හොත් දෙපතුල් හැකිතාක් කිට්ටුවෙන් තබාගෙන බිමට පහත්වීම (ඇන තියාගෙන ඉඳගැනීම) සම්මත ක්‍රමවේදයයි. උස ගස් යට හෝ උස් බිමක සිටීම කිසිසේත් නොකළ යුතුය. 

ගොඩනැගිල්ලකට අකුණු අනතුරු සිදුවන ආකාර දෙකකි. ඉන් පළමුවැන්න අකුණු ධාරාව කෙලින්ම ගොඩනැගිල්ල හා සම්බන්ධ වීමයි (through a direct strike or side flash). දෙවැන්න ගොඩනැගිල්ලට සම්බන්ධ වන සේවා රැහැන් පද්ධතියකට (විදුලි, දුරකථන, CCTV කේබල් වැනි) වදින හෝ ඒ අවට වදින අකුණු පහරක් මගින් ඇතිවන අධි වෝල්ටීයතා ස්පන්දයක් ගොඩනැගිල්ලට ඇතුළු වීමයි. මේ අවස්ථා දෙක සඳහා අප වෙන වෙනම ආරක්ෂණ ක්‍රමවේද යොදාගත යුතුය. පළමු ආකාරයේ අකුණු අනතුරු වලක්වා ගැනීමට අප බාහිර අකුණු ආරක්ෂණ පද්ධතියක් සවි කරගත යුතුය. මෙහිදී සිදුකෙරෙන්නේ අකුණක් ගොඩනැගිල්ල දෙසට ඇදී ආවොත් එම අකුණු ධාරාව නිරුපද්‍රිතව භූගත කිරීම සඳහා ලෝහමය පද්ධතියක් ගොඩනැගිල්ලට බාහිරින් සවි කිරීමයි. 

මෙම පද්ධතිය මූලික වශයෙන් air terminal, down conductor, earthing system යන කොටස් තුනකින් සමන්විත වේ. මෙහිදී යොදාගන්නා උපාංග වල මාන (dimensions), යොදාගන්නා ද්‍රව්‍ය, සවිකළ යුතු ස්ථාන සහ ආකාර, ස්ථාපනය කිරීමේ මූලික අවශ්‍යතා, කල යුතු මිනුම් ආදිය ජාත්‍යන්තර හෝ ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට අනුව සිදුකල යුතුය. මේ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය IEC 62305: 1-3 (2010) වේ. මෙම කරුණු පිළිබඳව බොහෝ විට සාමාන්‍ය ඉංජිනේරුවන්ට ඇති දැනුම මදය. එබැවින් අකුණු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමේදී සහ ස්ථාපනය කිරීමේදී ඒ පිළිබඳව හසල දැනුමක් ඇති විශේෂඥකුගෙන් (හෝ ආයතනයකින්) සේවය ලබා ගැනීම වැදගත්ය. 

සේවා රැහැන් හරහා ඇදී එන අකුණු ධාරාව ගොඩනැගිල්ල තුල ඇති උපකරණ වලට හානි පැමිණීම වැලැක්වීම සඳහා surge protection device (SPD) පද්ධතියක් සේවා රැහැන් පද්ධතියේ නොයෙකුත් ස්ථානවල සවිකළ යුතුය. මෙය විදුලි රැහැන් පද්ධතියට සහ අනෙකුත් සේවා රැහැන් පද්ධති වලට වෙන වෙනම සවි කල යුතුය. මෙහිදී සැලකිය යුතු කරුණු රාශියක් ඇති බැවින් ඒ පිළිබඳව ඉතා විස්තරාත්මක කරුණු අඩංගු IEC 62305:4 (2010) ජාත්‍යන්තර ප්‍රමිතිය පිළිබඳව මනා අවබෝධයක් ඇති ඉංජිනේරුවෙක් හෝ ආයතනයක් උපදේශනය සඳහා තෝරා ගැනීම වැදගත්ය. 

අධිබලැති විදුලි රැහැන් පද්ධති (HV/MV systems), සූර්ය කෝෂ පද්ධති, සුළං බලශක්ති පද්ධති, ඉතා උස් ගොඩනැගිලි, යුද ආරක්ෂක පද්ධති (defence systems), විදුලි දුම්රිය පද්ධති සහ අධි අවදානම් ස්ථාපනයන් (ඉන්ධන සහ ගෑස්, රසායනික ගබඩා, පරමාණුක බලාගාර, පුපුරණ ද්‍රව්‍ය සැකසුම් ආයතන ආදිය) අකුණු ආරක්ෂණය කිරීම සඳහා වෙන වෙනම ජාත්‍යන්තර ප්‍රමිතීන් පවතී. 

මේ විෂය සාමාන්‍යයෙන් මම උගන්වන්නේ දින තුනක හෝ පහක වැඩමුළුවක් ලෙසයි. ඒ නිසා කෙටි ලිපියකින් සියලු කරුණු සම්පීඩනය කිරීම උගහටය. ඔබට ගැටළු ඇත්නම් මම කාල වේලා ලැබෙන විදියට ඒවාට පිළිතුරු සපයන්නම්.