මා පළමු සහ අවසන් වරට ලංකාවේ දේශපාලකයෙකු වෙනුවෙන් සමාජ මාධ්‍ය තුල කතා කලේ නාගානන්ද මහතා වෙනුවෙනි. ඒ සංජය ඇල්විටිගල සහෝදරයාගේ ඇරයුමක් පරිදිය. එතෙක් මෙතක් මා නාගනන්ද මහතා සමග කතා කර ඇත්තේ එකම එක වතාවකි. එයද විනාඩි කිහිපයක දුරකථන ඇමතුමකට සීමා විය. මේ අනුව මම ඔහුට සහයෝගය දීමට තීරණය කලේ තනිකරම ඔහු ඉදිරිපත්කල අදහස් හැදෑරීමෙන් පමණි. මම අදටත් ඒ පිළිබඳව සතුටු වෙමි.
නාගානන්ද මහතාට සහයෝගය පළකරමින් මා එළිදැක්වූ පළමු වීඩියෝවෙන් පසු බොහෝ දෙනෙකු මට දිගට හරහට අපහාස උපහාස කරන්න විය. තම ජිවිත කාලය පුරාම දේශපාලකයා නමින් සුදු රෙදි පොරවා ගත් සොරුන්, මංකොල්ලකාරයන්, වංචනිකයන් සහ තක්කඩින්ට රැවටුණු, අදටත් රැවටෙන පිරිස්, මා හොරෙකුට හසුවී ඇති බව පැවසීය. ඔවුන් බොහෝ දෙනෙක් නාගානන්ද මහතා ගැන අසා තිබුණේද ඊට දින කිහිපයකට පෙරයි. දහනව වන ශතවර්ෂයේදී වහල් බවින් මිදීමට ඇමරිකාවේ වහලුන් තුල වූ දැඩි අකමැත්ත පිළිබඳව මා බොහෝ දේ කියවා තිබුණි. එහෙත් ඒවායේ නිරවද්‍යතාවය පිළිබඳව මට පැහැදිලි සහතිකයක් ලැබුණේ මේ කාලයේදීය.
නාගානන්ද මහතාගේ දේශපාලන සංක්‍රාන්තිය සහ ඉන් පසු සිදු වූ සියළුම දේ මා දකින්නේ බෙහෙවින් ධනාත්මකවය. ඔහුට මැතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි වීම සහ ගෝඨාභය රාජපක්ෂ අභියෝගයකින් තොරව ජය ගැනීමද දිගු කාලීනව ජනතාව ලැබූ ජයග්‍රහණයන්ය. නොඑසේ නම් ගෝඨාභය අදටත් වීරයෙකි. වෙන කවුරු බලයට පත් වුනත් ගෝඨාභයව බලයට ගෙන ඒමේ සිහිනය ජනතාව අතහරින්නේ නැත. මේ අනුව ඔවුන්ට සත්‍යාවබෝධය තව දශකයකින් පමණ පිටුපසට යාමට ඉඩ තිබුණි.
නාගනන්ද මහතා විසින් සිදුකල සමාජ පරිවර්තනය තවමත් බොහෝ දෙනෙකුට නොපෙනේ. මා දන්නා ඉතිහාසයේ පුද්ගලයෙකු හෝ පක්ෂයක් වෙනුවට වැඩ පිළිවෙලක් කරලියට නැංවුයේ ඔහුය.
ඔහු නීතිවේදියකු බැවින් ඔහුගේ දැනුම සහ අවධානය, "නීතිය" යන සංකල්පයෙන් ඔබ්බට නොයන බවට ඔහු වටා රොක් වුනු පිරිස් අතරින්ද සංවාදයක් මතුවිය. මේ පිළිබඳව මටද ගැටළු තිබුණි.
පසු කලෙක මම මේ පිළිබඳව ස්වයං-විග්‍රහයක නිරත වුනෙමි.
මා ඉතා ධනවත් රටවල සිට ඉතාම දුගී රටවල් දක්වා සංචාරය කර ඇති බැවින් මට රටක ඇති පහසුකම් සහ යටිතල ව්‍යහය පිළිබඳව හොඳ අවබෝධයක් ඇත. මා දකින ආකාරයට වැඩි දියුණු කිරීමට බොහෝ කාරණා තිබුනත් ලංකාවේ යහපත් පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන පද්ධතියක්, රෝහල් පද්ධතියක්, මහා මාර්ග පද්ධතියක්, සිවිල් සේවා යටිතල පහසුකම් පද්ධතියක් මෙන්ම අද වන විට වැදගත්වන අන්තර් ජාල සහ සංනිවේදන පද්ධතියක්ද ඇත.
එසේ නම් ලංකාවේ ඇත්තටම ඇති ගැටළු මොනවාද? මට පෙනෙන්නේ කාරණා දෙකකි.
අධ්‍යාපන ක්‍රමවේදය ඉහල සිට පහලටම ගැටළු සහගතය
මුළු රටම වෙලාගත් දුෂණය, භිෂණය සහ වංචාව සමාජයේ ගැඹුරටම ඔඩු දුවා ඇත
පාසැල් සහ සරසවි යනු අධ්‍යාපනය නොවේ. ඒවා අධ්‍යාපනයට අවශ්‍ය යටිතල පහසුකම්ය. අධ්‍යාපනය යනු පුරවැසියෙකුගේ දැනුම, විශ්ලේෂණ හැකියාව, දක්ෂතා සහ යහපත් පැවැත්ම වැඩි දියුණු කිරීමෙහිලා පහසුකම් සැපයීමයි. අධ්‍යාපනයේ මූලික පරමාර්ථය ලොවට වැඩදායක පුරවැසියෙකු බිහි කිරීමයි. අපේ රටේ ඇති "තොරතුරු රැස් කිරීම සහ වමාර දැමීම" මත පදනම් වූ ක්‍රමවේදය අධ්‍යාපනය ලෙස හැඳින්වීමට හැකි දැයි ප්‍රශ්න කිරීමට කාලය උදාවී ඇත.
රටේ පවතින ගැටළු රට තුල විසඳා ගැනීමට තරම් හැකියාවක් ඇති පුරවැසියන් බිහි නොවීම, යහපත් තීරණ ගැනීමට නොහැකි අසතුටින් අසහනයෙන් පෙලෙන මානසික රෝගීන් බිහිවීම, සහ මේ අවැඩදායක ඵල ඊළඟ පරම්පරාවලට සම්ප්‍රේෂණය වීම අධ්‍යාපනය අයහපත්වීමේ ප්‍රතිඵලය.
ඊළඟ කාරණයට මූලිකම හේතුව රටේ නීතිය වල් වැදීමයි. නීතිය යනු උසාවියේදී අප දකින ක්‍රියාන්විතය පමණක් නොවේ. නීති සහ ප්‍රතිපත්ති බිහිකිරීමේ යාන්ත්‍රණය, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව, යුක්තිය පසිදලීමේ ක්‍රමවේදය, මෙන්ම සමාජය තුල පුරවැසියාගේ යහපත් හැසිරීමද නීතිය යන විෂයයට අදාළ වෙයි.
රටක නීතිය බිඳ වැටෙන විට මුළු සමාජයම බිඳ වැටෙයි. සොරකම, භීෂණය සහ වංචාව සමාජයේ සෑම අහු මුල්ලකටම පැතිරෙයි. මෙහි ප්‍රතිඵලය සමස්ත සමාජ සංස්ථාවම කඩා වැටීමයි. එය අධ්‍යාපනයටද බලපායි.
පාසල් සහ සරසවි පද්ධතියක් තිබුණාට අධ්‍යාපනය බිඳ වැටෙයි. මහාමාර්ග පද්ධතියක් තිබුනාට ප්‍රවාහනය බිඳ වැටෙයි, රෝහල් පද්ධතියක් තිබුණාට සෞඛ්‍ය සේවය කඩා වැටෙයි. සිවිල් සේවා යටිතල පහසුකම් පද්ධතියක් තිබුනාට සිවිල් සේවය කඩා වැටෙයි, අන්තර්ජාල සහ සංනිවේදන පද්ධතියක් තිබුනාට එහි සේවය සාමාන්‍ය ජනතාවට ලබාගත නොහැකි තත්වයක් උදා වෙයි. අද ලංකාව පත්ව ඇත්තේ එතැනටයි.
මේ අනුව නගානන්ද මහතාගේ අවධානයෙහි වරදක් නොමැති බව මට පෙනෙයි. නීතිය යලි ස්ථාපිත කිරීම තුලින් රටේ බොහෝ අංශ පුනරුත්තාපනය වෙයි. එය සමාජය ගොඩනැගීමේ අඩිතාලමයි. ඊට අමතරව අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීමද වැදගත් කාර්යභාරයකි. එතුමා ඒ පිළිබඳවද කතා කල බව මගේ මතකයි.
මෙතැන් සිට කොයි බටද?
මේ වන විට රට තුල විශාල කඩා වැටීමක් ඇත. බොහෝ දෙනෙකු මෙහිදී දකින්නේ ආර්ථික කඩා වැටීමයි. නමුත් ඊට වඩා බොහෝ සෙයින් දරුණු අවපාත කිහිපයක් ඇත. සිවිල් පරිපාලනය දුර්වල වීම, නීතියේ ආධිපත්‍ය පිරිහීම සහ සමාජයේ තීරණ ගැනීමේ යාන්ත්‍රණය ආගම් නායකයන් අතට පත්වීම මා දකින ආකාරයට වඩාත් අහිතකර තත්වයන්ය. තවමත් මේ ආයතන කඩා වැටි නැත (එසේ වූ විට රටම අසමත්වෙයි), එහෙත් එසේ වීමේ දැඩි අවදානමක් ඇත.
නාගනන්ද මහතා දුර දක්නා නුවණින් යුතු තම වෘත්තියේ හසල අත්දැකීම් ඇති පුද්ගලයෙකි. එහෙත් රාජ්‍ය පාලනය සඳහා මීට වඩා අති පුළුල් පරාසයක වූ යාන්ත්‍රණයක් සහ දේශපාලන ව්‍යක්තභාවයක් අවශ්‍යවේ. එය ඇති තැන්වල වෙනත් බොහෝ දුර්වලතා පවතී. එහෙත් අප අකමැති පුද්ගලයන් සහ පක්ෂ සමග පවා යම් මැදහත් ස්ථාවරයකට පැමිණීම දේශපාලනයේදී නොකරම බැරි දෙයකි. නමුත් එහි ඇති වැදගත්ම කරුණ අපගේ මුඛ්‍ය පරමාර්ථය ගනුදෙනුවේ අංගයක් නොකරගනිමයි. මේ අනුව එකතුවන සියලුම දෙනා නීතියේ ආධිපත්‍ය ස්ථාවර කල යුතු බව අනිවාර්යයෙන් පිළිගත යුතුය. මේ සඳහා මේ එකතුවන සියුලු දෙනාගේ මෑත ඉතිහාසයේ ක්‍රියාකාරකම් සැලකිල්ලට ගත යුතුව ඇත.