Tuesday, 30 June 2026

දකුණු අප්‍රිකාවෙන් ඇහෙන අපිට පුරුදු කතාවක්


අද (ජූනි 30 වෙනිදා) දකුණු අප්‍රිකාව පුරා මහා විරෝධතාවයකි. ඒ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් රටේ රැඳී සිටින විදේශිකයන් පලවා හරිම සඳහාය. දකුණු අප්‍රිකානුවන් විදේශිකයන් (foriegners) ලෙස හඳුන්වන්නේ ඒ අවට සිම්බාබ්වේ, සැම්බියා, මොසැම්බික්, උගන්ඩා, නයිජීරියා ආදී රටවලින් පැමිණෙන පුද්ගලයන්ය.

90 දශකයේ මැද භාගය වන තෙක් දකුණු අප්‍රිකාව යනු සංවර්ධිත රටකි. එය ලෝකයේ වැඩිම ස්වභාවික සම්පත් (රන්, රිදී, ඇලුමිනියම්, තඹ, ප්ලැටිනම්, දියමන්ති, ගල් අඟුරු) ඇති රටවල් වලින් එකකි. සුද්දන්ගේ අපාතේඩ් පාලන සමයේ රට ඉහල සංවර්ධනයක් ලබා ගත්තත් බහුතරය වූ කළු මිනිසුන්ට ලැබුනේ ඉතා පහත් සැලකීමකි. 

සුදු පාලනය පෙරලා කළු මිනිසුන් අතට පාලනය හුවමාරු වීමත් සමගම බොහෝ දෙනා තුල සුබවාදී අදහස් පහල වන්න විය. නෙල්සන් මැන්ඩෙලාගේ පාලනය යටතේ 2000 වසර පමණ වනතෙක් මේ සුබවාදී හැඟීම ක්‍රමයෙන් සාක්ෂාත් වන බව පෙනුනි. නමුත් ඔහුගෙන් පසු පැමිණි කළු නායකයන් විශේෂයෙන්ම ජේකොබ් සූමා යටතේ රට වේගයෙන් පරිහානියට පත් විය. මේ රටේ දේශපාලකයන්ගේ දුෂණ වංචා සැසඳීමේදී ලාංකික අන්ත දුෂිත දේශපලකයාද සුදු චරිතයකි. වසර 10-15 තුල සුර පුරයක් හා සමාන වූ ජොහැන්නස්බර්ග් වැනි නගර අපායවල් බවට පත්විය. විරැකියාව 40% පමණ දක්වා වැඩිවිය. රටේ යටිතල පහසුකම් ඉතා දුර්වල තත්වයට පත්විය.

දේශපාලන සාක්ෂරතාවය අතින් ඉතා පහල මට්ටමක සිටින දකුණු අප්‍රිකානු බහුතර ජනතාවට මේ දුෂිත දේශපාලකයන් පෙන්වුයේ වෙනමම චිත්‍රයකි. ඔවුන්ගේ අභාග්‍යට හේතුව ලෙස විදේශිකයන් තම රැකියාවල් අත්පත් කරගැනීම බව ජනතාවට ඔවුන් ඒත්තු ගැන්වීය. ඔවුන් වෙත පැමිණීමට තිබූ මහජන විරෝධය ඉතා පහසුවෙන් රටේ සිටි අනෙකුත් කළු ජාතික ශ්‍රමිකයන් වෙත හරවා යැවීමට ඔවුන්ට හැකිවිය.

අපි අපේ ගැටළුවලට මුල දෙමළුන් යයිද, දෙමළුන් ඔවුන්ගේ ගැටලුවලට හේතුව සිංහලයන් යයිද කියා මරාගත්තෙමු.

No comments:

Post a Comment