මීට වසර දෙකකකට පමණ පෙර මට ලංඩන් නුවරදී අපූරු තරුණයෙක් හමුවිය. රාජකාරි කටයුත්තකට සහභාගී වන බැවින් මගේ නවාතැන් පහසුකම් සඳහා සියළුම බරපැන් දැරුවේ මා සේවය කරන සරසවියයි. මේ නිසා මා නැවතී සිටි හෝටලය තරමක් මිළ අධික වුවත් එහි බර මට දැනුනේ නැත.
මා එහි සිටි තෙවැනි දින උදෑසන ආහාරයට යන විට භෝජන ශාලාව සෑහෙන දුරට පිරී පැවති අතර ඉතිරිව තිබූ සිව් දෙනෙකුට අසුන් ගත හැකි මේසයක මම හිදගත්තෙමි. ටික වෙලාවකින් ඉන්දීය පෙනුමැති කඩවසම් පුද්ගලයෙක් මගේ මේසය අසල වටපිට බලමින් සිටින අයුරු පෙනුනි. ඔහු ඇඳ සිටි දුඹුරු පැහැති Gucci leather ජැකට්ටුව ඔහු ධනවත් පුද්ගලයකු බව කියා පෑවේය. ශාලාව ඒ වන විටත් පිරී තිබුන බැවින් ඔහුට මා ඉදිරියේ ඇති අසුනක ඉඳගන්නා ලෙස මම ආරාධනාපුර්වකව සඥා කලෙමි.
අප දෙදෙනාම නිහඩව ආහාර අනුභව කල අතර ටික වෙලාවකින් ඔහුගේ ජංගම දුරකතනය නාද වන්න විය. මා මවිතයට පත්කරමින් ඔහු සිංහලෙන් කතා කරන්න විය. එය ව්‍යාපාරික ඇමතුමක් යයි මට හැගුනු අතර ඔහු ව්‍යක්ත සිංහල භාෂාවෙන් සංවාදයේ යෙදුනි.
"ඔබ ලංකාවෙන් නේද?" ඔහුගේ සංවාදය අවසන් වූ පසු මම ඇසුවෙමි.
ඔහුද තරමක මවිතයට පත්වී මා පිළිබඳව විමසීය.
"මම දකුණු අප්‍රිකාවෙන් නමුත් මගේ මව් බිම ලංකාව" මම ඔහුට කීවෙමි. ඉතා කෙටි වෙලාවකින් අපි සුහඳ පිළිසඳරකට පිලිපන්නෙමු.
ඔහු පදිංචිව සිටින්නේ කොල්ලුපිටියේ apartment එකකය. එය ප්‍රසිද්ධ අති සුඛෝපභෝගී මහල් සංකීර්ණයකි. ඔහු ඇවිත් තිබුනේ ලංඩන් බැලීමට යයි පැවසීය. එය ඔහුගේ ප්‍රථම එංගලන්ත සංචාරය විය. ඔහුගේ ලංකාව සහ ලෝකය පිළිබඳව දැනීම විශිෂ්ඨ විය. දැනුමට අමතරව තම අදහස් සහ ආකල්ප අනුවත් ඔහු ඉතා සොඳුරු මිනිසෙකු බව මට වැටහුණි.
ඉතා කෙටි කලකින් බොහෝ සේ ලෙන්ගතු වූ බවින් මම සාමාන්‍යයෙන් පුරුද්දක් ලෙස ආගන්තුකයෙකුගෙන් නොඅසන පැනය ඔහුගෙන් ඇසුවෙමි.
"ඔබගේ ජීවන වෘත්තීය කුමක්ද?"
සිනහවකින් මුව සරසා ගත් මගේ මිතුරා ටික වෙලාවක් මා දෙස බලා සිටියේය.
"මම ලේඛකයන්ට ලිපි ලියා දෙනවා, ගීත රචකයන්ට ගීත ලියා දෙනවා, තිර පිටපත් රචකයන්ට තිර පිටපත් ලියා දෙනවා, කථිකයන්ට කතා ලියා දෙනවා". ඔහු එය කියූ රිද්මයට මටද හිනා පහළවිය.
"ඔබ ඔය කලා නිර්මාණ ලබා දෙන උදවිය කවුද?" නොඇසිය යුතු ප්‍රශ්නයක් මගෙන් පිට විය.
"ඒක නම් කියන්න බැහැ. මගේ සෑම ගනුදෙනුකරුවෙකු සමගම පවතින ගිවිසුම එයයි. ඔවුන් මුදල් ගෙවන්නේ නිර්මාණයටම නොවේ, එහි නිර්මාණකරු සහ නිර්මාණය ලබාගන්නා පුද්ගලයා පිළිබඳව ඉඟියකින් හෝ කිසිවෙකුටත් නොපවසන බවට වන විශ්වාසයටයි."
ඔහුගේ බොහෝ ගනුදෙනු කරුවන් ඔහුට කිසිදාක මුණගැසී නැත. සියල්ල සිදුවන්නේ අන්තර් ජාලය හෝ දුරකත සංවාද හරහාය.
"ඔබට ඔබගේ නිර්මාණ වෙනත් අයෙකුගේ නමින් ප්‍රසිද්ධ වෙනවා දකින විට කණගාටුවක් ඇතිවන්නේ නැද්ද?"
"අපොයි නැහැ. මට ඒ නිර්මාණ සමග කිසිම බැඳීමක් නැහැ. ඒවා මට තවත් නිෂ්පාදනයක් පමණයි. මගේ ගනුදෙනුකරු එයින් තෘප්තිමත් වෙනවා වගේම මට ලැබෙන සැලකිය යුතු මුදලින් මම ඉතා සැහැල්ලු සුඛෝපබෝගී ජිවිතයක් ගත කරනවා.
එදින ආහාරයෙන් පසු අපි එකිනෙකාට සුබපතා සමුගත්තෙමු. මම පසුදින දකුණු අප්‍රිකාව බලා පැමිණුන අතර ඔහු එදිනම සවස ලංකාව බලා පියාසර කරන බව කීය. අපි දුරකථන අංක හෝ ඊමේල් හුවමාරු කරගත්තේ නැත. ඒ තබා ඔහු පැවසුවේ තමන්ගේ සැබෑ නම දැයි යන්නවත් මම නොදනිමි.

No comments:
Post a Comment