ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සිදුවන විට මට යන්තම් අවුරුදු 5 කි.
එවකට අපේ මාමා එස් ද එස් ජයසිංහ මහතාගේ සමීප ආධාරකරුවෙක් මෙන්ම දෙහිවල ගල්කිස්ස එජාප ප්‍රධාන සංවිධායකයෙක් විය. අපිට බොහෝ සෙයින් කිට්ටුවන්ත යක්කල-ගම්පහ ඥාති පිරිස උග්‍ර ශ්‍රීලනිප පාක්ෂිකයන් විය. මේ නිසා අපේ නිවසත් මගේ මිත්තණියගේ නිවසත් ඉතා උණුසුම් දේශපාලන සාකච්චා මණ්ඩප විය. මීට අමතරව මට අයියා වන ඥාතීන් කිහිප දෙනෙක් ජේවීපී ක්‍රියාකාරීන් විය. අපේ ආච්චි ඔවුන් හැඳින්වුයේ චේගුවේරාකාරයන් කියාය. මේ සියල්ලෝම අපේ නිවෙස්වල නිතර හමුවිය.
ප්‍රේමවතී ඝාතනය ජනතා සිත් බෙහෙවින් සසල කළේය. නමුත් එවකට ප්‍රධාන විපක්ෂය වූ එජාපයෙන් ඒ පිළිබඳව මහා හඬක් නැගුනේ නැත. 1971-1976 අතරතුර කාලය සාපේක්ෂව නිහඬ විපක්ෂයක් පැවති දේශපාලන යුගයක් විය. ගැටුම් ඇතිවුයේ හවුල් ආණ්ඩුවේ පක්‍ෂ අතරමය. දැඩි සංවෘත්ත ආර්ථික ක්‍රමවේදය නිසා ජනතාව පීඩනයට පත් වූ අතර ඔවුන් තුල ආණ්ඩුව කෙරේ අප්‍රසාදයක් ගොඩනැගෙමින් තිබුණි. මතුපිටින් මහා ඝෝෂා, විරෝධතා නොකලාට එජාපය බිම් මට්ටමේදී ඉතා තදින් ක්‍රියාත්මක විය. මගේ මාමලා කුමක් හෝ හේතුවක් සොයාගෙන ප්‍රදේශයේ නිවාසවලට නිතර ගියෝය. එය වෙසක් දන්සැලක්, ශ්‍රමදානයක්, පන්සලේ පිංකමක්, මරණාධාර සමිතියක කටයුත්තක් වැනි ඕනෑම දෙයක් ගැන කතාකිරීම සඳහාය. මේ සුහද ගමන්වලදී ඔවුන් වක්‍රාකාරයෙන් ආණ්ඩුව විවේචනය කිරීමටත් එජාපයේ හොඳ කීමටත් නොපැකිලුනේය.
වීරසුරිය ඝාතනය සිදුවන විට මට අවුරුදු 10ක් පිරී තිබුණි. එතැන් සිට මහා මැතිවරණයට පැවතියේ අවුරුද්දකටත් අඩු කාලයකි. එතෙක් නිද්‍රශීලීව සිටි එජාපය එක්වරම නැගිට්ටේය. රජයට ලොකු සම්බන්ධයක් නොතිබුණු ප්‍රේමවතී මනම්පේරි ඝාතනයත් එජාපයට කිසිඳු අදාළත්වයක් නොතිබුණු වීරසුරිය ඝාතනයත් එජාප වේදිකාවේ ගිගුම් දෙන්න විය. ඒවා අසා සිටින්නෙකුට මනසින් මැවී පෙනුනේ එදා රටේ අගමැතිනිය තුවක්කුවක් රැගෙන ගොස් මේ ඝාතන සිදුකලා වැනි හැඟීමකි.
ඊළඟට එජාපය ඇදගත්තේ එවන විට රටේ තිබූ දැවෙන ප්‍රශ්ණයක් වූ ආහාර හිඟයයි. එජාප වේදිකාවල බොම්බයි ළූණු, ඇපල්, මිදි, උම්බලකඩ පෙන්නමින් වේදිකාව පහල කලින් පුහුණු කර සිටි පොඩි දරුවෙකුගෙන් ඒ මොනවාදැයි අසනු නිතර දැකිය හැකි විය. පොඩි එකා ළූණු ගෙඩියට රබර් බෝලයක්, කුරුම්බැට්ටියක් ආදී වශයෙන් කියයි. වරක් ඕඩර් එක පටලවාගත් පොඩි එකෙක් ඇපල් ගෙඩියට කරෝල කූරියෙක් යයි කිව්වේ සියල්ලෝම සිනා ගස්සමිනි (එය උම්බලකඩය සඳහා වන පිළිතුරයි).
ඊලග මාස කිහිපයෙහි වැඩ වර්ජනයක්, මහා පරිමාණයේ විරෝධතාවයක්, උද්ඝෝෂණයක්, පෙළපාලියක්, පා ගමනක් නොතිබුණ දවසක් නැති තරම්ය. එජාපය තම උපරිම ශක්තිය යොදාගෙන අවසන් මාස කිහිපය ඇද්දේය.
එහි ප්‍රතිඵල දැන් ඉතිහාසයට එක්වී බොහෝ කාලය. එතෙක් මෙතෙක් ආණ්ඩුවක් චන්දයක් දිනූ වැඩිම ආසන ගණන වූ හයෙන් පහක බලය ලබා ගෙන ජේ ආර් අගමැති විය.
ඊළඟට අපි මෙවැනි විපක්ෂයක් දුටුවේ චන්ද්‍රිකා මැතිණිය ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයේ නායකත්වය ගැනීමත් සමගයි. ආර් ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පසු වසර දෙකක් පමණ ඇය සාපේක්ෂ නිහඬතාවයකින් බිම් මට්ටමේ සංවිධානයන් සිදුකර 1993 බස්නාහිර පළාත්සභා චන්දයේ සිට 1994 ජනාධිපතිවරණය දක්වා කාලය තුල තම උපරිම ශක්තිය යෙදෙව්වාය. විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතාද 2002-2004 කාලය තුල ජාතික මට්ටමේ විරෝධතා පසෙක තබා තම පක්ෂය තුලද බිම් මට්ටමේද ප්‍රතිසංවිධාන කටයුතු වලට මුල් තැන දුන්නේ මැතිවරණය සඳහා විශාල ශක්තියක් ඉතුරුකරගනිමිනි.

No comments:
Post a Comment