Tuesday 1 March 2022

රංජන් රාමනායක සිහි ගන්වන අතීතය


මේ වසර 25කට පෙර කතාවකි. අප පශ්චාත් උපාධිය හදාරමින් සිටිය කාලයයි. ස්වීඩනයේ සිට මහාචාර්යවරයෙක් කෙටි කලකට ලංකාවට පැමිණියේ කොළඹ සරසවියේ සිසුන්ට පර්යේෂණ සඳහා උදව් කිරීමටය. ඔහුට කොළඹ සරසවිය මගින් නවාතැන් පහසුකම් සපයා දුනි. මේ සඳහා මූලිකත්වය ගත්තේ කොළඹ සරසවියේ කථිකාචාර්යවරයෙකි. මේ කටයුතුවලට උදව් කිරීමට එදා පශ්චාත් උපාධිය හදාරමින් සිටි සිසුවෙක් ඉදිරිපත්විය.

ස්වීඩනයේ සිට පැමිණි මහාචාර්යවරයාගේ බිරිඳ නවාතැනෙහි වැසිකිළි පහසුකම් පිළිබඳව නොසතුටින් සිට ඇත. මේ නිසා අර සිසුවා හමුවුන විට තම කුළුපඟ කම නිසාම මහාචාර්යවරයා "මගේ බිරිඳ කියනවා මෙතන ටොයිලට් නම් අන්තිමයි කියල" යයි ඉතා සැහැල්ලුවෙන් කියා ඇත. 

සිසුවා හැරෙන තැපෑලෙන් ගොස් කථිකාචාර්යවරයාට කියා ඇත්තේ "හපෝ අන්න අරයගේ නෝනා කියනවා සර් හොයල දීපු තැන ටොයිලට් අන්තිමයි කියල".

මෙයින් නොසතුටට පත් කථිකාචාර්යවරය කියා ඇත්තේ "එයාගේ නෝනා ඔච්චර ලොකු විදියටද හිතාගෙන ඉන්නේ" කියාය. සිසුවා කෙලින්ම ගොස් මේ කතාව ස්වීඩනයේ සිට පැමිණි මහාචාර්යවරයාට කිව්වේය. 

මේ කතාව අකුරක් නෑර මා දන්නේ එහි සියලු ජවනිකා තුල මාද පසෙකින් සිටි නිසාය.

අද ඒ කථිකාචාර්යවරයා ලංකාවේ සුපතල මහාචාර්යවරයෙකි, ස්වීඩනයේ සිට පැමිණි කෙනා ලොව සුපතල මහාචාර්යවරයෙකි. අර සිසුවා මෙන්ම මා ද මහාචාර්යවරුන්ය. බැලූ බැල්මට හරිම අපූරුය.

නමුත් අද වනතුරුත් අර කථිකාචාර්යවරයා සහ ස්වීඩනයේ සිට පැමිණි මහාචාර්යවරයා එකිනෙකාගේ මූණ බලන්නේවත් නැති තරම් අමනාපයකින් පසුවෙයි.  මෙය පෞද්ගලික අමනාපයකින් ඔබ්බට ගොස් ලංකාවට ලැබෙන්න තිබූ තව බොහෝ යහපත් දේද නැතිකර දැමීය.

මේ සිසුවා නොහොත් මගේ සඟයා අවබෝධ කරගැනීමට මට තවත් වසර දහයක් පමණ ගතවිය. ඒ වන විට ඔහු නිසා මගේ ජිවිතයටද සමීපව සිටි හිතවතුන් කිහිප දෙනෙකුම අහිමි වී තිබුණි. 

මම මේ චරිතයට අතිශයින් බියවෙමි. ඊට හේතුව ඔවුන් බොරු නොකියන  ඝාතකයන් වන බැවිනි. 

අප ජීවිතයේදී හිතවතුන් සමග බොහෝ දේ පවසයි. ඒ හිතවත්කමට සහ කතා බහ කරන අවස්ථාවේ ඇතිවන පරිසර තත්වය අනුවය. එය අසා සිටින්නෙක් ඒ වදන් වලින්ම එම  කතාව තවත් තැනෙක කී විට මුල් කතාවේ සන්දර්භය සම්පුර්ණයෙන්ම වෙනස්විය හැක. 

හිතන්න ඔබ යම් අවස්ථාවකදී එතන නොසිටින ඔබේ හොඳම යහළුවා පිළිබඳව "ඕකා මහා තක්කඩියා" යයි පවසයි. මෙය ඔබ පවසන්නේ යහළුවා පිළිබඳව කිසිඳු තරහකින් නොව, ඔහුගේ හුරුබුහුටි කමක් ඇගයීමට විය හැක. එහෙත් එතන සිටින අයෙක් අර යහළුවාට "අන්න අරය ඔක්කොම ඉස්සරහ ඔයාට තක්කඩියා කිව්වා" යයි කීවොත් එහි ප්‍රතිඵලය කුමක් වෙයිද? යහළුවා ඔබෙන් මේ ගැන ඇසුවත් ඔබට එය පිළිගන්න සිදු වෙයි. මක් නිසාද ඔබ එසේ කියූ බැවිනි. කේලම්කරුවා මත වරදක් පැටවෙන්නේ නැත. 

මේ කේලමා ඉතා භයානකය. බොරු කියන කේලම්කාරයෙක් ඔබට වරදකරු කල හැක. නමුත් මේ පුද්ගලයා හැම විටම සුදනා වෙමින් ඔබව පෝරකයට ගෙන යයි. මා ඔහු බොරු නොකියන ඝාතකයා ලෙස හඳුන්වන්නේ මේ නිසාය. 

මට මේ කතාව සිහිවන්නේ රංජන් රාමනායක සිපිරිගෙයින් මුදවා ගැනීමට අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයකට හවුල්වීම සඳහා ආරාධනාවක් ලැබී ඇති බැවිනි. රංජන් රාමනායක ලාංකික දේශපාලනය ගැන කල කී දේ සහතික ඇත්තය. ඒ සඳහා ඔහු දැක්වූ එඩිතර බව (අනුවණකම නිසා හෝ)  ඉහලින්ම අගය කල යුතුය. නමුත් ඔහු විසින් මෙරට තුල ජිවත්වන යහපත් චරිත ගණනාවකටම කල අපරාදයට නම් ඔහුට දඬුවම් ලැබිය යුතුය. පෞද්ගලිකව කරන කතා පටිගත කර සමාජයට මුදාහැරිය රංජන් රාමනායක මට සිහි කරන්නේද අර සිසුවාමය. 

 

4 comments:

  1. මොන මත ගැටුම් තිබුනත් රංජන් රාමනායක කියන්නේ ගුණයහපත් අහිංසක ක්‍රිස්තියානිකාරයෙක්. ඉතිං ක්‍රිස්තියානිකාරයන් වන අප සැමගේ යුතුකම සහ වගකීම තමයි මිත්‍යාදුෂ්ඨික බුද්ධාගම්කාරයන් විසින් හිරකරගෙන සිටිනා අපගේ සගයාගේ ගැලවීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීම. මෙවැනි දෑ මෙලෙස ප්‍රසිද්ධියේ පැවසීමත් යක්ෂයාට අත වැනීමක්. ලිපිය ඉවත් කරන්න පුළුවන් නම් හොදයි මිත්‍රයා.

    -GTRZ-

    ReplyDelete
  2. Truthful Assasins.... :)

    ReplyDelete
  3. මීට සමාන අත්දැකීමක් මටද ලගදී අත්විඳීමට ලැබුනි.
    එක්තරා අවස්ථාවක, කේලාමි කීම වැරදි නිසාත් එයින් ගුරුගෝල සබදතා බිදේ යයි ව්ස්වාසකල නිසාත් නිශ්සබ්දව සිටියෙමි. නමුත් තක්කඩි ගෝලයා මගේ ප්‍රමාදයෙන් ප්‍රයෝජනයට ගෙන ඔහුගේ ගුරුතුමාට කේලාමි (ගතු) කියා මගේ යහපත් මිතුරා (ගුරුතුමා) මට අහිමිකලේය.

    ReplyDelete