Friday 8 October 2021

ඇන්ජෙලා ම'කල් කාගේ නිර්මාණයක්ද?


ජර්මනියේ පමණක් නොව ලොව බොහෝ දෙනෙකුගේ ඔල්වරසන් මැද ඇය නික්ම ගියාය. ඇය දැන් තවත් එක් සාමාන්‍ය ජර්මානු කාන්තාවක සේ නිදහසේ සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගෙන ට්‍රැම්ප් රථයක නැගී ගෙදර යන අයුරු පුවත්පත්වල පලවෙයි. ලංකාවේ බොහෝ දෙනෙකු ජර්මන් චාන්සලර් කෙනෙකු ගැන දන්නේ ඇන්ජෙලා ම'කල් පමණි. සමහරු හෙල්මුට් කෝල් සහ හෙල්මුට් ෂ්මිට් ගැන අසා ඇත.

මේ දිනවල මුහුණට මුහුණ මුණගැසී කෙරෙන සතුටු සාමිච්චි ඉතා අල්පය. මේ දුලබ අවස්ථාව අද මට ලැබුණේ අප සරසවියේ උපකුලපතිතුමා විසින් වාර්ෂිකව පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයේදීය. කෙටි කාලයකට දකුණු අප්‍රිකාවට පැමිණ සිටින මහාචාර්යවරුන් දෙදෙනෙක් මා සමග දිගු සල්ලපයකට වැටුනේය. ඔවුන් අර්න්ස්ට් සහ ජොහෑන් විය. 

"පසු - ඇන්ජෙලා ම'කල් ජර්මනිය ගැන ඔබේ අදහස කුමක්ද?" මගේ පැනය බොහෝ දුර යන කතාවකට මග පෑදීය. 

කෙසේ නමුත් මගේ පැනයෙහි කිසිඳු හරයක් නොමැති බව මට පසුවට ඔවුන් දැක්වූ අදහස් වලින් වැටහුණි. ජර්මානුවන්ට ඇන්ජෙලා තවත් එක් යහපත් පාලිකාවක් පමණක් බව ඔවුන්ගේ අදහස් පිළිබිඹු කළේය. 

"ඇන්ජෙලා ම'කල් පමණක් නොව ජර්මනියෙහි පාලනය බාරගත් සියළුම පාලකයන් අහම්බයන් නොවේ. ඔවුන්ව නිර්මාණය කලේ ජර්මන් ජනතාවයි". එය ජර්මානු විද්වතුන් දෙදෙනාම එකඟවූ කාරණයකි. 

"ඔබ සිතනවා නම් මේ පාලකයන් උපතින්ම ශාන්තුවරුන් කියා එය ඔබ කරනා ඉතා වැරදි නිගමනයක්" ජොහෑන් පැවසීය. 

"දෙවන ලෝක යුද්ධයට පෙර සිටි පාලකයන් ගැන මට කිව නොහැකියි. එහෙත් ඉන් පසු පැමිණි සියළු නායකයන් තුල යහපත-අයහපත දෙකම තිබුනා. ජනතාව දේශපාලකයන් තෝරාගන්න කොට පැහැදිලිව දැනගෙන සිටියා ඔවුන්ගේ මේ දෙපසම ගැන. හිට්ලර්ගේ පාලනය ජර්මානුවන්ට ඉතා හොඳ පාඩමක් කියා දී තිබුනා. එනම් කිසිම නායකයෙකු දෙස සර්ව සුභවාදිව නොබලන ලෙස.  ඔබ කෙනෙකුට චන්දය දීමයි, ඔහු කරන කියන හැමදේම අනුමත කිරීමයි කියන්නේ නුවණ සහ අනුවණ අතර ඇති වෙනසයි."

අර්න්ස්ට් එතැන් සිට මේ කාරණය තවත් සරලව විස්තර කළා. "මම හැම මැතිවරණයකදීම චන්දය භාවිතා කලේ මගේ මනාපය ලබාදුන් කෙනාගේ යහපත් පසටත් වඩා අයහපත් පස ගැන හොඳ අවබෝධයකින්. මේ නිසා ඔවුන් අයහපත් පසට බරවෙන විට අපි සාමුහිකව එයට විරුද්ධ වුනා. මේ විරෝධය අප ඊළඟ මැතිවරණයේදී තමාට විරුද්ධව චන්දය දෙනවා යන පණිවිඩය නොව එසේ සිදුවිය හැකි බවට අනතුරු හැඟවීමක් බව නැණවත් පාලකයන් තේරුම් ගත්තා. මේ නිසා ඔවුන් වඩාත් යහපත් වුනා. එය නොතේරුම් ගත් මෝඩයොත් නොසිටියාම නොවෙයි. ඔවුන් ආ වේගයෙන්ම නැති වී ගියා. මේ විදියට මගේ ජිවිත කාලය තුල ජර්මනියේ බලයට පැමිණි හැම පාලකයෙක්ම සමස්තයක් ලෙස කලින් කෙනාට වඩා යහපත් වූ බව මගේ පෞද්ගලික මතයයි."

ඔබේ රටේ හොර, තක්කඩි, මිනීමරු පාලකයන් නිර්මාණය කලේ කවුදැයි ඔබ දැන් ඔබගෙන්ම අසා දැනගන්න. 

6 comments:

  1. බකමූණු කතා අඩවියේ තිබුණු link එකක් දැකලයි කියවන්න ආවේ. හරිම අගේ ඇති ප්‍රස්තුතයක්- අපේ රටට නම්!

    ReplyDelete
  2. ලංකාවේ උදවියට කෝ දේශපාලනය ගැන දැනුමක්. ගමේ උදවිය එක්කො තාමත් පරම්පරාවෙ පක්ෂෙට චන්දෙ දෙනව නැත්නම් රූප පෙට්ටියෙ කතා වලට රැවටිලා කතිරේ ගහලා එනවා.
    ඊට අමතරව රූප පෙට්ටිය බල බල බනින්න නම් දන්නව එක එකාට😑

    ReplyDelete
  3. නියම කියවීමක්

    ReplyDelete
  4. මාත් link එකනිසා ගොඩවැදුන. අපූරු ලිපිය. ඇත්තටම ඔබ කිව්වා වගේ අපිම තමයි වැරදි. කනාදිය ඉස්සරහට ගිහින් ඉන්න කෙනාට ඇත දික්කරනව වගේ පාරාවල්ලලක් තමා වත්මන් දේශපාලනය බංකොලොත් භාවය

    ReplyDelete
  5. ඇත්ත. මුලින්ම කළ යුත්තේ අපට හරි හමං ඡන්දදායකයන් පිරිසක් පත් කර ගැනීමයි

    ReplyDelete
    Replies
    1. කොච්චර හොඳ චන්ද දායකයෝ හිටියත් චන්දෙ දෙන්න වෙන්නෙ අදාල පක්ස වලින් ඉදිරිපත් වෙන උදවියටනෙ🤐

      Delete