Thursday, 4 June 2020

වහළුන්ගේ කතාව


ජෝර්ජ් කෙල්වින් වහල් හිමියෙකි. ඔහුට හිමිවුයේ ඔහුගේ සීයා විසින් ආරම්බ කල තිරිඟු සහ කිරි හරක් ගොවිපොළයි. සීයා වහලුන් දෙළොස් දෙනෙකුගෙන් ඇරඹු වගාව දැන් වහලුන් 248 ක් දක්වා වර්ධනය වී ඇත. ඒ සියළු දෙනාම මුල් වහළුන් දොළොස් දෙනාගේ දරු, මුණුපුරු, මී මුණුපුරන් වෙති. 

ජෝර්ජ්ගේ දවසින් වැඩි හරියක් ගෙවෙන්නේ වහලුන්ගේ වැරදි වලට දඬුවම් කිරීමටත්, ඔවුන් එකිනෙකා අතර ඇතිවන රණ්ඩු සරුවල් සම්බන්ධයෙන් නඩු ඇසීමටත්ය. වහල් නිවාස පෙලේ වහලය දැන් වසර 100 ටත් වඩා පැරණිය. එහි කොටස් නිතරම කඩා වැටෙයි. ඒවා පිළිසකර කිරීමට දැව මිලදී ගත යුත්තේ ජෝර්ජ් විසින්ය. මන්ද වහළුන්හට මුදල් වලින් ගෙවීමක් නොකරන බැවිනි. වහලෙකුට කෑම බීම, ඇදුම් පැළදුම් හා අනෙකුත් මූලික අවශ්‍යතා සපුරාලීමට ගොවිපොළෙන් ලැබෙන ආදායමෙන් සෑහෙන කොටසක් වැයවේ. ඔවුන්ට අඩුවෙන් ආහාර පාන දුන් විට ඔවුන් ලෙඩ වේ. මෙය තවත් හිසරදයකි. වයස දහයෙන් පහල වහල් පැටවුන්ගෙන් කිසිම සැලකිය යුතු ප්‍රයෝජනයක් නැත. දැන් වහල් කණ්ඩායමේ 40% ම සිටින්නේ මේ වයස් කාණ්ඩයේ පැංචන්ය. 

තම මුත්තණුවන්ගේ හෝ පියාගේ කාලයේ මෙන් වහළුන්ගෙන් එක දිගට වැඩ ගැනීමටද දැන් අපහසුය. බොහෝ වහලුන් මුරන්ඩුය. අප්‍රිකාවෙන් මුලින්ම ගෙන එද්දී තිබුණු අසරණ බයාදු ගතිය දැන් ඇත්තේ නිවසේ සහ වත්තේ වැඩ කරන වහළුන් කිහිප දෙනෙකු තුල පමණි. ගොවිපොළේ බර වැඩ කරන වහළුන් බොහොමයක් හැඩිදැඩි නොහික්මුණු පුද්ගලයෝය. ඔවුන්ව යම්තාක් දුරටවත් මෙල්ල කරගන්නේ පල්ලියේ ස්වාමිගේ ආධාරයෙනි. 

ඉරිදා දහවල් කෑම සඳහා වහලුන්ට වෙනදා මෙන් පැය බාගයක් නොව පැයක නිවාඩුවක් ලැබේ. එදින පාන් පෙති දෙක සමග වෙනදා ලැබෙන හරක් තෙල් මන්ද කැබැල්ල වෙනුවට කුඩා කුකුළු මස් කෑල්ලක් එක්වෙයි. මසකට වරක් පල්ලියේ ස්වාමි ජෝර්ජ්ගේ ආරාධනයෙන් උදෑසන දේව මෙහෙයෙන් සහ අනෙකුත් වතාවත්වලින් පසුව ජෝර්ජ්ගේ නිවසට පැමිණේ. එදින ජෝර්ජ්ගේ නිවසේ මුළුතැන් ගෙයෙහි කළුකුන් මස් සහ ඌරු මස් සහිත ප්‍රණීත ආහාර වේලක් සැකසේ. 

දිවා ආහාරයෙන් පසුව පියතුමාද කැටුව ජෝර්ජ් වහළුන් රැස්වන එළිමහන් භූමියට පැමිණෙයි. සුපුරුදු පරිදී ඉරිදා විශේෂ ආහාර වේල ඉක්මණින්ම නිමකරන පිරිස එළිමහන් පිට්ටනියට දිව එයි. 

"නුඹලා දෙවියන්ට ස්තූතියි වෙයල්ලා ජෝර්ජ් උතුමාණන් වැනි වහල් හිමියෙක් ලැබුණාට. ඔහු නුඹලාට දිනපතා ආහාරය සපයනවා. ඉරිදාට කුකුල් මස් සමග පාන් දෙනවා. ඉන්න ගෙයක් දී තිබෙනවා, ඇඳුම් පැළදුම් දී තිබෙනවා. නුඹලාට මරණින් පස්සේ පාරාදීසයට ගොස් ජෝර්ජ් උතුමාගේ දිව්‍ය නිවසේ සේවකයන් වන්න අවශ්‍ය නම් ජෝර්ජ් උතුමා සතුටු වන විදියට වැඩ කල යුතුයි. ජෝර්ජ් උතුමාට අකීකරු උනොත් නුඹලාට කසපහර පමණක් නොවෙයි එලොවදී දෙවියන්වහන්සේගේ උදහසට ලක්වෙලා නිරයේ බොහොම දරුණු දඩුවම් විඳින්න වෙනවා".

තමන්ට ලැබෙන ප්‍රණීත ආහාර වේල වෙනුවෙන් ස්වාමි ගාස්තුව ගෙවන්නේ හැමදාම කියන මේ එකම කතාව පුනරුච්චාරණය  කිරීමෙනි.

දිගු කල්පනාවක සිටි ජෝර්ජ්ට ජනේල කවුළු අතරින් අශ්වයන් පිට නැගී තමන්ගේ වත්තට ඇතුළුවන විල්සන් සහ ඔහුගේ සඟයන් නෙත ගැටුණි. විල්සන් වුඩ්ලන්ඩ්ස්, අසල්වැසි තිරිඟු ගොවිපොළ හිමියාය. ඔහු ස්කොට්ලන්ත ජාතික සංක්‍රමණිකයෙකුගෙන් පැවත එන උස්වූ සිරුරක්, පුළුල් උරහිස් සහ මනාව පීරු දිගු රැවුලකින් හෙබි අහංකාර පෙනුමකින් යුත් පුද්ගලයෙකි. ඔහුගේ සඟයෝ සිවිල් යුද්ධයේදී දරුණු සටන් වල යෙදී විශ්‍රාම ගිය යෝධයන් වැනි දාමරිකයෝය.

අශ්වයන් පිටම ජෝර්ජ් ගේ නිවස ඉදිරිපිටට පැමිණි විල්සන් ඇතුළු පිරිස ඒ අසල නතර විය. ඔවුන් වත්තට ඇතුළු වූ තැන සිට බයාදු ලෙස අශ්වයන් පිටිපසින් පැමිණි ජෝර්ජ්ගේ වාහලුන් දෙදෙනාගෙන් කෙනෙක් විල්සන්ලාගේ අශ්වයන්ට ඈතින් දිවගෙන විත් ජෝර්ජ්ගේ නිවසේ දොරට තට්ටු කරන්න විය. 

දොර හැර එලියට පැමිණි ජෝර්ජ් අශ්වයා පිට සිටි විල්සන් දෙස බලා "සුබ උදෑසනක් විල්සන් මහත්මයා. මොකද මේ උදේම?" යයි ඇසීය. 

"ජෝර්ජ් උඹේ වහලෙක් ඊයේ තිරිඟු කපන කැත්තකුත් අරගෙන මගේ වත්තට ඇතුළු වෙලා. මම දන්නේ නැහැ ඌ මොකට ආවද කියල. මගේ දඩයම් බල්ලෙක් ඌව එලවාගෙන යද්දී මූ බල්ලට කැත්තෙන් ගහල. බල්ලා  එතනම මැරුණා. මට හිටපු හොඳම දඩයම් බල්ලන්ගෙන් කෙනෙක්. මගේ වහල්ලු ඌව අල්ලලා ගහක බැන්දා? කරුණාකරලා මගේ බල්ලාගේ පාඩුව වෙනුවෙන් ඩොලර් 300 ක් ගෙවලා උඹේ වහලාව රැගෙන පලයන්. ආයෙමත් මෙහෙම දෙයක් නොවෙන්න වග බලාගනින්".   

ජෝර්ජ්ගේ මුහුණින් දහඩිය බිඳු මතුවෙනු ඔහුට දැනුනි. වෙන කිසිවක් නොකියා සිය සඟයන්ද සමගි පිටවී යන විල්සන් දෙස ඔහු බොහෝ වෙලාවක් බලාගෙන සිටියේය. විල්සන් සහ සඟයන් තිත් පෙළක් බවට පත්වෙද්දී පියවි සිහියට පැමිණි ජෝර්ජ් දුටුවේ තමන්ගේ මුහුණ දෙස බලාගෙන බයාදු බැල්මෙන් සිටිනා තම වහළුන් දෙදෙනාය. 

"පලයව් මෙතනින් යන්න. මගේ දෑහැට නොපෙනී" ජෝර්ජ් ගුගුලේ තරහටත් වඩා හිතේ ඇතිවූ පීඩනය පිටකිරිමටය. 

වහළුන් යනු තවදුරටත් දේපලක් (asset) නොව වගකීමක් (liability) පමණක් බව ජෝර්ජ්ට දැන් මොනවට පැහැදිලිය. මේ අතරම යුරෝපයෙන් සහ නගරයෙන් එන ආරංචි අනුව යන්ත්‍ර-සූත්‍ර ලෙස හැඳින්වෙන උපකරණ රාශියක් අළුතින් බිහිවෙමින් පවතී. මේවා ඇමරිකාවේ ව්‍යාප්ත වන විට වහළුන් මිලදී ගැනීමට කිසිවෙක් උනන්දු නොවනු ඇත. 

කෙලින්ම මේසය වෙත ගිය ජෝර්ජ් තමාට නගරාධිපතිතුමා තෑගී දුන් රිදියෙන් කල ෆවුන්ටන් පෑනෙන් අළුතින් පත්වූ ජනාධිපති තුමාට ලිපියක් ලියන්න විය. 

උතුම් වූ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මහතාණෙනි ….. ජෝර්ජ් කිහිප වරක්ම මේ ආමන්ත්‍රණය වෙනස් කළේය. 

ඔහු ලිපිය දිගටම ලියාගෙන ගියේය. එහි අවසන් හරය මෙසේ විය. 

"මමත් වහල් හිමියෙකි. එහෙත් මේ වහලුන් දැන් සියවස් දෙකක් පමණ විඳින දුක් ගැහැට දකින විට මගේ හද කම්පා වෙයි. මම මගේ වහලුන්ට නිදහස දුන්නත් අවට වතු හිමියන් නැවතත් ඔවුන්ව වහළුන් ලෙස අල්ලා ගනු ඇත. මේ ලෙස වහළුන් රඳවාගෙන ඔවුන්ගෙන් වැඩ ගැනීම දෙවියන්ගේ කැමැත්තටද විරුද්ධ බව මට හැඟේ. එබැවින් කරුණාකර වහල් සේවය තහනම් කරන මෙන් ඉල්ලා සිටිමි". 

ඉහත ලිපිය හා සමාන ලිපි ලියා ඇත්තේ තමා පමණක් නොවන බව ජෝර්ජ්ට වැඩිකල් නොයාම වැටහුණි. විල්සන් වුඩ්ලන්ඩ්ස් පවා තමා සමග සිටින බව ඉරුදින පල්ලියේදී ඔහු කල කතාවෙන් ජෝර්ජ්ට වැටහුණි. 

ඊළඟ වසර තුල බොහෝ දේ සිදුවිය. පාලක පන්තිය ඇතුළත වූ මත ගැටුම් කුමන්ත්‍රණ ගණනාවකින් පසු ඒ ඓතිහාසික ලියවිල්ලට ජනාධිපතිවරයා අත්සන් තබා තිබුණි. 

සැනසුම් සුසුමක් හෙළු ජෝර්ජ් එදින සවස ගොවිපොළේ වැඩකරන සියළු දෙනාම කැඳවීය. ඔහුගේ සහයට පැමිණෙන ලෙස ඔහු පල්ලියේ පියතුමාටද ආරාධනා කර තිබුණි.  

"අද නුඹලාට සුබ ආරංචියක් කියන්න තිබෙනවා. අද සිට නුඹලා වහල් බවෙන් නිදහස්" ජෝර්ජ් පවසන විට පිරිස අතරින් මතුවුයේ කිසිසේත් බලාපොරොත්තු නොවූ දැඩි නිහැඬියාවකි. සමහර විට වහළුන්ට නිදහස යන වචනය නොතේරුණා විය හැක. ඔවුන් අන්දමන්දව බලා සිටියේය. 

ජෝර්ජ්ගේ වික්ෂිප්තභාවය තේරුම් ගත් පියතුමා තම කටහඬ අවදිකළේය. 

"දෙවියන්ට ස්තුතියි වෙයල්ලා නුඹලාට ජෝර්ජ් උතුමා වැනි වහල් හිමියෙක් ලැබීම ගැන. අද ඉඳන් උඹලාට කැමති දෙයක් කල හැකියි. නුඹලාට කසපහර ලැබෙන්නේ නැහැ. නුඹලා ගොවිපොළේ වැඩ කරනවාට ජෝර්ජ් උතුමා නුඹලාට මුදලින් ගෙවීමක් කරනවා. නුඹලා නිදහස් මිනිසුන්. දැන් ජෝර්ජ් උතුමාණන් වෙනුවෙන් දෙවියන්ට යාඥා කරපල්ලා".

එක්වරම වහල් පිරිසෙන් මහා හඬක් නික්මුණි. ඔවුන් ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ දෙන්න විය. වැඩිහිටි පිරිස දණින් වැටී අහස දෙස බලාගෙන යාඥා කරන්න පටන්ගත්තේය.

විනාඩි කිහිපයක් මේ කලබගෑනියට ඉඩ දුන් ජෝර්ජ් නැවතත් කටහඬ අවදි කළේය. 

"නුඹලා දැන් නිදහස් මිනිසුන්. තවදුරටත් නුඹලා උදෑසන අවදි වී රෑ වනතෙක් ගොවිපොළේ වැඩකළ යුතු නැහැ. කැමති අයට වැඩට පැමිණිය හැකියී. ඒ වෙනුවෙන් නුඹලාට දිනපතා පඩියක් ගෙවනවා. ඒ වගේම තව දුරටත් නුඹලා වහල් නිවාස වල සිටිය යුතු නැහැ. තව දින දෙකක් ඇතුළත නුඹලා ඒවායින් පිටවිය යුතුයි.  නුඹලා වැඩට එන විට නුඹලාගේ ආහාර රැගෙන ආ යුතුයි".

ජෝර්ජ් කතාකරන විට නිශ්ශබ්ද වූ පිරිස අතරින් එකවරම කසු කුසුවක් නැගෙන්න විය. එය ක්‍රමයෙන් මහා කාලගෝට්ටියක් වූ අතර සමහරුන් අඬන්න වැළපෙන්න විය. 

එදින මේ අයුරින් ගෙවී ගියේය.

පසුදා උදෑසන පෙරදා කිසිවක් සිදු නොවුනා සේ වහළුන් ගොවිපොළේ වැඩ ආරම්බ කර තිබුණි. උදෑසන දහයට පමණ වැඩිහිටි වහළුන් පිරිසක් තමා හමුවීමට පැමිණ සිටින බව ජෝර්ජ්ගේ නිවසේ වැඩ කරන වහලිය දැනුම් දුන්නේය. 

"උතුමාණෙනි අපි කිසිවෙකුට මේ කියන නිදහස අවශ්‍ය නැහැ. අපිට වෙනදා මෙන්ම වහළුන් සේ ඔබ සෙවනේ සිටීමට ඉඩ දෙන්න" වහල් පිරිස බිම දණ ගහගෙන යාඥා කරන්නා සේ ජෝර්ජ්ගෙන් ඉල්ලා සිටියේය. 

"නැහැ මම තීරණය අරන් ඉවරයි. නුඹලා අනිද්දා වහල් නිවාස වලින් පිටවිය යුතුයි. නුඹලාට ඒ නිවෙස්වල ඇති ඕනෑම දෙයක් රැගෙන යන්න පුළුවන්. ඒ වගේම මම හැම වහලෙකුටම ඩොලර් භාගයක් නිකන් දෙනවා. නුඹලා ඉන් පසු වැඩට එන හැම දවසකටම මම නුඹලාට පඩියක් ගෙවනවා".

වහළුන් පිරිසට මෙය යම් අස්වැසිල්ලක් විය. ඔවුන් සැනසෙන්නද වැළපෙන්න ද කියා සිතා ගත නොහැකිව පිටවී ගියේය. ඔවුන් කිසිවෙකුට ගොවිපොලින් පිටත, වහල් සේවයෙන් තොර ලෝකයක් පිළිබඳව කිසිඳු දැනීමක් හෝ හැඟීමක් නොවීය. 

දින දෙකකට පසු, ජෝර්ජ්ගේ නිවසේ සේවය කල වහලා සහ ඔහුගේ බිරිඳ, වත්තේ මුරට සිටි වහළුන් දෙදෙනා සහ ගොවිපොළේ සේවය කල ජෝර්ජ්ගේ විශ්වාසවන්තම වහළුන් පස් දෙනෙක් ඉතිරි වෙද්දී අනෙක් සියලු දෙනා තමා සතු බඩු මුට්ටුද සමග ගොවිපොලින් පිටවිය. 

මහමගට බට වහල් පිරිස දුටුවේ තවත් වහළුන් දහස් ගණනක් තමන් සේම "නිදහස" ලබා ඇති බවයි. මෙය ඔවුන් කිසිසේත් බලාපොරොත්තු නොවූවකි. කෙසේ වෙතත් තරුණ වහළුන් (තවදුරටත් වහලුන් නොව නිදහස් මිනිසුන්ය) තුල යම් ප්‍රබෝධයක් විය. 

මහ මග  ඇවිද යන පිරිස තැන තැන වූ නිසරු මුඩු බිම්වල නැවතී කුඩාරම් අටවගන්න විය. හවස් වන විට බොහෝ පිරිස් හෙම්බත් වී සිටියහ. වෙනදා ලැබෙන පාන් පෙති දෙක සහ හරක් මස් තෙල් මන්ද කැබැල්ල අද නැත. ඔවුන්ට පල්ලියේ ස්වාමිගේ වදන් සිහිවිය. ඒවා මොන තරම් සත්‍යදැයි දැන් ඔවුන්ට වැටහේ. 

වහලුන් බොහෝ දෙනෙක් පසුදා උදෑසනින් නැගිට ගොවිපොළ වෙත ගියේ එහි සේවය කිරීමටය. ගොවිපොළට ඇතුළුවන ගේට්ටුව ළඟ පුටු දෙකක ඉඳගත් ඉන්දියානුවන් දෙදෙනෙකි. ඔවුන් ඉදිරියේ ඇති මේසයක් මත විශාල පොතකි. වෙනදා ඔවුන් මේ ඉන්දියානුවන් දකින්නේ මාස කිහිපයකට වරකි. දුර බැහැර සිටින ජෝර්ජ්ගේ අමුත්තකු සමග පැමිණෙන මොවුන් දෙදෙනා ගොවිපොළේ ජෝර්ජ් පරිහරණය කරන කාමරයේ ඇති පොත් පත් කිහිපයක් පෙරලමින් මොනවදෝ පිරික්සනු ඔවුන් දැක ඇත. 

ඔවුන් පෝලිමේ පැමිණෙන එකිනෙකාගේ නම අසයි. ඉන්පසු පොත පෙරලා බලයි. "නුඹ අද ඉදන් තිරිඟු වගාවේ වැඩ. නුඹ අද ඉඳන් කිරිපට්ටිය සුද්ද කල යුතුයි" මේ ලෙසින් ඔවුන් පිරිසට වැඩ පවරයි.

"නුඹට මෙහි වැඩ නැහැ" ඉන්දියානුවන් දෙදෙනා සමහරුන්ව හරවා යවයි. මේ හරවා යවන සියලු දෙනා එක්කෝ වැඩිමහල්ලන්ය, නැතිනම් කෙසඟ සිරුරු ඇති නිතර ලෙඩ රෝග වලට ගොදුරුවන පිරිසය. සමහරු අළුත දරුවන් ලැබුණු හෝ දරුවන් ලැබීමට සිටිනා කාන්තාවන්ය. 

ගොවිපොළට ඇතුළුවන පිරිස දුටුවේ එක රැයකින් සම්පුර්ණයෙන්ම බිමට සමතලා කර තිබූ වහල් නිවාස පෙළයි. ජෝර්ජ්ගේ නිවසට යාබදව නව නිවසක් සෑදීමට පටන් ගෙන ඇත. සමහර විට එය වත්තේ නතර වූ වහලුන් වෙනුවෙන් විය හැක. 

ඔවුන් පරම්පරා තුනක් ජිවත් වූ මේ භූමිය අද අමුතුය. ඔවුන් තවදුරටත් එහි කොටස්කරුවන් නොවන බව ඔවුන්ට වැටහුණි. තිරිඟු යායට ඇතුළු වන තැන වෙනදා නොදුටු ඉන්දියානුවෙකි. ඔහු ජෝර්ජ් අඳින ආකාරයේ එහෙත් බොහෝ සෙයින් පරණ වූ කලිසම් කෝට් ඇඳ පරණ බූට් දෙකක්ද දමා, අතෙහි දිග කෝටුවක් තබා ගෙන සිටියේය. පසෙකින් තමා සමග සිට ජෝර්ජ් විසින් නතර කරගත් වහළුන් පස් දෙනාගෙන් තිදෙනෙක් විය. ඔවුන්ද අමුතු වී ඇත. තිදෙනාටම ජෝර්ජ්ගේ පරණ කොට කලිසම් සහ දිගු කබා ලබා දී ඇත. ඔවුන් පරණ තොප්පිද පැළඳ ඇත. පෙර කල වහලුන්ට හිස් ආවරණ පැළඳීම තහනම් විය. 

"මම පෝල්. මම තමයි නුඹලාට දිනපතා පඩි ගෙවන්නේ. නුඹලා මට සර් කියා කතා කල යුතුයි". 

ඉන්දියානුවා ගැඹුරු කටහඬකින් පැවසීය. ඉන් පසු පසෙක සීරුවෙන් සිටින තම පෙර සඟයන් දෙසට කෝට්ට දික් කල පෝල්, 

"මේ ඉන්නේ ජෝන් මහතා, මේ නෙල්සන් මහතා, මේ වයිට් මහතා. මින් පසු නුඹලාගේ වැඩ බලන්නේ මොවුන්. ඔවුන් කියන දෙයක් නොකලොත් නුඹලාට පඩි ලැබෙන්නේ නැහැ. දිගටම වැරදි කරනවා නම් නුඹලාව ගොවිපොළේ වැඩට අයෙමත් ගන්නේ නැහැ . ඒ නිසා මේ මහත්වරුන්ට කීකරුව වැඩ කරපල්ලා". 

කස පහර නැති, කෝපයෙන් අඩි පොළවේ හප්පමින් කෑගසන සුදු හාම්පුතුන් ගොවිපොළේ නිතර ඇවිදින්නේ නැති, වරදක් කල විට ඕක් ගසේ කකුල් දෙකෙන් එල්ලා පහර දෙන්නේ නැති, තමාගේ බිරිඳ හා දරුවන් ඕනෑම අවස්ථාවක හාම්පුතාගේ සුඛ විහරණයට ලබා දිය යුතු නැති, "නිදහස්" ලොවකට, පෙර කල වහළුන්, එකා බැගින් පේලියට ඇතුළු වන්න විය. 

එහෙත් ඒ ලොව වෙලාවට ආහාර වේල නොලැබෙන බවද, හිසට වහලක් නැති බවද, ලෙඩට බෙහෙත් නැති බවද, ඒ සියල්ල "පඩිය" නමින් හැඳින්වෙන මුදල වියදම් කර තමන් ලබා ගත යුතු බවද, පඩිය නොමැති කල ඒ කිසිවක් නොමැති බවද ඔවුන්ට ඒ වන විටත් පසක් වී තිබුණි. 

ඒ කෙසේ නමුත් මේ ඔවුන් පිය නගන්නේ තව සියවස් එක හමාරක් ගෙවී ගියත් නිමා නොවන කටුක දුක්බර මාවතකට බව ඔවුන්ට  නොතේරෙන්නට ඇත.


 - මෙම කෙටි කතාව ඇමරිකාවේ වහල් සේවය නිමා වුන කාලය පිළිබඳව මා කල දීර්ඝ ගවේෂණයකින් පසු ලියන ලදී. මෙහි ඉංග්‍රීසි පරිවර්තනය ළඟදීම බලාපොරොත්තු වන්න.                   









3 comments:

  1. ඇත්තටම මේක තමයි වෙන්න ඇත්තෙ නේද?

    කාලෙකින් මේ පැත්තෙ ආවා. 
    ඉතින් කොහොමද චන්දිම

    ReplyDelete
  2. An intimate story. The change has to come from within the person.
    Nice story. Thank you for your time.

    ReplyDelete
  3. The change has to come from within the person. Nice story. คาสิโนออนไลน์

    ReplyDelete