ඔහු විශාල සාරවත් තණබිමක පියමනිමින් සිටියේය. පසෙක පෘෂ්ටිමත් එළදෙනුන් හා බැටළුවන් තණ බුදිමින් සිටියි. තරමක් දුරින් පිහිටි පහත් බිමෙහි කුඩා විලකි. එහි සුදු සහ දුඹුරු පැහැ අශ්වයෝ කිහිප දෙනෙක් ජලය පානය කරමින් සිටිති. විලට එහා පැත්තෙන් එක යායයට කහ පැහැති ටියුලිප් වැනි මල් වර්ගයක් පිපී ඇත. අනෙක් පස ඈතින් වූ උස් බිමක අතු පතර විහිදුන තනි ගසකි. පරිසරය හිරු රසින් නැහැවී ඇත.
එකවරම ඔහු දෙසට අමුත්තෙකු පැමිණෙන්න විය. ආරෝහ පරිණාහ දේහයකින් හෙබි කඩවසම් අමුත්තා කළු කබායක් සහ හිස් ආවරණයක් පැළඳ සිටියේය.
"මේ කොහෙද? ඔබ කවුද?" අන්දමන්දව සිටි ඔහු අමුත්තාගෙන් විමසීය.
"මේ ඔබ දකින සියල්ල ඔබය. මාද, ඔබද ඔබමය". අමුත්තා පැවසීය
"ඒ මොන පිස්සු කතාවක්ද? මේ සතුන්, තණබිම, ජලය, ගස, ඔබ, මම සියල්ල මම වෙන්නේ කෙසේද?" ඔහු උස් හඬින් කෑගැසුවේය.
ඒ සමගම ඔහු අවදි විය. සිහිනෙන් දුටු අමුත්තා කී කතාව සම්පුර්ණයෙන්ම සත්‍ය බව ඔහුට වැටහුණි.
උදෑසන කෝපි කෝප්පයෙන් පසු ඔහු සුපුරුදු පරිදි නිවස අසල වූ උද්‍යානයේ ඇවිදීමට ගියේය. හිමිදිරි පාන්දර වූ බැවින් එහි සිටියේ අතලොස්සකි. ශීත ඍතුවට ආසන්නව තිබූ බැවින් ගස්වල කොළ හැලී ඒවා දර ඉපල් මෙන් පෙනෙන්නට තිබුණි. පරිසරයේ කළු-සුදු හැරෙන්නට වෙන වර්ණ තිබුනා නම් ඒ ඉඳහිට ඔහුව පසු කර යන තවත් ඇවිදින්නෙකුගේ කබාය පමණි.
ඔහුට වෙනදා හමුවන අසල්වැසි මිතුරෙකු මුණගැසුණි. දෙදෙනා කතා බහ කරමින් යන අතර ඔහු තමා දුටු සිහිනය පිළිබඳව මිතුරාට පැවසීය.
මදක් නතර වූ මිතුරා ඔහු දෙස එක එල්ලේ බලා මෙසේ ඇසීය.
"ඔබේ සිහිනය එයද? මෙයද?".
එවිටම ඔහු පියවි සිහියට පැමිණියේය. අමුත්තා පෙනෙන්නට නැත. ගවයන්, බැටළුවන් සහ අශ්වයන් පෙර පරිදිම ඔවුන්ගේ කාර්යයේ නිරතවේ. මල් යාය මද සුළඟින් එහෙට මෙහෙට වැනෙයි. හිරු රැසින් නැහැවුණු තනි ගස ඈතින් දිස්වෙයි.
No comments:
Post a Comment