Thursday, 2 July 2020

විද්‍යාව



ආසියාවේ හෝ අප්‍රිකාවේ තැනක මීට වසර මිලියන දෙකකට පමණ පෙර බිහිවන ආදී මානවයා (හෝමෝ ඉරෙක්ටස්) වසර මිලියනයක් පමණ ගතවන විට ලෝකයේ බොහෝ අස් කොන් දක්වා ඇවිද ගියේය. මේ ගියේ සුදුසු වාසස්ථාන සොයාගෙනම නොවන බව නම් පැහැදිලිය. නොඑසේ නම් සියළුම මානව ජනාවාස ජීවත්වීමට ඉතා සුදුසු ගංගා නිම්න වලට පමණක් සිමා වන්නට තිබුණි. එහෙත් මේ ආදී මානවයා සාරවත් ප්‍රදේශ පසු කරගෙන ඉතා කටුක ආන්තික දේශගුණයන්ගෙන් යුත් අති දුෂ්කර බිම් කඩවල් දක්වා පාද යාත්‍රා කර තිබුණි. මේ සඳහා දිය හැකි එකම හේතුව එම මානවයා තුල වූ කුතුහලය ලෙස මම දකිමි. 

වසර ලක්‍ෂ ගණනක් සතුන් මරා අමුවෙන් මාංශ භක්‍ෂණය කල ආදී මානවයා, ලැව් ගින්නකට අසුවී පිළිස්සුනු සතකුගේ ආහාර අනුභව කිරීමේදී එහි ඇති මෘදු බාවයත් වැඩි රසයත් අත්‍දකින්නට ඇත. එබැවින් ඔවුන් ස්වභාවික ගින්නක් දුටු විට මරණ ලද සත්වයා ඒ ගින්නට විසිකර පිලිස්සුණු මස් ආහාරයට ගන්න ඇත. ලැව්ගිනි තමාට අවශ්‍ය විට අවශ්‍ය ස්ථානයකදී ඇති නොවේ. මේ නිසා තමන්ට අවැසි විට ගින්නක් නිපදවාගැනීම කෙරෙහි ආදී මානවයාගේ මනස යොමු වන්නට ඇත. මේ අදහස තවත් වසර ලක්‍ෂ ගණනක් මුහුකුරා ගොස් මානවයා විසින් ගිනි නිපදවීමේ තාක්‍ෂණය බිහිකළේය . 

---------------------------------------------

ඔබ ඒ කියවුයේ විද්‍යාවේ සහ තාක්‍ෂණයේ බිහිදොර පිළිබඳවයි. විද්‍යාව බිහිවන්නේද ඉදිරියට ඇදෙන්නේද "කුතුහලය" යන මානව මානසික ගුණාංගය නිසාය. "තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන නොවොත්පාදන අභිලාශය" තාක්ෂණය ඉදිරියට ගෙනයාමට ඉවහල්වන මානසික ගුණයයි. ඉංග්‍රීසි බසින් මෙය inquisitive mind (කුතුහලයෙන් පිරි මනස) සහ inventive mind (නවෝත්පාදන මනස) ලෙස සරලව ප්‍රකාශ කල හැක. මෙම මානසික ගුණාංග විද්‍යාව සහ තාක්‍ෂණය උදෙසා එකිනෙකට පරායත්ත (එනම් එකිනෙකාට සබැඳි) කාර්යයන් ඉටු කරයි. 

මේ ආදී මානවයාගේ ගුණාංග වසර මිලියන දෙකකට පසුවත්, ඔබගේද මගේද සිරුරේ සෛලයක් සෛලයක් පාසා ලියැවී ඇත. මේ අනුව විද්‍යාව සහ තාක්‍ෂණය මීට වසර හාර පන්සියයකට පෙර බිහිවන අලුත් දෙයක් නොවන බව අප වටහා ගත යුතුය. 

ගින්දර පිළිබඳව අවබෝධය ලබා එය කෘතිමව නිපදවාගැනීමේ තාක්‍ෂණය කරා පැමිණීමට මානව වර්ගයාට වසර ලක්ෂ ගණනක් ගියේය. චලනය පිළිබඳව අවබෝධය ලබා රෝදය නිපදවීමට වසර දස දහස් ගණනක් ගියේය. මිනිස් සිරුර පිළිබඳව වටහාගෙන ආයුර්වේද වෛද්‍ය තාක්‍ෂණය ගොඩනැගීමට වසර දහස් ගණනක් ගියේය. 

එහෙත් වෛරස් පිළිබඳව අවබෝධය ලබා ලෙඩ රෝග රාශියකට එන්නත් නිපදවීමට මානවයාට ගතවන්නේ වසර සියයකට අඩු කාලයකි. පරිඝනක තාක්‍ෂණයේ ආයු කාලය කතා කරන්නේ දශක වලිනි, මීට වසර කිහිපයකට පෙර නවතම විද්‍යාවක් වූ ඩ්‍රෝනය මේ වන විට එදිනෙදා ජිවිතයට පවා ලංවන සුලබ තාක්‍ෂණයකි. අද සමහර උදවිය මාස කිහිපයක් තුල Covid-19 රෝගයට එන්නතක් සොයා ගැනීමට නොහැකි වුවා කියා විද්‍යාවට දෙස් දෙවොල් දෙයි. 


වසර මිලියන ගණනක සිට පැවත ආ විද්‍යාව සහ තාක්‍ෂණය මීට සියවස් කිහිපයකට පෙර යම් තීරණාත්මක හැරවුම් ලක්‍ෂයක් පසු කරයි. එනම් මෙතෙක් අත්දැකීම සහ ප්‍රත්‍යක්‍ෂය හෝ අත්හදා බැලීම් සහ දෝෂ ක්‍රමය (trial and error method) ඔස්සේ ගොඩනැගුණු විද්‍යාව යම් මූලික ක්‍රමවේදයක් ඔස්සේ කරගෙන යාමට අනුගත වීමයි. මේ සමගම වසර ලක්‍ෂ, සහශ්‍ර, සියවස් ගණනාවක් ගතවූ විද්‍යා තාක්‍ෂණ උත්පාදනයන් දශක, වසර, මාස ගණන් වලදී යථාර්තයන් බවට පත්වන්න විය. අප නුතන විද්‍යාව ලෙස හඳුන්වන්නේ මේ සියලු දෙනා පිළිගත් නියමිත ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාවට නැගෙන විද්‍යාවයි. එහෙත් මූලික සිද්ධාන්ත වලදී ආදී මානවයාගේ විද්‍යාවත් නුතන මානවයාගේ විද්‍යාවත් අතර වැඩි වෙනසක් නැත. 

-----------------------------

"ඔබ ඉලෙක්ට්‍රොන දැක තිබෙනවාද?"

"නැතිනම් ඔබ ඒවා තියෙනවා කියා විශ්වාස කරන්නේ කෙසේද?"

"එසේ නම් ඔබ නොදුටු පමණින් දෙවිවරු හෝ පුනරුත්පත්තියක් නැතැයි කියන්නේ කෙසේද?"

මේ ආදී ප්‍රශ්ණ අසන බොහෝ දෙනෙකු පසුගිය කාලයේදී මට හමුවී ඇත. ඔවුන් බොහෝ දුරට යම් ආගමික මතයක් සනාථ කිරීමට උත්සහ ගන්නෝ වෙති. මම සෑම විටකම පාහේ මේ පැනයන්ට පිළිතුරු නොදී නොඇසූ කන්වලා සිටින්නෙමි. එහෙත් එය එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවන බව මට හැඟේ. මේ ලිපිය ලියන්නේ ඇත්තෙන්ම ඒ පැන විමසන්නන් සඳහාය. 

ආරම්භයේ සිටම විද්‍යාව යනු කුතුහලය මත මිස විශ්වාසය මත පදනම්වූ සංකල්පයක් නොවේ. විශ්වාසය යනු විද්‍යාවේ මරණ මංචකයයි. විශ්වාසය ඇතිවු දා සිට විද්‍යාවේ ගමන නවතියි.

විද්‍යාව යනුවෙන් අප අදහස් කරන්නේ යම් කිසි කාල රාමුවකදී අප රැස් කරගෙන ඇති තොරතුරු සහ අපගේ විශ්ලේෂණ ශක්තිය මත පදනම්ව ආකෘතියක් (model) තනා ගැනීමයි. ඒ ආකෘතිය සත්‍ය වන්නේ එම කාල රාමුවට පමණි.  ඊළඟට අප කරන්නේ එම ආකෘතිය මත පදනම්ව අපට ඇති නිරීක්ෂණ පැහැදිලි කිරීමත් අපගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා තාක්‍ෂණය ගොඩනැගිමත්ය. මේ කාරණා බොහෝ විට යම් තාක් දුරකට සඵලවී ඉන් අනතුරුව ගැටළු මතුවේ. එවිට අපි ගොඩනගාගත් ආකෘතිය යම් ක්‍රමවේදයකට අනුව වෙනස් කරමු. දැන් අප ඉන්නේ තවත් කාල රාමුවකය. එහිදී සත්‍ය වන්නේ වෙනස් කල ආකෘතියයි. මෙය සෑම මොහොතකම මේ ආකාරයෙන් වෙනස් වෙමින් ඉදිරියට යයි. ඒ මගින් අපි අපගේ කුතුහලය සංසිඳුවා ගන්නා අතර නව කුතුහලයන් උත්පාදනය වෙයි. අපේ අවශ්‍යතාද අලුත්වෙයි. මේ අනුව අවශ්‍යතා සපුරාලන තාක්‍ෂණයද වෙනස් වෙයි. මෙය නොනවතින ගමනකි. 
මෙයට හොඳම උදාහරණය පරමාණුවේ කතාවයි.   

මිනිසා අනාදිමත් කාලයක සිට විශ්වයේ තැනුම් ඒකකය පිලිබඳ කුතුහලයෙන් පසුවිය. මුලින්ම මෙවැනි සංකල්පයක් ගැන කියවෙන්නේ වසර 4000ට පමණ පෙර වේද ග්‍රන්තවලයි. එය බ්‍රහ්මත්වය (මහා බ්‍රහ්මය නොවේ) යනුවෙන් නාමකරණය විය. ඒ පිළිබඳව අපි වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු.    

යුරෝපයෙන්  මේ ගැන මුලින්ම කියවෙන්නේ මීට වසර 2400 ට පමණ පෙර විසූ ඇරිස්ටෝටල්ගේ සමකාලිනයෙකු වන ඩිමොක්‍රිටස් නමැති දාර්ශනිකයා විසිනි. ඔහු පදාර්ථය විභේදනය කරගෙන යන විට ඉතා කුඩා අංශුවකින් කෙලවර වන බව කීය. 

එහෙත් ඇරිස්ටෝටල් දැරුවේ මීට ප්‍රතිවිරුද්ධ මතයකි. ඇරිස්ටෝටල් එකල ඉතා ජනප්‍රිය පුද්ගලයෙකු වූ බැවින් ඩිමොක්‍රිටස්ගේ මතය යටපත්වී ගියේය.    

පදාර්ථයේ තැනුම් ඒකකය කුමක් වුවත් එයින් එකල සමාජයේ අවශ්‍යතාවයන් සපුරාලීමට පිටිවහලක් නොවීම නිසා මේ පිළිබඳව උනන්දුවක් සමාජයේ ඇති නොවන්න ඇත. තවත් සියවස් දෙක තුනක් යන විට මුළු සමාජ පද්ධතියම විශ්වාසයට නතුවීම නිසා ඊළඟට පැමිණෙන සහශ්‍ර දෙකකට ආසන්න කාලයක් මිනිස් මනසින් විද්‍යාව යටපත් වී ගියේය.      

නැවතත් මේ ඩිමොක්‍රිටස්ගේ අදහස මතුවෙන්නේ ඊට වසර 2200ට පමණ පසුවය. ජෝන් ඩෝල්ටන් විසින් පදාර්ථයේ කුඩාම තැනුම් ඒකකය පරමාණුව ලෙසින් හැඳින්වීය. ඒවා කුඩා ගෝලාකාර ඝන වස්තූන් ලෙසත් ඔහු ආකෘතියක් මැවීය. එමගින් ඔහුට වායුන්ගේ හැසිරීම යම් දුරකට විස්තර කල හැකි විය.     

නමුත් තව කල් ගතවද්දී මේ කුඩා ගෝලයක් ලෙස සැලකූ පරමානුවේ තවත් කුඩා කොටස් පවතින බව ආරෝපණ පිළිබඳව කල අධ්‍යනයන්ගෙන් පෙනී ගියේය. ඒවා විශාල ප්‍රෝටෝන සහ කුඩා ඉලෙක්ට්‍රෝන ලෙස නම් කෙරුණි. ඒවාට ධන සහ ඍණ ලෙස ආරෝපණ ඇති බවටද ආකෘතියක් ගොඩ නැගුණි. මේ ඔස්සේ, ඊළඟ දශක කිහිපය තුල මුළු මහත් මානව වර්ගයාගේම ජීවන රටාව උඩු යටිකුරු කරන නව නිපදවීම් රාශියක් බිහිකරන විද්‍යුතය සහ විද්‍යුත් චුම්භක තරංග සොයාගන්නා ලදී.      

19 වන සියවසේ අග භාගයේදී ජේ. ජේ. තොම්සන් විසින් පරමාණුවට නව ආකෘතියක් දෙන ලදී. ඒ අනුව පරමාණුව ධන ආරෝපිත ඒකාකාරී මාධ්‍යක් තුල ගිලුණු ඉලෙක්ට්‍රෝන නම් ඉතා කුඩා ගෝල ලෙස නිරුපනය විය. මෙය ප්‍රසිද්ධ වුයේ ප්ලම් පුඩින් මොඩලය ලෙසයි. එමගින් විද්‍යුතය සහ රසායනික ප්‍රතික්‍රියා පැහැදිලි කිරීමට එකල විද්‍යාඥයෝ උත්සුක විය.     

නමුත් වැඩිකල් නොයා රදර්ෆර්ඩ් සාමිවරයා පර්යේෂණාත්මකව පෙන්වා දුන්නේ පරමාණුවේ වැඩි ප්‍රමාණයක් හිස් අවකාශය බවත් මධ්‍යයේ ඇති ධන ආරෝපිත ප්‍රෝටෝන නම් අංශු වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරන බවත්ය. මේ ආකෘතිය තවත් බොහෝ නිරීක්ෂණ පැහැදිලි කිරීමටත් එමගින් තාක්‍ෂණික මෙවලම් වර්ධනය කරගැනීමටත් ඉවහල් විය.    

එහෙත් තව කල් ගතවන විට සමහර නිරීක්ෂණ පැහැදිලි කිරීමට නොහැකි වීම නිසා මේ ආකෘතියද වෙනස් වෙමින් අද දක්වාම පරමාණුවේ කතාව පැවත එයි. එය තවත් චිරාත් කාලයක් ඉදිරියට යනු ඇත. සමහර විට මේ ආකෘති සියල්ල මායාවකින් නිමවීමටද ඉඩ ඇත.

මේ අනුව විද්‍යාවේ කිසිවක් සදාකාලික සත්‍යයක් හෝ විශ්වාසයක් මත පදනම් වන්නේ නැත. කාලයට සරිලන සේ ආකෘති සාදාගෙන අපි එමගින් ලෝකය අර්ථදැක්වීමට උත්සහ ගන්නෙමු. එය නොහැකිවන කල ආකෘතිය වෙනස් කරන්නෙමු. ඊට අමතරව පවතින ආකෘතිය තුලින් මිනිසාගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා තාක්‍ෂණය වර්ධනය කරන්නෙමු.

ඉලෙක්ට්‍රෝනය මා දැක ඇද්ද? මා ඉලෙක්ට්‍රොන ලෙසින් යමක් ඇත්දැයි විශ්වාස කරනවාද? ආදී ප්‍රශ්ණ අර්ථශූන්‍ය වේ. ඉලෙක්ට්‍රොන යනුවෙන් සැබවින්ම යමක් තිබෙනවද නැද්ද යන්න විද්‍යාඥයාගේ අරමුණුවලට බාධාවක් නොවේ. එය තිබෙනවායයි ආකෘතියක් ගොඩ නගාගෙන ඔහු ලෝකය තේරුම් ගැනීමටත්, මිනිසාගේ අවශ්‍යතා සපුරාලීමටත් උත්සහ කරයි. එය කල නොහැකි වූ තැන ඔහු ආකෘතිය වෙනස් කරයි

පහලොස්වන වන සියවසේ සිටි පුද්ගලයෙකුට වඩා බොහෝ සැපපහසුකම් අද ඔබට ඇත්තේ මේ විද්‍යාවේ හා තාක්‍ෂණයේ ගමන නිසාය. එය බොරුවක්ද, මායාවක්ද, සැබවක්ද යයි අපි නොදනිමු. නමුත් එහි යහඵල බොහෝ ඇති බව පමණක් අපට ප්‍රත්‍යක්ෂ වෙයි.         

වසුරිය ඇතුළු මාරාන්තික උණ රෝගවලින් පමණක් වසර මිලියන දෙකක මානව ඉතිහාසය තුල අකාලයේ මියගිය ප්‍රමාණය බිලියනය ඉක්මවන්නට ඇත. කිසිඳු දේව බලයකට හෝ සුපිරි බලවේගයකට එය නවතාලිය නොහැකි විය. ඒත් මේ "පට්ටපල් බොරු" විද්‍යාවට පිංසිද්ධ වන්නට පසුගිය සියවස් දෙක තුල එලෙස අකාලයේ දුක්ඛිත ලෙස මිය යන්න තිබු ජිවිත මිලියන ගණනක් රැකුනි.         

දේව බලයෙන් හෝ ප්‍රාතිහාර්යයක් මගින් යම් යහපත් දෙයක් මානව වර්ගයා හෝ පරිසරය වෙනුවෙන් කල හැකි ක්‍රමවේදයක් ඇත්නම් නම් ඒ සඳහා අදටද දොරගුළු විවරව ඇත. සාම්ප්‍රදායික විද්‍යාත්මක ක්‍රමවේදයන් වෙනස් කිරීමට විද්‍යාවේ කිසිම බාධාවක් නැත. මන්ද විද්‍යාව යනුම වෙනස මත රදා පවතින ක්‍රියාවලියක් බැවිනි. නමුත් ඔබ ඒ ක්‍රමවේදය සාර්ථක බව පෙන්වා දිය යුතුය. එමගින් මානව වර්ගයාට පැහැදිලි යහපතක් අත්විය යුතුය. මාධ්‍ය හරහා කයිවාරු ගැසීමෙන්, පම්පෝරි ගැසීමෙන් හෝ විද්‍යාවට බැන වැදීමෙන් කිසිවෙකුටත් සුගතියක් අත් නොවේ.




                     


.

2 comments: