Wednesday, 20 May 2020

නිදහස් අධ්‍යාපනය නිදහස්ද?


මිනි පෙටියක් කර තියාගත් සරසවි සිසුන් හතරදෙනෙක් වෝඩ් පෙදෙසෙන් හැරී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට ඇදේ. ඒ පිටුපස ගිරිය පුප්පා කෑගසමින් යන පිරිස අතර මමද පෙරමුණේ සිටියෙමි. මේ ඇදෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මළගමයි. මිනීපෙට්ටිය නිදහස් අධ්‍යාපනය සංකේත වත් කරයි.

ඒ 87 වසරේ මුල් මාස කිහිපයයි. අපි සරසවියට ඇතුළු වී ඉතා ටික කලකි. පිටිපස්සෙන් දෙන උපදෙස් වලින් ඔබ්බට සිතන්න අපිට ශක්තියක් තිබුනේ නැත. 

දශක තුනකට පසු පසු අදත් ඒ මළගම ඇදෙමින් පවතී. මා වියපත් වී ඇත. එහෙත් තාරුණ්‍ය තවමත් එතැනමය. ඒ සටන් පාඨ, මිනි පෙට්ටි, බැනර් සහ තාරුණ්‍යයේ සුමට නොවූ ජවය තවමත් එහෙමමය.  


...………...……......


"රටක ජීවත්වෙන සියලු දෙනාට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සැලසීම නිදහස් අධ්‍යාපනයයි". 

එක් එක් රට වල, එක් එක් යුගවල විවිධ සමාජ ස්ථරයන්ට අධ්‍යාපනය ලැබීමේ ඉඩකට සමාජීය, ආගමික හෝ දේශපාලන රාමු තුලින් අහුරා තිබුණි.

සමහර ඉස්ලාමීය රටවල කාන්තාවන්ගේ පාසල් අධ්‍යාපනයට තහංචි පනවා ඇත. මෙය තලේබාන් පාලන සමයේ ඇෆ්ගනිස්ථානය තුල තදින් පැවතුනි. අනූව දශකයට පෙර දකුණු අප්‍රිකාවේ කළු හම සහිත දරුවන් බොහොමයකට නීති මගින්ම අධ්‍යාපනය ලැබීමේ මං අහුරා තිබුණි. ඉන්දියාවේ කාලයක් කුලහීනයන්ට අධ්‍යාපනය ලැබීම සාමාජීය වශයෙන් තහනම් විය. මේ තත්වයට පිලියමක් ලෙස ඉන්දීය රජය කුලහීනයන්ට ලැබෙන විශ්ව විද්‍යාල කෝටාව විශාල වශයෙන් වැඩිකළේය. මෙහි ප්‍රතිපලයක් ලෙස කුලවතුන්ට ලැබෙන විශ්ව විද්‍යාල වරම් විශාල වශයෙන් කප්පාදු වූ අතර බිහාර් ආදී ප්‍රාන්ත වල මෙය විශාල සමාජ අර්බුදයක් කරා දිව ගියේය. එය ප්‍රාන්තය තුල කුලහීනයන් සමුහ ඝාතන කිරීම දක්වා  දුර දිග ගියේය. එහෙත් 80-90 දශකවල ඉන්දියාවේ සීග්‍රයෙන් බිහිවූ පෞද්ගලික විශ්ව විද්‍යාල මෙම අසහනය සමනය කිරීමට සමත් විය. 

කොලොම්බියාවේ, වැනිසියුලාවේ, ඉක්වදෝරයේ සමහර ගම්බද පාලාත්වල දරුවන්ට දෙමව්පියන් විසින්ම ඉගෙනීම අහුරා ඇත. ඒ ඔවුන් කුඩා කල සිටම කංසා හේන් වල වැඩකළ යුතු බැවිනි. ඒ දරුවෝ වැඩිවිය පැමිණෙන කල මත්ද්‍රව්‍ය ජාවාරමේ කොටස් කරුවන් ලෙස සේවයට බැඳෙති. 

ඉන්දියාව, නේපාලය, මොන්ගෝලියාව, පේරූ, චිලී ආදී රටවල ඉතා දුෂ්කරවූ පලාත්වල කදුකර වැසියන් බොහෝ දෙනෙකුට තම දරුවන් යැවීමට පාසැල් නොමැත. මේ නිසා ඔවුන්ගේ අධ්‍යාපනය එඬේර පාලනයට හෝ ගොවිතැනට සීමා වේ. තවද ලෝකයේ බොහෝ දිළිඳු රටවල දරුවන්ට මුදල් නොමැති වීම අධ්‍යාපනය ලැබීමට හරස්වේ.  

මේ නිදහස් අධ්‍යාපනය දකින්න නොලැබෙන අවස්ථා කිහිපයකි.

නිදහස් අධ්‍යාපනය යන්නට ආසන්නතම අදහස දෙන ඉංග්‍රීසි යෙදුම "Freedom of education" යන්නයි. ඉංග්‍රීසියෙන් "Free education" යන්න සිංහලට පරිවර්තනය විය යුත්තේ "නොමිලේ අධ්‍යාපනය" ලෙසටයි.  

……...…...…......

ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තිබේද?

නුතන අධ්‍යාපන සංකල්පයන් එළිදැක්වුණ 19 වන සියවසේ මුල් සමයේ අපේ රටේ පාසල් අධ්‍යාපනය හිමිවුයේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සහ සුපිරි පැලැන්තියේ අතලොස්සක් දරුවන්ටය. මෙය ක්‍රම ක්‍රමයෙන් අනෙක් සමාජීය ස්ථර දක්වා විහිදුන අතර නොමිලේ අධ්‍යාපනය දෙන රජයේ සහ මිෂනාරි පාසල්ද මුදලක් අයකර අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික මෙන්ම රාජ්‍ය අංශයේ පාලනය යටතේ වූ පාසල්ද ක්‍රමයෙන් බිහිවිය. 50 දශකයේදී රජයේ පාසැල් බොහොමයක් නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ආයතන බවට පත්වුණි. ඒ සමගම අලුතින් පෞද්ගලික විද්‍යාල කිහිපයක්ද  ඇරඹුනේය. නොමිලේ අධ්‍යාපනය ලබා දෙන රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා, දේවි බාලිකා වැනි පාසල් රාශියක් සුපිරි තලයට වර්ධනය වූ අතර සමහර පාසල් අසාර්ථක වී වැසී ගියේය. අදටත් රජයේ සමහර පාසල් වැසෙමින් පවතී. ශාන්ත තෝමස්, ශාන්ත පීතර, ට්‍රිනිටි, ශාන්ත බ්‍රිජට්, මියුසියස් වැනි පෞද්ගලික අංශයේ මුදල් අයකරන පාසල්ද රටේ ඉතා ඉහල තලයකට නැගුනු අතර පෙම්බ්‍රොක් වැනි සමහර පාසල් අසාර්ථකවී වැසී ගියේය.

90 දශකයේදී හතුපිපෙන්නක් මෙන් රටේ ජාත්‍යන්තර පාසල් විවෘත වූ අතර ඉන් CIS, AIS, OIS වැනි පාසල් කිහිපයක් ජාත්‍යන්තරවද පිළිගැනීමකට ලක්විය. සමහර ඒවා අසාර්ථක වී වැසී ගියේය. අප රටේ නොයෙකුත් ආගමික පසුබිම් වලට අයත් පාසල්ද, ආබාධිත දරුන්වන් සඳහා පාසල්ද ඇත. මේ අනුව සමාජයේ ඕනෑම තරාතිරමක දරුවෙකුට තමන්ට හැකි අයුරින් අධ්‍යාපනය ලැබීමේ ඉඩ ප්‍රස්ථාව ඇත. මෙය සැබෑ "නිදහස් අධ්‍යාපනයයි".  නමුත් එය "නොමිලේ අධ්‍යාපනය පමණක්" නොවන බව අප කාටත් පහසුවෙන් වැටහේ. නොමිලේ අධ්‍යාපනය යනු නිදහස් අධ්‍යාපනයේ එක් වැදගත් අංගයක් පමණි. එම අංගය නොතිබුනා නම් මුදල් ගෙවාගත නොහැකි සමාජ පන්තියට අධ්‍යාපනය  අහිමිවේ. එහෙත් "නොමිලේ  අධ්‍යාපනය පමණක්" නිසා මුදල් ගෙවාගත හැකි පන්තියට තමාට මුදල් ගෙවා ලබාගත හැකි  අධ්‍යාපන ඉඩ කඩ ඇහිරෙයි නම් එය නිදහස්  අධ්‍යාපනය නොවේ. 

ලංකාවේ නොමිලේ අධ්‍යාපනය  දෙන පාසල් ටික විතරක් තිබුනා නම් අද ඇතිවන තත්වය කුමක්දැයි වටහා ගන්න. මුදල් ගෙවා අධ්‍යාපනය දෙන පාසල් වලින් බිහිවී රට කරවන තැනටම ගිය ඩී එස්, ඩඩ්ලි, එස්. ඩබ්. ආර්. ඩී, සිරිමාවෝ, චන්ද්‍රිකා ආදීන් ගැන සිතන්න. මෙම පාසල් වලින් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෝ, ව්‍යාපාරිකයෝ, කලාකරුවෝ සහ යුද්ධයේදී දිවිදුන් රණ විරුවෝද බොහෝමයකි. ඒ නිදහස් අධ්‍යාපනයේ ඵලයන්ය.

අවාසනාවකට අප රටේ තෘතික අධ්‍යාපනය මෙම "නිදහස් අධ්‍යාපන" සංකල්පයෙන් බැහැරවී "නොමිලේ අධ්‍යාපනය" නම් තැනට තල්ලු විය. මෙහි අහිතකර ප්‍රතිපල රාශියක් අද අපි විඳිමින් සිටිමු. 

මුලින්ම අප අවබෝධ කරගත යුත්තේ, තෘතික මට්ටමේදී නොමිලේ අධ්‍යාපනය පමණක් යන සංකල්පය අද කියුබාව හැර ලොව කිසිම රටක නොමැති බවයි (මා දන්නා තරමින්).  අවාසනාවකට ලංකාවේ එය ඇත්තේද නැත,  නැත්තේද නැත. මේ තත්වය තුල ජනතාව වඩා අසීරු තත්වයකට පත්ව ඇත. කියුබාවේ සරසවි අධ්‍යාපනය ලැබීමට සුදුසු අයුරින් ද්විතීක අධ්‍යාපනය අවසන් කරන සෑම දරුවෙකුටම එම අවස්ථාව හිමිවේ. එබැවින් පෞද්ගලික සරසවිවල අවශ්‍යතාවයක් නොදැනේ. එහෙත් ලංකාවේ සරසවියකට ඇතුල්වීමට හැකියාව ලැබෙන්නේ උසස් පෙළ විභාගය සමත්වන (එනම් සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන) සිසුන්ගෙන් 15%-20% අතර ප්‍රමාණයකටය. ඉතිරි 80%-85% ට නොමිලේ දෙන සරසවි අධ්‍යාපනයත් නැත. මුදල් ගෙවා සරසවි අධ්‍යාපනය ලබන්නට ඉඩකඩද නැත. මේ කිනම් "නිදහස් අධ්‍යාපනයක්" ද?

මෙහිදී මා භාවිතා කරන පෞද්ගලික සරසවි යන යෙදුම එතරම් සුදුසු නොවේ. මන්ද බොහෝ රටවල රජය මගින් පාලනය වන සරසවිවලද අධ්‍යාපනය සඳහා යම් මුදලක් අයකරන බැවිනි. එහෙත් ලංකාවේ මුදල් අයකරන සරසවි සඳහාම පෞද්ගලික සරසවි යන්න යෙදීම සුලබ බැවින් මමද එය භාවිතා කරමි.

ලංකාවේ පෞද්ගලික සරසවි කළඑලියට ඒම වැළකීමෙන් මැද මධ්‍යම පන්තියෙන් බිහිවන්න සිටි වියතුන් බොහොමයක් ද්විතික අධ්‍යාපනයෙන් එහා යාමට නොහැකිව අතරමන් විය. ලංකාවේ පෞද්ගලික සරසවි තිබුනා නම් මේ බොහෝ අයෙකුට උධිධාරීන් හෝ ආචාර්ය වරුන් වීමට තරම් මුදල් වැය කිරීමේ හැකියාවක් තිබුණි. එසේ වුයේ නම් ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහිවන්නට තිබුණි. 50,000 වන හොර දොස්තරලා වෙනුවට නියම දොස්තරලා රටේ සේවය කරන්නට තිබුණි. එහෙත් එය එසේ නොම විය. මන්ද තෘතික අධ්‍යාපනය තුල "නිදහස" නොතිබුන බැවිනි.

අප රටේ සුපිරි ධනපති පන්තියට කවදාවත් ලංකාවේ විශ්වවිද්‍යාල වල අවශ්‍යතාවයක් නොවිය. ඔවුන්ගේ දරුවන් යුරෝපයේ (විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ) හෝ ඇමරිකාවේ සරසවි වල අධ්‍යාපනය හැදෑරිය. ඉහල මධ්‍යම පන්තිකයාද කෙසේ හෝ තම දරුවන් වෙන රටක උපාධියක් සඳහා පිටත් කර හැරියේය. මුලදී ඔවුන්ද යුරෝපීය සරසවි කෙරේ සිත යොමු කළ අතර පසුව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හරහා මැලේසියාව, තායිලන්තය  සිංගප්පුරුව වෙත ගමන් කළේය. 90 දශකයේදී ලැට්වියාව, ලිතුවේනියාව ආදී පරණ සෝවියට් දේශයෙන් කැඩී ගිය බෝල්කන් රටවල්වල සරසවි ඔවුන් අතර ප්‍රචලිත විය. ඉන්දියාව කවදත් තරමක් හැකියාව ඇති මැද මධ්‍යම පන්තියේ දරුවන්ට සරසවි  වරම් ලැබීමේ මාර්ගයක් විය. අද ඊටත් වඩා ජනප්‍රිය බංගලාදේශයේ සරසවිය. මේවන විට ලංකාවේ සිටින  ධනවත්  වෛද්‍යවරු සැහෙන දෙනෙකුගේ දරුවෝ බංගලාදේශයේ හා වියට්නාමයේ සරසවි වල වෛද්‍ය විද්‍යාව හදාරති. 

ලංකාවෙන් මැලේසියාවේ සරසවි වලට පමණක් වසරකට සිසුන්ගෙන් ලැබෙන අදායම දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10 කට අධිකය. මුළු ලෝකයේම සරසවි වල ඉගෙනුම හදාරන අපේ දරුවන් නිසා රටෙන් ඉවතට ඇදෙන මුදල ඔබට සිතා ගත හැක. මෙම ගණනය කිරීම් වලට විදේශගත වීම සඳහා සහ විදේශයක ජීවත්වීම සඳහා වැයවන මුදල එකතු කර නැති බව සලකන්න.  

වසර 2001-2003 වකවානුව තුල නව ප්‍රවණතාවයක් වුයේ විදේශ සරසවි වලට අනුයුක්ත ශාකා සරසවි ලංකාවේ පිහිටුවීමයි. මෙය මැද මධ්‍යම පන්තියට මහත් අස්වැසිල්ලක් විය. වසර දෙකක් හෝ තුනක් ලංකාවේ ඉගෙනීම කර අවසාන වසර හෝ වසර කිහිපය සඳහා වෙන රටකට යාම මෙහිදී සිදුවිය. මුළු උපාධියම වෙන රටක කරනවාට වඩා මෙහිදී දැරිය යුතු වියදම සැහෙන්න අඩුය. කෙසේ නමුත් මෙම ක්‍රමයේදීද වැඩි මුදලක් අපේ රටෙන් ඉවතට ඇදෙයි. 

……………..

පෞද්ගලික සරසවි නොතිබුණා කියා අපේ රටේ නොමිලේ අධ්‍යාපනය දෙන සරසවි දියුණුවී තිබේද

ප්‍රථමික හා ද්විතීක අධ්‍යාපන ස්ථර වලදී අඩුපාඩුකම් මධ්‍යයේ වුවද අපේ පාසල් පද්ධතිය ලොව බොහෝ රටවල ඉහල ඇගයීමකට ලක්වේ. මෙය රජයේ මෙන්ම පෞද්ගලික පාසල්වලටද එකසේ පොදුය. මා කලින් සදහන් කල ආකාරයට වසර විස්සකට අඩු කාලයකදී බිහිවූ ජාත්‍යන්තර පාසල් කිහිපයක්ම බ්‍රිතාන්‍යයේ පවා හොඳ ඇගයීමකට ලක් වෙමින් පවතී. එහෙත් නොමිලේ අධ්‍යාපනය පමණක් වූ අපේ සරසවිවල තත්වය කණගාටුදායකය. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් කිහිපයක අපේ සරසවි ඉතා අසාර්ථක අංකනයක් ලබා ගනී. ලොව ඉතා දිළිඳු රටවල් වන බංගලාදේශයේ හා සිම්බාබ්වේ හි සරසවි පවා අපට ඉදිරියෙන් සිටිතී. 

පර්යේෂකයන්ගේ වර්ගීකරණය (H-අංකනය) අනුව ගත්තත් අපේ ජේෂ්ඨ මහාචාර්යවරුන් පවා ඉතා පහල අංකනයක හෝ අංකනයක් නොමැති තත්වයකට පත්ව ඇත. මෙය අපේ රටෙන් බිහිවන විද්වතුන්ගේ හැකියාවේ අඩුවක් ලෙස මම නොදකිමි. අනූව දශකයේ මුල් හා මැද භාගයේ ප්‍රථම උපාධිය අපේ සරසවි වලින් ලබාගෙන සංවර්ධිත රටවලට සංක්‍රමණය වී අධ්‍යන/පර්යේෂණ අංශයේ රැකියාව කරන බහුතරයක් SCOPUS H-අංකනය ඉතා ඉහල අගයක රඳවාගෙන ඇත. මෙම තත්වය තේරුම් ගැනීමට මම පහත උදාහරණය ඉදිරිපත් කරමි.

දශක ගණනාවක හෝ ශත වර්ෂයකට ආසන්න කාලයක සිට පැවත එන ලංකාවේ සරසවි බොහෝ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට ඇතුලත්වන්නේද නැත. වසර 1997 දී ආරම්බ කළ මා කලින් සේවය කල මැලේසියාවේ පුත්‍රා සරසවිය 2019 වන විට QS ජාත්‍යන්තර ශේණිගත කිරීමේ 159 වන ස්ථානයේ පසුවේ. මෙය රජයේ සරසවියකි. එහෙත් ඉගෙනීම සඳහා සිසුන් මුදල් ගෙවිය යුතුය. මෙහි පශ්චාත් උපාධි හදාරන 75% වැඩි පිරිසක් විදේශීය සිසු සිසුවියෝ වෙති.

මුදල් ගෙවා අධ්‍යාපනය ලබන සිසුවෝ හැමවිටම තමා ගෙවන මුදලට සරිලන තත්වයක තම සරසවිය තිබෙනවාදැයි සොයති. මෙහිදී සියලු සිසුන් සරසවියේ ශ්‍රේණිගත අංකනයත් පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් නම් සිය පර්යේෂණ මහාචාර්යවරයාගේ H-අංකනයත් සොයා බැලීමට උත්සුක වෙති. මේ නිසා හැකි ඉක්මනින් සිය අංකනයන් ඉහලට ගෙන ඒමට බලධාරීන්ද කථිකාචාර්ය වරුන්ද නිබඳ උත්සහ දරති.  

අපේ සරසවි වලට මේ සඳහා අවශ්‍යතාවයක් නැත. මන්ද උසස්පෙළ සමත්ව සරසවි වරම් ලබන සිසුන්ට වෙන විකල්පයක් නොමැති බැවිනි. ඉතා කුඩා රටවල් වන සිංගප්පුරුවෙත්, හොංකොං  සහ තායිවානයෙහිත් විශ්වවිද්‍යාල අද ලෝකයේ ඉහලම තලයේ පසුවනු දකින විට දීර්ඝ කාලීන අධ්‍යාපන පද්ධතියක් ඇති ලංකාවේ සරසවි වල තත්වය ගැන ඇතිවන්නේ සංවේගයකි.  

……………..

තත්වය එසේ නම් පෞද්ගලික සරසවි විරෝධයේ හරය කුමක්ද?

පෞද්ගලික සරසවි විවෘත කිරීමෙන් අපේ දැනට සරසවි වරම් ලබන සිසු ප්‍රමාණයේ වර්ධනයක් මිස අඩුවීමක් නොවේ. මෙය රටට යහපත් වාතාවරණයකි. 

පෞද්ගලික සරසවිවල ප්‍රමිතිය පාලනය කිරීම සඳහා රජය මැදිහත් විය යුතුය. කෙසේ වුවත් මෙම සරසවි වලට නිරතුරු තම ප්‍රමිතිය ඉහලට ගෙන ඒමට සිදුවේ. නොඑසේ නම් ටික කලකින් ඔවුන් ගේ පැවැත්ම නිම වනු ඇත. ඔවුන්ට සෑම විටම අනෙකුත් සරසවි සමග තරඟයක් දීමට සිදුවේ. මේ නිසා ඉහල H-අංකනයක් ඇති කථිකාචාර්ය වරුන් බදවා ගැනීමටත් සිටින අයගේ අංකනය වැඩි කරගන්නා ලෙස ඔවුන් ධෛර්යමත් කිරීමටත් (වැඩිවන අංකනය සඳහා ගෙවීමක් හෝ වර ප්‍රදානයක් කිරීමෙන්) මෙම සරසවි බලධාරීන්ට නිරතුරුව සිදුවේ. සරසවියේ ශ්‍රේණිගත වීම සඳහා වඩාත්ම බලපෑමක් සිදුවන්නේ අධ්‍යයන කාර්ය මණ්ඩලය මගිනි. 

මේ වන විට ඇමෙරිකාවේ හා කැනඩාවේ පදිංචිව සිටි ඉන්දියානුවන් විශාල  සංඛ්‍යාවක් දිනපතා සිය රටට එමින් පවතී. මෙය ඉන්දියාවේ ඇතිවී තිබෙන ආර්ථික ප්‍රබෝධයත් ඇමෙරිකාව ආදී රටවල ඇතිව තිබෙන ආර්ථික අර්බුදයත් නිසාවෙනි. අප මේ තත්වය දෙස සැලකිල්ලෙන් බැලිය යුතුය. රට තුල අධ්‍යාපන ප්‍රබෝධයක් ඇතිවේ නම් ඇමෙරිකාවේ සහ අනෙකුත් දියුණු රටවල සරසවි බබළවන අපේ වියතුන්ද මෙරටට නැවත ගෙන්වා ගැනීමට නොහැකි නොවනු ඇත. 

මා දකින ලෙස මෙහිදී සිදුවිය හැක්කේ පෞද්ගලික විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය පහල මට්ටමක තිබීම නොව එය කෙටි කලකින්ම රජයේ සරසවි අභිබවා ඉහලට යාමයි. මෙය පැහැදිලි කිරීමට මම අද පවතින ද්විතික අධ්‍යාපනයෙන් උදාහරණයක් ගනිමි. 

සමීක්ෂණයක් කළහොත්, මේ වනවිට රාජකීය විදුහලෙන් අස්වී CIS සහ AIS ජාත්‍යන්තර පාසල් වලට පමණක් ඇතුළුවන සිසුන් ගණන සැහෙන්න ප්‍රමාණයක් බව පෙනෙනු ඇත. මේ තත්වයට හේතුව රාජකීය විදුහලේ අධ්‍යාපන තත්වය බාලවීම නොවේ. ඒම පාසලේ අධ්‍යාපන මට්ටම පෙර දිනටත් වඩා වැඩිවී ඇති බව මගේ හැඟීමයි. නමුත් සිදුවී ඇත්තේ මෙම ජාත්‍යන්තර පාසල් ඉතා ඉහල ප්‍රගතියක් සීග්‍රයෙන් අත්පත් කරගැනීමයි. මෙය මා දකින ආකාරයට අධ්‍යාපනයේ ඇතිවී තිබෙන හොඳ සෞඛ්‍ය සම්පන්න තත්වයකි. දැන් කලයුත්තේ රාජකීය විදුහලේ ප්‍රගතිය වැඩි දියුණු කිරීමද නැතිනම් ජාත්‍යන්තර පාසල් වසා දැමීමද යන්න ඔබ කල්පනා කර බලන්න.
 
ලෝක ශ්‍රේණිගත කිරීම්වල හෝ ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ඉහලම ඇති සරසවි 100 දෙස බලන්න. ඉන් එකක්වත් නොමිලේ අධ්‍යාපනය දෙන සරසවි නොවේ. දකුණු ආසියාවේ ශ්‍රේණිගත කිරීම් වල ඇති මුල් සරසවි 7 ම මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙන ඉන්දියාවේ සරසවිය. මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙන සරසවි වල ප්‍රමිතිය පාලනය කල නොහැකි නම් මේ තත්වය ඇතිවුයේ කෙසේදැයි කල්පනා කර බලන්න. 

රජයේ සරසවි වල සිටින සාර්ථක කථිකාචාර්යවරු එයින් ඉවත් වී මෙම පෞද්ගලික සරසවි වලට එක්වෙතැයි යන තර්කයද මා පිළිගන්නේ නැත. ඔවුන් එසේ එක්වෙයි නම් එසේ වන්නේ ඔවුන්ගේ සේවයට සරිලන වැටුපක් පෞද්ගලික සරසවි වලින් ගෙවන බැවිනි. මේ සඳහා පිළියම පෞද්ගලික සරසවි තහනම් කිරීමද? 

අපේ කලාපයේ ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය වැනි අනෙකුත් රටවල්වල නොමිලේ තෘතික අධ්‍යාපනය දෙන රජයේ සරසවිද, මුදලට අධ්‍යාපනය දෙන රජයේ මෙන්ම පෞද්ගලික සරසවිද ඇත. මේ රටවල සිදු නොවන දෙයක් ලංකාවේ පමණක් සිදුවිය හැකිද. 

අනෙක් අතට වෛද්‍ය වෘතිය සලකන්න. අද ඉතා ඉහල තත්වයේ පෞද්ගලික රෝහල් ගණනාවක් ලංකාවේ ඇත. මේ නිසා රජයේ රෝහල්වල සේවය කරන හොඳ වෛද්‍යවරු එයින් ඉවත් වී පෞද්ගලික රෝහල්වල සේවයට යන්නේ නැත. ඔවුන් බොහෝවිට රජයේ රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහලේද සේවය කරයි. සිදුවන්නේ වෛද්‍යවරයාගේ සේවය රජයේ රෝහලටත් පෞද්ගලික රෝහලටත් දෙකටම ලැබීමයි. අන්තිමට සිදුවී ඇත්තේ රටේ සිටින වෛද්‍යවරයාගේ සේවය උපරිම අයුරින් රටට ලැබීමයි. සිදුවිය යුත්තේ මෙයද නැත්නම් සියලු පෞද්ගලික රෝහල් වසා දැමීමද?

පෞද්ගලික සරසවි විවෘත කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අදාළ පාර්ශව දැනුවත් විය යුතුය. ප්‍රයෝගික පුහුණුව සඳහා ශික්ෂණ රෝහලක් නොමැතිව අරඹන වෛද්‍ය විද්‍යාලයක් අසාර්ථක වන බව නොකිවමනාය. ලෝකයේ සාර්ථක වෛද්‍ය විද්‍යාල සියල්ලටම පාහේ තමාගේම වූ ශික්ෂණ රෝහලක් ඇත. ඒම රෝහල් බොහෝ විට තත්වයෙන් උසස් බැවින් තමා සිසු අධ්‍යාපනයට උදව් විය යුතු බව දැන ගත්තත් බොහෝ රෝගීන් ඒම රෝහල් වෙත පැමිණේ. ඇමරිකාවේ බොහෝ වෛද්‍ය විද්‍යාලවල වැඩිම ආදායමක් ලැබෙන්නේ සිසුන්ගෙන් නොව ශික්ෂණ රෝහලෙනි. වෛද්‍ය විද්‍යාලය සමගම ශික්ෂණ රෝහලක් ඇති කිරීමෙන් සිසුන්ට මෙන්ම රටටද වන්නේ යහපතකි. 

ලංකාවේ නිදහස් අධ්‍යාපනය තෘතික මට්ටමේදී ස්ථාපිත කිරීමට නම් ගත යුතු ක්‍රියා මාර්ග දෙකකි. ඉන් පළමුවැන්න නම් සුදුසුකම් ලබන සියලුම සිසුනට නොමිලේ සරසවි අධ්‍යාපනය ලබා දීමයි. දෙවැන්න සරසවි වරම් නොලබන සිසුන්ගෙන් යම් කොටසකට හෝ උපාධියක් ලැබීමට හැකිවන අයුරින් පෞද්ගලික සරසවි ඇති කිරීමයි. රජය හෝ වෙනයම් ආයතන වලින්  මෙම සරසවි සඳහා සිසුන්ට පුර්ණ සහ පාර්ශ්වික ශිෂ්‍යත්ව ලබා දීම මගින් සරසවි වරම් ලබන සිසුන් ගණන තව වැඩිකළ හැක.

මිලියන 11 ක් ජනගහනය සහිත කියුබාවේ සරසවි ධාරිතාව ලංකාවේ මෙන් 5 ගුණයකට ආසන්නය. එසේනම් මිලියන 23 ක ජනගහනයක් සිටින ලංකාවේ සරසවි සුදුසුකම් ලබන සිසුන් සියල්ලටම උපාධිය ලබාගැනීමේ අවස්ථාව නොමිලේ ලබාදීමට අපි තව කොපමණ දුර යා යුතුදැයි ඔබට සිතා ගත හැක. ප්‍රයෝගිකව මෙය කළ නොහැක්කකි. කළ හැකි නම් ඊට කලින් කලයුතු දේ තව බොහොම ඇත. සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබා එයට වරම් නොලැබෙන සිසුන්ගෙන් කොටසකට හෝ අවස්ථාවක් ලබා දීමට නම් පෞද්ගලික සරසවි හැරෙන්නට අපිට වෙන විසඳුමක් නැත.

"නිදහස් අධ්‍යාපනය රැකගනිව්" යන්න පසුගිය වසර තිහක පමණ කාලයක පටන් අද දක්වා හොඳ සටන් පාඨයකි. සටන් පාඨ වලින් රටක් දියුණු කළ හැකි නම් අද ලංකාව ලෝකයේ දියුණුම රටවලින් එකක් විය යුතුය.

මෙහිදී අප සැලකිය යුතු කරුණ නම් තෘතික මට්ටමේදී අපේ රටේ කිසි දිනක නිදහස් අධ්‍යාපනයක් නොතිබුණ බවයි. නැවතත් මා අවධාරණය කරන්නේ සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් 85% ට පමණ සරසවි යාමට නොහැකි නම් එහි නිදහස් අධ්‍යාපනයක් නොමැති බවයි. 

"නිදහස් අධ්‍යාපනය" ලෙස නම් කළ මිනි පෙට්ටිය ඔසවාගෙන යන දරුවන්ට මම මෙසේ කියමි. ඔබේ සටන "නොමිලේ අධ්‍යාපනය පමණක්" ලෙස වෙනස් කළහොත් ඔබට ඔබ යන ගමනට යම් හරයක් එකතු කළ හැක. එහෙත් ඉන් රටට ප්‍රයෝගික සුගතියක් වෙත් දැයි ඔබ කල්පනා කර බලන්න.

නොඑසේ නම් ඔබ ඇත්තටම ඔසවාගෙන යන්නේ "නිදහස් අධ්‍යාපනයේ තිඹිරිගෙයිහිම මළගම" බව ඔබ තේරුම් ගන්න.

අවසාන වශයෙන් මම ඔබට යමක් පවසමි. ඔබට ඔබගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට පැහැදිලි අයිතියක් ඇත. එහෙත් ඔබට අනෙකාගේ අධ්‍යාපනය නවතන්න යැයි ඉල්ලීමට කිසිඳු අයිතියක් නැත. එය මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන සාපරාධී ක්‍රියාවක් බව තේරුම් ගන්න. 


……………………..

 වැඩිදුර කියවීමට කැමති අයට


ලෝකයේ ඇති ඉතා ඉහල ශ්‍රේණිගත කිරීම් වලට ඇතුලත්වන බොහෝ (සෑම කීවත් නිවැරදිය) මහජන / ජාතික විශ්ව විද්‍යාල සිසුන්ගෙන් මුදල් අයකරයි. උදාහරණයකට University of California (Berkeley) හි ප්‍රථම උපාධිය සඳහා වැය වන මුදල පහත දිගුවෙන් බලන්න. එය ඇමරිකානු සිසුවෙක්  සඳහා රුපියල් මිලියන  8 ක් පමණ වන අතර විදෙස් සිසුවෙකු සඳහා රුපියල් මිලියන 14 ක් පමණ වේ.

http://admissions.berkeley.edu/costofattendance

මා රජයේ සහ පෞද්ගලික ලෙස විශ්වවිද්‍යාල වර්ග කිරීම කෙරෙහි දැඩි අකමැත්තක් දක්වන්නේද මේ නිසාය. එය බොහෝ දෙනා නොමග යවන සුළුය. රාජ්‍ය පරිපාලනය, රාජ්‍ය සන්තකය, රාජ්‍ය දායකත්වය, රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය අධීක්ෂණය යටතේ විශ්ව විද්‍යාල පාලනය වීම වඩාත් ඵලදායකය. පුර්ණ පෞද්ගලික අංශයේ සරසවි පවා UGC අධීක්ෂණය යටතේ පැවතිය යුතු බව මගේ වැටහීමයි. නමුත් මේ ආයතන වලින් සියලු දෙනාටම නොමිලේ අධ්‍යාපනය දිය යුතු යැයි මා පවසන්නේ නැත. ඇත්තටම සියළු සරසවි නොමිලේ අධ්‍යාපනය ලබාදීම යනු හුදෙක් රට අගාධයකට ඇද දමන සංඛල්පයකි. මා එරෙහි වන්නේ එයටයි. මෙතෙක් එවන් අධ්‍යාපනයක් ලබාදීමෙන් අප රටට අත්වූ සෙතක් ඇත්දැයි කල්පනා කර බැලීම වටියි.

මා මෙහිදී බලන්නේ මේ ප්‍රශ්ණයේ විසල් දර්ශණය (big picture) දෙසයි. SAITM, SLIIT, වැනි ආයතන අධ්‍යාපනයේ නිදහස (Freedom of Education) සමග ඇතිවන ප්‍රාථමික අවස්ථාවයි. මෙබඳු ආයතනවල බොහෝ අඩු පාඩුකම් ඇති අතර එම වැරදි නිවැරදි කරගැනීමට සටන් වැදීමේ කිසිඳු වරදක් නැත. ඔබ සඳහන් කරන මුදල් අයකරන ඉහල ප්‍රමිතියේ මහජන / ජාතික / පෞද්ගලික විශ්ව විද්‍යාල දක්වා ගමන් කිරීමට යම් කාලයක් ගතවේ. නමුත් එහි ප්‍රාථමික අවධිය අප පසුකල යුතුය. මෙම SAITM / SLIIT යුගය අප පසුකල යුතුව තිබුනේ 80 / 90 දශක වලයි. එසේ නම් මේ වන විට අප NUS, Monash යුගයක ඉන්නට තිබුණි. අවාසනාවට එසේ සිදු වුයේ නැත. ලාබ නොලබන පෞද්ගලික සරසවියක් (Harverd, Yale, MIT වැනි සරසවිවලට අදාළ ව්‍යාපාරික මොඩලය) ලෙස 80 දශකයේදී ඇරඹි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය (NCMC) අපි තිඹිරි ගෙයිහිදීම මරා ගතිමු. ඒ පිළිබඳව අදද උදම් අනමු.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැවති දැවැත්ත විරෝධය හමුවේ එය රජයට පවරා ගෙන නොමිළේ අධ්‍යාපනය දීමේ තත්වයට පත් කළේය. එමගින් කී දහසකට නොමිළේ අධ්‍යාපනය ලැබුණාදැයි කියමින් සමහරුන් සතුටු වෙති. නමුත් මෙහිදී බොහෝ දෙනෙකුට අමතක වන්නේ එම නොමිළේ අධ්‍යාපනය වෙනුවෙන් රටේ දුප්පතුන් කී දෙනෙකු මත බර පැටවුනාද යන්නයි.

රජයට තවත් වෛද්‍ය විද්‍යාලයක් හදන්න හැකියාව තිබුණා නම් කල යුතුව තිබුනේ NCMC එක එලෙසම තබා ගෙන අනෙක සෑදීමයි. එසේ නම් රටට වෛද්‍ය විද්‍යාල දෙකක් ලැබෙනු ඇත. 

අප විසින් තිඹිරි ගෙයිහිදීම මරාගත් ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, එය ගොඩනැගීමට මුල්වූ ශ්‍රී ලාංකිකයන්ගේම දායකත්වයෙන් International Medical University (IMU) නමින් ඊට වසර කිහිපයකට පසු මැලේසියාවේ බිහිවිය. අද එය ලොව පවතින උසස් පිළිගැනීමක් ඇති වෛද්‍ය විද්‍යාලයකි. ලාංකිකයෝ විශාල පිරිසක් මැලේසියාවට ඩොලර් මිලියන ගණනක් මුදල් ගෙවාගෙන එහි ඉගෙන ගනිති. 

දැන් ඔබට සතුටුද?

නොමිළේ අධ්‍යාපනය ඉල්ලා කෑගසන අයම ඒ වෙනුවෙන් බඩු මිල වැඩිවන විට, මාසේ අන්තිමට ලැබෙන බිල් පත් දෙස බලන විට නැවතත් මරහඬ තලති. සියලු දෙනාටම නොමිළේ අධ්‍යාපනය දිය හැකි තරම් මුදල් ඇත්නම් කිසිම රජයක් එය නොකර සිටිනු ඇතැයි මම නොසිතමි. එහෙත් ලංකාව වැනි රටක් දිවිය යුත්තේ අතිශයින්ම ඇහිරුණු මුදල් පසුම්බියකිනි. ඔබගේ පියාට ලැබෙන මාසික පඩිය මෙන් දෙගුණයක් ඔබ වෙනුවෙන් වියදම් කරන්න කියා ඔබ මොන තරම් අඬා වැලපුනත් වැඩක් වේද?

හැමදේම නිකම් දීපියව් කියා හඬ තැලීම වියත් නොවූ සමාජයක අනාගත දේශපාලකයෙක් වීමට ඇති කෙටිම මගයි. පසු කලෙක මේ හඬ තලන්නෝ බොහෝ දෙනෙක් නතර වන්නේ ප්‍රති විරුද්ධ තලයකයි. එදා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමට පෙරමුණේ සිටි ක්‍රියාකාරී නායකයා පසුව SAITM හි උප කුලපතිවරයා විය. රාජිත සේනාරත්න, එස් බී දිසානායක යනු පෞද්ගලික සරසවි වලට එරෙහිව එදා මරහඬ තැලූ පෙරමුණේ රාළලාය.

ඔබ යතාර්ථයෙන් බැහැරව සිටින තාක් කල් ලංකාව පසු පසට ඇදී යාම වැළකිය නොහැක. 

කොරෝනාවෙන් පසුව අවදිවන ඔබ කුහක, පසුගාමී චින්තනය මදකට පසෙකින් තබා අළුතින් සිතන්න. 

ඔබ අද දුප්පතෙකු වන්නට හැක. එහෙත් ඔබ ඒ දුප්පත්කම ආභරණයක් ලෙස දිවි ඇති තෙක් පැළඳිය යුතු නොවේ. එහෙත් දේශපාලුවාගේ ඒකායන අරමුණ ඔබ එය සදාකාලිකව පැළඳ සිට ඔබේ දරුවාටද පැළඳ වීමයි.















7 comments:

  1. ඔබේ ලිපියට ස්තූතියි. එමෙන්ම ඔබේ ලිපියේ කරැණු වලට සම්පූර්ණයෙන්ම පාහේ එකඟයි. ඔබ බොහෝ රටවල්වල අත්දැකීම් සහිත දේශපාලකයන්ට කඩේ නොයන විද්වතෙක්. එමනිසාම ඔබේ අදහස ජනප්‍රිය අදහස නොවේ. සාමාන්‍ය මිනිස්සුන්ට මේ අදහස නොදිරවීමට හේතු ගණනාවක් තිබෙනවා. ඔබ මෙන් බොහෝ රටවල්වල අත්දැකීම් නැති ලoකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට ලෝකය ගැන පුදුමාකාර අනියත බියක් දේශපාලකයන් විසින් ඇති කර ඇති නිසා බොහොමයකට ලෝකයේ ප්‍රවණතා ගැන අදහසක් නෑ. ඒ වගේම ලoකාවේ අධික ලෙස දූෂිත දේශපාලන යාන්ත්‍රණය අධ්‍යාපනයේ ඔබ කියන ප්‍රමිතිය පවත්වා ගන්නෙ නෑ, ඒ නිසා උදාහරණයකට අදක්‍ෂ වෛද්‍යවරැ බිහි වීමත් එකී වෛද්‍යවරැන් අතින් නොයෙකුත් වැරදි සිදුවීමත් පුරෝකථථනය කල හැකියි. ඇමරිකාවේ නම් වෛද්‍යවරැ උපාධියට අමතරව ලයිසන් නඩත්තු කල යුතු මෙන්ම රෝගීන් තම අයිතිවාසිකම් ගැන දැනුවත්. ඒ වගේම නීති බලාත්මක වීම සාපේක්‍ෂව ඉතා හොඳයි. මේ නිසා හොර දොස්තරට අනිවාර්‍යයෙන්ම වැඩ වරදිනවා. ලoකාවේ තත්වය ගන්න. කවදාද වෛද්‍යවරයෙකුගේ නොසැළකිල්ලට හරිහමන් දඬුවමක් ලැබුනේ (රියන්සි අර්සකුළරත්න wealthy powerful lawyerට හැර). ලoකාවෙ නීතිමය ප්‍රතිපාදන හොඳටම මදි වගේම අල්ලස, දූෂණය නිසා හොර වෙදා බේරි බේරි දිගටම රෝගීන් අගතියට පත් කරනවා. ශවිනි ප්‍රනාන්දුගෙ කථාව බලන්න.ලකාවෙ දොස්තරල මාරාන්තික වැරදි කලත් මේක අපේ කරැමෙ කියල හිස පාත් කරන් මැරිල යනවට වඩා විකල්පයක් මිනිස්සුන්ට නෑ. ඔබගේ ක්‍ෂේත්‍රය වන ඉන්ජිනියරින් හෝ වෙනත් ඕනෑම ක්‍ෂේත්‍රයක තත්වයද එයමයි. ඉතින් ඒකයි මිනිස්සු බය. හරිනම් වෛද්‍යවරැන් ඇතුළු වෘත්තිකයන්ට practice කිරීමට ලයිසන් පවත්වා ගැනීමටත් වරදකදී ලයිසන් තාවකාළික/සදාකාළික තහනමකට යටත් කිරීමත් අපක්‍ෂපාතීව කල යුතුයි. එවිට ප්‍රමිතියකින් තොර උසස් අධ්‍යාපන ආයතන ඉබේම වැසී යනවා. ඒත් මේවා කවදාවත් වෙන්නෙ නෑ ලoකාවෙ.

    ReplyDelete
    Replies
    1. සිද්ද වෙන්නෙ හොර වෙදා සල්ලි ටිකක් එහෙට මෙහෙට විසි කරල එහෙමත් නැත්නම් යාළු දේශපාලකයෙක්ට කණිපින්දම් කියල (අප මතක තබාගත යුතුයි බොහෝවිට මුදල් ගෙවා ප්‍රමිතියකින් තොර උසස් අධ්‍යාපනය ලැබූ අයෙකුට මේ ධනය, බලය සාධක දෙක බොහෝ විට තිබෙනවා) ආයෙම කිසි අවුළක් නැතුව රස්සාව කරන එක.

      Delete
  2. ඔබගේ අදහස සාධාරණයි. නමුත් මේ තත්වයට පිළියම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට මං ඇහිරීම නොවේ (මේ ලිපිය වෛද්‍ය විද්‍යාල වලට ලඝු වන්නේ නැත). ලංකාවේ කොළඹ සහ පේරාදෙණිය හැරුණු විට ඇති අනෙකුත් රජයේ සියළුම වෛද්‍ය විද්‍යාල වල තත්වය පිළිබඳව ඇගයීමක් කළහොත් තත්වය ඉතා කණගාටුදායක බව ඔබට පෙනෙනු ඇත. අනෙකුත් බොහෝ අධ්‍යයන අංශ වල තත්වයද මෙසේය. මෙයට පිළියම; රජයේද, පෞද්ගලිකද ලාබ ලබනවාද, නැද්ද යන කාරණා වලින් ස්වායත්තව තත්ත්ව අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමයි. අප එය කල නොහැකි යයි සිතන තාක් කල් එය කල නොහැකිය. එහෙත් අවශ්‍ය නම් කල හැක. මා උත්සහ දරන්නේ මේ සංකල්පමය වෙනස ඇති කිරීමටයි. මුලදී බොහෝ අකටයුතු සිදුවනු ඇත. එහෙත් ජනතාවට අවශ්‍ය නම් සියළු දේ හරි යනු ඇත. කොතනකින් හෝ අප ගමන ඇරඹිය යුතුය.

    සුළු උදාහරණයක් පවසනවා නම් ලංකාවේ සාමාන්‍යයෙන් (කොරෝනා සමයේ නොව) වසරකට මාර්ග අනතුරු වලින් 3000 ක් පමණ මිය යයි. මීට ප්‍රධාන හේතු ලෙස මිනිසුන්ගේ නොසැලකිල්ල, මාර්ග නීති පිළිනොපැදීම සහ මාර්ග නඩත්තුවේ අඩුපාඩු පෙන්වා දී ඇත. මෙම අගය ලංකාව වැනි රටකට විශාල ගණනකි (කොරෝනාවෙන් මාස තුනකදී මියගොස් ඇත්තේ 9 දෙනෙකි). මේ තත්වය යටතේ ගත හැකි පියවර තුනක් ඇත.
    1. ලංකාවේ සියලුම මාර්ග වසා දැමීම. එවිට මාර්ග අනතුරු බින්දුවක් වනු ඇත.
    2. මේ තත්වය යථාර්තය ලෙස තේරුම් ගෙන කිසිඳු අමතර පියවරක් නොගැනීම. එවිට සෑම වසරකම 3000 ක් පමණ මිය යනු ඇත.
    3. මාර්ග නීති තදින් ක්‍රියාත්මක කරවීම සහ මාර්ග නඩත්තුව ක්‍රමවත් කිරීම. මෙමගින් මරණ සංඛ්‍යාව අඩු කරගත හැක. එහෙත් ඒ සඳහා කාලය, ශ්‍රමය, ධනය වැයවේ.

    කල යුත්තේ කුමක්දැයි ලාංකිකයා විසින් තීරණය කල යුතුය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් මේක කරන්න ඕන මෙහෙමමයි කියල අදහසක් නෑ. ඔබේ මාර්ග අනතුරැ උදාහරණය ගත්තොත් ලoකාවේ නීතිවල අඩුපාඩු, දූෂණ වoචා නිසා වළක්වාගතහැකිව තිබුණු අනතුරැ වලින් බොහෝ දෙනෙක් මිය යන අතර ප්‍රබලයන් අතින් අගතියට පත් අසරණයන්ට සාධාරණය ඉටු නොවේ. මාර්ග අනතුරැ වලට වඩා අධ්‍යාපනය ධනයට බලයට යට වීම සමස්ථ රටේ ව්‍යුහයටම බලපානවා. ලoකාවේ අතිශය දූෂිත දේශපාලනයට, වෛද්‍ය මාෆියාවට, රජයේ සේවක අකාර්‍යක්‍ෂමතාවයට රටේ යහපත් මිනිස්සුන්ට මැදිහත් වීමක් කරන්න බැරි තත්වයකදි අධ්‍යාපනය පෞද්ගලීකරණය කරල ඒක වැරදි ට්‍රැක් එකට වැටුනොත් යහපත් මිනිස්සුන්ට මැදිහත් වීමක් කරන්න පුළුවන් වෙන්නෙ නෑ දැන් රටේ තියන තත්වය අනුව. මම යෝජනා කරන්නේ මුලින් අප කල යුත්තේ රට පත් වෙලා ඇති අන්ත දූෂිත අවනීතික තත්වය නැති කළ යුතු බවයි, ඔබේ යෝජනාව සාර්ථක වීමට නම්.

      Delete
  3. ඉහත ලිපිය සමග එකග වෙමි. නමුත් ප්‍රායෝගිකව මෙය කිරීම අපහසු. හෙතුව ලංකාවෙ මිනිස්සුන්ගේ ඇති පුහු මාන්නය නිසාය. සමාජ පිලිගැනීමක් ලබා ගැනීමට ඇති හොදම ක්‍රමය ඉහල අධ්‍යාපනයක් වේ. ඉතා අඩු පහසුකම් ඇතිව නිදහස් අධ්‍යාපනයෙන් ඉහලට පැමිනි ඇතමුන් හා කාලයක පටන් ඉහල සමාජ් මට්ටමක සිටින පිරිස්, තම දරුවන් ද එම පැමිනියා වූ/ සිටිනා වූ සමාජ තත්ත්වය තුල සදාකලිකව තබා ගැනීමටත් , එම මට්ටමට නොපැමිණි පිරිස් ,පවතින මට්ටමේම තබා ගැනීමටත් කැමතිය(මා දකින්නේ මෙය අනුන්ට කියා වන්දවා ගැනීමට ද්කණු ආසියාතිකයන් ඇති අඩු මානසික මට්ටම නිසා විය යුතුය ). අඩූ පහසුකම් ඇතිවිට හා උසස් අධ්‍යාපනයක් ලැබීමට සුදුසුකම් ලද විට පෞද්ගලික සරසවි , උපාධි කඩ වීමටත්, සල්ලී ඇතිවිට හා අවශ්‍ය සුදුසුකම් නැති විට(ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයීය ඇතුල් වීමට සලකන නිර්ණායකය අනුව) ,පෞද්ගලික සරසවි , තවත් විශ්වවිද්‍යාලක් ලෙසත් හදුන් වන්නේ එහෙනි.

    ඔබ වැනි වියතෙක් මෙහි සධනීය කරණා හා පවතින අධ්‍යාපන පද්ද්තියේ ගැටලු සදහා ප්‍රායොගි විසදුම් ඉදිපත් කරන විට, තවත් පසුගාමී වියතුන්(සයිටම් ප්‍රශ්නයේදී ) මීට දැඩි ලෙස එරෙහි වන්නේ ඉහත සමාජ මට්ටම් රැක ගැනීමට ඇති අවශ්‍යතාව නිසාය. එ නිසා මෙය අධ්‍යාපනයේ මෙන්ම සමාජ හා පුද්ගල මනසික මට්ටම් වල කතිකාවක් ලෙස ඉදිරියට ගෙනා රැගෙන යා යුතු ය.

    ReplyDelete
  4. එහෙත් ජනතාවට අවශ්‍ය නම් සියළු දේ හරි යනු ඇත. කොතනකින් හෝ අප ගමන ඇරඹිය යුතුය. คาสิโนออนไลน์

    ReplyDelete